Skip to content

පටුනට යන්න

යෞවනයෙනි, ඔබේ මැවුම්කරුව අමතක නොකරන්න

යෞවනයෙනි, ඔබේ මැවුම්කරුව අමතක නොකරන්න

යෞවනයෙනි, ඔබේ මැවුම්කරුව අමතක නොකරන්න

“යොවුන් වියේදී ඔබේ උදාර මැවුම්කරුව අමතක නොකරන්න”—දේශ 12:1, නව ලොව පරිවර්තනය, NW.

1. දෙවි, යෞවනයන් කෙරෙහි ඇති විශ්වාසය පළ කර ඇත්තේ කෙසේද?

ක්‍රිස්තියානි යෞවනයෙනි, ඔබව යෙහෝවා දෙවි සලකන්නේ නැවුම් පිනි බිඳු හා සමානවයි. එමෙන්ම ඔබව දෙවිට ඉතා අනර්ඝයි. මේ අන්තිම දවස්වලදී ඔබ වැනි අය දෙවිගේ සේවය වෙනුවෙන් “කැමැත්තෙන්ම ඉදිරිපත්” වන බව බයිබලයේ කලින්ම පවසා තිබෙනවා. (ගීතා. 110:3, NW) එය සිදු වන්නේ දෙවි කෙරෙහි සැලකිල්ලක් නොදක්වන, මුදලට කෑදර, තමා ගැන පමණක් සිතන, අකීකරු මිනිසුන් බහුතරයක් සිටින කාලයකයි. යෞවනයෙනි, එවන් තත්වයක් යටතේ වුණත් ඔබ දෙවිට සේවය කරන බවට ඔහු ඔබ කෙරෙහි මහත් විශ්වාසයක් තබා තිබෙනවා.

2. දෙවිව සිහි කිරීමට අයත් වන්නේ කුමක්ද?

2 යෞවනයන් තම ජීවිතයේ හොඳම කාලයේදී තම මැවුම්කරුව සිහි කරන විට එය ඇත්තෙන්ම දෙවිට මහත් සතුටක් ගෙන දෙනවා. (දේශ. 12:1) නමුත් දෙවිව අමතක නොකර කටයුතු කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? එනම් සෑම දිනකම ඔහුගේ නීති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ඔහුව සතුටු කරන ආකාරයෙන් කටයුතු කිරීමයි. එමෙන්ම අප ජීවිතයේ උපරිම සතුට භුක්ති විඳීම දෙවිගේ ආශාව බවත් අප විශ්වාස කළ යුතුයි. (ගීතා. 37:3; යෙසා. 48:17, 18) යෞවනයෙනි, ඔබටත් එවැනි විශ්වාසයක් තිබෙනවාද?

“මුළු සිතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න”

3, 4. යේසුස්, දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් පෙන්වූයේ කෙසේද? එමෙන්ම එවන් විශ්වාසයක් අපටත් තිබීම වැදගත් ඇයි?

3 දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශය තබන්නේ යේසුස්. ඔහු, හිතෝපදේශ 3:5, 6හි [NW] සඳහන් වචනවලට එකඟවම කටයුතු කළා. එහි පවසන්නේ මෙසේයි. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු සිතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. දිවිමඟේ ඔබ තබන සෑම පියවරකදීම ඔහුව සිහි කරන්න. එවිට ඔහු යා යුතු නිසි මඟ පෙන්වා ඔබේ දිවිය සාර්ථක කරනු ඇත.” යේසුස් බව්තීස්ම වීමත් සමඟම සාතන් ඔහු වෙත පැමිණ මේ ලෝකයේ රාජ්‍යයන් සහ කීර්තිය ලබාගැනීමට යේසුස්ව පොලඹවන්න උත්සාහ කළා. (ලූක් 4:3-13) නමුත් යේසුස් ඊට හසු වූයේ නැහැ. ඊට හේතුව නම් “වස්තුවද ගෞරවයද ජීවනයද” යන සියල්ල ලැබෙන්නේ දෙවිට “යටහත්පහත් වීමෙන් සහ යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතිව සිටීමෙන්” බව ඔහු දැඩි සේ විශ්වාස කළ නිසයි.—හිතෝ. 22:4, NW.

