Skip to content

පටුනට යන්න

“වැදගැම්මකට නැති දේ” ප්‍රතික්ෂේප කරමු

“වැදගැම්මකට නැති දේ” ප්‍රතික්ෂේප කරමු

“වැදගැම්මකට නැති දේ” ප්‍රතික්ෂේප කරමු

“වැදගැම්මකට නැති දේ ලුහුබඳින්නා අඥානයෙකි.”—හිතෝ. 12:11, නව ලොව පරිවර්තනය, NW.

1. අප සතු වටිනා දේවල් සමහරක් මොනවාද? ඒවා හොඳම ආකාරයෙන් භාවිත කළ හැක්කේ කෙසේද?

ක්‍රිස්තියානීන් හැටියට වටිනා කියන බොහෝ දේ අප සතුයි. ඊට යහපත් ශරීර සෞඛ්‍යයක්, සහජ හැකියාවන් හා ධන සම්පත් අයත් වෙනවා. මේවා දෙවිට කරන සේවය සඳහා කැමැත්තෙන්ම යොදවනවා නම් ඉන් පෙන්වන්නේ බයිබලයේ සඳහන් මෙම උපදෙසට අප කීකරු වන බවයි. ‘ඔබ සතු අගනා දෙයින් යෙහෝවා දෙවිව මහිමවත් කරන්න.’—හිතෝ. 3:9NW.

2. වැදගැම්මකට නැති දේවල් ගැන බයිබලයේ දෙන අනතුරු ඇඟවීම කුමක්ද? එය සැබෑවක් වන්නේ කෙසේද?

2 අනෙක් අතට කිසිම වැදගැම්මකට නැති දේවල් ගැනද බයිබලයේ සඳහන් වෙනවා. එවන් දේවල් ලුහුබැඳීමෙන් අප සතු වටිනා දේවල් නාස්ති කර නොගන්න කියාද අනතුරු අඟවා තිබෙනවා. ඒ ගැන හිතෝපදේශ 12:11හි [NW] සඳහන් මෙම මඟ පෙන්වීම සලකා බලන්න. “තම ඉඩමේ වගා කරන තැනැත්තා කෑම කා තෘප්තිමත් වෙයි. නමුත් වැදගැම්මකට නැති දේ ලුහුබඳින්නා අඥානයෙකි.” එය මොන තරම් සැබෑද! කෙනෙක් තම කාලය හා ශක්තිය වැය කරමින් ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළොත් එයින් ඔහුගේ පවුලේ අයට යම් ආකාරයක සුරක්ෂිතභාවයක් ලබා දීමට ඔහුට හැකියි. (1 තිමෝ. 5:8) අනෙක් අතට ඔහු තම කාලය හා ශක්තිය වැදගැම්මකට නැති දේවල් සඳහා යොදවනවා නම් එවැනි කෙනෙකුව බයිබලයේ හඳුන්වන්නේ නිවැරදිව සිතා බලා තීරණයක් ගැනීමට නොහැකි, හරි ආකල්පයක් නැති, “අඥාන” කෙනෙක් ලෙසයි. අවසානයේදී ඔහුට අත් වන්නේ දිලිඳුබව පමණයි.

3. වැදගැම්මකට නැති දේවල් අපගේ නමස්කාරයට බලපාන්නේ කෙසේද?

3 ඉහත සඳහන් වූ උපදෙස අපගේ නමස්කාරයේදී අදාළ කරගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? ප්‍රීතිය හා සුරක්ෂිතභාවයයි. එය දෙවිට ඉතා උද්‍යෝගයෙන් සේවය කරන බොහෝ ක්‍රිස්තියානීන් තුළ දකින්න ලැබෙනවා. එමෙන්ම අනාගතය පිළිබඳ ඔවුන්ට තිබෙන බලාපොරොත්තුවද ඉතාම ශක්තිමත්. (මතෙ. 6:33; 1 තිමෝ. 4:10) නමුත් දෙවිගේ සේවකයෙක් වැදගැම්මකට නැති දේවල් සඳහා තමා සතු වටිනා සම්පත් වැය කළොත් දෙවි සමඟ තිබෙන ඔහුගේ මිත්‍රත්වයත් සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුවත් අනතුරේ වැටෙන්න ඉඩ තිබෙනවා. එසේනම් අප ඉන් වැළකෙන්නේ කොහොමද? අපගේ ජීවිතයේ තිබෙන “වැදගැම්මකට නැති” දේවල් හඳුනාගෙන ඒවා ප්‍රතික්ෂේප කිරීමෙනුයි.—තීතස් 2:11, 12 කියවන්න.

