Skip to content

පටුනට යන්න

ඔබ සාධාරණව සිතන කෙනෙක්ද?

ඔබ සාධාරණව සිතන කෙනෙක්ද?

ඔබ සාධාරණව සිතන කෙනෙක්ද?

‘සාධාරණ වීමට ඔවුන්ට නොකඩවා මතක් කරන්න.’—තීත. 3:1,2.

1, 2. සාධාරණව සිතන කෙනෙක් කොයි වගේද? එසේ කටයුතු කිරීම අත්‍යවශ්‍යය ඇයි?

අපට ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් අවශ්‍යයි. එය ලබා දෙන්නේ අපේ දෙවි යෙහෝවායි. (ගීතා. 48:14) ඔහු ලබා දෙන ප්‍රඥාවේ එක් පැත්තක් නම් ‘සාධාරණකමයි.’ (යාකො. 3:17) සාධාරණකම කියන්නේ කුමක්ද? එය තේරුම්ගැනීමට සාධාරණව සිතන කෙනෙක් ගැන කල්පනා කර බලමු. ඔහු නිතරම පුළුල්ව සිතන්න උත්සාහ කරන කෙනෙක්. එමනිසා ඔහු තමාට වඩා අනුන්ට මුල් තැන දෙන අතර ඔවුන් කෙරෙහි සැලකිල්ල දක්වනවා. එමෙන්ම යම් අධිකාරියක් ඇති අයට ඔහු යටත් වෙනවා.

2 එම පැතිවලින් අපේ සාධාරණකම “සියලුදෙනාටම” දැනගන්න සලස්වන්න කියා බයිබලයේ පවසනවා. * (ෆිලි. 4:5) අන් අයගේ අවශ්‍යතා කෙරෙහි සැලකිල්ල දැක්වීමටත් විශේෂයෙන්ම ක්‍රිස්තියානි සභාවේ නායකයා වන යේසුස්ගේ අධිකාරියට යටත් වීම සඳහාත් මෙම ගුණාංගය අත්‍යවශ්‍යයි.—එෆී. 5:23.

3, 4. (අ) සාධාරණව කටයුතු කිරීමෙන් අප ලබන ප්‍රයෝජන මොනවාද? (ආ) අප සලකා බලන්නේ කුමන ප්‍රශ්නද?

3 කෙසේවෙතත් සාධාරණව කටයුතු කිරීමෙන් අපට බොහෝ ප්‍රයෝජන අත් වෙනවා. එය පැහැදිලි කර දෙන උදාහරණයක් සලකා බලන්න. වට රවුමක් ආසන්නයේදී පවා යම් වේගයකින් තම රිය පැදවීමට රියදුරෙකුට නීතියෙන් අවසරයක් තිබුණත් අනිත් රියදුරන්ට මුල් තැන දෙමින් ඔහු තම වාහනයේ වේගය අඩු කරනවා. ඉන් අනතුරු වළක්වාගැනීමට හැකි වෙනවා. තවත් උදාහරණයක් බලන්න. බ්‍රිතාන්‍යයේ ගුවන් තොටුපළකට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ගැන එහි බලධාරීන් තොරතුරු අනාවරණය කරගත්තා. මහජන ආරක්ෂාව වෙනුවෙන් යම් දේවල් රැගෙන නොයන්න කියා ඔවුන් ඉල්ලා සිටි විට ගුවන් මඟීන් ඊට කීකරු වුණා. ඉන් ඔවුන්ට වැඩි ආරක්ෂාවක් සැලසුණා.

4 කෙසේනමුත් මෙම ගුණාංගය විදහාපෙන්වීම එතරම් පහසු දෙයක් නොවෙයි. නමුත් මෙම ගුණාංගය පෙන්වීමට අපට උපකාරවත් වන කරුණු තුනක් තිබෙනවා. එනම්, සාධාරණව සිතන්න අපව පොලඹවන්නේ කුමක්ද? අධිකාරියට යටත් විය යුත්තේ කුමන ආකල්පයකින්ද? එමෙන්ම එසේ කළ යුත්තේ කොතරම් දුරකටද යන්නයි. අපි දැන් මෙම කාරණා සලකා බලමු.

