Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙනගත්තාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න:

• ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යේසුස්ව බැලීමට පැමිණියේ කවදාද?

එක් බයිබල් අනුවාදයක යේසුස් ඉපදුණ රාත්‍රියේම ශාස්ත්‍රඥයන් ඔහුව බැලීමට පැමිණියේ නැති බව සඳහන් වෙනවා. එමෙන්ම එදින පැමිණියේ එඩේරුන් පමණක් බවත් ශාස්ත්‍රඥයන් පැමිණෙද්දී යේසුස් ඉපදී මාස කිහිපයක්ම ගත වී තිබුණු බවත් එහි සඳහන් වෙනවා. ඒ වන විට ‘දරුවෙකුව’ සිටි යේසුස්ව ඔවුන්ට දැකගැනීමට හැකි වුණේ යේසුස් සිටි නිවසේදීයි. (මතෙ. 2:7-11) ශාස්ත්‍රඥයන් යේසුස් ඉපදුණ රාත්‍රියේම රන් වැනි අනර්ඝ තෑගි බෝග රැගෙන පැමිණියා නම් ඉන් දවස් 40කට පසුව ඔහුගේ මව වූ මරියා කුරුල්ලන් දෙදෙනෙක් පමණක් දේවමාලිගාවේදී ඔප්පු කරයි කියා සිතන්න බැහැ.—1/1, 31වන පිටුව.

• බොහෝදෙනෙකුට තම ජීවිතය තෘප්තිමත් කරගැනීම සඳහා කුමක් කළ හැකිද?

‘මගේ ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් කරගෙන, ජීවිතය සරල කරගන්න මටත් පුළුවන්ද’ කියා කෙනෙක් අසන්න පුළුවන්. ඒමි නමැති තැනැත්තිය නම් එසේ කළා. ඇය කළ රැකියාව නිසා ඇයට මුදල් අතින් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැතත් ඇය එයින් කිසිම සතුටක් භුක්ති වින්ඳේ නැහැ. එමෙන්ම ඇය මේ ලෝකය භුක්ති විඳිමින් සිටි නිසා ඇගේ ඇදහිල්ලත් දුර්වල වී ඇති බව ඇයට වැටහුණා. ඒ නිසා වැඩිමහල්ලන්ගේ උපකාරය ඇතිව දේවරාජ්‍යයට මුල් තැන දෙන්න ඇය තිරණය කළා. එමෙන්ම ඇය නැවතත් පුරෝගාමි සේවය ආරම්භ කළා. ඒ ගැන ඇය පවසන්නේ මෙසේයි. “රැකියාව කළ කාලයේ නොලබපු සතුට සහ තෘප්තිය දැන් මම අද්දකිනවා.”—1/15, 19වන පිටුව.

• මවකට සතුට අත් කරගත හැක්කේ කෙසේද?

බොහෝ මව්වරු රැකියාවක නියැලෙනවා. සමහරු එසේ කරන්නේ තම පවුලේ මූලික විය හියදම් පිරිමසාගැනීමටයි. තවත් අය තමන්ට රිසි සේ වියදම් කිරීමට හෝ සුව පහසු දේවල් ලබාගැනීමට වුවමනා නිසා රැකියාවක් කරනවා. බොහෝ මව්වරුන් තම රැකියාව දක්ෂ ලෙස කරන අතර ඉන් ඉමහත් සතුටක්ද ලබනවා. කෙසේවෙතත් දරුවන්ව බිලිඳු කාලේ පටන් පුහුණු කිරීමට පියාට මෙන් තමන්ටත් වගකීමක් තිබෙන බව දේවගරුබිය ඇති මව්වරුන් දන්නවා. එමෙන්ම සමහර මව්වරුන් දරුවන්ගේ කාරණාවලට වැඩි කාලයක් දීම සඳහා රැකියාවේ නියැලෙන කාලය අඩු කිරීමට හෝ රැකියාවෙන් අස් වෙන්න වුණත් තීරණය කර තිබෙනවා. එමගින් ඔවුන් මහත් සතුටක් අත් කරගෙන තියෙනවා.—2/1, 28-31 පිටු.

මතෙව් 24:34හි යේසුස් පැවසූ “පරම්පරාව” කවුරුන්ද?

