Skip to content

පටුනට යන්න

ශ්‍රේෂ්ඨතම මිෂනාරිවරයාව අනුකරණය කරමු

ශ්‍රේෂ්ඨතම මිෂනාරිවරයාව අනුකරණය කරමු

ශ්‍රේෂ්ඨතම මිෂනාරිවරයාව අනුකරණය කරමු

“මා ක්‍රිස්තුස්ව අනුකරණය කරන්නාක් මෙන් ඔබ මාව අනුකරණය කරන්න.”—1 කොරි. 11:1.

1. අප යේසුස්ව අනුකරණය කළ යුත්තේ ඇයි?

ශ්‍රේෂ්ඨතම මිෂනාරිවරයා වන යේසුස්ව ආදර්ශයට ගත් පාවුල් වරක් මෙසේ පැවසුවා. “මා ක්‍රිස්තුස්ව අනුකරණය කරන්නාක් මෙන් ඔබ මාව අනුකරණය කරන්න.” (1 කොරි. 11:1) ඉතාම යටහත්පහත් ලෙස තම ගෝලයන්ගේ පාද සේදූ යේසුස් පැවසුවේ “මා ඔබට කළාක් මෙන් ඔබත් කළ යුතු බවට වූ ආදර්ශය මම ඔබට දුනිමි” කියායි. (යොහ. 13:12-15) ඒ අනුව අපටත් විශාල වගකීමක් පැවරී තිබෙනවා. එනම් අප කතා කරන ආකාරයෙන්, ක්‍රියා කරන ආකාරයෙන්, කෙටියෙන්ම පවසනවා නම් අප ජීවත් වන ආකාරයෙන් යේසුස්ව අනුකරණය කරන බව පෙන්වීමයි.—1 පේතෘ 2:21.

2. මිෂනාරිවරයෙකු නොවුණත් ඔබට තබාගත හැක්කේ කිනම් ආකල්පයක්ද?

2 මිෂනාරිවරයෙක් ලෙස හඳුන්වන්නේ කෙනෙකු විසින් යවනු ලබන නියෝජිතයෙකුට බව කලින් ලිපියේදී අප දුටුවා. එවැනි කෙනෙකුගේ කාර්යය ගැන පාවුල් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා. (රෝම 10:11-15 කියවන්න.) “දේශනා කරන්නෙකු නැතිව, ඔවුන් අසන්නේ කෙසේද?” ඉන්පසු ඔහු යෙසායා පොතෙන් උපුටා දක්වමින් මෙසේ පවසනවා. ‘ශුභාරංචි ගෙනෙන්නා වූ ගැලවීම ප්‍රකාශ කරන තැනැත්තාගේ පාද කොතරම් අලංකාරද!’ (යෙසා. 52:7NW, නව ලොව පරිවර්තනය.) මිෂනාරිවරයෙකු ලෙස කටයුතු කිරීමට ඔබටත් හැකියි. ඒ දේශනා කිරීම සම්බන්ධයෙන් යේසුස්ට තිබුණා හා සමාන උද්‍යෝගයක් පවත්වාගැනීමෙනුයි. ගිය වසරේදී එවැනි රාජ්‍ය ප්‍රචාරකයන් 69,57,852දෙනෙක් රටවල් 236ක ‘එවැන්ජලිස්තවරයෙකුගේ කාර්යය’ ඉටු කරමින් සිටියා.—2 තිමෝ. 4:5.

“අපි සියල්ල අත්හැර ඔබ අනුව ආවෙමු”

3, 4. යේසුස් අත්හැර පැමිණියේ මොනවාද? එමෙන්ම ඔහුගේ අනුගාමිකයෙක් වීම සඳහා අප කළ යුත්තේ කුමක්ද?

