Skip to content

පටුනට යන්න

දෙවි බලන ආකාරයට අන් අය දෙස බලමු

දෙවි බලන ආකාරයට අන් අය දෙස බලමු

දෙවි බලන ආකාරයට අන් අය දෙස බලමු

‘ශරීරයේ කිසි භේදයක් නැතිව, එහි අවයව එකිනෙකාට එකම සැලකිල්ල දැක්විය යුතුය.’—1 කොරි. 12:25.

1. දෙවිගේ සෙනඟ සමඟ ඔබ මුලින්ම ඇසුරු කරද්දී ඒ ගැන ඔබට හැඟුණේ කෙසේද?

මේ දුෂ්ට සමාජයේ පවතින වෛරය, සැහැසියාව හා බලහත්කාරකම්වලට වෙනස්ව දෙවිගේ සෙනඟ අතර පවතින ප්‍රේමය, සැලකිල්ල, සාමය හා එකමුතුකම මුල් වතාවට අද්දකිද්දී අපට දැනුණේ මොන තරම් ප්‍රීතියක්ද! ඇත්තෙන්ම දෙවිගේ ආශීර්වාද ලබන සෙනඟ සමඟ ඇසුරු කරන්න ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද!—යෙසා. 48:17, 18; 60:18; 65:25.

2. (අ) අප අන් අයගේ අඩුපාඩුකම් දෙස බලන්න පෙලඹෙන්නේ ඇයි? (ආ) එසේනම් අප කළ යුත්තේ කුමක්ද?

2 කෙසේනමුත් කල් යද්දී අපි අපේ අසම්පූර්ණකම නිසා සහෝදර සහෝදරියන්ගේ හොඳ ගුණාංග දකිනවා වෙනුවට ඔවුන්ගේ අඩුපාඩුකම් දෙස බැලීමට පෙලඹෙන්න පුළුවන්. වෙනත් ආකාරයකින් පැවසුවොත් දෙවි අපේ සහෝදරයන් දෙස බලන ආකාරයට බැලීමට අපට අමතක විය හැකියි. එසේ වී තිබෙනවා නම් යම් සකස් කිරීම් කරගෙන දෙවි බලන ආකාරයට බලන්නේ කෙසේද කියා අපි දැන් බලමු.—නික්. 33:13.

දෙවි අපේ සහෝදරයන් දෙස බලන ආකාරය

3. බයිබලයේ ක්‍රිස්තියානි සභාව සමාන කර තිබෙන්නේ කුමකටද?

3 අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් යුත් සභාව “අවයව බොහෝමයක්” තිබෙන ශරීරයකට පාවුල් සමාන කළා. (1 කොරි. 12:2-26) ශරීරයේ තිබෙන අවයව එකිනෙකට වෙනස්. ඒ හා සමානව සභාවේ සිටින අයගේද පෞද්ගලිකත්වයන් මෙන්ම හැකියාවන්ද එකිනෙකට වෙනස්. ඒ වුණත් යෙහෝවා දෙවි ඔවුන්ව ප්‍රේමයෙන් පිළිගන්නා අතර ඔවුන්ව දෙවිට ඉතා වටිනවා. ඒ නිසා පාවුල් පවසන්නේ ‘එකිනෙකාට එකම සැලකිල්ල දක්වන්න’ කියායි. නමුත් එකිනෙකාගේ පෞද්ගලිකත්වයන් වෙනස් නිසා එසේ කිරීම අභියෝගයක් විය හැකියි.

4. අපි අපේ සහෝදරයන් දෙස බලන ආකාරයේ යම් සකස් කිරීම් කිරීමට අවශ්‍ය විය හැක්කේ ඇයි?

4 බොහෝවිට අපි අපේ සහෝදරයන්ගේ අසම්පූර්ණකම් වෙතටම අවධානය යොමු කිරීමට ඉඩ තිබෙනවා. එය හරියට යම් චිත්‍රයක් දෙස බලන කෙනෙක් සම්පූර්ණ චිත්‍රයම අගය කරනවා වෙනුවට එහි ඇති පුංචි අඩුපාඩුකම් දෙසම බලා සිටිනවා හා සමානයි. නමුත් යෙහෝවා දෙවි අප එකිනෙකා දෙස බලන්නේ ඒ ආකාරයට නොවෙයි. ඒ වෙනුවට ඔහු අප දෙස බලන්නේ මුළු චිත්‍රයම බලා එහි ඇති අලංකාරය අගය කරන කෙනෙක් විදිහටයි. එනම් අප සතු යහපත් ගුණාංග දෙසයි. එලෙසම අපත් දෙවි මෙන් අන් අයගේ යහපත් ගුණාංග දකින්න නිතරම උත්සාහ කරනවා නම් එය සභාවේ ප්‍රේමයට හා එකමුතුකමට දායක වෙයි.—එෆී. 4:1-3; 5:1, 2.

