Skip to content

පටුනට යන්න

“ඔබ අතරෙහි ප්‍රඥාවන්ත, තේරුම් ඇති තැනැත්තා කවුද?”

“ඔබ අතරෙහි ප්‍රඥාවන්ත, තේරුම් ඇති තැනැත්තා කවුද?”

“ඔබ අතරෙහි ප්‍රඥාවන්ත, තේරුම් ඇති තැනැත්තා කවුද?”

“ඔබ අතරෙහි ප්‍රඥාවන්ත, තේරුම් ඇති තැනැත්තා කවුද? ඔහු ප්‍රඥාවන්තකමේ මෘදුකම ඇතිව, තම යහපත් හැසිරීමෙන් තම ක්‍රියා පෙන්වාවා!”—යාකො. 3:13.

1, 2. තමන් ප්‍රඥාවන්තයි කියා සිතන අය ගැන කුමක් කිව හැකිද?

ප්‍රඥාවන්තයෙක් කියද්දී අද බොහෝදෙනාගේ මතකයට නැඟෙන්නේ මහාචාර්යවරයෙක්ව, උගත් වැඩිහිටියෙක්ව එසේත් නැත්නම් තමන්ගේ දෙමාපියන්ව විය හැකියි. කෙසේනමුත් දෙවිගේ සේවකයන් ප්‍රඥාවන්ත අය හැටියට සලකන්නේ කාවද? ඒ, දෙවි විසින් ප්‍රඥාවන්තයි කියා සලකන අයවයි.

2 ඒ අනුව බලද්දී ප්‍රඥාවන්තයි කියා පෙනෙන සියලුදෙනාම දෙවි ඉදිරියේ ප්‍රඥාවන්තයන් නොවෙයි. තමන් ප්‍රඥාවන්තයි කියා සිතූ පුද්ගලයන් යෝබ්ගේ කාලයෙත් සිටියා. ඔවුන් ගැන යෝබ් පැවසුවේ මෙසේයි. “ඔබ අතරේ ප්‍රඥාවන්ත ලෙස කතා කරන කිසිවෙක් නැත.” (යෝබ් 17:10, නව ලොව පරිවර්තනය, NW) යෙසායාගේ කාලයේ සිටි එවැනි අයටත් දෙවි යෙසායා තුළින් පැවසුවේ ‘තමන් බුද්ධිමත්යයි සිතන අයට දුක් වෙන්න සිදු වෙයි!’ කියායි. (යෙසා. 5:21NW) දෙවි දෙන ප්‍රඥාව ප්‍රතික්ෂේප කරන අය ගැන පාවුල් පැවසුවෙත් එවැනි දෙයක්. “තමන් ප්‍රඥාවන්තයයි තරයේ කියා සිටියත් ඔවුන් අඥාන වී ඇත.”—රෝම 1:22.

3, 4. ප්‍රඥාවන්ත වීමට කෙනෙකුට අවශ්‍ය කුමක්ද?

3 එසේනම් කෙනෙකුට ප්‍රඥාවන්ත වී ඒ තුළින් දෙවිගේ අනුමැතිය දිනාගත හැක්කේ කෙසේද? ඒ ගැන හිතෝපදේශ 9:10හි [NW] පවසන දේ බලන්න. “ප්‍රඥාවේ පටන්ගැන්ම යනු යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතිව සිටීමය. අවබෝධය යනු අති ශුද්ධ තැනැත්තාණන් ගැන දැනගැන්මය.” ඊට එකඟව ප්‍රඥාවන්ත කෙනෙකු වීමට නම් මූලිකවම ඔහුට දෙවි කෙරෙහි ගරුබියක් සහ දෙවිගේ ප්‍රතිපත්ති කෙරෙහි මහත් ගෞරවයක් තිබිය යුතුමයි. ඉන් අදහස් කරන්නේ දෙවි පිළිබඳව නිකම්ම දැනුමක් ලබාගැනීම පමණක් නොවෙයි. එසේනම් වෙන කුමක්ද? (යාකොබ් 3:13 කියවන්න) යාකොබ් පවසන්නේ ඔහු “තම යහපත් හැසිරීමෙන් තම ක්‍රියා පෙන්වාවා” කියායි. ඉන් අදහස් කරන්නේ කෙනෙකු ප්‍රඥාවන්ත නම් එය ඔහුගේ කතාවෙන් හා ක්‍රියාවෙන් පැහැදිලිව දිස් විය යුතු බවයි.

