Skip to content

පටුනට යන්න

ඇන්දීස් කඳුවැටියටත් ශුභාරංචිය

ඇන්දීස් කඳුවැටියටත් ශුභාරංචිය

ඇන්දීස් කඳුවැටියටත් ශුභාරංචිය

එදා රෑ මහ හයියෙන් වැස්සා. අපි හිටියේ තහඩු සෙවිලි කළ හොඳටම අබලන් වෙච්ච පුංචි මඩුවක. ඒ අබලන් මඩුව දැක්කම අපිට හිතුණේ ඒ පළාතට අවුරුදු ගානකින් කවුරුත් ඇවිත් නැහැ කියලයි. වැහි බිංදු වහලට කඩා වැටෙන කොට අපිට දැනුණේ හරියට ගල් කැට වැටෙනවා වගෙයි. අපි 18දෙනාම ඒ සීතල රෑ බිම වැතිරිලා ගැහි ගැහී නිදාගත්තා.

අපි ඒ අද්දැකීම ලැබුවේ බොලිවියාවේ පිහිටි හුදකලා ප්‍රදේශයකදීයි. එය පිහිටා තිබෙන්නේ ඇන්දීස් කඳු වැටියේයි. අපි ඒ ප්‍රදේශයට ගියේ “පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වාද” ශුභාරංචිය දේශනා කරන්න කියා යේසුස් දුන් අණ පිළිපදින්න තිබෙන ආශාව නිසයි.—ක්‍රියා 1:8; මතෙ. 24:14.

අපි මුලින්ම ගිය දා

අපේ මුල්ම අභියෝගය වුණේ ගමනාන්තයට ළඟාවීමයි. ඒක හිතපු තරම් ලෙහෙසි වුණේ නැහැ. ඈත පිහිටි එවැනි හුදකලා පැතිවලට බස් රථයක් දෙකක් ගියත් ඒවා යන එන වෙලාවල් ගැන දන්නා කෙනෙක් නැහැ. කොහොමහරි බස් එක ආවා. හැබැයි ඒක අපි හිතුවාට වඩා හරිම පොඩියි. ඒ නිසා අපෙන් කිහිපදෙනෙකුට යන්න වුණේ හිටගෙනයි. ඒ විදිහට කොහොමහරි අපි ගමනාන්තයට ළඟා වුණා.

අපේ ඊළඟ ඉලක්කය වුණේ කඳුකර වැසියන්ට ශුභාරංචිය දේශනා කරන එකයි. ඉතින් අපි බස් එකෙන් බැහැලා ගෙනාපු බඩු ටිකත් උස්සගෙන එක්කෙනා පස්සේ එක්කෙනා පුංචි අඩි පාරක් දිගේ ඒ උස කන්ද නැග්ගේ හරිම අමාරුවෙන්.

ඒ ගම්මානය පෙනුමට කුඩා වගේ තිබුණත් ගෙවල් තිබුණේ තැනින් තැන. ඒ නිසා එක ගමක විතරක් දේශනා කරන්න සෑහෙන වේලාවක් ගියා. කොච්චර දුර පයින් ගියත් ඒ යන හැම තැනකම වගේ ගෙවල් තිබුණා. ගොවිපොළවල් අතර එහාට මෙහාට තිබුණු පාරවල්වල ගිහින් අතරමං වුණු හැටි අපිට තාමත් මතකයි.

“ඇයි ඔයගොල්ලන් මීට කලින් ආවේ නැත්තේ?”

අපි එච්චර දුරක් ගෙවාගෙන පයින්ම ආ නිසා පුදුමයට පත් එක් ස්ත්‍රියක් අපේ දිවා ආහාරය පිළියෙල කරගන්න දරත් දීලා ඇගේ කුස්සියත් පාවිච්චි කරන්න කියලා කිව්වා. තවත් කෙනෙක් මළවුන්ගේ තත්වය ගැන බයිබලයේ පවසන දෙය ගැන දැනගත්තාම අපෙන් මෙහෙම ඇසුවා. “ඇයි ඔයගොල්ලන් මීට කලින් ආවේ නැත්තේ?” ශුභාරංචියට ඔහු මොන තරම් උනන්දුවක් දැක්වුවාද කියනවා නම් අපි ඒ ගමෙන් පිට වෙලා ඊළඟ ගමට යනකම්ම තවත් ප්‍රශ්න අසමින් ඔහු අපි එක්කම ආවා. අපිට හමු වූ තවත් කෙනෙක් කිසිමදාක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන අසා තිබුණේ නැහැ. ඔහු අපේ පොත් පත් කියවීමට ලොකු ආශාවක් දැක්වුවා. ඔහු අපට නොසෑහෙන්න ස්තුති කළා. ඒ විතරක් නෙවෙයි එදා රෑ නවාතැන් පහසුකම් පවා අපිට දුන්නා.

