Skip to content

පටුනට යන්න

‘ජීවිතයට තෘප්තිය ලැබෙන්නේ කුමකින්ද?’

‘ජීවිතයට තෘප්තිය ලැබෙන්නේ කුමකින්ද?’

‘ජීවිතයට තෘප්තිය ලැබෙන්නේ කුමකින්ද?’

“සැබෑ දෙවි කෙරෙහි ගරුබියක් ඇතිව සිට ඔහුගේ ආඥා පිළිපදින්න.”—දේශ. 12:13, නව ලොව පරිවර්තනය, NW.

1, 2. දේශනාකාරයා පොත අධ්‍යයනය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

ඔහු කිසිම දෙයකින් අඩුවක් නොතිබූ මිනිසෙක්. එමෙන්ම සුප්‍රසිද්ධ රජෙක්. මිහිපිට සිටි ධනවත්ම මිනිසාද ඔහුයි. ඔහු තරම් ප්‍රඥාවන්ත කෙනෙක් ඒ කාලයේ සිටියේ නැහැ. නමුත් එවැනි කෙනෙකු පවා ‘ජීවිතයට තෘප්තිය ලැබෙන්නේ කුමකින්ද?’ කියා ඇසීමට පෙලඹුණා.

2 ඔහු සලමොන් රජයි. ඔහු ජීවත් වුණේ මීට අවුරුදු 3,000කට පමණ පෙරයි. ජීවිතයේ නියම තෘප්තිය ලබන්න ඔහු නොගත් උත්සාහයක් නැහැ. (දේශ. 1:13) ඔහුගේ අද්දැකීම්වලින් අපට බොහෝ දේ ඉගෙනගත හැකියි. එමෙන්ම ඔහු විසින් ලියූ දේශනාකාරයා පොතේ ප්‍රඥාවන්ත උපදෙස් රැසක් අඩංගුයි. අරමුණක් ඇති, තෘප්තිමත් ජීවිතයක් ගත කිරීම සඳහා දැන් තියාම සැලසුම් කිරීමට ඒවා අපට ප්‍රයෝජනවත් වෙනවා.

“සුළඟ පසුපස හඹා යෑමකි”

3. සෑම මිනිසෙකුටම මුහුණ දීමට සිදු වන්නේ කුමකටද?

3 මේ පොළොව මත ඇති නිමක් නැති දෙවිගේ අලංකාර මැවිලි සලමොන් විස්තර කර තිබෙනවා. ඒවා ගැන තව තවත් සොයා බැලීමට අපට තිබෙන උනන්දුව හා ආශාව කෙදිනකවත් අඩු වන්නේ නැහැ. නමුත් ඒවා හරි හැටි අධ්‍යයනය කරන්න පටන්ගන්නත් කලින් අපගේ ජීවිත කාලය අවසන් වී හමාරයි. (දේශ. 3:11; 8:17) මිනිසුන් වන අපගේ ජීවිතයේ දවස් ඉතාම ස්වල්පයක් නිසා ඒවා ඉක්මනින්ම ගත වී යන බව බයිබලයේ පවසනවා. (යෝබ් 14:1, 2; දේශ. 6:12) එම කෙටි කාලය අප ඉතා ඥානවන්තව ගත කළ යුතු බව එමගින් අපට මතක් කර දෙනවා. නමුත් සාතන්ගේ දුෂ්ට ලෝකය අපව නිතරම පොලඹවන්නේ වැරදි කිරීමට නිසා එය පහසු දෙයක් නොවෙයි.

4. (අ) “නිෂ්ඵලකම” සඳහා ඇති හෙබ්‍රෙව් වචනයෙන් අදහස් වන්නේ මොනවාද? (ආ) දැන් අප සලකා බලන්නේ කුමන නිෂ්ඵල දේවල් ගැනද?