5. අන් අයව විනිශ්චය කිරීම සුදුසු දෙයක් නොවන්නේ ඇයි?

5 අන් අයව විනිශ්චය කිරීමට මිනිසුන් තුළ ඇති නැඹුරුවාව යේසුස් හොඳින් දැන සිටියා. ඔහු මෙසේ පැවසුවේ ඒ නිසයි. “විනිශ්චය කිරීම නතර කරන්න. එවිට ඔබවද විනිශ්චය කරනු නොලබන්නේය.” (මතෙ. 7:1) මෙහිදී “විනිශ්චය කරන්න එපා” කියා යේසුස් පැවසුවේ නැති බව සැලකිල්ලට ගන්න. ඒ වෙනුවට ඔහු පැවසුවේ “විනිශ්චය කිරීම නතර කරන්න” කියායි. ඉන් පෙන්වූයේ අන් අයව විනිශ්චය කිරීමට එදා සිටි මිනිසුන් පුරුදුව සිටි බව යේසුස් දැන සිටි බවයි. අපත් එසේ කිරීමට පුරුදුව සිටිනවාද? එසේනම් එම නරක පුරුද්ද නැති කරගැනීමට දැඩි උත්සාහයක් දරමු. එසේ නොවුණොත් අපවත් දෙවිගේ දැඩි විනිශ්චයට හසු විය හැකියි. දෙවි විසින් පත් කරන ලද සහෝදරයෙකුව විනිශ්චය කරන්න ඇත්තටම අපි කවුද? එමෙන්ම ‘මේ වගේ අයව සභාවේ තියාගන්නවත් වටින්නේ නැහැ’ කියා පවසන්න අපට තිබෙන අයිතිය මොකක්ද? ඔවුන් අතින්ද වැරදි සිදු විය හැකි බව ඇත්තයි. නමුත් දෙවි තම සේවය සඳහා ඔහුව දිගටම යොදාගන්නවා නම් අපි ඔහුව හෙළා දකින එක සුදුසුද? (යොහ. 6:44) එමෙන්ම දෙවි තම සංවිධානය මෙහෙයවන බවත් වෙනස්කම් කිරීමට අවශ්‍ය නම් නිසි කාලයේදී ඔහු එසේ කරන බවටත් අප විශ්වාසද කියා අප අපෙන්ම අසාගනිමු.රෝම 14:1-4 කියවන්න.

6. දෙවි තම සේවකයන් එක් එක්කෙනාව සලකන්නේ කෙසේද?

6 දෙවි තම සේවකයන් එක් එක්කෙනාව සලකන්නේ කෙසේද කියා අපි දැන් බලමු. තමන්ට නමස්කාර කරන කෙනෙක් පාරාදීස පොළොවේදී පරිපූර්ණ කෙනෙක් හැටියට කටයුතු කරන ආකාරය තේරුම්ගැනීමේ විශිෂ්ට හැකියාව යෙහෝවා දෙවිට තිබෙනවා. ඒ වගේම මේ දක්වා ඔහු ජීවිතයේ කර තිබෙන වෙනස්කම් මොනවාද කියාත් දෙවි දන්නවා. ඒ නිසා ඔහුගේ දුර්වලකම් ගැන අවධානය යොමු කරන්න දෙවිට කිසිම අවශ්‍යතාවක් නැහැ. ගීතාවලිය 103:12හි [නව ලොව පරිවර්තනය, NW] සඳහන් මෙම වදන්වලින් ඒ බව මනාව තහවුරු කරනවා. “බස්නාහිරෙන් නැඟෙනහිර බොහෝ දුරස්තව තිබෙන්නාක් සේ ඔහු අපේ වැරදිද අපෙන් එපමණටම ඈත් කරන්නේය.” අපි එක් එක්කෙනා දෙවිට ඒ ගැන මොන තරම් ස්තුතිවන්ත විය යුතුද!—ගීතා. 130:3.

