දෙවිගේ මඟ පෙන්වීම් අපට නැතුවම බැහැ
දෙවිගේ මඟ පෙන්වීම් අපට නැතුවම බැහැ
“මේ දෙවි සදාකාලයෙන් සදාකාලයටම අපේ දෙවිය. අප ජීවත්ව සිටින තෙක්ම ඔහු අපට මඟ පෙන්වන්නේය.”—ගීතා. 48:14, නව ලොව පරිවර්තනය, NW.
1, 2. අප දෙවිගේ මඟ පෙන්වීම් පැතිය යුත්තේ ඇයි? එමෙන්ම අප සලකා බලන ප්‍රශ්න මොනවාද?
කිසි වැදගැම්මකට නැති හානිකර දේවල් කිසිම වරදක් නැහැයි කියා සිතීමේ උගුලට අප හසු වෙන්න පුළුවන්. (හිතෝ. 12:11) බයිබලයට පටහැනි එවැනි යමක් කිරීමට අප තුළ දැඩි ආශාවක් ඇති වන විට එය කෙසේ හෝ ඉටු කරගැනීමට අපගේ සිත අපිව පොලඹවන්න ඉඩ තිබෙනවා. (යෙරෙ. 17:5, 9) එමනිසා අපිත් ගීතිකාකරු මෙන් ‘ඔබේ ආලෝකයද සත්‍යයද එවන්න. ඒවායින් මඟ පෙන්වීම් ලබා දෙන්න’ කියා දෙවිට යාච්ඤා කරමු. (ගීතා. 43:3, NW) එහිදී ඔහු තමාගේ සීමිත ප්‍රඥාව මත පිහිටා සිටිනවා වෙනුවට යෙහෝවා දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබූ අතර හොඳම මඟ පෙන්වීම් සඳහා යා හැකි වෙන කිසිවෙකු නැති බව දැන සිටියා. ගීතිකාකරු මෙන් අපත් දෙවිගෙන් මඟ පෙන්වීම් ලබනවා නම් ඉන් අපට මහත් ප්‍රයෝජන අත් වෙනවා නිසැකයි.
2 එසේනම් අන් සියලු දේවලට වඩා දෙවිගේ මඟ පෙන්වීම් ප්‍රයෝජනවත් කියා අප විශ්වාස කළ යුත්තේ ඇයි? අප ඒ මඟ පෙන්වීම් සෙවිය යුත්තේ ජීවිතයේ කුමන අවස්ථාවලදීද? ඒවා ලැබීමට නම් අප තුළ තිබිය යුත්තේ කුමන ගුණාංගද? දෙවි අපට මඟ පෙන්වන්නේ කෙසේද? දැන් අපි මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයමු.
දෙවිගේ මඟ පෙන්වීම් විශ්වාස කිරීමට හේතු
3-5. දෙවිගේ මඟ පෙන්වීම් කෙරෙහි විශ්වාසය තැබීමට අපට තිබෙන හේතු මොනවාද?
3 දෙවිගේ මඟ පෙන්වීම් විශ්වාස කිරීමට එක් හේතුවක් වන්නේ ඔහු අප සැමගේ ස්වර්ගික පියා වීමයි. 1 කොරි. 8:6) අපගේ සිතේ සියලු ආකල්ප ඇතුළු අප පිළිබඳ පූර්ණ අවබෝධයක් ඔහු සතුයි. (1 සාමු. 16:7; හිතෝ. 21:2) ඒ බව පිළිගනිමින් දාවිත් රජ මෙසේ පැවසුවා. “මා ඉඳගත්තත් සිටගත්තත් ඔබ එය දන්නේය. මා සිතන දේ ඔබ දුර සිටම දනියි. යෙහෝවා දෙවියනි, මාගේ දිවෙන් වචනයක් නික්මෙන්නත් කලින් මා කියන්න යන්නේ කුමක්දැයි ඔබ හොඳින් දන්නේය.” (ගීතා. 139:2, 4, NW) දෙවි අප ගැන එතරම් හොඳින් දන්නවා නම් අප වෙනුවෙන් හොඳම දේ කුමක්ද කියා ඔහු දන්නේ නැද්ද? ඊට අමතරව සියලු ප්‍රඥාවේ දෙවි වන්නේ ඔහුයි. ඕනෑම කාරණයක් ගැන හා එහි අවසන් ප්‍රතිඵලය ගැන මිනිසුන්ට වඩා ගැඹුරින් දැකීමේ හැකියාව දෙවිට තිබෙනවා. (යෙසා. 46:9-11; රෝම 11:33) ඊට හේතුව වන්නේ “එකම ප්‍රඥාවන්ත දෙවි” ඔහු පමණක් වීමයි.—රෝම 16:27.
