Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිව කිසිවිටෙක අමතක නොකරන්න

යෙහෝවා දෙවිව කිසිවිටෙක අමතක නොකරන්න

යෙහෝවා දෙවිව කිසිවිටෙක අමතක නොකරන්න

“මාගේ සිතුවිලි සැමවිටම යෙහෝවා දෙවි ගැනය.”—ගීතා. 16:8, නව ලොව පරිවර්තනය, NW.

1. බයිබලයේ සඳහන් තොරතුරු අධ්‍යයනය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?

මිනිස් වර්ගයා සමඟ යෙහෝවා දෙවි කටයුතු කළ ආකාරය පිළිබඳ කදිම වාර්තාවක් බයිබලයේ අඩංගුයි. දෙවිගේ කැමැත්ත කළ ස්ත්‍රීන් සහ පුරුෂයන් බොහෝදෙනෙක් ගැනත් එහි සඳහන්. දෙවිගේ ක්‍රියාවන් ඇතුළත් මෙම ඉපැරණි වාර්තාව නිකම්ම රසවින්දනය උදෙසා ලියැවුණු පොතක් නම් නොවෙයි. ඒ වෙනුවට එහි ඇති සැබෑ ජීවිත අද්දැකීම් අධ්‍යයනය කිරීමෙන් දෙවිට වඩාත් ළං වීමට අපට හැකියාව ලැබෙයි.—යාකො. 4:8.

2, 3. ගීතාවලිය 16:8හි සඳහන් වචනවලින් අදහස් කරන්නේ කුමක්ද?

2 අපට හුරු පුරුදු චරිත බොහෝමයක් බයිබලයේ සඳහන් වෙනවා. ආබ්‍රහම්, සාරා, මෝසෙස්, රූත්, දාවිත්, එස්තර් සහ පාවුල් ඒ අතරින් කිහිපදෙනෙක් පමණයි. එමෙන්ම වැඩිපුර අපගේ කතා බහට ලක් නොවන නමුත් දෙවිට විශ්වාසවන්තව සේවය කළ අය ගැනත් බයිබලයේ වාර්තා වෙනවා. මේ අය මුහුණ දුන් විවිධ තත්වයන් සහ ඒවා සමඟ ඔවුන් කටයුතු කළ ආකාරය ගැන ගැඹුරින් සිතා බැලීමෙන් අපට බොහෝ දේවල් ඉගෙනගත හැකියි. එවිට ගීතිකාකරුගේ මෙම වදන්වලට එකඟව ජීවත් වීමටද අපට හැකි කරවයි. “මාගේ සිතුවිලි සැමවිටම යෙහෝවා දෙවි ගැනය. ඔහු මාගේ දකුණු පැත්තේ සිටින නිසා මම නොසැලී සිටිමි.” (ගීතා. 16:8NW) එම වචනවලින් අදහස් කරන්නේ කුමක්ද කියා අපි දැන් සලකා බලමු.

3 සාමාන්‍යයෙන් සොල්දාදුවෙක් සටන් කරන විට කඩුව දකුණතින් දරා සිටින අතර පලිහ තිබෙන්නේ ඔහුගේ වමතෙයි. එමනිසා ඔහුගේ දකුණත තිබෙන්නේ අනාරක්ෂිත තත්වයකයි. නමුත් ඔහුගේ මිතුරෙක් ඔහුගේ දකුණු පැත්තේ සිට සටන් කරනවා නම් ඉන් ඔහුට ආරක්ෂාව ලැබෙනවා. ඒ හා සමානව අපත් නිතරම යෙහෝවා දෙවිගේ කැමැත්ත කරමින් ඔහුව නිතරම අපගේ මතකයේ තබාගන්නවා නම් ඔහුද අපට ආරක්ෂාව සපයයි. ඒ සඳහා උපකාරවත් වන බයිබල් වාර්තාවන් කිහිපයක් දැන් අපි සලකා බලමු.

යාච්ඤාවන්ට පිළිතුරු දෙයි

4. දෙවි යාච්ඤාවලට පිළිතුරු දෙන බව තහවුරු කරන උදාහරණයක් දෙන්න.

