Skip to content

පටුනට යන්න

“ඔයා ඇස් අරිද්දී මම එතන ඉන්නවාමයි”

“ඔයා ඇස් අරිද්දී මම එතන ඉන්නවාමයි”

“ඔයා ඇස් අරිද්දී මම එතන ඉන්නවාමයි”

මවක් හැටියට මම පොරොන්දුවක් වුණා. ඒ ගැන මම ඔබට කියන්නම්. නමුත් ඊට කලින් මගේ පවුලේ විස්තර ටිකක් පවසන්න කැමතියි.

මගේ බාලම මල්ලි හදිසි අනතුරකින් මිය යන විට එයාට වයස අවුරුදු හතරයි. ඒ දුකින් ගොඩ එන්න අපේ පවුලේ කාටවත් හැකි වුණේ නැහැ. ඒ මදිවට අපේ තාත්තාගේ නරක පුරුදු නිසා අම්මා හැමවෙලේම හිටියේ හරිම දුකෙන් හා කනස්සල්ලෙන්. ඒ නිසා අපේ ගෙදර කිසිම වෙලාවක සමඟියක් තිබුණේ නැහැ. ඒ වුණත් පුංචි කාලයේ ඉඳලා මටයි මගේ අනිත් මල්ලිටයි හොඳ පුරුදු උගන්වන්න ඒ කිසිවක් අම්මා බාධාවක් කරගත්තේ නැහැ.

පසු කාලයේදී මල්ලි විවාහ වුණා. මමත් විවාහ වුණා. ඒ කාලයේදීම වගේ අපේ අම්මා අසනීප වුණා. පසුව වෛද්‍යවරුන් පැවසුවේ ඇයට පිළිකාවක් තිබෙන බවයි. වැඩි කල් නොගොස් ඇය මිය ගියත් ඊට කලින් ඇය අපට ඉතාම වටිනා වස්තුවක් දීලයි ගියේ.

දිනක් අම්මාගේ මිතුරියක් නැවත නැඟිටීම පිළිබඳව බයිබලයේ තිබෙන පොරොන්දුව ගැන ඇයට පවසා තිබුණා. ඉන්පසු ඇය බයිබල් පාඩමක් කරන්නත් කැමති වුණා. නැවත නැඟිටීම පිළිබඳ පොරොන්දුව ඇගේ සිතට තදින්ම කාවැදී තිබූ නිසා ඇගේ අන්තිම දවස් ඇය ගත කළේ පුදුමාකාර බලාපොරොත්තුවකින් වගේම සහනයකින්.

බයිබල් ඉගැන්වීම් නිසා අම්මාගේ ජීවිතයට ලොකු සතුටක් වගේම අරමුණක් ලැබී තිබුණා. ඒක දුටු මාත් මල්ලිත් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. මම බව්තීස්ම වුණේ මගේ දෙවැනි දුව වන ලුසියා ඉපදෙන්න මාසයකට කලිනුයි.

මගේ ජීවිතයේ වැදගත්ම දවස එදායි. ඒකට එක් හේතුවක් නම් එදා මම යෙහෝවා දෙවිට පමණක්ම සේවය කරන්න කැප වී බව්තීස්ම වීමයි. අනෙක නම් මම ඉගෙනගත් සත්‍යය මගේ පුතාටත් දුවටත් උගන්වන්න හැකිවීමයි.

නමුත් පසුව සිදු වුණේ මම කොහෙත්ම බලාපොරොත්තු නොවූ දෙයක්. ලුසියාට වයස අවුරුදු හතරේදී දරුණු බඩේ කැක්කුමක් හැදුණා. පරීක්ෂණ ගණනාවකින් පසුව වෛද්‍යවරයා පැවසුවේ ඇගේ අක්මාවේ පිළිකාවක් තිබෙන බවයි. ඒක දොඩම් ගෙඩියක් තරම් විශාල, වේගයෙන් පැතිරෙන පිළිකාවක්. එදා සිට ඊළඟ අවුරුදු හත පුරාම ඇය ඒ පිළිකාවත් එක්ක සටන් කළා. ඒ නිසා වැඩි කාලයක් ඇයට රෝහලේ නවතින්න සිදු වුණා.