4. වැදගැම්මකට නැති දේවල් කියා පැවසිය හැක්කේ කුමකටද?

4 වැදගැම්මකට නැති දේවල් මොනවාද? පොදුවේ ගත් කළ, යෙහෝවා දෙවිට මුළු හදවතින්ම කරන සේවයට බාධා විය හැකි ඕනෑම දෙයක් ඊට අයත්. උදාහරණයකට, අප විනෝදය සඳහා කරන දේවල් සඳහන් කළ හැකියි. විනෝද වීමේ ඇති වරදක් නැහැ. නමුත් අප නමස්කාරය සඳහා යොදවන කාලය කා දමන ආකාරයෙන් බොහෝ කාලයක් එහි නියැලෙනවා නම් එය වැදගැම්මකට නැති දෙයක් බවට පත් වෙනවා. දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වයද පළුඳු වන තරමටම එය බලපෑ හැකියි. (දේශ. 2:24; 4:6) එය වළක්වාගැනීමට නම් ඒ සඳහා යොදවන කාලය ගැන අප සැලකිලිමත් විය යුතු අතර සමබර වීමද වැදගත්. (කොලොස්සි 4:5 කියවන්න.) නමුත් ඊටත් වඩා අනතුරුදායක දේවල් තිබෙනවා. එනම් යම් ආකාරවලින් බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීමයි.

වැදගැම්මකට නැති දෙවිවරුන්ව ප්‍රතික්ෂේප කරමු

5. බයිබලයේ “වැදගැම්මකට නැති” යන වචනය බොහෝවිට යොදා ඇත්තේ කුමක් විස්තර කිරීමටද?

5 බයිබලයේ “වැදගැම්මකට නැති” යන වචනය බොහෝවිට යොදා ඇත්තේ බොරු දෙවිවරුන්ව විස්තර කිරීමටයි. උදාහරණයකට දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පැවසූ දෙය සලකා බලන්න. “වැදගැම්මකට නැති දෙවිවරුන්ව සාදා නොගන්න. නමස්කාර කරන පිණිස රූප හෝ කුලුනු සාදා නොගන්න. කැටයම් කළ ගල් රූප ඔබේ දේශයේ ඉදි කරන්නවත් ඒවා ඉදිරියේ වැඳ වැටෙන්නවත් එපා.” (ලෙවී. 26:1NW) දාවිත් රජද ඊට සමාන දෙයක් පැවසුවා. “යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨය. ඔහු බොහෝ සෙයින් ප්‍රශංසා ලබන්න වටින්නේය. අන් සියලු දෙවිවරුන්ට වඩා ගරුබිය දැක්විය යුත්තේ ඔහුටය. මිනිසුන් නමස්කාර කරන දෙවිවරුන්ට කිසිවක් කළ නොහැකිය. නමුත් යෙහෝවා දෙවි මුළු අහස් තලයම නිර්මාණය කළේය.”—1 ලේක. 16:25, 26NW.

6. බොරු දෙවිවරුන් වැදගැම්මකට නැහැයි කියා පැවසීමට හේතුව කුමක්ද?

