Skip to content

පටුනට යන්න

විවාහය හා දරුවන් ඇති දැඩි කිරීමේ වගකීම බැරෑරුම්ව සලකන්න

විවාහය හා දරුවන් ඇති දැඩි කිරීමේ වගකීම බැරෑරුම්ව සලකන්න

විවාහය හා දරුවන් ඇති දැඩි කිරීමේ වගකීම බැරෑරුම්ව සලකන්න

“ඇත්තේ තව කෙටි කාලයකි.”—1 කොරි. 7:29.

1. (අ) “කටයුතු කිරීමට අසීරු” කරවන එක් තත්වයක් සඳහන් කරන්න. (ආ) ඒ ගැන අප විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ ඇයි?

අප ජීවත් වන මේ “අවසාන කාලය” තුළදී යුද්ධ, භූමිකම්පා, සාගත හා වසංගත සිදු වන බව බයිබලයේ කලින්ම පවසා තිබෙනවා. (දානි. 8:17, 19, නව ලොව පරිවර්තනය, NW; ලූක් 21:10, 11) එමෙන්ම මෙම කැලඹිලි සහිත කාලය තුළදී මිනිස් සමාජයද විවිධ වෙනස්කම්වලට භාජන වන බවද එහි අනතුරු අඟවා තිබෙනවා. පවුල් ජීවිත තුළ බොහෝ අවුල්සහගත තත්වයන් හටගැනීමත් ‘කටයුතු කිරීමට අසීරු මෙම අන්තිම දවස්වල’ අංගයක් බවද බයිබලයේ සඳහන් වෙනවා. (2 තිමෝ. 3:1-4) එවැනි වෙනස්කම් ගැන ක්‍රිස්තියානීන් වන අප විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ ඇයි? එම සිදුවීම් ඉතාම හානිකර මෙන්ම දසත පැතිරී ඇති නිසා එය අපගේ විවාහ ජීවිතයට මෙන්ම දරුවන් ඇති දැඩි කිරීමේදීද බලපෑ හැකි නිසයි. ඒ කුමන පැතිවලින්ද?

2. අද දින බහුතරයක් විවාහය හා දික්කසාදය සලකන්නේ කෙසේද?

2 විශාල අභියෝගයකට මුහුණ පා තිබෙන විවාහය ගැන අපි මුලින්ම සලකා බලමු. සුළු කාරණයකට වුවත් දික්කසාද වීම අද දින බහුලව දකින්න ලැබෙනවා. ඒ නිසා බොහෝ රටවල දික්කසාද වීම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ඒ කෙසේවුවත් යෙහෝවා දෙවි විවාහය හා දික්කසාදය සලකන්නේ මේ ලෝකයට වඩා වෙනස් ආකාරයටයි. එසේනම් දෙවි එය සලකන්නේ කෙසේද කියා දැන් අපි සලකා බලමු.

3. දෙවි හා යේසුස් විවාහය සලකන්නේ කෙසේද?

3 විවාහ යුවළයන් තම විවාහ පොරොන්දුවට විශ්වාසවන්තව සිටීම දෙවි අපේක්ෂා කරනවා. දෙවි මුල් විවාහය සිදු කරද්දී මෙවැනි දෙයක් පැවසුවා. ‘මිනිසෙකු තම බිරිඳට ඇලුම් විය යුතු අතර ඔවුන් එක මාංසයක් විය යුතුය.’ එම වචන තහවුරු කරමින් පසු කලෙක යේසුස්ද පැවසුවේ “එහෙයින් දෙවි එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකෙරේවා!” කියායි. තවදුරටත් ඔහු පැවසුවේ මෙසේයි. “වේශ්‍යාකම නිසා මිස වෙන හේතුවකට තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්න කවරෙක් නමුත් පරදාර සේවනයේ යෙදෙන්නේය.” (උත්. 2:24NW; මතෙ. 19:3-6, 9) ඉන් පැහැදිලි වන්නේ විවාහකයන් තම විවාහ බැඳීම ජීවිතාන්තය දක්වාම පවත්වාගත යුතු බවයි. එම බැඳීම අවසන් වන්නේ දෙදෙනාගෙන් කෙනෙකු මිය ගියොත් පමණයි. (1 කොරි. 7:39) විවාහය දෙවි ඉදිරියේ පරිශුද්ධ දෙයක් නිසා දික්කසාද වීම සැහැල්ලුවට ගැනීමෙන් වැළකිය යුතුයි. එමෙන්ම ශුද්ධ ලියවිලිමය පදනමක් නැතුව සිදු කරන දික්කසාදයන් දෙවි තරයේ හෙළාදකින බව මතක තබාගත යුතුයි. *මලාකි 2:13-16; 3:6 කියවන්න.

