Skip to content

පටුනට යන්න

උපකාරය පතා දෙවි දෙස බලන්න

උපකාරය පතා දෙවි දෙස බලන්න

උපකාරය පතා දෙවි දෙස බලන්න

“යෙහෝවා දෙවිගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත්, ඔහුගේ කන් ඔවුන්ගේ අයැදීම වෙතටත් යොමු වී තිබේ.”—ගීතා. 34:15, නව ලොව පරිවර්තනය, NW.

1, 2. (අ) බොහෝදෙනා අද දින අද්දකින්නේ කුමන තත්වයක්ද? (ආ) ඒ ගැන අප පුදුම නොවන්නේ ඇයි?

ඔබ දුක් කරදරවලින් මිරිකී සිටින කෙනෙක්ද? මේ ලෝකයේ තවත් මිලියන ගණනක් ඔබ හා සමාන තත්වයන්ට මුහුණ දෙමින් සිටිනවා. ඊට හේතු වී ඇත්තේ අද පවතින දුෂ්ට සමාජයයි. ඒ ගැන ඔවුන්ට හැඟෙන්නේ දාවිත් හා සමානවයි. “මගේ මුළු ඇඟම හිරිවැටී මම සම්පූර්ණයෙන්ම බිඳ වැටී සිටිමි. සිතේ වේදනාවෙන් මම කෑගසමි. මාගේ හද තදින් ගැහෙන්නේය. මාගේ ශක්තිය හීන වී ඇත. මාගේ ඇස් අඳුරු වී ඇත.”—ගීතා. 38:8, 10NW.

2 මේවා අන්තිම දවස්වලදී “විපත්ති නිසා ඇති වන වේදනාවල” කොටසක් බව අප දන්නා නිසා ඒ ගැන අප පුදුම වන්නේ නැහැ. (මාක් 13:8; මතෙ. 24:3) “විපත්ති නිසා ඇති වන වේදනා” යන ප්‍රකාශය මූලිකවම යොමු දක්වන්නේ දරුවෙක් බිහි කරන විටදී මවකට දැනෙන දැඩි වේදනාවටයි. මෙම “කටයුතු කිරීමට අසීරු අන්තරාදායක” කාලවලදී මිනිසුන් අද්දකින වේදනාවට එම ප්‍රකාශය මොන තරම් කදිමට ගැළපෙනවාද!—2 තිමෝ. 3:1.

දෙවි අපගේ තත්වය හොඳින් දනී

3. දෙවිගේ සේවකයන් හැටියට අප දැන සිටින්නේ කුමක්ද?

3 දෙවිගේ සේවකයන් හැටියට අපද දුක් කරදරවලින් නිදහස් නැහැ. එමෙන්ම ඒවා තව තවත් වැඩි වෙන බව අප දන්නවා. සෙසු මිනිසුන්ට වෙනස්ව ‘විරුද්ධකාරයා වන යක්ෂයාගේ’ ප්‍රහාරවලට මුහුණ දීමටද අපට සිදු වෙනවා. ඔහු මාන බලන්නේ කෙසේ හෝ අපගේ ඇදහිල්ල බිඳ දැමීමටයි. (1 පේතෘ. 5:8) එමනිසා දාවිත්ට මෙන් අපටත් මෙසේ හැඟෙන්න පුළුවන්. “මාගේ හදවත පැළෙන තරම් මා නින්දා විඳ ඇත. ඒ තුවාලය සුව කළ නොහැක. කවරෙකු හෝ මට අනුකම්පා කරාවිදෝයි කියා මම බලා සිටියෙමි. නමුත් කිසිවෙකු ආවේ නැත. මාව සනසවන්න කිසිවෙකු සිටියේ නැත.”—ගීතා. 69:20NW.

4. අපට සහනයක් වන්නේ කුමක් දැන සිටීමද?