(4 දෙවි ප්‍රේමණීය කෙනෙක් නිසා ඔහු කැමති වන්නේ අපේ යහපත උදෙසා අපට අවශ්‍ය හොඳම දේ ලබා දීමටයි. ඔහුගේ මඟ පෙන්වීම් විශ්වාස කිරීමට එය තවත් හේතුවක්. (යොහ. 3:16; 1 යොහ. 4:8) එමෙන්ම ඔහු ත්‍යාගශීලීයි. ඒ බව තහවුරු කරමින් යාකොබ් පැවසුවේ මෙසේයි. “සෑම යහපත් දීමනාවක්ම හා සෑම සම්පූර්ණ ත්‍යාගයක්ම පැමිණෙන්නේ ඉහළින්ය. මන්ද, අහසෙහි ආලෝකවල පියාණන් වෙතින් එය බැස එන්නේය.” (යාකො. 1:17) ඒ අනුව දෙවිගේ මඟ පෙන්වීම් ලැබීමට කැමති ඕනෑම කෙනෙකුට ඔහුගේ ත්‍යාගශීලීකමෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන්.
5 දෙවිගේ මඟ පෙන්වීම් විශ්වාස කිරීමට අපට තිබෙන ඊළඟ හේතුව වන්නේ ඔහු සියලු බලැති දෙවි වීමයි. එය විශ්වාස කළ ගීතිකාකරු පැවසුවේ මෙසේයි. “මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයේ සිටින්නා වාසය කරන්නේ සියලු බලැති තැනැත්තාණන්ගේ සෙවණෙහිය.‘ඔබ මාගේ රැකවරණය. මාගේ බලකොටුවය. මා විශ්වාසය තබන මාගේ දෙවිය’ කියා මම යෙහෝවා දෙවිට කියන්නෙමි.” (ගීතා. 91:1, 2, NW) දෙවි සියලු බලැති නිසා ඔහු කරන කිසිම දෙයක් වරදින්නේ නැහැ. අප කුමන විරුද්ධවාදීකමකට මුහුණ දුන්නත් දෙවිගේ රැකවරණය අප ලබන නිසා අපේ බලාපොරොත්තු කෙදිනකවත් සුන් වන්නේ නැහැ. (ගීතා. 71:4, 5; හිතෝපදේශ 3:19-26 කියවන්න.) ඒ අනුව අපට අවශ්‍ය හොඳම දේ කුමක්ද කියා දන්නෙත් එය අප භුක්ති විඳිනවාට කැමති වන්නෙත් ඒවා ලබා දීමට හැකියාව තිබෙන්නෙත් යෙහෝවා දෙවිට පමණයි. ඒ බව දැන දැනත් ඔහුගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කිරීම මොන තරම් මෝඩකමක්ද! අපට දෙවිගේ මඟ පෙන්වීම් අවශ්‍ය වන අවස්ථා කිහිපයක් දැන් අපි සලකා බලමු.
මඟ පෙන්වීම් අවශ්‍ය වන අවස්ථා
6, 7. අපට දෙවිගේ මඟ පෙන්වීම් අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවලදීද?
6 අපේ ජීවිත කාලය පුරාම දෙවිගේ මඟ පෙන්වීම් අපට අවශ්‍යයි. ඒ ගැන ගීතිකාකරු පැවසුවේ මෙසේයි. “මේ දෙවි සදාකාලයෙන් සදාකාලයටම අපේ දෙවිය. අප ජීවත්ව සිටින තෙක්ම ඔහු අපට මඟ පෙන්වන්නේය.” (ගීතා. 48:14, NW) ගීතිකාකරු මෙන් ඥානවන්ත ක්‍රිස්තියානීන්ද දෙවිගේ මඟ පෙන්වීම්වලින් තොරව කිසි විටෙකත් කටයුතු කරන්නේ නැහැ.