අපව පොලඹවන හේතුව

5. තම ස්වාමියාට දිගටම සේවය කිරීමට දාසයෙකුව පෙලඹුවේ කුමක්ද?

5 සාධාරණව සිතන කෙනෙකු අන් අය ගැන සැලකිලිමත් වන බවත් අධිකාරියට යටත් වන බවත් අප සලකා බැලුවා. එසේ කිරීමට ඔහුව පොලඹවන්නේ කුමක්ද? ප්‍රේමයයි. එය තේරුම්ගැනීමට මෙම උදාහරණය බලන්න. මෝසෙස්ට දුන් නීතියට අනුව පුරාණ ඊශ්‍රායෙලයේ දාසයෙකුට අවුරුදු හයක් සේවය කිරීමෙන් පසු හත්වන අවුරුද්දේදී නිදහස ලැබුණා. නමුත් ඔහු කැමති නම් නිදහස් නොවී දිගටම තම ස්වාමියාට සේවය කිරීමට තීරණය කළ හැකි වුණා. (නික්මයාම 21:5, 6 කියවන්න.) එවන් තීරණයක් ගැනීමට ඔහුව පෙලඹුවේ ඔහුගේ ස්වාමියා කෙරෙහි ඔහුට තිබූ ප්‍රේමයයි.

6. ප්‍රේමය නිසා අප කර තිබෙන්නේ කුමක්ද?

6 ඒ හා සමානව, අපද යෙහෝවා දෙවිට සේවය කිරීමටත් ඔහුගේ ආඥා පැවැත්වීමටත් කැප වී සිටින්නේ ඔහු කෙරෙහි අපට ඇති ප්‍රේමය නිසයි. (රෝම 14:7, 8) එමෙන්ම එය අපට බරක් නොවෙයි. යොහන්ද ඒ ගැන පැවසුවේ මෙසේයි. “දෙවිට ප්‍රේම කිරීම යනු, අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය. ඔහුගේ ආඥා බරක් නොවේ.” (1 යොහ. 5:3) එමෙන්ම එවන් ප්‍රේමයක් තිබෙන කෙනෙක් තමාගේම කාරණා නොසොයන අතර අන් අය ගැනද සැලකිලිමත් වෙයි.—1 කොරි. 13:4, 5; ෆිලි. 2:2, 3.

7. සාධාරණකම පෙන්විය හැකි තවත් පැත්තක් කුමක්ද?

7 සාධාරණකම පෙන්විය හැකි තවත් පැත්තක් සලකා බලමු. අන් අය ගැන සැලකිලිමත් වන කෙනෙක් තම වචනයෙන් හා ක්‍රියාවෙන් අනුන්ව බාධාවට පත් කරන්නේ නැහැ. (එෆී. 4:29) විශේෂයෙන්ම දෙවි ගැන ඉගෙනගනිමින් සිටින විවිධ සංස්කෘතීන්ට හා පසුබිම්වලට අයත් අයව අප බාධාවට පත් නොකළ යුතුයි. උදාහරණයකට මිෂනාරි සහෝදරියක් තමන් සේවය කරන රටේ සංස්කෘතිය ගැන සැලකිලිමත් වෙනවා. ඒ නිසා ඇය අඳින පළඳින ආකාරය පවා වෙනස් කරගන්නවා. ඊට හේතුව වන්නේ තමන් නිසා අන් අය බාධාවට පත් විය හැකි නිසයි. (1 කොරි. 10:31-33) එසේ කිරීමට ඇයව පොලඹවන්නේ ප්‍රේමයයි.

8. යටහත්පහත්ව කටයුතු කිරීමට ප්‍රේමය අපට උපකාර කරන්නේ කෙසේද?