4 අපි නිතරම යෙහෝවා දෙවිව අපගේ මතකයේ තබාගන්නවා නම් ඔහු අපේ යාච්ඤාවන්ට පිළිතුරු දෙයි. (ගීතා. 65:2; 66:19) මෙය සත්‍යයක් බව ආබ්‍රහම්ගේ සේවකයෙක් වූ එලියේසර්ගේ සිද්ධියෙන් ඔප්පු වෙනවා. තම පුත් ඊසාක්ට දෙවිට නමස්කාර කරන භාර්යාවක් සොයාගැනීම සඳහා ආබ්‍රහම් ඔහුව මෙසපොතේමියාවට යැව්වා. ඊසාක්ට සුදුසු භාර්යාව සොයාගැනීමට තමාට උපකාර කරන්න කියා එලියේසර් යාච්ඤාවෙන් දෙවිගේ උපකාර පැතුවා. එහි ප්‍රතිඵලයක් හැටියට රෙබෙකා ඔහුගේ ඔටුවන්ට වතුර ඇද දුන් අවස්ථාවේදී ඊසාක්ට සුදුසු භාර්යාව ඇය බව තේරුම්ගන්න දෙවි එලියේසර්ට උපකාර කළා. (උත්. 24:12-14, 67) ඒ හා සමානව අපගේ යාච්ඤාවලටත් දෙවි ඇහුම්කන් දෙන බවට අප තුළ දැඩි විශ්වාසයක් තිබිය යුතුයි.

5. අප කරන කෙටි, නිහඬ යාච්ඤාවලට පවා දෙවි පිළිතුරු දෙන බව පැවසිය හැක්කේ ඇයි?

5 සමහර අවස්ථාවලදී අපට ක්ෂණිකව යාච්ඤා කිරීමට සිදු විය හැකියි. බයිබලයේ සඳහන් එවැනි අවස්ථාවක් සලකා බලන්න. පර්සියානු රජ වූ අර්තක්ෂස්තාගේ කුසලාන දරන්නා වූ නෙහෙමියා වරක් දුක් මුසු මුහුණින් සිටියා. එය දුටු රජ ඔහුගෙන් මෙසේ ඇසුවා. “ඔබට ලෙඩක් නැති කොට ඔබේ මුහුණ දුක් සහිතව තිබෙන්නේ මන්ද?” ඊට පිළිතුරු දීමට කලින් නෙහෙමියා ඉක්මනින්ම ‘ස්වර්ගයෙහි දෙවිට යාච්ඤා කළා.’ ඔහුට එම අවස්ථාවේදී බොහෝ දේ ගැන පවසන්නට නොහැකි වෙන්න ඇති. ඒ වුණත් දෙවි ඔහුගේ යාච්ඤාවලට පිළිතුරු දුන්නා. ඒ කෙසේද? නෙහෙමියා රජගෙන් කළ ඉල්ලීමට අනුව දේවමාලිගාවේ තාප්ප නැවත ගොඩනැඟීම සඳහා රජ සම්පුර්ණ සහයෝගය ලබා දීමෙනුයි. (නෙහෙමියා 2:1-8 කියවන්න.) නිහඬව කරන කෙටි යාච්ඤාවලට පවා දෙවි පිළිතුරු දෙන බව ඉන් පැහැදිලියි.

6, 7. (අ) යාච්ඤාව සම්බන්ධයෙන් එපෆ්‍රස් තැබූ ආදර්ශය කුමක්ද? (ආ) අපද අන් අය වෙනුවෙන් යාච්ඤා කළ යුත්තේ ඇයි?

6 අප ගැන පමණක් නොව “එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න” කියාද බයිබලය අපට උනන්දු කරනවා. නමුත් හැමවිටම ඒවාට ක්ෂණික පිළිතුරු නොලැබෙන්න පුළුවන්. (යාකො. 5:16) එසේ කළ එක් තැනැත්තෙක් වන්නේ “ක්‍රිස්තුස්ගේ විශ්වාසවන්ත දේවසේවකයෙකු” වූ එපෆ්‍රස් නමැත්තායි. ඔහු ඉතා ඕනෑකමින් සෙසු නමස්කාරකයන් උදෙසා යාච්ඤා කළා. පාවුල් ඔහු ගැන මෙසේ පැවසුවා. “ඔබෙන් කෙනෙකු වන [කොලොස්සියේ], ක්‍රිස්තුස් යේසුස්ගේ දාසයෙකු වන එපෆ්‍රස් ඔබට සුබ පතයි. අවසානය පැමිණි විට ඔබ සම්පූර්ණවද දෙවිගේ මුළු කැමැත්ත කෙරෙහි ස්ථිර විශ්වාසයෙන්ද සිටින පිණිස, ඔහු තම යාච්ඤාවලින් ඔබ උදෙසා නිතරම වෙර දරන්නේය. එසේය, ඔහු ඔබ උදෙසාත් ලවොදිසීයේ සිටින අය උදෙසාත් හියරපොලිසෙහි සිටින අය උදෙසාත් බොහෝ සේ වෙහෙසෙන බවට මම ඔහු ගැන සාක්ෂි දරමි.”—කොලො. 1:7; 4:12, 13.