7. දෙවි දාවිත් දෙස බැලූ ආකාරයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

7 මෙසේ දෙවි අවධානය යොමු කරන්නේ තම සේවකයන්ගේ යහපත් ගුණාංගවලට බව පැහැදිලියි. ඒ බව පෙන්වන උදාහරණයක් දැන් අපි බලමු. දාවිත් යම් අවස්ථාවලදී වැරදි කළත් දෙවිගේ කැමැත්ත කරන්න ඔහු නිතරම මහත් වෑයමක් දැරුවා. (1 ලේක. 29:17) ඒ නිසා දෙවි ඔහුව හැඳින්වූයේ “මා යහපත් යයි සලකන දේ පමණක් කරමින් මුළු හදවතින්ම මාගේ ආඥාවලට කීකරු වූ මාගේ සේවක දාවිත්” කියායි. (1 රාජා. 14:8NW) මෙසේ දෙවි අවධානය යොමු කළේ ඔහු කළ වැරදිවලට නොව ඔහුගේ යහපත් ගුණාංගවලටයි.

දෙවි බලන ආකාරයට සහෝදරයන් දෙස බලමු

8, 9. (අ) අපට දෙවිව අනුකරණය කළ හැක්කේ කෙසේද? (ආ) එය උදාහරණයක් මගින් පැහැදිලි කරන්න. එමෙන්ම ඉන් අප ඉගෙනගන්නා පාඩම කුමක්ද?

8 මිනිසුන්ගේ සිත්වල තිබෙන දේ අවබෝධ කරගැනීමට දෙවිට හැකියි. නමුත් අපට එසේ කළ නොහැකියි. එනම් අන් අයගේ චේතනා හා ආකල්ප සම්පූර්ණයෙන්ම වටහාගන්න හැකියාවක් අපට නැහැ. අන් අයව විනිශ්චය නොකර සිටීමට එයම හොඳ හේතුවක් නොවේද? අපත් දෙවි මෙන් කටයුතු කරනවා නම් අපගේ සහෝදරයන්ගේ අසම්පූර්ණකම් ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් දෙවිව අනුකරණය කරන්න අපට පුළුවන්ද? අප එසේ කරද්දී එය එකිනෙකා අතර තිබෙන බැඳීම තව තවත් ශක්තිමත් කරයි.—එෆී. 4:23, 24.

9 මෙය තේරුම්ගැනීමට මෙම උදාහරණය සලකා බලන්න. වැහි පීලි කඩා වැටුණු, ජනෙල් දොරවල් අබලන් වූ පෙනුම දුර්වර්ණ නිවසක් දුටු විට එය ළඟින් යන එන බොහෝ අය එය ගරාවැටුණු නිවසක් කියා සිතන්න ඉඩ තිබෙනවා. නමුත් ඒ දෙස වෙනස් ආකාරයකින් බලන කෙනෙක් එය ශක්තිමත් අත්තිවාරමක් හා කණු සහිත නිවසක් බව තේරුම්ගන්නා අතර එය මිල දී ගෙන, අලුත්වැඩියා කිරීමට පටන්ගනියි. පසුව එහි පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර එය දැකීමටද ප්‍රියමනාපයි. දැන් ඒ නිවස ළඟින් යන එන අය ‘මේ ගේ නම් හරිම ලස්සනයි’ කියා පවසයි. එම නිවසේ කලින් ස්වභාවය දෙස වෙනස් ආකාරයකට බැලූ තැනැත්තා මෙන් වීමට අපටත් පුළුවන්ද? අප අපේ සහෝදරයන් දෙස මතුපිටින් බලා ඔවුන්ගේ සුළු සුළු අඩුපාඩු වෙත අවධානය යොමු කරනවා වෙනුවට ඔවුන් තුළ ඇති යහපත් ගුණාංග මෙන්ම ඉදිරියේදී ඔහු සත්‍යය තුළ ප්‍රගතියක් ලබන කෙනෙකු ලෙස දකින්න අප උත්සාහ කරනවාද? අප එසේ කරනවා නම් දෙවි මෙන් ඔවුන්ට ප්‍රේම කිරීමට අපත් පෙලඹෙනවා.—හෙබ්‍රෙව් 6:10 කියවන්න.

