Skip to content

පටුනට යන්න

යේසුස් පැමිණ සිටින කාලයේ වැදගත්කම ඔබ වටහාගෙන තිබෙනවාද?

යේසුස් පැමිණ සිටින කාලයේ වැදගත්කම ඔබ වටහාගෙන තිබෙනවාද?

යේසුස් පැමිණ සිටින කාලයේ වැදගත්කම ඔබ වටහාගෙන තිබෙනවාද?

‘ඔබේ පැමිණ සිටීමටද සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයටද ලකුණ කුමක්ද?’—මතෙ. 24:3.

1. යේසුස්ගෙන් ගෝලයන් ඇසූ වැදගත් ප්‍රශ්නය කුමක්ද?

මීට අවුරුදු දෙදහකට පමණ පෙර යේසුස්ගේ ගෝලයන් සතරදෙනෙක් ඔලීව කන්දේදී ඔහු ළඟට තනිව ඇවිත් වැදගත් ප්‍රශ්නයක් ඇසුවා. එය නම් “ඔබේ පැමිණ සිටීමටද සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයටද ලකුණ කුමක්ද” යන්නයි. (මතෙ. 24:3) එහි ඉතා වැදගත් යෙදුම් දෙකක් අඩංගු වෙනවා. පළමුවැන්න නම් ‘සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයයි.’ දෙවැන්න නම් “පැමිණ සිටීම” හෙවත් යේසුස් පැමිණ සිටින කාලයයි. මේ යෙදුම් දෙකෙන් අදහස් කරන්නේ කුමක්ද කියා දැන් අපි සලකා බලමු.

2. “අවසාන කාල පරිච්ඡේදය” යන්නෙහි තේරුම කුමක්ද?

2 අපි මුලින්ම “අවසාන කාල පරිච්ඡේදය” (ග්‍රීක සින්ටෙලෙයියා) යන යෙදුම සලකා බලමු. යමක අවසාන කාල පරිච්ඡේදය කියන්නේ එහි අවසානයට නොවන බව මතක තබාගන්න. යමක ‘අවසානය’ විස්තර කිරීමට ග්‍රීක භාෂාවෙන් යොදාගෙන ඇත්තේ වෙනත් වචනයක් (ටෙලොස්). මේ යෙදුම් දෙකෙහි වෙනස වටහාගැනීමට සහෝදරයෙක් ඉදිරිපත් කරන කතාවක් ගැන සිතා බලන්න. ඔහු තම කතාව තුළ සාකච්ඡා කළ කරුණු සාරංශ කර ඒවා සභාවට අදාළ වන ආකාරය පෙන්වා දෙන්නේ කතාවේ ‘අවසාන කොටසේදීයි.’ නමුත් කතාව ‘අවසානයි’ කියා පවසන්නේ ඔහු කතාව නිම කර වේදිකාවෙන් බැස යන විටයි. ඒ අනුව කතාවක් ‘අවසන්’ වෙන්නේ එහි ‘අවසාන කොටස’ ඉදිරිපත් කළාට පසුව බව අපට පැහැදිලියි. ඒ හා සමානව, මේ දුෂ්ට සමාජයටත් ‘අවසානයක්’ තිබෙනවා. ඒ අවසානයට පෙර තිබෙන කාල පරිච්ඡේදය හඳුන්වන්නේ “අවසාන කාල පරිච්ඡේදය” හැටියටයි.

3. යේසුස් පැමිණ සිටින කාලය තුළ සිදු වන සමහර දේවල් මොනවාද?

