Skip to content

පටුනට යන්න

අප අන් අයට සැලකිය යුත්තේ කෙසේද?

අප අන් අයට සැලකිය යුත්තේ කෙසේද?

අප අන් අයට සැලකිය යුත්තේ කෙසේද?

“අනුන් ඔබට කරනවාට කැමති දේ, එලෙසින්ම ඔබත් ඔවුන්ට කරන්න.”—ලූක් 6:31.

1, 2. (අ) කන්ද උඩ දේශනාව යනු කුමක්ද? (ආ) මෙම ලිපි දෙක තුළ අප සාකච්ඡා කරන්නේ කුමක් ගැනද?

“කිසි කලක කිසිම මිනිසෙකු මේ වගේ නම් කතා කළේ නැත.” එසේ පැවසුවේ වරක් යේසුස්ව අත්අඩංගුවට ගැනීමට ගිය නිලධාරීන් පිරිසක් විසිනුයි. යේසුස්ගේ ඉගැන්වීම් එතරම්ම ප්‍රබල වූ නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමට ඔවුන්ට ධෛර්යයක් තිබුණේ නැහැ. (යොහ. 7:32, 45, 46) ඒ අවස්ථාවේදී හා වෙනත් අවස්ථාවලදී යේසුස් ඉගැන්වූ දේවල් බොහෝමයක් බයිබලයේ අඩංගුයි. යේසුස්ගේ ශ්‍රේෂ්ඨතම ඉගැන්වීම් කන්ද උඩ දේශනාවේ ඇතුළත්. එය මතෙව් 5 සිට 7 දක්වා පරිච්ඡේදවල මෙන්ම ලූක් 6:20-49 දක්වාද දැකගත හැකියි. *

2 එහි සඳහන් ප්‍රකට ඉගැන්වීමක් වන්නේ රන් අණයි. ඉන් යේසුස් කාවැද්දුවේ අප අන් අයට සැලකිය යුතු ආකාරය ගැනයි. “අනුන් ඔබට කරනවාට කැමති දේ, එලෙසින්ම ඔබත් ඔවුන්ට කරන්න.” (ලූක් 6:31) යේසුස් ඊට එකඟව අන් අයට ඉතා කාරුණිකව සැලකුවා. ඔහු ලෙඩුන්ව සුව කළා. මළවුන්ව නැවත නැඟිට්ටෙව්වා. එමෙන්ම ඔහු ජනයාට ශුභාරංචිය දේශනා කළා. ඊට සවන් දී එය පිළිගත් අය ඉමහත් ප්‍රයෝජන ලැබුවා. (ලූක් 7:20-22 කියවන්න.) යේසුස් මෙන් ශුභාරංචිය දේශනා කිරීමෙන් අන් අයට කරුණාව පෙන්වීමට අපටත් හැකියි. (මතෙ. 24:14; 28:19, 20) මෙම ලිපියේ හා ඊළඟ ලිපියේදී ශුභාරංචිය දේශනා කිරීම සම්බන්ධයෙන් යේසුස් පැවසූ දේවල් අපි සාකච්ඡා කරමු. එමෙන්ම අන් අයට සැලකීම ගැන ඔහු කන්ද උඩ දේශනාවේදී කී තවත් දේවල්ද සලකා බලමු.

මෘදු ගුණැති කෙනෙක් වන්න

3. මෘදු කෙනෙක් කටයුතු කරන්නේ කෙසේද?

3 “මෘදු ගුණැති අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ට පොළොව උරුම වන්නේය” කියා කන්ද උඩ දේශනාවේදී යේසුස් පැවසුවා. (මතෙ. 5:5) කෙනෙකු තුළ තිබෙන මෘදුකම දුර්වලකමක් නොවෙයි. ඒ අනුව දෙවි අපෙන් බලාපොරොත්තු වන දේ කරන විටත් ‘කිසිවෙකුට නපුරට නපුර නොකරන’ විටත් අප පිළිබිඹු කරන්නේ මෘදුකමයි.—රෝම 12:17-19.

4. මෘදු අය සන්තෝෂවත් වන්නේ ඇයි?