4 අපගේ ජීවිත කාලය ඉතා කෙටි නිසා එය නාස්ති කිරීමේ ඇති අනතුර ගැන කාවැද්දීමට සලමොන් රජ “නිෂ්ඵලකම” යන යෙදුම දේශනාකාරයා පොතේ 30 වතාවක් සඳහන් කර තිබෙනවා. එහි හෙබ්‍රෙව් වචනය පරිවර්තනය කළ විට ඊට හිස්කම, කිසි අර්ථයක් නැතිකම, කල් පවතින වටිනාකමක් නැතිකම යන අදහස්ද අයත් වෙනවා. (දේශ. 1:2, 3NW) එමෙන්ම “නිෂ්ඵලකම” ‘සුළඟ පසුපස හඹා යෑමකට’ සලමොන් සමාන කර තිබෙනවා. (දේශ. 1:14; 2:11NW) සුළඟ ඇල්ලීමට උත්සාහ කරන කෙනෙකු ගැන සිතන්න. ඔහු ඒ සඳහා කොතරම් වෙහෙසුණත් ඔහුට එය අල්ලාගැනීමට හැකි වන්නේ නැහැ. කිසි අර්ථයක් නැති හිස් වූ දේවල් අල්ලාගැනීමට උත්සාහ කිරීමත් ඒ හා සමානයි. ජීවිත කාලය ඉතාම කෙටි නිසා අපගේ වටිනා කාලය නාස්ති කරන දේවලින් වැළකීමට පියවර ගනිමු. වර්තමානයේ බහුලව තිබෙන එවන් අඥාන දේවල් ගැන සලමොන් සඳහන් කළා. ඒ අතරින් විනෝදාස්වාදය හා ධන සම්පත් රැස් කිරීම ගැන අපි මුලින්ම සලකා බලමු. ඉන්පසුව දෙවිව සතුටු කරන ක්‍රියාවන් ගැන සලකා බලමු.

විනෝදාස්වාදයෙන් තෘප්තිය ලැබිය හැකිද?

5. ජීවිතයේ සතුට වෙනුවෙන් සලමොන් අත්හදා බැලූ දේවල් මොනවාද?

5 අද සිටින බොහෝදෙනා මෙන් සලමොන්ද විනෝදාස්වාදය මගින් සතුට, තෘප්තිය ලබන්න උත්සාහ කළා. ඒ ගැන ඔහුම පවසන්නේ මෙසේයි. “මම සෑම සතුටක්ම භුක්ති වින්දෙමි.” (දේශ. 2:10NW) ඒ සඳහා ඔහු අත්හදා බැලූ දේවල් මොනවාද? දේශනාකාරයා දෙවන පරිච්ඡේදය පෙන්වන ලෙස ඔහු වයින් පානය කිරීමෙන් සතුටක් ලැබුවා. එමෙන්ම උද්‍යාන පිහිටුවාගැනීමෙන්, මාලිගා තැනීමෙන්, ප්‍රණීත ආහාර පාන මෙන්ම මියුරු සංගීතයෙන්ද ආස්වාදයක් ලබන්න උත්සාහ කළා.

6. (අ) විනෝද වීම වැරදි දෙයක් නොවන්නේ ඇයි? (ආ) එහිදී අප මතක තබාගත යුත්තේ කුමක්ද?

6 අපගේ මිතුරන් සමඟ විනෝද වීම බයිබලය හෙළාදකිනවාද? කොහෙත්ම නැහැ. සලමොන්ද පැවසුවේ ඉතා වෙහෙසකර දවසක් අවසානයේදී ටිකක් විවේක ගෙන ආහාරයක් භුක්ති විඳීම දෙවිගෙන් ලද ත්‍යාගයක් බවයි. (දේශනාකාරයා 2:24; 3:12, 13 කියවන්න.) එපමණක්ද නොව දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව ‘යෞවන කාලය සතුටින් ගත කරන්න’ කියා දෙවි යෞවන අයටද ආරාධනා කර තිබෙනවා. (දේශ. 11:9NW) විවේකය, හිතකර විනෝදාස්වාදය අප සෑම කෙනෙකුටම අවශ්‍යයි. (මාක් 6:31 බලන්න.) කෙසේවෙතත් විනෝද වීම අපගේ ජීවිතයේ ප්‍රධානම දෙය නොවිය යුතුයි. විනෝද වීම අතුරුපසට සමාන කළ හැකියි. නමුත් එය ප්‍රධාන ආහාර වේල නොවන බව මතක තබාගැනීම අවශ්‍යයි. අප ඕනෑවටත් වඩා අතුරුපස පමණක්ම කෑවොත් වැඩි වෙලාවක් යෑමට පෙර එය අපට එපා වෙනවා. ඉන් අපේ ශරීරයට එතරම් පෝෂණයක් ලැබෙන්නෙත් නැහැ. විනෝද වීම අපේ ජීවිතයේ ප්‍රධානම දෙය කරගැනීමත් ඒ හා සමානයි. සලමොන් එය ‘සුළඟ පසුපස හඹා යෑමකට’ සමාන කළේ ඒ නිසයි.—දේශ. 2:10, 11NW.