6 දාවිත් පැවසූ ලෙස දෙවි කොතරම් උතුම් කෙනෙක්ද කියා අප අවට තිබෙන සෑම දෙයකින්ම තේරුම්ගන්න පුළුවන්. (ගීතා. 139:14; 148:1-10) ඔහු සමඟ ගිවිසුමකට එළඹීමට ලැබීම ඊශ්‍රායෙල්වරුන්ට මොන තරම් වරප්‍රසාදයක්ද! නමුත් ඔහුව අතහැර කිසි වැදගැම්මකට නැති දේවතා රූප හා කුලුනු ඉදිරියේ වැඳ වැටීමෙන් ඔවුන් කළේ මොන තරම් මෝඩ ක්‍රියාවක්ද? ඔවුන් විපත්තිවලට මුහුණ දුන් විට ඉන් ඔවුන්ව ගලවාගන්න තියා තමන්ව ගලවාගන්නවත් ඒ දෙවිවරුන්ට හැකි වුණේ නැහැ.—විනි. 10:14, 15; යෙසා. 46:5-7.

7, 8. “මුදල” දෙවි කෙනෙකු බවට පත් වන්නේ කෙසේද?

7 අද දිනත් බොහෝ රටවල ජනයා දේවතා රූපවලට වැඳ නමස්කාර කරනවා. නමුත් එදා මෙන් අදත් ඒ දෙවිවරුන් කිසි වැදගැම්මකට නැති බව ඔප්පු වෙනවා. (1 යොහ. 5:21) එමෙන්ම මිනිසුන් දෙවි කෙනෙකු සේ සලකා, නමස්කාර කරන තවත් දෙයක් ගැන බයිබලයේ පවසනවා. ඒ ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “ස්වාමිවරුන් දෙදෙනෙකුගේ දාසයෙකු වීමට කිසිවෙකුට නොහැක. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරනවා ඇත. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකිනවා ඇත. ඔබට මුදලටත් දෙවිටත් දාසයෙකු විය නොහැක.”—මතෙ. 6:24.

8 යේසුස් පැවසූ ලෙස “මුදල” දෙවි කෙනෙකුට සමාන වන්නේ කෙසේද? එය තේරුම්ගැනීමට මෙම උදාහරණය බලමු. ඊශ්‍රායෙල් කාලයේ තිබූ කලුගල්වලින් බොහෝ ප්‍රයෝජන ගත්තා. නිවෙස් හා තාප්ප ඉදි කරන්න ඒවා යොදාගත්තා. නමුත් එම ගල්ම ඔවුන් බොරු නමස්කාරය සඳහා “කුලුනු” හෝ “කැටයම් කළ ගල් රූප” සාදාගැනීමටත් යොදාගත්තා. ඒ මගින් දෙවිගේ ජනයාව මහත් විනාශයකට ඇද දැමුවා. (ලෙවී. 26:1NW) ඒ හා සමාන දෙයක් මුදල නිසාද විය හැකියි. මුදල් අපට අවශ්‍යයි. ඒ අපගේ එදිනෙදා අවශ්‍යතා සඳහා මෙන්ම දෙවිට කරන සේවය වෙනුවෙන් යොදාගැනීමටයි. (දේශ. 7:12; ලූක් 16:9) නමුත් අප දෙවිට කරන සේවයට මුල් තැන නොදී මුදල් පසුපස ලුහුබැන්දොත් මුදල් අපේ දෙවියන් බවට පත් වෙනවා. (1 තිමෝති 6:9, 10 කියවන්න.) මුදල හා ධන සම්පත් පසුපස හඹා යන මේ ලෝකයේ ජීවත් වන අප ඒ ගැන සමබර ආකල්පයක් ඇතිව කටයුතු කිරීම ඉතාම වැදගත්.—1 තිමෝ. 6:17-19.

9, 10. (අ) ක්‍රිස්තියානීන් අධ්‍යාපනය සලකන්නේ කෙසේද? (ආ) උසස් අධ්‍යාපනයක් ලැබීමේ ඇති අනතුර කුමක්ද?