4 අද ලෝකයේ ඉහළින් වැජඹෙන්නේ කෑදර, ආත්මාර්ථකාමී මිනිසුන්. එවැනි තත්වයක් යටතේ ජීවත් වන අප යේසුස්ගේ ආදර්ශය අනුකරණය කිරීම ඉතා වැදගත්. එමෙන්ම දෙවිගේ සේවකයන් හැටියට අප ජීවනයට යන පටු මාර්ගයේ ගමන් කරද්දී ඉන් අපව ඉවතට ගන්න සාතන් සෑම උත්සාහයක්ම ගන්නවා. ඊට හේතුව නම් ඔහුට අවශ්‍ය වන්නේ විනාශයට යන පළල් මාර්ගයේ අප ගමන් කරනවාටයි. එමනිසා ඔහුගේ උගුල්වලට අපි හසු නොවෙමු! ඒ වෙනුවට අපගේ මැවුම්කරුව සතුටු කරන දේ නිතරම කිරීමට අධිෂ්ඨාන කරගනිමු. එමෙන්ම දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් තැබීමෙන් ඉතාමත් නුදුරු අනාගතයේදී ලැබීමට නියමිත “සැබෑ ජීවිතය” තදින් අල්ලාගනිමු.—1 තිමෝ. 6:19.

යෞවනයෙනි, ඥානවන්ත වන්න!

5. මේ ලෝකයේ අනාගතය ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?

5 දෙවිව සිහි කරන යෞවනයන් ඔවුන්ගේ සම වයසේ සිටින අයට වඩා බොහෝ සෙයින් ඥානවන්තයි. (ගීතාවලිය 119:99, 100 කියවන්න.) ඊට හේතුව නම් ඔවුන් නිතරම උත්සාහ කරන්නේ දෙවි සිතන ආකාරයට කටයුතු කරන්නයි. එමෙන්ම මෙම දුෂ්ට ලෝකයේ අනාගතය කොතරම් අඳුරුද කියා ඔවුන්ට ඉතා පැහැදිලියි. ජීවත් වන කෙටි කාලයේදී වුණත් අනාගතය ගැන බියෙන් හා කනස්සල්ලෙන් පසු වන අයව ඔබ කොතෙකුත් දැක ඇති. ඔබ තවමත් පාසැල් යන යෞවනයෙක් නම් ස්වාභාවික සම්පත් දූෂණය වීම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම, වනාන්තර විනාශ වීම වැනි දේවල් ගැන ඔබ ඉගෙනගෙන ඇති. ඒ ගැන බොහෝදෙනා කනස්සල්ලෙන් පසු වුණත් ඔබ නම් එසේ කනස්සලු වන්නේ නැහැ. ඊට හේතුව, මේවා අන්තිම දවස්වලදී සිදුවීමට නියමිත බව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අප දන්නා නිසයි.—එළි. 11:18.

6. සමහර යෞවනයන් හසු වී තිබෙන්නේ කුමන උගුල්වලටද?

6 කනගාටුවට කරුණක් නම් දෙවිට නමස්කාර කරන සමහර යෞවනයන් තමන්ගේ ඇදහිල්ලට හානි විය හැකි දේවලට ඉඩහැර තිබීමයි. එමෙන්ම ඔවුන් මේ දුෂ්ට සමාජය විනාශ වීමට තව ඇත්තේ ඉතාම කෙටි කාලයක් බවද අමතක කර තිබෙනවා. (2 පේතෘ. 3:3, 4) එමෙන්ම ඔවුන් සාතන්ගේ උගුල් වන නරක ආශ්‍රය නිසා සහ කාමුක හැඟීම් අවුස්සන දේවල් නැරඹීම නිසා බරපතළ පාපවලට හසු වී තිබෙනවා. (හිතෝ. 13:20) මේ දුෂ්ට පිළිවෙළේ අවසානය පෙනි පෙනී තිබියදීත් දෙවිගේ අනුමැතිය අහිමි වුණොත් එය මොන තරම් කනගාටුදායකද! එවැනි තත්වයකට පත් නොවීමට අප පුරාණ ඊශ්‍රායෙල්වරුන්ගෙන් පාඩමක් ඉගෙනගනිමු. ඔවුන් ක්‍රිස්තු පූර්ව 1473දී පොරොන්දු දේශය අද්දර මෝවබ් සමභූමියේ කඳවුරු බැඳගෙන සිටියා. ඉන්පසුව සිදු වූ දේ අපි දැන් බලමු.