7. අප විනෝදය සඳහා කරන දේවල් තෝරා බේරාගැනීම අවශ්‍ය ඇයි?

7 සියලුම විනෝදාංශ වැරදි බව ඉන් අදහස් කරන්නේ නැහැ. නමුත් බොහෝ විනෝදාංශ අපේ ජීවිතයට හානිකරයි. එමගින් දෙවි සමඟ අපට ඇති මිත්‍රත්වයට හානි සිදු වන අතර අපව දුරාචාරයට පෙලඹවීමටද ඉඩ තිබෙනවා. අද දින මිලියන ගණනක් ජනයා ‘විනෝදය’ සඳහා යයි පවසමින් මත්ද්‍රව්‍ය හා මත්පැන් අනිසි ලෙස භාවිත කරන අතර සූදුවේද නියැලෙනවා. නමුත් යෙහෝවා දෙවි අපට එහි ඇති භයානකකම හා ඉන් ඇති වන අහිතකර ප්‍රතිඵල ගැනද ප්‍රේමණීයව අනතුරු අඟවා තිබෙනවා.—ගලා. 6:7.

8. අපේ ජීවිතය ගැන ගැඹුරින් සිතා බැලීම ඥානවන්ත දෙයක් වන්නේ ඇයි?

8 අප විනෝද වීමට වැඩි කාලයක් යොදවනවා නම් ජීවිතයේ වැදගත් කාරණාවලට අවධානයක් දීමට අපට කාලය නැති වෙනවා. ඊට හේතුව වන්නේ අප හැමදාමත් නිරෝගී සෞඛ්‍ය සම්පන්නව සිටියි කියා සිතන්න බැරි නිසයි. එමනිසා සලමොන් පැවසුවේ ‘ප්‍රීති ඝෝෂාව ඇති ගෙදරකට’ යනවාට වඩා අවමංගල්‍ය ගෙදරකට යෑම හොඳයි කියායි. (දේශනාකාරයා 7:2, 4NW කියවන්න.) ඊට හේතුව කුමක්ද? දෙවිට විශ්වාසවන්තව සේවය කළ මිය ගිය සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ අවමංගල්‍යයකට ඔබ සහභාගි වෙනවා කියා සිතන්න. එහිදී ඉදිරිපත් කරන අවමංගල්‍ය කතාවේදී මිය ගිය තැනැත්තා දෙවිට විශ්වාසවන්තව කළ සේවය ගැන අපට අහන්න ලැබෙනවා. ඉන් අපට අප ගැනම ගැඹුරින් සිතා බලන්න අවස්ථාවක් උදා වෙනවා. එමගින් අපේ ජීවිතයේ අවශ්‍ය සකස් කිරීම් කර ජීවිතයේ ඉතිරි කාලය දෙවිගේ සේවය වෙනුවෙන් ඥානවන්තව යෙදවීමට පෙලඹීමක් ඇති වෙනවා.—දේශ. 12:1.

ධන සම්පත්වලින් තෘප්තිය ලැබිය හැකිද?

9. ධන සම්පත් සම්බන්ධයෙන් සලමොන් තේරුම්ගත්තේ කුමක්ද?

9 දේශනාකාරයා පොත ලියූ කාලයේදී පොළොවේ සිටි ධනවතුන් අතරින් සලමොන් එක් පුද්ගලයෙක්. (2 ලේක. 9:22) ඔහු ආශා කළ ඕනෑම දෙයක් ලබාගැනීමේ හැකියාව ඔහුට තිබුණා. ඒ ගැන ඔහුම පවසන්නේ මෙසේයි. “මාගේ ඇස්වලට ප්‍රිය කළ සෑම දෙයක්ම මම ලබාගතිමි.” (දේශ. 2:10NW) එහෙත් ඔහු තේරුම්ගත්තේ ධන සම්පත්වලින් ජීවිතයේ සැබෑ තෘප්තිය ලබාගත නොහැකි බවයි. ඒ ගැන ඔහු පැමිණි නිගමනය මෙයයි. “රිදීවලට ඇලුම් වන්නා රිදී ලැබුණු පමණින් සෑහීමට පත් නොවෙයි. ධනයට ඇලුම් වන්නාද තමා කොපමණ ආදායමක් ලැබුවත් සෑහීමට පත් නොවෙයි.”—දේශ. 5:10NW.

