Skip to content

පටුනට යන්න

යොහන් පොතෙන් විශේෂාංග

යොහන් පොතෙන් විශේෂාංග

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

යොහන් පොතෙන් විශේෂාංග

යේසුස්ගේ ජීවිතය සහ දේවසේවය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාව ලියූ අවසාන තැනැත්තා වූයේ “යේසුස් ප්‍රේම කළ ගෝලයා” වූ යොහන්. (යොහ. 21:20) ඔහු එය ක්‍රිස්තු වර්ෂ 98දී පමණ ලියනු ලැබුවා. අනෙකුත් සුවිශේෂවල සඳහන් වී නැති තොරතුරු බොහෝමයක් යොහන්ගේ සුවිශේෂයේ අඩංගුයි.

එම සුවිශේෂය ලිවීමට යොහන්ට විශේෂ හේතුවක් තිබුණා. ඒ ගැන ඔහු පවසන්නේ මෙසේයි. “මේ දේවල් ලියා තිබෙන්නේ යේසුස් යනු දෙවිගේ පුත්‍රයා වන ක්‍රිස්තුස් බව ඔබ විශ්වාස කරන පිණිසත්, විශ්වාස කිරීම නිසා ඔබට ඔහුගේ නාමය මාර්ගයෙන් ජීවනය ලැබෙන පිණිසත්ය.” (යොහ. 20:31) ඒ අනුව ඔහුගේ වාර්තාව සලකා බැලීම අපට ඉතාම ප්‍රයෝජනදායකයි.—හෙබ්‍රෙ. 4:12.

‘මෙන්න දෙවිගේ බැටළු පැටවා’

(යොහන් 1:1–11:54)

යේසුස්ව දුටු විට යොහන් බව්තීස්ත පැවසුවේ “මෙන්න, ලෝකයේ පාපය නැති කර දමන, දෙවිගේ බැටළු පැටවා” කියායි. (යොහ. 1:29) යේසුස් සාමාරිය මුළුල්ලේහිත් ගලීලය, යුදය සහ යොර්දානයේ නැඟෙනහිර ප්‍රදේශයෙත් දේශනා කරමින්, උගන්වමින් සහ නොයෙකුත් බලවත් ක්‍රියා කරමින් සිටියා. එය දුටු ‘බොහෝදෙනෙක් ඔහු වෙතට පැමිණ ඔහු කෙරෙහි ඇදහිල්ල තැබුවා.’—යොහ. 10:41, 42.

යේසුස් කළ ආශ්චර්යයන් අතරින් වඩාත්ම කැපී පෙනෙන එකක් වූයේ මිය ගොස් සිටි ලාසරුස්ව දින හතරකට පසුව නැවත නැඟිටුවීමයි. බොහෝදෙනෙක් යේසුස් කෙරෙහි ඇදහිල්ල තැබීමට එය ප්‍රබල හේතුවක් වුණා. ඒ නිසා නායක පූජකයන් සහ පරිසිවරුන් යේසුස්ව මරන්න කුමන්ත්‍රණය කළා. එමනිසා යේසුස් එම ප්‍රදේශයෙන් පිට වී “පාළුකරය අසල පිහිටි ප්‍රදේශයෙහි එෆ්‍රායිම් නම් නුවරකට” ගියා.—යොහ. 11:53, 54.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1:35, 40යොහන් බව්තීස්ත කී දෙය අසා අන්දෘ සමඟ යේසුස් පසුපස ගිය අනෙක් ගෝලයා කවුද? මෙහි ලේඛකයා වන යොහන් තම සුවිශේෂයේ “යොහන්” කියා සඳහන් කරන්නේ යොහන් බව්තීස්තටයි. නමුත් මෙම සුවිශේෂයේ ලේඛකයා වන යොහන් කිසිම විටක තමාව තම නමින් හඳුන්වා නැහැ. ඒ අනුව යේසුස් පසුපස ගිය අනෙක් ගෝලයා මෙම සුවිශේෂයේ ලේඛකයා වන යොහන් විය හැකියි.