3 මේ පොළොවට පැමිණ තමන්ට පැවරුණු කාර්යය ඉටු කිරීම සඳහා යේසුස් ‘සියල්ල අත්හැර, දාසයෙකුගේ ස්වරූපය ගත්තා.’ වෙනත් ආකාරයකට පවසනවා නම් ස්වර්ගික ජීවිතය හා තේජස අතහැරියා. (ෆිලි. 2:7) ඔහු කළ එම පරිත්‍යාගය අප කරන කිසිම පරිත්‍යාගයකට සම කරන්න බැහැ. නමුත් යම් ආකාරයකින් ඔහු මෙන් වීමට අපට හැකියි. ඒ කෙසේද? අප අතහැර දමා ආ දේවල් ගැන කනගාටු නොවී දිගටම ඔහුගේ අනුගාමිකයෙක් හැටියට කටයුතු කිරීමෙනුයි.—1 යොහ. 5:19.

4 උදාහරණයක් හැටියට පේතෘස්, අන්දෘ, යාකොබ් හා යොහන් ගැන සිතා බලන්න. ඔවුන්ද ධීවර රැකියාව අත්හැර යේසුස්ගේ ගෝලයන් බවට පත් වුණා. එමෙන්ම දේවසේවය ඔවුන්ගේ ජීවිතයේ ප්‍රධානම දෙය බවට පත් කරගත්තා. පසු අවස්ථාවකදී පේතෘස් යේසුස්ගෙන් මෙසේ ඇසුවා. ‘බලන්න! අපි සියල්ල අත්හැර ඔබ අනුව ආවෙමු. ඇත්තටම අපට ලැබෙන්නේ කුමක්ද?’ (මතෙ. 19:27) ඔහු ඇසූ ඒ දෙය ලූක්ද වාර්තා කර තිබෙන්නේ මෙසේයි. “බලන්න! අපි නම් අප සතු දේ අත්හැර ඔබ අනුව ආවෙමු.” (ලූක් 18:28) ඔවුන් හා සමානව අපෙන් බොහෝදෙනෙකුට නම් “අප සතු” සෑම දෙයක්ම අත්හැරීමට සිදු වී නැතුව ඇති. කෙසේවෙතත්, යේසුස්ගේ අනුගාමිකයෙක් වීම සඳහා අපට ‘අපවම නොසලකා’ හරින්න සිදු වී තිබෙනවා. (මතෙ. 16:24) ඒ වුණත් එයින් බොහෝ ආශීර්වාද ලැබී තිබෙනවා. (මතෙව් 19:29 කියවන්න.) ඒ නිසා අපත් දේවසේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙමු. අප එසේ කරද්දී කෙනෙකුව දෙවිටත් යේසුස්ටත් සමීප කිරීමට ලැබෙන වරප්‍රසාදයෙන් මහත් සතුටක් ලබන්න අපට හැකියි.

5. විදේශ රටකදී සත්‍යය ඉගෙනගත් කෙනෙකුට කුමක් කළ හැකිද? එවැනි අද්දැකීමක් සඳහන් කරන්න.

5 බ්‍රසීල ජාතිකයෙක් වූ වාල්මීර් රන් ආකරයක වැඩ කිරීම සඳහා වෙනත් රටකට ගියා. මත්පැන්වලට ඇබ්බැහි වී, අනාචාරයේද යෙදුණු ඔහුට දිනක් සාක්ෂිකරුවෙකුව මුණගැසුණා. ඔහු වාල්මීර් සමඟ බයිබල් පාඩමක් පටන්ගත්තා. එය දිනපතාම කිරීමට කැමති වූ ඔහු ජීවිතයේ බොහෝ වෙනස්කම්ද කරගත්තා. ඉක්මනින්ම බව්තීස්මත් වුණා. රැකියාවෙන් බොහෝ මුදල් ඉපයුවත් බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීමට එය ඔහුට බාධාවක් වුණා. ඒ නිසා ඔහු ඉන් ඉවත් වී නැවත බ්‍රසීලයට ගියා. ඒ ඔහුගේ පවුලේ අයටත් නෑදෑයන්ටත් රන්වලට වඩා වටිනා බයිබල් සත්‍යය ඉගෙනගැනීමට උපකාර කිරීමටයි. ඔහු හා සමානව පිටරටකදී සත්‍යය ඉගෙනගත් බොහෝදෙනෙක් තමන් කරමින් සිටි බොහෝ මුදල් උපයාගත හැකි රැකියාවන් අතහැර තම තමන්ගේ මව්බිම්වලට ගොස් තිබෙනවා. එසේ කර තිබෙන්නේ ඔවුන්ගේ නෑදෑයන්ටත් වෙනත් අයටත් දෙවි ගැන ඉගෙනගැනීමට උපකාර කිරීමටයි. එවැනි ප්‍රචාරකයන් ඇත්තෙන්ම කර තිබෙන්නේ යේසුස්ව අනුකරණය කිරීමයි.