7 අපට දෙවිගේ මඟ පෙන්වීම් විශේෂයෙන්ම අවශ්‍ය වන හදිසි අවස්ථා උදා වෙනවා. උදාහරණයකට සේවයේදී එල්ල වන විරුද්ධවාදීකම්, බරපතළ අසනීප, හදිසියේම රැකියාව අහිමි වීම වැනි ‘පීඩාවලින් අප හෙම්බත් වී’ සිටිනවා විය හැකියි. (ගීතා. 69:16, 17, NW) එවැනි අවස්ථාවලදී ඥානවන්ත තීරණ ගැනීමට දෙවි මඟ පෙන්වන බවත් විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන බවත් දැන සිටීම අපට මහත් සහනයක්. (ගීතාවලිය 102:17 කියවන්න.) කෙසේවෙතත් දෙවිගේ උපකාර අවශ්‍ය තවත් අවස්ථා තිබෙනවා. උදාහරණයකට, අපගේ අසල්වැසියෙකුගේ සිතට කාවදින ආකාරයෙන් දෙවි ගැන සාක්ෂි දරන්න දෙවිගේ මඟ පෙන්වීම් අපට අවශ්‍යයි. එමෙන්ම අපගේ විනෝදාංශ, ඇඳුම් පැළඳුම්, හිසකේ විලාසිතා, ආශ්‍රිතයන්, රැකියාව, අධ්‍යාපනය වැනි ඕනෑම දෙයක් ගැන ඥානවන්ත තීරණයක් ගැනීමට නම් දෙවිගේ මඟ පෙන්වීම් අවශ්‍යමයි. ඒ අනුව බලද්දී අපේ ජීවිතයේ දෙවිගේ මඟ පෙන්වීම් අවශ්‍ය නැති අවස්ථාවක් නැහැ.
මඟ පෙන්වීම් නොසෙවීමේ අන්තරාය
8. දෙවි තහනම් කළ ගහෙන් කෑමෙන් ඒව පෙන්වූයේ කුමක්ද?
8 අප දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු විය යුත්තේ කැමැත්තෙන්ම බව මතක තබාගනිමු. නමුත් ඒවා අපට අවශ්‍ය නැත්නම් ඒ සඳහා දෙවි අපට බල කරන්නේ නැහැ. දෙවිගේ මඟ පෙන්වීම් එපා කළ පළමුවැන්නා වූයේ ඒවයි. දෙවි තහනම් කළ ගහෙන් ගෙඩියක් ඇය කෑවා. ඉන් ඇයට අවශ්‍ය වුණේ “යහපත සහ අයහපත දැනගෙන දෙවිට සමාන” වීමටයි. (උත්. 3:5, NW) එහි භයානකකම මොන තරම්ද කියා පැහැදිලියි. එසේ කිරීමෙන් ඇය පෙන්වූයේ දෙවිගේ මඟ පෙන්වීම්වලින් තොරව තමන්ටම තීරණ ගත හැකි බවයි. වෙනත් ආකාරයකින් පැවසුවොත් එය හරියට දෙවිට හිමි කාර්යය ඇය අතට ගත්තා හා සමානයි. මේ සියල්ලෙන් ඇය පෙන්වූයේ යහපත හා අයහපත කුමක්ද කියා තීරණය කිරීමට දෙවිට ඇති අයිතිය ඇය පිළි නොගන්නා බවයි. ඇගේ පුරුෂයා වූ ආදම්ද කළේ එම දෙයමයි.—රෝම 5:12.
9. දෙවිගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කිරීමෙන් අප පෙන්වන්නේ කුමක්ද? එය ඉතාම අඥාන දෙයක් වන්නේ ඇයි?