3 දැන් අපි “පැමිණ සිටීම” හෙවත් යේසුස් පැමිණ සිටින කාලය (ග්‍රීක පරූසියා) යන යෙදුමෙහි තේරුම සලකා බලමු. යේසුස් පැමිණ සිටින කාලය ආරම්භ වුණේ 1914දී ඔහු රජ බවට පත්වීමත් සමඟයි. එතැන් සිට “මහත් පීඩාව” තුළදී දුෂ්ටයන්ව විනාශ කිරීම දක්වා එම කාලය දිවයනවා. (මතෙ. 24:21) මේ කාලය අතරතුර ඉතිරි වූ අභිෂේක ලත් අයව එක්රැස් කිරීම දිගටම සිදු වන අතර ඔවුන්ට ස්වර්ගික ත්‍යාගය ලැබීමද සිදු වෙනවා. එමෙන්ම බයිබලයේ “අන්තිම දවස්” ලෙස හඳුන්වන කාල පරිච්ඡේදයද මීට ඇතුළත්. (2 තිමෝ. 3:1; 1 කොරි. 15:23; 1 තෙස. 4:15-17; 2 තෙස. 2:1) මේ අනුව දුෂ්ට සමාජයේ “අවසාන කාල පරිච්ඡේදය” (සින්ටෙලෙයියා) ලෙසත් ‘යේසුස් පැමිණ සිටින කාලය’ (පරූසියා) ලෙසත් දෙවිදිහකින් හඳුන්වා තිබෙන්නේ එකම කාල වකවානුවක් බව පැහැදිලියි.

කොතරම් කාලයක්ද?

4. යේසුස් පැමිණ සිටින කාලය කෙටි කාලයක් නොවන බව නෝවාගේ දවස් ගැන යේසුස් කී දෙයින් පැහැදිලි වන්නේ කෙසේද?

4 යේසුස් පැමිණ සිටින කාලය අවුරුද්දක් දෙකක් වැනි කෙටි කාලයක් නොවන බව යේසුස් නෝවාගේ කාලය ගැන කී දෙයින් පැහැදිලි වෙනවා. (මතෙව් 24:37-39 කියවන්න.) එහිදී යේසුස් තමන් පැමිණ සිටින කාලය නෝවාගේ දවස්වලට සමාන කළා. මෙහි නෝවාගේ දවස් කීමෙන් යේසුස් අදහස් කළේ ජලගැල්ම සිදු වූ සති කිහිපය ගැන පමණක් නොවන බව මතක තබාගන්න. ඊට නැව සෑදීම, දේශනා කිරීම ඇතුළු ජලගැල්ම පැමිණීම දක්වා දිවගිය මුළු කාල පරිච්ඡේදයම ඇතුළත් වුණා. ඒ දේවල් දශක ගණනාවක් පුරාම සිදු වුණා. ඒ හා සමානව, යේසුස් පැමිණ සිටින කාලයද කෙටි කාලයක් නොවන බව මින් පැහැදිලියි. ඊට 1914 සිට මහත් පීඩාව අවසානයේදී දුෂ්ටයන් විනාශ වන අවස්ථාව දක්වා සිදු වන සියලුම සිද්ධීන් ඇතුළත්.—2 තෙස. 1:6-9.

5. යේසුස් පැමිණ සිටින කාලය ගැන එළිදරව් හයවන පරිච්ඡේදයෙන් පැහැදිලි වන්නේ කුමක්ද?

5 යේසුස් පැමිණ සිටින එම කාලය කෙටි කාලයක් නොවන බව බයිබලයේ සඳහන් වෙනත් අනාවැකිවලින්ද පැහැදිලි වෙනවා. උදාහරණයකට සුදු අශ්වයෙක් පිට නැඟුණු යේසුස්ගේ රාජකීය ගමන පිළිබඳව එළිදරව් පොතේ සඳහන් දර්ශනය ඔබට මතකද? (එළිදරව් 6:1-8 කියවන්න.) යේසුස් 1914දී රජ වීමත් සමඟම ‘ජය ගනිමින් ගොස් සම්පූර්ණ ජයග්‍රහණයක් ලබන’ බව එහි පවසනවා. ඔහුට පිටුපසින් යුද්ධ, ආහාර හිඟකම් හා සාගත සංකේතවත් කරන තවත් අශ්වයන් තිදෙනෙක්ද ගමන් කරනවා. මේ සියල්ලම සිදුවීමට යම් කාලයක් ගත වන බව පැහැදිලියි. එම කාලය හඳුන්වන්නේ “අන්තිම දවස්” ලෙසයි. අද අප ජීවත් වන්නේ එම කාලයේයි.

6. යේසුස් පැමිණ සිටින කාලය ගැන එළිදරව් 12වන පරිච්ඡේදයෙන් පැහැදිලි වන්නේ කුමක්ද?