අන් අය වෙනුවෙන්

ඒ අවුරුදු ගණනාව මට ඉතාම දුෂ්කර කාලයක් වුණත් ලුසියා නිතරම මාව ආදරයෙන් සිප වැළඳගනිමින් මාව සැනසුවා. ඇය සන්සුන්ව ඇගේ අසනීපයට මුහුණ දුන් විදිහ රෝහල් කාර්ය මණ්ඩලයේ පුදුමයට හේතු වුණා. අසනීපය නිසා ඇය සිටියේ ඉතාමත් වේදනාකාරී තත්වයක වුණත් හෙදියන් සමඟ නිතරම සහයෝගයෙන් කටයුතු කළා. ඒ වගේම රෝහලේ වෙනත් වාට්ටුවල සිටින කුඩා දරුවන්ට යෝගට්, පළතුරු හා වෙනත් දේවල් ගෙන යන්න ඇය ඔවුන්ට උදව් කළා. හෙදියන් ඒ නිසාම ලුසියාට ඔවුන් අඳින ආකාරයේ පුංචි කබායක් මසා දුන්නා විතරක් නෙවෙයි “හෙද සහයක” කියා ලියූ බැජ් කාඩ් පතක්ද පැළඳෙව්වා.

එක් රෝහල් සේවිකාවක් ඇය ගැන කිව්වේ මෙහෙමයි. “ලුසියා මගේ හිත ගත්තු දරුවෙක්. එයා හරිම ක්‍රියාශීලීයි. නිර්මාණශීලීයි. චිත්‍ර අඳින්නත් හරිම ආසයි. එයා එයාට හැඟෙන ආකාරය ගැන භය නැතුව කතා කළා. එයා පුංචි වුණත් හිතලා මතලා වැඩ කළේ හරියට වැඩිහිටියෙක් වගෙයි.”

ඇයට මේ තරම් සන්සුන්කමක් දැනුණේ ඇය බයිබලයෙන් ඉගෙනගත් දේවල් නිසයි. (හෙබ්‍රෙ. 4:12) පාරාදීසයේදී ‘මරණයද වැලපීමද හැඬීමද වේදනාවද නැති වන’ බවට ඇය තුළ ලොකු විශ්වාසයක් තිබුණා. (එළි. 21:4) ලැබුණු සෑම අවස්ථාවකදීම ඇය අනිත් අයට ශුභාරංචිය දේශනා කළා. ඇය මිය යන දවස දක්වාම සතුටෙන් හා සන්සුන්ව ඉන්න ඇයට උදව් වුණේ නැවත නැඟිටීම පිළිබඳ බලාපොරොත්තුවයි.—යෙසා. 25:8.

එදා තමයි මම කලින් සඳහන් කළ ඒ වැදගත්ම පොරොන්දුව ඇයට දුන්නේ. එදා ලුසියාට ඇස් දෙකවත් ඇරගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මම ලුසියාගේ එක අතකිනුත් මගේ ස්වාමිපුරුෂයා අනිත් අතිනුත් අල්ලාගෙන සිටියා. මම ඒ අවස්ථාවේදී ඇයට ළං වෙලා මෙහෙම කිව්වා. “භය වෙන්න එපා මගේ පැටියෝ. මම ඔයා ළඟ. මම ඔයාව තනි කරලා කොහේවත් යන්නේ නැහැ. කලබල වෙන්න එපා. සැහැල්ලුවෙන් හුස්ම ගන්න. ඔයා ආයෙත් නැඟිටිද්දී ඔයාට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. ඔයා ඇස් අරිද්දී මම එතන ඉන්නවාමයි කියලා මම පොරොන්දු වෙනවා.”

මම දැන් ඒ පොරොන්දුව ඉටු කරන්න ඕනේ. ඒ දවස වැඩි ඈතක නොවුණත් ඒ වන තුරු බලා ඉන්න එක ලෙහෙසි දෙයක් නොවෙයි. ඒත් යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයකින් බලා සිටියොත් මගේ හුරුබුහුටි දුව නැවත නැඟිටින කොට මම එතන ඉන්නවාමයි කියලා මට විශ්වාසයි.

ඇය ඉතිරි කර ගිය දේ

ලුසියාගේ ආදර්ශයත් සභාවේ අයගේ නොසෑහෙන සහයෝගයත් මගේ ස්වාමිපුරුෂයාගේ හිතට තදින් කාවැදුණා. ඒ නිසා බයිබල් සත්‍යය ගැන සොයා බලන්න ඔහුටත් ඕනෑ බව දුව මැරුණු දවසේදීම ඔහු මට කිව්වා. සති කිහිපයකට පසුව තමන් සමඟ බයිබල් පාඩමක් පවත්වන්න කියා ඔහු වැඩිමහල්ලෙකුට පැවසුවා. වැඩිකල් යන්න කලින් ඔහු සෑම රැස්වීමකටම සහභාගි වෙන්නත් පටන්ගත්තා. මෙතෙක් කලක් නවත්වාගන්න බැරිව තිබූ දුම්පානය කිරීමත් යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව ඔහු නවතා දැමුවා.