10. සැබෑ තෘප්තියට මඟ පාදන්නේ කුමක්ද?

10 ධන සම්පත්වල ඇති වටිනාකම ඉතාම තාවකාලිකයි. නමුත් අපේ සිත් ඒ වෙත ඇදගැනීමට ප්‍රබල හැකියාවක් එය සතුයි. එය සත්‍යයක් බව ඔප්පු කරමින් මෑතකදී එක්සත් ජනපදයේ කළ සමීක්ෂණයකදී හෙළි වූ දෙය බලන්න. විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන්ගෙන් සියයට 75ක්ම පැවසුවේ ඔවුන්ගේ ජීවිතයේ ප්‍රධානතම ඉලක්කය වන්නේ “ධනවත් වීම” බවයි. ඔවුන් එම ඉලක්කය අත් කරගත්තා කියා සිතන්න. ජීවිතයේ සැබෑ තෘප්තිය ලබන්න ඉන් ඔවුන්ට හැකි වෙයිද? ඊට පිළිතුර සමීක්ෂකයන්ගේ අදහස්වලින් පැහැදිලි වෙනවා. ඔවුන් පවසන්නේ ධන සම්පත් කෙරෙහි වැඩි අවධානයක් දීම ප්‍රීතිමත්, තෘප්තිමත් ජීවිතයකට බාධාවක් කියායි. ධනවත් සලමොන් රජ ඒ බව තේරුම්ගත්තේ මීට බොහෝ කාලයකට පෙරයි. ඒ ගැන ඔහු පැවසුවේ ‘රන් රිදී මම රැස් කරගතිමි. රජවරුන්ට හිමි ඉඩම් රැස් කරගතිමි. ඒ කිසිම දෙයකින් පලක් නැත. ඒ සියල්ල සුළඟ පසුපස හඹා යෑමක්’ කියායි. * (දේශ. 2:8, 11NW) නමුත් අප දෙවිට මුළු හදින්ම සේවය කිරීමට අපේ කාලය යොදවනවා නම් ඔහුගේ ආශීර්වාද නමැති සැබෑ වස්තුව ලබන්න අපට හැකියි.—හිතෝපදේශ 10:22 කියවන්න.

සැබෑ තෘප්තිය ලැබෙන්නේ කුමකින්ද?

11. අරමුණක් ඇති වැඩවල වටිනාකම ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද?

11 සැබෑ තෘප්තිය ලැබිය හැකි එක් දෙයක් ගැන යේසුස් පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “මාගේ පියාණන් මේ දක්වා වැඩ කරමින් සිටින්නේය. මමත් වැඩ කරමින් සිටිමි.” (යොහ. 5:17) යෙහෝවා දෙවි හා යේසුස් ඔවුන් කළ වැඩවලින් විශාල තෘප්තියක් ලැබූ බව නිසැකයි. දෙවි තමා කළ වැඩවලින් ලැබූ තෘප්තිය ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. “දෙවි තමා සෑදු සියල්ල දෙස බැලුවේය. එය ඉතා හොඳ තත්වයක තිබුණේය.” (උත්. 1:31NW) දෙවි කළ නිර්මාණ දුටු දේවදූතයන්ද “සතුටු සිතින් අත්පොළසන්” දුන්නා. (යෝබ් 38:4-7NW) එමෙන්ම සලමොන් රජද අරමුණක් ඇති වැඩවල වටිනාකම අගය කළා.—දේශ. 3:13.

12, 13. (අ) තමන් කළ වැඩවලින් ලද තෘප්තිය ගැන දෙදෙනෙක් පවසන්නේ කුමක්ද? (ආ) සමහර වැඩ කලකිරීමට හේතු විය හැක්කේ කෙසේද?

