Skip to content

පටුනට යන්න

ඔබේ විවාහය තුළ ප්‍රීතිය අද්දකින්න

ඔබේ විවාහය තුළ ප්‍රීතිය අද්දකින්න

ඔබේ විවාහය තුළ ප්‍රීතිය අද්දකින්න

“ප්‍රඥාවෙන් නිවසක් ගොඩනැඟෙයි. වටහාගැනීමේ හැකියාවෙන් එය ස්ථිරව පිහිටවනු ලැබේ.”—හිතෝපදේශ 24:3, නව ලොව පරිවර්තනය, NW.

1. මිනිසා සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ වූයේ කුමක්ද?

අපගේ ප්‍රඥාවන්ත දෙවි පළමු මිනිසා වූ ආදම්ව මැවූ අවස්ථාවේදී ඔහු ‘තනිව සිටීම හොඳ නැති’ බව දුටුවා. ඊට හේතුව වූයේ ඔහු මිනිසාව මැව්වේ “පොළොව පුරා පැතිර යමින්” එය පූර්ණ කිරීමට නිසයි. ඒ සඳහා ඔහු කදිම සැලැස්මක් ඇති කළා.—උත්. 1:28; 2:18, NW.

2. එකිනෙකාට උපකාර කිරීම සඳහා දෙවි ඇති කළ සැලැස්ම කුමක්ද?

2 දෙවි කළේ කුමක්ද? “ඔහුට ගැළපෙන සහකාරියක්ව සාදා දෙන්නෙමි” කියා පවසා ආදම්ව තද නින්දකට පමුණුවා ඔහුගෙන් ඉළඇටයක් ගෙන ඉන් ස්ත්‍රියක්ව මැව්වා. ඇයව දුටු ආදම් මෙසේ පැවසුවා. “මේ මාගේ ඇටවලින් ඇටය. මාගේ මාංසයෙන් මාංසයය! ඇයට ස්ත්‍රිය යයි කියනු ලබන්නේය, මන්ද ඈ මිනිසාගෙන් ගනු ලැබීය.” ඇත්තෙන්ම ඒව ඔහුට ගැළපෙන සහකාරියක් වුණා. මේ ආකාරයට දෙවි ඔහුගේ සැලැස්මට අනුව මුල්ම විවාහය සිදු කළා. පුරුෂයා හා ස්ත්‍රිය වශයෙන් ඔවුන් එකිනෙකට වෙනස් ගතිලක්ෂණ විදහාපෙන්නුවත් ඔවුන් දෙදෙනාම පරිපූර්ණ අය වුණා. එමෙන්ම ඔවුන්ව දෙවිගේ ස්වරූපයෙන් මවනු ලැබුවා. එකිනෙකාට සහය වීම සඳහා දෙවි ඇති කළ විවාහය නමැති එම සැලැස්ම ඉතාම ප්‍රීතිමත් එකක් වූ අතර දෙදෙනාම ඊට කැමැත්තෙන්ම කීකරු වුණා.—උත්. 1:27; 2:21-23, NW.

3. අද දින සිටින බොහෝදෙනා විවාහය සලකන්නේ කෙසේද? එමෙන්ම අප දැන් සලකා බලන ප්‍රශ්න මොනවාද?