4 මෘදු කෙනෙක් සන්තෝෂවත් කියා යේසුස් පැවසුවේ ඇයි? ඒ ඔවුන් මේ ‘පොළොව උරුම කරගන්නා’ නිසයි. යේසුස් “මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති කෙනෙකු” වූ නිසා දෙවි විසින් “සියල්ලේ උරුමක්කාරයා” ලෙස ඔහුව පත් කළා. ඒ අනුව මුළු පොළොවේ ප්‍රධාන උරුමක්කාරයා වන්නේ යේසුස්. (මතෙ. 11:29; හෙබ්‍රෙ. 1:2; ගීතා. 2:8) එමෙන්ම ‘මනුෂ්‍ය පුත්‍රයා’ වන යේසුස් සමඟ දේවරාජ්‍යයේ හවුල් පාලකයන් වශයෙන් කටයුතු කරන පිරිසක් ගැනද බයිබලයේ කලින්ම පවසා තිබෙනවා. (දානි. 7:13, 14, 21, 22, 27, නව ලොව පරිවර්තනය, NW) ‘ක්‍රිස්තුස් සමඟ හවුල් උරුමක්කාරයන්’ වන එම මෘදු ගුණැති පුද්ගලයන් 1,44,000 දෙනා මේ පොළොව කෙරෙහි යේසුස්ට ඇති අයිතියට හවුලේ උරුමකම් කියනවා. (රෝම 8:16, 17; එළි. 14:1) ඊට අමතරව මහත් සමූහයට අයත් මෘදු ගුණැති අය දේවරාජ්‍යය යටතේ මේ පොළොව මත සදාකාල ජීවනය ලබන්න නියමිතයි. මෘදු ගුණැති මේ සියලුදෙනාටම සන්තෝෂ වීමට මොන තරම් හේතු තිබෙනවාද!—ගීතා. 37:11.

5. යේසුස් මෙන් මෘදුකම පෙන්වනවා නම් අපට කුමනාකාර අය බවට පත් විය හැකිද?

5 ඊට වෙනස්ව අප රළු පරුෂ අය නම් අප අන් අයව කෝපයට පත් කරන්න ඉඩ තිබෙනවා. එවිට ඔවුන් අපෙන් දුරස් වීමට පෙලඹෙන්න පුළුවන්. නමුත් අප යේසුස් මෙන් මෘදුකම පෙන්වනවා නම් ඇසුරු කිරීමට ප්‍රියමනාප, සෙසු ඇදහිලිවන්තයන්ව දිරිගන්වනසුලු අය බවට පත් වෙන්න අපට පුළුවන්. අප දෙවිගේ කැමැත්තට එකඟව කටයුතු කරන විට දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට අප මෘදු පුද්ගලයන් බවට පත් වෙනවා. (ගලාති 5:22-25 කියවන්න.) අප සැමගේ ආශාව වන්නෙත් දෙවිගේ බලයේ මඟ පෙන්වීම ලබන මෘදු ගුණැති අය වීමටයි.

දයාවන්ත කෙනෙක් වන්න

6. දයාව පෙන්වීමට කෙනෙකුව පොලඹවන්නේ කුමක්ද?

6 කන්ද උඩ දේශනාවේදී යේසුස් මෙසේද පැවසුවා. “දයාවන්ත අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ට දයාව පෙන්වනු ලබන්නේය.” (මතෙ. 5:7) ‘දයාවන්ත කෙනෙක්’ අන් අයට දයානුකම්පාව පෙන්වන අතර අවශ්‍යතා ඇති අයට විශේෂ සැලකිල්ලක්ද දක්වනවා. යේසුස්ද “අනුකම්පාවක් හැඟී” නැතහොත් “අනුකම්පාවෙන් පෙලඹී” වේදනාවෙන් පෙළුණු අයව ඉන් මුදවාගත්තා. (මතෙ. 14:14; 20:34) ඒ අනුව දයාව පෙන්වීමට අපව පොලඹවන්නේ අන් අය කෙරෙහි අපට ඇති අනුකම්පාව හා සැලකිල්ලයි.—යාකො. 2:13.

7. යේසුස්ට දැනුණු අනුකම්පාව නිසා ඔහු කළේ කුමක්ද?