පොරොන්දු දේශය දැක දැකත්

7, 8. (අ) මෝවබ් සමභූමියේදී සාතන් භාවිත කළ උගුල් මොනවාද? (ආ) අද දින ඔහු යොදාගන්නේ කුමක්ද?

7 එදා සාතන්ට අවශ්‍ය වුණේ කෙසේ හෝ ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයේ උරුමය ලබාගැනීම වැළැක්වීමටයි. ඊට එක් වෑයමක් හැටියට ඔහු බාලාම් නමැති අනාගතවක්තෘවරයාව යොදාගත්තා. ඒ ඔහු ලවා ඔවුන්ට ශාප කර වීමටයි. නමුත් එය අසාර්ථක වූ විට ඔහු ඊට වඩා සූක්ෂ්ම ක්‍රමයක් යොදාගත්තා. ඒ මෝවබ් ස්ත්‍රීන්වයි. එහි ප්‍රතිඵලයක් හැටියට ඊශ්‍රායෙලිතයන් ඔවුන් සමඟ දුරාචාරයේ යෙදුණු අතර පෙයෝර්හි බාල් දෙවියාට නමස්කාර කරන්නත් පටන්ගත්තා. ඉන් පෙනී යන්නේ සාතන්ගේ එම කූට උපක්‍රමය සෑහෙන දුරට සාර්ථක වූ බවයි. අවසානයේදී ඊශ්‍රායෙලිතයන්ගෙන් 24,000කට ඒ වටිනා උරුමය අහිමි වුණා පමණක් නොව ඔවුන්ගේ ජීවිතද අහිමි වුණා. මොන තරම් ඛේදවාචකයක්ද!—ගණන්. 25:1-3, 9.

8 අපත් දැන් සිටින්නේ දෙවි ලබා දීමට පොරොන්දු වී ඇති පාරාදීස පොළොව ලැබෙන කාලය අද්දරයි. සාතන් එදා මෙන් අදත් දෙවිගේ සෙනඟව දූෂ්‍ය කිරීමට ලිංගික දුරාචාරය නමැති මර උගුල අටවමින් සිටිනවා. සදාචාර ප්‍රමිති ඉතාමත් පහත් අඩියට වැටී තිබෙන මේ ලෝකයේ බොහෝදෙනා අනාචාරය සලකන්නේ සාමාන්‍ය දෙයක් හැටියටයි. එමෙන්ම තමන් කැමති නම් සමලිංගික ඇසුරේ යෙදීම වැරදි නැති බව බොහෝදෙනාගේ මතයයි. එවන් මත කොතරම් පුළුල්ව පවතිනවාද කියා එක් ක්‍රිස්තියානි සහෝදරියක් පැවසූ දෙයින් පැහැදිලියි. ඇය පැවසුවේ මෙසේයි. “සමලිංගික ඇසුර හා විවාහයෙන් පිටත ලිංගික සම්බන්ධකම් පැවැත්වීම දෙවි ඉදිරියෙහි වැරදියි කියා මගේ දරුවන් ඉගෙනගන්නේ ස්ථාන දෙකකදී පමණයි. ඒ නිවසේදී හා රාජ්‍ය ශාලාවේදීයි.”

9. ලිංගික හැඟීම් ඉතා ප්‍රබල වන කාලයේදී මතු විය හැකි අභියෝග මොනවාද? ඊට සාර්ථකව මුහුණ දීමට යෞවනයන්ට හැක්කේ කෙසේද?