9 අප තීරණ ගැනීමේදීත් ඒව මෙන් දෙවිගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කළොත් ඉන් ඇඟවෙන්නේ යහපත හා අයහපත කුමක්ද කියා තීරණය කිරීමට දෙවිට ඇති අයිතිය අපත් ප්‍රතික්ෂේප කරන බවයි. එය සිදු විය හැකි ආකාරයක් ගැන මේ උදාහරණයෙන් සලකා බලමු. ක්‍රිස්තියානි සභාව සමඟ ඇසුරු කරන නමුත් පුරුද්දක් හැටියට කාමුක දර්ශන නරඹන කෙනෙක් ගැන සිතන්න. සියලු ආකාර අපවිත්‍රකම් හෝ ගිජුකම් අඩංගු විනෝදාංශවල සුළු වශයෙන් හෝ හවුල් වීම තියා ඒවා නැරඹීමවත් ක්‍රිස්තියානීන්ට නුසුදුසු බව ඔහු හොඳින්ම දන්නවා. (එෆී. 5:3) නමුත් ඒ බව දැන දැනත් දෙවිගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කරනවා නම් ඔහු කරමින් සිටින්නේ කුමක්ද? යහපත හා අයහපත කුමක්ද කියා තීරණය කිරීමට දෙවිට තිබෙන අයිතිය ප්‍රතික්ෂේප කිරීමයි. (1 කොරි. 11:3) එය ඉතාම අඥාන දෙයක්. ඒ ඇයි? දෙවිගේ මඟ පෙන්වීම්වලින් තොරව තීරණ ගැනීමට මිනිසාට හැකියාවක් නැති නිසයි. ‘තමාගේ පියවර මෙහෙයවන්න මිනිසාට හැකියාවක් නැති’ බව යෙරෙමියාද පැවසුවේ ඒ නිසයි.—යෙරෙ. 10:23, NW.
10. තීරණ ගැනීමේ නිදහස භාවිත කිරීමේදී අප එය බරපතළ වගකීමක් ලෙස සැලකිය යුත්තේ ඇයි?
10 යෙරෙමියා පැවසූ වචන ගැන සමහරුන් මෙලෙස තර්ක කිරීමට ඉඩ තිබෙනවා. ‘දෙවි අපට තීරණ ගැනීමේ නිදහස දීලා තිබෙනවා. ඒ නිසා ඒ නිදහස අපට ඕනෑ විදිහට පාවිච්චි කිරීම ගැන දෙවි මොකටද අපව හෙළාදකින්නේ?’ නමුත් මෙහිදී අප එක් දෙයක් මතක තබාගත යුතුයි. එනම් තීරණ ගැනීමේ නිදහස ත්‍යාගයක් මෙන්ම වගකීමක්ද යන කාරණයයි. අප කරන කියන දේ ගැන අප දෙවිට ගණන් දිය යුතු බවත් මතක තබාගත යුතුයි. (රෝම 14:10) ඊට හේතුවක් වශයෙන් යේසුස්ද පැවසුවේ මෙසේයි. “මුඛයෙන් පිට වෙන්නේ සිත තුළ පිරී ඇති දෙයයි.” ඔහු තවදුරටත් මෙසේද පැවසුවා. “දුෂ්ට සිතුවිලි, මිනී මැරුම්, පරදාර සේවනයේ යෙදීම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂි කීම් සහ අපහාස කිරීම් නික්මෙන්නේ සිතින්ය.” (මතෙ. 12:34; 15:19) අපේ කතාවෙන් හා ක්‍රියාවෙන් හෙළි වන්නේ ඇතුළාන්තයෙන්ම අප මොන වගේ අයද යන්නයි. ඥානවන්ත ක්‍රිස්තියානිවරයෙක් සෑම කාරණයකදීම දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුවම කටයුතු කරන්නේ ඒ නිසයි. එසේ කරද්දී “සිතින් අවංක වූ” ඔහුට දෙවි “යහපත” කරනවා.—ගීතා. 125:4, NW.
11. ඊශ්‍රායෙල්වරුන්ගෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?