6 ඊළඟට එළිදරව් 12වන පරිච්ඡේදයේ සඳහන් අනාවැකිය සලකා බලන්න. යේසුස් ස්වර්ගයෙහි රජ වූ පසු යම් කාලයක් පුරා පවතින සිදුවීම් කිහිපයක් ගැන එහි සඳහන් කරනවා. මුලින්ම, ස්වර්ගයේ යුද්ධයක් සිදු වෙනවා. ඊළඟට යක්ෂයාව හා භූතයන්ව පොළොවට හෙළනවා. ඉන්පසු පොළොවේ වැසියන්ට යම් කාලයක් පුරා ‘දුක්’ විඳින්න සිදු වෙනවා. ඊට හේතුව යක්ෂයා “තමාට ඇත්තේ කෙටි කාල පරිච්ඡේදයක් බව දැන” මහත් කෝපයකින් කටයුතු කරන නිසයි. (එළිදරව් 12:7-12 කියවන්න.) මෙම සිදුවීම්වලටද යම් කාලයක් ගත වන බව පැහැදිලියි.

7. යේසුස් පැමිණ සිටින කාලය ගැන ගීතාවලිය දෙවන පරිච්ඡේදයෙන් පැහැදිලි වන්නේ කුමක්ද?

7 යේසුස් ස්වර්ගයේ රජ වීම ගැන ගීතාවලියේ දෙවන පරිච්ඡේදයේ සඳහන් අනාවැකිය ඊට තවත් සාක්ෂියක්. (ගීතාවලිය 2:5-9; 110:1, 2 කියවන්න.) පොළොවේ පාලකයන්ටත් එහි වැසියන්ටත් දේවපාලනයට යටත් වීමට අවස්ථාවක් දී තිබෙන බව එහි සඳහන් කරනවා. එමෙන්ම ‘තීක්ෂ්ණ බුද්ධිය’ පාවිච්චි කර තමන්ගේ ජීවිත වෙනස් කරගන්න කියාද එහි උපදෙස් දී තිබෙනවා. එම කාලය තුළදී යෙහෝවා “දෙවිගේ රැකවරණය සොයා” දෙවිටත් යේසුස්ටත් සේවය කරන “සියල්ලෝ සන්තෝෂවත්” බවද එහි සඳහන් කරනවා. ඒ අනුව දේවරාජ්‍යයේ යටත්වැසියන් වීම සඳහා දෙවිගේ අනුමැතිය ලබාගැනීමට යම් කාලයක් ගත වන බව පැහැදිලියි.—ගීතා. 2:10-12, නව ලොව පරිවර්තනය, NW.

එම කාලය හඳුනාගන්නේ කවුද?

8, 9. යේසුස් පැමිණ සිටින කාලය හඳුනාගන්නේ කවුද? එය අප දන්නේ කෙසේද?

8 යේසුස් පැමිණ සිටින එම කාලය හඳුනාගන්නේ කවුද? පරිසිවරුන් ඇසූ ප්‍රශ්නයකට යේසුස් දුන් පිළිතුරෙන් ඒ ගැන අපට යමක් වටහාගන්න පුළුවන්. ඔවුන් යේසුස්ගෙන් ඇසුවේ දේවරාජ්‍යය පැමිණෙන්නේ කවදාද කියායි. ඊට පිළිතුරු දෙමින් යේසුස් පැවසුවේ ඔවුන්ට එය “පැහැදිලි ලෙස දැකගත” නොහැකි බවයි. (ලූක් 17:20, 21) ඉන් පැහැදිලි වන්නේ යේසුස් කෙරෙහි ඇදහිල්ලක් නැති අයට එය තේරුම්ගැනීමට නොහැකි බවයි. එසේනම් එය හඳුනාගන්නේ කවුද?