10. ෆිලිප්පි 2:3, 4හි සඳහන් උපදෙස අදාළ කරගැනීම අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

10 පාවුල් දුන් මෙම උපදෙස අදාළ කරගැනීමද සභාවේ සිටින සියලුදෙනා සමඟ යහපත් සබඳතාවක් ඇති කරගැනීමට උපකාර කරයි. “දබරකාරීව හෝ හිස උදුම්මාගැනීමෙන් කිසිවක් නොකර, යටහත්පහත් මනසකින් යුක්තව ඔබට වඩා අන් අය උතුම්යයි සලකමින් කටයුතු කරන්න. ඔබේම කාරණා ගැන පමණක් නොව, අනුන්ගේ කාරණා ගැනත් පෞද්ගලිකව සැලකිල්ලක් දක්වන්න.” (ෆිලි. 2:3, 4) එහි සඳහන් ආකාරයට අන් අය කෙරෙහි හරි ආකල්පයක් ඇති කරගැනීමට යටහත්පහත්කම අපට උපකාර කරයි. මෙසේ ඔවුන් කෙරෙහි පෞද්ගලික සැලකිල්ලක් පෙන්වීම හා ඔවුන්ගේ යහපත් ගුණාංග දෙස බලා ඒවා අගය කිරීමෙන් දෙවිව අනුකරණය කරන්න අපටත් පුළුවන්.

11. සමහර සභාවල දකින්න ලැබෙන්නේ කුමක්ද?

11 දෙවිව අනුකරණය කළ හැකි තවත් පැත්තක් අපි දැන් බලමු. යම් හේතූන් නිසා විවිධ ජාතීන්ට අයත් මිනිසුන් වෙනත් රටවලට ගොස් පදිංචි වීම වර්තමානයේදී වැඩි වැඩියෙන් දැකිය හැකියි. අපේ ප්‍රදේශයේ සිටින ඔවුන්ගෙන් සමහරෙක් බයිබල් සත්‍යයට උනන්දුවක් දක්වන අතර පසුව ඔවුන් දෙවිගේ නමස්කාරකයන් බවට පත් වී තිබෙනවා. ඒ නිසා එකම සභාවක විවිධ ‘ජාතීන්ට ගෝත්‍රවලට භාෂාවලට’ අයත් සහෝදරයන් සිටින සභාවන් බොහෝමයක් ලොව පුරාම දකින්න තිබෙනවා.—එළි. 7:9.

12. එකිනෙකා කෙරෙහි අප තුළ තිබිය යුත්තේ කිනම් ආකල්පයක්ද? මෙය අභියෝගයක් වන්නේ කිනම් අවස්ථාවලදීද?

12 එමනිසා අපගේ සභාවලත් විවිධ පසුබිම්වලට අයත් එවැනි අය සිටිය හැකි නිසා, ඔවුන් කෙරෙහි දෙවි බලන ආකාරයට බැලීමට විශේෂ වෑයමක් දැරිය යුතුයි. මෙහිදී පේතෘස් පැවසූ ලෙස ‘කුහකකමින් තොර සහෝදර ස්නේහය ඇතිව සිටින්නත් හද පත්ලෙන්ම එකිනෙකාට ප්‍රේම කරන්නත්’ අවශ්‍ය බව අප මතක තබාගත යුතුයි. (1 පේතෘ. 1:22) ඔවුන්ගේ සංස්කෘතිය, අධ්‍යාපනය, ආර්ථික තත්වය හා ජාතිය අපට වඩා වෙනස් නිසා එවැනි අයට සහෝදර ස්නේහයක් දැක්වීම අපට අභියෝගයක් විය හැකියි. එමෙන්ම ඔවුන් සිතන ආකාරය හා කටයුතු කරන ආකාරයද අපට එතරම් හුරු පුරුදු දෙයක් නොවිය හැකියි. අපට එසේ හැඟෙනවා නම් ඔවුන්ටත් අප ගැන එසේම හැඟෙනවා විය හැකියි. ඒ කෙසේවෙතත්, පේතෘස් අප සියලුදෙනාටම උනන්දු කළේ “මුළු සහෝදර සංගමයටම ප්‍රේම කරන්න” කියායි.—1 පේතෘ. 2:17.

13. අප සිතන ආකාරය සම්බන්ධයෙන් කරගත යුතු වෙනස්කම් මොනවාද?