4 තවදුරටත් දැනුම හා අවබෝධය නිසි ලෙස භාවිත කරමින් නිවැරදි තීරණ ගැනීමට හැකිවීමද ප්‍රඥාවන්ත කෙනෙකුගේ ලක්ෂණයක්. එසේනම් එවැනි ප්‍රඥාවක් අත් කරගැනීමට අප කළ යුත්තේ කුමක්ද? ඒ සම්බන්ධයෙන් අප කළ යුතු දේවල් කිහිපයක්ම යාකොබ් සඳහන් කර තිබෙනවා. * එමෙන්ම සැබෑ ප්‍රඥාව ලබාගැනීමෙන් සෙසු නමස්කාරකයන් සමඟත් සෙසු මිනිසුන් සමඟත් යහපත් සබඳතාවක් ඇති කරගත හැකි ආකාරය ගැනද යාකොබ් පවසා තිබෙනවා. අපි දැන් ඒවා සලකා බලමු.

ප්‍රඥාවන්ත කෙනෙකුව හඳුනාගනිමු

5. තමන් ප්‍රඥාවන්ත බව පෙන්වීමට කෙනෙකුට හැක්කේ කෙසේද?

5 කෙනෙක් ප්‍රඥාවන්ත නම් ඔහුගේ යහපත් හැසිරීම තුළින් එය දැකගත හැකි බව යාකොබ් පැවසුවා ඔබට මතකද? ඒ අනුව ප්‍රඥාවන්ත වීමට නම් දෙවි කෙරෙහි ගරුබිය ඇතිව කටයුතු කිරීම අවශ්‍ය බව දන්නා කෙනෙක් නිතරම උත්සාහ කරන්නේ දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟවම කටයුතු කරන බව ක්‍රියාවෙන් පෙන්වීමටයි. අප උපතින්ම එම ප්‍රඥාව උරුම කරගෙන නොසිටියත් නිතිපතා බයිබලය අධ්‍යයනය කිරීමෙන් හා ඒ ගැන ගැඹුරින් සිතා බැලීමෙන් එම ප්‍රඥාව ලබාගත හැකියි. ඒ තුළින් එෆීස 5:1හි පවසන ලෙස “දෙවිව අනුකරණය කරන්නන්” වන්නටද අපට හැකියි. එසේ දෙවිව අනුකරණය කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ කදිම ගුණාංග අපගේ ක්‍රියා තුළින් පිළිබිඹු කිරීමයි. (යෙසා. 55:8, 9) එවිට අප වෙනස් පුද්ගලයන් බව ලෝකයේ මිනිසුන්ට පැහැදිලිව දකින්න පුළුවන්.

6. දෙවි මෘදු ගුණැති කෙනෙක් බව අප දන්නේ කෙසේද? එමෙන්ම එම ගුණාංගය විදහාපෙන්වීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

6 යාකොබ් පැවසූ ලෙස ‘ප්‍රඥාවට අයත් මෘදුකම’ වර්ධනය කරගැනීම දෙවිව අනුකරණය කළ හැකි එක් ක්‍රමයක්. එමෙන්ම එය දෙවිගේ පෞද්ගලිකත්වයේ කදිම ගුණාංගයක්. එම ගුණාංගය අප විදහාපෙන්වනවා නම් අප තුළ ප්‍රඥාව තිබෙන බවට එයම සාක්ෂියක්. දෙවි ශක්තියෙන් කොතරම් බලවත් වුණත් ඔහු ඉතා මෘදු කෙනෙක් නිසා ඔහු වෙත එළඹෙන්න අපට බියක් දැනෙන්නේ නැහැ. දෙවි තුළ තිබූ ගුණාංග එලෙසම විදහාපෙන්වූ යේසුස් පැවසු මේ දෙයින් එය අපට පැහැදිලියි. ඔහු පැවසුවේ මෙයයි. “මා වෙතට එන්න. මම ඔබව ප්‍රාණවත් කරමි. මා මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති කෙනෙකු බැවින් මාගේ වියගහ ඔබ පිටට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබේ ජීවිතවලට ප්‍රාණවත්භාවයක් ලැබෙනවා ඇත.” (මතෙ. 11:28, 29; ෆිලි. 2:5-8) මෘදුකම දුර්වලකමක් නොවන අතර එය හරි දෙය සඳහා ස්ථිරව සිටීමටත් අවශ්‍ය අවස්ථාවලදී නම්‍යශීලීව කටයුතු කිරීමටත් අපට උපකාර කරයි.