4 එම වචනවලින් දාවිත් අදහස් කළේ ඔහුට උපකාර කිරීමට කිසිවෙක් නැති බවද? නැහැ. ඔහු ඊළඟට පැවසූ දෙය බලන්න. “යෙහෝවා දෙවි දුප්පත් අයට ඇහුම්කන් දෙන්නේය. තමන්ට සිරකරුවන් ලෙස ගත් අයව ඔහු හෙළා නොදකියි.” (ගීතා. 69:33NW) දාවිත් හා සමානව දුක් කරදරවලින් සිර වී සිටින බවක් අපටත් හැඟෙන්න පුළුවන්. එවිට, අපගේ තත්වය තේරුම්ගන්න කවුරුවත් නැහැයි කියා අපට සිතෙන අවස්ථාද ඇති. නමුත් දාවිත් සිටි තත්වය දෙවි හොඳින්ම තේරුම්ගෙන ඔහුට උපකාර කළා. ඒ හා සමානව දෙවි අපටත් උපකාර කරන බව දැන සිටීම මහත් සහනයක්.—ගීතා. 34:15.

5. සලමොන්ට දැඩි විශ්වාසයක් තිබුණේ කුමක් ගැනද?

5 දෙවි අපට උපකාර කරන බව සලමොන් දේවමාලිගාව කැප කරන විට කළ යාච්ඤාවෙන් පැහැදිලියි. (2 ලේකම් 6:29-31, NW කියවන්න.) “එක් එක්කෙනා තම තමාගේ සිතේ ඇති වන වේදනාව නිසා” දෙවිට කරන කන්නලව්වලට සවන් දෙන්න කියා ඔහු දෙවිගෙන් අයැද සිටියා. දෙවි එවැනි අයගේ යාච්ඤා අසනවා පමණක් නොව ඔවුන්ට උපකාරද කරන බවට සලමොන් තුළ දැඩි විශ්වාසයක් තිබුණා. ඊට හේතුව වුණේ “මනුෂ්‍යයන්ගේ සිත හොඳින්ම දන්නේ” දෙවි බව ඔහු දැන සිටි නිසයි.

6. දුක් කරදරවලට මුහුණ දෙන විට අපට කුමක් කළ හැකිද? එසේ කළ යුත්තේ ඇයි?

6 දුක් කරදර නිසා ‘අපගේ සිතේ ඇති වන වේදනාව’ ගැන දෙවිට පවසන්න අපටත් හැකියි. ඔහු අප සිටින තත්වය හොඳින්ම තේරුම්ගන්නා බවත් අප ගැන සැලකිලිමත් වන බවත් දැන සිටීම අපට මහත් සහනයක්. පේතෘස් මහත් විශ්වාසයකින් මෙසේ පැවසුවේ ඒ නිසයි. “ඔහු ඔබ ගැන සලකන නිසා, ඔබේ සියලු කරදර ඔහු පිට තබන්න.” (1 පේතෘ 5:7) ඇත්තෙන්ම යෙහෝවා දෙවි අප ගැන ඉතාම සැලකිලිමත්. ඒ ගැන තහවුරු කරමින් යේසුස්ද මෙසේ පැවසුවා. “ගේ කුරුල්ලන් දෙදෙනෙකු සුළු මුදලකට විකුණනවා නොවේද? එහෙත් ඔබේ පියාණන් නොදැනුවත්ව, උන්ගෙන් එකෙක්වත් බිමට වැටෙන්නේ නැත. ඔබේ සියලු හිසකේ පවා ගණන් කර තිබේ. එබැවින් බිය නොවන්න. ගේ කුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා ඔබ වටින්නහුය.”—මතෙ. 10:29-31.

දෙවිගේ උපකාර පතන්න

7. දෙවි අපට උපකාර කරන්නේ කෙසේද?