13 ඒ අනුව, විවිධ පසුබිම්වලට අයත් සැමදෙනාටම ප්‍රේම කිරීමට නම් අප සිතන ආකාරයේ යම් වෙනස්කම් කිරීම අවශ්‍යයි. (2 කොරින්ති 6:12, 13 කියවන්න.) සමහර අවස්ථාවලදී ඔවුන් ගැන අප මෙසේ පවසනවා විය හැකියි. “මම ඒගොල්ලන්ව පහත් කරනවා නෙවෙයි. ඒත් . . . “ කියා පවසා එම ජාතියට අයත් අය අතර පොදුවේ දකින්න තිබෙන යම් අඩුපාඩුවක් ගැන සඳහන් කරනවාද? ඉන් පැහැදිලි වන්නේ අප තුළ ඔවුන්ව පහත් කර සලකන ස්වභාවයක් හෝ මුල් බැසගත් නුරුස්සනා ගතියක් තවමත් තිබෙනවා කියන එකයි. එසේනම් එවැනි ආකල්ප අප සම්පූර්ණයෙන්ම මුලින් උපුටා දැමිය යුතුයි. ‘මගේ ජාතියට අයත් නොවන අයව දැන හඳුනා ගැනීමට මම නිතර උත්සාහ කරනවාද’ කියා අපෙන් අසාගැනීම යෝග්‍යයි. එසේ උත්සාහ කිරීම මගින් මුළු සහෝදර සංගමයටම අයත් අයව සාදරයෙන් පිළිගැනීමටත් ප්‍රේම කිරීමටත් අපට උපකාර කරයි.

14, 15. (අ) තමන් සිතන ආකාරය වෙනස් කරගත් අයගේ ආදර්ශ සඳහන් කරන්න. (ආ) ඔවුන්ව ආදර්ශයට ගැනීමට අපට හැක්කේ කෙසේද?

14 වෙනත් ජාතියකට හෝ පසුබිමකට අයත් අය ගැන කලින් තිබූ ආකල්පය වෙනස් කළ අයගේ ආදර්ශ බයිබලයේ අඩංගුයි. පේතෘස් ඉන් කෙනෙක්. යුදෙව්වෙක් වූ ඔහු අන්‍යජාතීන්ගේ නිවසකට ගොඩ වෙන්නවත් නැතුව ඇති. නමුත් අන්‍යජාතිකයෙකු වූ කොර්නේලියස්ගේ නිවසට යන්න කියා දර්ශනයකින් පැවසූ විට ඔහුට කුමක් සිතෙන්න ඇද්ද! නමුත් සියලු ජාතීන්ට අයත් මිනිසුන් දෙවිගේ නමස්කාරකයන් වීම දෙවිගේ කැමැත්ත බව තේරුම්ගත් ඔහු තමා කලින් සිතූ ආකාරය වෙනස් කරගත්තා. (ක්‍රියා 10:9-35) පාවුල්ද ඔහු තුළ තිබූ අන් අයව පහත් කර සලකන ආකල්පය ඉවත් කරගත්තා. එමෙන්ම තමා “දෙවිගේ සභාවට අප්‍රමාණ ලෙස පීඩා කරමින්ද එය වනසමින්ද” කටයුතු කළා කියා ඔහු පිළිගත්තා. ඒ වුණත් යේසුස් ඔහුව නිවැරදි කළ විට ඔහු තම ජීවිතයේ විශාල වෙනස්කම් කළ අතර තමන් කලින් පීඩා කළ අයගේ මඟ පෙන්වීම්වලට පවා යටත් වුණා.—ගලා. 1:13-20.

15 ඉන් අපට උගන්වන්නේ දෙවිගේ බලයේ උපකාරය ඇතුව අප සිතන ආකාරයේද වෙනස්කම් කරගැනීමට අපට හැකි බවයි. අපි තුළ යාන්තමින්වත් එවැනි වැරදි ආකල්ප තිබෙන බව වැටහෙනවා නම් එය වහාම ඉවත් කිරීමටත් ‘සමාදානය නමැති එක්සත් කරවන බැඳීම තුළ එකමුතුකම පවත්වාගැනීමටත්’ උත්සාහ කරමු. (එෆී. 4:3-6) තවදුරටත් බයිබලයේ අපව මෙසේ උනන්දු කරනවා. “ප්‍රේමය පැළඳගන්න. මන්ද එය එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමකි.”—කොලො. 3:14.

