Skip to content

පටුනට යන්න

ශ්‍රේෂ්ඨතම මිෂනාරිවරයා වන යේසුස්

ශ්‍රේෂ්ඨතම මිෂනාරිවරයා වන යේසුස්

ශ්‍රේෂ්ඨතම මිෂනාරිවරයා වන යේසුස්

“මම ඔහු වෙතින් පැමිණි නියෝජිතයෙකු වෙමි. මාව එව්වේ ඒ තැනැත්තාය.”—යොහ. 7:29.

1, 2. මිෂනාරිවරයෙක් ලෙස හඳුන්වන්නේ කාවද? එමෙන්ම ශ්‍රේෂ්ඨතම මිෂනාරිවරයා කවුද?

“මිෂනාරිවරයෙක්!” එම වචනය ඇසෙද්දී බොහෝදෙනෙකුගේ මනසට නැඟෙන්නේ ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල මිෂනාරිවරුන්වයි. ඔවුන්ව යවා ඇති රටවල දේශපාලනය වැනි කාරණාවලට ඔවුන් ඇඟිලි ගසා ඇති නිසා බොහෝදෙනාට ඔවුන් ගැන ඇත්තේ එතරම් හොඳ හැඟීමක් නොවෙයි. නමුත් මිෂනාරිවරයෙක් කියද්දී බොහෝවිට ඔබේ මනසට නැඟෙන්නේ කාවද? ශුභාරංචිය දේශනා කිරීම සඳහා පාලක මණ්ඩලය මගින් විවිධ රටවලට යවනු ලබන මිෂනාරිවරුන්ව විය හැකියි. (මතෙ. 24:14) මේ අය තමන්ගේ කාලය, ශ්‍රමය අන් අය වෙනුවෙන් බොහෝ සේ කැප කරනවා. එසේ කරන්නේ යෙහෝවා දෙවි වෙතට ළං වී ඔහු සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීමට ජනයාට උදව් කිරීමටයි.—යාකො. 4:8.

2 මිෂනාරිවරයෙක් ලෙස හඳුන්වන්නේ කෙනෙකු විසින් යවනු ලබන නියෝජිතයෙකුටයි. මේ අනුව ශ්‍රේෂ්ඨතම මිෂනාරිවරයා වන්නේ යේසුස්. ඒ, මිනිසා කෙරෙහි තිබූ මහත් ප්‍රේමය නිසා දෙවි විසින්ම ඔහුව මේ පොළොවට එවූ නිසයි. (යොහ. 3:16) ඒ ගැන යේසුස්ම පැවසුවේ මෙසේයි. “මම ඔහු වෙතින් පැමිණි නියෝජිතයෙකු වෙමි. මාව එව්වේ ඒ තැනැත්තාය.” (යොහ. 7:29) එසේ ඔහු ශ්‍රේෂ්ඨතම මිෂනාරිවරයා ලෙස මේ පොළොවට පැමිණියේ “සත්‍යය ගැන සාක්ෂි දැරීම” සඳහායි. (යොහ. 18:37) ඔහු ඉතාම සාර්ථක ලෙස ශුභාරංචිය දේශනා කළ අතර එහි ප්‍රයෝජන අප අදටත් භුක්ති විඳිනවා. උදාහරණයකට යේසුස් ඉගැන්වීම සඳහා යොදාගත් ක්‍රම ගැන සලකා බලන්න. එම ක්‍රම අනුකරණය කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලබන්න අපට හැකියි.

3. අපි දැන් සලකා බලන්නේ කිනම් ප්‍රශ්නද?

3 යේසුස් පොළොව මත කළ සේවයේදී ලැබූ අද්දැකීම් මොනවාද? ඔහුගේ ඉගැන්වීම් බලපෑමෙන් යුක්ත වුණේ ඇයි? ඔහුගේ දේවසේවය එතරම් සාර්ථක වීමට රහස කුමක්ද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු අපි දැන් සලකා බලමු.

නුහුරු පරිසරයකට හුරුවීම

4-6. යේසුස් පොළොවට පැමිණීමත් සමඟ මුහුණ දුන් වෙනස් තත්වයන් මොනවාද?