8 නමුත් සැමවිටම එලෙස සාධාරණකම පෙන්වීම ලෙහෙසි දෙයක් නොවෙයි. යේසුස්ගේ ගෝලයන්ටද එය අභියෝගයක් වුණා. ඒ ඔවුන් තුළ තිබූ උඩඟුකම නිසයි. නමුත් යටහත්පහත්කමේ වටිනාකම ගැන සඳහන් කරමින් යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවා. “යමෙක් මාගේ නාමයෙන් මේ කුඩා දරුවාව පිළිගන්නේ නම්, ඔහු මාවද පිළිගන්නේය. තවද, යමෙක් මාව පිළිගන්නේ නම් මාව එවූ තැනැත්තාවත් පිළිගන්නේය. මන්ද, ඔබ සියල්ලන් අතරේ, සුළු තැනැත්තෙකු මෙන් හැසිරෙන්නා උතුම් තැනැත්තා වන්නේය.” (ලූක් 9:48; මාක් 9:36) ගෝලයන්ට මෙන් අප තුළත් උඩඟු ස්වභාවයක් ඇති විය හැකියි. ඊට හේතුව වන්නේ අප උරුම කරගෙන තිබෙන පව්කාර නැඹුරුවාවයි. නමුත් “සුළු තැනැත්තෙකු මෙන්” අන් අය කෙරෙහි සැලකිලිමත් වීමටත් එකිනෙකාට ගෞරව කිරීමටත් ප්‍රේමය අපට උපකාර කරයි.—රෝම 12:10.

9. අධිකාරියට යටත් වීමේදී කෙනෙකු තේරුම්ගත යුත්තේ කුමක්ද?

9 අධිකාරියට යටත් වීම සඳහා අපට තිබිය යුතු ආකල්පය ගැන අපි දැන් සලකා බලමු. ඒ ගැන පාවුල් පැහැදිලි කළේ මෙසේයි. “සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් බවත්, ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවත්, ක්‍රිස්තුස්ගේ හිස දෙවි බවත් ඔබ දැනගන්නවාට මම කැමැත්තෙමි.” (1 කොරි. 11:3) මෙයින් පැහැදිලි වන්නේ අධිකාරියට යටත් වීමේදී අප සියලුදෙනාම යෙහෝවා දෙවි ඇති කර තිබෙන මූලිකත්වය පිළිබඳ ප්‍රතිපත්තිය තේරුම්ගත යුතු බවයි.

10. දෙවිගේ අධිකාරියට අප යටත් වීමෙන් පෙන්වන්නේ කුමක්ද?

10 දෙවිගේ අධිකාරියට යටත් වන බව පෙන්විය හැකි ආකාරයක් බලන්න. අන් අය අපව රිදවන හෝ අපව පහත් කර සලකන අවස්ථා තිබිය හැකියි. නමුත් අපට මුහුණ දීමට සිදු වන සෑම දෙයක් ගැනම දෙවි සැලකිලිමත් වන බව මතකයේ තබාගැනීම අපට මහත් සැනසිල්ලක්. එවැනි අවස්ථාවලදී අප කළ යුතු දේ ගැන පාවුල් මෙසේ පවසනවා. “පුළුවන් නම්, ඔබට හැකි පමණින් සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න. ප්‍රේමණීය තැනැත්තෙනි, පළි නොගෙන දෙවිගේ උදහසට ඉඩහරින්න. මන්ද, ‘පළිගැනීම මගේය. මම විපාක දෙන්නෙමි කියා යෙහෝවා කියන්නේය’ යි ලියා තිබේ.” (රෝම 12:18, 19) මෙසේ අප එවැනි කාරණාවලදීත් දෙවිගේ අධිකාරියට යටත් වීමෙන් පෙන්වන්නේ දෙවි කෙරෙහි අප පූර්ණ විශ්වාසය තබන බවයි.

11. යේසුස්ගේ අධිකාරියට යටත් වන බව අපට පෙන්විය හැක්කේ කෙසේද?

11 දෙවි ක්‍රිස්තියානි සභාව තුළ පිහිටුවා තිබෙන අධිකාරියද අප තේරුම්ගත යුතුයි. සභාවේ මූලිකයා යේසුස්. එළිදරව් පොතේ සඳහන් යේසුස්ගේ දකුණු අතේ තිබෙන ‘තාරකාවලින්’ නියෝජනය වන්නේ පොදුවේ සභාවල සිටින වැඩිමහල් මණ්ඩලයි. (එළි. 1:16, 20) එම වැඩිමහල්ලන් යේසුස්ගේ අධිකාරියට යටත් වන අතර යේසුස් මෙන් අන් අය සමඟ කාරුණිකව කටයුතු කරනවා. එමෙන්ම සභාවේ සිටින සියල්ලන්ද එම අධිකාරියට යටත් වෙනවා. ඒ කෙසේද? යේසුස් විසින් පත් කර තිබෙන ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට’ කීකරු වීමෙනුයි. (මතෙ. 24:45-47) මෙසේ දාසයා සපයන ඇදහිල්ල ශක්තිමත් කරන තොරතුරු අධ්‍යයනය කිරීමෙන් හා ඒවා අදාළ කරගැනීමෙන් පෙන්වන්නේ යේසුස්ගේ අධිකාරියට අප යටත් බවයි. එය සභාවේ සාමයටද දායක වෙයි.—රෝම 14:13, 19.

