Skip to content

පටුනට යන්න

තනිව සිටියත් තනි නොකරමු

තනිව සිටියත් තනි නොකරමු

තනිව සිටියත් තනි නොකරමු

පාවුල් ක්‍රිස්තියානීන්ට මෙවැනි උපදෙසක් දුන්නා. “සියල්ලන්ටම, විශේෂයෙන්ම අපේ ඇදහිල්ලේ පවුලට අයත් අයට යහපත්කම් කරමු.” (ගලා. 6:10) අද දිනත් එම උපදෙසට කීකරු වී සෙසු ඇදහිලිවන්තයන්ට යහපත්කම් කළ හැකි ක්‍රම තිබෙනවා. ඉන් එකක් නම් වැඩිහිටි නිවාසවල සිටින අපගේ මහලු සහෝදර සහෝදරියන්ට අවධානය දී අවශ්‍ය උපකාරද පිරිනැමීමයි.

සාමාන්‍යයෙන් තම මහලු දෙමාපියන්ව රැකබලා ගැනීම ඔවුන්ගේ පවුලේ අයගේ වගකීමයි. නමුත් සමහර රටවල මහලු අය රැකවරණය ලබන්නේ වැඩිහිටි නිවාසවලයි. එවන් නිවාසවල රැකවරණය ලබන මහලු ක්‍රිස්තියානීන් ගැන කුමක් කිව හැකිද? ඔවුන් මුහුණ දෙන අභියෝග මොනවාද? තම පවුලේ අයගේ උදව් උපකාර නැතිව සිටින එවැනි අය ජීවත් වන්නේ කෙසේද? සභාවක් හැටියට එවැනි අයට උපකාර කළ හැක්කේ කෙසේද? එසේ උපකාර කිරීමෙන් අපටත් ප්‍රයෝජන ලැබිය හැක්කේ කෙසේද?

ඔවුන් මුහුණ දෙන අභියෝග

මුල් වරට මහලු සහෝදරයෙක් වෙනත් ප්‍රදේශයක වැඩිහිටි නිවාසයකට පැමිණෙන විට එම ප්‍රදේශයට අයත් සභාවේ අයව එතරම්ම දැන හඳුනන්නේ නැහැ. එමෙන්ම එම සභාවේ අයද එම මහලු සහෝදරයාව හඳුනන්නේ නැති නිසා ඔහුව බැලීමට නිතරම නොයන්න ඉඩ තිබෙනවා. එමෙන්ම වැඩිහිටි නිවාසය තුළ සිටින විවිධ ආගම් අදහන්නන්ගෙන් ඔවුන්ගේ ඇදහිල්ලට අභියෝග එල්ල විය හැකි නිසා ඔවුන් නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණ දෙනවා.

උදාහරණයකට සමහර වැඩිහිටි නිවාස තුළ යම් ආගමික වතාවත් සිදු කරනවා. තවත් අවස්ථාවලදී සිදු වන දෙයක් ගැන එක් සාත්තු සේවකයෙක් පැවසුවේ මෙසේයි. “කතා කරන්නවත් හරියට බැරි සමහර මහලු සාක්ෂිකරුවන්ව, ඔවුන්ගෙන් විමසන්නේ නැතුව රෝද පුටුවල තියාගෙන පල්ලියේ පූජාවට අරගෙන ගිහින් තියෙනවා.” ඊට අමතරව මේ මහලු අය සිටින ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න පිළියමක් හැටියට මහලු නිවාස තුළම උපන්දින හා නත්තල් වැනි උත්සව පවත්වනවා. එමෙන්ම සමහර අවස්ථාවලදී ඔවුන්ගේ හෘදය සාක්ෂියට අනුව නොකෑමට තීරණය කළ ආහාර පවා ඔවුන්ට දී තිබෙනවා. (ක්‍රියා 15:29) එමනිසා ඔවුන්ව අප නිතරම බැහැදකින්න යනවා නම් එවැනි අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ඔවුන්ට උපකාර කරන්න අපට හැකියි.