11 තීරණ ගැනීමේ නිදහස පුරාණ ඊශ්‍රායෙල්වරුන් පාවිච්චි කළ ආකාරය දැන් අපි සලකා බලමු. ඔවුන් ඥානවන්ත තීරණ ගෙන දෙවිගේ අණ පනත්වලට කීකරු වූ විට දෙවි ඔවුන්ව ආරක්ෂා කළා. (යෝෂු. 24:15, 21, 31) ඒ වුණත් ඔවුන් බොහෝවිට තීරණ ගැනීමේ නිදහස භාවිත කළේ වැරදි ආකාරයටයි. ඒ නිසා දෙවි යෙරෙමියා තුළින් ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔවුන් මා පැවසූ දේ සැලකිල්ලට ගත්තේ නැත. මට සවන් දුන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ක්‍රියා කළේ ඔවුන්ගේ දුෂ්ට සිතිවිලිවලට අනුවය. ඔවුහු මුරණ්ඩු ලෙස හැසිරුණෝය. එහෙයින් ඔවුහු ඉදිරියට යනවා වෙනුවට පිරිහෙන්න පටන්ගත්තෝය.” (යෙරෙ. 7:24-26, NW) එය මොන තරම් කනගාටුදායක දෙයක්ද! අපත් මුරණ්ඩුකම නිසා හෝ මාංසික ආශාවන්ට දක්වන ගිජුකම නිසා දෙවිගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කර අපට හරිව පෙනෙන ලෙස ක්‍රියා කළොත් අප ‘ඉදිරියට යනවා වෙනුවට පිරිහෙන්න පටන්ගන්නවා.’ එමනිසා අප කිසි විටෙකත් ඒ තත්වයට පත් නොවෙමු.
අපට අවශ්‍ය ගුණාංග
12, 13. (අ) දෙවිගේ මඟ පෙන්වීම් ලැබීම සඳහා අපව පොලඹවන්නේ කුමන ගුණාංගයද? (ආ) එමෙන්ම ඇදහිල්ල අත්‍යවශ්‍ය වන්නේ ඇයි?
12 දෙවිගේ මඟ පෙන්වීම් ලැබීමට අප තුළ පෙලඹීමක් ඇති කරන්නේ දෙවි කෙරෙහි අපට තිබෙන ගැඹුරු ප්‍රේමයයි. (1 යොහ. 5:3) අපට තිබිය යුතු තවත් ගුණාංගයක් ගැන පාවුල් පැවසුවේ මෙසේයි. “අප ගමන් කරන්නේ පෙනීමෙන් නොව ඇදහිල්ලෙන්ය.” (2 කොරි. 5:6, 7) දෙවිගේ මඟ පෙන්වීම ලැබීමට ඇදහිල්ල අවශ්‍ය ඇයි කියා අපි දැන් ටිකකට සලකා බලමු. දෙවි අපව “ධර්මිෂ්ඨ මාවත්වල” රැගෙන යන බව බයිබලයේ පවසනවා. එම මාවත් අපව මේ ලෝකයේ කීර්තිය හෝ ධනය ලබාගැනීමට මඟ පෙන්වන්නේ නැහැ. (ගීතා. 23:3, NW) එමනිසා සැමවිටම අපගේ අවධානය යොමු විය යුත්තේ කිසිවකට සම කළ නොහැකි දෙවිගේ ආශීර්වාදවලටයි. එය අපට ලැබෙන්නේ දෙවිට සේවය කිරීම මගිනුයි. ඒ සඳහා අපට ශක්තිමත් ඇදහිල්ලක් තිබිය යුතුයි. (2 කොරින්ති 4:17, 18 කියවන්න.) එවන් ඇදහිල්ලක්, ජීවිතයේ මූලික අවශ්‍යතාවලින් සෑහීමට පත්වීමට අපට උපකාර කරයි.—1 තිමෝ. 6:8.