7 ඉහත සඳහන් කොලොස්සිය, ලවොදිසීය හා හියරපොලිසිය සුළු ආසියාවට අයත් නගරයි. හියරපොලිසියේ සිටි ක්‍රිස්තියානීන් ජීවත් වූයේ සිබිලී නමැති දේවතාවියට නමස්කාර කළ මිනිසුන් සිටි ප්‍රදේශයකයි. එමෙන්ම ලවොදිසීයේ ක්‍රිස්තියානීන්ද ජීවත් වූයේ ධනවත් වීමට නිතරම උත්සාහ කරන සමාජයකයි. කොලොස්සියේ සිටි ක්‍රිස්තියානීන්ගේ ඇදහිල්ලටද තර්ජනයක් තිබුණා. ඒ ඔවුන් අවට සිටි ජනයා මිනිස් දර්ශනවාදී අදහස් දැරූ අය වූ නිසයි. (කොලො. 2:8) එපෆ්‍රස් එම නගරවල සිටි ක්‍රිස්තියානීන් වෙනුවෙන් ‘ඉතා උනන්දුවෙන් යාච්ඤා කළේ’ ඇයි කියා දැන් අපට පැහැදිලියි. ඔහුගේ යාච්ඤාවට පිළිතුරු ලැබුණේ කෙසේද කියා බයිබලයේ සඳහන් වී නැහැ. ඒ වුණත් සෙසු නමස්කාරකයන් වෙනුවෙන් ඔහු දිගටම යාච්ඤා කළ බව අපට විශ්වාසයි. අපත් එසේ කළ යුතු නොවේද? අප ‘අනුන්ගේ කාරණාවලට මැදිහත් නොවන’ බව ඇත්තයි. (1 පේතෘ 4:15) නමුත් ඇදහිල්ල නිසා දැඩි පරීක්ෂණයකට මුහුණ දී සිටින කෙනෙකුව අප දන්නවා විය හැකියි. අපගේ පෞද්ගලික යාච්ඤාවේදී ඔහු ගැන දෙවිට යාච්ඤා කිරීම මොන තරම් යහපත් දෙයක්ද! අන් අය තමන් වෙනුවෙන් යාච්ඤා කළ නිසා පාවුල්ද ඉන් මහත් සහනයක් ලැබුවා. ඉන් පැහැදිලි වන්නේ අප අන් අය වෙනුවෙන් කරන යාච්ඤා ඔවුන්ට මහත් උපකාරයක් බවයි.—2 කොරි. 1:10, 11.

8. (අ) එෆීසයේ සිටි වැඩිමහල්ලන් යාච්ඤාව නමැති වරප්‍රසාදය අගය කළ බව පෙනෙන්නේ කුමකින්ද? (ආ) අපත් ඔවුන්ව ආදර්ශයට ගත යුත්තේ ඇයි?

8 අන් අය අපව සලකන්නේ නිතරම යාච්ඤාවෙන් දෙවිගේ උපකාර පතන අය හැටියටද? ඒ සම්බන්ධයෙන් මෙම කදිම ආදර්ශය සලකා බලන්න. පාවුල් එෆීසයේ වැඩිමහල්ලන්ව මුණගැසීමෙන් පසුව ‘ඔහු ඔවුන් සියල්ලන් සමඟ දණ ගසා යාච්ඤා කළා.’ ඉන්පසුව ‘ඔවුන් සියල්ලෝ බොහෝ සේ හැඬූ අතර, පාවුල්ගේ බෙල්ල බදාගෙන ඔහුව ආදරයෙන් සිඹගත්තා. ඊට හේතු වුණේ, මෙතැන් පටන් ඔවුහු ඔහුගේ මුහුණ තවත් නොදකින්නෝයයි ඔහු පැවසූ වදන ගැන ඔවුහු සිත් වේදනාවට පත් වූ’ නිසයි. (ක්‍රියා 20:36-38) එතැන සිටි වැඩිමහල්ලන් සියලුදෙනාගේ නම් අප දන්නේ නැහැ. නමුත් ඔවුන් සියලුදෙනාම යාච්ඤාව නමැති වරප්‍රසාදය අගය කළ පුරුෂයන් බව පැහැදිලියි. අපත් යාච්ඤාව නමැති අනර්ඝ වරප්‍රසාදය අගය කරමු. අපගේ “පක්ෂපාතකමේ දෑත් ඔසවා” කරන එවැනි යාච්ඤාවලට දෙවි පිළිතුරු දෙන බව නිසැකයි.—1 තිමෝ. 2:8.