7. මෘදුකම පෙන්වීම සම්බන්ධයෙන් මෝසෙස් කදිම ආදර්ශයක් වන්නේ ඇයි?

7 එය විදහාපෙන්වීම සම්බන්ධයෙන් මෝසෙස් කදිම ආදර්ශයක්. ඔහු දෙවිගේ අරමුණු තුළ විශාල වගකීම් දැරූ කෙනෙක්. ඒ වුණත් බයිබලයේ ඔහුව හඳුන්වන්නේ ‘පොළොවේ ජීවත් වූ අන් සියලු මනුෂ්‍යයන්ට වඩා මෘදු ගුණැති කෙනෙක්’ ලෙසයි. (ගණන්. 11:29; 12:3NW) එතරම් වගකීම් දැරීමට දෙවි ඔහුව ශක්තිමත් කළේ ඔහු මෘදු ගුණැති කෙනෙක් වූ නිසයි. අද දිනත් දෙවි තම අරමුණු ඉටු කරගැනීම සඳහා යොදාගන්නේ මෘදු ගුණැති අයවයි.

8. අසම්පූර්ණ මිනිසුන්ට “මෘදුකම” පෙන්විය හැක්කේ කෙසේද?

8 අසම්පූර්ණ මිනිසුන් වන අපටත් “මෘදුකම” විදහාපෙන්විය හැකි බව මෝසෙස්ගෙන් අපට පැහැදිලියි. නමුත් අප එම ගුණාංගය වර්ධනය කරගන්නේ කෙසේද? මෘදුකම කියන්නේ දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් ඇති වන ගුණාංගයක් නිසා අප යාච්ඤා කර දෙවිගෙන් එය ඉල්ලිය යුතුයි. (ගලා. 5:22, 23) එමෙන්ම එය අත් කරගැනීමට අපද උත්සාහ කළ යුතුයි. අප එසේ උත්සාහ කරද්දී දෙවි අපට උපකාර කරන බව ස්ථිරයි. ඒ ගැන ගීතිකාකරුද පැවසුවේ ‘දෙවි තම මාර්ග ගැන ඔවුන්ට උගන්වන්නේය’ කියායි.—ගීතා. 25:9NW.

9, 10. මෘදුකම පෙන්වීම සඳහා අප කුමන වෑයමක් දැරිය යුතුද? ඒ ඇයි?

9 කෙනෙකු හැදී වැඩුණු පසුබිම නිසා හෝ සමාජයේ බලපෑම නිසා මෘදුකම පෙන්වීම අභියෝගයක් විය හැකියි. එමෙන්ම අද දින බොහෝදෙනාව දිරිගන්වන්නේ යම් ප්‍රශ්නයක් මතු වූ විට මෘදුකම පෙන්වනවා වෙනුවට එකට එක කරන්නයි. නමුත් එය ප්‍රඥාවන්ත දෙයක්ද? උදාහරණයකට ඔබේ නිවසේ පුංචි ගින්නක් ඇති වූ විට එය නිවා දමන්න ඔබ ඊට භූමිතෙල් දමනවාද? නැත්නම් වතුර දමනවාද? පිළිතුර පැහැදිලියි. ඒ හා සමානව බයිබලයේ උපදෙස් දෙන්නේ මෙසේයි. “මෘදු පිළිතුරකින් කෝපය නිවෙයි. නමුත් සිත රිදවන වචනයකින් තරහ උපදවයි.” (හිතෝ. 15:1, 18NW) සමහරවිට මීට පෙර තරහා උපදවන යම් තත්වයන්වලදී මෘදුව කටයුතු කිරීමට අප අපොහොසත් වී ඇති. නමුත් ඊළඟ වතාවේ එවැනි තත්වයක් පැනනැඟුණොත් මෘදු ආකාරයෙන් කටයුතු කිරීමෙන් ප්‍රඥාවන්තකම පෙන්වීමට අපට හැකිද?—2 තිමෝ. 2:24.

10 අද දින මෘදු, සාමකාමී, සන්සුන් මිනිසුන් හරිම අඩුයි. ඒ වෙනුවට බොහෝදෙනා කටයුතු කරන්නේ ඉතාමත් කර්කශ, රළු පරුෂ ආකාරයටයි. ඒ ගැන යාකොබ්ද දැන සිටි නිසා ඉන් වළකින ලෙස ඔහු සභාවට අනතුරු ඇඟෙව්වා. ඔහු දී ඇති අනෙකුත් උපදෙස්වලින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද කියා දැන් අපි සලකා බලමු.