2:20—“ගොඩනඟන්න අවුරුදු හතළිස්හයක් ගත” වූ දේවමාලිගාව කුමක්ද? මෙහිදී යුදෙව්වන් කතා කරමින් සිටියේ යූදාහි හෙරොද් රජූ විසින් යළි ගොඩනැඟූ සෙරුබ්බාබෙල්ගේ දේවමාලිගාවයි. ඉතිහාසඥ ජොසීෆස්ගේ වාර්තාවට අනුව එහි වැඩ ආරම්භ කළේ ක්‍රිස්තු පූර්ව 18/17 කාලයේදීයි (එනම් හෙරොද් රජුගේ පාලනයේ 18වෙනි වසර). දේවමාලිගාවේ ශුද්ධ ස්ථානය හා ඊට අයත් අනෙකුත් ඉදි කිරීම් අවුරුදු අටකින් අවසන් කළා. කෙසේවෙතත් දේවමාලිගාව ඇතුළු අනෙකුත් ඉදි කිරීම්වල වැඩකටයුතු ක්‍රි.ව. 30 පාස්කු මංගල්‍යය පසු වන තුරුත් සිදු කෙරුණා. යුදෙව්වන් පැවසූ ලෙස එය ගොඩනඟන්න අවුරුදු 46ක් ගත වුණේ එයාකාරයටයි.

5:14—කෙනෙකු අසනීප වන්නේ ඔහු කරන පව් නිසාද? එය එසේමයි කියා පැවසිය නොහැකියි. යේසුස් සුව කළ මිනිසා අවුරුදු 38 පුරා අසනීපව සිටි අතර ඊට හේතු වුණේ ඔහු උරුම කරගෙන තිබූ අසම්පූර්ණකමයි. (යොහ. 5:1-9) නමුත් යේසුස් පැවසූ දෙයින් අදහස් වුණේ කුමක්ද? දෙවිගේ කරුණාව හේතුවෙන් ඔහු සුවය ලැබූ නිසා ගැලවීම සඳහා අවශ්‍ය ක්‍රියා ඔහු කළ යුතු බවයි. ඔහු එසේ නොකළොත් ඔහුට තිබූ අසනීපයට වඩා බරපතළ දෙයකට මුහුණ දීමට සිදු වන බව යේසුස් ඇඟෙව්වා. එනම් හිතාමතාම පව් කිරීමෙන් සමාවක් ලැබිය නොහැකි පාපයකට වරදකරුවෙක් වී මරණයට පත් වුණොත් නැවත නැඟිටීමේ බලාපොරොත්තුවද අහිමි වන බවයි.—මතෙ. 12:31, 32; ලූක් 12:10; හෙබ්‍රෙ. 10:26, 27.

5:24, 25—‘මරණයෙන් ජීවනයට පැමිණෙන’ අය කවුද? කලින් දෙවි සමඟ කිසිම මිත්‍රත්වයක් නොතිබූ අය සිටියේ මැරුණා හා සමාන තත්වයකයි. නමුත් යේසුස්ගේ වචන අසා ඒ මත ඇදහිල්ල තබා ඔවුන්ගේ පව්කාර ජීවිතය අත්හැරිය නිසා ඔවුන් ජීවනයට පැමිණුණා. එනම් සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව ඔවුන්ට හිමි වුණා. යේසුස් කතා කරමින් සිටියේ එවැනි අය ගැනයි.—1 පේතෘ 4:3-6.

5:26; 6:53—‘කෙනෙකු තුළ ජීවනය’ තිබීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? යේසුස් දෙවිගෙන් විශේෂ වරප්‍රසාද දෙකක් ලැබුවා. ඉන් එකක් නම් මිනිසුන්ට දෙවි ඉදිරියෙහි පිළිගත හැකි තත්වයක සිටීමට හැකි කර වීමයි. දෙවැන්න නම් මළවුන්ට නැවත ජීවනය ලබා දීමේ හැකියාවයි. ඒ අනුව ඔහුගේ අනුගාමිකයෙකු තුළ ‘ජීවනය’ තිබීමෙන් අදහස් කරන්නේ ඔහුට හෝ ඇයට සදාකාල ජීවනය හිමිවීමයි. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ඒ ජීවනය ලබන්නේ ඔවුන්ව ස්වර්ගයට නැවත නැඟිටුවීමෙන් පසුවයි. මහත් සමූහයට අයත් අය එය ලබන්නේ දහස් අවුරුදු පාලනය අවසානයේ තිබෙන අවසාන පරීක්ෂණයෙන් පසුවයි.—1 කොරි. 15:52, 53; එළි. 20:5, 7-10.

6:64—යූදස් ඉස්කාරියොත් තමන්ව පාවා දෙන බව යේසුස් කලින් දැන සිටියාද? එසේ නොවන බව පෙනෙන්න තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 32 එක් දිනක යේසුස් තම ගෝලයන්ට මෙසේ පැවසුවා. “ඔබෙන් කෙනෙක් නින්දා කරන්නෙක්ය.” යූදස්ගේ එම වැරදි ආකල්ප මතුවීමට ‘පටන්ගන්නවා’ යේසුස් දුටුවේ ඒ කාලයේදී විය හැකියි.—යොහ. 6:66-71.