7 අපට උපකාර කිරීමට දෙවි කැමැත්තෙන් සිටිනවා පමණක් නොව ඒ සඳහා ඔහුට හැකියාවද තිබෙනවා. ඒ ගැන බයිබලයේ පවසන්නේ “දෙවි අපේ රැකවරණය හා ශක්තියය. දුක් කරදරවලදී පිහිට වීමට ඔහු සූදානමින් සිටින්නේය” කියායි. (ගීතා. 34:15-18; 46:1NW) එමෙන්ම 1 කොරින්ති 10:13හි පවසන දෙයද බලන්න. “දෙවි විශ්වාසවන්තය. ඔබට දරාගත හැකි තරමට වඩා පරීක්ෂා කරනු ලබන්න ඔහු ඉඩ දෙන්නේ නැත. ඒ වෙනුවට, පරීක්ෂාවත් සමඟම, ඔබට එය විඳදරාගත හැකි වන පිණිස ඔහු ඉන් ගැලවීමට මඟද සලසා දෙන්නේය.” එහි පවසන ආකාරයට අප සිටින තත්වයෙන් ගොඩ ඒමට දෙවි අපට උපකාර කරයි. එසේ නැත්නම් එම තත්වය විඳදරාගෙන කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය අපට ලබා දෙයි.

8. දෙවිගේ උපකාරය ලැබීමට නම් අප කුමක් කළ යුතුද?

8 දෙවිගෙන් උපකාර ලැබීමට නම් අප කුමක් කළ යුතුද? ඒ ගැන පේතෘස් පැවසුවේ “ඔබේ සියලු කරදර ඔහු පිට තබන්න” කියායි. මින් අදහස් කරන්නේ අපගේ සියලු ප්‍රශ්න ගැටලු විසඳීමට දෙවිට භාර දීමයි. ඉන්පසු දෙවි අපගේ අවශ්‍යතා බලාගන්නා බවට පූර්ණ විශ්වාසය ඇතුව සිටීමද අවශ්‍ය වෙනවා. (මතෙ. 6:25-32) එසේ කරන්න නම් අප තුළ නිහතමානිකම තිබිය යුතුයි. ඒ ආකාරයට අප දෙවිගේ “බලවත් හස්තයට යටත්” වීමෙන් පෙන්වන්නේ අපගේ හැකියාවන් සීමිත බව අප තේරුම්ගන්නා බවයි. (1 පේතෘස් 5:6 කියවන්න.) එවිට දෙවි ඉඩහරින ඕනෑම තත්වයකට මුහුණ දීමට අපට හැකියාව ලැබෙයි. සාමාන්‍යයෙන් අප ආශා වන්නේ අපගේ ගැටලුවලට ඉක්මන් විසඳුමක් ලැබෙනවාටයි. නමුත් එය අපට ලබා දිය යුතු සුදුසුම කාලය සහ ආකාරය නිවැරදිවම දන්නේ යෙහෝවා දෙවි පමණක් බව අපට විශ්වාසයි.—ගීතා. 54:7; යෙසා. 41:10.

9. දාවිත් දෙවිට භාර දුන්නේ කුමනාකාරයේ දුක් කරදරද?

9 දාවිත්ගේ මෙම වදන් සැලකිල්ලට ගන්න. “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. ඔහු ඔබව උසුලන්නේය. ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ නොදෙන්නේය.” (ගීතා. 55:22NW) එම වදන් ලියද්දී ඔහු සිටියේ සිතේ දැඩි වේදනාවකිනුයි. (ගීතා. 55:4) ඊට හේතු වූයේ ඔහුගේ පුත් අබ්සලොම් ඔහුගෙන් රජකම පැහැරගැනීමට කුමන්ත්‍රණ කිරීමත් ඔහුගේ කිට්ටුම උපදේශකයා වූ අහිතොෆෙල් ඊට සහයෝගය දී තිබීමත් නිසයි. මේ නිසා ජීවිතය බේරාගන්න දාවිත්ට පලා යන්න සිදු වුණා. (2 සාමු. 15:12-14) නමුත් ඔහුට මොන තරම් දුක් කරදර පැමිණියත් ඔහු දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තැබූ නිසා ඔහුගේ බලාපොරොත්තු සුන් වුණේ නැහැ.

10. දුක් කරදරවලට මුහුණ දෙන විට අප කළ යුත්තේ කුමක්ද?