7 යේසුස් දයාව පෙන්වූ අවස්ථාවක් බලන්න. වරක් ඔහු දැඩි වෙහෙසට පත්ව විවේක ගැනීමට සූදානම් වූ අවස්ථාවේ සමූහයක් ‘එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටි හෙයින් ඔහු ඔවුන් ගැන අනුකම්පාවෙන් පෙලඹුණා.’ ඒ නිසා ඔහු ‘ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත්තා.’ (මාක් 6:34) අපත් මිනිසුන්ට ශුභාරංචිය මෙන්ම දෙවිගේ දයාව ගැන කතා කරද්දී ඉන් ලබන්නේ මොන තරම් සන්තෝෂයක්ද?

8. දයාවන්ත අය සන්තෝෂය අද්දකින්නේ ඇයි?

8 දයාවන්ත අය සන්තෝෂවත් වන්නේ ඔවුන්ටත් ‘දයාව පෙන්වනු ලබන’ නිසයි. අප මිනිසුන්ට දයාවන්ත ලෙස සලකන විට ඔවුන්ද බොහෝවිට එසේ කිරීමට පෙලඹෙනවා. (ලූක් 6:38) යේසුස් පැවසුවේ මෙසේයි. “ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වැරදිවලට සමාව දෙනවා නම්, ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ද ඔබට සමාව දෙනවා ඇත.” (මතෙ. 6:14) ඒ අනුව තම පව්වලට සමාව ලැබීමේ හා දෙවිගේ අනුමැතිය ලැබීමේ සන්තෝෂය අද්දකින්නේ අන් අයට දයාව පෙන්වන අය පමණයි.

සාමය ඇති කරන” කෙනෙක් වන්න

9. සාමය ඇති කරන කෙනෙක් කටයුතු කරන්නේ කෙසේද?

9 සන්තෝෂයට හේතු වන තවත් දෙයක් ගැන කන්ද උඩ දේශනාවේදී යේසුස් පැවසුවේ මෙසේයි. “සාමය ඇති කරන අය සන්තෝෂවත්ය. මන්ද ඔවුහු ‘දෙවිගේ පුත්‍රයෝ’ ලෙස හඳුන්වනු ලබන්නෝය.” (මතෙ. 5:9) සාමය ඇති කරන කෙනෙක් අන් අය ගැන අපහාසාත්මක ලෙස කතා කරන්නේවත් ඊට අනුබල දෙන්නේවත් නැහැ. ඔහු ඉන් වැළකී සිටින්නේ එවැනි කතා මගින් ‘මිත්‍රත්වයන් බිඳ දමන’ නිසයි. (හිතෝ. 16:28NW) ඒ අනුව දෙවිගේ නමස්කාරකයන් සමඟත් එසේ නොවන අය සමඟත් අපි වචනයෙන් හා ක්‍රියාවෙන් සාමයෙන් සිටින්න උත්සාහ කරමු. (හෙබ්‍රෙ. 12:14) විශේෂයෙන්ම දෙවි ඉදිරියෙහි හරි දේ කරමින් ඔහු සමඟ සමාදානයෙන් සිටීමට දැඩි වෑයමක් දරමු.—1 පේතෘස් 3:10-12 කියවන්න.

10. “සාමය ඇති කරන අය” සන්තෝෂවත් වන්නේ ඇයි?

10 යේසුස් කී ලෙස “සාමය ඇති කරන අය” සන්තෝෂවත් වන්නේ ඔවුන් ‘දෙවිගේ පුත්‍රයෝ’ බවට පත් වන නිසයි. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ගැලවුම්කරු හැටියට යේසුස් කෙරෙහි ඇදහිල්ල තබන නිසා යේසුස් ඔවුන්ට “දෙවිගේ දරුවන් වීමේ අයිතිය” ලබා දෙනවා. (යොහ. 1:12; 1 පේතෘ 2:24) සාමයෙන් කටයුතු කරන යේසුස්ගේ ‘වෙනත් බැටළුවන්ට’ තිබෙන බලාපොරොත්තුව කුමක්ද? දහස් අවුරුදු පාලනය තුළදී යේසුස් ඔවුන්ගේ “සදාකාල පියාණෝ” බවට පත් වෙනවා. (යොහ. 10:14, 16; යෙසා. 9:6NW; එළි. 20:6) එම පාලනය අවසානයේදී ඔවුන්ද දෙවිගේ දරුවන් වීමේ වරප්‍රසාදය ලබනවා. එය ඔවුන්ට මොන තරම් සන්තෝෂයට හේතුවක්ද!—1 කොරි. 15:27, 28.