12 බොහෝදෙනා තමන් කරන වැඩවලින් තෘප්තියක් ලබනවා. උදාහරණයකට දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වන හෝසේ මෙසේ පවසනවා. “මගේ මනසේ තිබෙන අදහස් ඒ විදිහටම චිත්‍රයට නඟන්න පුළුවන් වුණාම මට දැනෙන්නේ මම හරියට ලොකු කන්දක් තරණය කළා වගෙයි.” ව්‍යාපාරිකයෙක් වන මිගෙල් * පවසන දෙයද බලන්න. “මම මහන්සි වෙලා වැඩ කළොත් ඒකෙන් මගේ පවුලේ අයව රැකබලා ගන්න මට පුළුවන්. ඒ වගේම යමක් ඉටු කරගත්තා කියන තෘප්තිමත් හැඟීමත් මට ඇති වෙනවා.”

13 අනෙක් අතට සමහර වැඩ හරිම ඒකාකාරියි. එමෙන්ම අලුත් දෙයක් කිරීමට අවස්ථාවක් නොලැබෙන තරම්. සමහර වැඩ කරන ස්ථාන තුළ දැඩි කලකිරීමට හේතු වන දේවල් මෙන්ම අසාධාරණ දේවල්ද සිදු වෙනවා. සලමොන් පැවසූ ලෙස කෙනෙක් වෙහෙසී වැඩ කළත් ඉන් ප්‍රයෝජන ලබන්නේ වෙන කෙනෙක්. ඒ නිසා සමහර වැඩවලින් තෘප්තිය ලැබීම දුෂ්කරයි. (දේශ. 2:21) ඊට හේතු විය හැකි තවත් දෙයක් තිබෙනවා. එනම් විශාල ලාභ ලැබෙන බව පෙනෙන ව්‍යාපාර බලාපොරොත්තු නොවූ ලෙස බිඳ වැටීමයි. (දේශනාකාරයා 9:11 කියවන්න.) තම වැඩවල සාර්ථකත්වය අද්දකින්න කෙනෙක් කොතරම් වෙහෙස මහන්සි වී වැඩ කළත් අවසානයේදී ඔහුට එය එපා වී කලකිරීම පමණක් ඉතිරි වෙන්න පුළුවන්. එවිට එය හරියට ‘නිෂ්ඵල දෙයක් පසුපස ලුහුබැඳීමක්’ මෙන් ඔහුට හැඟෙන්න පුළුවන්.—දේශ. 5:16NW.

14. ජීවිතයේ නියම තෘප්තිය ලබා දෙන්නේ කුමන වැඩවලින්ද?

14 අපව කලකිරීමට පත් නොකරන ආකාරයේ වැඩත් තිබෙනවාද? ඔව්. කලින් සඳහන් කළ හෝසේ නම් චිත්‍ර ශිල්පියා මෙසේ පවසනවා. “කාලයක් සමඟම අපි අඳින චිත්‍ර නැති නාස්ති වෙන්න පුළුවන්. ඒත් දෙවිගේ සේවය තුළ අපි කරන දේවල් කවදාවත් එහෙම වෙන්නේ නැහැ. මිනිසුන්ට ශුභාරංචිය දේශනා කරලා දෙවි සමඟ මිත්‍රත්වයක් ගොඩනඟා ගන්න ඔවුන්ට උදව් කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ තරම් වටිනා දෙයක් තවත් තියෙනවාද!” (1 කොරි. 3:9-11) මිගෙල්ද පවසන්නේ “බයිබල් සත්‍යය කෙනෙක් සමඟ බෙදාගන්න කොට ඒක ඔහුගේ හදවතටම කාවැදුණා කියලා දැනෙද්දී ඒකෙන් ලැබෙන සතුට වෙන කිසිම දෙයකින් ලබන්න බැහැ” කියායි.

“ඔබේ කෑම ජලය පිට පා කර යවන්න”

15. ජීවිතයේ තෘප්තිය ලැබීමට අප කළ යුතු දේවල් මොනවාද?