9 එම කාලය පැහැදිලිව හඳුනාගන්නේ තම ගෝලයන් බව යේසුස් පැවසුවා. “විදුලි කෙටීමකින් ඇති වන ආලෝකය” පැහැදිලිව පෙනෙනවා හා සමානව ඔවුන්ටත් එම කාලය පැහැදිලිව හඳුනාගත හැකි බව එහිදී ඔහු පැවසුවා. (ලූක් 17:24-29 කියවන්න.) පරිසිවරුන්ට පැවසුවා හා සමාන දෙයක් යේසුස් තම ගෝලයන්ටද පැවසුවා. ඒ, තමන් පැමිණ සිටින කාලය ගැන ඔවුන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන විටදීයි. ඉන් තහවුරු වෙන්නේ එම කාලය යේසුස්ගේ ගෝලයන්ට පමණක් හඳුනාගත හැකි වන බවයි.—මතෙ. 24:23-27.

කාලය හඳුනාගන්නා පරම්පරාව” කවුද?

10, 11. (අ) මතෙව් 24:34හි සඳහන් පරම්පරාව ගැන කලින් සඳහන් කර තිබුණේ කුමක්ද? (ආ) යේසුස්ගේ ගෝලයන් පැහැදිලිවම තේරුම්ගත්තේ ඒ පරම්පරාවට ඇතුළත් වන්නේ කවුරුන් කියාද?

10 යේසුස් තමන් පැමිණ සිටින කාලය හඳුනාගන්නේ කවුද කියා පැවසූ අවස්ථාවේදී ඔහු යම් ‘පරම්පරාවක්’ ගැනත් කතා කළා. (මතෙ. 24:34) යේසුස් බොහෝ අවස්ථාවලදී “පරම්පරාව” යන වචනය භාවිත කළේ “දුෂ්ට” මිනිසුන්ව විස්තර කිරීමටයි. (මතෙ. 12:39; 17:17; මාක් 8:38) ඒ නිසා මීට අවුරුදු කිහිපයකට කලින් මුරටැඹ සඟරාවේ “මේ පරම්පරාව” විස්තර කර තිබුණේ එදා සිටි දුෂ්ට යුදෙව්වන් ලෙසයි. * නවීන දින මේ පරම්පරාව යන්නෙන් අදහස් වන්නේ දැන් ජීවත් වන දුෂ්ට මිනිසුන් වන බව එහි සඳහන් කර තිබුණා. අද පවතින දුෂ්ට සමාජයේ ‘අවසාන කාල පරිච්ඡේදයේ’ (සින්ටෙලෙයියා) සිදුවීම් හා එහි අවසානය (ටෙලොස්) අද්දකින්නේ ඔවුන් බවත් එහි සඳහන් කළා.

11 පරම්පරාව යන වචනය යේසුස් බොහෝවිට භාවිත කළේ ඔහු පොළොවේ ජීවත් වූ කාලයේ සිටි දුෂ්ට මිනිසුන්ව ඇමතීමට හා ඔවුන් ගැන සඳහන් කරන විට බව ඇත්තයි. නමුත් මතෙව් 24:34හි යේසුස් “මේ පරම්පරාව” යන යෙදුම භාවිත කළේ එම දුෂ්ට මිනිසුන්ව විස්තර කිරීම සඳහාමද? එහි අවට පාඨ සම්බන්ධය සලකා බැලීමෙන් ඊට පිළිතුරක් ලබාගත හැකියි. යේසුස්ගේ ගෝලයන් සතරදෙනා ඔහු ළඟට පැමිණියේ සෙසු ජනයා සමඟ නොව “තනිව” බව ඔබට මතක ඇති. (මතෙ. 24:3) ඒ නිසා යේසුස් මේ දේවල් පැවසුවේ ඔවුන්ට පමණයි. මීට අමතරව යේසුස් ඒ අවස්ථාවේදී පරම්පරාව යන වචනය සමඟ ‘දුෂ්ට හෝ නොමඟ ගිය’ වැනි යෙදුමක් භාවිත කළේ නැහැ. ඉන් පැහැදිලි වන්නේ ඔහු කතා කරමින් සිටියේ එවකට සිටි දුෂ්ට ජනයා ගැන නොව තම ගෝලයන් ගැන බවයි. එමනිසා “මේ සියල්ල සිදු වන තුරු” පහව නොයන ‘පරම්පරාවට’ දුෂ්ට මිනිසුන් නොව තමන් ඇතුළු සෙසු ගෝලයන් අයත් බව එම ගෝලයන් සතරදෙනා තේරුම්ගත්තාට කිසිම සැකයක් නැහැ.