11. ‘ඉහළින් පැමිණෙන ප්‍රඥාවට’ අනුව කටයුතු කරනවා නම් අප අන් අයට සලකන්නේ කෙසේද?

11 යෙහෝවා ‘සමාදානයේ දෙවියි.’ (ෆිලි. 4:9) ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට නම් අප සමාදානය ඇතුළු ඔහුගේ අනෙකුත් ගුණාංග අනුකරණය කළ යුතුයි. ඒ සඳහා අප ‘ඉහළින් පැමිණෙන ප්‍රඥාවට’ ඉඩහරිනවා නම් අප අන් අය සමඟ කටයුතු කරන්නේ සාමකාමීවයි. (යාකො. 3:17) සාමය ඇති කරන්නන් ලෙස කටයුතු කිරීමෙන් අප ඉමහත් ප්‍රීතියක් අද්දකිනවා.

‘ඔබේ ආලෝකය බබළවන්න’

12. (අ) ආලෝකය බැබළවීම සම්බන්ධයෙන් යේසුස් පැවසුවේ කුමක්ද? (ආ) අපට එම ආලෝකය බැබළවිය හැක්කේ කෙසේද?

12 ජනයාට යහපත කළ හැකි හොඳම ක්‍රමය කුමක්ද? දෙවි පිළිබඳ සත්‍යය දැනගැනීමට උපකාර කිරීමයි. (ගීතා. 43:3) තම ගෝලයන් “ලෝකයේ ආලෝකය” බව කන්ද උඩ දේශනාවේදී යේසුස් පැවසුවා. එමනිසා ඔවුන්ගේ “යහපත් ක්‍රියා” මගින් අන් අයට එම ආලෝකය බබළවන්න කියාද ඔහු උනන්දු කළා. එසේ කිරීමෙන් මිනිසුන්ට බොහෝ ප්‍රයෝජන අත් කර දීමට අපටත් හැකියි. (මතෙව් 5:14-16 කියවන්න.) අද දින අප එම ආලෝකය බබළවන්නේ “ලොව පුරා” සිටින “සියලු ජාතීන්ට” ශුභාරංචිය දේශනා කිරීමෙන් හා ඔවුන් වෙනුවෙන් යහපත් ක්‍රියා කිරීමෙනුයි. (මතෙ. 26:13; මාක් 13:10) එය මොන තරම් සන්තෝෂයට හේතුවක්ද!

13. අප යහපත් පුද්ගලයන් බව අන් අය දැනගන්නේ කුමක් මගින්ද?

13 “කන්දක් මුදුනෙහි නුවරක් පිහිටා ඇති විට එය සැඟවිය නොහැක” කියා යේසුස් පැවසුවා. කන්දක් මුදුනක පිහිටා ඇති ඕනෑම නගරයක් ඉතා පැහැදිලිව දැකගත හැකියි. ඒ හා සමානව අප යහපත් පුද්ගලයන් බව ශුභාරංචිය දේශනා කිරීම මගින් මෙන්ම සාධාරණකම හා නිර්මලකම වැනි යහපත් ගුණාංග මගින් අන් අයට පැහැදිලිව දැකගත හැකියි.—තීත. 2:1-14.