13 එවන් ඇදහිල්ලක්, දෙවිට කරන නමස්කාරයේදී කැප කිරීම් කරන්නත් අපට උදව් වෙනවා. (ලූක් 9:23, 24) බොහෝ ඇදහිලිවන්තයන් දිලිඳුකම්, විරුද්ධවාදීකම්, තමන්ව පහත් කොට සැලකීම්, දරුණු පීඩා වැනි දුෂ්කර තත්වයන්ට මුහුණ දී විශාල කැප කිරීම් කර තිබෙනවා. (2 කොරි. 11:23-27; එළි. 3:8-10) ප්‍රීතියෙන් ඒවා දරාගැනීමට ඔවුන්ට හැකි වුණේ දෙවි කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් ඔවුන්ට තිබූ නිසයි. (යාකො. 1:2, 3) එමෙන්ම අපටත් එවන් ඇදහිල්ලක් තිබෙනවා නම් අපද දෙවිව විශ්වාස කරනවා. එනම් ඔහුගේ මඟ පෙන්වීම් සැමවිටම අපගේම ප්‍රයෝජනයට බව අප තේරුම්ගන්නවා. ඇදහිල්ල වෙනුවෙන් විඳදරාගත් අය මුහුණ දුන් පීඩා මොනවා වුණත් ඔවුන් ලබන්න නියමිත ආශීර්වාද ඊට වඩා උතුම් කියා අපට කිසිම සැකයක් නැහැ.—හෙබ්‍රෙ. 11:6.
14. යටහත්පහත්කම පෙන්වීමට හාගර්ට සිදු වුණේ ඇයි?
14 දෙවිගේ මඟ පෙන්වීම් පිළිගැනීමට නම් අපට යටහත්පහත්කමද අවශ්‍යයි. එය තේරුම්ගැනීමට සාරාගේ මෙහෙකාරිය වූ හාගර්ගේ අද්දැකීම බලන්න. සාරාට දරුවන් සිටියේ නැහැ. ඒ නිසා හාගර්ගෙන් දරුවෙකු බිහි කර දෙන්න කියා සාරා ආබ්‍රහම්ට පැවසුවා. පසුව හාගර් ගැබ්ගෙන ආබ්‍රහම්ට දාව දරුවෙකු වැදුවා. ඒ ගැන උඩඟු වූ හාගර් සාරාව පහත් කොට සැලකුවා. ඒ නිසා සාරාද ඇයට “නින්දා අපහාස කරන්න පටන්ගත්තා.” ඒ හේතුවෙන් ඇය ඔවුන් වෙතින් පලා ගියා. නමුත් මඟදී දේවදූතයෙක් හාගර්ව මුණගැසී ඇයට මෙසේ පැවසුවා. “ඔබේ ස්වාමිදුව වෙතට හැරී යන්න. නිහතමානී වී ඇය කියන ලෙස කටයුතු කරන්න.” (උත්. 16:2, 6, 8, 9, NW) මේ අවස්ථාවේදී හාගර් ඔහුගෙන් වෙනත් ආකාරයක මඟ පෙන්වීමක් බලාපොරොත්තුවෙන් සිටින්න ඇති. නමුත් දේවදූතයා දුන් මඟ පෙන්වීමට කීකරු වීමට නම් ඇගේ අහංකාරකම ඉවත් කරගැනීමට සිදු වුණා. කෙසේවෙතත් අවසානයේදී හාගර් යටහත්පහත් වී දේවදූතයා කී ලෙස කළ අතර එහි ප්‍රතිඵලයක් හැටියට ඇයගේ පුත් ඉෂ්මායෙල්ව ඔහුගේ පියාගේ රැකවරණය යටතේ බිහි කිරීමට අවස්ථාව ලැබුණා.
15. දෙවිගේ මඟ පෙන්වීම් ලැබීම සඳහා අපට යටහත්පහත්කම අවශ්‍ය වන අවස්ථාවන් විස්තර කරන්න.
15 දෙවිගේ මඟ පෙන්වීම් පිළිගැනීමට නම් අපටත් යටහත්පහත්කම අවශ්‍යයි. උදාහරණයකට කෙනෙක් හිතෝපදේශ 29:23හි [NW] ඇති උපදෙස අපට මහත් සැනසීමක්. “උඩඟු මිනිසාව පහත් කරනු ලැබේ. නමුත් යටහත්පහත් සිතක් ඇති තැනැත්තාට ගෞරවය ලැබේ.”