අපට ගත හැකි පාඩම්:

2:4. දෙවිගේ අභිෂේක ලත් පුත්‍රයා හැටියට තමන් මඟ පෙන්වීම් ලැබිය යුත්තේ තම ස්වර්ගික පියාගෙන් බව යේසුස් මරියාට දැනගන්න සැලැස්සුවා. ඒ වන විට ඔහුගේ සේවය ආරම්භ කළ මුල් කාලය වුණත් තමාගේ ජීවිතය පූජා කිරීම ඇතුළු අනෙකුත් ක්‍රියාවන් කළ යුතු නියමිත වේලාව හෝ පැය යේසුස් හොඳින් දැන සිටියා. ඉන් පැහැදිලි වන්නේ මරියා ඇතුළු ඔහුගේ පවුලේ කිට්ටුම සාමාජිකයෙකුට වුණත් දෙවිගේ කැමැත්ත කිරීමේදී සුළුවෙන් හෝ බාධා කිරීමට යේසුස් ඉඩ දුන්නේ නැති බවයි. අපත් දෙවිට සේවය කිරීමේදී එවැනිම අධිෂ්ඨානයකින් කටයුතු කරමු.

3:1-9. යුදෙව් ජාතියේ නායකයෙක් වූ නිකදේමස්ගේ ජීවිතයෙන් අපට පාඩම් දෙකක් ඉගෙනගත හැකියි. පළමු එක නම් සාමාන්‍ය වඩුවෙකුගේ පුතෙකු වූ යේසුස්ව දෙවි විසින් එවූ ගුරුවරයෙක් හැටියට පිළිගැනීමෙන් ඔහු පෙන්නුවේ ඔහු සතු වූ යටහත්පහත්කම සහ බුද්ධිය මෙන්ම දෙවි පිළිබඳ දැනගැනීමට තිබූ ආශාවයි. ඒ හා සමානව අපත් යටහත්පහත් අය විය යුතුයි. ඊළඟ පාඩම කුමක්ද? යේසුස් ජීවත්ව සිටියදී නිකදේමස් ඔහුගේ ගෝලයෙක් වීමට අදිමදි කළා. ඊට හේතුව විය හැක්කේ සැන්හෙඩ්‍රිනයේ තමන්ට තිබූ බලතල අහිමි වෙයි කියා සිතීම හෝ මිනිසුන්ට තිබූ බිය මෙන්ම තම ධන සම්පත් කෙරෙහි තිබූ ඇලුම්කමයි. මින් අපට යම් අනතුරු ඇඟවීමක් ලබා දෙනවා. එනම් ‘යේසුස්ගේ වධකණුව ගෙන දිගටම ඔහු අනුව යෑමට’ බාධාවක් වීම සඳහා ඒ කිසිවකට ඉඩ නොදිය යුතු බවයි.—ලූක් 9:23.

4:23, 24. අප කරන නමස්කාරය දෙවි විසින් පිළිගැනීමට එය බයිබලයේ සඳහන්ව ඇති සත්‍යයට එකඟ විය යුතුයි. මීට අමතරව අපගේ නමස්කාරය දෙවිගේ බලයෙන් ලැබෙන මඟ පෙන්වීමට එකඟව සිදු කළ යුතුයි.

6:27. “සදාකාල ජීවනය පිණිස සැමදා පවතින ආහාර සඳහා වැඩ කරන්න” කීමෙන් අදහස් කරන්නේ අපගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීම සඳහා වෙහෙස වී ක්‍රියා කළ යුතු බවයි. එසේ කිරීමෙන් ප්‍රීතිය අද්දකින්න පුළුවන්.—මතෙ. 5:3.

6:44. යෙහෝවා දෙවි අප සෑම කෙනෙක් කෙරෙහිම පෞද්ගලික සැලකිල්ලක් දක්වනවා. ඔහු එය දක්වන්නේ අපව ඔහුගේ පුත්‍රයා වෙතට සමීප වීමට සැලැස්වීමෙනුයි. ඒ සඳහා ශුභාරංචියට ඇහුම්කන් දීමට සහ ඔහුගේ බලයේ උපකාර ඇතුව බයිබල් සත්‍යය තේරුම්ගැනීමටත් ඒවා අදාළ කරගැනීමටත් උපකාර කිරීම මගිනුයි.