14. (අ) මුල් සියවසේ පහනක් කොයි වගේද? (ආ) පහන “බඳුනකින්” වසා නොදැමීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

14 යමෙක් පහනක් දල්වා එය බඳුනකින් වසා නොතබන බවත් ඒ වෙනුවට සියල්ලන්ට ආලෝකය ලැබෙන ආකාරයට එය පහන් ආධාරකයක් මත තබන බවත් යේසුස් පැවසුවා. මුල් සියවසේදී පාවිච්චි කළ පහන් සාමාන්‍යයෙන් තනා තිබුණේ මැටිවලිනුයි. ඊට පහන් තිරයක් තිබූ අතර එය දැල්වීමට බොහෝවිට යොදාගත්තේ ඔලීව තෙල්. එම දැල් වූ පහනින් ‘ගෙයි සිටි සියල්ලන්ටම ආලෝකය ලැබීම’ සඳහා එය ලී හෝ යකඩින් තැනූ උස් ආධාරකයක් මත තැබුවා. නමුත් කිසිවෙක් පහනක් දල්වා එය විශාල “බඳුනකින්” වසා දැමුවේ නැහැ. ඒ හා සමානව දෙවි පිළිබඳ නිවැරදි දැනුම නමැති ආලෝකය අන් අයට නොපෙනෙන සේ සඟවා තබනවාට යේසුස් කැමති වුණේ නැහැ. ඒ වෙනුවට ඔහුට අවශ්‍ය වුණේ තම ගෝලයන් එම ආලෝකය අන් අයට විහිදුවනවා දකින්නයි. එමනිසා දෙවි පිළිබඳ දැනුම අන් අය සමඟ බෙදාගැනීමෙන් අපව වැළැක්වීමට කිසිම ආකාරයක පීඩාවකට හෝ විරුද්ධවාදීකමකට ඉඩ නොදිය යුතුයි.

15. අපගේ “යහපත් ක්‍රියා” නිසා අන් අය කුමක් කිරීමට පෙලඹී තිබෙනවාද?

15 පහන ගැන නිදර්ශනය පැවසීමෙන් පසුව තම ගෝලයන් කළ යුතු දේ ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “එලෙසම, ඔබේ ආලෝකය මිනිසුන් ඉදිරියෙහි බබළවන්න. එවිට ඔවුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ව මහිමයට පත් කරනවා ඇත.” යේසුස් කී ලෙස අපගේ “යහපත් ක්‍රියා” දකින සමහරුන් ‘දෙවිව මහිමයට’ පත් කර තිබෙනවා. ඒ ඔහුගේ නමස්කාරකයන් බවට පත් වීමෙනුයි. ඇත්තෙන්ම “ලෝකයෙහි ප්‍රදීප ලෙස බැබළෙමින්” දිගටම කටයුතු කිරීමට එය මොන තරම් ප්‍රබල හේතුවක්ද!—ෆිලි. 2:15.

16. “ලෝකයේ ආලෝකය” ලෙස කටයුතු කිරීමට ඇතුළත් වන්නේ කුමක්ද?

16 “ලෝකයේ ආලෝකය” ලෙස කටයුතු කිරීමට, ශුභාරංචිය දේශනා කිරීම හා මිනිසුන්ව ගෝලයන් කිරීම අයත් වෙනවා. නමුත් ඊට අයත් වන තවත් දෙයක් තිබෙනවා. ඒ ගැන පාවුල් පවසන්නේ “ආලෝකයේ දරුවන් මෙන් දිගටම එසේ ගමන් කරමින් සිටින්න. මන්ද, ආලෝකයේ පල නම්, සියලු ආකාරයේ යහපත්කමත් ධර්මිෂ්ඨකමත් සැබෑකමත්” කියායි. (එෆී. 5:8, 9) පාවුල් කී ලෙස කටයුතු කිරීමට නම් අප සැමවිටම දෙවිගේ ප්‍රමිතිවලට එකඟව අපගේ හැසිරීම පවත්වාගත යුතුයි. ඒ ගැන පේතෘස් පැවසුවේ මෙසේයි. “ලෝකයා අතරේ ඔබේ හැසිරීම යහපත් ලෙස පවත්වාගන්න. එවිට ඔබ අපරාධකරුවන්යයි කියමින් ඔවුන් ඔබට විරුද්ධව කතා කළත් ඔබේ යහපත් ක්‍රියා දැක, විභාග කිරීමේ දවසේදී ඔවුහු දෙවිව මහිමයට පත් කරන්නෝය.” (1 පේතෘ 2:12) නමුත් දැන් අපි අපගේ සෙසු ඇදහිලිවන්තයෙකු සමඟ යම් අමනාපයක් ඇති විට කුමක් කළ යුතුද කියා සලකා බලමු.