9 ප්‍රයෝජනවත් නමුත් වැදගැම්මකට නැති දෙයක් බවට පත් විය හැකි තවත් දෙයක් වන්නේ අධ්‍යාපනයයි. දරුවන් හොඳ අධ්‍යාපනයක් ලබා ඔවුන්ගේ ජීවිත සාර්ථක වෙනවා දකින්න අප කැමතියි. එමෙන්ම හොඳ අධ්‍යාපනයක් ලැබීමෙන් ක්‍රිස්තියානියෙකුට බොහෝ ප්‍රයෝජන තිබෙනවා. එනම් බයිබලය අවබෝධයෙන් කියවන්නත් ප්‍රශ්න ගැටලු පැමිණෙද්දී එහි ප්‍රතිපත්ති අදාළ කරගන්නා ආකාරය තේරුම්ගන්නත් දෙවිගේ කැමැත්තට එකඟව තීරණ ගන්නත් ඔහුට හැකි වෙනවා. එමෙන්ම අන් අයට බයිබල් සත්‍යය පැහැදිලිව හා පිළිගැනීමට පොලඹවන ආකාරයෙන් ඉගැන්වීමටද එය ප්‍රයෝජනවත් වෙනවා. හොඳ අධ්‍යාපනයක් ලැබීමට යම් කාලයක් ගත වුණත්, එය අපතේ යන්නේ නැහැ.

10 ඒ වුණත් විශ්වවිද්‍යාලයක හෝ වෙනත් ආයතනයක ලබන උසස් අධ්‍යාපනය ගැන කුමක් කිව හැකිද? බොහෝදෙනෙක් පවසන්නේ එය සාර්ථකත්වයට අත්‍යවශ්‍ය දෙයක් බවයි. ඒ වුණත් එවැනි අධ්‍යාපනයක් ලබන අයගේ මනස් අවසානයේදී මේ ලෝකයේ ප්‍රඥාවෙන් දූෂ්‍ය විය හැකියි. ඒ තුළින් යෞවනයෙකුට දෙවිගේ සේවය සඳහා යෙදවිය හැකි වටිනා කාලය නාස්ති විය හැකියි. (දේශ. 12:2) බොහෝ රටවල එවැනි අධ්‍යාපනයක් ලබන අය තුළ දෙවි කෙරෙහි ඇති විශ්වාසය එන්න එන්නම අඩු වෙමින් පැවතීම පුදුමයට හේතුවක් නොවෙයි. එමනිසා මේ ලෝකය සපයන උසස් අධ්‍යාපනය මගින් අපගේ අනාගතය සුරක්ෂිත කරගන්න උත්සාහ කරනවා වෙනුවට දෙවි කෙරෙහි විශ්වාසය තබමින් ඔහුව අපේ රැකවරණය කරගනිමු.—හිතෝ. 3:5.

දෙවියෙකු විය හැකි ශාරීරික ආශාවන්

11, 12. “ඔවුන්ගේ දෙවි වන්නේ තමුන්ගේම ශාරීරික ආශාවන්ය” කියා පාවුල් පැවසුවේ ඇයි?

11 දෙවියෙකු බවට පත් විය හැකි තවත් දෙයක් ගැන ෆිලිප්පියේ සිටි ක්‍රිස්තියානීන්ට පාවුල් ලියූ ලිපියේ සඳහන් වෙනවා. කලින් දෙවිගේ නමස්කාරකයන්ව සිටි අය ගැන ඔහු පැවසුවේ මෙසේයි. ‘ක්‍රිස්තුස්ගේ වධකණුවේ සතුරන් මෙන් කටයුතු කරන බොහෝදෙනෙක් සිටිති. මම කලින් ඔවුන් ගැන බොහෝ වර සඳහන් කළ ලෙසම දැන් කඳුළු සලමින් සඳහන් කරමි. ඔවුන්ගේ අවසානය විනාශයය. ඔවුන්ගේ දෙවි වන්නේ තමුන්ගේම ශාරීරික ආශාවන්ය. ඔවුන් සිතන්නේ පොළොවේ තිබෙන දේවල් ගැන පමණි.’ (ෆිලි. 3:18, 19) කෙනෙකුගේ ශාරීරික ආශාවන් ඔහුගේ දෙවි බවට පත් විය හැක්කේ කෙසේද?