6. අවශ්‍යතාව වැඩි ප්‍රදේශවලට ගොස් සේවය කළ නොහැකි වුණත් අපට කළ හැක්කේ කුමක්ද?

6 බොහෝ සාක්ෂිකරුවන් අවශ්‍යතාව වැඩි ප්‍රදේශවලට ගොස් සේවය කරනවා. ඒ සඳහා සමහරු වෙනත් රටවලටද යනවා. නමුත් එවැනි දෙයක් කරන්න අපට හැකියාවක් නැතුව ඇති. ඒ වුණත් දේවසේවය තුළ අපට කළ හැකි සෑම දෙයක්ම කරනවා නම් යේසුස්ව අනුකරණය කරන්න අපටත් පුළුවන්.

දෙවි ලබා දෙන පුහුණුව

7. රාජ්‍ය ප්‍රචාරකයන්ට තමන්ගේ හැකියාවන් වැඩි දියුණු කරගැනීම සඳහා සැලසුම් කර ඇති පාසැල් මොනවාද?

7 යේසුස්ට අවශ්‍ය පුහුණුව ලබා දුන්නේ යෙහෝවා දෙවියි. ඒ ගැන යේසුස් පැවසුවේ “‘යෙහෝවා ඒ සියල්ලන්ටම උගන්වන්නේය’ කියා අනාගතවාක්‍යයේ ලියා තිබේ” කියායි. (යොහ. 6:45; යෙසා. 54:13) යේසුස් මෙන් දෙවි ලබා දෙන පුහුණුවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අපටත් පුළුවන්. අපට අවශ්‍ය එම පුහුණුව ලබා දීම සඳහා දෙවිගේ සංවිධානය මගින් පාසැල් ගණනාවක්ම සැලසුම් කර තිබෙනවා. උදාහරණයකට, අප සෑමදෙනාම දිව්‍යාණ්ඩු සේවා පාසැලෙන් ලබා ඇති ප්‍රයෝජන කියා නිම කළ හැකිද? පුරෝගාමි සේවා පාසැලෙන් පුහුණුව ලබන පුරෝගාමීන් ලබන්නේ පුදුමාකාර පන්නරයක්. බොහෝ කාලයක් පුරා මෙසේ සේවය කළ අයට දෙවැනි වරටත් එම පාසැලට සහභාගි වීමට හැකිවීම ඔවුන් සලකන්නේ වරප්‍රසාදයක් ලෙසයි. රාජ්‍ය සේවා පාසැල සැලසුම් කර තිබෙන්නේ වැඩිමහල්ලන් හා සභා සේවකයන් වෙනුවෙනුයි. ඉගැන්වීමේ හැකියාව වැඩි දියුණු කරගැනීමට මෙන්ම සභාවේ සාමාජිකයන්ව රැකබලා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම් එමගින් ඔවුන්ට සපයනවා. තනිකඩ වැඩිමහල්ලන් හා සභා සේවකයන් බොහෝදෙනෙක් දේවසේවා පුහුණු පාසැලට සහභාගි වී තිබෙනවා. ඔවුන්ට එම පුහුණුව ලබා දෙන්නේ අන් අයව දේවසේවය තුළ පුහුණු කිරීමටයි. එමෙන්ම තව බොහෝදෙනෙකුට මිෂනාරි සේවයේ යෙදීමට අවශ්‍ය දක්ෂතා ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙන් ලබා දී තිබෙනවා.

8. දෙවි ලබා දෙන පුහුණුව අගය කළ එක් සහෝදරයෙක් කළේ කුමක්ද?