15 අප මෙතෙක් සලකා බැලූ ලෙස ජීවිතයට නියම අරමුණක් හා තෘප්තිය ලැබෙන්නේ කුමකින්ද? අපගේ කෙටි ජීවිත කාලය තුළ දෙවිව ප්‍රසන්න කරන වැඩ කිරීමෙනුයි. ඒවාට අයත් වන්නේ මොනවාද? දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීම, දරුවන්ගේ හදවත්වල දෙවිගේ ප්‍රමිති පැළපදියම් කිරීම, දෙවි ගැන අන් අයට ඉගැන්වීම හා සෙසු නමස්කාරකයන් සමඟ ශක්තිමත් මිත්‍රත්වයක් ඇති කරගැනීමයි. (ගලා. 6:10) මේ සෑම යහපත් ක්‍රියාවකම ප්‍රතිඵල සදාකාලිකයි. එය සලමොන් විස්තර කරන්නේ මේ ආකාරයටයි. “ඔබේ කෑම ජලය පිට පා කර යවන්න. එවිට බොහෝ කලකට පසුව නැවත එය ඔබට සම්බ වන්නේය.” (දේශ. 11:1NW) යේසුස්ද ඒ හා සමාන දෙයක් පැවසුවා. “දීමට පුරුදු වන්න. එවිට අන් අය ඔබටද දෙන්නෝය.” (ලූක් 6:38) එමෙන්ම අන් අයට යහපත කරන අයට දෙවි ආශීර්වාද කරන බවට පොරොන්දු වී තිබෙනවා.—හිතෝ. 19:17; හෙබ්‍රෙව් 6:10 කියවන්න.

16. අනාගතය වෙනුවෙන් ඥානවන්ත තීරණ ගැනීමට හොඳම කාලය කුමක්ද?

16 බයිබලයේ අපට උනන්දු කරන්නේ අපේ ජීවිතයේ හොඳම කාලය වන යෞවන කාලයේදී අනාගතය වෙනුවෙන් ඥානවන්තව තීරණ ගන්න කියායි. එසේ කිරීමෙන් පසු කාලයේදී අද්දැකිය හැකි කලකිරීම්, වේදනාකාරී දේවල් මඟහැරිය හැකියි. (දේශ. 12:1) නමුත් අපේ ජීවිතයේ හොඳම කාලය මේ ලෝකයේ සිත් ඇදගන්නා දේවල් පසුපස ගමන් කිරීම සඳහා නාස්ති කර දැමුවොත් එය මොන තරම් කනගාටුදායකද? එය සුළඟ ලුහුබැඳීමට දෙවැනි නොවන බව ඔබට වැටහෙයි.

17. ජීවිතය ගත කළ හැකි හොඳම ආකාරය තීරණය කිරීමට ඔබට උපකාරවත් වන්නේ කුමක්ද?

17 ඕනෑම ආදරණීය පියෙකුගේ බලාපොරොත්තුව මෙන් අපේ දෙවි යෙහෝවාටද අවශ්‍ය වන්නේ අපි අපේ ජීවිතය සතුටින් ගත කර අනවශ්‍ය කරදරවලට පැටලීමෙන් වැළකී සිටිනවාටයි. (දේශ. 11:9, 10) ඒ සඳහා ඔබට උපකාරවත් වන්නේ කුමක්ද? දෙවිට වැඩියෙන් සේවය කිරීම සඳහා ඉලක්ක තබා ඒවා අත් කරගැනීමට වෑයම් කිරීමයි. ඒ සම්බන්ධයෙන් හාවියේ නමැති තැනැත්තාගේ අද්දැකීම සලකා බලන්න. මීට අවුරුදු 20කට ඉහතදී ඔහුට යම් තේරීමක් කිරීමට සිදු වුණා. එනම් තමන් තෝරාගන්නේ වෛද්‍ය වෘත්තියද පූර්ණකාලීන සේවයද යන්නයි. දැන් ඔහු ඒ ගැන පවසන්නේ මෙසේයි. “වෛද්‍ය වෘත්තියෙන් යම් තෘප්තියක් ලබන්න පුළුවන් බව ඇත්තයි. නමුත් බයිබල් සත්‍යය දැනගැනීමට බොහෝදෙනෙකුට උපකාර කරන්න ලැබීමේ තෘප්තිය වෙන කිසිම දෙයකින් ලබන්න බැහැ. දෙවිට පූර්ණකාලීනව සේවය කිරීමෙන් මගේ ජීවිතයේ සැබෑ තෘප්තිය ලබන්න මට හැකි වුණා. මම කනගාටු වෙන්නේ මේ සේවය මට මීට කලින් පටන්ගන්න බැරි වුණ එක ගැනයි.”