11:33-36. අපේ ඇතුළාන්ත හැඟීම් පළ කිරීම දුර්වලකමක් නෙවෙයි.

දිගටම ඔහු අනුව යන්න’

(යොහන් 11:55–21:25)

ක්‍රිස්තු වර්ෂ 33 පාස්කු මංගල්‍යය ළඟා වෙත්ම යේසුස් බෙතානියට නැවත පැමිණෙනවා. නීසාන් 9වන දින ඔහු කොටළුවෙකු පිට නැඟී යෙරුසලමට පැමිණෙනවා. නීසාන් 10වන දින ඔහු නැවතත් දේවමාලිගාවට පැමිණෙනවා. තම පියාගේ නාමය මහිමයට පමුණුවන්න කියා යේසුස් කළ ඉල්ලීමට පිළිතුරු වශයෙන් ස්වර්ගයෙන් මෙවැනි හඬක් ඇසෙනවා. “මම එය මහිමයට පැමිණවීමි. නැවතත් එය මහිමයට පමුණුවන්නෙමි.”—යොහ. 12:28.

යේසුස් ඔහුගේ ගෝලයන් සමඟ පාස්කු භෝජනය අනුභව කරන අවස්ථාවේදී ඔහු ඔවුන්ට අවසාන වශයෙන් උපදෙස් ලබා දෙන අතර ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරනවා. ඊළඟට ඔහුව අත්අඩංගුවට ගැනීම, ප්‍රශ්න කිරීම, වධකණුවේ ඇණ ගසා මිය යෑමෙන් පසුව ඔහුව නැවත නැඟිටුවනවා.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

14:2—තම විශ්වාසවන්ත අනුගාමිකයන්ට යේසුස් ස්වර්ගයේ “ස්ථානයක් සූදානම්” කිරීමට අයත් වන්නේ කුමක්ද? යේසුස් ස්වර්ගයට ගොස් තම ජීවිත පූජාවේ වටිනාකම දෙවිට ඔප්පු කිරීම මගින් අලුත් ගිවිසුම ක්‍රියාත්මක කිරීම මීට ඇතුළත් වෙනවා. එමෙන්ම ඊට ඇතුළත් වන තවත් දෙයක් වන්නේ යේසුස් ස්වර්ගයේ රජ වීම සහ පසුව ඔහුගේ අභිෂේක ලත් සහෝදරයන්ව ස්වර්ගයට නැවත නැඟිටුවීම ආරම්භ කිරීමයි.—1 තෙස. 4:14-17; හෙබ්‍රෙ. 9:12, 24-28; 1 පේතෘ 1:19; එළි. 11:15.

14:16, 17; 16:7, 8, 13, 14—උපකාරකයා ලෙස හඳුන්වා තිබෙන සත්‍යතාවේ ආත්මය (දෙවිගේ බලය), යොහන් 14:16, 17හි “එය” ලෙසත් යොහන් 16:7, 8, 13, 14හි “ඔහු” ලෙසත් සඳහන් කර තිබෙන්නේ ඇයි? මෙහිදී අප මූලිකවම මතක තබාගත යුතු කරුණ වන්නේ යොහන් මෙය ලියා ඇත්තේ ග්‍රීක ව්‍යාකරණ රීතියට අනුව බවයි. ග්‍රීක් භාෂාවට අනුව “උපකාරකයා” යන වචනය පුරුෂ ලිංග පදයකි. නමුත් දෙවිගේ බලය හෙවත් ‘ආත්මය’ යන වචනය නපුංසක ලිංග පදයකි. එමනිසා උපකාරයා කරන දේ ගැන කතා කරද්දී යොහන් “ඔහු” කියා භාවිත කිරීමටත්, “සත්‍යතාවේ ආත්මය” කරන දේ ගැන කතා කරද්දී “එය” කියා භාවිත කිරීමටත් හේතුව අපට පැහැදිලි වේ. ඒ ආකාරයෙන් ග්‍රීක භාෂාවේ ව්‍යාකරණ රීතියට අනුව තැනට උචිත ලෙස යොහන් එම වචන යොදාගෙන තිබෙනවා. ඒ හැර දෙවිගේ බලය පුද්ගලයෙක් කියා ඉන් කිසි විටකත් ඔහු අදහස් කළේ නැහැ.