10 දාවිත් මෙන් අපත් දෙවිට මහත් ඕනෑකමකින් යාච්ඤා කළොත් ඉන් අත්වන ප්‍රතිඵලය කුමක්ද? (ෆිලිප්පි 4:6, 7 කියවන්න.) එවිට “සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් [අපේ] සිත්ද, මනස්ද ආරක්ෂා කරන” බව පාවුල් සඳහන් කළා.

11. “දෙවිගේ සමාදානය” අපට ආරක්ෂාවක් වන්නේ කුමන ආකාරවලින්ද?

11 නමුත් අප මුහුණ දෙන කටුක තත්වයන් වෙනස් කිරීමට එවැනි යාච්ඤාවලට හැකිද? හැකියාවක් තිබෙනවා. නමුත් අප මතක තබාගත යුතු කරුණක් වන්නේ අප බලාපොරොත්තු වන ආකාරයෙන්ම තත්වයන් වෙනස් නොවන බවයි. නමුත් යාච්ඤාවෙන් ඉටු වන කාර්යය සලකා බලන්න. අප දෙවිට කන්නලව් කරද්දී “දෙවිගේ සමාදානය” අපට ලැබෙනවා. එමගින් අපගේ මනසේ සාමය ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ගැටලුවලින් යටපත් නොවී, කලබල නොවී, සන්සුන්ව හා සමබරව ඒවාට මුහුණ දීමට අපට හැකියාව ලැබෙනවා. “දෙවිගේ සමාදානය” හරියට නගරයක් සතුරන්ගෙන් ආරක්ෂා කිරීමට එය වටා සිටින හමුදාවක් වගෙයි. ඒ මගින් අපගේ සිතුවිලි ආරක්ෂා කරයි. එමෙන්ම අපගේ බිය සැක දුරු කිරීමටත්, ඉක්මන් වී අඥාන ලෙස ක්‍රියා කිරීමෙන් අපව වැළැක්වීමටත් ඊට හැකියි.—ගීතා. 145:18.

12. දුක් කරදර මැද වුවත් කෙනෙකුට මනසේ සාමය ඇතිව සිටිය හැකි ආකාරය ගැන නිදර්ශනයක් දෙන්න.

12 දුක් කරදර මැද වුවත් මනසේ සාමය පවත්වාගත හැක්කේ කෙසේද? අපගේ තත්වයට යම් ප්‍රමාණයකට අදාළ මේ උදාහරණය සලකා බලන්න. සේවකයෙකුට ඉතාමත් රළු පරුෂ නිලධාරියෙක් යටතේ සේවය කිරීමට සිදු වෙනවා. ඔහු එම ගැටලුව ඉතාමත් කාරුණික, සාධාරණ පුද්ගලයෙක් වන මෙම ආයතනයේ අයිතිකරුට පවසනවා. තමන් ඒ ගැන දන්නා බවත් ඉතා ඉක්මනින්ම එම තැනැත්තාව රැකියාවෙන් අස් කරන බවත් ස්වාමියා මේ සේවකයාට පවසනවා. ඒ ගැන සේවකයාට කෙසේ හැඟෙයිද? තව ටික කාලයක් ඒ රළු පරුෂ නිලධාරියා යටතේ වැඩ කරන්න සිදු වන බව සේවකයා දන්නවා. ඒ වුණත් අයිතිකරුගේ පොරොන්දුව ඔහු විශ්වාස කරන නිසා, දිගටම එහි සේවය කිරීමට වූ ඔහුගේ අධිෂ්ඨානය තවත් ශක්තිමත් වෙනවා. ඒ හා සමානව අප සිටින තත්වයත් යෙහෝවා දෙවි හොඳින් දන්නා බව අපට ස්ථිරයි. එමෙන්ම ඔහු අපට පොරොන්දු කර තිබෙන්නේ ඉතාම ළඟදී “මේ ලෝකයේ පාලකයාව පිටතට දමනු” ලබන බවයි. (යොහ. 12:31) එය අප සියලුදෙනාටම මොන තරම් සහනයක්ද!