“ඔබේ සහෝදරයා හා සමාදාන වන්න”

17-19. (අ) මතෙව් 5:23, 24හි සඳහන් “පඬුර” කුමක්ද? (ආ) සහෝදරයෙකු සමඟ සමාදාන වීම කොතරම් වැදගත්ද? එමෙන්ම යේසුස් එය පෙන්වූයේ කෙසේද?

17 තම සහෝදරයා කෙරෙහි දිගින් දිගටම කෝපයෙන් සිටිනවා වෙනුවට ඉක්මනින්ම සමාදාන වන්න කියා යේසුස් කන්ද උඩ දේශනාවේදී දිරිගැන්නුවා. (මතෙව් 5:21-25 කියවන්න.) යේසුස් පැවසූ දෙය ගැන හොඳින් කල්පනා කර බලන්න. ඔබ එදා පූජා කිරීම සඳහා දේවමාලිගාවට පඬුරක් ගෙන ගියා කියා සිතන්න. එවිට ඔබට විරුද්ධව සෙසු සහෝදරයෙකුට යම් කාරණාවක් ඇති බව ඔබට මතක් වෙනවා. දැන් ඔබ යේසුස් කී ලෙස කළ යුත්තේ කුමක්ද? ඔබේ පඬුර පූජාසනය ළඟ තබා ගොස් එම සහෝදරයා සමඟ සමාදාන වීමයි. ඔබ පඬුර ඔප්පු කළ යුත්තේ ඉන්පසුවයි.

18 ‘පඬුරක්’ යනු කෙනෙකු දේවමාලිගාවේ පූජාසනය මත ඔප්පු කළ පූජාවක්. මෝසෙස්ට දුන් නීතිය යටතේ එලෙස පූජා ඔප්පු කිරීමට දෙවි අණ කර තිබුණා. එය දෙවිට කළ නමස්කාරයේ වැදගත් අංගයක්. ඒ වුණත් යේසුස් පැවසුවේ එම “පඬුර පූජාසනය ඉදිරිපිට තබා ගොස් පළමුවෙන් ඔබේ සහෝදරයා හා සමාදාන වන්න. ඉන්පසු ඔබ ඇවිත් පඬුර ඔප්පු කරන්න” කියායි. නීතියෙන් අණ කර තිබූ පූජාව ඔප්පු කිරීමට වඩා සහෝදරයෙක් සමඟ තිබූ ගැටලුව නිරවුල් කරගැනීම වඩා වැදගත් බව ඉන් මනාව පැහැදිලි වෙනවා.

19 යේසුස් සඳහන් කළේ යම් නිශ්චිත පූජාවකදී පමණක් අනුගමනය කළ යුතු පිළිවෙතක් නොවෙයි. එමනිසා ඕනෑම ආකාරයේ පූජාවක් ඔප්පු කිරීමේදී තම සහෝදරයාට තමාට විරුද්ධව යම් ගැටලුවක් තිබෙන බව හැඟේ නම් එම පූජාව නතර කළ යුතුයි. පූජා කිරීමට ගෙන යන්නේ සතෙකු නම් එය “පූජාසනය ඉදිරිපිට තබා” ගොස් එම තැනැත්තා සමඟ සමාදාන විය යුතු වුණා. පූජාව ඔප්පු කළ යුත්තේ ඉන්පසුවයි.

20. අපට විරුද්ධව කාරණයක් ඇති සහෝදරයෙකු සමඟ සමාදාන වීමට අප ඉක්මන් විය යුත්තේ ඇයි?