අඥානයෙකු ක්‍රියා කරන ආකාරය

11. දෙවිගේ ප්‍රඥාවට පටහැනි ගතිලක්ෂණ මොනවාද?

11 දෙවිගේ ප්‍රඥාවට කෙළින්ම පටහැනි ගතිලක්ෂණ ගැන යාකොබ් පැහැදිලි කළා. (යාකොබ් 3:14 කියවන්න.) ඒවා නම් ඊර්ෂ්‍යාව සහ විවාදශීලීකමයි. එවැනි ගතිලක්ෂණ ඇති විට සිදු වන දෙය ගැන මෙම උදාහරණයෙන් සලකා බලන්න. යෙරුසලමේ යේසුස්ව ඝාතනය කර භූමදාන කළා යයි සිතන ස්ථානයක පල්ලියක් ඉදි කර තිබුණා. ක්‍රිස්තියානියයි කියාගත් නිකායන් හයක් විසින් එහි විවිධ කොටස් පාලනය කළා. එම නිකායන්වල පූජකයන් අතර නිතර නිතර වාද විවාද ඇති වුණා. ඒ ගැන 2006 ටයිම්ස් සඟරාවේ වාර්තා කළේ මෙලෙසයි. ‘මේ පූජකයන් අතර ඇති වූ එක් ගැටුමක් පැය ගණනාවක් පුරා පැවතුණා. එම අවස්ථාවේදී ඔවුන් ගුටි බැට දී ගත්තේ පල්ලියේ තිබෙන විශාල ඉටි පන්දම් ආධාරකවලිනුයි.’ ඇත්තෙන්ම මොවුන් අතර තිබූ අවිශ්වාසය කොතරම්ද කියනවා නම් ඔවුන්ගේ පල්ලියේ යතුර භාර දුන්නේ මුස්ලිම් ජාතිකයෙකුටයි.

12. දෙවිගේ ප්‍රඥාව නැති විට කුමක් සිදු විය හැකිද?

12 එවැනි අන්තයටම ගිය විවාදශීලී ස්වභාවයක් ක්‍රිස්තියානි සභාව තුළ කොහෙත්ම නොතිබිය යුතුයි. නමුත් අසම්පූර්ණකම් නිසා සමහරුන් ඉතා මුරණ්ඩු ලෙස තමන්ගේම මතයේ එල්බගෙන සිටින්න පුළුවන්. එවන් ස්වභාවයක් යම් ප්‍රමාණයකට මතගැටුම්වලට පවා තුඩු දිය හැකියි. කොරින්ති සභාවේද එවන් ස්වභාවයක් පැවතුණා. ඒ ගැන පාවුල් පැවසුවේ මෙසේයි. “ඔබ අතරේ ඊර්ෂ්‍යාව හා අඬ දබර ඇති බැවින්, ඔබ මාංසික නොවේද? ඔබ හැසිරෙන්නේ මිනිසුන් හැසිරෙන ආකාරයට නොවේද?” (1 කොරි. 3:3) එම කනගාටුදායක තත්වය කොරින්ති සභාව තුළ සෑහෙන කාලයක් පුරා පැවතුණා. අප සභාවන් තුළද එවැනි ස්වභාවයක් ඇති නොවීමට අප වගබලා ගත යුතුයි.

13, 14. දිව්‍ය ප්‍රඥාවට පටහැනි ගතිලක්ෂණ ඉස්මතු විය හැකි අවස්ථා දෙකක් සඳහන් කරන්න.

13 එවැනි ස්වභාවයක් සභාවට ඇතුල් වන්නේ කෙසේද? එය ඉතා සුළුවෙන් ආරම්භ විය හැකියි. උදාහරණයකට අලුතින් රාජ්‍ය ශාලාවක් ඉදි කිරීමේදී ඒ සම්බන්ධයෙන් වැඩිමහල්ලන් විවිධ අදහස් ඉදිරිපත් කළ හැකියි. එහිදී තමාගේ යෝජනාව පිළි නොගත් නිසා එක් වැඩිමහල්ලෙක් විවාදශීලීව කටයුතු කරමින් සෙසු වැඩිමහල්ලන්ව විවේචනය කිරීමට ඉඩ තිබෙනවා. එමෙන්ම ඔහු එම ඉදි කිරීමට සහයෝගය නොදැක්වීමට පවා තීරණය කළ හැකියි. එහිදී ඔහු වඩා වැදගත් කාරණයක් අමතක කර තිබෙනවා. එනම් දෙවිගේ අනුමැතිය ලැබෙන්නේ තමාගේම මතයට අනුව දේවල් කිරීමෙන් නොව සාමකාමීව සහ මෘදුකමින් යුතුව කටයුතු කිරීමෙන් බවයි.—1 තිමෝ. 6:4, 5.