කොතරම් දුරකටද?

12. අප සාධාරණ විය යුත්තේ කොතරම් දුරකටද?

12 අප සාධාරණ විය යුත්තේ කොතරම් දුරකටද? ඒ සම්බන්ධයෙන් මුල් ක්‍රිස්තියානීන්ගේ ආදර්ශය බලන්න. යේසුස්ගේ නාමයෙන් උගන්වන්න එපා කියා ආගමික නායකයන් තර්ජනය කළ විට ගෝලයන් පැවසුවේ “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිට” කියායි. (ක්‍රියා 4:18-20; 5:28, 29) එදා මෙන් අදත් “උසස් බලධාරීන්” අපේ දේශනා සේවයට තහංචි පැනවිය හැකියි. එවැනි අවස්ථාවලදී අප දේශනා කිරීම නතර කරන්නේ නැහැ. ඒ වෙනුවට වඩාත් කල්පනාකාරීව, වෙනත් ක්‍රමවලින් එය දිගටම කරනවා. ඔවුන් අපගේ රැස්වීම් තහනම් කරන විට අප කුඩා කණ්ඩායම් ලෙස එකතු වී රැස්වීම් පවත්වනවා. මේ අනුව බලද්දී අප සාධාරණව කටයුතු කරන අය වුණත් කිසිම විටක අපගේ ඇදහිල්ල පාවා දෙන්නේ නැහැ. මෙසේ අප සෑම තත්වයක් යටතේදීම පෙන්වන්නේ අප දෙවිගේ අධිකාරියට යටත් වන බවයි.—රෝම 13:1; හෙබ්‍රෙ. 10:24, 25.

13. බලධාරීන්ට කීකරු වීම ගැන යේසුස් පැවසුවේ කුමක්ද?

13 කෙසේනමුත් බයිබල් ප්‍රතිපත්ති නොකැඩෙන අවස්ථාවලදී අප ආණ්ඩු බලධාරීන්ට කීකරු විය යුතුයි. ඒ ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “ඔබට විරුද්ධව නඩු කියා ඔබේ ඇතුල් වස්ත්‍රය අයිති කරගන්න යමෙකුට ඕනෑ නම්, ඔබේ පිට වස්ත්‍රයත් ඔහුට ගන්න ඉඩහරින්න. යම් නිලධාරියෙකු එක සැතැප්මක් යන ලෙස ඔබට අණ කළොත් ඔහු සමඟ සැතැප්ම දෙකක් යන්න.” (මතෙ. 5:40, 41) * සාධාරණව සිතන අය හැටියට අප අන් අය ගැන සැලකිලිමත් වන නිසා ඔවුන් වෙනුවෙන් වැඩියෙන් යමක් කරන්න වුණත් අප පෙලඹෙනවා.—1 කොරි. 13:5; තීත. 3:1, 2.

14. අප ඇදහිල්ල අතහැර ගිය අයට කොහෙත්ම ඇහුම්කන් නොදිය යුත්තේ ඇයි?

14 අපි තවත් පැත්තක් සලකා බලමු. සාධාරණව සිතන කෙනෙක් අන් අයගේ අදහස්වලට ඉඩහරිනවා. නමුත් ඇදහිල්ල අතහැර ගිය අයගේ ඉගැන්වීම්වලට නම් අප කොහෙත්ම ඉඩහරින්නේ හෝ ඇහුම්කන් දෙන්නේ නැහැ. ඊට හේතුව වන්නේ සත්‍යය ඉගැන්වීම් මෙන්ම සභාවේ එක්සත්කම රැකගැනීමට අපට තිබෙන දැඩි වුවමනාවයි. එවැනි “බොරු සහෝදරයන්” ගැන අනතුරු අඟවමින් පාවුල් මෙසේ පැවසුවා. “අප මොවුන්ට යටත් නොවී සිටි හෙයින් ඔවුන්ට හසු වූයේ නැත. එසේය, ශුභාරංචියේ සත්‍යය ඔබ අතරේ දිගටම පවතින පිණිස, පැයකටවත් එසේ නොකළෙමු.” (ගලා. 2:4, 5) ඒ හා සමානව අපත් එවැනි අවස්ථාවලදී සත්‍යය ඉගැන්වීම්වලට දැඩිව ඇලී සිටීම අත්‍යවශ්‍යයි.