විවාහයට ගරු කරන්න

4. ඉක්මන් වී විවාහ වීම ගැන බොහෝ යෞවනයන් පසුව ඒ ගැන පසුතැවෙන්නේ ඇයි?

4 අද අප ජීවත් වන්නේ කාමුකත්වයෙන් උමතු වූ ලෝකයකයි. එමෙන්ම කාමුක හැඟීම් අවුස්සන දර්ශන හා රූප සෑම තැනකම පාහේ දකින්න තිබෙනවා. ඉන් අපේ මනසට සිදු වන හානිය කොහෙත්ම අවතක්සේරු කරන්න බැහැ. එයින් විශේෂයෙන්ම බලපෑමට ලක් වන්නේ අපගේ යෞවනයනුයි. එවැනි ලිංගික හැඟීම් අවුස්සන දූෂිත බලපෑම්වලට විරුද්ධ වීමට ක්‍රිස්තියානි යෞවනයෙකුට හැක්කේ කෙසේද? ඊට විසඳුමක් ලෙස සමහර අය අඩු වයසෙන් විවාහ වීමට තීරණය කරනවා. එය ලිංගික දුරාචාරයෙන් වැළකීමට මඟක් කියා ඔවුන් සිතනවා. නමුත් එසේ විවාහ වූ බොහෝ යෞවනයන් වැඩි කල් යන්න කලින් ඔවුන් ගත් තීරණය ගැන පසුතැවෙනවා. ඒ ඇයි? දෙදෙනා විවාහ වීමට කලින් මැවූ ඒ සිහින ලෝකය විවාහ වී වැඩි කල් යන්න කලින් බොඳ වී යන අතර දෙදෙනාගේ අදහස් එකිනෙකට බොහෝ වෙනස් බව තේරුම්ගන්න පටන්ගැනීම නිසයි. එවැනි විවාහකයන් බරපතළ අභියෝගවලට මුහුණ දීම පුදුමයක් නොවෙයි.

5. තම විවාහ පොරොන්දුවට විශ්වාසවන්තව සිටීමට උපකාරවත් වන්නේ කුමක් මතක තබාගැනීමද? (පාද සටහනද බලන්න)

5 කෙනෙක් එසේ විවාහ වුණේ ක්‍රිස්තියානිවරයෙකු සමඟ වුණත් එම තැනැත්තා තමන් බලාපොරොත්තු වූවාට වඩා බොහෝ වෙනස් කෙනෙකු නම් එවැනි විවාහ ජීවිතයක් ගත කිරීම දුෂ්කර දෙයක් වනවාට සැකයක් නැහැ. (1 කොරි. 7:28) එය කොතරම් දුෂ්කර වුණත් මෙහිදී ක්‍රිස්තියානීන් මතක තබාගත යුතු වැදගත් දෙයක් තිබෙනවා. එනම් බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි දික්කසාදයක් ඊට විසඳුම නොවන බවයි. ඒ නිසා තම විවාහ පොරොන්දුවට විශ්වාසවන්තව ඇලී සිටීම සඳහා එවැනි අය දැඩි වෑයමක් දරනවා. එසේ වෑයම් කරන අය සභාවේ සාමාජිකයන්ගේ ප්‍රේමණීය උපකාරය මෙන්ම ප්‍රශංසාව ලැබීමටද වටිනවා. *

6. විවාහ වීම සම්බන්ධයෙන් ක්‍රිස්තියානි යෞවනයෙකුට තිබිය යුතු ආකල්පය කුමක්ද?