සභාවෙන් දිය හැකි උපකාර

මුල් සියවසේද තම පවුලේ අයගෙන් උපකාර නොලද මහලු ක්‍රිස්තියානීන් සිටියා. එවැනි අයට උපකාර කිරීම සම්බන්ධයෙන් මුල් සභාවල සිටි ක්‍රිස්තියානීන් අවදියෙන් සිටියා. (1 තිමෝ. 5:9) ඒ හා සමානව අද දිනත් තම ප්‍රදේශයේ වැඩිහිටි නිවාසවලත් එවැනි අය සිටිනවා නම් ඔවුන්ට අවශ්‍ය උපකාර ලබා දීමට වැඩිමහල්ලන් කටයුතු කරනවා. * එක් වැඩිමහල්ලෙක් වන රොබට් පවසන්නේ මෙසේයි. “වැඩිමහල්ලන් පෞද්ගලිකව ගොස් එවැනි මහලු ක්‍රිස්තියානීන්ව බැහැදැකීම ඉතාම වැදගත්. එතකොට ඔවුන් සිටින තත්වය තේරුම්ගැනීමට හැකි වෙනවා විතරක් නෙවෙයි, ඔවුන් සමඟ එකට සිට යාච්ඤා කරන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඒ අය වෙනුවෙන් සභාවක් හැටියට කරන්න පුළුවන් මොනවාද කියා සොයා බලන්නත් හැකියාව ලැබෙනවා.” එවැනි මහලු ක්‍රිස්තියානීන්ව රැකබලා ගැනීම යෙහෝවා දෙවි ඉදිරියේ ඉතාම වටිනා දෙයක්. ඒ අනුව අපි ඔවුන්ව බැහැදැකීමට කාලය ගැනීමෙන් පෙන්වන්නේ අපත් එය වටිනා දෙයක් ලෙස සලකන බවයි.—යාකො. 1:27.

වැඩිහිටි නිවාසවල සිටින මහලු ක්‍රිස්තියානීන්ට අවශ්‍ය උපකාර පිරිනැමීමට වැඩිමහල්ලන් කටයුතු සැලසුම් කරයි. කලින් සඳහන් කළ සහෝදර රොබට් ඔවුන්ට අවශ්‍ය විය හැකි උපකාරයක් ගැන සඳහන් කරනවා. “රැස්වීම්වලට පැමිණීමට ඔවුන්ට හැකි නම් අපි ඔවුන්ව ඒ සඳහා දිරිගැන්විය යුතුයි.” නමුත් එසේ පැමිණීමට ඔවුන්ට නොහැකි නම් විවිධ ආකාරවලින් උපකාර පිරිනැමීම සඳහා කටයුතු සැලසුම් කිරීමට වැඩිමහල්ලන්ට හැකියි. වයස අවුරුදු අසූ ගණන්වල පසු වන සහෝදරි ජාක්ලීන් දරුණු ආතරයිටිස් රෝගයකින් පෙළෙනවා. නමුත් ඇයට දුරකතනය මාර්ගයෙන් රැස්වීම්වලට ඇහුම්කන් දීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ ගැන ඇය පවසන්නේ මෙසේයි. “ඇත්තෙන්ම රැස්වීම් පවත්වන වෙලාවේම ඊට ඇහුම්කන් දීමට හැකිවීම මට ලොකු සතුටක්. වෙන මොනවා නැති වුණත් මම රැස්වීම්වලට ඇහුම්කන් දෙන එක නම් අතපසු කරන්නේ නැහැ.”

නමුත් මහලු ක්‍රිස්තියානියෙකුට එයාකාරයෙන්වත් රැස්වීම්වලට ඇහුම්කන් දීමට නොහැකි නම් කුමක් කළ හැකිද? රැස්වීම් කොටස් පටිගත කර ඔවුන්ට ලබා දීම සඳහා සැලසුම් කිරීමට වැඩිමහල්ලන්ට හැකියි. එමෙන්ම පටිගත කළ රැස්වීමේ කොටස් ඔවුන්ට ලබා දීමට යන සහෝදරයාට හෝ සහෝදරියට ඒ අවස්ථාව දිරිගන්වනසුලු සාකච්ඡාවක් සඳහා යොදාගන්නත් හැකියි. තවත් වැඩිමහල්ලෙක් පැවසුවේ මෙසේයි. “අපිට සභාවේ අයගේ සැප දුක් පිළිබඳව ඔවුන් සමඟ කතා කරන්නත් පුළුවන්. එයින් ඔවුන් තවමත් අපගේ ක්‍රිස්තියානි සභාවේ කොටසක් බව ඔවුන්ට තහවුරු කළ හැකියි.”

