Skip to content

පටුනට යන්න

මිතුරන් තෝරාගැනීමේදී ඊශ්‍රායෙලිතයන්ට වැරදුණ තැන

මිතුරන් තෝරාගැනීමේදී ඊශ්‍රායෙලිතයන්ට වැරදුණ තැන

මිතුරන් තෝරාගැනීමේදී ඊශ්‍රායෙලිතයන්ට වැරදුණ තැන

දැන් ඊශ්‍රායෙල්වරුන් සිටින්නේ පොරොන්දු දේශයේයි. මෙම අලුත් පරිසරය තුළ ඔවුන් කටයුතු කළ යුතු ආකාරය යෙහෝවා දෙවි මෝසෙස් තුළින් මෙසේ පවසා තිබුණා. “ඒ දේශයේ ජීවත් වන සියලු වැසියන්ව ඔබ පන්නා දැමිය යුතුයි. ඔවුන් සාදා තිබෙන ගල් හා ලෝහ රූප සියල්ල විනාශ කරන්න. ඔවුන්ගේ සියලුම පූජනීය ස්ථානද සහමුලින්ම විනාශ කර දමන්න.”—ගණන්. 33:52, නව ලොව පරිවර්තනය, NW.

ඔවුන් අලුතින් පදිංචියට ගිය ප්‍රදේශයේ සිටින ජාතීන් සමඟ කිසිම ආකාරයේ ගනුදෙනුවක් නොකළ යුතු බවත් ඔවුන්ගෙන් කිසිවෙක් සමඟ විවාහ නොවිය යුතු බවත් දෙවි තරයේම කියා සිටියා. (ද්වි. 7:2, 3) ඔවුන් ඒ උපදෙස්වලට පිටුපෑවොත් ඔවුන්ට අද්දැකීමට සිදු වන භයානක තත්වය ගැනත් දෙවි අනතුරු ඇඟවා තිබුණා. ඒ මෙලෙසයි. “ඔබ යන දේශයේ වැසියන් සමඟ කිසි ගිවිසුමක් ඇති කර නොගන්න. එසේ කළොත් එය ඔබේ විනාශයට හේතු වෙයි.” (නික්. 34:12NW) කෙසේනමුත් ඔවුන් දෙවිට පිටුපා ගොස් භයානක මලපතකට හසු වුණා. ඊට හේතු වූ ප්‍රධානම දෙය කුමක්ද? ඔවුන්ගෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?—1 කොරි. 10:11.

මිතුරුකම රූප නමස්කාරයට මඟ පාදයි

දෙවි අණ කළ ලෙස ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට පැමිණි මුල් කාලයේදී එහි සිටි ජාතීන්ව ඉන් පන්නා දමන්න පියවර ගත්තා. නමුත් කල් යත්ම දෙවි දුන් එම අණ පනත් නොසලකා හරින්න ඔවුන් පටන්ගත්තා. (විනි. 1:1–2:10) මේ හේතුවෙන් ඔවුන් අවට සිටි “ජාතීන් හත” සමඟ වාසය කරන්න පමණක් නොව ඔවුන් සමඟ ගනුදෙනු කරන්නත් ටිකෙන් ටික මිත්‍රකම් ඇති කරගන්නත් පටන්ගත්තා. (ද්වි. 7:1NW) එහි ප්‍රතිඵලය කුමක්ද? බයිබලයේ ඒ ගැන පවසන්නේ මෙසේයි. “ඊශ්‍රායෙල්වරු එම ජාතීන්ගේ දූවරුන්ව විවාහ කරගත් අතර, තම දූවරුන්ව ඔවුන්ගේ පුත්‍රයන්ට විවාහ කර දුන්නෝය. එසේම ඔවුහු ඔවුන්ගේ දෙවිවරුන්ටද වන්දනාමාන කරන්න පටන්ගත්තෝය. මෙසේ ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කළෝය. ඔවුහු තම දෙවි වන යෙහෝවාව අමතක කර, බාල් දෙවිවරුන්ට හා ඔවුන් වෙනුවෙන් ඉදි කර තිබූ ශුද්ධ කණුවලට වන්දනාමාන කළෝය.” (විනි. 3:5-7NW) ඊශ්‍රායෙල්වරුන් එම ජාතීන් සමඟ විවාහ වීමට හා ඔවුන්ගේ බොරු දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටීමට මූලිකවම මඟ පෑදුවේ කුමක්ද? අවට ජාතීන් සමඟ මිත්‍රකම් ඇති කරගැනීමයි. ඊශ්‍රායෙල්වරුන් එම ජාතීන් සමඟ විවාහ ගිවිසුම් ඇති කරගත් නිසා අවසානයේදී ඔවුන්ව එම දේශයෙන් පන්නා දමන්න බැරි තත්වයටම පත් වුණා. අවසානයේදී සෙනඟ යෙහෝවා දෙවිගෙන් ඈත් වී බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා.