සම්පූර්ණයෙන්ම කීකරු වන්න

9, 10. (අ) ෂෙලොපෙහාද්ගේ දූවරුන් තැබූ ආදර්ශය කුමක්ද? (ආ) ඔවුන්ගේ ආදර්ශයෙන් තනිකඩ ක්‍රිස්තියානීන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?

9 නිතරම යෙහෝවා දෙවි ගැන සිතමින් කටයුතු කිරීම, ඔහුට කීකරු වීමට අපට උපකාර කරයි. ඉන් අපට බොහෝ ආශීර්වාද ලැබෙයි. (ද්වි. 28:13; 1 සාමු. 15:22) මේ උදාහරණය සලකා බලන්න. මෝසෙස්ගේ කාලයේ සිටි මනස්සේගේ ගෝත්‍රයේ ෂෙලොපෙහාද් නමැති තැනැත්තාට දියණියන් පස්දෙනෙක් සිටියා. එදා නීතියට අනුව පියා සතු දේපළ අයිති වන්නේ ඔහුගේ පුත්‍රයන්ටයි. නමුත් ෂෙලොපෙහාද් මිය යන විට ඔහුට පුත්‍රයන් සිටියේ නැහැ. ඒ නිසා ඔහුට අයිතිව තිබූ සියලුම දේවල් ඔහුගේ දූවරුන් පස්දෙනාට ලබා දෙන්න කියා යෙහෝවා දෙවි මෝසෙස්ට පැවසුවා. නමුත් එක් කොන්දේසියක් මතයි. එනම් ෂෙලොපෙහාද්ගේ උරුමය ඔහුගේ ගෝත්‍රයෙන් පිට නොයෑම සඳහා ඔවුන් ඒ ගෝත්‍රයෙන් විවාහ විය යුතු බවයි.—ගණන්. 27:1-8; 36:6-8.

10 දෙවි කී ලෙසම කළොත් තමන්ට ආශීර්වාද ලැබෙන බව ෂෙලොපෙහාද්ගේ දූවරුන් විශ්වාස කළා. ඒ ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. “ෂෙලොපෙහාද්ගේ දූවරු යෙහෝවා දෙවි මෝසෙස් මාර්ගයෙන් අණ කළ ලෙසම කළෝය. ෂෙලොපෙහාද්ගේ දූවරුන් වූ මාලා, තිර්ෂා, හොග්ලා, මිල්කා සහ නෝවා තමන්ගේ පියාගේ සහෝදරයන්ගේ පුත්‍රයන් සමඟ විවාහ වූහ. ඔවුන්ගේ උරුමය වෙනත් ගෝත්‍රයකට අයිති නොවන පිණිස ෂෙලොපෙහාද්ගේ දූවරු යෝසෙප්ගේ පුත්‍රයා වූ මනස්සේගෙන් පැවත ආ පවුල්වල අය සමඟ විවාහ වූහ.” (ගණන්. 36:10-12NW) එම ස්ත්‍රීන් කළේ යෙහෝවා දෙවි ඔවුන්ට කිරීමට අණ කළ දෙයමයි. (යෝෂු. 17:3, 4) ඒ හා සමානව අද දින සිටින තනිකඩ ක්‍රිස්තියානීන්ද විශ්වාස කරන්නේ ‘ස්වාමීන් තුළ පමණක්’ විවාහ වන්න කියා දෙවි දී ඇති ආඥාවට තමන් සම්පූර්ණයෙන්ම කීකරු වුණොත් ඉන් බොහෝ ආශීර්වාද ලැබෙන බවයි.—1 කොරි. 7:39.

11, 12. තමන් යෙහෝවා දෙවිව විශ්වාස කළ බව කාලෙබ් පෙන්වූයේ කෙසේද?