14 තවත් අවස්ථාවක් සලකා බලන්න. කාලයක් පුරා සේවය කරමින් සිටි වැඩිමහල්ලෙක් වර්තමානයේදී බයිබලයේ සඳහන් සුදුසුකම්වලට එකඟව කටයුතු නොකරන බව සෙසු වැඩිමහල්ලන් දකිනවා. ඒ වෙනුවෙන් ඔවුන් ඔහුට අවශ්‍ය උපකාර පිරිනැමුවත් ඔහු ඒ අනුව කටයුතු කිරීමට අසමත් වෙනවා. එමනිසා ඔහුව එම වගකීමෙන් ඉවත් කිරීමට සෙසු වැඩිමහල්ලන් තීරණය කරන අතර චාරිකා අවේක්ෂකද ඊට එකඟ වෙනවා. ඔවුන් ගත් තීරණයට එම වැඩිමහල්ලා කෙසේ ප්‍රතිචාරය දක්වයිද? ඔහු වැඩිමහල්ලන්ගේ ඒකමතික තීරණය සහ බයිබල් උපදෙස් යටහත්පහත්ව පිළිගනියිද? සුදුසුකම් අත් කරගෙන යළිත් වැඩිමහල්ලෙකු ලෙස සේවය කිරීමට ඔහු උත්සාහ කරයිද? නැත්නම් තම වගකීම් අහිමි වීම නිසා සෙසු වැඩිමහල්ලන් කෙරෙහි අමනාපයක් ඇති කරගනියිද? එම වගකීම දරන්න වර්තමානයේදී තමන් සුදුසු නැහැ කියා සෙසු වැඩිමහල්ලන් තීරණය කරද්දී තමා සුදුසුයි කියා ඔහු තරයේම කියා සිටීම සුදුසුද? එවන් අවස්ථාවලදී යටහත්පහත්ව සහ තේරුම්ගැනීමෙන් යුතුව කටයුතු කිරීම මොන තරම් ප්‍රඥාවන්තද!

15. යාකොබ් 3:15, 16හි සඳහන් උපදෙස ඉතා වැදගත් වන්නේ ඇයි?

15 එවැනි ස්වභාවයක් ඇති විය හැකි තවත් අවස්ථාවන් තිබෙනවා. එමනිසා එවන් අවස්ථාවලින් වැළකී සිටින්න අප සියලුදෙනාම උත්සාහ කළ යුතුයි. (යාකොබ් 3:15, 16 කියවන්න.) එවැනි ස්වභාවයක් ‘භූමිකය’ කියා යාකොබ් පැවසුවේ එය දෙවිගේ ප්‍රඥාවට සම්පූර්ණයෙන්ම පටහැනි නිසයි. ‘තිරිසන්ය’ කියද්දී ඔහු ඉන් අදහස් කළේ සිතන්නේ බලන්නේ නැතිව සතුන් වගේ කටයුතු කිරීමයි. එය “භූතයන්ගෙන්” කියා ඔහු පැවසුවේ එවැනි කෙනෙක් අනුකරණය කරන්නේ දෙවිගේ සතුරන් වන භූතයන්ව වන නිසයි. එවන් ස්වභාවයක් විදහාපෑම සැබෑ ක්‍රිස්තියානීන්ට මොන තරම් නුසුදුසුද!

16. අප සියලුදෙනාම සුපරික්ෂාවෙන් සිටිය යුත්තේ කුමක් ගැනද? එමෙන්ම ඒවා පහ කර දැමිය හැක්කේ කෙසේද?