3 නමුත් කනගාටුවට කරුණක් නම් අද බොහෝ විවාහයන් තුළ පවතින්නේ කැරලිකාර ස්වභාවයක්. ඊට වග කිව යුත්තේ දෙවි නොවෙයි. අද සිටින බොහෝදෙනා විවාහය නමැති දෙවිගේ අනර්ඝ සැලැස්ම සමච්චලයට ලක් කර තිබෙනවා. දික්කසාදය අද සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. දෙමව්පියන් දරුවන්ට සෙනෙහස දක්වනවා වෙනුවට ඔවුන් තමන්ගේ වාසිය තකා දරුවන්ව වැරදි දේවලට යොදාගෙන තිබෙනවා. අඩුම තරමින් පවුලේ සමාදානය වෙනුවෙන්වත් ඉවසීමෙන් කටයුතු කරන්න ඔවුන් වෑයම් කරන්නේ නැහැ. (2 තිමෝ. 3:3) මෙවැනි දුෂ්කර කාලයකදී විවාහය තුළ ප්‍රීතිය පවත්වාගත හැක්කේ කෙසේද? විවාහය දෙකඩ වීමෙන් බේරාගැනීම සඳහා සාධාරණ ලෙස කටයුතු කිරීම උපකාරවත් වන්නේ කෙසේද? එමෙන්ම විවාහය තුළ ප්‍රීතිය අද්දකිමින් සිටින නවීන දින ආදර්ශවලින් ඉගෙනගත හැක්කේ කුමක්ද?

දෙවිගේ මඟ පෙන්වීමට යටත් වන්න

4. (අ) විවාහය සම්බන්ධයෙන් පාවුල් දුන් උපදෙස කුමක්ද? (ආ) ඊට කීකරු වන ක්‍රිස්තියානීන් කරන්නේ කුමක්ද?

4 ක්‍රිස්තියානීන් විවාහ විය යුත්තේ “ස්වාමීන් තුළ පමණි” කියා පාවුල් පැවසුවා. (1 කොරි. 7:39) එදා සිටි යුදෙව් ආගමික පසුබිමක් තිබූ ක්‍රිස්තියානීන්ට නම් එම උපදෙස අලුත් දෙයක් වුණේ නැහැ. ඊට හේතුව නම් බොරු දෙවිවරුන්ට නමස්කාර කළ අවට ජාතීන් සමඟ “කිසිම විවාහයක් සිදු නොවිය යුතුයි” කියා දෙවි මෝසෙස්ට දී තිබූ නීතියේ පැහැදිලිව සඳහන්ව තිබීමයි. තවදුරටත් දෙවි පැවසුවේ මෙසේයි. “ඔබ එවැනි දෙයකට ඉඩ දුන්නොත් ඔබේ පුතුන් දෙවිගෙන් ඈත් වී වෙනත් දෙවිවරුන්ට වන්දනාමාන කරන්න පටන්ගනියි. එවිට යෙහෝවා දෙවිගේ උදහස ඔබට විරුද්ධව ඇවිළී, ඔහු ඔබව වහාම විනාශ කර දමයි.” (ද්වි. 7:3, 4, NW) අද දින සිටින ක්‍රිස්තියානීන්ටත් එම ප්‍රතිපත්තියම අදාළ වන අතර ඔවුන්ද විවාහ විය යුත්තේ ‘ස්වාමීන් තුළ පමණයි.’ එනම් දෙවිට කැප වී බව්තීස්ම වූ කෙනෙකු සමඟයි. දෙවිගේ එම මඟ පෙන්වීමට යටත් වීම ඥානවන්තම දෙයයි.

5. විවාහ පොරොන්දුව දෙවි සලකන්නේ කෙසේද? එමෙන්ම විවාහකයන් එය සැලකිය යුත්තේ කෙසේද?

5 එවන් විවාහයන් තුළදී දෙන පොරොන්දු යෙහෝවා දෙවි ඉදිරියෙහි පරිශුද්ධයි. ඒ ගැන යේසුස්ද පැවසුවේ “දෙවි එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකෙරේවා!” කියායි. (මතෙ. 19:6) එමෙන්ම පොරොන්දුවක ඇති බරපතළකම ගැන ගීතිකාකරු මතක් කළේ මෙසේයි. “ස්තුති ප්‍රශංසා නමැති පූජාව දෙවිට ඔප්පු කරන්න. මහෝත්තමයාණන්ට පොරොන්දු වූ දේ දෙන්න.” (ගීතා. 50:14, NW) විවාහ දිනය ප්‍රීතිමත් දවසක්. නමුත් එදින දෙදෙනා එකිනෙකාට දෙන පොරොන්දු බැරෑරුම්ව සැලකිය යුතු අතර ඔවුන් මත විශාල වගකීමක්ද පැවරෙනවා.—ද්වි. 23:21.