9 මැවුම්කරුව සිහි කරන යෞවනයන් ලිංගික කාරණා සම්බන්ධයෙන් මේ දෙය මතක තබාගන්නවා. එනම් ලිංගික සම්බන්ධතා පැවැත්වීම දරුවන් බිහි කිරීම සඳහා දෙවිගෙන් ලද ත්‍යාගයක් බවයි. එමෙන්ම ලිංගික සම්බන්ධතා පැවැත්වීමට දෙවි අවසර දී තිබෙන්නේ විවාහක යුවළයන්ට පමණක් බව ඔවුන් තේරුම්ගන්නවා. (හෙබ්‍රෙ. 13:4) ‘යෞවුන් වියේදී ලිංගික හැඟීම්’ ප්‍රබලව පවතිනවා. ඒ කාලයේදී නිවැරදිව සිතා ලිංගික කාරණා සම්බන්ධයෙන් දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව කටයුතු කිරීම අභියෝගයක් විය හැකියි. (1 කොරි. 7:36) ඔබේ මනසට නුසුදුසු ආශාවන් හෝ සිතුවිලි පැමිණෙන විට කුමක් කළ හැකිද? ඒවා ඉවත් කරගෙන දෙවිට ප්‍රසන්න වන දේවල් ගැන සිතීමට උපකාර ඉල්ලා ඕනෑකමින් දෙවිට යාච්ඤා කරන්න. එසේ දෙවිට අවංකව යාච්ඤා කරන සියල්ලන්ට ඇහුම්කන් දීමට දෙවි නිතරම සූදානම්. (ලූක් 11:9-13 කියවන්න.) එමෙන්ම ඇදහිල්ල ශක්තිමත් කරවන දේවල් ගැන කතා කිරීමෙන්ද මනස වෙනස් කරගැනීමට හැකියාව ලැබෙනවා.

ඔබගේ ඉලක්ක මොනවාද?

10. අප වැළකිය යුත්තේ කුමන නිෂ්ඵල දේවල් ගැන කල්පනා කිරීමෙන්ද? ඒ වෙනුවට අප කුමන ප්‍රශ්න අසාගැනීම වැදගත්ද?

10 අද මේ ලෝකයේ සිටින බොහෝ යෞවනයන් නොහික්මුණු හෝ මාංසික ආශාවන්වලට ලොල් වූ අයයි. ඊට එක් හේතුවක් වන්නේ ඔවුන්ට දෙවිගේ මඟ පෙන්වීම් නොමැතිකම නිසා හෝ අනාගතය පිළිබඳ ස්ථිර බලාපොරොත්තුවක් නැතිකම නිසයි. (හිතෝ. 29:18) ඔවුන් කාලය ගත කරන්නේද දෙවිට අකීකරු වී ‘ප්‍රීති වෙමින්, මස් කමින්, වයින් බොමින්’ සිටි පුරාණ ඊශ්‍රායෙල්වරුන් හා සමානවයි. (යෙසා. 22:13, NW) ඔවුන් ගත කරන එම ජීවිතය ගැන ඊර්ෂ්‍යා නොකර දෙවි තම පක්ෂපාත අයට දී තිබෙන අනාගත බලාපොරොත්තුව ගැන කල්පනා කිරීම ඥානවන්ත දෙයක් නොවෙයිද? එමෙන්ම ‘සන්තෝෂවත් බලාපොරොත්තුව ගැන බලා සිටින අතරතුර හොඳ සිහිකල්පනාවෙන්’ සිටීමට ඔබ දැඩි වෙහෙසක් දරනවාද? (තීත. 2:12, 13) ඔබ දැන් එසේ කරමින් සිටිනවා නම් දෙවිගේ සේවය තුළ ඔබ තබා තිබෙන ඉලක්ක අත් කරගැනීමට පහසු වෙයි.

11. යෞවනයන් පාසැලේදී උනන්දුවෙන් ඉගෙනගත යුත්තේ ඇයි?