4 තමන්ට හුරු පුරුදු, සුව පහසු පරිසරය අතහැර තමන්ව යවන ප්‍රදේශයේ දුෂ්කර තත්වයන්ට හුරුවීමට මිෂනාරිවරුන්ට මෙන්ම අනෙකුත් ක්‍රිස්තියානීන්ටද සිදු වෙනවා. නමුත් ඔවුන් මුහුණ දෙන තත්වය ස්වර්ගයේ සිට පොළොවට පැමිණි යේසුස්ගේ තත්වයට කොහෙත්ම සමාන කළ නොහැකියි. යේසුස් ජීවත් වුණේ මුළු දේවදූත සමූහයම ඔවුන්ගේ කැමැත්තෙන්ම දෙවිට සේවය පිරිනමන පරිසරයකයි. එමෙන්ම ඔහු නිතරම කල් ගත කළේ ඔහුගේ පියාණන් සමඟයි. (යෝබ් 38:7) ඒ සියල්ල අතහැර පව්කාර මිනිසුන්ගෙන් පිරි දූෂිත ලෝකයට පැමිණීම ඔහුට මොන තරම් වෙනස් අද්දැකීමක්ද! (මාක් 7:20-23) එහිදී ඔහුගේ කිට්ටුම ගෝලයන් අතර පවා ඊර්ෂ්‍යාව හා තරඟකාරී ස්වභාවයක් ඔහු අද්දැක්කා. (ලූක් 20:46; 22:24) ඒ කුමනාකාරයේ තත්වයන් උද්ගත වුණත් ඔහු ඒවාට ඉතා සාර්ථක ලෙස මුහුණ දුන්නා.

5 පොළොවේ සිටියදී ඔහු කතා කළ භාෂාව ඔහුට ආශ්චර්යයක් මගින් ලැබුණු හැකියාවක් නොවෙයි. එය ඔහුට කුඩා කල සිට ඉගෙනගැනීමට සිදු වුණා. ඔහු අඩුම තරමින් එක ‘භාෂාවකින්’ හෝ කතා කළ අතර එය ‘දේවදූතයන්ගේ භාෂාවලට’ වඩා කොතරම් වෙනස් වන්න ඇද්ද! (1 කොරි. 13:1) කෙසේවෙතත් යේසුස් මෙන් ප්‍රියමනාප ලෙස වචන හැසිරෙවූ කෙනෙක් තවත් නැහැ.—ලූක් 4:22.

6 යේසුස් පොළොවට පැමිණි විට ඔහුට මුහුණ දීමට සිදු වූ වෙනත් දේවල් මොනවාද? ඔහු ඉපදුණේ පරිපූර්ණ මිනිසෙකු ලෙස බව ඇත්තයි. ඒ වුණත් ඔහුගේ අභිෂේක ලත් “සහෝදරයන්” මෙන් බොහෝ දුක් විඳීමට පවා ඔහුට සිදු වුණා. (හෙබ්‍රෙව් 2:17, 18 කියවන්න.) එමෙන්ම ඔහුව අත්අඩංගුවට ගත් රාත්‍රියේදී ඔහුගේ සහයට “දේවදූත සේනාංක දොළොසකට වඩා” එවන ලෙස දෙවිගෙන් ඉල්ලන්න හැකිකම තිබුණත් යේසුස් එසේ කළේ නැහැ. නමුත් ස්වර්ගයේ සිටියදී ඔහුම මිකායෙල් නමැති අග්‍ර දේවදූතයා හැටියට අනෙකුත් දේවදූතයන් කෙරෙහි මොන තරම් බලයක් තිබුණාද! (මතෙ. 26:53; යූද් 9) යේසුස් පොළොවේදී බොහෝ ආශ්චර්යයන් කළ බව ඇත්තයි. නමුත් ඔහු ස්වර්ගයේදී කළ බලවත් ක්‍රියා සමඟ සසඳද්දී ඒවා ඉතාම ස්වල්පයයි.