6. විවාහකයන්ට යෙප්තාගෙන් ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

6 පුරාණයේ සිටි යෙප්තා, පොරොන්දු ඉටු කිරීම සම්බන්ධයෙන් කැපී පෙනෙන ආදර්ශයක්. ඔහු දෙවිට මෙවැනි පොරොන්දුවක් දුන්නා. “ඔබ අම්මොන්වරුන්ව මගේ අතට හසු කර දුන්නොත්, යුද්ධයෙන් ජය ලබාගෙන මගේ නිවසට මම යන විට මාව හමුවීමට මුලින්ම පැමිණෙන කෙනාව යෙහෝවා දෙවි වන ඔබට පූජා කරනවා. මම ඒ පූජාව ඔබට දවන පූජාවක් ලෙස ඔප්පු කරන බවට පොරොන්දු වෙනවා.” ඔහු නැවත පැමිණෙන විට ඔහුගේ පෙරමඟට මුලින්ම ආවේ ඔහුට සිටි එකම දරුවා වන ඔහුගේ දියණියයි. මේ අවස්ථාවේදී යෙප්තා දෙවිට දුන් පොරොන්දුව කඩ කරන්න සිතුවාද? කොහෙත්ම නැහැ. ඒ වෙනුවට ඔහු මෙසේ පැවසුවා. “මම දුන් ඒ පොරොන්දුව කඩ කරන්න නම් මට කොහොමටවත් බැහැ.” (විනි. 11:30, 31, 35, NW) තමන්ගේ පරම්පරාවේ නම ගෙන යෑමට කිසිවෙකු නැති බව යෙප්තා දැන සිටියත් ඔහු දෙවිට දුන් පොරොන්දුව ඉටු කළා. ඔහු දුන් පොරොන්දුව විවාහ පොරොන්දුවට වඩා වෙනස්. නමුත් පොරොන්දු ඉටු කිරීම සම්බන්ධයෙන් ඔහු විවාහකයන්ට කදිම ආදර්ශයක්.

ප්‍රීතිමත් විවාහයකට මඟ

7. අලුත විවාහ වූවන්ට කිරීමට සිදු වන සකස් කිරීම් මොනවාද?

7 බොහෝ විවාහකයන් තමන් එකිනෙකාව දැන හඳුනා ගත් ඒ සුන්දර කාලය සිහිපත් කරන්නේ ඉතාම හැඟීම්බරවයි. ඔවුන් දැන හඳුනා ගත් ඒ කාලය දීර්ඝ වුණත් කෙටි වුණත් අවසානයේදී ඔවුන් විවාහකයන් බවට පත් වෙනවා. එවිට ඔවුන්ගේ ජීවිතයේ යම් යම් සකස් කිරීම් කරගැනීමට සිදු වෙනවා. ඒ ගැන එක් ස්වාමිපුරුෂයෙක් මෙවැනි දෙයක් පැවසුවා. “විවාහ වූ මුල් කාලයේදී අපට තිබූ ලොකුම ගැටලුව වුණේ අපි තවදුරටත් තනිකඩ අය නොවන බව තේරුම්ගැනීමයි. අපි තනිකඩව සිටිද්දී අපේ යහළුවන් සහ නෑදෑ හිතවතුන් වෙනුවෙන් කාලය ගත කළා. නමුත් දැන් ඒ පැතිවලින්ද යම් සකස් කිරීම් කරන්න සිදු වී තිබෙනවා.” අවුරුදු 30ක් පුරා පවුල් ජීවිතය ගත කරන තවත් තැනැත්තෙකුට විවාහය තුළ සමබරව කටයුතු කිරීම සඳහා ඔහු “එක්කෙනෙක් නොව දෙන්නෙක්” බව තේරුම්ගන්න සිදු වුණා. එමෙන්ම ඔහු යම් ආරාධනාවක් පිළිගැනීමට හෝ සමහර දේවල් කිරීමට පොරොන්දු වෙන්න කලින් ඒ ගැන තම බිරිඳගේ අදහස්ද විමසනවා. එලෙස අනිත් තැනැත්තාගේ අදහස් සැලකිල්ලට ගැනීමට නම් කෙනෙකුට සාධාරණකම තිබිය යුතුයි.—හිතෝ. 13:10.