11 ඊශ්‍රායෙල් ජාතික කාලෙබ්ද අපට කදිම ආදර්ශයක්. ඔහුද දෙවිට සම්පූර්ණයෙන්ම කීකරු වූ පුද්ගලයෙක්. (ද්වි. 1:36) මෙම සිද්ධිය සලකා බලන්න. ක්‍රිස්තු පූර්ව 16වන සියවසේදී ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ වහල්භාවයෙන් ගැලවීම ලැබුවා. ඉන්පසු පොරොන්දු වූ දේශය වන කානාන්හි ඔත්තු බැලීම සඳහා මෝසෙස් 12දෙනෙකුව යැවුවා. නමුත් පොරොන්දු දේශයට ඇතුල් වීමේදී යෙහෝවා දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබන්න කියා සෙනඟට දිරිගැන්වූයේ 12දෙනාගෙන් දෙදෙනෙක් වන යෝෂුවා සහ කාලෙබ් පමණයි. (ගණන්. 14:6-9) ඉන් අවුරුදු 40කට පසුව වුණත් ඔවුන් දෙදෙනා යෙහෝවා දෙවිට සම්පූර්ණයෙන්ම කීකරුව කටයුතු කරමින් සිටියා. පසුව තම සෙනඟව එම දේශය තුළට මඟ පෙන්වීමට දෙවි යෝෂුවාව යොදාගත්තා. නමුත් දෙවි කෙරෙහි විශ්වාසය නොතැබූ ඔත්තුකරුවන් දසදෙනා පෙනෙන ආකාරයට පාළුකරයේ ගත කළ අවුරුදු 40 තුළදීම මිය ගියා.—ගණන්. 14:31-34.

12 කාලෙබ් ගැන කුමක් කිව හැකිද? ඊශ්‍රායෙල් ජාතිය පාළුකරයේ ගත කළ ජීවිතය සම්බන්ධයෙන් බොහෝ අද්දැකීම් ඔහු සතු වුණා. ඔහු අන් අය මෙන් පාළුකරයේදී මිය නොගිය අතර පොරොන්දු දේශයට ඇතුල් වීමේ වරප්‍රසාදය ලැබුවා. එහිදී “මම මුළු හදවතින්ම මගේ දෙවි වන යෙහෝවාව විශ්වාස කළා” කියා යෝෂුවාට පැවසීමට ඔහුට හැකි වුණා. (යෝෂුවා 14:6-9, NW කියවන්න.) පොරොන්දු දේශයේ උරුමයක් ලබා දෙන බවට දෙවි කාලෙබ්ට කලින් පොරොන්දු වී තිබුණා. ඔහුට ලැබීමට නියමිත එම කඳුකර ප්‍රදේශය පවුරුවලින් වට වී තිබූ අතර සතුරන් එහි වාසය කරමින් සිටියා. වයස අවුරුදු 85ක් වූ කාලෙබ්, තමාට දෙවි පොරොන්දු වූ උරුමය ලබා දෙන්න කියා ඉල්ලා සිටියා.—යෝෂු. 14:10-15.

13. ප්‍රශ්න ගැටලු අද්දැක්කත් දෙවිගේ ආශීර්වාද ලබන්න නම් අප කළ යුත්තේ කුමක්ද?

13 දෙවිට සම්පූර්ණයෙන්ම කීකරු වී ‘මුළු හදවතින්ම ඔහුව විශ්වාස කරනවා’ නම් අපත් දෙවිගේ ආශීර්වාද ලබනවා ස්ථිරයි. අප මුහුණ දෙන විශාල ප්‍රශ්න ගැටලු හමුවේ පවා එසේ කරනවා නම් දෙවිගේ උපකාර ලබන්න අපට හැකියි. නමුත් කාලෙබ් මෙන් මුළු ජීවිත කාලය පුරාම එසේ කිරීම අභියෝගයක් විය හැකියි. උදාහරණයකට සලමොන් රජ ගැන සිතන්න. ඔහු රජකමට පැමිණි මුල් කාලයේදී නම් දෙවිව මුළු හදවතින්ම විශ්වාස කළා. නමුත් කල් යද්දී ඔහුගේ භාර්යාවන් බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීම සඳහා ඔහුව නම්මවාගත්තා. ඒ ගැන බයිබලයේ පවසන්නේ “ඔහු තම පියා වූ දාවිත් මෙන් යෙහෝවා දෙවිට පූර්ණ හදවතකින් නමස්කාර කළේ නැත” කියායි. (1 රාජා. 11:4-6NW) එමනිසා අප කුමන පරීක්ෂාවකට මුහුණ දුන්නත් කාලෙබ් මෙන් දෙවිට සම්පූර්ණයෙන්ම කීකරු වීමටත් නිතරම ඔහුව මතකයේ තබාගනිමින් කටයුතු කිරීමටත් දැඩි උත්සාහයක් දරමු.