7. මෝසෙස් තුළින් දුන් නීතිය යුදෙව්වන් සැලකුවේ කෙසේද?

7 යේසුස් මේ පොළොවට පැමිණීමට පෙර දෙවිගේ “වචනය” හෙවත් දෙවිගේ ප්‍රධාන නියෝජිතයා ලෙස ක්‍රියා කළා. ඊශ්‍රායෙල්වරුන්ව පාළුකරය හරහා යෑමට මඟ පෙන්නුවේ ඔහු විය හැකියි. (යොහ. 1:1; නික්. 23:20-23) ඊශ්‍රායෙල්වරුන්ට ‘දේවදූතයන් මගින් දුන් නීතිය ලැබුණත් [ඔවුන්] එය පැවැත්වූයේ නැහැ.’ (ක්‍රියා 7:53; හෙබ්‍රෙ. 2:2, 3) එම නීතියේ නියම හරය වටහාගැනීමට මුල් සියවසේ සිටි යුදෙව් ආගමික නායකයන් පවා සමත් වුණේ නැහැ. උදාහරණයකට අපි සබත් නීතිය ගැන සලකා බලමු. (මාක් 3:4-6 කියවන්න.) ලියන්නන් හා පරිසිවරුන් ‘යුක්තිය, දයාව, විශ්වාසවන්තකම යන නීතියේ වඩා බැරෑරුම් කාරණා නොසලකා හැරියා.’ (මතෙ. 23:23) ඒ වුණත් දෙවිගේ ප්‍රධාන නියෝජිතයා ලෙස යේසුස් ඔවුන්ට සත්‍යය පහදා දීම අතහැරියේ නැහැ.

8. අපේ උපකාරයට පැමිණීමට යේසුස්ට හැක්කේ ඇයි?

8 ශුභාරංචිය දේශනා කිරීමට යේසුස් තුළ තිබූ දැඩි ආශාව කිසිවිටෙක අඩු වුණේ නැහැ. මිනිසුන් කෙරෙහි ඔහුට තිබූ ප්‍රේමය ඔවුන්ට උපකාර කිරීමට ඔහුව පෙලඹෙව්වා. පොළොවේදී යේසුස් දෙවිට විශ්වාසවන්තව සිටි නිසා තමන්ට ‘කීකරු වන සියල්ලන්ට සදාකාල ගැලවීම ලබා දීමට යේසුස්ට හැකි වුණා.’ එපමණක්ද නොව ‘පරීක්ෂාවට ලක් වූ විට ඔහු දුක් වින්ද නිසා, පරීක්ෂාවට ලක් වන [අප වැනි] අයගේ උපකාරයට පැමිණීමටත් ඔහුට පුළුවන්.’—හෙබ්‍රෙ. 2:18; 5:8, 9.

ගුරුවරයෙක් ලෙස ලැබූ පුහුණුව

9, 10. පොළොවට පැමිණීමට පෙර යේසුස් ලැබුවේ කිනම් පුහුණුවක්ද?

9 අද දිනත් මිෂනාරිවරුන්ව වෙනත් රටවලට යැවීමට පෙර පාලක මණ්ඩලය මගින් ඔවුන්ව පුහුණු කරනු ලබනවා. යේසුස්ටත් පුහුණුවක් ලැබුණාද? ඔව්. නමුත් ඔහු පුහුණුව ලැබුවේ රබ්බිවරුන්ගේ පාසැල්වලින්වත් සුප්‍රසිද්ධ ආගමික නායකයින්ගෙන්වත් නොවෙයි. (යොහ. 7:15; ක්‍රියා 22:3 බලන්න.) එසේනම් යේසුස් සුදුසුකම් ඇති ගුරුවරයෙක් බවට පත් වුණේ කෙසේද?