8, 9. (අ) විවෘතව අදහස් හුවමාරු කරගැනීම වැදගත් ඇයි? (ආ) සකස් කිරීම් කළ යුත්තේ කිනම් පැතිවලින්ද? ඒ ඇයි?

8 විවාහකයන් අතර විවෘත අදහස් හුවමාරුවක්ද තිබිය යුතුයි. විශේෂයෙන්ම වෙනස් සංස්කෘතීන්ට අයත් දෙදෙනෙකු අතර සිදු වන විවාහයන්වලදී මෙය ඉතා වැදගත්. ඔවුන් අදහස් හුවමාරු කරන ආකාරය එකිනෙකාට වෙනස් විය හැකියි. නමුත් ඔහු හෝ ඇය තම දෙමව්පියන් හා නෑදෑයන් සමඟ අදහස් හුවමාරු කරන ආකාරය නිරීක්ෂණය කිරීම එකිනෙකාව තේරුම්ගැනීමට පහසුවක් විය හැකියි. සමහර අවස්ථාවලදී තම සහකරුවා පවසන දෙයට වඩා එය පවසන ආකාරය මගින් යම් දේවල් තේරුම්ගන්න පුළුවන්. එමෙන්ම වටහාගැනීමේ හැකියාව වර්ධනය කරගැනීම මගින් තම සහකරුවාගේ සිතේ තිබෙන දේවල් පවා තේරුම්ගැනීමට හැකි වෙයි.—හිතෝ. 16:24; කොලො. 4:6; හිතෝපදේශ 24:3 කියවන්න.

9 තමන් විනෝදාංශ සඳහා ගත කළ කාලය සම්බන්ධයෙන්ද යම් සකස් කිරීම් කරගැනීම සුදුසු බව විවාහකයන් තේරුම්ගෙන තිබෙනවා. විවාහ වීමට පෙර ඔබ ඒ සඳහා යම් කාලයක් යොදවන්න ඇති. නමුත් දැන් එහි යම් වෙනස්කම් කරන්න අවශ්‍යද? (1 තිමෝ. 4:8) දෙමව්පියන් හා නෑදෑයන් සමඟ කලින් ඔබ ගත කළ කාලය සම්බන්ධයෙනුත් යම් වෙනස්කම් කිරීමට සිදු විය හැකියි. ඊට හේතුව වන්නේ පවුලක් හැටියට නමස්කාරය හා සම්බන්ධ දේවල්වල මෙන්ම පවුලේ වෙනත් කටයුතු සඳහා කාලය අවශ්‍ය නිසයි.—මතෙ. 6:33.

10. දෙමව්පියන් හා ඔවුන්ගේ විවාහක දරුවන් අතර බැඳීම පවත්වාගැනීමට සාධාරණකම පෙන්වීම උපකාරවත් වන්නේ කෙසේද?