දවසක් රෑ ඝන අඳුරේ දන්නෙම නැතුව අපි අපේ කූඩාරම් ගහලා තිබුණේ ලොකු කලු කුහුඹි ගුලක් උඩයි. මුලින්ම උන් අපිව කෑවත් වැඩි වෙලාවක් යන්න කලින් උන් අපිට අපේ පාඩුවේ ඉන්න දුන්නා. එදා අපිට හරිම මහන්සි දවසක් වුණු නිසා එළිවෙනකම් නිදාගත්තා.

බිම නිදාගත්තු නිසා අපේ ඇඟපත ටිකක් රිදුණත් පසුව දා උදේ නැඟිටිද්දී අපි දුටු සුන්දර දර්ශනය නිසා තිබුණු වේදනාවත් නැති වෙලා ගියා. ඒ අවට තිබුණු මිටියාවත් හරිම පිරිසිදුයි. අලසකමින් පා වී යන වලාකුළු වගේම හිමෙන් වැසී ගිය කඳු මුදුන් බලන්න ලස්සනයි. ඒ සුන්දර උදෑසනේ තිබූ නිහැඬියාව බිඳී ගියේ දොළ පාරක සිලි සිලියෙන් එහෙමත් නැත්නම් කුරුල්ලන්ගේ කිචි බිචියෙන් විතරයි.

උදෙන්ම දොළ පාරෙන් නාගත් අපි දිනපදය සාකච්ඡා කරලා කෑම කෑවා. ඊට පස්සේ අපි ඈත එපිට කඳු මුදුන්වල පිහිටි අනිත් ගම්මානවලටත් යන්න පටන්ගත්තා. දෙවිගේ නම යෙහෝවා බව තමන්ගේම බයිබලයෙන් දුටුවාම එහි සිටි එක් ස්ත්‍රියක් සතුටු කඳුළු සැලුවා! ඒ, එදා ඉඳලා ඇයට දෙවිගේ නම කියලා යාච්ඤා කරන්න පුළුවන් වුණු එක ගැනයි. අමාරුවෙන් හරි කඳු නැඟගෙන ඒ ගමටත් යෑමට දැරූ උත්සාහය අපතේ ගියේ නැහැ.

එක් සීයා කෙනෙක් අපේ පණිවිඩයට සවන් දුන්නාට පස්සේ මහා හයියෙන් ගීතිකාවක් කියන්න පටන්ගත්තා. ඒකෙන් කියවුණේ දෙවියන් ඔහුට සවන් දීලා දේවදූතයන් මාර්ගයෙන් අපිව එවා තිබෙනවා කියලයි. ගෙයින් එළියටවත් බැහැගන්න බැරිව අසනීපයෙන් සිටි තවත් කෙනෙක් කිව්වේ ගමේ කවුරුත් ඔහුව බලන්න ආවේ නැති බවයි. අපි ලා පාස් ප්‍රදේශයේ ඉඳලා මෙච්චර දුරක් ගෙවාගෙන ඔහුගේ නිවසට ආපු එක ගැන ඔහු පුදුම වුණා. තවත් කෙනෙක් කිව්වේ අනිත් ආගම්වල දේශනා කරන්නේ සීනු ගහලා මිනිසුන්ව පල්ලියට ගෙන්න ගෙනයි. හැබැයි සාක්ෂිකරුවන් නම් ගෙවල්වලටම ගිහින් එහෙම කරන එක ගැන ඔහු අපිට ගොඩාක් ස්තුති කළා.

ඒ පැත්තේ එක ගෙදරකටවත් විදුලි බලය නැහැ. ඒ නිසා අඳුර වැටෙද්දී මිනිස්සු නිදාගන්නවා. පාන්දර අරුණලු වැටෙද්දී ඇහැරෙනවා. ඒ නිසා මිනිසුන්ව නිවසේදීම හමු වෙලා දේශනා කරන්න නම් උදේ හයටවත් සේවය පටන්ගන්න ඕනේ. එහෙම නොකළොත් ඔවුන්ගෙන් වැඩිදෙනෙකුව මුණගැහෙන්න වෙන්නේ ඔවුන්ගේ ගොවිපොළවලදීයි. එතැනදී හමු වන අය තමන්ගේ වැඩ ටිකකට නවත්තලා නඟුල අදින ගවයන්ටද පුංචි විවේකයක් දෙමින් අපිට සවන් දුන්නා. නිවෙස්වලදී හමු වන බොහෝදෙනා බැටළු හම් බිම එළලා අපිට වාඩි වෙන්න දුන්නා. ඉන්පසු පණිවිඩයට සවන් දෙන්න පවුලේ හැමෝටම අඬගැසුවා. සමහර ගොවියන් අපේ පොත් පත්වලට ස්තුති කළේ ඔවුන් වගා කළ බඩඉරිඟු අපිට ලබා දීමෙනුයි.