8 මෙවැනි පාසැල්වලට සහභාගි වීම සඳහා බොහෝ සාක්ෂිකරුවන් ජීවිතයේ විවිධ වෙනස්කම් හා කැප කිරීම් කර තිබෙනවා. උදාහරණයකට, කැනඩාවේ පැවැත්වූ දේවසේවා පුහුණු පාසැලකට සහභාගි වීම සඳහා යූගූ ඔහුගේ රැකියාවෙන් අස් වුණා. ඊට හේතුව වුණේ ඔහුගේ රැකියාවේ ස්වාමියා ඔහුට නිවාඩු නොදුන් නිසයි. ඔහු ඒ ගැන පවසන්නේ මෙසේයි. “රැකියාවෙන් ඉවත් වීම ගැන මම පොඩ්ඩක්වත් දුක් වෙන්නේ නැහැ. ඔවුන් මට නිවාඩු දුන්නා නම් ඒකට කළගුණ සැලකීමක් හැටියට දිගටම ඒ ස්ථානයේම රැකියාව කිරීම ඔවුන් මගෙන් බලාපොරොත්තු වෙන්න ඉඩ තිබුණා. නමුත් දැන් මම ඉන්නේ, යෙහෝවා දෙවි ලබා දෙන ඕනෑම පැවරුමක් භාරගැනීමට සූදානමින්.” මෙසේ දෙවි ලබා දෙන පුහුණුවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා බොහෝදෙනෙක්, වටිනවායයි තමන් කලින් සැලකූ බොහෝ දේවල් කැමැත්තෙන්ම අත්හැර තිබෙනවා.—ලූක් 5:28.

9. බයිබලයේ ඇති දේවල් ඉගෙනගැනීමට දැරූ අමතර වෑයම නිසා ලැබූ ප්‍රතිඵල ගැන අද්දැකීමක් විස්තර කරන්න.

9 බයිබල් සත්‍යය ඉගෙනගැනීමට අමතර වෑයමක් දැරීමෙන් බොහෝ ප්‍රයෝජන අත් කරගත හැකියි. (2 තිමෝ. 3:16, 17) ග්වාතමාලාවේ ජීවත් වන සාවුලෝගේ අද්දැකීම සලකා බලන්න. ඔහු උපතින්ම සුළු මානසික ආබාධයකින් පෙළුණා. දිනක් ඔහුගේ ගුරුවරියක් ඔහුගේ මවට පැවසුවේ සාවුලෝගේ තත්වය තවත් නරක් විය හැකි නිසා ඔහුට කියවීමට බල නොකළ යුතු බවයි. ඒ හේතුව නිසා ඔහුව පාසැලෙන් ඉවත් කරගනිද්දී ඔහු කියවීමට දැන සිටියේ නැහැ. කෙසේවෙතත්, සාක්ෂිකරුවෙක් එක් පොත් පිංචයක් යොදාගෙන ඔහුට කියවීමට ඉගැන්නුවා. එහි ප්‍රතිඵලයක් හැටියට ඔහුට දිව්‍යාණ්ඩු සේවා පාසැලේ කතා දීමටත් හැකි වුණා. දිනක් සාවුලෝගේ මව දේවසේවයේ හවුල් වෙද්දී ඇයට සාවුලෝගේ ගුරුවරියව මුණගැසුණා. සාවුලෝට දැන් කියවන්න පුළුවන් බව ඇය දැනගත් විට ඊළඟ සතියේදී ඔහුවත් රැගෙන එන ලෙස මවට පැවසුවා. සාවුලෝ එහි ගිය විට ගුරුවරිය ඔහුගෙන් මෙසේ ඇසුවා. “ඔයා දැන් මොනවද මට උගන්වන්නේ?” එවිට සාවුලෝ බයිබලයේ ඉගැන්වීම් පොතෙන් ඡේදයක් කියවන්න පටන්ගත්තා. ඔහු කියවනවා ඇසූ ඇය “දැන් ඔයාට පුළුවන් මට උගන්වන්නත්” කියමින් ඔහුව වැළඳගත්තේ සතුටු කඳුළු සලමිනුයි.