10 බයිබලයේ පවසන්නේ පුරුෂයෙක් විවාහ වන විට තම පියාද මවද අත්හරින බවයි. ස්ත්‍රියක් සම්බන්ධයෙන්ද එය සැබෑවක්. (උත්පත්ති 2:24 කියවන්න.) ඒ වුණත් ඔවුන් තම දෙමව්පියන්ට දක්වන ගෞරවය අඩු නොවන අතර එය දිගටම පවතිනවා. විවාහයෙන් පසුව පවා තම දෙමව්පියන් හා නෑදෑයන් සමඟ යම් කාලයක් ගත කිරීමට විවාහක යුවළයන් කැමතියි. අවුරුදු 25ක් පුරා පවුල් ජීවිතය ගත කරන එක් ස්වාමිපුරුෂයෙක් මෙසේ පැවසුවා. “සමහර අවස්ථාවලදී මගේ බිරිඳ මගෙන් බලාපොරොත්තු වන දේවල් සහ දෙමව්පියන්, සහෝදර සහෝදරියන් සහ නෑදෑයන් බලාපොරොත්තු වන දේවල්, සමබරව ඉටු කිරීම මට එතරම්ම ලෙහෙසි දෙයක් වුණේ නැහැ. එවැනි අවස්ථාවලදී මට උත්පත්ති 2:24හි [NW] ඇති මඟ පෙන්වීම ගොඩාක් උදව් වුණා. එහි පවසන ආකාරයට දෙමව්පියන් සහ නෑදෑයන් වෙනුවෙන් යම් දේවල් කරන්න මට වගකීමක් තිබුණත් මගේ මූලික වගකීම වන්නේ මගේ බිරිඳව රැකබලා ගැනීම බව මම තේරුම්ගත්තා.” අනෙක් අතට සාධාරණව සිතන, විවාහ වූ දරුවන් සිටින දෙමව්පියන් වටහාගන්නේ කුමක්ද? විවාහයෙන් පසුව තම දරුවන් වෙනම පවුලක් බවත් එහි මූලිකයා ඒ පවුලේ ස්වාමිපුරුෂයා බවත් යන කාරණයයි.

11, 12. පවුලේ පාඩම හා යාච්ඤාව පවුලේ ප්‍රීතියට දායක වන්නේ කෙසේද?

11 පවුලේ ප්‍රීතිය වැඩි කරගැනීමට නිතිපතා කරන පවුලේ පාඩම අත්‍යවශ්‍යම දෙයක්. සාර්ථක විවාහයන් ගත කරන බොහෝදෙනෙකු පවසන්නේ එය සත්‍යයක් බවයි. නමුත් එය නිතිපතා කිරීම අභියෝගයක් විය හැකියි. ඒ ගැන එක් ස්වාමිපුරුෂයෙක් පැවසුවේ මෙලෙසයි. “අපේ විවාහයේ මුල් කාලයේ කරගන්න බැරි වුණු දේවල් ආයෙත් කරන්න අවස්ථාවක් ලැබුණා නම් අපි මුලින්ම කරන්නේ අපේ පවුලේ පාඩම වරද්දන්නේ නැතුව කරන එකයි. ඒත් දැන් අපි පවුලේ පාඩම කරද්දී මගේ බිරිඳ බයිබලයේ සඳහන් ගැඹුරු කාරණා අවබෝධ කරගැනීමෙන් ලබන ප්‍රීතිය දැක්කාම මට දැනෙන්නේ කියාගන්න බැරි තරම් සතුටක්!

12 විවාහයේ ප්‍රීතිය වැඩි කරගැනීමට තවත් අත්‍යවශ්‍ය දෙයක් වන්නේ දෙදෙනා එක්ව කරන යාච්ඤාවයි. (රෝම 12:12) එලෙස දෙවිට කරන නමස්කාරය තුළ දෙදෙනාම එක්සත්ව කටයුතු කරනවා නම් ඔවුන්ගේ විවාහ බැඳීමත් දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයත් වඩාත් ශක්තිමත් වෙනවා. (යාකො. 4:8) එය සත්‍යයක් බව එක් ස්වාමිපුරුෂයෙක් කී දෙයින් පැහැදිලියි. ඔහු පැවසුවේ “වරදක් සිදු වූ විට ඉක්මනින් සමාව ඉල්ලීම හරිම වැදගත්. එමෙන්ම එකට යාච්ඤා කරද්දී සිදු වූ පුංචි වරදක් ගැන වුණත් සඳහන් කිරීම මගින් තමන් අවංකව කනගාටු වන බව පැහැදිලි වෙනවා.”—එෆී. 6:18.