12 පෙනෙන විදිහට පාවුල් සඳහන් කළ අයගේ ජීවිතයේ මුල් තැන ගෙන තිබුණේ දෙවිට නමස්කාර කිරීමට වඩා ඔවුන්ගේ ශාරීරික ආශාවන් පිනවීමටයි. සමහර අය කෑම බීමවලට කොතරම් කෑදරකමක් දැක්වූවාද කියනවා නම් ඔවුන් ඉතාම ගිජු හා බේබදු අයව සිටියා. (හිතෝ. 23:20, 21; ද්විතීය කතාව 21:18-21 බලන්න.) මුල් සියවසේදී ධනවත් වීමට හා විනෝද වීමට තිබූ ප්‍රස්තා අල්ලාගැනීමට ඔවුන් බොහෝ කාලයක් වැය කළ නිසා දෙවිට මුළු හදවතින්ම සේවය කිරීමට ඔවුන්ට නොහැකි වුණා. ඒ හා සමානව අද ලෝකයත් දිරිගන්වන්නේ සැප පහසු ජීවිතයක් කියා ඔවුන් හඳුන්වන ආකාරයේ ජීවිතයක් ගත කිරීමටයි. නමුත් අප කෙදිනකවත් එවැනි ආශාවකට හසු නොවෙමු. එමගින් අපි මුළු හදවතින්ම දෙවිට කරන සේවය අඩාළ කර නොගන්න වගබලා ගනිමු.—කොලො. 3:23, 24.

13. (අ) තණ්හාව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? පාවුල් එය සමාන කළේ කුමකටද? (ආ) තණ්හාවෙන් වැළකී සිටීමට අපට හැක්කේ කෙසේද?

13 දෙවියෙකු බවට පත් විය හැකි තවත් දෙයක් ගැන පාවුල් සඳහන් කළේ මෙසේයි. “එබැවින්, වේශ්‍යාකම, අපවිත්‍රකම, ලිංගික තෘෂ්ණාව, අනතුරුදායක ආශා සහ රූප වන්දනාවක් වන තණ්හාව වැනි කාරණා හා බැඳි, පොළොවේ තිබෙන ඔබේ අවයව නසා දමන්න.” (කොලො. 3:5) තණ්හාව කියද්දී මූලිකවම ඉන් අදහස් වන්නේ අන් සතු දෙයක් කෙරෙහි අප තුළ ඇති වන බලවත් ආශාවයි. ඊට ධන සම්පත් අත් කරගැනීමට තිබෙන දැඩි ආශාව හෝ නුසුදුසු ලිංගික ආශාවන් ඇතුළත් වෙනවා. (නික්. 20:17) ඒ අනුව බලද්දී එවැනි වැරදි ආශාවන් රූප වන්දනාවකට හෙවත් බොරු දෙවියෙකුට නමස්කාර කිරීමකට සමාන වන බව අප බැරෑරුම්ව සැලකිය යුතුයි. එවන් ආශාවන් මර්දනය කිරීම කොතරම් අපහසු වුණත් එසේ කිරීමේ වැදගත්කම යේසුස් ඉතාම ප්‍රබල ආකාරයකින් කාවැද්දුවා.—මාක් 9:47 කියවන්න; 1 යොහ. 2:16.

වැදගැම්මකට නැති කතා ප්‍රතික්ෂේප කරන්න

14, 15. (අ) යෙරෙමියාගේ කාලයේ බොහෝදෙනෙකුගේ ඇදහිල්ලට තර්ජනයක් වූ “කිසි කමකට නැති” දේවල් මොනවාද? (ආ) මෝසෙස් පැවසූ වචන ඉතා වැදගත් වූයේ ඇයි?