19:11තමාව භාර දුන් තැනැත්තා ගැන පිලාත්ට පැවසූ අවස්ථාවේදී යේසුස්ගේ මනසේ තිබුණේ යූදස් ඉස්කාරියොත්වද? යූදස් හෝ වෙනත් කෙනෙකු වෙනුවට එහිදී යේසුස් අදහස් කරන්න ඇත්තේ තමාව මරණයට පත් කිරීමේ වරදට සම්බන්ධ සියලුදෙනාවයි. ඊට යූදස්ද “නායක පූජකයෝද මුළු සැන්හෙඩ්‍රිනයද” යේසුස් වෙනුවට බරබ්බස්ව නිදහස් කරන්න කියා බල කළ ‘සමූහයාද’ ඊට අයත් වුණා.—මතෙ. 26:59-65; 27:1, 2, 20-22.

20:17තමාව අත්හරින්න කියා යේසුස් මරියා මග්දලේනාට පැවසුවේ ඇයි? පෙනෙන විදිහට ඇය යේසුස්ව අල්ලාගෙන සිටියේ යේසුස් ඒ අවස්ථාවේදී ස්වර්ගයට නැඟීමට සූදානම්ව සිටියා කියා ඇය සිතූ නිසාත් ඇයට නැවත ඔහුව දකින්න අවස්ථාවක් නොලැබෙයි කියා සිතූ නිසයි. තමන් දැන්මම ස්වර්ගයට නොයන බව ඇයට පැවසූ යේසුස් තමන් නැවත නැඟිට සිටින බව අනෙකුත් ගෝලයන්ටද දැනුම් දෙන්න කියා ඇයට පැවසුවා.

අපට ගත හැකි පාඩම්:

12:36. අපත් “ආලෝකයේ පුත්‍රයන්” හෝ ආලෝකය දරන්නන් වීමට නම් බයිබලයේ සඳහන් නිවැරදි දැනුම ලබාගැනීම අවශ්‍යයි. ඉන්පසුව මේ අන්ධකාර ලෝකයේ සිටින දෙවිව නොදන්නා ජනයාට දෙවිගේ ආලෝකයට පැමිණෙන්න උපකාර කළ යුතුයි. එනම් ඔහු ගැන සත්‍යය කියා දිය යුතුයි.

14:6. දෙවිගේ අනුමැතිය ලබාගැනීමට සහ ඔහුට ළංවීමට තිබෙන්නේ එකම මාර්ගයයි. එය නම් යේසුස් කෙරෙහි ඇදහිල්ල තබා ඔහුව අනුකරණය කිරීමයි.—1 පේතෘ 2:21.

14:15, 21, 23, 24; 15:10. දෙවිගෙත් ඔහුගේ පුත්‍රයාගෙත් ප්‍රේමය ලබන්න නම් අප දෙවිගේ කැමැත්තට කීකරු විය යුතුයි.—1 යොහ. 5:3.

14:26; 16:13. දෙවිගේ ක්‍රියාකාරික බලය අප වෙනුවෙන් ගුරුවරයෙකු මෙන්ම බයිබලයෙන් අප ඉගෙනගත් දේවල් මතක් කර දෙන්නෙකු මෙන් කටයුතු කරයි. එමෙන්ම බයිබල් සත්‍යය හෙළි කිරීමටද දායක වෙයි. තවදුරටත් දෙවි පිළිබඳ දැනුම වැඩි කරගැනීමටත් ප්‍රඥාව, අවබෝධය සහ සිතීමේ හැකියාව වැඩි දියුණු කරගැනීමටත් අපට උපකාර කරයි. එමනිසා අප විශේෂයෙන්ම දෙවිගේ බලය ඉල්ලා නොකඩවා යාච්ඤා කළ යුතුයි.—ලූක් 11:5-13.

21:15, 19. යේසුස් තමන් ඉදිරියේ තිබූ මාළුන් පෙන්වා “මොවුන්ට” වඩා තමාට ප්‍රේම කරනවාද කියා පේතෘස්ගෙන් ඇසුවා. ඉන් යේසුස් කාවද්දන්න උත්සාහ කළේ දිගටම ධීවර රැකියාවේ යෙදෙනවා වෙනුවට දිගටම තමා අනුව ඒමට මුළු කාලයම යොදවන්න කියායි. මෙම සුවිශේෂය අධ්‍යයනය කිරීමෙන් අපගේ ජීවිතයේ අනෙකුත් දේවලට වඩා යේසුස්ට ප්‍රේම කිරීමට වූ අධිෂ්ඨානය තවත් ශක්තිමත් වෙනවා. ඒ නිසා අප සියලුදෙනාම යේසුස්ව ආදර්ශයට ගැනීමට මුළු වැර යොදමු.

[31වන පිටුවේ පින්තූරය]

නිකදේමස්ගේ ජීවිතයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?