කතා බහ කිරීම නතර කරන්න එපා

මහලු සහෝදරයෙක් හෝ සහෝදරියක් මුල් වතාවට වැඩිහිටි නිවාසයකට පැමිණි විට එය ඔවුන්ට යම් ආකාරයකට වේදනාකාරී අද්දැකීමක් විය හැකියි. තමන් දන්නා හඳුනන කිසිවෙක් නැති නිසා ඔවුන්ට සාංකාවක්ද ඇති විය හැකියි. නමුත් ඔවුන් එහි පැමිණි වහාම අපි ඔවුන්ව බලන්න යෑමෙන් ඔවුන්ට අපි සිටිනවා කියා හැඟෙන්න සලස්වන්න පුළුවන්. එසේ ඔවුන්ට අහිමි වූ මනසේ සාමය හා ප්‍රීතිය යළි ඇති කරගැනීමට සෑහෙන දුරට අපට උදව් කළ හැකියි.—හිතෝ. 17:22.

ඔවුන්ගේ කල්පනා ශක්තිය අඩුවීම නිසා හෝ ඇසීමේ දුර්වලතා වැනි දේවල් නිසා ඔවුන් සමඟ කතා බහ කිරීමේදී යම් අභියෝග මතු විය හැකියි. ඒ නිසා ඔවුන්ව බලන්න යෑමෙන් පලක් නැහැයි කියා සමහරුන්ට සිතෙන්න පුළුවන්. නමුත් ඔවුන්ට මොන දුර්වලකම් තිබුණත් නොකඩවා ඔවුන්ව බැහැදකින්න යෑමෙන් පෙන්වන්නේ අපි ඔවුන්ට “ගෞරවය දැක්වීමේදී පෙරමුණ” ගනිමින් සිටින බවයි. (රෝම 12:10) අප බැහැදකින මහලු අයට ඉතා මෑතකදී සිදු වූ දේවල් පවා අමතක වීමේ ස්වභාවයක් තිබෙනවා නම් අපට කුමක් කළ හැකිද? ඔවුන්ගේ කුඩා කාලය ඇතුළු අතීත සිදුවීම් පවසන්න කියා ඔවුන්ව දිරිගැන්විය හැකියි. එමෙන්ම ඔහුට හෝ ඇයට සත්‍යය ලැබුණු ආකාරය අපට පවසන්න කියාද ආරාධනා කළ හැකියි. එමෙන්ම ඔවුන්ට කියාගන්න අවශ්‍ය දෙය වචනයට නඟන්න බැරි වන විට අපට කුමක් කළ හැකිද? ඉවසීමෙන් යුතුව සවන් දීමෙන් හා ඔවුන් කියන්න උත්සාහ කරනවා යයි සිතෙන වචනයක් දෙකක් සඳහන් කිරීමට අපට හැකියි. එමෙන්ම ඔවුන් මොහොතකට කලින් කියූ දෙය ඔවුන්ට අමතක වී තිබෙනවා නම් එය යළිත් කෙටියෙන් මතක් කර දී සාකච්ඡාව දිගටම කරගෙන යන ලෙස දිරිගැන්විය හැකියි. තවදුරටත් එවැනි කෙනෙක් පවසන දෙය පැටලිලිසහගත නම් හෝ ඔවුන්ට කතා කිරීමේ යම් ආබාධයක් තිබෙනවා නම් අපට කුමක් කළ හැකිද? ඔවුන් කියන දෙයට සාවධානව ඇහුම්කන් දී ඔවුන් එය පවසන ස්වරයෙන් ඔවුන් කියන්නේ කුමක්ද කියා වටහාගැනීමට උත්සාහ කරන්න.