6 ඔබ තනිකඩ යෞවනයෙක්ද? විවාහ වීම සම්බන්ධයෙන් ඔබට තිබිය යුතු ආකල්පය කුමක්ද? සභාවේ කෙනෙකු සමඟ ප්‍රේම සබඳතාවක් පටන්ගෙන ඉක්මන් වී විවාහ වීමෙන් ඇති වන දැඩි සිත් වේදනා මඟහැරීමට ඔබට හැක්කේ කෙසේද? විවාහ වීමට කලින් ඒ සඳහා ඔබ සුදුසු වයසක සිටිය යුතුයි. එපමණක් නොව පුළුල්ව සිතා බලා ඥානවන්ත තීරණ ගැනීමට හැකි මෙන්ම ඔබ විවිධ තත්වයන්වලදී බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත හැකි තරම් අවබෝධයක් තිබෙන කෙනෙක්ද විය යුතුයි. විවාහ වීම සඳහා නිශ්චිත වයසක් බයිබලයේ සඳහන් කර නැහැ. * කෙසේවෙතත් ලිංගික හැඟීම් ප්‍රබලව පවතින අවදිය පසු වන තුරු සිටිය යුතු බව බයිබලය පෙන්වා දෙනවා. (1 කොරි. 7:36) ඊට හේතුව කුමක්ද? එම කාලයේ ලිංගික හැඟීම් ප්‍රබල වන නිසා පැහැදිලිව සිතා නිවැරදි තීරණයක් ගැනීමට යෞවනයෙකුට ඇති හැකියාව අන්ධ කළ හැකියි. එහි ප්‍රතිඵලය නම් දැඩි සිත් වේදනාවකට මුහුණ දීමයි. එමනිසා විවාහය සම්බන්ධයෙන් දෙවි ලබා දෙන උපදෙස් සැමවිටම පිළිපදින්න. එය ඔබේ ප්‍රයෝජනයට බවත් ඉන් සන්තෝෂය අත් වන බවත් මතක තබාගන්න.—යෙසායා 48:17, 18 කියවන්න.

දරුවන් ඇති දැඩි කිරීමේ වගකීම

7. සමහර යෞවන විවාහක යුවළයන් අද්දකින තත්වය කුමක්ද? මෙය ඔවුන්ගේ විවාහයට බලපෑ හැක්කේ කෙසේද?

7 අඩු වයසින් විවාහ වන සමහර යුවළයන්ට මුහුණ දීමට සිදු වන අභියෝග ගැන දැන් අපි සලකා බලමු. උදාහරණයකට දෙදෙනා හරි හැටි හඳුනාගන්නවත් කාලයක් යෑමට පෙර දරුවෙක් ලැබෙන්න සිටිනවා යයි සිතන්න. මවක් දරුවෙකුට පැය 24ම අවධානය ලබා දීම සාමාන්‍ය දෙයක්. එමනිසා යෞවන ස්වාමිපුරුෂයාට ඒ ගැන යම් ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. එමෙන්ම සමහරවිට දරුවා වෙනුවෙන් දෙදෙනාටම රෑ නිදිමරන්නත් සිදු වෙනවා. එයින් ඇති වන විඩාව නිසා ඔවුන්ට විශාල පීඩනයක් ඇති වෙන්නත් පුළුවන්. මේ සියලු දේවල් නිසා ඔවුන්ට කලින් තිබූ නිදහස බොහෝ සේ අඩු වී ඇති බව දැනෙන්නද පුළුවන්. දැන් ඔවුන් මුහුණ දී සිටින තත්වය යටතේ ඔවුන් කටයුතු කළ යුත්තේ කෙසේද?

8. දෙමාපියන් වීමේ වගකීම ක්‍රිස්තියානි යුවළක් සැලකිය යුත්තේ කෙසේද? ඒ ඇයි?