11 මේ ලෝකය යෞවනයන්ට දිරිගන්වන්නේ සමාජයේ ඉහළට යෑමේ අරමුණෙන් කටයුතු කරන්න කියායි. ඔබ තවමත් පාසැල් යන යෞවනයෙක් නම් මූලික අධ්‍යාපනය ලබාගැනීම සඳහා උනන්දුවෙන් වැඩ කළ යුතුයි. එසේ කිරීමෙන් ඔබගේ මූලික බලාපොරොත්තුව වන්නේ සුදුසු රැකියාවක් ලබාගැනීම පමණක්ම නොවෙයි. සභාවට ප්‍රයෝජනවත් ක්‍රියාශීලී රාජ්‍යය ප්‍රචාරකයෙක් ලෙස සේවය කිරීමටත් එම අධ්‍යාපනය විශාල පිටුවහලක් වෙයි. එසේ කිරීමට නම් පැහැදිලිව හා නිවැරදිව අදහස් හුවමාරු කරගැනීමටත් තර්කානුකූලව සිතීමටත් අන් අය සමඟ සන්සුන්ව හා ගෞරවාන්විතව කතා කිරීමටත් ඉගෙනගැනීම අවශ්‍යයි. එමෙන්ම බයිබලය හොඳින් අධ්‍යයනය කර එහි ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන විට යෞවනයෙකුගේ ජීවිතය වඩා සාර්ථක වන අතර එමගින් සදාකාල ජීවනය සඳහා ස්ථිර බලාපොරොත්තුවක් ඇතුව සිටීමටත් හැකි වෙනවා.—ගීතාවලිය 1:1-3 කියවන්න. *

12. ක්‍රිස්තියානි දෙමව්පියන්ට ආදර්ශයට ගත හැක්කේ කුමක්ද?

12 පුරාණ ඊශ්‍රායෙලයේ දෙමව්පියන් විසින් තම දරුවන්ට ඉගැන්වීම අනිවාර්යය දෙයක් වුණා. දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව දෙමව්පියන් ලබා දුන් මෙම අධ්‍යාපනය මගින් නමස්කාරය ඇතුළු ජීවිතයේ සෑම පැත්තකටම අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දුන්නා. (ද්වි. 6:6, 7) තම දෙමව්පියන්ට සහ අනෙකුත් ඇදහිලිවන්ත වැඩිහිටියන්ට ඇහුම්කන් දුන් දරුවන් ලැබුවේ නිකම්ම දැනුම පමණක්ම නොවෙයි. ඊට අමතරව ප්‍රඥාව, හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීමේ හැකියාව, සිතීමේ හැකියාව හා අවබෝධය වැනි හැකියාවන්ද ඔවුන්ට අත් කරගැනීමට හැකි වුණා. (හිතෝ. 1:2-4; 2:1-5, 11-15) ක්‍රිස්තියානි දෙමව්පියන්ද තම දරුවන්ට දෙවි සපයන එවැනි අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කළ යුතුයි.

ඔබට ප්‍රේම කරන අයට කන් දෙන්න

13. යෞවනයන්ට බොහෝවිට ලැබෙන්නේ කිනම් උපදෙස්ද? ඒ ගැන ඔවුන් සැලකිලිමත් විය යුත්තේ ඇයි?

13 පාසැල් ගුරුවරුන්, උපදේශකයන් ඇතුළු බොහෝදෙනෙක් යෞවනයන්ට උපදෙස්, මඟ පෙන්වීම් ලබා දෙනවා. එසේ කිරීමේදී ඔවුන්ගේ එකම පරමාර්ථය වන්නේ මේ ලෝකයේ සාර්ථකත්වය වෙනුවෙන් යෞවනයන්ව යොමු කිරීමයි. එනමුත් එම සියලු උපදෙස් හා මඟ පෙන්වීම් දෙවිගේ වචනය හා දාස පන්තිය ලබා දෙන මඟ පෙන්වීම්වලට එකඟද කියා සලකා බැලීම ඥානවන්තයි. සාතන් මූලිකවම ගොදුරු කරගැනීමට මාන බලන්නේ යෞවන අයව හා අද්දැකීම් අඩු අයව බව ඔබ බයිබලයෙන් ඉගෙනගෙන තිබෙනවා. ඒව ඊට එක් උදාහරණයක්. ජීවිතයේ අද්දැකීම් අඩු ඇය තමා ගැන කිසිම ප්‍රේමයක් හෝ හැඟීමක් නැති අමුත්තෙකුට කන් දී ඔහුට කීකරු වුණා. නමුත් ඇයට ප්‍රේම කළ, ඇගේ යහපත වෙනුවෙන් සියලු දේ කළ යෙහෝවා දෙවිට ඇහුම්කන් දී තිබුණා නම් මිනිස් වර්ගයාගේ අනාගතය මීට වඩා කොතරම් වෙනස් වෙන්න තිබුණාද!—උත්. 3:1-6.