12. යේසුස් පරම්පරාව යන වචනය භාවිත කළේ කාටද කියා දැනගැනීමට අවට පාඨ සම්බන්ධය උපකාර වන්නේ කෙසේද?

12 අප එසේ පවසන්නේ ඇයි? දැන් අපි එහි අවට පාඨ සම්බන්ධය ගැන තවදුරටත් සලකා බලමු. යේසුස් මතෙව් 24:32, 33 පැවසුවේ මෙසේයි. “දැන් අත්තික්කා ගස නිදසුනක් ලෙස ගෙන මේ කරුණ ඉගෙනගන්න. එහි අලුතින් වැඩුණු අත්ත මෘදු වී දළු ලියලන කල, ගිම්හානය ළඟ බව ඔබ දන්නහුය. එලෙසම ඔබත් මේ සියල්ල දකින විට, ඔහු දොරකඩ අසලම බව දැනගන්න.” (මාක් 13:28-30; ලූක් 21:30-32 බලන්න.) ඉන්පසු මතෙව් 24:34හි පවසන්නේ “සැබවින්ම මම ඔබට කියමි, මේ සියල්ල සිදු වන තුරු මේ පරම්පරාව කිසිසේත් පහව නොයන්නේය” කියායි.

13, 14. යේසුස් කතා කළ ‘පරම්පරාවට’ තම ගෝලයන් අයත් බව පැවසිය හැක්කේ ඇයි?

13 මතෙව් 24:33හි සඳහන් “ඔබත් මේ සියල්ල” දකිනවා කීමෙන් අදහස් කළේ දෙවිගේ උපකාරය ඇතුව යම් නිගමනවලට පැමිණෙන්නේ ඔහුගේ ගෝලයන් බවයි. එසේනම් 34වන වගන්තියේ සඳහන් ‘මේ සියල්ල සිදු වන තුරු පහව නොයන පරම්පරාවට’ අයත් විය යුත්තේ යේසුස්ගේ ගෝලයන් විය යුතුයි.

14 යේසුස් පැමිණ සිටින කාලය හඳුනාගැනීමට ඔහු දුන් ලකුණ ඔහුගේ ගෝලයන් දකිනවා පමණක් නොව එහි නියම අර්ථයත් ඔවුන් අවබෝධ කරගන්නවා. එමෙන්ම “ඔහු දොරකඩ අසලම බව” ඔවුන් පැහැදිලිවම අවබෝධ කරගන්නවා. නමුත් දෙවි කෙරෙහි ඇදහිල්ලක් නැති අයට මේ කිසිවක් තේරුම්ගන්න බැහැ. යේසුස් කී දෙය ඉටු වූ ආකාරය මුල් සියවසේ සිටි ඇදහිලිවන්ත අභිෂේක ලත් අනුගාමිකයන් මෙන්ම නොඇදහිලිකාර යුදෙව්වන්ද යම් ප්‍රමාණයකට අද්දැක්කා. නමුත් ඔවුන් අද්දුටු දේවල අර්ථය නියම ආකාරයට වටහාගැනීමට හැකි වූයේ යේසුස්ගේ අභිෂේක ලත් අනුගාමිකයන්ට පමණයි.

15. (අ) නවීන දින ඉටුවීමේදී ‘මේ සියල්ල සිදු වන තුරු පහව නොයන’ එම “පරම්පරාව” කවුද? (ආ) මේ පරම්පරාව කොතරම් කාලයක් පවතිනවාද කියා අපට නිශ්චිතවම පැවසිය නොහැක්කේ මන්ද? (25වන පිටුවේ ඇති කොටුව බලන්න.)