10 යේසුස් ඔහුගේ මවගෙන් හා ඔහුව රැකබලා ගත් පියා වූ යෝසෙප්ගෙන් බොහෝ දේ ඉගෙනගත් බව නිසැකයි. නමුත් දේවසේවය සම්බන්ධයෙන් ඔහුට අවශ්‍ය මූලික පුහුණුව ලැබුණේ යෙහෝවා දෙවිගෙන්මයි. ඒ ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “මා කතා කළේ මාගේම පෙලඹීමකින් නොවේ. නමුත් මාව එවූ පියාණන්ම, මා කිව යුතු දේ ගැනත් කතා කළ යුතු දේ ගැනත් මට ආඥාවක් දී තිබේ.” (යොහ. 12:49) මිනිසුන්ට ඉගැන්විය යුත්තේ කුමක්ද කියා නිශ්චිත උපදෙස් යෙහෝවා දෙවිගෙන් ඔහුට ලැබුණු අතර ඔහු ඒ උපදෙස් හා මඟ පෙන්වීම්වලට සවන් දුන් බවට කිසිම සැකයක් නැහැ. ඊටත් වඩා හොඳ පුහුණුවක් ඔහුට ලැබිය හැකිද?

11. දෙවි මිනිසුන් කෙරෙහි දැක්වූ සැලකිල්ල මේ පොළොව මතදී යේසුස් පෙන්වූයේ කෙසේද?

11 යේසුස්ව මැවූ දා පටන් ඔහු හා ඔහුගේ පියා අතර කිට්ටු බැඳීමක් තිබුණා. දෙවි මිනිසුන් සමඟ කටයුතු කළ විට ඔවුන්ට දැක්වූ සැලකිල්ල ස්වර්ගයේ සිටි යේසුස් අවබෝධ කරගත්තා. තම පියා පෙන්වූ ආකාරයටම ඔහුද මිනිස් වර්ගයාට ප්‍රේම කළා. ඔවුන් සම්බන්ධයෙන් යේසුස්ට දැනුණු ආකාරය බයිබලයේ සඳහන් වෙන්නේ මෙසේයි. “මනුෂ්‍ය පුත්‍රයන් නිසා මම අතිශයින් ප්‍රීති වුණෙමි.”—හිතෝ. 8:22, 31, නව ලොව පරිවර්තනය.

12, 13. (අ) දෙවි ඊශ්‍රායෙල්වරුන් සමඟ කටයුතු කළ ආකාරය නිරීක්ෂණය කිරීමෙන් යේසුස් ඉගෙනගත්තේ කුමක්ද? (ආ) එම පුහුණුව යේසුස් යොදාගත්තේ කෙසේද?

12 දෙවි ගැටලු සහිත තත්වයන් හසුරුවන ආකාරය නිරීක්ෂණය කිරීමත් යේසුස්ගේ පුහුණුවට අයත් වුණා. උදාහරණයකට දෙවි අකීකරු ඊශ්‍රායෙල්වරුන් සමඟ කටයුතු කළ ආකාරය ගැන සලකා බලමු. ඒ ගැන නෙහෙමියා 9:28හි මෙසේ පවසනවා. ‘ඔවුන් නිවාඩු ලැබ නැවත යෙහෝවා දෙවි ඉදිරියේ නපුරුකම් කළ නිසා ඔවුන්ව සතුරන්ගේ අතට අසුවීමට ඔබ ඉඩහැරියේය. සතුරෝද ඔවුන්ව යටත් කරගත්තෝය. එහෙත් ඔවුන් ආපසු හැරී ඔබට හඬගැසූ කල ඔබ ස්වර්ගයෙහි සිට ඔවුන්ගේ බස් අසා ඔබගේ දයාව නිසා නොයෙක් වර ඔවුන්ව නිදහස් කළේය.’ මෙසේ යෙහෝවා දෙවි සමඟ එකට වැඩ කිරීමෙන් හා ඔහුව නිරීක්ෂණය කිරීමෙන් ලැබූ පුහුණුව නිසා පොළොව මත තමාට මුණගැසුණු සියලුදෙනාටම යේසුස් දයානුකම්පාව පෙන්නුවා.—යොහ. 5:19.