8 දෙමාපියෙකු වීම අප සැලකිය යුත්තේ දෙවිගෙන් ලැබුණු වගකීමක් හා වරප්‍රසාදයක් හැටියටයි. මෙම අලුත් සාමාජිකයාගේ පැමිණීමත් සමඟ කුමනාකාර සකස් කිරීම් කරන්න සිදු වුණත් ඒ හැම දෙයක්ම දෙවි ඉදිරියේ වගකීමෙන් යුතුව ඉටු කරන්න ක්‍රිස්තියානි යුවළයන් වගබලා ගැනීම අවශ්‍යයි. දරුවන් බිහි කිරීම දෙවිගෙන් ලද හැකියාවක් නිසා ඔවුන්ගේ දරුවා ‘යෙහෝවා දෙවිගෙන් ලැබෙන උරුමයක්’ සේ සැලකීම අවශ්‍යයි. (ගීතා. 127:3NW) එමනිසා ක්‍රිස්තියානි මවක් හා පියෙක් තම දරුවාව රැකබලා ගැනීම සලකන්නේ ‘ස්වාමීන් තුළ දෙමාපියන්ට’ දී තිබෙන වගකීමක් ලෙසයි.—එෆී. 6:1.

9. (අ) දරුවෙකුව ඇති දැඩි කිරීමට අයත් වන්නේ කුමක්ද? (ආ) තම භාර්යාවගේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීම සඳහා ස්වාමිපුරුෂයෙකුට කුමක් කළ හැකිද?

9 දරුවෙකු ඇති දැඩි කිරීම සඳහා අවුරුදු ගණනාවක් පුරා බොහෝ කැප කිරීම් කරන්න දෙමාපියන්ට සිදු වෙනවා. ඊට කාලය වගේම ශ්‍රමයද බොහෝ සෙයින් වැය වෙනවා. දරුවා ඉපදී අවුරුදු කිහිපයක් යන තෙක්ම තම භාර්යාවට රැස්වීම්වලට හොඳ අවධානයක් දීමට නොහැකි විය හැකි අතර පෞද්ගලික බයිබල් අධ්‍යයනය හා ඒ ගැන ගැඹුරින් සිතා බැලීම වැනි දේ බොහෝදුරට අතපසු විය හැකි බව ස්වාමිපුරුෂයෙක් තේරුම්ගැනීම අවශ්‍යයි. ඒ කාලය තුළදී ඇයගේ ඇදහිල්ලද යම් ප්‍රමාණයකට දුර්වල විය හැකියි. එමනිසා භාර්යාවට එම කටයුතුවල යෙදීමට හැකි වන පරිදි දරුවාව බලාගැනීම වැනි දේවල් කිරීමට ස්වාමිපුරුෂයාද හැකි සෑමවිටම ඉදිරිපත් වෙනවා. තවදුරටත් භාර්යාවට රැස්වීම් අතපසු වේ නම් එහිදී ඉගෙනගත් කරුණු නිවසේදී ඇය සමඟ සාකච්ඡා කිරීමත් යහපත් දෙයක්. එමෙන්ම ඇයට දේශනා සේවයේ හවුල් වීම සඳහා දරුවාව බලාගැනීමෙන් ඇයට උපකාර කරන්නද ඔහුට හැකියි.—ෆිලිප්පි 2:3, 4 කියවන්න.

10, 11. (අ) “දෙවි සිතන ආකාරයට සිතන්න” දරුවන්ට ඉගැන්විය හැක්කේ කෙසේද? (ආ) දෙමාපියන් බොහෝදෙනෙක් අපගේ ප්‍රශංසාව ලැබීමට වටින්නේ ඇයි?

10 දරුවන්ව ඇති දැඩි කිරීම යන්නෙන් අදහස් කරන්නේ ඔවුන්ට කෑම බීම, ඉඳුම් හිටුම් ලබා දීම පමණක්ම නොවෙයි. තවත් ඉතා වැදගත් දෙයක් ලබා දීම අවශ්‍යයි. එනම් මෙම අවසාන කාලයේ දෙවිගේ සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට ඔවුන්ට ළාබාල වයසේ සිටම ඉගැන්වීමයි. ඉන් අදහස් කරන්නේ දරුවන්ව “යෙහෝවා දෙවිගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද” ඇති දැඩි කිරීමයි. (එෆී. 6:4) එසේ කිරීමට නම් දෙවි “සිතන ආකාරයට සිතන්න” පුහුණු කළ යුතුයි. දෙමාපියන් එසේ කිරීමට පටන්ගත යුත්තේ දරුවන්ගේ ළදරු වියේදීම වන අතර ඔවුන්ගේ යෞවන කාලය පුරාමද එසේ කළ යුතුයි.—2 තිමෝ. 3:14, 15.