හදවතට දැනෙන ආකාරයට උගන්වමු

10. බයිබල් සත්‍යය ඉගැන්වීම සඳහා ලැබී ඇති වටිනා පොත කුමක්ද?

10 යේසුස් සෑමවිටම ඉගැන්වූයේ දෙවි විසින්ම ඔහුට පැවසූ දේවල් හා දෙවිගේ වචනයේ සඳහන් කර තිබූ උපදෙස් පදනම් කරගෙනයි. (ලූක් 4:16-21; යොහ. 8:28) අපත් එසේ උගන්වනවා නම් ඔහුව අනුකරණය කරන්න අපටත් පුළුවන්. එවිට අප සැමෝම එකම ඉගැන්වීමකින් ප්‍රයෝජන ලබන අතර එහි ප්‍රතිඵලයක් හැටියට අප අතර එක්සත්කම රැකෙනවා. (1 කොරි. 1:10) ලොව පුරාම එකම ආකාරයෙන් ඉගැන්වීමටත් දේශනා සේවය නිසි ආකාරයෙන් කිරීමටත් අවශ්‍ය බයිබල් ප්‍රකාශන අපට ලැබී තිබෙනවා. ඉන් එකක් වන්නේ භාෂා 179කින් ලබාගත හැකි බයිබලයේ ඉගැන්වීම් පොතයි. ඒ ගැන අප ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට’ මොන තරම් ස්තුතිවන්ත වෙනවාද!—මතෙ. 24:45; 28:19, 20.

11. එක් සහෝදරියක් සත්‍යයට විරුද්ධ කෙනෙකුව දිනාගැනීමට බයිබලයේ ඉගැන්වීම් පොත යොදාගත්තේ කෙසේද?

11 සත්‍යයට විරුද්ධ අයගේ සිත් වෙනස් කර ඔවුන්ව දිනාගැනීමට බයිබලයේ ඉගැන්වීම් පොත යොදාගන්න අපට පුළුවන්. ඒ බව ඉතියෝපියාවේ සිටින පුරෝගාමි සහෝදරියකගේ අද්දැකීමෙන් පැහැදිලි වෙනවා. දිනක් ඇය බයිබල් පාඩමක් කරමින් සිටියා. හදිසියේම එතැනට කඩා වැදුණු බයිබල් ශිෂ්‍යයාවගේ නෑයෙක් ඔවුන්ට ‘බයිබල් පාඩම්’ අවශ්‍ය නැති බව කියා කෑගැසුවා. ඒ අවස්ථාවේදී අපගේ සහෝදරිය ඉතාම සන්සුන්ව බයිබලයේ ඉගැන්වීම් පොතේ 15වන පරිච්ඡේදයට පෙරළා එහි ඇති හොර නෝට්ටු පිළිබඳ උදාහරණය යොදාගෙන කරුණු පහදා දුන්නා. එවිට එම තැනැත්තියද සන්සුන් වී පාඩම කරගෙන යන ලෙස පැවසුවා. ඊළඟ වතාවේදී පුරෝගාමි සහෝදරිය පැමිණි විට එම නෑයාද පාඩමට පැමිණ සිටියා. එපමණක්ද නොව ඇය සමඟද පාඩමක් කරන ලෙසත් ඊට මුදල් ගෙවන්න වුණත් තමන් සූදානම් බවත් ඇය පැවසුවා. වැඩි කල් යෑමට පෙර සතියට තුන්වතාවක්ම ඇය සමඟ පාඩම කළා. එහි ප්‍රතිඵලයක් හැටියට ඇය සත්‍යය තුළ විශාල දියුණුවක් ලැබුවා.

12. සාර්ථක බයිබල් පාඩම් පවත්වන්න යෞවනයන්ටත් හැකි බව පෙන්වන උදාහරණයක් දෙන්න.