18. යේසුස් ගත කළ ජීවිතය අනුකරණය කිරීමට වටින්නේ ඇයි?

18 එසේනම් අප අත් කරගැනීමට දැඩි වෙහෙසක් දැරිය යුත්තේ කුමක්ද? ඒ ගැන සලමොන් පවසන්නේ මෙසේයි. “වටිනා තෙල්වලට වඩා හොඳ නමක්ද උපන් දවසට වඩා මිය යන දවසද හොඳය.” (දේශ. 7:1NW) මේ සඳහා හොඳම ආදර්ශය තබන්නේ යේසුස්. පොළොව මත සිටියදී දෙවි ඉදිරියේ අනර්ඝ නාමයක් ඔහු ඇති කරගත්තා. ඔහු දෙවිට පක්ෂව සිටි අතර මිය යන විට මුළු විශ්වයම පාලනය කිරීමට තම පියාට ඇති අයිතිය තහවුරු කළා. එමෙන්ම අප වෙනුවෙන් ජීවිතය පූජා කිරීමෙන් සදාකාල ජීවනයට මඟ විවෘත කර දුන්නා. (මතෙ. 20:28) ඔහු පොළොව මත ගත කළේ කෙටි කාලයක් වුණත් අප සියලුදෙනාටම ආදර්ශයක් සැපයුවා. ඔහු මෙන් ජීවත් වීමට අපද දැඩි වෑයමක් දැරිය යුතුයි.—1 කොරි. 11:1; 1 පේතෘ 2:21.

19. සියලු මිනිසුන්ට සලමොන් දුන් වටිනා උපදෙස කුමක්ද?

19 අපටත් දෙවි ඉදිරියේ එවන් අනර්ඝ නාමයක් ඇති කරගත හැකියි. ධන සම්පත් රැස් කරගැනීමට වඩා දෙවිගේ මතකයේ රැඳෙන පුද්ගලයෙක් වීමට හැකි නම් එය මොන තරම් වටිනා දෙයක්ද! (මතෙව් 6:19-21 කියවන්න.) ඒ සඳහා අපට දිනපතාම දෙවිව ප්‍රසන්න කරන දේවල් කිරීමට අවස්ථාව ලැබෙනවා. ශුභාරංචිය දේශනා කිරීමෙහි හවුල් වීම, අපගේ පවුලේ සාමාජිකයන් අතර බැඳීම ශක්තිමත් කරගැනීම හා පෞද්ගලික අධ්‍යයනය මෙන්ම රැස්වීම්වලට සහභාගි වීමෙන් දෙවි සමඟ ඇති සම්බන්ධය තව තවත් ශක්තිමත් කරගැනීම ඊට ඇතුළත්. (දේශ. 11:6; හෙබ්‍රෙ. 13:16) සතුටින් පිරුණු තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට ඔබට අවශ්‍යද? එසේනම් සලමොන් පැවසූ ලෙස “සැබෑ දෙවි කෙරෙහි ගරුබියක් ඇතිව සිට ඔහුගේ ආඥා පිළිපදින්න. මිනිසාගේ යුතුකම එයයි.”—දේශ. 12:13NW.

[පාදසටහන්වල]

^ 10 ඡේ. සලමොන්ගේ සාමාන්‍ය වාර්ෂික ආදායම රන් තලෙන්ත 666ක් (එනම් කිලෝග්‍රෑම් 22,000ක්) වුණා.—2 ලේක. 9:13.

^ 12 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

ඔබට මතකද?

• අපේ අනාගත ඉලක්ක ගැන බැරෑරුම්ව කල්පනා කිරීමට අපව පොලඹවන්නේ කුමන කාරණයද?

• විනෝද වීම හා ධනවත් වීම කෙරෙහි අපට තිබිය යුතු ආකල්පය කුමක්ද?

• සදාකාලික ප්‍රයෝජන ගෙන දෙන වැඩ මොනවාද?

• අප අත් කරගැනීමට වෑයම් කළ යුතු වටිනා දේවල් මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

අපගේ ජීවිතයේ විනෝදාස්වාදයට දී ඇති තැන කුමක්ද?

[24වන පිටුවේ පින්තූරය]

ශුභාරංචිය දේශනා කිරීම තෘප්තිය ගෙන දෙන කාර්යයක් වන්නේ කෙසේද?