11 “සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න” කියා පවසද්දී යේසුස් දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වුණේ කුමක්ද කියා පැහැදිලියි. එනම් ඔවුන් මූලිකවම තම දරුවන්ට යේසුස්ගේ ගෝලයෙක් වීමට උපකාර කළ යුතු බවයි. (මතෙ. 28:19, 20) මේ දුෂ්ට ලෝකයෙන් යෞවනයන් මත එල්ල වන පීඩනය නිසා එය දෙමාපියන්ට විශාල අභියෝගයක්. නමුත් දෙවිට කැප වී සේවය කිරීම සඳහා තම දරුවන්ට උපකාර කළ දෙමාපියන් බොහෝමයක් සිටිනවා. ඔවුන් අප සියලුදෙනාගේ ප්‍රශංසාව ලැබීමට වටිනවා. එමෙන්ම ඔවුන් දෙමාපියන් හැටියට ඇදහිලිවන්තව හා විශ්වාසවන්තව කටයුතු කිරීම නිසා මේ ලෝකයෙන් “ජය ගෙන” තිබෙනවා.—1 යොහ. 5:4.

දේවසේවය වෙනුවෙන් වැඩි කාලයක්

12. සමහර ක්‍රිස්තියානීන් යම් කලකට තනිකඩව සිටින්න තීරණය කරන්නේ ඇයි?

12 ‘මේ ලෝකයේ ස්වභාවය වෙනස් වෙමින් පවතින’ නිසාත් ‘ඇත්තේ තව කෙටි කාලයක්’ නිසාත් බයිබලයේ අපට උනන්දු කරන්නේ තනිකඩව සිටීමේ ඇති ප්‍රයෝජන ගැන කල්පනා කර බලන්න කියායි. (1 කොරි. 7:29-31) එම උපදෙසට එකඟව සමහර ක්‍රිස්තියානීන් දිගටම තනිකඩභාවයෙන් සිටීමට හෝ විවාහය යම් කලකට කල් දැමීමට තීරණය කර තිබෙනවා. නමුත් තනිකඩව සිටින එම කාලය වැරදි ආශාවන් ඉෂ්ට කරගැනීම සඳහා ඔවුන් යොදාගන්නේ නැහැ. එය ප්‍රශංසාවට කරුණක්. ඒ වෙනුවට බොහෝදෙනෙක් එම කාලයේදී ‘සිත වෙනතකට යොමු නොකර’ දෙවිට සේවය කරනවා. (1 කොරින්ති 7:32-35 කියවන්න.) ඔවුන්ගෙන් සමහරෙක් පුරෝගාමීන් හෝ බෙතෙල් සේවකයන් හැටියට සේවය කරනවා. තවත් සමහරුන් දේවසේවා පුහුණු පාසැල මගින් කදිම පුහුණුවක් ලබා තිබෙනවා. ඒ තුළින් යෙහෝවා දෙවිගේ සංවිධානයේ විවිධ ආකාරවලින් සේවය කිරීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. එලෙස පූර්ණකාලීනව යම් කාලයක් සේවය කිරීමෙන් පසු ඔවුන් විවාහ වීමට තීරණය කරන්න ඉඩ තිබෙනවා. ඔවුන් තනිකඩව සිටියදී ලැබූ ඒ පුහුණුව තම විවාහ ජීවිතයටද මහත් සේ ප්‍රයෝජනවත් බව ඔවුන් අද්දකිනවා.

13. සමහර ක්‍රිස්තියානීන් දරුවන් නොමැතිව සිටීමට තීරණය කරන්නේ ඇයි?