සෑමවිටම දෙවිව විශ්වාස කරන්න

14, 15. දෙවි කෙරෙහි විශ්වාසය තැබීම සම්බන්ධයෙන් නායොමිගේ ආදර්ශයෙන් ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

14 බලාපොරොත්තු සුන් වී ඇතැයි කියා හැඟෙන අවස්ථාවලදී පවා දෙවි කෙරෙහි විශ්වාසය තැබීම අත්‍යවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් නායොමිගේ ආදර්ශය සලකා බලන්න. ඇගේ පුරුෂයා මෙන්ම පුත්‍රයන් දෙදෙනාද මිය ගොස් තිබුණා. එමනිසා ඇය මෝවබ්හි සිට නැවත යූදාට පැමිණි පසු මෙසේ වැලපුණා. “මට නායොමි කියලා කියන්න එපා. සියලු බලැති දෙවි මාව අත්හැරලා. මගේ ජීවිතේ දැන් මට තිත්ත වෙලා. ඒ හින්දා මට මාරා කියලා කතා කරන්න. මෙහෙන් පිට වී යන කොට මට හැම දෙයක්ම තිබුණා. ඒත් යෙහෝවා දෙවි අද මාව මෙතැනට ගෙනාවේ හිස් අතින්. යෙහෝවා දෙවි මාව අවමානයට ලක් කළා. සියලු බලැති දෙවි මා පිටට දුක් කරදර ගෙනාවා. ඉතින් මට තවදුරටත් නායොමි කියලා කතා කරන්න එපා.”—රූත් 1:20, 21NW.

15 ඇය දැඩි කලකිරීමකට පත් වී සිටියත් දෙවි කෙරෙහි වූ ඇගේ විශ්වාසය අඩු වුණේ නැහැ. පසුව ඇගේ දුක්මුසු ස්වභාවය මහත් ප්‍රීතියකට හැරුණේ ඇයවත් නොසිතූ ලෙසයි. මහලු නායොමිගේ වැන්දඹු ලේලිය වන රූත් බෝවාස් සමඟ විවාහ වූ අතර ඔවුන්ට පුත්‍රයෙකු ලැබුණා. එමෙන්ම ඒ කුඩා දරුවාව ආදරයෙන් රැකබලා ගත්තේ නායොමියි. ඒ ගැන බයිබල් වාර්තාවේ සඳහන් වන්නේ මෙසේයි. “අසල්වැසි කාන්තාවෝ, ‘නායොමිට පුතෙක් බිහි වෙලා’ යයි කියමින් ඔහුට ඕබෙද් යන නම දුන්හ. ඕබෙද් යෙස්සේගේ පියාය. යෙස්සේ දාවිත්ගේ පියාය.” (රූත් 4:14-17NW) ඉදිරියේදී නායොමි නැවත නැඟිටින විට ඇයට රූත්වද මුණගැසෙයි. යේසුස්ගේ මිත්තනියක් වීමේ වරප්‍රසාදය තමන්ට ලැබුණු බව රූත් නායොමිට පවසද්දී ඇය මොන තරම් ප්‍රීති වෙයිද! (මතෙ. 1:5, 6, 16) නායොමි හා සමානව අප සිටින තත්වයත් කෙසේ වෙනස් වෙයිද කියා අප දන්නේ නැහැ. ඒ නිසා අපි සෑමවිටම හිතෝපදේශ 3:5, 6 [NW] පවසන ලෙස දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තබමු. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු සිතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. දිවිමඟේ ඔබ තබන සෑම පියවරකදීම ඔහුව සිහි කරන්න. එවිට ඔහු යා යුතු නිසි මඟ පෙන්වා ඔබේ දිවිය සාර්ථක කරනු ඇත.”

දෙවිගේ බලයේ උපකාර පතන්න

16. ඊශ්‍රායෙල්හි සිටි තෝරාගත් පුරුෂයන්ට දෙවි තම බලය මගින් උපකාර කළේ කෙසේද?

16 අප නිතරම යෙහෝවා දෙවිව මතකයේ තබාගනිමින් කටයුතු කරනවා නම් ඔහු තම බලයෙන් අපට මඟ පෙන්වයි. (ගලා. 5:16-18) එය සැබෑවක් බව තවත් සිද්ධියකින් පැහැදිලි වෙනවා. ඊශ්‍රායෙල් “සෙනඟ බලාගැනීමේ වගකීම ඉසිලීම” සඳහා මෝසෙස්ට උපකාර කිරීමට වැඩිමහල්ලන් 70දෙනෙකුව තෝරාගත්තා. දෙවි ඒ සියලුදෙනාටම තම බලයෙන් මඟ පෙන්වීම ලබා දුන්නා. බයිබලයේ නම් වශයෙන් සඳහන් කර තිබෙන්නේ ඔවුන්ගෙන් දෙදෙනෙකුව පමණයි. ඒ එල්දාද් සහ මේදාද් යන දෙදෙනායි. නමුත් සෙසු අයටත් ඔවුන්ගේ පැවරුම සාර්ථකව ඉටු කිරීම සඳහා දෙවි තම බලය ලබා දුන්නා. (ගණන්. 11:13-29NW) මෙම පුරුෂයන් මෝසෙස් මීට පෙර තෝරාගත් අය මෙන් ඉතා දක්ෂ, දේවගරුබිය ඇති, විශ්වාසය තැබිය හැකි මෙන්ම අවංක අය වූ බවට කිසිම සැකයක් නැහැ. (නික්. 18:21) අද දින සිටින ක්‍රිස්තියානි වැඩිමහල්ලන් තුළද එවැනි ගුණාංග දකින්න තිබෙනවා.