නමුත් ඔවුන්ගේ කතා කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අහිමි වී ගොස් තිබෙනවා නම් කුමක් කළ හැකිද? මේ ගැන පුරෝගාමි සහෝදරියක් වන ලෝරන්ස්ගේ අද්දැකීම සලකා බලන්න. ඇය 80 වියැති මැඩ්ලින් නම් සහෝදරියව නොකඩවා බැහැදකින්න යනවා. ඇයට කතා කරන්න බැහැ. නමුත් ලෝරන්ස් මෙසේ පවසනවා. “මම ඇගේ අත් දෙක අල්ලාගෙන යාච්ඤා කරනවා. යාච්ඤා කරන අතර ඇය මගේ අත හිමිහිට තද කරනවා. යාච්ඤා කරන එවැනි අවස්ථාවන් ඇය කොතරම් අගය කරනවාද කියා ඇගේ ඇස් දෙකෙන් මට තේරෙනවා. සහෝදරි මැඩ්ලින් සිටින තත්වයේ සිටින අයගේ අත් දෙක අල්ලා යාච්ඤා කිරීමෙන් මෙන්ම ඔවුන්ව වැළඳගැනීමෙන් වචනයෙන් කිව නොහැකි දේ ප්‍රකාශ කරන්න අපට හැකියි.

ඔවුන්ව බලන්න යෑමේ වටිනාකම

ඔවුන්ව නොකඩවා බැහැදකින්න යනවා නම් වැඩිහිටි නිවාසයේ සිටින කාර්ය මණ්ඩලය ඔවුන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වයි. අවුරුදු 20ක් පුරා මහලු ක්‍රිස්තියානීන්ව එසේ බැහැදැකීමට ගිය සහෝදරි ඩැන්යෙල් පවසන්නේ මෙසේයි. “යම් කෙනෙක් නිතරම මහලු කෙනෙකුව බලන්න එහි පැමිණෙනවා දකිද්දී කාර්ය මණ්ඩලය එම මහලු තැනැත්තාට වැඩි සැලකිල්ලක් දක්වනවා.” කලින් සඳහන් කළ සහෝදර රොබට්ද ඩැන්යෙල් පවසන දෙයට එකඟ වෙමින් මෙසේ පවසනවා. “මෙහාට ඉඳලා හිටලා පැමිණෙන කෙනෙකුට වඩා නිතරම පැමිණෙන අය පවසන දෙයට සවන් දෙන්න කාර්ය මණ්ඩලය වැඩි නැඹුරුවාවක් දක්වනවා.” එමෙන්ම මහලු අයගේ පවුල්වල සාමාජිකයන් මෙම නිවෙස්වලට පැමිණෙන විට එහි සිටින හෙදියන්ගේ සේවය ඔවුන් බොහෝවිට අගය කරන්නේ නැහැ. නමුත් අප ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා නම් ඔවුන් එය බොහෝ සේ අගය කරයි. තවදුරටත් අප ඔවුන් සමඟ සුහදශීලීව කටයුතු කරන්න උත්සාහ කරනවා නම් ඔවුන්ගේ රැකවරණය යටතේ සිටින මහලු ක්‍රිස්තියානීන්ගේ බයිබල් විශ්වාසයන්ට ගරු කරන්නද ඔවුන් පෙලඹෙයි.

වැඩිහිටි නිවෙස්වල කාර්ය මණ්ඩලය සමඟ සුහදතාවක් ඇති කරගත හැකි තවත් ක්‍රමයක් වන්නේ ඔවුන්ගේ වැඩකටයුතුවලට සුළු ආකාරයකින් හෝ උපකාර කිරීමයි. සමහර වැඩිහිටි නිවාසවල තිබෙන විශාලම ගැටලුවක් වන්නේ සුදුසුකම් ලත් සේවකයන් සංඛ්‍යාවක් නොසිටීමයි. ඊට පිළියමක් හැටියට රෙබෙකා නමැති හෙදියක් මෙසේ පවසනවා. “වැඩ වැඩිම වෙලාව කෑම වෙලාවයි. පුළුවන් නම් ඒ වෙලාවේදී එහි සිටින ඔබේ හිතවතෙකුව බලන්න ගොස් ආහාර ගැනීමට ඔහුට උදව් කරන්න.” එවැනි උපකාර පිරිනැමීමේදී එය කළ යුත්තේ කෙසේද කියා කාර්ය මණ්ඩලයෙන් විමසන්න අප අමතක නොකළ යුතුයි.