13 සමහරුන් විවාහ වුවද දරුවන් නැතිව සිටීමට තීරණය කරනවා. ඊට ආර්ථික ගැටලු හේතු විය හැකි අතර තවත් අය එසේ කරන්නේ වැඩි මුදලක් උපයන රැකියාවක් සඳහා කාලය යෙදවීමට අවශ්‍ය නිසයි. ක්‍රිස්තියානීන් අතර සිටින විවාහකයන්ද දරුවන් නැතිව සිටීමට තීරණය කරනවා. ඔවුන් බොහෝවිට එසේ කරන්නේ දෙවිට වැඩිපුර සේවයක් කිරීම සඳහායි. දරුවන් සිටීම ප්‍රීතියට හේතුවක් වුණත් ඔවුන් කැමැත්තෙන්ම එය කැප කර තිබෙන්නේ දේවසේවයට මුල් තැන දීම සඳහායි. (1 කොරි. 7:3-5) එවැනි යුවළයන් සංචාරක හෝ බෙතෙල් සේවයේද හවුල් වෙනවා. තවත් අය පුරෝගාමීන් හා මිෂනාරිවරුන් හැටියට සේවය කරනවා. මෙසේ ඔවුන් දෙවි වෙනුවෙන් කරන සේවය හා දෙවිට දක්වන ප්‍රේමය ඔහු කිසි විටකත් අමතක කරන්නේ නැහැ.—හෙබ්‍රෙ. 6:10.

‘මාංසයෙහි දුක’

14, 15. දෙමාපියන්ට මුහුණ දීමට සිදු විය හැකි “මාංසයෙහි දුක්” මොනවාද?

14 විවාහක ක්‍රිස්තියානීන්ට “මාංසයෙහි දුක්” ඇති වන බව පාවුල් පැවසුවා. (1 කොරි. 7:28) ඊට ඔවුන් මෙන්ම ඔවුන්ගේ දරුවන් හා මහලු දෙමාපියන් අද්දකින අසනීප අයත් වෙනවා. ඊට අමතරව තම දරුවන්ව ඇති දැඩි කිරීමේදී හා පුහුණු කිරීමේදී දෙමාපියන් අද්දකින දුෂ්කරතා මෙන්ම සිත් වේදනාද ඊට ඇතුළත්. ඊට හේතුව වන්නේ අප සියලුදෙනාම ‘අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු කාලවල්වලට’ මුහුණ දෙන නිසයි. දරුවන් ‘දෙමාපියන්ට අකීකරු වීම’ මේ කාලයේදී දකින්න තිබෙන විශේෂ ලක්ෂණයක්.—2 තිමෝ. 3:1-3.

15 මෙවැනි ‘අසීරු කාලවලදී’ දරුවන්ව පුහුණු කිරීම ක්‍රිස්තියානි දෙමාපියන්ට විශාල අභියෝගයක්. මේ දුෂ්ට සමාජයේ බලපෑම්වලින් තම දරුවන්ව ආරක්ෂා කරගැනීමට නම් ඔවුන් නිරන්තර උත්සාහයක යෙදිය යුතුයි. (එෆී. 2:2, 3) ඒ වුණත් ඔවුන් අසාර්ථක වන අවස්ථාද තිබෙනවා. උදාහරණයකට, තම දුව හෝ පුතා ක්‍රිස්තියානි මාර්ගයේ පුහුණු කිරීමට කොතරම් වෙහෙසක් දරා තිබුණත් අවසානයේදී ඔවුන් දෙවිට සේවය කිරීම නතර කර දමන්න ඉඩ තිබෙනවා. එය ඇත්තෙන්ම දෙමාපියන්ට ‘මාංසයෙහි දුකක්.’—හිතෝ. 17:25NW.

“මහත් පීඩාවක් එවිට වන්නේය”

16. යේසුස් සඳහන් කළ ‘පීඩාව’ කුමක්ද?

16 විවාහයේදී හා දරුවන් ඇති දැඩි කිරීමේදී මාංසයේ ‘දුක්වලට’ නැතහොත් පීඩාවලට මුහුණ දීමට සිදු වෙනවා. නමුත් ඉතාම ළඟදී අප සියලුදෙනාම ඊටත් වඩා මහත් පීඩාවකට මුහුණ දීමට නියමිතයි. ඒ ගැන යේසුස් කලින්ම පැවසුවේ මෙසේයි. “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ, නැවත නොවන්නාවූ මහත් පීඩාවක් එවිට වන්නේය.” (මතෙ. 24:3, 21) එම ‘මහත් පීඩාවෙන්’ බේරී ජීවත් වන මහත් සමූහයක් ගැනද යේසුස් සඳහන් කළා. කෙසේනමුත් ඊට පෙර සාතන් තම මුළු වැර යොදා දෙවිගේ සෙනඟට විරුද්ධව සටන් කරන බව බයිබලයේ සඳහන් වෙනවා. බාල, මහලු අප සියලුදෙනාටම මෙය ඉතාම දුෂ්කර කාලයක් වන්නේ ඒ නිසයි.