14. ඔබ දෙවිටත් ඇදහිලිවන්ත දෙමව්පියන්ටත් ඇහුම්කන් දිය යුත්තේ ඇයි?

14 යෞවනයෙනි, ඔබේ මැවුම්කරු ඔබටත් ප්‍රේම කරන අතර ඔහු එසේ කරන්නේ අවංක චේතනාවෙන්. එනම් ඔහු ආශා වන්නේ ඔබ කෙටි කාලයකට පමණක් ජීවිතයේ සතුට භුක්ති විඳිනවාට නොව එය සදාකාලයටම භුක්ති විඳිනවාටයි. එමනිසා ප්‍රේමණීය දෙමව්පියෙක් මෙන් දෙවිද ඔහුගේ නමස්කාරකයන් සියලුදෙනාටම පවසන්නේ ඔබ ‘යා යුත්තේ මේ මාර්ගයේ’ කියායි. (යෙසා. 30:21, NW) දෙවිට නමස්කාර කරන දෙමව්පියන් ඔබට සිටිනවා නම් එය ඔබ ලද තවත් ආශීර්වාදයක් ලෙස සලකන්න. ඔබ අනාගතයේදී කිරීමට බලාපොරොත්තු වන දේ තීරණය කිරීමේදී ඔවුන් දෙන මඟ පෙන්වීම්වලට හොඳින් ඇහුම්කන් දෙන්න. (හිතෝ. 1:8, 9) ඊට හේතුව නම් ඔවුන්ගේ ආශාව වන්නේ මේ ලෝකයේ ධනය හෝ කීර්තියට වඩා අතිඅනර්ඝ දෙයක් වන සදාකාල ජීවනය ඔබ ලබනවා දකින්නයි.—මතෙ. 16:26.

15, 16. (අ) දෙවි කෙරෙහි අපට ඇති විශ්වාසය කුමක්ද? (ආ) බාරුක්ගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැකි වැදගත් පාඩම කුමක්ද?

15 තම මැවුම්කරුව සතුටු කරන්න කැමති අය නිතරම උත්සාහ කරන්නේ තම ජීවිත සරලව තබාගැනීමටයි. ඊට හේතුව නම් දෙවි “කිසිසේත්” ඔවුන්ව අත් නොහරින බවත් “කිසිසේත්” ඔවුන්ගේ බලාපොරොත්තු සුන් නොකරන බවත් ඔවුන්ට ස්ථිර නිසයි. (හෙබ්‍රෙව් 13:5 කියවන්න.) මේ ලෝකය නිතරම දිරිගන්වන්නේ සරල ජීවිතයක් වෙනුවට සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමටයි. එමනිසා එවන් ආකල්පවලට හසු නොවීමට අප පරෙස්සම් විය යුතුයි. (එෆී. 2:2) ඒ සම්බන්ධයෙන් යෙරෙමියාගේ ලේකම් වූ බාරුක්ගේ ආදර්ශය බලන්න. ඔහු ජීවත් වූයේ ක්‍රි.පූ. 607 යෙරුසලම විනාශය ආසන්නයේදීයි.