අපි එම නිවසට යළි යළිත් යන විට එම මහලු සහෝදරයාට හෝ සහෝදරියට අවශ්‍ය කුමක්ද කියා තේරුම්ගැනීමටත් එහි කාර්ය මණ්ඩලයේ අවසරය ඇතිව ඒවා ලබා දීමටත් අවස්ථාව උදා වෙනවා. උදාහරණයකට ඔහුගේ කාමරයේ ළඟ තබාගැනීමට ඔහු ආදරය කරන අයගේ ඡායාරූප කිහිපයක් හෝ කුඩා දරුවෙක් අඳින ලද චිත්‍රයක් රැගෙන යන්න පුළුවන්. නැත්නම් සීතලට අඳින ඇඳුමක් හෝ ඔහුට ප්‍රයෝජනවත් විය හැකි යම් භාණ්ඩයක් රැගෙන යෑමෙන්ද ඔවුන්ට උපකාර කළ හැකියි. එම නිවාසයට අයත්ව කුඩා වත්තක් තිබෙනවා නම් හොඳ වාතාශ්‍රයක් ලැබීම සඳහා ඔවුන්ව එහි ගෙන යා හැකිද? ඉහත සඳහන් කළ සහෝදරි ලෝරන්ස් තමා කළ දෙය ගැන මෙසේ පවසනවා. “මම එනතුරු සහෝදරි මැඩ්ලින් මඟ බලාගෙන ඉන්නවා. මම මගේ දරුවන් එක්ක එද්දී ඇයට ලොකු සතුටක් ඇති වෙනවා. ඒක එයාගේ හිනාවෙනුත් ඇස් දෙකෙනුත් හොඳට තේරෙනවා.” අපත් එසේ උපකාර කරන්න ඉදිරිපත් වෙනවා නම් වැඩිහිටි නිවෙස්වල තනිකමෙන් සිටින ඔවුන්ගේ ජීවිතයේ ලොකු අඩුවක් පුරවන්න අපට හැකියි.—හිතෝ. 3:27.

අප ලබන ප්‍රයෝජන

නිතර නිතර එවැනි අයව බලන්න යෑම අපටත් යම් අභියෝගයක් විය හැකියි. (2 කොරි. 8:8) ඒ කෙසේද? මහලු ක්‍රිස්තියානියෙකුගේ ශරීර සෞඛ්‍යය දුර්වල වෙනවා දකින්න ලැබීම වේදනාකාරී දෙයක් වෙන්න පුළුවන්. සහෝදරි ලෝරන්ස්ද එය අද්දැක්කා. ඇය පවසන්නේ මෙසේයි. “සහෝදරි මැඩ්ලින් හිටපු තත්වය මට කොතරම් බලපෑවාද කිව්වොත් ඇයව බැහැදැකලා ආපු හැම අවස්ථාවකදීම වාගේ මම ඇඬුවා. ඒත් යාච්ඤාව මට ලොකු ශක්තියක් වුණා. මට දැනුණු කනස්සල්ල තුනී කරගෙන තවත් ධෛර්යවත් වීමට ඒ තුළින් මට හැකි වුණා.” සහෝදර රොබට්ටද එවැනි අද්දැකීමක් තිබෙනවා. දැඩි ස්නායු රෝගයකින් (පාකින්සන්ස්) පීඩා විඳින මහලු සහෝදරයෙක් වූ ලැරීව අවුරුදු ගණනාවක් තිස්සේ ඔහු බැහැදකින්න යනවා. ඒ ගැන සහෝදර රොබට් පවසන්නේ මෙසේයි. “සහෝදර ලැරී කොයි තරම් අසනීපයෙන් සිටියාද කියනවා නම් ඔහු කියපු එක වචනයක්වත් පැහැදිලි නැහැ. නමුත් මම ඔහුත් එක්ක යාච්ඤා කරද්දී ඔහුගේ ඇදහිල්ල කොච්චර ශක්තිමත්ද කියලා මට දැනෙනවා.”