15 දෙවි හෙළි කර ඇති සත්‍යය ගැන අවබෝධයක් නැති අයට යේසුස් පැමිණ සිටින කාලය පිළිබඳ ලකුණ “පැහැදිලි ලෙස දැකගත” නොහැකියි. ඔවුන් සිතන්නේ සෑම දෙයක්ම අතීතයේදී සිදු වූ ලෙසම දැනුත් සිදු වෙනවා කියායි. (2 පේතෘ. 3:4) නමුත් අද පොළොව මත සිටින යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන් එනම් යොහන් පංතිය එම ලකුණ විදුලි කෙටීමකදී ඇති වන ආලෝකය මෙන් ඉතා පැහැදිලි ලෙස හඳුනාගෙන ඇති අතර එහි නියම අර්ථයද තේරුම්ගෙන තිබෙනවා. එමනිසා නවීන දින ඉටුවීමේදී ‘මේ සියල්ල සිදු වන තුරු පහව නොයන’ එම “පරම්පරාව” වන්නේ දැනට පොළොව මත සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානිනුයි. * මින් අප තේරුම්ගන්නේ මහත් පීඩාව පටන්ගන්නා විට යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන්ගෙන් සමහරදෙනෙක් මේ පොළොව මත සිටිනු ඇති බවයි.

“සෝදිසියෙන් සිටින්න”

16. යේසුස්ගේ සියලුම අනුගාමිකයන් කුමක් කළ යුතුද?

16 ඇත්තෙන්ම යේසුස් පැමිණ සිටින කාලය හඳුනාගැනීමට වඩා දෙයක් අප විසින් කළ යුතුයි. ඒ ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “මම ඔබට කියන දේ සියලුදෙනාටම කියමි, සෝදිසියෙන් සිටින්න.” (මාක් 13:37) අප අභිෂේක ලත් කෙනෙක් වුණත් මහත් සමූහයට අයත් කෙනෙක් වුණත් යේසුස් කී දෙය අප බැරෑරුම්ව සැලකිය යුතුයි. දෙවි විසින් යේසුස්ව ස්වර්ගයේ රජ බවට පත් කළ 1914 සිට මේ දක්වා අවුරුදු 90කටත් වඩා වැඩි කාලයක් ගෙවී ගොස් තිබෙනවා. එමනිසා මේ කාලයේදී කුමන බාධා ආවත් අප නිතරම සෝදිසියෙන් සිටීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා අපට උපකාර කරන්නේ කුමක්ද? යේසුස් දැනටමත් ස්වර්ගයේ රජකම් කිරීමට පටන්ගෙන ඇති බව තේරුම්ගැනීමයි. එමෙන්ම ඔහු තම සතුරන්ව විනාශ කිරීමට ඉතාම ඉක්මනින් අප කවුරුත් “නොසිතන පැයකදී” පැමිණෙන බව තේරුම්ගෙන ඊට සූදානම්ව සිටීමද අපට උපකාරවත් වෙනවා.—ලූක් 12:40.

17. අප තේරුම්ගත් දේවල් අපට පොලඹවන්නේ කුමක් කිරීමටද? අපේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

17 යේසුස් පැමිණ සිටින කාලය පිළිබඳ අප තේරුම්ගත් දෙය අපට උපකාරවත් වන්නේ කුමක් කිරීමටද? ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් කරගෙන උදාසීන නොවී, උද්‍යෝගයෙන් දේවකැමැත්ත කිරීමටයි. ඒ සඳහා කාලය මෙයයි! යේසුස් 1914 සිට රජකම් කරමින් සිටින බව අප දන්නවා. ඔහු ඉතාම ළඟදී දුෂ්ටයන්ව විනාශ කර මේ පොළොව පාරාදීසයක් බවට පත් කරනවා. එමනිසා අප වෙන කවරදාකටත් වඩා යේසුස් අපට පැවරූ කාර්යය මහත් උනන්දුවකින් ඉටු කළ යුතුයි. ඒ කාර්යය ගැන ඔහු පැවසුවේ මෙසේයි. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය [ටෙලොස්] පැමිණෙන්නේය.”—මතෙ. 24:14.

[පාදසටහන්වල]

^ 10 ඡේ. එළිදරව් පොතේ සඳහන් පළමු දර්ශනය නවීන දින අභිෂේක ලත් පරම්පරාවට අදාළ වන බව කිව හැකියි. (එළි. 1:10–3:22) එම දර්ශනයේ ඉටුවීම 1914දී ඇරඹුණු අතර එය අවසන් වෙන්නේ පොළොවේ සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ අන්තිම සාමාජිකයා මිය ගොස් ස්වර්ගික ජීවිතයට නැවත නැඟිටුණු පසුවයි.—එළිදරව්වේ අවසන් ඉටුවීම අත ළඟයි! 24වන පිටුව, 4වන ඡේදය.