දේවසේවයේදී දෙවිව අනුකරණය කරමු

16. ජනයා සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ කුමක්ද?

16 පාවුල් පැවසුවේ “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන්නේය” කියායි. (රෝම 2:11) ඒ අනුව දෙවිගේ අරමුණ වන්නේ සියලුම ජාතීන්ට අයත් මිනිසුන් ඔහුගේ නමස්කාරකයන් වෙනවා දැකීමයි. (1 තිමෝති 2:3, 4 කියවන්න.) එය ඉටු කරගැනීම සඳහා දෙවි “සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත්” ප්‍රකාශ කිරීම සඳහා “සදාකාල ශුභාරංචියක්” සූදානම් කළා. (එළි. 14:6) එම ශුභාරංචිය වපුරන “කෙත නම් ලෝකයය” කියා යේසුස් පැවසුවා. (මතෙ. 13:38) ඒ අනුව ඔබට හා ඔබේ පවුලේ අයට තිබෙන වගකීම කුමක්ද?

17. සියලුම ආකාරයේ ජනයාට දේශනා කරන්න අපට හැක්කේ කෙසේද?

17 අපෙන් බොහෝදෙනෙකුට මේ ලෝකයේ දුර ඈත ප්‍රදේශවල සිටින සියලුම ජාතීන්ට දේශනා කරන්න නොහැකි බව පිළිගත යුතුයි. ඒ වුණත් අපගේ ප්‍රදේශයට පැමිණ සිටින විවිධ ජාතීන්ට අයත් ජනයාට දේශනා කරන්න අපිට අවස්ථාව තිබෙනවා. අප අවුරුදු ගණනාවක් පුරා දේශනා කරමින් සිටින අයට අමතරව එවැනි අයටත් දේශනා කළ හැකි අවස්ථා ගැන කල්පනා කර තිබෙනවාද? තවමත් ශුභාරංචිය අසා නැති අයට දේශනා කරන්න ඔබ ඉලක්ක කරගෙන සිටිනවාද?—රෝම 15:20, 21.

18. යේසුස් ජනයා කෙරෙහි දැක්වූයේ කුමනාකාර සැලකිල්ලක්ද?

18 ශුභාරංචිය අසා නොතිබූ ජනයාට දේශනා කිරීමට යේසුස්ටද දැඩි උනන්දුවක් තිබුණා. ඔහුගේ සේවය එකම ප්‍රදේශයකට පමණක් සීමා නොවුණේ ඒ නිසයි. ඔහු “සියලු නුවරවලද ගම්වලද සංචාරය” කළ අතර සත්‍යය සඳහා පිපාසයෙන් සිටි ජනයාට ‘අනුකම්පා කළ’ බවද බයිබලයේ වාර්තා වෙනවා.—මතෙ. 9:35-37.

19, 20. දෙවි හා යේසුස් මෙන් සියල්ලන් කෙරෙහි සැලකිල්ල දැක්වීමට අපට හැකි ක්‍රම මොනවාද?

19 ඔබටත් යම් ආකාරවලින් එසේ කළ හැකිද? උදාහරණයකට සමහරුන් නිතර නිතර සේවය නොකරන ප්‍රදේශවලට ගොස් දේශනා කරන්න තීරණය කර තිබෙනවා. කඩ සාප්පු බහුල ප්‍රදේශවල, බස් නැවතුම්පොළවල්වල, රථගාල් වැනි මිනිසුන් වැඩියෙන් ගැවසෙන ස්ථානද ඊට අයත්. එමෙන්ම ආරක්ෂාව දමා තිබෙන නිවාස සංකීර්ණ අසල දේශනා කිරීමෙන් එහි වෙසෙන ජනයාවද හමු විය හැකියි. තවත් අය අලුත් භාෂාවක් ඉගෙනගනිමින් සිටිනවා. ඒ, තමන්ගේ ප්‍රදේශයේ වෙසෙන වෙනත් භාෂාවක් කතා කරන අයට දේශනා කිරීමටයි. එසේත් නැත්නම් භාෂාව ගැටලුවක් වූ නිසා කලක් තිස්සේ දේශනා කිරීමට අතපසු වූ පිරිසකට ශුභාරංචිය පැවසීම සඳහායි. තවත් කෙනෙකුගේ භාෂාවෙන්ම ඔවුන්ට ආචාර කිරීමට ඉගෙනගැනීමෙන් අපි ඔවුන් කෙරෙහි සැලකිලිමත් බව ඔවුන් තේරුම්ගනියි. අපට වෙනත් භාෂාවක් ඉගෙනගැනීමට අවස්ථාවක් නැත්නම් එසේ කරන අයව තවත් දිරිගන්වන්න අපට පුළුවන්ද? එසේ උත්සාහ කරන කෙනෙකුව සුළුවෙන් හෝ අධෛර්යය නොකිරීමට අප වගබලා ගනිමු. සියලුම මිනිසුන්ව දෙවිට එක හා සමානව වටිනවා. අපත් ඔවුන්ව සැලකිය යුත්තේ එසේමයි.—කොලො. 3:10, 11.