12 අන් අයට ඉගැන්වීමට බයිබලයේ ඉගැන්වීම් පොත යොදාගැනීමට යෞවනයන්ටත් හැකියි. හවායි දූපතේ ජීවත් වන 11හැවිරිදි කීනු මෙම පොත පාසැලට ගෙන ගොස් කියනවා. “ඔයගොල්ලන් ආගමික නිවාඩු පවත්වන්නේ නැත්තේ ඇයි?” කියා දිනක් ඔහුගේ මිතුරෙක් ඇසුවා. කීනු ඊට පිළිතුරු දුන්නේ බයිබලයේ ඉගැන්වීම් පොතේ උපග්‍රන්ථයේ තිබෙන “අපි ආගමික උත්සව හා විශේෂ දිනයන් සැමරිය යුතුද?” යන කොටස ඔහුට ඇසෙන සේ කියවීමෙනුයි. ඉන්පසු ඔහු පොතේ පටුනට පෙරළා වැඩියෙන්ම කැමති මාතෘකාව කුමක්ද කියා මිතුරාගෙන් ඇසුවා. මිතුරා එය සඳහන් කළ පසු ඔහු සමඟ බයිබල් පාඩමක් පටන්ගත්තා. පසුගිය සේවා වසරේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ ඉගැන්වීම් පොත යොදාගෙන එවැනි පාඩම් 65,61,426ක් පවත්වා තිබෙනවා. ඔබත් බයිබල් පාඩම් පැවැත්වීම සඳහා මේ පොත යොදාගන්නවාද?

13. දෙවිගේ කැමැත්ත කිරීමට අන් අයව පෙලඹවීම සඳහා බයිබල් පාඩම උපකාරවත් වන්නේ කෙසේද?

13 දෙවිගේ කැමැත්ත කිරීම සඳහා අන් අය තුළ දැඩි පෙලඹීමක් ඇති කිරීමට බයිබලයේ ඉගැන්වීම් පොත අපට උපකාර කරනවා. නෝර්වේහි සිටින විශේෂ පුරෝගාමි යුවළක් සැම්බියාවේ සිට පැමිණි පවුලක් සමඟ බයිබල් පාඩමක් පටන්ගත්තා. එම යුවළට ඒ වන විටත් දූවරුන් තුන්දෙනෙක් සිටි නිසා තවත් දරුවෙක් බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් ඇය නැවතත් ගැබ්ගත් නිසා එම දරුවාව ගබ්සා කිරීමට දෙදෙනාම තීරණය කළා. ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකුව හමුවීමටද සැලසුම් කළා. නමුත් ඊට දින කිහිපයකට කලින් බයිබලයේ ඉගැන්වීම් පොතේ “දෙවි මෙන් ඔබත් ජීවිතය අනර්ඝ දෙයක් ලෙස සලකනවාද?” නමැති පරිච්ඡේදය ඔවුන් සාකච්ඡා කළා. එහි දක්වා තිබෙන නූපන් දරුවෙකුගේ පින්තූරය දුටු යුවළට එය තදින්ම කාවැදුණා. නූපන් දරුවාව ගබ්සා නොකිරීමට ඔවුන් තීරණය කළා. එතැන් සිට ඔවුන් සත්‍යය තුළ හොඳින් දියුණු වුණා. ඔවුන්ට ඉපදුණ පුංචි පුතාට පාඩම පැවැත්වූ පුරෝගාමි සහෝදරයාගේ නමද තැබුවා.

14. අප උගන්වන දෙයට එකඟව ජීවත් වීමෙන් යහපත් ප්‍රතිඵල අත්වන බව පෙන්වන උදාහරණයක් දෙන්න.