13 යේසුස් තමන් ලැබූ පුහුණුව දයානුකම්පාවෙන් යුතුව ක්‍රියාත්මක කළ ආකාරය බලන්න. ඔහුව අත්අඩංගුවට ගත් රාත්‍රියේදී ඔහු බොහෝ සේ ප්‍රේම කළ ගෝලයන් ‘ඔහුව අත්හැර පලා ගියා.’ (මතෙ. 26:56; යොහ. 13:1) පේතෘස් තුන් වතාවක්ම යේසුස්ව හඳුනන්නේ නැති බව ප්‍රකාශ කළා. නමුත් ඊට පෙර අවස්ථාවකදී යේසුස් පවසා තිබූ මේ වචන නිසා නැවතත් යේසුස් වෙතට හැරී එන්න ඔවුන්ට පහසුවක් දැනුණා. ඔහු පේතෘස්ට පැවසුවේ “ඔබේ ඇදහිල්ල සම්පූර්ණයෙන්ම නැති නොවන පිණිස මා ඔබ වෙනුවෙන් අයැද තිබේ. ඔබ හැරුණු පසු ඔබේ සහෝදරයන්ව ශක්තිමත් කරන්න” කියායි. (ලූක් 22:32) එහි ප්‍රතිඵලයක් හැටියට ඔවුන් පසුතැවිලි වූ අතර අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හෙවත් නව යෙරුසලමේ ශක්තිමත් අත්තිවාරම බවට පත් වෙන්න ඒ මුල් ගෝලයන්ට හැකි වුණා. එම අත්තිවාරම් ගල් දොළොස නම් කර තිබෙන්නේද යේසුස්ගේ විශ්වාසවන්ත ප්‍රේරිතයන්ගේ නමින්. අදටත් යෙහෝවා දෙවිගෙත් යේසුස්ගෙත් මඟ පෙන්වීම හා රැකවරණය යටතේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සමඟ “වෙනත් බැටළුවන්ද” ශුභාරංචිය දේශනා කිරීමට අත්වැල් බැඳගෙන සිටිනවා.—එෆී. 2:20; යොහ. 10:16; එළි. 21:14.

යේසුස් ඉගැන්වූ ආකාරය

14, 15. යේසුස්ගේ ඉගැන්වීම් යුදෙව් ආගමික නායකයන්ගේ ඉගැන්වීම්වලට වඩා වෙනස් වූයේ කිනම් ආකාරවලින්ද?

14 යේසුස් තම ගෝලයන්ට උගන්වන විට ඔහු ලැබූ පුහුණුව යොදාගත්තේ කෙසේද? යේසුස් හා එදා සිටි යුදෙව් ආගමික නායකයන් ඉගැන්වූ දේවල් අතර වෙනස හඳුනාගැනීමෙන් යේසුස්ගේ ඉගැන්වීම් කොතරම් උසස්ද කියා තේරුම්ගැනීමට අපට හැකියි. ලියන්නන් හා පරිසිවරුන් ‘ඔවුන්ගේ සම්ප්‍රදාය නිසා දෙවිගේ වචනය අවලංගු කළා.’ නමුත් තමාගේම අදහසකට අනුව කිසිවක් නොකී යේසුස් සෑමවිටම යොදාගත්තේ දෙවිගේ වචනයයි. (මතෙ. 15:6; යොහ. 14:10) අප උගන්වන විටද කළ යුත්තේ එයමයි.

15 යේසුස් එම ආගමික නායකයන්ට වඩා වෙනස් වූ තවත් හේතුවක් තිබෙනවා. ලියන්නන් හා පරිසිවරුන් ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “ඔවුන් ඔබට කියන සියල්ල කරන්න. ඒවා පවත්වන්න. නමුත් ඔවුන්ගේ ක්‍රියා ලෙස නොකරන්න. මන්ද ඔවුන් කියනවා මිස කරන්නේ නැත.” (මතෙ. 23:3) ඔවුන්ට වෙනස්ව යේසුස් ඉගැන්වූ දෙයට අනුව ජීවත් වුණා. එය සැබෑවක් බව ඔප්පු කරන උදාහරණයක් අපි දැන් සලකා බලමු.

16. මතෙව් 6:19-21හි සඳහන් ආකාරයට යේසුස් ජීවත් වූ බව පැවසිය හැක්කේ ඇයි?