^ 15 ඡේ. වර්ෂ 1995 නොවැම්බර් 1වැනිදා මුරටැඹ සඟරාවේ 11-15, 19, 30, 31 පිටු බලන්න.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• යේසුස් පැමිණ සිටින කාලය යම් කාලයක් පුරා දිවයන බව අප දන්නේ කෙසේද?

• යේසුස් පැමිණ සිටින කාලය හා එහි නියම අර්ථය තේරුම්ගන්නේ කවුද?

මතෙව් 24:34හි සඳහන් නවීන දින පරම්පරාව කවුද?

• “මේ පරම්පරාව” කොතරම් කාලයක් පවතිනවාද කියා නිශ්චිතව පැවසිය නොහැක්කේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[25වන පිටුවේ කොටුව]

“මේ පරම්පරාව” කොතරම් කාලයක් පවතිනවාද?

බයිබලයේ ‘පරම්පරාවක්’ කියා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ ජීවත් වන බාල, මහලු සියල්ලන්ව විස්තර කිරීමටයි. උදාහරණයක් හැටියට නික්මයාම 1:6හි [NW] මෙසේ පවසනවා. “කාලයාගේ ඇවෑමෙන් යෝසෙප්ද ඔහුගේ සියලු සහෝදරයෝද ඇතුළු මුල් පරම්පරාව මිය ගියෝය.” යෝසෙප් හා ඔහුගේ සහෝදරයන් විවිධ වයස් මට්ටම්වල පසු වුණත් ඔවුන් සියල්ලන්ම එම ‘පරම්පරාවට’ අයත් වුණා. එම කාලය තුළ සිදු වූ දේවල් ඔවුන් පොදුවේ අද්දැක්කා. එමෙන්ම ඔවුන්ගෙන් සමහරෙක් යෝසෙප්ට පෙරත් ඔහුට පසුවත් ඉපදුණා. ඒ වගේම ඔහුට වඩා වැඩිමහල් සහෝදරයන්ගෙන් සමහරෙකුත් ඔහුට බාල අයත් ඔහුගේ මරණයෙන් පසුවත් ජීවත් වුණා. නමුත් ඒ සියලුදෙනාම හැඳින්වූයේ එක පරම්පරාවක් ලෙසයි.—උත්. 50:24.

ඒ අනුව බලද්දී බයිබලයේ “පරම්පරාව” යන වචනයෙන් අදහස් කරන දේ අපට පැහැදිලියි. එය භාවිත කරන්නේ යම් කාල පරිච්ඡේදයක් තුළ සිදු වන සිද්ධීන් මාලාවක් පොදුවේ අද්දකින විවිධ වයස් මට්ටම්වලට අයත් පිරිසක් දැක්වීමටයි. ඒ හැර ඔවුන් කොතරම් දීර්ඝ කාලයක් පුරා ජීවත් වෙනවාද කියා දැක්වීමට නොවෙයි. මේ අනුව මතෙව් 24:34හි යේසුස් “මේ පරම්පරාව” කියා භාවිත කළේ “අන්තිම දවස්” අවසන් වෙන්නේ කවදාද කියා ගණනය කිරීමට තම ගෝලයන්ට යම් නිශ්චිත ක්‍රමයක් හඳුන්වා දීමට නොවන බව අප තේරුම්ගත යුතුයි. ඒ වෙනුවට යේසුස් ඔවුන්ට පැවසුවේ “ඒ දවස හා පැය කිසිවෙක් දන්නේ” නැති බවයි.—2 තිමෝ. 3:1; මතෙ. 24:36.

[22, 23වන පිටුවේ පින්තූරය]

යේසුස් 1914දී රජ වූ විට ඔහුව හඳුන්වන්නේ “ජය ගනිමින්” ඉදිරියට යන කෙනෙකු ලෙසයි

[24වන පිටුවේ පින්තූරය]

“මේ සියල්ල සිදු වන තුරු මේ පරම්පරාව කිසිසේත් පහව නොයන්නේය”