දෙවිව අසතුටු කරන ආකාරයේ විනෝදාංශයක යෙදුණා යයි සිතන්න. එය නිවැරදි කරගැනීමට ඔහුට ලැබෙන මඟ පෙන්වීම් පිළිගැනීමට නම් ඔහුට යටහත්පහත්කම අවශ්‍යයි. එමෙන්ම ක්‍රිස්තියානිවරයෙක් තව කෙනෙකුගේ සිත රිදෙව්වා නම් ඔහුගෙන් සමාව ඉල්ලීමටද යටහත්පහත්කම අවශ්‍යයි. තවත් කෙනෙකුට කළ වරදක් පිළිගැනීමටද අපට අවශ්‍ය වන්නේ යටහත්පහත්කමයි. නමුත් කෙනෙක් බරපතළ වරදක් කළ විටද අවංකව පසුතැවීමටත් ඒ ගැන වැඩිමහල්ලන්ට දැන්වීමටත් යටහත්පහත්කම අවශ්‍යයි. සමහරවිට ඔහුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට පවා ඉඩ තිබෙනවා. එවිට නැවතත් සභාවේ සාමාජිකයෙක් වීමට නම් ඒ සඳහා පසුතැවිලි වීමටත් නැවත හැරීමටත් ඔහුට යටහත්පහත්කම අවශ්‍යයි. ඒ හා සමාන වෙනත් තත්වයන්වලදීදමඟ පෙන්වන ආකාර
16, 17. දෙවි සපයන මඟ පෙන්වීමක් ලෙස බයිබලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපට හැක්කේ කෙසේද?
16 දෙවි මඟ පෙන්වීම් ලබා දෙන මූලිකම ක්‍රමය වන්නේ බයිබලයයි. (2 තිමෝති 3:16, 17 කියවන්න.) ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් ඇදහිල්ලට අභියෝග කරන තත්වයන් උදා වෙන තුරු නොසිට එහි ඇති මඟ පෙන්වීම් කල්තියා සලකා බැලීම ඥානවන්ත දෙයක්. ඒ සඳහා බයිබලය දිනපතා කියවීම අප පුරුද්දක් කරගත යුතුයි. (ගීතා. 1:1-3) එමගින් දේවවචනයේ සපයා තිබෙන මඟ පෙන්වීම් මොනවාද කියා තේරුම්ගැනීමට අපට පහසුයි. එවිට අප දෙවි සිතන ආකාරයට සිතන්නත් බලාපොරොත්තු නොවූ ලෙස ප්‍රශ්න ගැටලු පැනනඟිද්දී ඒවාට සාර්ථකව මුහුණ දීමටත් අප සූදානම්.
17 එපමණක්ද නොව බයිබලයෙන් අප කියවූ දෙය ගැන ගැඹුරින් කල්පනා කිරීමත් ඒ ගැන දෙවිට යාච්ඤා කිරීමත් ඉතාම වැදගත්. එසේ ගැඹුරින් කල්පනා කරද්දී ජීවිතයේ විවිධ තත්වයන්ට බයිබල් ප්‍රතිපත්ති අදාළ වන්නේ කෙසේද කියා තේරුම්ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. (1 තිමෝ. 4:15) අප බරපතළ ගැටලුවලට මුහුණ දෙන විට අපට මඟ පෙන්වන්න කියා යාච්ඤා කරන්නද අපට හැකියි. එවිට බයිබලය හා ඒ මත පදනම් ප්‍රකාශනවලින් අප අධ්‍යයනය කර තිබූ බයිබල් ප්‍රතිපත්ති ඒ ඒ අවස්ථාවලදී මතකයට නඟාගැනීමට දෙවිගේ බලය අපට උපකාර කරයි.—ගීතාවලිය 25:4, 5 කියවන්න.
18. අපට මඟ පෙන්වීම සඳහා දෙවි ක්‍රිස්තියානි සහෝදරත්වය යොදාගන්නා ආකාර මොනවාද?