14 අප ප්‍රතික්ෂේප කළ යුතු දේවලට වැදගැම්මකට නැති කතාද අයත්. ඒ බව දෙවි යෙරෙමියාට පැවසූ දෙයින් පැහැදිලි වෙනවා. “අනාගතවක්තෘවරු මගේ නාමයෙන් බොරු අනාවැකි පවසති. මා ඔවුන්ව එව්වේවත් ඔවුන්ට අණ කළේවත් ඔවුන් සමඟ කතා කළේවත් නැත. ඔවුන් ඔබට ප්‍රකාශ කරන්නේ බොරු දර්ශනයි. ඔවුහු පේන කියති. තම වංචනික සිතුවිලිවලට අනුව කිසි කමකට නැති දේවල් ඔබට ප්‍රකාශ කරති.” (යෙරෙ. 14:14NW) තමන් කතා කරන්නේ යෙහෝවා දෙවිගේ නාමයෙන් කියා පැවසුවත් එම බොරු අනාගතවක්තෘවරුන් පවසමින් සිටියේ ඔවුන්ගේම අදහස්. එමනිසා ඔවුන් පැවසූ දේවල් “කිසි කමකට නැති දේවල්” වුණා. එය අන් අයගේ ඇදහිල්ලට මහත් තර්ජනයක් එල්ල කළා. ප්‍රතිඵලයක් හැටියට ඔවුන්ට ඇහුම්කන් දුන් අය ක්‍රිස්තු පූර්ව 607දී බැබිලෝනිවරුන් අතින් මරණයට පත් වුණා.

15 ඊට වෙනස්ව මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට පැවසූ දේ බලන්න. ‘මම අද ඔබට පැවසූ හැම වචනයක්ම හොඳින් මතක තබාගන්න. එය ඔබට අනතුරු ඇඟවීමක්. මා පවසන මේ දේවල් කිසි වැදගැම්මකට නැති දේවල් කියා කෙදිනකවත් නොසිතන්න. ඔබේ ජීවිත රඳා පවතින්නේ ඒ මතයි. ඒවා ඔබ පිළිපැද්දොත් යොර්දාන් ගඟින් එගොඩ තිබෙන දේශය හිමි කරගෙන එහි බොහෝ කාලයක් ජීවත් වෙන්න ඔබට හැකි වෙයි.’ (ද්වි. 32:46, 47NW) මෝසෙස් පැවසුවේ දෙවි විසින්ම ඔහුට පැවසූ දේවලුයි. එමනිසා එම වචන ඉතාම වැදගත්කමකින් යුක්ත වුණා. ඒවා එම ජාතියේ යහපත සඳහා වූ අතර ඊට කීකරු වූ අය බොහෝ කලක් ජීවත් වෙමින් ජීවිතය සතුටින් භුක්ති වින්දා. අපිත් වැදගැම්මකට නැති කතා සැමවිටම ප්‍රතික්ෂේප කර දෙවිගේ වචනයට සැමවිටම කීකරු වෙමු.

16. විද්‍යාඥයන් දෙවිගේ වචනයට වෙනස් අදහස් පළ කරන විට අප ඒ ගැන බාධාවට පත් නොවිය යුත්තේ ඇයි?

16 අද දිනත් වැදගැම්මකට නැති කතා අපට අසන්න ලැබෙනවාද? ඔව්. උදාහරණයකට, පරිණාමවාදය ඔප්පු කිරීමට උත්සාහ කරන විද්‍යාඥයන් පවසන්නේ සෑම දෙයක්ම ඉබේ බිහි වී ඇති නිසා අප දෙවි කෙනෙකුව විශ්වාස කිරීමට අවශ්‍ය නැති බවයි. අප එවැනි කතාවලින් බාධාවට පත් විය යුතුද? කොහෙත්ම නැහැ. ඊට හේතුව නම් දෙවිගේ ප්‍රඥාව මිනිසුන්ගේ ප්‍රඥාවට වඩා බොහෝ උසස් නිසයි. (1 කොරි. 2:6, 7) මිනිසුන්ගේ ඉගැන්වීම් දෙවි උගන්වන දේවල් සමඟ ගැටෙන සෑම අවස්ථාවකදීම නිවැරදි වන්නේ දෙවි උගන්වන දේවලුයි. (රෝම 3:4 කියවන්න.) විද්‍යාවේ දියුණුවෙන් මිනිසුන් කොතෙකුත් දේවල් සොයාගෙන තිබුණත් මිනිස් ප්‍රඥාව ගැන බයිබලයේ පවසන මෙම දෙය කවදත් සත්‍යයයි. “මේ ලෝකයේ ප්‍රඥාව දෙවි ඉදිරියෙහි මෝඩකමකි.” (1 කොරි. 3:18-20) දෙවිගේ අසීමිත වූ ප්‍රඥාව සමඟ බලද්දී මිනිසුන්ගේ ප්‍රඥාව ඉතාම අල්පයි.

17. ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල නායකයන්ගේ හා ඇදහිල්ල අත්හළ අයගේ කතා අප සැලකිය යුත්තේ කෙසේද?

17 කිසි වැදගැම්මකට නැති කතා ඇසෙන තවත් ආකාරයක් බලන්න. ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල නායකයන් පවසන බොහෝ දේවල් බයිබල් ඉගැන්වීම්වලට පටහැනි වන නිසා ඒවා කිසි වැදගැම්මකට නැති කතායි. එවැනි කතා ඇදහිල්ල අත්හළ අයගෙන්ද අසන්න ලැබෙනවා. ඔවුන් සිතන්නේ තමන් ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට’ වඩා ප්‍රඥාවන්තයි කියායි. (මතෙ. 24:45-47) ඒ කෙසේවෙතත්, ඔවුන් කතා කරන්නේ ඔවුන්ගේම ප්‍රඥාවට එකඟව මිස දෙවිගේ ප්‍රඥාවට එකඟව නොවෙයි. එමනිසා ඔවුන්ට ඇහුම්කන් දෙන අයගේ ඇදහිල්ල තිබෙන්නේ ඉතාම අනතුරකයි. (ලූක් 17:1, 2) එසේනම් අපට එවැනි කතාවලින් මුළා නොවිය හැක්කේ කෙසේද?

වැදගැම්මකට නැති කතා හෙළාදකිමු

18. පළමුවන යොහන් 4:1හි සඳහන් උපදෙස අපට අදාළ කරගත හැක්කේ කෙසේද?

18 යොහන් ඒ සම්බන්ධයෙන් කදිම උපදෙසක් දුන්නා. (1 යොහන් 4:1 කියවන්න.) ඊට එකඟව සේවයේ දී හමු වන අයට අප උනන්දු කරන්නේ ඔවුන් ඉගෙනගෙන තිබෙන දේ බයිබලයට එකඟද කියා පරීක්ෂා කර බලන්න කියායි. එම ප්‍රමිතියම අපටත් අදාළයි. මේ ගැන සිතන්න. යම් කෙනෙක් බයිබල් සත්‍යයට පටහැනි යමක් පවසන විට එසේත් නැත්නම් අපගේ සභාවට, වැඩිමහල්ලන්ට හෝ අපගේ සහෝදරයන්ට විරුද්ධව දේවල් පවසන විට අප ඒවා වගවිභාගයකින් තොරව විශ්වාස කරන්නේ නැහැ. එවැනි අවස්ථාවලදී මෙසේ සිතා බලන්න අපට පුළුවන්. “මේ තැනැත්තා අන් අයගේ වැරදි කියමින් කරන මේ දෙය බයිබල් ප්‍රතිපත්තිවලට එකඟද? ඔහු කරන දේ දෙවිගේ නමස්කාරයේ වැඩිදියුණුවට දායක වෙනවාද? එමගින් සභාවේ සාමය තව වැඩි වෙනවාද?” එවැනි කතා අප සහෝදරයන් අතර පවතින එක්සත්කම වැඩි කරනවා වෙනුවට එය බිඳ හෙළනවා නම් එවැනි ඕනෑම ආකාරයේ කතාවක් කිසි වැදගැම්මකට නැති බව මතක තබාගනිමු.—2 කොරි. 13:10, 11.