17. සම්මුඛ වීමේ කූඩාරම සාදන විට දෙවි තම බලයේ උපකාරය ලබා දුන්නේ කෙසේද?

17 පාළුකරයේදී සම්මුඛ වීමේ කූඩාරම සාදන විට දෙවිගේ බලයේ මඟ පෙන්වීම උපකාරවත් වූ ආකාරය බලන්න. මෙම විශේෂ කාර්යයේ ප්‍රධාන නිර්මාණ ශිල්පියා හැටියට යෙහෝවා දෙවි බෙසලෙල්ව පත් කළ අතර “ඔහුට ප්‍රඥාව, දැනුම හා තේරුම්ගැනීමේ හැකියාව ලැබෙන පිණිසත් සියලු ශිල්ප කර්මාන්තවල ඉතා දක්ෂ ලෙස යෙදීමට හැකි වන පිණිසත් මම මගේ බලය ඔහුට නොඅඩුව දෙන්නෙමි” කියාද පොරොන්දු වුණා. (නික්. 31:3-5NW) මෙම විශේෂිත කාර්යයේ හවුල් වීමට “දක්ෂ” මිනිසුන්වත් බෙසලෙල්ට සහය වීමට ඔහොලියාබ්වත් පත් කළා. ඒ විතරක් නොව එම ගොඩනැඟීම සඳහා සම්මාදම් කිරීමට සතුටු සිත් ඇති සියල්ලන්වත් දෙවි තම බලය මාර්ගයෙන් පෙලඹෙව්වා. (නික්. 31:6; 35:5, 30-34NW) අද දිනත් දේවරාජ්‍යයේ වැඩකටයුතුවලට මුල් තැන දීම සඳහා තමන්ට හැකි සියල්ල කිරීමට දෙවි තම සේවකයන්ව ඔහුගේ බලය මාර්ගයෙන් පොලඹවනවා. (මතෙ. 6:33) අපටත් යම් යම් දක්ෂතාවන් තිබෙනවා විය හැකියි. නමුත් ඒවා දෙවි අපට දී තිබෙන කාර්යය සඳහා යොදාගැනීමට නම් දෙවිගේ බලයෙන් අපට මඟ පෙන්වන්න කියා ඉල්ලීම අවශ්‍යයි.—ලූක් 11:13.

සෑමවිටම දෙවි කෙරෙහි භක්තියක් ඇතිව සිටින්න

18, 19. (අ) දෙවිගේ බලය අපට උපකාර කරන්නේ ඔහු කෙරෙහි කුමන ආකල්පයක් ඇති කරගැනීමටද? (ආ) ආනා සහ සිමියොන්ගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

18 දෙවි කෙරෙහි ගැඹුරු භක්තියක් හා ගෞරවයක් අප තුළ ඇති කිරීමට දෙවිගේ බලයට හැකියි. එමගින් දෙවිව නිතරම අපගේ මතකයේ තබාගැනීමට අපට හැකි කරවයි. පුරාණයේ සිටි දෙවිගේ ජනයාට මෙවැනි දෙයක් පවසා තිබුණා. “ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි ශුද්ධ බව මතක තබාගන්න.” (යෙසා. 8:13NW) ශුද්ධ තැනැත්තා හැටියට දෙවිට මහත් ගෞරවයක් හා භක්තියක් පෙන්වූ දෙදෙනෙක් වන්නේ මුල් සියවසේ ජීවත් වූ සිමියොන් සහ ආනායි. (ලූක් 2:25-38 කියවන්න.) ගැලවුම්කරු පිළිබඳ අනාවැකි විශ්වාස කළ සිමියොන් “ඊශ්‍රායෙලයට සැනසිල්ල ලැබෙන තෙක් බලා” සිටියා. ඒ නිසා ඔහු මිය යන්න පෙර ගැලවුම්කරුව දකින බව දෙවි තම බලය මාර්ගයෙන් ඔහුට පොරොන්දු වී තිබුණා. එය එලෙසම සිදු වුණා. ක්‍රිස්තු පූර්ව දෙකේ, එක් දිනක කුඩා යේසුස්ව මරියා සහ යෝසෙප් දේවමාලිගාවට ගෙනාවා. එවිට දෙවිගේ බලයෙන් පූර්ණ වූ සිමියොන් යේසුස් සම්බන්ධයෙන් අනාවැකියක් පැවසූ අතර යේසුස් වධකණුවක් මත මිය යන විට මරියාට දැනෙන මහත් ශෝකය ගැනද ඔහු පැවසුවා. නමුත් බිලිඳු යේසුස්ව තම දෑතට ගත් අවස්ථාවේදී ඔහුට මොන තරම් සන්තෝෂයක් දැනෙන්න ඇද්ද! දෙවි කෙරෙහි ගෞරවාන්විත සහ භක්තිමත් ආකල්පයක් පෙන්වීම සම්බන්ධයෙන් සිමියොන් අපට කදිම ආදර්ශයක්.