13. යාච්ඤාවට අමතරව අප කළ යුත්තේ කුමක්ද?

13 අපගේ දුක් කරදර ගැන යාච්ඤා කිරීම පමණක් ප්‍රමාණවත්ද? නැහැ. යාච්ඤාවට අමතරව දාවිත් කළ දේ බලන්න. ඔහුව මරන්න සාවුල් මිනිසුන්ව එවූ අවස්ථාවේදී දාවිත් මෙසේ යාච්ඤා කළා. “අනේ දෙවියනි, මාගේ සතුරන්ගෙන් මාව බේරාගන්න. මට විරුද්ධව නැඟී සිටින අයගෙන් මාව ආරක්ෂා කරන්න. හානි පමුණුවන අයගෙන් මාව බේරාගන්න. ලේ වැගිරෙවූ අයගෙන් මාව ගලවාගන්න.” (ගීතා. 59:1, 2NW) පසුව ඔහු තම භාර්යාවට කන් දී ජීවිතය බේරාගැනීමට පලා ගියා. (1 සාමු. 19:11, 12) ඔහු මෙන් අපත් යාච්ඤා කරනවාට අමතරව ඊට එකඟව ක්‍රියා කිරීමත් අවශ්‍යයි. එමෙන්ම අප ගත යුතු ඥානවන්ත ක්‍රියාමාර්ගය කුමක්ද කියා පෙන්වන මෙන්ද යාච්ඤා කිරීම වැදගත්.—යාකො. 1:5.

ශක්තිය ලැබිය හැකි ආකාර

14. විඳදරාගැනීමට උපකාර කරන එක් දෙයක් කුමක්ද?

14 අප මුහුණ දෙන දුක් කරදර යම් කාලයක් පුරා පවතින්න පුළුවන්. ඒ කාලය තුළ විඳදරාගැනීමට අපට උපකාර කරන්නේ කුමක්ද? පළමුවැන්න නම් විශ්වාසවන්තව විඳදරාගැනීමෙන් දෙවි කෙරෙහි ඇති අපගේ ප්‍රේමය පෙන්වීමට අවස්ථාවක් ලැබෙන බව මතක තබාගැනීමයි. (ක්‍රියා 14:22) මෙහිදී සාතන් යෝබ් සම්බන්ධයෙන් දෙවිට කළ චෝදනාවද මතකයේ තබාගනිමු. සාතන් පැවසුවේ “ඔහු දෙවිට ගරුබිය දක්වන්නේ වාසි ප්‍රයෝජන නිසයි. ඔබ ඔහුගේ නිවසද, ඔහු සතු සියල්ලද වටා ආරක්ෂක වළල්ලක් දමා තිබේ. ඔහු කරන සෑම දෙයකටම ඔබ ආශීර්වාද කර ඇත. ඔහුගේ සත්ව රැළ දේශය පුරා පැතිර තිබෙන්නේ ඒ නිසයි. එහෙත් ඔබ ඔහුට ඇති සියල්ල ඉවත් කර බලන්න. එවිට ඔහු ඔබේ මුහුණටම ශාප කරන බව නිසැකයි.” (යෝබ් 1:9-11NW) නමුත් යෝබ් දෙවිට දිගටම පක්ෂපාතව සිටීමෙන් සාතන් බොරුකාරයෙක් බව ඔප්පු කළා. ඒ හා සමානව අපත් දුක් කරදර විඳදරාගැනීමෙන් සාතන් බොරුකාරයෙක් බවත් මොනම තත්වයක් යටතේ වුවත් අප දෙවිට ප්‍රේම කරන බවත් පෙන්වමු. එයාකාරයෙන් විඳදරාගැනීමෙන් අපට ඇති බලාපොරොත්තුව තව තවත් ශක්තිමත් වෙයි.—යාකො. 1:4.

15. අපව ශක්තිමත් කරන්නේ කුමන අද්දැකීම් සලකා බැලීමෙන්ද?