16 අපි සියලුදෙනාම එවැනි නුසුදුසු ගතිලක්ෂණ අපගේ ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරගත යුතුයි. ඒ සඳහා අප අපවම හොඳින් සෝදිසි කිරීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම වැඩිමහල්ලන් සභාවට උගන්වන අය හැටියට එවන් ගතිලක්ෂණ තමන් තුළ ඇති නොවන ලෙස නිතරම සුපරීක්ෂාවෙන් සිටිය යුතුයි. නමුත් එය අපට මහත් අභියෝගයක් විය හැකියි. උදාහරණයකට එය හරියට ලිස්සනසුලු කන්දක් නගින්න උත්සාහ කරනවා හා සමානයි. නමුත් අල්ලාගැනීමට කිසිම ආධාරකයක් නැත්නම් අප ආපස්සට ලිස්සා වැටෙන්න ඉඩ තිබෙනවා. ඒ හා සමානව අපගේ අසම්පූර්ණකම නිසාත් ලෝකයේ බලපෑම නිසාත් එවැනි නුසුදුසු ගතිලක්ෂණ පහ කර දැමීම ලෙහෙසි දෙයක් නොවෙයි. නමුත් බයිබලයෙන් සහ සභාවෙන් ලැබෙන මඟ පෙන්වීම් ආධාරයෙන් එය ජය ගැනීමට අපට පුළුවන්.—ගීතා. 73:23, 24.

ප්‍රඥාවන්ත කෙනෙකු සතු ගුණාංග

17. වැරදි දෙයක් කිරීමට පෙලඹීමක් ඇති වන විට ප්‍රඥාවන්ත අය ක්‍රියා කරන්නේ කෙසේද?

17 “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” විදහාපෙන්වන කෙනෙක් තුළ දැකිය හැකි ගුණාංග කිහිපයක් දැන් අපි සලකා බලමු. (යාකොබ් 3:17 කියවන්න.) ඉන් එක් ගුණාංගයක් වන්නේ නිර්මලකමයි. යාකොබ් පැවසූ ලෙස අප නිර්මලව සිටීමට නම් අපගේ කතාව සහ ක්‍රියාව නිරතුරුවම පවිත්‍රව තබාගත යුතුයි. අපගේ මනස් දූෂණය කරන දේවල් වහාම ප්‍රතික්ෂේප කිරීම ඊට අයත්. එය විය යුත්තේ හරියට අපගේ ඇසට යමක් වදින්න යන විට ක්ෂණිකව අපේ ඇස පියවෙනවා හා සමානවයි. එය සිදු වන්නේ ඉබේටමයි. වැරදි දෙයක් කිරීමට අප තුළ පෙලඹීමක් ඇති වන විටත් විය යුත්තේ ඒ හා සමානම දෙයක්. එසේ ක්ෂණිකව පියවර ගැනීමට අපව පොලඹවන්නේ බයිබල් ප්‍රතිපත්ති මත පුහුණු කරන ලද අපගේ හෘදය සාක්ෂියයි. (රෝම 12:9) එසේ කටයුතු කළ අය සම්බන්ධයෙන් කදිම ආදර්ශ බයිබලයේ සඳහන් වී තිබෙනවා. යේසුස් හා යෝසෙප් ඒ අය අතරින් දෙදෙනෙක්.—උත්. 39:7-9; මතෙ. 4:8-10.

18. (අ) සාමකාමී කෙනෙක් කටයුතු කරන්නේ කෙසේද? (ආ) සභාවේ සාමය වෙනුවෙන් අප අපවම සෝදිසි කර බැලිය යුත්තේ කුමන පැතිවලින්ද?

18 ප්‍රඥාවන්ත කෙනෙකු සතු තව ගුණාංගයක් වන්නේ සාමකාමීකමයි. ඉන් අදහස් කරන්නේ ඔහු කලහකාරී හා සාමයට බාධා වන ආකාරයෙන් කටයුතු කරන්නේ නැති බවයි. ඒ ගැන යාකොබ් තවදුරටත් මෙසේ පැවසුවා. “සාමය ඇති කරන්නන් උදෙසා ධර්මිෂ්ඨකමේ පලය සමාදානය ඇති විට වපුරනු ලැබේ.” (යාකො. 3:18) “සාමය ඇති” කිරීම සම්බන්ධයෙන් අපි මෙම පැති ගැන කල්පනා කර බලමු. මම සභාව තුළ සාමය ඇති කරන්නෙක්ද, සාමය නැති කරන්නෙක්ද? මම නිතරම අන් අය සමඟ වාද විවාද, මතගැටුම් ඇති කරගන්නා කෙනෙක්ද? මම ඉක්මනින්ම අමනාප වන කෙනෙක්ද, නැත්නම් අන් අයව කෝප කරවන කෙනෙක්ද? මම මගේ නරක ගතිලක්ෂණ වෙනස් කරගන්න උත්සාහ කරනවාද? එසේත් නැත්නම් ‘ඒ මගේ හැටි’ කියා කිසිවක් නොකර සිටිනවාද? සාමය ඇති කිරීමේ අරමුණින් මම අන් අයට සමාව දී එය අමතක කරන කෙනෙක්ද? මෙසේ සාමය ඇති කිරීමේ අරමුණින් දෙවිගේ ප්‍රඥාව පිළිබිඹු කිරීමට නම් අප අපවම අවංකව සෝදිසි කර බැලිය යුතුයි.