19. වැදගැම්මකට නැති කතාවලින් වැළකී සිටීමට වැඩිමහල්ලන් වගබලා ගන්නේ කෙසේද?

19 වැදගැම්මකට නැති කතාවලින් වැළකී සිටීම සම්බන්ධයෙන් වැඩිමහල්ලන්ටද යමක් ඉගෙනගත හැකියි. ඔවුන් අන් අයට උපදෙස් දෙන විට තමන්ගේ දැනුම සීමිත බව මතකයේ තබාගැනීම වැදගත්. ඔවුන් තමන්ගේ අද්දැකීම් පමණක් පදනම් කරගෙන උපදෙස් දීමෙන් වැළකිය යුතුයි. ඒ වෙනුවට ඔවුන් සැමවිටම බයිබලය මත පදනම් උපදෙස් ලබා දීමට උත්සාහ කළ යුතුයි. “ලියා තිබෙන දේ ඉක්මවා නොයන්න” කියා පාවුල් පැවසූ දෙයින් ඉතාමත් කදිම ප්‍රතිපත්තියක් පැහැදිලි වෙනවා. (1 කොරි. 4:6) ඒ අනුව වැඩිමහල්ලන් බයිබල් උපදෙස්වලට ඉහළින් යන්නේ නැහැ. එමෙන්ම ඔවුන් බයිබලය හා ඒ මත පදනම්ව විශ්වාසවන්ත හා නුවණ ඇති දාසයා දී ඇති උපදෙස්වලට පටහැනිව කටයුතු කරන්නේ නැහැ.

20. වැදගැම්මකට නැති දේවල් ප්‍රතික්ෂේප කිරීම සඳහා උපකාර ලබාගත හැක්කේ කෙසේද?

20 මෙතෙක් අප සලකා බැලූ ලෙස බොරු දෙවිවරුන්, කිසි වැදගැම්මකට නැති කතා වැනි දේවල් අපට ඉතාමත් හානිකරයි. එමනිසා ඒවා හඳුනාගෙන ප්‍රතික්ෂේප කිරීමට උපකාර ඉල්ලා අප නිතරම දෙවිට යාච්ඤා කළ යුතුයි. ගීතිකාකරු මෙන් අපටත් මෙසේ අයැදිය හැකියි. “කිසි වැදගැම්මකට නැති දේවල් දකින්න මට ඉඩ නොදෙන්න. මාගේ දිවි රැකෙන පිණිස ඔබේ මාවතේ මාව ගෙන යන්න.” (ගීතා. 119:37NW) මීළඟ ලිපියෙන් අපි සලකා බලන්නේ දෙවිගේ මඟ පෙන්වීම් පිළිගැනීමේ ඇති ප්‍රයෝජන ගැනයි.

ඔබට මතකද?

• පොදුවේ ගත් කළ වැදගැම්මකට නැති දේවල් කියා පැවසිය හැක්කේ කුමකටද?

• “මුදල” අපගේ දෙවි බවට පත්වීමට ඉඩ නොදිය හැක්කේ කෙසේද?

• මාංසික ආශාවන් රූප වන්දනාවක් බවට පත් විය හැක්කේ කෙසේද?

• වැදගැම්මකට නැති කතා ප්‍රතික්ෂේප කළ හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[3වන පිටුවේ පින්තූරය]

ඊශ්‍රායෙල්වරුන්ට දිරිගන්වනු ලැබුවේ වැදගැම්මකට නැති දේවල් ලුහුබඳිනවා වෙනුවට ඔවුන්ගේ ‘ඉඩම්වල වගා කරන’ ලෙසයි

[5වන පිටුවේ පින්තූරය]

දෙවිට ඔබ කරන සේවය අඩාළ කිරීමට ධන සම්පත්වලට තිබෙන ආශාවට කිසි විටකත් ඉඩ නොදෙන්න

[6වන පිටුවේ පින්තූරය]

වැඩිමහල්ලන් දෙන මඟ පෙන්වීම් ඉතා වැදගත්කමෙන් යුක්තයි