16 යේසුස් ඔහුගේ ගෝලයන්ට පැවසුවේ ‘ස්වර්ගයෙහි වස්තු රැස් කරගන්න’ කියායි. (මතෙව් 6:19-21 කියවන්න.) එසේ පැවසූ ඔහු ඊට එකඟව කටයුතු කළාද? ඔව්. ඒ බව ඔහු පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “හිවලුන්ට බෙන තිබුණත් අහසේ කුරුල්ලන්ට ලගින්න තැන් තිබුණත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තැබීමට තැනක් නැත.” (ලූක් 9:58) යේසුස් ගත කළේ ඉතාම සරල ජීවිතයක්. ඔහු තම ජීවිතයේ මූලික අවධානය දුන්නේ ශුභාරංචිය දේශනා කිරීමටයි. පොළොවේ වස්තු රැස් කරගැනීමට යෑමෙන් අත්වන කනස්සල්ලෙන් මිදෙන්නේ කෙසේද කියා ඔහු තම ආදර්ශයෙන් පෙන්නුවා. ‘කාවෝවත් මලකඩවත් නාස්ති නොකරන සොරුද කඩා වැද සොරා නොගන්නා’ ස්වර්ගයෙහි වස්තු රැස් කරගැනීම කොතරම් වටිනවාද කියා යේසුස් පෙන්වා දුන්නා. ස්වර්ගයේ වස්තු රැස් කරගැනීමට දුන් යේසුස්ගේ උපදෙස ඔබ අනුගමනය කරනවාද?

සිත්ගන්නා ගුණාංග

17. යේසුස්ව ශ්‍රේෂ්ඨ මිෂනාරිවරයෙක් බවට පත් කළේ කුමන ගුණාංගද?

17 යේසුස්ව ශ්‍රේෂ්ඨ මිෂනාරිවරයෙක් බවට පත් කළේ කුමන ගුණාංගද? දෙවිව අනුකරණය කළ යේසුස් මිනිසුන් කෙරෙහි විදහා පෑ සිත්ගන්නා ගුණාංග අතර යටහත්පහත්කම, ප්‍රේමය හා දයානුකම්පාව මුල් තැනක් ගන්නවා. මෙවන් ගුණාංග නිසා බොහෝදෙනෙක් යේසුස් වෙතට ඇදුණේ කෙසේද කියා අපි දැන් බලමු.

18. යේසුස් යටහත් පහත් කෙනෙක් කියා කිව හැක්කේ ඇයි?

18 පොළොවට පැමිණීමට පෙර යේසුස් ‘සියල්ල අත්හැර, දාසයෙකුගේ ස්වරූපය ගෙන මිනිසුන්ගේ සමානත්වයට පැමිණියා.’ (ෆිලි. 2:7) එයම යටහත්පහත් ක්‍රියාවක් නොවෙයිද! පොළොවේ සිටියදී ඔහු කිසිවිටෙක මිනිසුන්ව පහත් කර සැලකුවේ නැහැ. ‘මම ආවේ ස්වර්ගයෙන්. ඒ නිසා මම කියන දේ අහන්න’ කියා කවදාවත් ඔහු පැවසුවේ නැහැ. එවැනි ආකල්පයක්වත් ඔහුට තිබුණේ නැහැ. බොරු මෙසියස්වරු මෙන් තමන් සැබෑ මෙසියස් බව කියමින් ඇවිද්දේද නැහැ. ඒ වෙනුවට තමන් කවුද කියාත් තමන් කළ දේවල් ප්‍රසිද්ධ නොකරන ලෙසත් සමහර අවස්ථාවලදී යේසුස් සෙනඟට පැවසුවා. (මතෙ. 12:15-21) කෙනෙකුට තමාගේ අනුගාමිකයෙක් වීමට වුවමනා වුණා නම් තමා කළ ක්‍රියා මුලින්ම නිරීක්ෂණය කර පසුව එම තීරණය ගන්නවාට ඔහු කැමති වුණා. ස්වර්ගයේදී තමන් පරිපූර්ණ දේවදූතයන්ව ඇසුරු කළත් ඔහුගේ ගෝලයන්ගෙන් ඔහු පරිපූර්ණත්වය බලාපොරොත්තු වුණේ නැහැ. එය ඔහුගේ ගෝලයන්ට මොන තරම් සහනයක් වෙන්න ඇද්ද!