19. තමන් සාධාරණ පුද්ගලයෙකුද කියා තේරුම්ගැනීමට උපකාරවත් විය හැකි ප්‍රශ්න මොනවාද?

19 ප්‍රඥාවන්තයෙකු සතු තවත් ගුණාංගයක් වන්නේ සාධාරණකමයි. ඒ සම්බන්ධයෙන්ද අපි මෙවැනි පැති ගැන කල්පනා කර බලමු. බයිබල් ප්‍රතිපත්ති නොකැඩෙන අවස්ථාවලදී පවා මගේම මතය පිළිගන්න කියා මම අන් අයට බල කරනවාද? එසේ නැත්නම් අන් අයගේ අදහස්වලට ඉඩ දෙනවාද? මා වෙතට පැමිණ කතා කරන්න අන් අයට අපහසුතාවක් දැනෙනවාද? අප සාධාරණ අයද කියා තේරුම්ගැනීමට එම ප්‍රශ්න අපට උපකාරවත් වෙයි.

20. අප සලකා බැලූ ගුණාංග විදහාපෙන්වීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

20 මෙසේ යාකොබ් සඳහන් කළ කදිම ගුණාංග විදහාපෙන්වීමට අප සියලුදෙනාම උත්සාහ කරද්දී එය සභාවට මොන තරම් ආශීර්වාදයක් වෙයිද! (ගීතා. 133:1-3) එකිනෙකා සමඟ මෘදුකමින්, සාමකාමීව සහ සාධාරණව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට අප අතර ඇති මිත්‍රත්වය වඩා වඩාත් ශක්තිමත් වෙයි. එමෙන්ම අපට “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” තිබෙන බව පෙන්වීමටද හැකියාව ලැබෙනවා. අපගේ මීළඟ ලිපියෙන් සලකා බලන්නේ දෙවි බලන ආකාරයට අන් අය දෙස අප බලන්නේ කෙසේද යන්නයි. දෙවිගේ ප්‍රඥාව විදහාපෙන්වීමට එයද අපට මහත් උපකාරයක්.

[පාදසටහන]

^ 4 ඡේ. මෙහි අවට පාඨවලින් පැහැදිලි වන්නේ යාකොබ් මූලිකවම අමතමින් සිටියේ සභාවේ ‘ගුරුවරුන්ව’ හෝ වැඩිමහල්ලන්ව බවයි. (යාකො. 3:1) වැඩිමහල්ලන් දෙවිගේ ප්‍රඥාව විදහාපෙන්වීම සම්බන්ධයෙන් ආදර්ශවත් විය යුතුයි. නමුත් යාකොබ්ගේ උපදෙස්වලින් ප්‍රයෝජන ලබන්න අප හැමෝටම පුළුවන්.

ඔබට පැහැදිලි කළ හැකිද?

• ක්‍රිස්තියානියෙකුට ප්‍රඥාවන්ත විය හැක්කේ කෙසේද?

• ප්‍රඥාව පෙන්වීම සම්බන්ධයෙන් අපට දියුණු විය හැක්කේ කෙසේද?

• දෙවිගේ ප්‍රඥාව නොමැති අය තුළ දැකිය හැකි ගතිලක්ෂණ මොනවාද?

• ඔබ දියුණු කරගැනීමට බලාපොරොත්තු වන ගුණාංග මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

විවාදශීලී ස්වභාවයක් සභාවට ඇතුල් විය හැක්කේ කෙසේද?

[24වන පිටුවේ පින්තූරය]

ඔබ වැරදි දේවල් වහාම ප්‍රතික්ෂේප කරන කෙනෙක්ද?