ඊශ්‍රායෙල්වරුන් මුලින්ම මේ දේශයට ඇතුළු වන විට අවට ජාතීන් සතුරුකම් පෑ නිසා ඉන් විශාල තර්ජනයක් ඔවුන්ට එල්ල වුණා. නමුත් පසුව ඒ ජාතීන් සමඟ ඇති කරගත් මිත්‍රත්වය ඔවුන්ට ඊටත් වඩා විශාල තර්ජනයක් වුණා. එම මිත්‍රකම ක්‍රමානුකූලව ඊශ්‍රායෙල්වරුන්ගේ පවිත්‍ර නමස්කාරය දූෂ්‍ය කරන්න පටන්ගත්තා. එය සිදු වන්නට ඇති තවත් ආකාරයක් සලකා බලන්න.

ගොවිතැන හා බැඳි මිථ්‍යා විශ්වාසයන්

පොරොන්දු දේශයට පැමිණීමෙන් පසුව ඊශ්‍රායෙල්වරුන්ට තවදුරටත් තැනින් තැන ගොස් ජීවත් වීමට අවශ්‍ය වුණේ නැහැ. එහි ඔවුන්ට ස්ථිර වාසස්ථාන ලැබුණු අතර ඔවුන්ගෙන් බොහෝදෙනෙක් ගොවිතැන් කරන්න පටන්ගත්තා. ඒ සඳහා ඔවුන් අනුගමනය කළේ කලින් සිටි ජාතීන්ගේ ගොවිතැන් ක්‍රමයි. නමුත් ඔවුන් එම ජාතීන්ගේ ගොවිතැන් ක්‍රමවලට වඩා වැඩි දෙයක්ද ඈඳාගෙන ඇති බව ඔප්පු වෙනවා. ඒ මොනවාද? ගොවිතැන හා බැඳි අවට ජාතීන්ගේ මිථ්‍යා විශ්වාසයනුයි. ඔවුන් එම උගුලට හසුවීමට හේතු වුණේද අවට ජාතීන් සමඟ පැවැත්වූ කිට්ටු ආශ්‍රයයි.

අවට සිටි කානානිවරුන් බාල් දෙවිවරුන් බොහෝමයකට නමස්කාර කළා. ඔවුන් විශ්වාස කළේ තම වගාවෙන් වැඩි පලදාවක් ලබා දීම සඳහා පොළොව සශ්‍රීක කිරීමට මේ දෙවිවරුන්ට හැකි බවයි. කල් යද්දී ඊශ්‍රායෙල්වරුන්ද වගා කිරීමෙන් පලදාව නෙළාගන්නවාට අමතරව කානානිවරුන් සමඟ එකතු වී බාල් දෙවිවරුන්ට පුද පූජාද පැවැත්වුවා. ඔවුන් සැබෑ නමස්කාරයේ යෙදෙන බවට කළේ බොරු මවාපෑමක්. නමුත් ඔවුන් ඇත්තටම යෙහෝවා දෙවිට කරන නමස්කාර අතහැර තිබුණා.

අපට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වන විට එහි සිටි ජාතීන්ගේ බොරු නමස්කාර ක්‍රමවල හා එහි දූෂිත ක්‍රියාවල හවුල් වීමට කිසිම අදහසක් ඔවුන්ට තිබෙන්න නැතිව ඇති. නමුත් එම ජාතීන්ව කිට්ටුවෙන් ඇසුරු කිරීම නිසා සිදු වූයේ ඔවුන් නොසිතූ දෙයමයි. අපටත් එලෙසම විය නොහැකිද? ඇසුරට ප්‍රියමනාප විය හැකි නමුත් සැබෑ දෙවිට නමස්කාර නොකරන, බයිබලයේ ඇති සාරධර්ම සහ ප්‍රතිපත්ති කෙරෙහි අගයක් නැති පුද්ගලයන් සමඟ කිට්ටු ඇසුරක් පැවැත්වුවහොත් අපත් එවැනිම භයානක ප්‍රතිඵලවලට මුහුණ දෙනවා නොඅනුමානයි. රැකියා ස්ථානයේදී, පාසැලේදී හෝ සමහරවිට නිවසේදී පවා අපට නොඇදහිලිවන්තයන් සමඟ කටයුතු කරන්න සිදු වන බව ඇත්තයි. කොහොමවුණත් ඊශ්‍රායෙල්වරුන් සම්බන්ධ සිද්ධියෙන් අපට උගන්වන්නේ එවැනි අයව අපගේ මිත්‍රයන් කරගැනීමට උත්සාහ කිරීම අනතුරකට අත වැනීමක් බවයි. පහත සඳහන් බයිබලයේ සත්‍යය බොරු කිරීමට කිසිවෙකුටවත් නොහැකි බව අපි මතක තබාගනිමු. එහි පවසන්නේ මෙසේයි. “නරක ආශ්‍රයෙන් හොඳ පුරුදු නැති වන්නේය.”—1 කොරි. 15:33.