විවාහය තුළ සාධාරණකම පෙන්වන්න

13. ලිංගික කාරණා සම්බන්ධයෙන් පාවුල් දුන් උපදෙස කුමක්ද?

13 අද අපි ජීවත් වන්නේ ලිංගිකත්වයෙන් උමතු වැටුණු ලෝකයකයි. එමනිසා විවාහ බැඳීම පහත් කරන ආකාරයේ පුරුදුවලින් ක්‍රිස්තියානි විවාහකයන් පරෙස්සම් විය යුතුයි. විශේෂයෙන්ම ඒ ගැන සඳහන් කරමින් පාවුල් උපදෙස් දුන්නේ මෙසේයි. “ස්වාමිපුරුෂයා, තම භාර්යාවට යුතු දේ ඉටු කර දේවා. භාර්යාවද තම ස්වාමිපුරුෂයාට එලෙසම කර දේවා. භාර්යාවගේ ශරීරය කෙරෙහි අධිකාරිය ඇත්තේ ඇයට නොව ඇගේ ස්වාමිපුරුෂයාටය. එලෙසම ස්වාමිපුරුෂයාගේ ශරීරය කෙරෙහි අධිකාරිය ඇත්තේ ඔහුට නොව ඔහුගේ භාර්යාවටය.” ඉන්පසුව පාවුල් දෙන මෙම මඟ පෙන්වීමද සැලකිල්ලට ගන්න. ‘ඔවුන් දෙදෙනාගේම කැමැත්ත ඇතිව යම් කලකට වෙන්ව සිටිනවා’ නම් ඒ ‘යාච්ඤා කිරීමට කාලය යෙදවීම’ සඳහා පමණයි. එසේ නැත්නම් වෙන්ව නොසිටින ලෙස ඔහු පැවසුවා. ඒ ඇයි? ඔහු පැවසුවේ “ඔබේ ආත්ම දමනය නැතිකම නිසා සාතන් ඔබව පරීක්ෂා නොකර සිටින පිණිස නැවත එක් වන්න” කියායි. (1 කොරි. 7:3-5) යාච්ඤාව ගැන සඳහන් කිරීමෙන් පාවුල් පෙන්වූයේ ක්‍රිස්තියානීන් මූලිකත්වය දිය යුත්තේ නමස්කාරය හා බැඳි කාරණාවලට බවයි. නමුත් විවාහක ක්‍රිස්තියානීන් එකිනෙකාගේ ශාරීරික අවශ්‍යතා ගැන මෙන්ම හැඟීම් ගැනද ඉතා හොඳින් අවබෝධ කරගෙන කටයුතු කළ යුතු බවද ඔහු පැහැදිලිව පෙන්නුවා.

14. ලිංගික කාරණාවලදී තම සහකරුවා කෙරෙහි සැලකිලිමත් වීමට උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

14 විවාහකයෙකු ලිංගික අවශ්‍යතා සම්බන්ධයෙන් ආත්මාර්ථකාමී ලෙස කටයුතු කිරීමෙන් හා එවැනි කාරණා ගැන විවෘතව අදහස් හුවමාරු කර නොගැනීමෙන් විවාහයේ ගැටලු ඇති විය හැකියි. (ෆිලිප්පි 2:3, 4 කියවන්න; මතෙව් 7:12 බලන්න.) එක් සහකරුවෙක් සත්‍යය තුළ නොමැති විට එවැනි තත්වයක් බොහෝවිට ඇති විය හැකියි. එවිට යහපත් හැසිරීම, කාරුණික වීම හා සහයෝගයෙන් කටයුතු කිරීම මගින් සත්‍යය තුළ සිටින සහකරුට තත්වය හොඳ අතට හරවාගත හැකි වෙයි. (1 පේතෘස් 3:1, 2, කියවන්න.) එවැනි ගැටලු විසඳාගැනීමට දෙවි කෙරෙහි හා තම සහකරුවා කෙරෙහි තිබෙන ප්‍රේමය මෙන්ම විවාහය තුළ සාධාරණව කටයුතු කිරීමත් උපකාරවත් වෙනවා.