එවැනි ස්ථානවල සිටින අපගේ මහලු ක්‍රිස්තියානීන්ව බැහැදකින්න යෑම ඔවුන්ට පමණක් නොව අපටත් ඉතා ප්‍රයෝජනදායකයි. ඔවුන් සිටින්නේ දෙවිගේ නමස්කාරකයන් නොවන අය ගණනාවකගෙන් වට වෙලයි. ඒ වුණත් යෙහෝවා දෙවිට ළං වී සිටීමට ඔවුන් ගෙන තිබෙන අධිෂ්ඨානයෙන් අපටත් කියා දෙන්නේ කොතරම් ඇදහිල්ලක් හා ධෛර්යයක් අපට අවශ්‍යද කියායි. ඔවුන්ගේ පෙනීම හා ඇසීම දුර්වල වුණත් ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට අවශ්‍ය තොරතුරු ලැබෙන තෙක් ඔවුන් සිටින්නේ නොඉවසිල්ලෙන්. ඉන් පැහැදිලි වෙන්නේ මෙම වචනවල සත්‍යයතාවයි. “මිනිසා ජීවත් විය යුත්තේ රොටි පමණකින් නොව, යෙහෝවාගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකිනි.” (මතෙ. 4:4) සිඟිත්තෙකුගේ සුරතල් සිනහවකින් හෝ කෑම වේලක් එකට භුක්ති විඳීමකින් වැනි ඉතා පුංචි දේවලින් තෘප්තියක් ලබන්න ඔවුන් දන්නවා. ඉන් අපට ඔවුන් මතක් කර දෙන්නේ අපට ඇති දෙයින් සෑහීමට පත් විය යුතු බවයි. දෙවිට කරන නමස්කාරයට ඔවුන් මුල් තැන දී ඇති ආකාරය දැකීමෙන් අපගේ ජීවිතයේද මුල් තැන දිය යුත්තේ කුමකටද කියා ඉගෙනගන්න අපට පුළුවන්.

එයාකාරයෙන් මහලු ක්‍රිස්තියානීන්ට උපකාර කිරීමෙන් මුළු සභාවටම ප්‍රයෝජන ලබන්න පුළුවන්. ඒ කෙසේද? විවිධ දුබලකම් ඇති මහලු අය සිටින්නේ අපගේ සහෝදර ප්‍රේමය ලැබීමට වටිනා තත්වයකයි. එමගින් දයානුකම්පාව පෙන්වන්න මුළු සභාවටම අවස්ථාවක් ලැබෙනවා. එමනිසා, දිගු කාලයක් පුරා වුණත් අපගේ මහලු සහෝදර සහෝදරියන්ව රැකබලා ගැනීම අප සලකන්නේ එකිනෙකාට සේවය කිරීමක් හැටියටයි. (1 පේතෘ 4:10, 11) වැඩිමහල්ලන් මෙහිදී පෙරමුණ ගන්නවා නම් මෙය කිසි විටෙක අතපසු නොකළ යුතු ක්‍රිස්තියානි වගකීමක් බව සභාවේ අන් අයද තේරුම්ගන්නවා. (එස. 34:15, 16) අපි ඊට කැමැත්තෙන්ම සහයෝගය දක්වමු. එමගින් අපගේ ආදරණීය මහලු ක්‍රිස්තියානීන් අප කිසි විටෙකත් අමතක කර නැති බව පෙන්වමු!

[පාදසටහන]

^ 8 ඡේ. තම සභාවේ සිටින මහලු කෙනෙක් වෙනත් ප්‍රදේශයක පිහිටි වැඩිහිටි නිවාසයකට ගොස් ඇති බව සභාවේ ලේකම් දැනගත් වහාම එම වැඩිහිටි නිවාසය පිහිටි ප්‍රදේශයට අයත් සභාවේ වැඩිමහල්ලන්ට ඒ බව හැකි ඉක්මනින් දැන්වීම ප්‍රේමණීය දෙයක්.

[28වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“යම් කෙනෙක් නිතරම මහලු කෙනෙකුව බලන්න එහි පැමිණෙනවා දකිද්දී කාර්ය මණ්ඩලය එම මහලු තැනැත්තාට වැඩි සැලකිල්ලක් දක්වනවා”

[26වන පිටුවේ පින්තූරය]

මහලු කෙනෙකු සමඟ මුළු හදින්ම කරන යාච්ඤාවලින් ඔවුන්ට ශක්තියත් මනසේ සාමයත් ලබා දිය හැකියි

[26වන පිටුවේ පින්තූරය]

මහලු ක්‍රිස්තියානීන්ට අපි ප්‍රේම කරන බව පෙන්වීමෙන් ඔවුන්ව දිරිගැන්වීමට අපට හැකියි