14 යේසුස්ගේ ඉගැන්වීම් ඉතා ප්‍රබල වීමට එක් හේතුවක් වූයේ, ඔහු ඉගැන්වූ දෙයට එකඟව ජීවත් වීමයි. යේසුස්ව ආදර්ශයට ගන්නා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව බොහෝ මිනිසුන් අගය කරන්නෙත් ඒ හේතුව නිසාමයි. දිනක් නවසීලන්තයේ සිටින ව්‍යාපාරිකයෙකුගේ මෝටර් රථයක් මංකොල්ල කෑ පිරිසක් ඔහුගේ බෑගයද සොරකම් කළා. ඔහු ඒ බව පොලීසියට දැනුම් දුන් විට, එක් නිලධාරියෙක් පැවසුවේ “නැති වුණු දේවල් ඔය මහත්මයාට ආයෙත් හම්බ වුණොත් එහෙම වෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකුට ඔය බඩු ටික හම්බ වුණොත් නම් විතරයි” කියායි. කෙසේ හෝ එම බෑගය පුවත්පත් බෙදාහරින සාක්ෂිකාරියකට හමු වුණා. ඒ බව එහි අයිතිකරුට ඇය දැන්නුවා. ඔහු ඇගේ නිවසට පැමිණියා. ඔහුට අත්‍යවශ්‍ය වූ ඉතාම වටිනා ලියකියවිලි ඒ ආකාරයටම තිබෙනවා දැකීමෙන් ඔහු ලැබුවේ පුදුමාකාර සැනසීමක්. ඒ සහෝදරිය ඔහුට මෙසේ පැවසුවා. “මේ දේවල් ඔයාට දෙන්නේ මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් නිසයි.” එය ඇසූ ව්‍යාපාරිකයා පුදුමයෙන් තිගැස්සුණා. ඊට හේතුව වුණේ පොලිස් නිලධාරියා එදා උදෑසන ඔහුට පැවසූ දෙය මතක් වූ නිසයි. ඉන් පෙනී යන්නේ සැබෑ ක්‍රිස්තියානීන් යේසුස්ව අනුකරණය කරමින් බයිබලයේ සඳහන් ඉගැන්වීම්වලට එකඟව ජීවත් වන බව නොවේද?—හෙබ්‍රෙ. 13:18.

යේසුස් ජනයාට සැලකූ ආකාරය

15, 16. සත්‍යයට ජනයාව ඇදගැනීමට අපට හැක්කේ කෙසේද?

15 යේසුස් සතු වූ ගුණාංග නිසා ජනයා ඔහු වෙතට ඇදුණා. උදාහරණයකට ඔහුගේ ප්‍රේමය හා යටහත්පහත්කම නිසා දිලිඳු අය පවා ඔහු වෙතට පැමිණියා. ඔහු දයානුකම්පාවෙන් ඔවුන්ට සැලකුවා. කාරුණික වචනවලින් ඔවුන්ව සැනසුවා. බොහෝදෙනෙකුව සුව කළා. (මාක් 2:1-5 කියවන්න.) අපට මිනිසුන්ව සුව කිරීමට බලයක් නැති බව ඇත්තයි. ඒ වුණත් අප ප්‍රේමය, යටහත්පහත්කම හා දයානුකම්පාව පෙන්වනවා නම් සත්‍යය වෙතට ජනයා ඇදෙනවා නිසැකයි.