20 ඒ අනුව ජනයා දෙස දෙවි බලන ආකාරයට බැලීම යන්නෙන් සියලු ආකාර මිනිසුන්ට ශුභාරංචිය දේශනා කිරීමත් අයත් වෙනවා. සමහරවිට ඔවුන් ඉන්න හිටින්න තැනක් නැති අපිළිවෙළට ජීවත් වන හෝ අනාචාර ජීවිතයක් ගත කරන අය විය හැකියි. සමහරුන් අපට අකාරුණික ලෙසද සලකනවා විය හැකියි. ඒ වුණත් එවැනි කෙනෙකුගේ ජාතියට අයත් සියලුදෙනාවම ඒ වගෙයි කියා අප තීරණය නොකළ යුතුයි. පාවුල්ද එවැනි තත්වයකට මුහුණ දුන්නත් ඔහු ඔවුන්ගේ ජාතියේ අන් අයට දේශනා කිරීමෙන් වැළකී සිටියේ නැහැ. (ක්‍රියා 14:5-7, 19-22) ඒ, ඔවුන්ගෙන් කිහිපදෙනෙකු හෝ යහපත් ප්‍රතිචාරයක් දක්වයි කියා ඔහු විශ්වාස කළ නිසයි.

21. අන් අය දෙස දෙවි බලන ආකාරයටම බැලීම අපට උපකාර කරන්නේ කුමක් කිරීමටද?

21 අපගේම සභාවේ සහෝදරයන් කෙරෙහිත් වෙනත් ජාතීන්ට අයත් සහෝදරයන් හා දේවසේවයේදී මුණගැසෙන ජනයා කෙරෙහිත් අපට තිබිය යුතු ආකල්පය කුමක්ද කියා දැන් අපට හොඳින්ම පැහැදිලියි. එනම් යෙහෝවා දෙවි බලන ආකාරයටම ඔවුන් දෙස බැලීමයි. එසේ අපි වඩා කිට්ටුවෙන් දෙවිව අනුකරණය කරද්දී එකිනෙකා අතර තිබෙන සාමයට හා එක්සත්කමට එය බොහෝ සේ දායක වෙයි. එවිට ‘කිසිවෙකුගේ තරාතිරම නොබලන්නා වූ’ අප සියල්ලන්ගේම නිර්මාණකරු වන යෙහෝවා දෙවි ගැන දැනගැනීම සඳහා අන් අයට උපකාර කරන්න අප වඩාත් සුදුස්සන් බවට පත් වෙයි.—යෝබ් 34:19.

ඔබට පැහැදිලි කළ හැකිද?

• අපගේ සහෝදරයන් සම්බන්ධයෙන් අප ඉවත් කරගත යුත්තේ කුමන ආකල්පද?

• අපගේ සහෝදරයන්ට සලකන ආකාරය සම්බන්ධයෙන් දෙවිව අනුකරණය කළ හැක්කේ කෙසේද?

• වෙනත් ජාතීන්ට අයත් සහෝදරයන් කෙරෙහි අපට තිබිය යුතු ආකල්පය කුමක්ද?

• දේවසේවයේදී දෙවි බලන ආකාරයට ජනයා දෙස බලන්න අපට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

වෙනත් සංස්කෘතීන්ට අයත් ජනයාව දැන හඳුනා ගැනීමට ඔබට හැක්කේ කෙසේද?

[28වන පිටුවේ පින්තූර]

බොහෝදෙනෙකුට ශුභාරංචිය දේශනා කළ හැකි විවිධ ක්‍රම මොනවාද?