ලුසියා නැති දුක සම්පූර්ණයෙන්ම මගේ හිතින් මැකිලා ගිහින් නැහැ. ඒත් ඇය ඉතිරි කරලා ගිය දේ ගැන මම දෙවිට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. නැවත නැඟිටීමේ බලාපොරොත්තුව මටත් මගේ ස්වාමිපුරුෂයාටත් විශාල අස්වැසිල්ලක්. ලස්සන පුංචි ඇස් ඇති, සිනාසෙන විට කම්මුල් වළ ගැසෙන අපේ චූටි දූ නැවත නැඟිටලා එන හැටි සමහර වෙලාවට අපි සිතේ මවාගන්නවා.

මගේ දුවගේ වේදනාසහගත අද්දැකීම එක්තරා ස්ත්‍රියකටත් බලපෑවා. එක් වැසිබර සෙනසුරාදා උදෑසනක ලුසියාගේ පාසැල් මිතුරෙකුගේ මවක් මාව හමු වෙන්න ආවා. ඇයගේද පුතෙක් වයස අවුරුදු 11දී මේ රෝගයටම ගොදුරු වී මිය ගොස් තිබුණා. ලුසියා මිය ගිය බව දැනගත් ගමන් ඇය අපව හමු වෙන්න ආවා. වියෝදුකින් මිදෙන්න මම මොකද කරන්නේ කියා දැනගන්න ඇයට ඕනෑ වුණා. ඒ වගේම මෙවැනි තත්වයේ සිටින වෙනත් මව්වරුන්ටත් සැනසීමක් සපයන කණ්ඩායමක් ඇති කිරීමේ අවශ්‍යතාව ගැනත් ඇය සඳහන් කළා.

නමුත් බයිබලයේ දී ඇති එක් පොරොන්දුවක් නිසා මට සැබෑ සැනසීම ලැබී තිබෙන බව මම ඇයට පැවසුවා. එවැනි සැනසීමක් කිසිම මිනිසෙකුට ලබා දිය නොහැකි බවත් මම ඇයට කිව්වා. ඉන්පසු යොහන් 5:28, 29හි යේසුස් පැවසූ දෙය ඇයට ඇසෙන්න කියවද්දී ඇය ඊට සවන් දුන්නේ මගේ පුතාවත් මට දැකගන්න පුළුවන් නේද කියන හැඟීමෙනුයි. පසුව ඇය බයිබල් පාඩමක් කරන්නත් කැමති වුණා. “සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය” ටිකෙන් ටික ඇයට දැනෙන්න පටන්ගත්තා. (ෆිලි. 4:7) අපි බයිබලය පාඩම් කරන අතරතුර මොහොතක් නැවතිලා අපි ආදරය කළ මිය ගිය අය පාරාදීස පොළොවේදී නැවත නැඟිටලා එන හැටි සිතේ මවාගන්නත් වෙලාව ගන්නවා.

ඇත්තෙන්ම කියනවා නම් ලුසියා ජීවත් වුණේ ඉතාමත් කෙටි කාලයක් වුණත් ඇය ඇති කර ගිය බලපෑම නම් සදාකාලිකයි. අද එක පවුලක් හැටියට අපි හැමෝම යෙහෝවා දෙවිට සේවය කරන්නේ ඇගේ ඇදහිල්ල නිසයි. ඒ වගේම දිගටම දෙවිට සේවය කරන්න තිබූ මගේ අධිෂ්ඨානය තවත් ශක්තිමත් කළේ ඇගේ ඒ ඇදහිල්ලයි. තව බොහෝදෙනෙක්ටත් මට වගේම පොරොන්දුවක් ඉටු කරන්න තිබෙනවා. ඒ තමන් ආදරය කළ මිය ගිය අය නැවත නැඟිටලා එන විට ඔවුන්ව පිළිගන්න පාරාදීසයේ සිටීමයි.

[20වන පිටුවේ පින්තූරය]

ලුසියා පාරාදීස පොළොව චිත්‍රයට නඟා ඇති ආකාරය