සාධාරණකම පෙන්වන වැඩිමහල්ලන්

15. වැඩිමහල්ලන්ගේ රැස්වීමකදී සාධාරණකම පෙන්වීමට වැඩිමහල්ලන්ට හැක්කේ කෙසේද?

15 වැඩිමහල්ලෙකුගේ සුදුසුකම්වලට ‘සාධාරණව’ කටයුතු කිරීමත් ඇතුළත් බව පාවුල් පැවසුවා. (1 තිමෝ. 3:2, 3) මෙම ගුණාංගය වැඩිමහල්ලන්ගේ රැස්වීම්වලදී ඉතාම වැදගත්. සාකච්ඡා කරන කාරණය ගැන එක් වැඩිමහල්ලෙකුට වෙනස් මතයක් තිබිය හැකියි. නමුත් සෙසු වැඩිමහල්ලන් බයිබල් ප්‍රතිපත්ති සැලකිල්ලට ගනිමින් යම් තීරණයකට පැමිණිය හැකියි. එහිදී එම වැඩිමහල්ලා තම මතයේම එල්බගෙන සිටිනවා වෙනුවට සෙසු වැඩිමහල්ලන් ගත් තීරණයට එකඟ වෙයි. ඒ, ඔහු සාධාරණව සිතන කෙනෙක් නිසයි. මෙසේ වැඩිමහල්ලන් යාච්ඤාපූර්වකව මෙන්ම සාධාරණව කටයුතු කිරීම ඔවුන් අතරේ එක්සත්කමට දායක වෙයි.—1 කොරි. 1:10; එෆීස 4:1-3 කියවන්න.

16. වැඩිමහල්ලන් සෑම කාරණයකදීම කළ යුත්තේ කුමක්ද?

16 එමෙන්ම වැඩිමහල්ලන් සෑම කාරණයකදීම දෙවිගේ විධිවිධානයට ගරු කළ යුතුයි. එසේ කරන වැඩිමහල්ලන් විශේෂයෙන්ම එඬේර බැහැදැකීම්වලදී රැළට මුදු මොළොක් සැලකිල්ල දැක්වීමෙන් ඒ බව පෙන්වයි. ඔවුන්ට පේතෘස්ද උනන්දු කළේ “ඔබට භාර දෙන ලද දෙවිගේ රැළ රැකබලා ගන්න. කිසිවෙකුගේ බල කිරීම නිසා නොව කැමැත්තෙන්ද, වංක ලෙස ලාභ ලැබීමට ඇති ආශාව නිසා නොව උනන්දුවෙන්” එසේ කරන්න කියායි.—1 පේතෘ 5:2.

17. එකිනෙකා කෙරෙහි සාධාරණ අන්දමින් කටයුතු කිරීමට සභාවේ සැමෝටම හැක්කේ කෙසේද?

17 තමන් සාධාරණව සිතන අය බව පෙන්වීමට සභාවේ සැමෝටම හැකියි. උදාහරණයකට තරුණ අය තමන්ට කරන උපකාර මහලු අය බොහෝ සේ අගය කරනවා. අනෙක් අතට තරුණ අයද මහලු අය අවුරුදු ගණනාවක් පුරා දෙවිට කර තිබෙන සේවය අගය කරන අතර ඔවුන්ට ගරු කරනවා. (1 තිමෝ. 5:1, 2) වැඩිමහල්ලන්ද සුදුසු අයට සභාවේ වගකීම් භාර දීම සඳහා ඔවුන්ව පුහුණු කරනවා. (2 තිමෝ. 2:1, 2) එමෙන්ම පාවුල් පොදුවේ සභාවේ සියලුම සාමාජිකයන්ට මෙසේ උනන්දු කළා. “ඔබ අතරේ පෙරමුණ ගන්නාවූ අයට කීකරුව සිටින්න. යටත්ව සිටින්න. මන්ද ඔවුහු ඔබ ගැන ගණන් දිය යුතු අය හැටියට ඔබව රැකබලා ගන්නෝය. එවිට ඔවුන්ට එය සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් කිරීමට හැකි වන්නේය. මන්ද, ඔවුන් එය සුසුම්ලමින් කළොත් ඔබට හානිදායක වන්නේය.”—හෙබ්‍රෙ. 13:17.