19 භක්තිමත් ස්ත්‍රියක් වූ ආනා ‘කිසිවිටක දේවමාලිගාවේ සිටීම අතපසු කළේ නැහැ.’ එමෙන්ම ඇය දිවා රෑ දෙකෙහිම “නිරාහාරව සිට කන්නලව් කරමින්” දෙවිට පරිශුද්ධ සේවය පිරිනැමුවා. බිලිඳු යේසුස්ව දේවමාලිගාවට රැගෙන එන විට ඇයද එහි සිටියා. තමන්ගේ අනාගත ගැලවුම්කරුව දැකගැනීමට ලැබීම ගැන ඇය මොන තරම් සතුටු වුණාද! ඉන් මහත් ප්‍රීතියට පත් වූ ඇය “දෙවිට ස්තුති කිරීමටත්, යෙරුසලමේ මිදීම ගැන බලා සිටි සියල්ලන්ට ඒ දරුවා ගැන කතා කිරීමටත් පටන්ගත්තා.” මෙම ශුභාරංචිය අන් අයට පවසන තෙක් ඇයට ඉවසිල්ලක් තිබුණේ නැහැ. ආනා සහ සිමියොන් හා සමාන මහලු ක්‍රිස්තියානීන් අද දිනත් සිටිනවා. දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට සේවය කිරීමට හැකිවීම ගැන ඔවුන් සිටින්නේ මහත් සතුටිනුයි.

20. අපගේ වයස් මට්ටම කුමක් වුවත් අප කළ යුත්තේ කුමක්ද? ඒ ඇයි?

20 අප කුමන වයස් මට්ටමක පසු වුණත් සෑමවිටම දෙවිව අපගේ මතකයේ තබාගැනීම අවශ්‍යයි. එවිට ඔහුගේ රාජ්‍යය ගැන මෙන්ම ඔහුගේ පුදුමාකාර ක්‍රියා ගැන අන් අයට පැවසීමට අප දරන වෑයමට දෙවි ආශීර්වාද කරනවා ස්ථිරයි. (ගීතා. 71:17, 18; 145:10-13) එමෙන්ම දෙවිව ගෞරවයට පත් කිරීමට නම් අප නිතරම ඔහුව සතුටට පත් කරන ගුණාංග විදහාපෙන්විය යුතුයි. එවැනි ගුණාංග විදහාපෙන්වූ අය ගැන ඇති බයිබල් වාර්තාවලින් අපට තවත් ඉගෙනගත හැක්කේ මොනවාද?

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• යෙහෝවා දෙවි යාච්ඤා අසන බව අප දන්නේ කෙසේද?

• අප දෙවිට සම්පූර්ණයෙන්ම කීකරු විය යුත්තේ ඇයි?

• අප ඉතා දුක්ඛිත තත්වයන් අද්දකින විටදී පවා දෙවි කෙරෙහි විශ්වාසය තැබිය යුත්තේ ඇයි?

• දෙවි තම සෙනඟට ඔහුගේ බලයේ උපකාර ලබා දෙන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[4වන පිටුවේ පින්තූරය]

නෙහෙමියා යෙහෝවා දෙවිට කළ යාච්ඤාවට පිළිතුරු ලැබුණා

[5වන පිටුවේ පින්තූරය]

නායොමි ලැබූ ආශීර්වාද ගැන කල්පනා කිරීම, දෙවි කෙරෙහි විශ්වාසය තැබීමට අපව පොලඹවයි