“පරම්පරාව” යන වචනය යේසුස් බොහෝවිට භාවිත කළේ දුෂ්ට මිනිසුන්ව ඇමතීමටයි. නමුත් මේ අවස්ථාවේදී ඔහු කතා කරමින් සිටියේ ඔහුගේ ගෝලයන්ටයි. ඊට හේතුව මතෙව් 24:32, 33හි පවසා ඇති දෙය දෙවිගේ බලයේ උපකාර ඇතිව නිවැරදිව තේරුම්ගැනීමට හැකි වන්නේ ඔවුන්ට පමණක් නිසයි. ඒ අනුව යේසුස් පරම්පරාව කියා පැවසුවේ මුල් සියවසේ සිටි මෙන්ම වර්තමානයේ සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටයි.—2/15, 23, 24 පිටු.

ගලාති 3:24හි සඳහන් ලෙස නීතිය උපදේශකයෙකු වූයේ කෙසේද?

පුරාණයේ සිටි උපදේශකයා නිවසේ සිටි විශ්වාසවන්ත සේවකයෙක්. ඔහු සැමවිටම දරුවාව ආරක්ෂා කළා. එමෙන්ම ඔහු උත්සාහ කළේ දරුවාගේ දෙමව්පියන් දී තිබෙන උපදෙස්වලට අනුව ක්‍රියා කරන්නයි. ඒ හා සමානව නීතිය මගින් ඊශ්‍රායෙල්වරුන්ටද ආරක්ෂාවක් ලැබුණා. එමෙන්ම එය යුදෙව්වන්ව පිට ජාතීන් සමඟ විවාහ වීම ඇතුළු ඔවුන්ගේ දූෂිත බලපෑම්වලින් ආරක්ෂා කළා. දරුවාගේ උපදේශකයා හා සමානව නීතියද තාවකාලික එකක් වූ අතර එය ක්‍රියාත්මක වුණේ යේසුස් පැමිණෙන තුරු පමණයි.—3/1, 18-21 පිටු.

යාකොබ් 3:17 එකඟව අප විදහාපෙන්විය යුතු ගුණාංග මොනවාද?

නිර්මලකම එක් ගුණාංගයක්. ඉන් අදහස් කරන්නේ අපගේ මනස් දූෂණය කරන දේවල් වහාම ප්‍රතික්ෂේප කිරීමයි. (උත්. 39:7-9) එමෙන්ම අපි සාමකාමී විය යුතුයි. එනම් අපි කලහකාරී හා සාමයට බාධා වන අයුරින් කටයුතු නොකළ යුතුයි. පහත සඳහන් ප්‍රශ්න සලකා බැලීමත් ඒ සඳහා ප්‍රයෝජනවත් වෙනවා. මම සභාව තුළ සාමය ඇති කරන්නෙක්ද සාමය නැති කරන්නෙක්ද? මම නිතරම අන් අය සමඟ වාද විවාද, මතගැටුම් ඇති කරගන්නා කෙනෙක්ද? මම ඉක්මනින්ම අමනාප වන කෙනෙක්ද, නැත්නම් අන් අයව කෝප කරවන කෙනෙක්ද? මම සමාව දෙන්න සූදානම් කෙනෙක්ද? මම නිතරම මගේ මතය පිළිගන්න කියා අන් අයට බල කරනවාද? නැත්නම් අන් අයගේ අදහස්වලට ඉඩ දෙනවාද?—3/15, 24, 25 පිටු.

• යේසුස් අන්ධ මිනිසාව එකවර සුව නොකළේ ඇයි? (මාක් 8:22-26)

ඊට බයිබලයේ පැහැදිලි පිළිතුරක් සපයා නැහැ. නමුත් ඔහුට එකවර පෙනීම ලැබුණොත් ආලෝකයට හුරුවීමට අපහසු විය හැකි නිසා ඊට ක්‍රමානුකූලව හුරුවීම සඳහා යේසුස් එසේ කළා විය හැකියි. ඉන් පැහැදිලි වන්නේ යේසුස්ට එම අන්ධ මිනිසා කෙරෙහි තිබූ ප්‍රේමණීය සැලකිල්ලයි.—4/1, 30වන පිටුව.