18 ක්‍රිස්තියානි සහෝදරත්වය තුළින්ද දෙවි අපට මඟ පෙන්වීම් සපයනවා. මෙහිදී මූලිකවම අපට මඟ පෙන්වන්නේ ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව’ නියෝජනය කරන පාලක මණ්ඩලයයි. ඔවුන් අපගේ ඇදහිල්ල ශක්තිමත් කරන පොත් පත්, රැස්වීම් හා එක්රැස්වීම් සූදානම් කර තිබෙනවා. (මතෙ. 24:45-47; ක්‍රියා 15:6, 22-31 බලන්න.) ඊට අමතරව සත්‍යය තුළ අද්දැකීම් ලත් වැඩිමහල්ලන්ගෙන් ලැබෙන බයිබලය මත පදනම් උපදෙස්ද දෙවි මඟ පෙන්වීම් සපයන තවත් ආකාරයක්. (යෙසා. 32:1) ක්‍රිස්තියානි යෞවනයන්ට මඟ පෙන්වීම සඳහා දෙවි සත්‍යය තුළ සිටින ඔවුන්ගේ දෙමාපියන්ව ලබා දී තිබෙනවා.—එෆී. 6:1-3.
19. අප නොකඩවා දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වුණොත් ලැබෙන ආශීර්වාද මොනවාද?
19 විවිධාකාරවලින් දෙවි සපයන එවන් මඟ පෙන්වීම්වලින් උපරිම ප්‍රයෝජන ගනිමු. ඊශ්‍රායෙල් ජාතිය දෙවිට විශ්වාසවන්තව සිටි කාලය සිහිපත් කරමින් දාවිත් රජ මෙසේ පැවසුවා. “අපේ පියවරු ඔබ කෙරෙහි විශ්වාසය තැබූහ. ඔවුන් විශ්වාසය තැබූ නිසා ඔබ ඔවුන්ට ගැලවීම සලසා දුන්නේය. ඔවුන් ඔබට හඬගැසූ නිසා ඔවුහු ආරක්ෂා වූහ. ඔවුන් ඔබ කෙරෙහි විශ්වාසය තැබූ නිසා ලජ්ජාවට පත් නොවූහ.” (ගීතා. 22:3-5, NW) අපත් දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබමින් ඔහුගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා නම් අප කෙදිනකවත් ‘ලජ්ජාවට පත් නොවන’ බව සහතිකයි. එමෙන්ම අපගේ බලාපොරොත්තු කිසි විටකත් කඩ වන්නේ නැහැ. අප අපගේම ප්‍රඥාවට අනුව කටයුතු නොකර ‘අපේ ජීවිතය දෙවිට භාර දුන්නොත්’ එහි ප්‍රතිඵලය නම් දැනුත් සදහටත් නිමක් නැති ආශීර්වාදයි. (ගීතා. 37:5, NW) එමෙන්ම දාවිත් රජගේ මේ වචනද අපි සැමදා මතකයේ තබාගනිමු. ‘යෙහෝවා දෙවි යුක්තියට බොහෝසෙයින් කැමතිය. තමාට පක්ෂපාත අයව ඔහු අත් නොහරියි. ඔවුහු සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නෝය. ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකාලයටම ජීවත් වන්නෝය.’—ගීතා. 37:28, 29, NW.
ඔබට මතකද?
• අප දෙවිගේ මඟ පෙන්වීම් විශ්වාස කිරීමට හේතු මොනවාද?
• දෙවිගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කිරීමෙන් අප අඟවන්නේ කුමක්ද?
• ක්‍රිස්තියානීන්ට යටහත්පහත්කම අවශ්‍ය වන අවස්ථා මොනවාද?
• දෙවි අපට මඟ පෙන්වන්නේ කෙසේද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[8වන පිටුවේ පින්තූර]
ඔබ, ජීවිතයේ සෑම කාරණයකදීම දෙවිගේ මඟ පෙන්වීම් ලබනවාද?
[9වන පිටුවේ පින්තූරය]
යහපත හා අයහපත තීරණය කිරීමට දෙවිට ඇති අයිතිය ඒව ප්‍රතික්ෂේප කළා
[10වන පිටුවේ පින්තූරය]
දේවදූතයාගේ මඟ පෙන්වීම් පිළිගැනීම සඳහා හාගර්ට අවශ්‍ය වූ ගුණාංගය කුමක්ද?