15. ප්‍රීතිමත් විවාහයක් සඳහා එකිනෙකාට ගෞරව කිරීම කොතරම් වැදගත්ද?

15 වෙනත් කාරණාවලදීද කාරුණික ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට ගෞරවනීයව සලකනවා. උදාහරණයකට ඉතා සුළු කාරණාවලදී පවා ඔහු ඇගේ හැඟීම් සැලකිල්ලට ගෙන කටයුතු කරනවා. විවාහ වී අවුරුදු 47ක් ගත වූ පසුවත් එක් ස්වාමිපුරුෂයෙක් මෙසේ පවසනවා. “මගේ බිරිඳට ගෞරවය කරන ආකාරය සම්බන්ධයෙන් මම තවත් දියුණු වෙන්න ඕනේ කියලයි මට හිතෙන්නේ.” එමෙන්ම ක්‍රිස්තියානි භාර්යාවන්ද තම ස්වාමිපුරුෂයන්ට ගැඹුරු ගෞරවය දැක්විය යුතු බවට බයිබලයේ උපදෙස් දී තිබෙනවා. (එෆී. 5:33) එවන් භාර්යාවක් තම පුරුෂයාව අන් අය ඉදිරියෙහි විවේචනය කරන්නේ නැහැ. ඔවුන් හිතෝපදේශ 14:1හි [NW] දී ඇති මෙම උපදෙස සිතට ගන්නවා. “සැබවින්ම ප්‍රඥාවන්ත ස්ත්‍රිය ඇගේ පවුල ගොඩනඟා ගන්නීය. නමුත් අඥාන තැනැත්තිය තම දෑතින්ම එය බිඳ දමන්නීය.”

යක්ෂයාට ඉඩ නොදෙන්න!

16. එක් විවාහක යුවළක් එෆීස 4:26, 27හි සඳහන් ප්‍රතිපත්තිය අදාළ කරගත්තේ කෙසේද?

16 විවාහය තුළ ගැටලු පැනනඟින විට ඒවා විසඳාගැනීමට මෙම උපදෙස ඉතාම වැදගත්. “කෝප වුණත් පව් නොකරන්න. ඉර බසින්න කලින් ඔබේ කෝපය ඉවත් කරගන්න. යක්ෂයාට ඉඩ නොදෙන්න.” (එෆී. 4:26, 27) මෙම උපදෙස අදාළ කරගැනීම විවාහයන් දෙකඩ වීමෙන් ආරක්ෂා කරයි. ඒ සම්බන්ධයෙන් එක් බිරිඳක් පැවසුවේ මෙසේයි. “අපි අතර යම් මතගැටුම් ඇති වූ හැම අවස්ථාවකදීම කොච්චර වෙලාවක් ගියත් ඒවා මගේ ස්වාමිපුරුෂයා එක්ක කතා කරලා විසඳාගත්තා. එහෙම නොකරපු දවසක් නම් මට මතක නැහැ.” ඇයට එසේ පැවසීමට හැකි වුණේ ප්‍රශ්නයක් විසඳාගන්නේ නැතිව නින්දට යන්නේ නැහැ කියා විවාහ වූ අලුත ඔවුන් තීරණය කර තිබූ නිසයි. ඇය තවදුරටත් මෙසේ පවසනවා. “ප්‍රශ්නය මොකක් වුණත් සමාව ඉල්ලීමටත් එය අමතක කර දැමීමටත් ඔළුවේ කිසි ප්‍රශ්නයක් නැතුව ඊළඟ දවස ආරම්භ කරන්නත් අපි අධිෂ්ඨාන කරගෙන තිබුණා.” ඒ ආකාරයට ඔවුන්ගේ විවාහය තුළ ‘යක්ෂයාට කිසිම ඉඩක්’ ඔවුන් තැබුවේ නැහැ.