පවුල තුළ සාධාරණකම පෙන්වීම

18. පවුල තුළ සාධාරණකම පෙන්විය හැක්කේ කෙසේද?

18 පවුල තුළත් සාධාරණකම පෙන්විය හැකියි. එහි සෑම සාමාජිකයෙකුටම හිමි තැන ගැන බයිබලයේ පැහැදිලි කර තිබෙනවා. (කොලොස්සි 3:18-21 කියවන්න.) පවුලේ මූලිකයා වන ස්වාමිපුරුෂයාට භාර්යාව යටත්කම පෙන්වනවා. එමෙන්ම දරුවන්ට මඟ පෙන්වීමට මූලික වගකීම තිබෙන්නේ පියාට වන අතර දරුවන් ඔහුට කීකරු වෙනවා. එසේ පවුලේ සියලුම සාමාජිකයන් සාධාරණ මෙන්ම සමබර ආකාරයෙන් කටයුතු කරද්දී එය පවුලේ සමඟියට හා එක්සත්කමට දායක වෙනවා. මෙය තේරුම්ගැනීමට බයිබලයේ ඇති උදාහරණ දෙකක් බලමු.

19, 20. (අ) ඒලීට වෙනස්ව යෙහෝවා දෙවි සාධාරණකම පෙන්වූයේ කෙසේද? (ආ) පවුලේ අයට මින් ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

19 උත්තම පූජකයා වූ ඒලීගේ පුතුන් දෙදෙනා වූ හොප්නී හා පිනෙහාස් “යෙහෝවා දෙවිට කොහෙත්ම ගෞරව නොකළ කිසි කමකට නැති” අය වුණා. ඔවුන් සම්මුඛ වීමේ කූඩාරම අසල සේවය කරමින් සිටි ස්ත්‍රීන් සමඟ අනාචාරයේ යෙදුණු අතර බොහෝ දුෂ්ටකම්ද කළා. ඒ බව ඒලීට ආරංචි වුණා. ඒ සම්බන්ධයෙන් ඒලී ගත් ක්‍රියාමාර්ගය කුමක්ද? ඔවුන්ව නිවැරදි කරනවා වෙනුවට ඔහු ඔවුන් සමඟ කටයුතු කළේ ඉතාම ලිහිල් ආකාරයටයි. ඒ නිසා ඔවුන් දිගින් දිගටම දුෂ්ටකම් කළා. ඔවුන් දෙදෙනා එකම දවසේ මිය යන බව දෙවි පැවසූ අතර එය එසේම සිදු වුණා. එය ඇසූ ඒලීද එදාම මිය ගියා. ඒලී ඔහුගේ පුත්‍රයන්ගේ දුෂ්ටකම්වලට ඉඩහැරීම සාධාරණ දෙයක් වුණේ නැහැ. ඉන් ඔවුන් තිදෙනාටම භයානක ප්‍රතිඵල අත් වුණා.—1 සාමු. 2:12-17, 22-25, 34, 35, නව ලොව පරිවර්තනය; 4:17, 18.