16 දයානුකම්පාව පෙන්වීම සත්‍යයට ජනයාව ඇදගන්නා බව මෙම අද්දැකීමෙන් පැහැදිලි වෙනවා. ටාරූයා නමැති විශේෂ පුරෝගාමි සහෝදරිය දේවසේවයේ හවුල් වෙද්දී මහලු කෙනෙකුගේ නිවසට ගියා. ඔහුගේ නම බීරේ. ඔහු ජීවත් වුණේ පැසිෆික් සාගරයේ කිරිබාති නමැති දූපත් සමූහයට අයත් හුදකලා දූපතකයි. පණිවිඩයට සවන් දීමට ඔහු අකැමති බව ඇඟෙව්වත් ඔහු අංශභාග රෝගයෙන් පෙළෙන බව තේරුම්ගත් ටාරූයාට ඔහු කෙරෙහි අනුකම්පාවක් ඇති වුණා. ඒ නිසා ඇය ඔහුගෙන් මෙසේ ඇසුවා. “ලෙඩ රෝගවලින් දුක් විඳින මහලු අයට දෙවි පොරොන්දු වෙලා තියෙන දේ ඔබ දන්නවාද?” ඉන්පසු ඇය යෙසායා පොතට පෙරළා අදාළ බයිබල් කොටස කියෙව්වා. (යෙසායා 35:5, 6 කියවන්න.) ඉන් ඉමහත් සතුටට පත් වූ ඔහු මෙසේ පැවසුවා. “මම කාලයක් තිස්සේ බයිබලය කියවනවා. කිහිප විටක්ම අපේ ආගමේ මිෂනාරිවරුනුත් අපේ ගෙදරට ඇවිත් තියෙනවා. ඒත් මම කවදාවත් ඒ බයිබල් පදේ නම් දැකලා තිබුණේ නැහැ.” ඉන්පසු ඇය බීරේ සමඟ බයිබල් පාඩමක් පටන්ගත්තා. ඔහු සත්‍යය තුළ සෑහෙන දියුණුවක් ලැබුවා. ඔහු දරුණු ලෙස අංශභාග රෝගයෙන් පෙළුණත් බව්තීස්ම වීමට එය බාධාවක් වුණේ නැහැ. දැන් ඔහු ජීවත් වන දූපත පුරාම යමින් මිනිසුන්ට ශුභාරංචිය දේශනා කරනවා. එපමණක්ද නොව එහි තිබෙන හුදකලා කණ්ඩායම රැකබලා ගැනීමටද ඔහු විශාල වශයෙන් දායක වෙනවා.

දිගටම යේසුස්ව අනුකරණය කරමු

17, 18. (අ) සාර්ථක දේවසේවකයෙක් වීමට ඔබට හැක්කේ කෙසේද? (ආ) තමන්ට පවරා ඇති දේවසේවය බැරෑරුම් ලෙස සලකන අය අද්දකින්නේ කුමක්ද?

17 දේවසේවයේ හවුල් වෙද්දී අප ලබන ප්‍රීතිමත් අද්දැකීම්වලින් කියා පාන්නේ කුමක්ද? යේසුස් විදහා පෑ ගුණාංග අපත් විදහාපෙන්වනවා නම් අපටත් සාර්ථක විය හැකි බවයි. එසේ නොවේද? එසේනම් උද්‍යෝගිමත් රාජ්‍ය ප්‍රචාරකයන් ලෙස අප යේසුස්ව දිගටම අනුකරණය කරමු!

18 යේසුස් තම ගෝලයන්ව තෝරාගත් මුල් කාලයේදී පේතෘස් ඔහුගෙන් මෙසේ ඇසුවා. ‘ඇත්තටම අපට ලැබෙන්නේ කුමක්ද?’ ඊට යේසුස් පිළිතුරු දුන්නේ මෙසේයි. “ගේ දොර හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මව හෝ දරුවන් හෝ වතු පිටි හෝ අත්හැර තිබෙන සියල්ලන්ට ඊට වඩා බොහෝ වැඩියෙන් ලැබෙන්නේය. ඔවුන්ට සදාකාල ජීවනයද උරුම වන්නේය.” (මතෙ. 19:27-29) අපගේ ආශාවත් එය උරුම කරගැනීම නොවෙයිද? එසේනම් අපගේ ශ්‍රේෂ්ඨතම මිෂනාරිවරයා වන යේසුස්ව අනුකරණය කරමු!

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• දේවසේවකයන් වීමට දෙවි අපව පුහුණු කරන්නේ කෙසේද?

• දේවසේවයේදී බයිබලයේ ඉගැන්වීම් පොත යොදාගැනීම පලදායක වීමට හේතුව කුමක්ද?

• ජනයාට සලකන ආකාරයෙන් අප යේසුස්ව අනුකරණය කරන බව පෙන්වන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ පින්තූරය]

පේතෘස්, අන්දෘ, යාකොබ් හා යොහන්ට යේසුස් ආරාධනා කළ විට ඔවුන් නොපමාව එය පිළිගත්තා

[19වන පිටුවේ පින්තූරය]

එකම ඉගැන්වීමකින් ප්‍රයෝජන ලැබීමට “බයිබලයේ ඉගැන්වීම්” පොත වැනි ප්‍රකාශන අපට උපකාර කරනවා