“මාව අමතක කළේ නැහැ නේද?”

කෙනෙක් සත්‍යය තුළ දියුණු වෙන්න නම් එක් වතාවකට වඩා ඔහුට ඉගැන්විය යුතුයි කියලා අපි දන්නවා. නැවත පැමිණ බයිබලය ගැන ඔවුන්ට උගන්වන්න කියා බොහෝදෙනෙක් අපෙන් ඉල්ලා සිටියා. ඒ නිසා අපි කිහිප වතාවක්ම බොලිවියාවේ ඒ ප්‍රදේශයට ගියා.

එවැනි එක් අවස්ථාවක මහලු ස්ත්‍රියක් බොහොම සතුටින් අපිට මෙහෙම කිව්වා. “ඔයගොල්ලන් මට දරුවෝ වගේ. මාව අමතක කළේ නැහැ නේද?” අපි කරන සේවය සම්බන්ධයෙන් ස්තුතිවන්ත වූ එක් මිනිසෙක් කිව්වේ අපි ආයේ ආවොත් ඔහුගේ නිවසේ නවතින්න පුළුවන් කියලයි. අපි කරපු සේවයෙන් ලබපු ලොකුම සතුට නම් කලින් වතාවක දේශනා කරපු කාන්තාවක් නගරයේ පදිංචියට ගිහින් දැන් එහි ශුභාරංචිය දේශනා කරන බව දැනගන්න ලැබීමයි.

අපි මුල්ම වතාවට එහේ ගිහිල්ලා ආපසු එන දවසේ ලිප පත්තු කරන්න අරන් ගිය භූමිතෙල් ටික ඉවර වුණා. ඒ විතරක් නෙවෙයි කෑමත් ඉවර වේගෙන ආවා. ඉතින් අපි අහල පහළින් දර ටිකක් එකතු කරගෙන, තිබුණු අන්තිම කෑම ටිකත් ඉව්වා. ඊට පස්සේ කිලෝමීටර් ගාණක් ඇවිදගෙන ඇවිත් අඳුරු වැටෙද්දී නගරයට ළඟා වුණා.

ආපහු ගෙදර එද්දී

අපි ආපහු ගෙදර එන අතරමඟදී බස් එක කැඩුණා. ඒ වෙලාවෙම වගේ සෙනඟ පිරුණු ලොරියක් එතැන නතර කළා. අපි ඒකෙ නැඟලා හිර වෙලා ආවේ හරිම අමාරුවෙන්.

ආපහු එන අතරමඟ අපි කොහේද ගියේ කියලා අහපු අයට දේශනා කරන්නත් අවස්ථාවක් ලැබුණා. ස්වභාවයෙන්ම ලැජ්ජාශීලී වුණත් ඒ මිනිස්සු හරිම මිත්‍රශීලීයි. ඉතින් පැය නවයක් තිස්සේ ලොරියෙන් ඇවිත් ගෙදරට යනකොට හොඳටම තෙත්බරි වෙලයි හිටියේ. නමුත් ඒ දේශනා සංචාරය නම් හරිම ප්‍රතිඵලදායකයි. අපි එන ගමන් නගරයේ පදිංචි කාන්තාවක් සමඟ බයිබල් පාඩමක් පටන්ගන්න සැලසුම් කරගන්නත් පුළුවන් වුණා.

එවැනි හුදකලා ප්‍රදේශවල සිටින මිනිසුන්ටත් ශුභාරංචිය ප්‍රකාශ කරන්න ලැබීම ගැන අපිට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. අපි ගම්මාන හතරකත් පවුල් කිහිපයක් විතරක් ඉන්න පුංචිම ගම්මාන බොහෝමයකත් දේශනා කළා. යෙසායා පැවසූ මේ වචන අපිට මතක් වුණේ ඉබේටමයි. ‘කඳු මුදුන්වල සිට ශුභාරංචි කියන්නා වූ, සාමය පතළ කරන්නා වූ, යහපත ගැන ශුභාරංචි ගෙනෙන්නාවූ, ගැලවීම ප්‍රකාශ කරන්නා වූ තැනැත්තාගේ පාද කොපමණ අලංකාරද!’—යෙසායා 52:7, නව ලොව පරිවර්තනය; රෝම 10:15.

[17වන පිටුවේ පින්තූරය]

ශුභාරංචිය දේශනා කරන්න සූදානම් වෙමින්