15 විඳදරාගැනීමට උපකාරවත් වන දෙවැන්න නම් “ලෝකයේ සිටින [අපේ] මුළු සහෝදර සංගමයටම මේ දුක්ම පැමිණෙන බව” මතක තබාගැනීමයි. (1 පේතෘ 5:9) ‘මිනිසුන්ට පොදුවේ පැමිණෙන පරීක්ෂාවක් මිස අනිකක් අප වෙත පැමිණ නැහැ.’ (1 කොරි. 10:13) එමනිසා අපගේම දුක් කරදර ගැන සිත සිතා සිටිනවා වෙනුවට අන් අය ගැන සිතමු. (1 තෙස. 1:5-7; හෙබ්‍රෙ. 12:1) ඉතාමත් වේදනාකාරී තත්වයන් විඳදරාගනිමින් දෙවිට විශ්වාසවන්තව සේවය කළ සාක්ෂිකරුවන්ගේ අද්දැකීම් කියවීම අපට මහත් ශක්තියක් ලබා දෙයි. එමෙන්ම අප හා සමාන තත්වයන්ට මුහුණ දුන් අයගේ ජීවිත අද්දැකීම් බොහෝමයක් අපගේ ප්‍රකාශනවලින් සොයාගත හැකියි.

16. විවිධ පීඩාවලට මුහුණ දෙන විට අප ශක්තිය ලබන තවත් ආකාරයක් සඳහන් කරන්න.

16 දුක් කරදර මැද විඳදරාගැනීමට උපකාරවත් වන තුන්වැනි ආකාරය කුමක්ද? එය නම් 2 කොරින්ති 1:3, 4හි ඇති වදන් මතක තබාගැනීමෙනුයි. එහි පවසන්නේ යෙහෝවා දෙවි “දයානුකම්පාවේ පියාණන්ද සියලු සැනසිල්ලේ දෙවිද වන්නේය. අපේ සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහුය. එසේ කරන්නේ, අපේ සැනසීම සඳහා දෙවිගෙන් අප ලබන සැනසීම තුළින් ඕනෑම ආකාරයක පීඩාවක් විඳින අයව සනසන්න අපට හැකි වන පිණිසය” කියායි. ඉන් අදහස් කරන්නේ අපගේ “සියලු පීඩාවලදී” අපව ශක්තිමත් කිරීමට දෙවිම අප සමඟ සිටින බවයි. එවිට “ඕනෑම ආකාරයක පීඩාවක් විඳින” අයව සනසන්න අපටත් හැකියාව ලැබෙනවා. එම වචන මොන තරම් සැබෑද කියා පාවුල්ද දැන සිටියා.—2 කොරි. 4:8, 9; 11:23-27.

17. ජීවිතයේ ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමට අපට හැක්කේ කෙසේද?

17 අපට තිබෙන හතරවන උපකාරය වන්නේ දෙවිගේ වචනය වන බයිබලයයි. “එය ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්වීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්‍රයෝජනවත්ය. එමගින් දෙවිගේ මිනිසා පූර්ණ සමර්ථකමක් ඇතිව, සෑම යහපත් ක්‍රියාවක් සඳහාම අවශ්‍ය සියලු දෙයින් පූර්ණව සිටිනු ඇත.” (2 තිමෝ. 3:16, 17) බයිබලය අපව “සෑම යහපත් ක්‍රියාවක් සඳහාම” පුහුණු කරනවා. ඒ, නිකම්ම “සමර්ථ” සහ “පූර්ණ” පුද්ගලයන් හැටියට නොව ජීවිතයේ ගැටලුවලට මුහුණ දීමට “පූර්ණ සමර්ථකමක්” ඇති මෙන්ම “සියලු දෙයින් පූර්ණ” පුද්ගලයන් හැටියටයි. මුල් භාෂාවට අනුව “සියලු දෙයින් පූර්ණව” කියද්දී මනසට නැඟෙන්නේ මුහුදු ගමනකට අවශ්‍ය සියලු දේවලින් සමන්විත බෝට්ටුවකුයි. එහි සියලුම දේ අඩංගු නිසා මුහුදු ගමනේදී පැනනැඟිය හැකි ඕනෑම තත්වයකට සාර්ථකව මුහුණ දීමට ඊට හැකියි. ඒ හා සමානව අපගේ ජීවිතයේදීත් මුහුණ දීමට සිදු විය හැකි ඕනෑම තත්වයක් සමඟ සාර්ථකව කටයුතු කිරීමට දෙවි ඔහුගේ වචනය තුළින් අපට උපකාර කරයි. ඒ අනුව ප්‍රශ්න පැනනගිද්දී අපි මෙසේ සිතමු. “දෙවි යම් දුෂ්කර තත්වයකට ඉඩහරිනවා නම් ඔහුගේ උපකාරය ඇතුව සාර්ථකව ඊට මුහුණ දෙන්න මට පුළුවන්.”