17. (අ) අනාගතය ගැන අප කනස්සලු නොවිය යුත්තේ ඇයි? (ආ) විවාහය හා දරුවන් ඇති දැඩි කිරීම සම්බන්ධයෙන් මේ කාලයේදී අප කුමක් කිරීමට උත්සාහ කළ යුතුද?

17 කෙසේවෙතත් අප අනාගතය පිළිබඳ අනවශ්‍ය ලෙස කනස්සලු විය යුතු නැහැ. විශේෂයෙන්ම දෙමාපියන් දෙවිට ඇදහිලිවන්තව සිටිනවා නම් තම දරුවන්ද සත්‍යය මාර්ගයේ ගමන් කරයි කියා බලාපොරොත්තු විය හැකියි. (යෙසායා 26:20, 21 කියවන්න; ශෙප. 2:2, 3; 1 කොරි. 7:14) මේ දුෂ්ට සමාජය අවසන් වීමට තව ඇත්තේ ඉතාම කෙටි කාලයයි. ඒ වන තෙක් විවාහය හා දරුවන් ඇති දැඩි කිරීම සම්බන්ධයෙන් මේ ලෝකයේ ආකල්පවලින් හා බලපෑම්වලින් ආරක්ෂා වීමට අප සැලකිලිමත් විය යුතුයි. (2 පේතෘ. 3:10-13) අප තනිකඩ අය හෝ විවාහකයන් වේවා දරුවන් සිටින හෝ දරුවන් නොමැතිව සිටීමට තීරණය කර ඇති අය වේවා මේ අවසාන කාලයේදී අවදියෙන් සිටීම මගින් යෙහෝවා දෙවිටත් සභාවටත් ප්‍රශංසාව ගෙන දීමට අපි දැඩි උත්සාහයක් දරමු.

[පාදසටහන්වල]

^ 3 ඡේ. Live With Jehovah’s Day in Mind නමැති පොතේ 125වන පිටුවේ ඇති “He Has Hated a Divorcing” යන උපමාතෘකාව යටතේ බලන්න.

^ 5 ඡේ. තම විවාහයේ ගැටලු විසඳාගැනීමට වෑයම් කරන අයට 2003 සැප්තැම්බර් 15 මුරටැඹ හා 2001 ජනවාරි 8 පිබිදෙව්! කලාපවල විවාහය සම්බන්ධයෙන් පළ වූ ලිපිවල තොරතුරු සලකා බැලීම මහත් උපකාරයක් විය හැකියි.

^ 6 ඡේ. යෞවනයන් අසන ප්‍රශ්න— ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු යන පොතේ 30වන පරිච්ඡේදයේ සඳහන් “මා විවාහයට සූදානම්ද?” නමැති ලිපිය බලන්න.

ඔබට මතකද?

• යෞවන ක්‍රිස්තියානීන් විවාහ වීමට ඉක්මන් නොවිය යුත්තේ ඇයි?

• දරුවෙකුව ඇති දැඩි කිරීමට අයත් වන්නේ කුමක්ද?

• බොහෝ ක්‍රිස්තියානීන් තනිකඩව සිටීමට හෝ විවාහ වුවත් දරුවන් නොමැතිව සිටීමට තීරණය කරන්නේ ඇයි?

• ක්‍රිස්තියානි දෙමාපියන්ට මුහුණ දීමට සිදු විය හැකි “දුක්” මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි යෞවන යෞවනියන් විවාහ වීමට සුදුසු වයස පැමිණෙන තෙක් සිටීම ඥානවන්ත දෙයක් වන්නේ ඇයි?

[18වන පිටුවේ පින්තූරය]

තම බිරිඳට ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල හවුල් වීම සඳහා උපකාර කිරීමට ස්වාමිපුරුෂයාට හැකියි

[19වන පිටුවේ පින්තූරය]

සමහර ක්‍රිස්තියානි යුවළයන් දරුවන් නොමැතිව සිටීමට තීරණය කරන්නේ ඇයි?