19, 20. ජනයාට උපකාර කිරීමට ප්‍රේමයත් දයානුකම්පාවත් යේසුස්ව පෙලඹුවේ කෙසේද?

19 යේසුස් මිනිසුන්ට උගන්වද්දී ඔහුගේ පියා මෙන් ප්‍රේමය පෙන්නුවා. (1 යොහ. 4:8) උදාහරණයක් හැටියට, එක්තරා තරුණ පාලකයෙකුට ඉගැන්වූ අවස්ථාවේදී යේසුස්ට හැඟුණු ආකාරය සලකා බලන්න. (මාක් 10:17-22 කියවන්න.) යේසුස්ට “ඔහු කෙරෙහි ප්‍රේමයක් ඇති වී” ඔහුට උපකාර කිරීමට පෙලඹුණා. නමුත් යේසුස්ගේ අනුගාමිකයෙක් වීම සඳහා තමන් සතු ධන සම්පත් අත්හරින්න ඔහු කැමති වුණේ නැහැ.

20 යේසුස් සතු වූ සිත්ගන්නාසුලු ගුණාංගයක් වූයේ දයානුකම්පාවයි. අපෙන් බොහෝදෙනා මෙන් යේසුස්ට සවන් දුන් අයත් ප්‍රශ්න ගැටලුවලින් මිරිකී සිටියා. මේ ගැන දැන සිටි යේසුස් ඔවුන්ට දයානුකම්පාවෙන් යුතුව ඉගැන්නුවා. එවැනි එක් අවස්ථාවක් අපි මතක් කරගනිමු. එදා යේසුස් හා ගෝලයන් ඉතා කාර්යබහුලව සිටි අතර ඔවුන්ට කෑම ගැනීමටවත් ඉඩක් තිබුණේ නැහැ. ඒ වුණත් රැස්ව සිටි මහත් සමූහය දුටු විට යේසුස්ගේ ප්‍රතිචාරය කුමක් වුණාද? ‘ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටි නිසා ඔහු ඔවුන් ගැන අනුකම්පාවෙන් පෙලඹී, ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත්තා.’ (මාක් 6:34) තමා දේශනා කරමින් සිටි ප්‍රදේශයේ ජනයාගේ දුක්ඛිත තත්වය දුටු යේසුස් ඔවුන්ට උගන්වන්නත් ඔවුන්ගේ යහපත වෙනුවෙන් ආශ්චර්යයන් කරන්නත් ඔහුගේ ශක්තිය හා ශ්‍රමය යෙදෙව්වා. ඔහුගේ සිත්ගන්නා ගුණාංගවලට මෙන්ම ඔහුගේ ප්‍රියමනාප වචනවලට ඇදී ගිය සමහරු පසුව ඔහුගේ ගෝලයන් බවට පත් වුණා.

21. මීළඟ ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ කුමක්ද?

21 මේ පොළොවේදී යේසුස් කළ දේවසේවය ගැන තව බොහෝ දේ ඉගෙනගැනීමට අපට හැකියි. ශ්‍රේෂ්ඨතම මිෂනාරිවරයාව අපට ආදර්ශයට ගත හැකි වෙනත් පැති මොනවාද කියා අපි මීළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• පොළොවට පැමිණීමට පෙර යේසුස් ලැබුවේ කිනම් ආකාරයේ පුහුණුවක්ද?

• යේසුස් ඉගැන්වූ ආකාරය පරිසිවරුන්ට වඩා උසස් වූයේ කෙසේද?

• ජනයා යේසුස් වෙතට ඇදුණේ ඔහුගේ කිනම් ගුණාංග නිසාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

යේසුස් ජනයාට ඉගැන්නුවේ කෙසේද?