17. තම සහකරුවා තමාට ගැළපෙන්නේ නැහැයි කියා කෙනෙකුට සිතෙයි නම් කුමක් කළ හැකිද?

17 විවාහ වූ තැනැත්තා තමාට ගැළපෙන්නේ නැහැයි කියා ඔබට සිතෙනවා නම් ඔබට කුමක් කළ හැකිද? එමෙන්ම අනෙක් විවාහකයන් තුළ ඇති ප්‍රේමණීය බැඳීම ඔබේ විවාහය තුළ නැහැයි කියා හැඟෙයි නම් තත්වය කුමක්ද? දෙවි විවාහය සලකන ආකාරය මතකයේ තබාගැනීම මෙවැනි අවස්ථාවලදී උපකාරවත් වෙනවා. ඒ සම්බන්ධයෙන් පාවුල් පැවසුවේ මෙසේයි. “විවාහය සියල්ලන් අතර ගෞරවනීයවද, විවාහ යහන දූෂ්‍ය වීමකින් තොරවද තිබේවා. මන්ද, වේශ්‍යාකම් කරන්නන්වද පරදාර සේවනයේ යෙදෙන්නන්වද දෙවි විනිශ්චය කරන්නේය.” (හෙබ්‍රෙ. 13:4) එමෙන්ම දේශනාකාරයා 4:12හි [NW] පවසන දෙයද අමතක නොකළ යුතුයි. “තුන්පට ලණුවක් පහසුවෙන් දෙකට කැඩිය නොහැක.” ඊට එකඟව යුවළක් යෙහෝවා දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් කිරීම සඳහා එක්ව කටයුතු කරනවා නම් දුර්වල වී ඇති ඔවුන්ගේ විවාහ බැඳීම ශක්තිමත් කරයි. එමෙන්ම දෙවි සමඟ තිබෙන බැඳීමද වඩා ශක්තිමත් වෙයි. එලෙස තම විවාහය රැකගැනීමට දෙදෙනාම උත්සාහ කළ යුතුයි. එය දෙවි ඉදිරියෙහි ප්‍රසන්න බව තේරුම්ගැනීමද ඔවුන්ට මහත් උපකාරයක් වෙයි.—1 පේතෘ 3:11.

18. විවාහය සම්බන්ධයෙන් අපට ස්ථිර විය හැක්කේ කුමක් ගැනද?

18 අප සලකා බැලූ තොරතුරුවලට අනුව විවාහය තුළ ප්‍රීතිය අත් කරගත හැකි බව ස්ථිරයි. ඒ සඳහා දෙදෙනාගේම වෑයම හා සාධාරණකම ඇතුළු ක්‍රිස්තියානි ගුණාංග විදහා පෑමද අයත් වෙනවා. එලෙස කටයුතු කළ හැකි බව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටින බොහෝ විවාහක යුවළයන් ඔප්පු කර තිබෙනවා. ඔව්, විවාහයේ ප්‍රීතිය ඇත්තෙන්ම අත් කරගත හැකි දෙයක්!

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• විවාහය තුළ ප්‍රීතිය අත් කරගත හැකි බව පැවසිය හැක්කේ ඇයි?

• විවාහයක් සාර්ථක කරගැනීමට උපකාරවත් වන දේවල් මොනවාද?

• විවාහක යුවළයන් වර්ධනය කරගත යුතු ගුණාංග මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූරය]

විවාහක යුවළක් යම් ආරාධනාවක් පිළිගැනීමට හෝ යම් දේවල් කිරීමට පොරොන්දු වෙන්න කලින් ඒ ගැන සාකච්ඡා කරයි

[10වන පිටුවේ පින්තූරය]

මතභේද සිදු වූ දවසේදීම විසඳාගැනීමෙන් යක්ෂයාට ඉඩ නොදෙන්න