16 සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න සමහරවිට බාරුක්ද ආශා කරන්න ඇති. නමුත් දෙවි “මහත් දේවල්” නොසොයන්න කියා ඔහුට කාරුණිකව අනතුරු ඇඟෙව්වා. බාරුක් යටහත්පහත් මෙන්ම ප්‍රඥාවන්ත කෙනෙක් වූ නිසා ඔහු දෙවිට කීකරු වූ අතර යෙරුසලමේ විනාශයෙන් තම දිවි ගලවාගත්තා. (යෙරෙ. 45:2-5, NW) නමුත් ඔහුගේ කාලයේ සිටි සෙසු අය “මහත් දේවල්” එනම් ධන සම්පත් අත් කරගැනීම ජීවිතයේ මූලිකම දෙය කරගෙන දෙවිව නොසලකා හැරියා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගෙන් බහුතරයක් බැබිලෝනිවරුන් අතට හසු වූ අතර සමහරුන්ට ඔවුන්ගේ ජීවිතයද අහිමි වුණා. (2 ලේක. 36:15-18) බාරුක්ගේ ආදර්ශයෙන් අපට උගන්වන්නේ මේ ලෝකයේ ධනයට හා කීර්තියට වඩා දෙවි සමඟ ඇති අපේ කිට්ටු මිත්‍රත්වය මොන තරම් වටිනවාද යන්නයි.

අනුකරණය කිරීමට කදිම ආදර්ශ

17. අද සිටින දෙවිගේ සේවකයන්ට යේසුස්, පාවුල් හා තිමෝති යන අය ආදර්ශයක් වන්නේ කෙසේද?

17 සදාකාල ජීවනය නමැති මඟේ ගමන් කිරීමට උපකාරවත් වන ආදර්ශ බයිබලයේ සඳහන් කර තිබෙනවා. උදාහරණයකට යේසුස් ගැන සිතා බලන්න. ඔහු තරම් සෑම දෙයකටම දක්ෂ පුද්ගලයෙක් මේ ලෝකයේ කිසිදාක සිට නැහැ. නමුත් ඔහු එම දක්ෂතා යොදාගත්තේ මිනිසුන්ට සදාකාල ප්‍රයෝජන ලබා දීමටයි. එනම් “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය” දේශනා කිරීමටයි. (ලූක් 4:43) දෙවිට තම ජීවිතයෙන් තමා සතු හොඳම දේ දුන් තවත් කෙනෙක් වූයේ පාවුල්. ඔහු සිටි කාලයේ හැටියට ඔහු ඉතා ඉහළ වැටුපක් ලැබිය හැකි රැකියාවක් කළ කෙනෙක්. ඔහු එය අතහැර දැමුවේ ශුභාරංචිය දේශනා කිරීම සඳහා ඔහුගේ මුළු කාලය හා ශක්තිය යෙදවීමටයි. අනෙක් ආදර්ශය නම් ‘ඇදහිල්ලෙහි සැබෑ දරුවෙකු වූ තිමෝතියි.’ ඔහු පාවුල්ගේ ආදර්ශය අනුකරණය කළා. (1 තිමෝ. 1:2) යේසුස්, පාවුල් හා තිමෝති යන තිදෙනාම දෙවිට සේවය කිරීමට ගත් තීරණ ගැන කනගාටු වුණාද? කොහෙත්ම නැහැ. දෙවිට සේවය කිරීමේ වරප්‍රසාදය සමඟ සසඳද්දී සාතන් ඉදිරිපත් කරන සෑම දෙයක්ම පාවුල් සැලකුවේ “කුණු ගොඩක්” ලෙසයි.—ෆිලි. 3:8-11.

18. එක් සහෝදරයෙක් ඔහුගේ ජීවිතයේ කළ වෙනස්කම කුමක්ද? ඒ ගැන ඔහු කනගාටු නොවන්නේ ඇයි?