සියලු දුක් කරදරවලින් නිදහස

18. විඳදරාගැනීමට අපට උපකාර කරන්නේ තව කුමක්ද?

18 පස්වන උපකාරය නම් අප සියලුදෙනාම දුක් කරදරවලින් නිදහස ලබන මවිතකර අනාගතය ගැන නිතරම කල්පනා කිරීමයි. (ගීතා. 34:19; 37:9-11; 2 පේතෘ. 2:9) ඒ විතරක් නොව ස්වර්ගයේ හෝ පොළොවේ අප ලබන්නා වූ සදාකාල ජීවිතය නමැති අනර්ඝ ත්‍යාගය ගැනද කල්පනා කිරීමත් මහත් ශක්තියක්.

19. විශ්වාසවන්තව විඳදරාගැනීමට අපට හැක්කේ කෙසේද?

19 එම ත්‍යාගය ලබන තෙක් වර්තමානයේදී අපි මුහුණ දෙන කටුක තත්වයන්වලට දිගටම විඳදරාගනිමු. දෙවි ගෙනෙන ඒ ප්‍රීතිමත් කාලය දෙස අප ඉතා ආශාවෙන් බලා සිටිමු. (ගීතා. 55:6-8) ඒ වගේම අපගේ විඳදරාගැනීම මගින් සාතන්ව බොරුකාරයෙක් කිරීමට අපට හැකි බවත් මතකයේ තබාගනිමු. අපගේ ලෝක ව්‍යාප්ත සහෝදරයන්ද අප හා සමාන තත්වයන්ට මුහුණ දෙනවා. ඒ බව දැන සිටීමෙන්ද අපගේ යාච්ඤා තුළින්ද වඩ වඩා ශක්තිමත් වෙමු. එමෙන්ම බයිබලය හොඳින් අධ්‍යයනය කිරීමෙන් “පූර්ණ සමර්ථකමක්” හා “සියලු දෙයින් පූර්ණ” ක්‍රිස්තියානීන් බවට පත් වෙමු. “සියලු සැනසිල්ලේ දෙවි” වන යෙහෝවා ලබා දෙන ප්‍රේමණීය රැකවරණය කෙරෙහි නිතරම විශ්වාසය තබමු. එමෙන්ම අපි නිතරම මේ වචන මතක තබාගනිමු. “යෙහෝවා දෙවිගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත්, ඔහුගේ කන් ඔවුන්ගේ අයැදීම වෙතටත් යොමු වී තිබේ.”—ගීතා. 34:15NW.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• දුක් කරදර ගැන දාවිත්ට හැඟුණේ කෙසේද?

• සලමොන්ට තිබූ නිසැකකම කුමක්ද?

• දෙවි ඉඩහරින ඕනෑම දෙයකට සාර්ථකව මුහුණ දීමට අපට උපකාරවත් වන්නේ කුමන දේවල්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූරය]

දුක් කරදරවලට මුහුණ දී සිටින්නන්ට දෙවි උපකාර කරන බවට සලමොන් තුළ දැඩි විශ්වාසයක් තිබුණා

[15වන පිටුවේ පින්තූරය]

සියලු කරදර දෙවි මත තැබූ දාවිත්, යාච්ඤා කළ දෙයට එකඟව ක්‍රියා කළා