20 ඒලීට වෙනස්ව යෙහෝවා දෙවි සාධාරණකම පෙන්වමින් කටයුතු කළ ආකාරය බලන්න. යෙහෝවා දෙවි හා දේවදූතයන් අතර සිදු වූ සාකච්ඡාවක් අනාගතවක්තෘ මිකායා දර්ශනයකින් දුටුවා. එහිදී දුෂ්ට ආහබ් රජව රවටා ඔහුව රජකමෙන් පහ කිරීමට හැක්කේ කාටද කියා දෙවි තම දූතයන්ගෙන් ඇසූ අතර ඔවුන් ඉදිරිපත් කළ විවිධ යෝජනාවලට දෙවි සවන් දුන්නා. මේ අතර එක් දේවදූතයෙක් ඉදිරිපත් වී තමන්ට එය කළ හැකි බව පැවසුවා. එවිට දෙවි, ඒ කෙසේද කියා විමසුවා. ඔහු පිළිතුරු දුන් විට ඒ අනුව එසේ කරන්න කියා දෙවි ඔහුට පැවසුවා. (1 රාජා. 22:19-23) පවුලේ මූලිකයා වන ස්වාමිපුරුෂයාට නැතහොත් පියාට මින් ඉගෙනගත හැක්කේ කුමක්ද? ඔහු සාධාරණකම පෙන්වමින් තම භාර්යාව හෝ දරුවන් ඉදිරිපත් කරන යෝජනා සැලකිල්ලට ගැනීමයි. අනෙක් අතට භාර්යාවට හා දරුවන්ට ගත හැකි පාඩම කුමක්ද? යම් කාරණා ගැන තමන්ටත් යෝජනා ඉදිරිපත් කිරීමට හැකි බව ඔවුන් දන්නවා. නමුත් ඒවා සලකා බලා බයිබල් ප්‍රතිපත්තිවලට අනුව අවසාන තීරණය ගන්නේ පවුලේ මූලිකයා බව ඔවුන් යටහත්ව පිළිගන්නවා.

21. ඊළඟ ලිපියෙන් අප සලකා බලන්නේ කුමක්ද?

21 සියලු ආකාරයෙන් සාධාරණකම පෙන්වීම ගැන අපට ලබා දුන් සිහිගැන්වීම්වලට අපගේ ප්‍රේමණීය මෙන්ම ප්‍රඥාවන්ත දෙවිට අප මොන තරම් ස්තුතිවන්ත විය යුතුද! (ගීතා. 119:99) විවාහය තුළ සාධාරණකම පෙන්වීමෙන් ප්‍රීතිය අද්දැකිය හැකි ආකාරය ගැන ඊළඟ ලිපියෙන් අපි සලකා බලමු.

[පාදසටහන්වල]

^ 2 ඡේ. පාවුල් මෙහි භාවිත කරන “සාධාරණකම” යන යෙදුම තනි වචනයකින් විස්තර කිරීම අපහසුයි. එක් පොතක සාධාරණ කෙනෙකුව විස්තර කරන්නේ තමන්ගේ අයිතිවාසිකම් නොසලකා අන් අය කෙරෙහි සැලකිල්ල දක්වන කෙනෙක් ලෙසයි. වෙනත් ආකාරයකට පවසනවා නම් ඔහු අකුරටම දේවල් කරන්න උත්සාහ කරන දැඩි කෙනෙක් නොවෙයි. තම අයිතිවාසිකම් තරයේ ඉල්ලා නොසිටියි. තවදුරටත්, බයිබලයේ සඳහන් සාධාරණකම යන්නට සිංහල භාෂාවෙන් යටත්කම, කීකරුකම, ඉඩහැරීම හා පිළිගැනීම වැනි අදහස්ද ඇතුළත් වෙනවා. මෙම ලිපිවලත් එම වචන භාවිත වන බව සැලකිල්ලට ගන්න.

^ 13 ඡේ. වර්ෂ 2005 පෙබරවාරි 15 මුරටැඹ කලාපයේ 23-26 දක්වා පිටුවල සඳහන් ‘ඔබට යම් දෙයක් කරන්නැයි අණ කළහොත් ඔබ කරන්නේ කුමක්ද?’ යන ලිපිය බලන්න.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• සාධාරණකම පෙන්වීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

• වැඩිමහල්ලන්ට සාධාරණකම පෙන්විය හැක්කේ කෙසේද?

• පවුල තුළ සාධාරණකම පෙන්වීම වැදගත් වන්නේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[4වන පිටුවේ පින්තූරය]

වැඩිමහල්ලන් යේසුස් මෙන් අන් අය සමඟ කාරුණිකව කටයුතු කරයි

[6වන පිටුවේ පින්තූරය]

යාච්ඤාපූර්වකව මෙන්ම සාධාරණව කටයුතු කරන වැඩිමහල්ලන් අතර එක්සත්කම රැකෙයි