18 අද සිටින බොහෝ ක්‍රිස්තියානි යෞවනයන්ද එම ආදර්ශ අනුකරණය කරනවා. උදාහරණයකට ඉහළ වැටුපක් සහිත රැකියාවක් කළ මේ යෞවන සහෝදරයා ගත් තීරණය සලකා බලන්න. ඔහු පවසන්නේ “මම බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වූ නිසා වැඩි කල් යන්න කලින් මට උසස් වීම් ලැබුණා. මට ගොඩක් සල්ලි හම්බ වුණත් මට දැනුණේ මම හරියට හුළං අල්ලන්න උත්සාහ කරනවා වගෙයි. ඒ නිසා මම ආයතනයේ නිලධාරීන් හමු වෙලා පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න මට තිබෙන ආශාව ගැන ඔවුන්ට කිව්වා. කිසිම කතාවක් නැතුව ඔවුන් ඉක්මනින්ම මට තවත් උසස් වීම් කිහිපයක්ම පිරිනැමුවා. එයින් ඔවුන් සිතුවේ මගේ මනස වෙනස් කරන්නයි. නමුත් මම මගේ තීරණය වෙනස් කළේ නැහැ. මම මෙච්චර හොඳ රැකියාවක් අතහැරලා පූර්ණකාලීන සේවය පටන්ගත්තේ ඇයි කියන එක ගැන බොහෝදෙනෙකුට ලොකු ප්‍රශ්නයක් වුණා. ඇත්තෙන්ම මම එවැනි තීරණයක් ගත්තේ දෙවිට වූ මගේ කැපවීමට එකඟව ක්‍රියා කරන්න මට තිබූ ආශාව නිසයි. දැන් මම මගේ ජීවිතයේ දෙවිට කරන නමස්කාරයට මුල් තැන දී තිබෙන නිසා ලොකු ප්‍රීතියක් වගේම තෘප්තියකුත් ලබනවා. නමුත් මම රැකියාවේ දිගටම සිටියා නම් ඒ මුදලින් හෝ කීර්තියෙන් කවදාවත් මට ඒ ප්‍රීතිය ලබන්න බැහැ.”

19. යෞවන අයට දිරිගන්වා තිබෙන්නේ කුමන ඥානවන්ත තීරණ ගැනීමටද?

19 ලොව පුරා සිටින ඒ හා සමාන යෞවනයන් දහස් ගණනක් ඉහත කී යෞවනයා මෙන් ඥානවන්ත තීරණ ගෙන තිබෙනවා. එමනිසා යෞවනයෙනි, ඔබත් ඔබගේ අනාගතය ගැන තීරණය කරන විට සෑමවිටම යෙහෝවා දෙවිගේ දවස මනසෙහි ප්‍රමුඛව තබාගන්න. (2 පේතෘ. 3:11, 12) මේ ලෝකය මුළුමනින්ම භුක්ති විඳින යෞවනයන් ගැන ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නවා වෙනුවට ඔබට අවංකව ප්‍රේම කරන අයට හොඳින් ඇහුම්කන් දෙන්න. එමෙන්ම ‘ස්වර්ගයෙහි වස්තු’ රැස් කරගැනීම සදාකාල ප්‍රයෝජන ලබා දෙන දෙයක් නිසා ඒ සඳහා වැඩි වෙහෙසක් දරන්න. (මතෙ. 6:19, 20; 1 යොහන් 2:15-17 කියවන්න.) ඔව්, යොවුන් වියේදී ඔබේ උදාර මැවුම්කරුව අමතක නොකරන්න. එවිට ඔහු ඔබට ආශීර්වාද කරනවා නියතයි.

[පාදසටහන]

^ 11 ඡේ. උසස් අධ්‍යාපනය හා රැකියාව සම්බන්ධයෙන් 2005 ඔක්තෝබර් 1 මුරටැඹ කලාපයේ 26-31 දක්වා පිටු බලන්න.

ඔබට මතකද?

• දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති බව යෞවනයන්ට පෙන්විය හැක්කේ කෙසේද?

• ලැබිය හැකි හොඳම අධ්‍යාපනය කුමක්ද?

• බාරුක්ගෙන් ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

• අනුකරණය කිරීමට කදිම ආදර්ශ මොනවාද? ඒ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූර]

හොඳම අධ්‍යාපනය සපයන්නේ යෙහෝවා දෙවියි

[15වන පිටුවේ පින්තූරය]

බාරුක් දෙවිට ඇහුම්කන් දුන් නිසා යෙරුසලම් විනාශයේදී ඔහු ගැලවුණා. එයින් ඔබට ඉගෙනගත හැක්කේ කුමක්ද?