එදා ඊශ්‍රායෙල්වරුන් මුහුණ දුන්නා හා සමාන පරීක්ෂාවන්ට අපත් මුහුණ දෙනවා. අද දිනත් මිනිසුන් විවිධ දේවලට සහ පුද්ගලයන්ට ඔවුන්ගේ නමස්කාරය පුද කරනවා. ඊට මුදල්, ජනප්‍රිය නළු නිළියන්, දේශපාලන ක්‍රම, සමහර ආගමික නායකයන් පමණක් නොව පවුලේ සාමාජිකයන් පවා අයත් වෙනවා. ඉහත සඳහන් පුද්ගලයන් හෝ දේවල් අපගේ ජීවිතයේ මුල් තැන ගැනීමට ඉඩ තිබෙනවා. අපත් දෙවිට ප්‍රේම නොකරන ඕනෑම කෙනෙකු සමඟ කිට්ටු ඇසුරක් පැවැත්වීමේ ප්‍රතිඵලයක් හැටියට දෙවි සමඟ තිබෙන අපගේ මිත්‍රත්වය ක්‍රමානුකූලව විනාශ වී යා හැකියි.

එදා බාල් නමස්කාරයේ ප්‍රධාන අංගයක් වූයේ ලිංගික දුරාචාරයයි. එමෙන්ම ඊශ්‍රායෙල්වරුන් බොහෝදෙනෙකුට විශාල මලපතක් වුණේද එයමයි. අද දිනත් දෙවිගේ සේවකයන්ගෙන් සමහරෙක්ද ඊට ගොදුරු වී තිබෙනවා. එම භයානක තත්වයට කෙනෙකුව ඇද දමන එක් දෙයක් වන්නේ අන්තර්ජාලයයි. උදාහරණයකට කාමුක දර්ශන ගැන කුතුහලයෙන් සිටින කෙනෙකුට අන්තර්ජාලය හරහා ඒවා නැරඹීම ඉතාමත් පහසු දෙයක් විය හැකියි. නමුත් එසේ කිරීමෙන් දෙවි ඉදිරියේ ඇති ඔහුගේ යහපත් හෘදය සාක්ෂිය පලුදු වීම මොන තරම් කනගාටුදායකද!

“ඔහුගේ සිහිගැන්වීම් පිළිපදින අය සන්තෝෂවත්ය”

යෙහෝවා දෙවි මඟ පෙන්වා ඇති ආකාරයට අපගේ ආශ්‍රිතයන්ව තෝරාගැනීම හෝ එසේ නොකිරීම අපගේ පෞද්ගලික තීරණයක්. (ද්වි. 30:19, 20) නමුත් එහිදී අපි මෙම ප්‍රශ්න ගැන ගැඹුරින් කල්පනා කර බැලීම ඉතා වැදගත්. ‘මම බොහෝවිට මගේ විවේක කාලය ගත කරන්නේ කා සමඟද? දෙවිගේ නීති ප්‍රතිපත්ති ගැන ඔවුන්ට තිබෙන්නේ මොන වගේ ආකල්පයක්ද? ඔවුන් නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිටද? ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගන්න ඔවුන්ගේ ඇසුර මට උපකාරවත් වෙයිද?’

ගීතිකාකරු පැවසූ දේ බලන්න. “නිර්දෝෂ වූද යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදින්නාවූද අය සන්තෝෂවත්ය. ඔහුගේ සිහිගැන්වීම් පිළිපදින අය සන්තෝෂවත්ය. ඔවුහු මුළු සිතින්ම ඔහුව සොයති.” (ගීතා. 119:1, 2NW) ඇත්තෙන්ම “යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇත්තාවූ ඔහුගේ මාර්ගවල ගමන් කරන්නාවූ සියල්ලෝ සන්තෝෂවත්” පුද්ගලයන්. (ගීතා. 128:1NW) අප ඇසුරු කිරීමට තෝරාගත යුත්තේ කුමනාකාර අයවද කියා තීරණය කිරීමට අපට සිදු වෙනවා. එවිට ඊශ්‍රායෙල්වරුන්ට වැරදුණේ කොතැනද කියා මතක් කරගනිමු. එමෙන්ම ඒ සම්බන්ධයෙන් දෙවි දී ඇති මඟ පෙන්වීම්වලට අපි සම්පූර්ණයෙන්ම කීකරු වෙමු.—හිතෝ. 13:20.

[26වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවිට ප්‍රේම නොකරන පුද්ගලයන් සමඟ කිට්ටු ඇසුරක් පැවැත්වීම රූප නමස්කාරයට මඟ පෑදිය හැකියි