20 සැබෑ නමස්කාරකයන් හැටියට අප සෙසු නමස්කාරකයන් සමඟ සමාදානයෙන් සිටීම දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. එදා පූජා ඔප්පු කළ අය සෙසු නමස්කාරකයන්ට සැලකුවේ අකාරුණික ලෙස නම් ඔවුන් ඔප්පු කළ පූජා දෙවි පිළිගත්තේ නැහැ. (මීකා 6:6-8) “ඉක්මනින් කාරණා නිරවුල් කරගන්න” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (මතෙ. 5:25) ඒ හා සමාන දෙයක් පාවුල්ද පැවසුවේ මේ ආකාරයටයි. “කෝප වුණත් පව් නොකරන්න. ඉර බසින්න කලින් ඔබේ කෝපය ඉවත් කරගන්න. යක්ෂයාට ඉඩ නොදෙන්න.” (එෆී. 4:26, 27) ඒ අනුව අපට සාධාරණ කෝපයක් ඇති වුණත් කෝපය සිතේ තබා නොගැනීම සඳහාත් ඉන් සාතන්ට ඉඩක් නොදීම සඳහාත් ගැටලුව විසඳාගැනීමට අප ඉක්මන් විය යුතුයි.—ලූක් 17:3, 4.

සැමවිටම අන් අයට ගෞරවයෙන් සලකන්න

21, 22. (අ) අප මෙතෙක් සලකා බැලූ යේසුස්ගේ උපදෙස් අදාළ කරගත හැක්කේ කෙසේද? (ආ) ඊළඟ ලිපියෙන් අප සලකා බලන්නේ කුමක් ගැනද?

21 අපි මෙතෙක් සලකා බැලූ ලෙස යේසුස් කන්ද උඩ දේශනාවේදී පැවසූ වදන් හොඳින් සිතට ගෙන අන් අයට කාරුණිකව හා ගෞරවයෙන් සැලකීමට උත්සාහ කරමු. යේසුස් හා යෙහෝවා දෙවි අපට කළ හැකි පමණට වඩා අපෙන් බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ නිසා අපි අසම්පූර්ණ වුණත් යේසුස් දුන් මඟ පෙන්වීම් ක්‍රියාත්මක කිරීමට අපට හැකියි. දෙවිට යාච්ඤා කිරීමෙන් , දැඩි වෑයමක් දැරීමෙන් සහ දෙවිගේ උපකාරයෙන් අපට මෘදුකම, දයාව සහ සමාදානය වැනි ගුණාංග වර්ධනය කරගත හැකියි. දෙවිව මහිමයට පත් කිරීම සඳහා ඔහු පිළිබඳ සත්‍යය ප්‍රකාශ කිරීමෙන් නොවැළකී සිටිමු. ගැටලු මතු වන අවස්ථාවලදී සෙසු ඇදහිලිවන්තයන් සමඟ සමාදානයෙන් සිටීමට හැකි සියල්ල කරමු.

22 අප දෙවිට කරන නමස්කාරය ඔහු විසින් පිළිගැනීමට නම් අප අන් අයට ප්‍රේමණීය ලෙස සැලකිය යුතුයි. (මාක් 12:31) යේසුස් කන්ද උඩ දේශනාවේදී කී තවත් දේවල් අපි මීළඟ ලිපියෙන් සලකා බලමු. අන් අයට යහපත කිරීමට ඒ මඟ පෙන්වීම්ද අපට උපකාරවත් වන බව නිසැකයි. එමෙන්ම මෙම ලිපියෙන් සලකා බැලූ තොරතුරුද ගැඹුරින් සලකා බලා අප මෙසේ අපෙන්ම අසාගනිමු. ‘මම අනිත් අයට සලකන්නේ යේසුස් කියපු විදිහටද?’

[පාදසටහන]

^ 1 ඡේ. මෙම ලිපිය හා ඊළඟ ලිපිය සාකච්ඡා කිරීමට පෙර කන්ද උඩ දේශනාවේ අඩංගු තොරතුරු පෞද්ගලිකව අධ්‍යයනය කිරීම අපට බොහෝ ප්‍රයෝජනවත් වෙයි.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• මෘදු ගුණැති කෙනෙක් කටයුතු කරන්නේ කෙසේද?

• “දයාවන්ත අය” සන්තෝෂවත් වන්නේ ඇයි?

• අපට ආලෝකය බැබළවිය හැක්කේ කෙසේද?

• ‘අපේ සහෝදරයා සමඟ සමාදාන වීමට’ අප ඉක්මන් විය යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[4වන පිටුවේ පින්තූරය]

අපගේ ආලෝකය බැබළවිය හැකි වැදගත් ක්‍රමයක් වන්නේ ශුභාරංචිය දේශනා කිරීමයි

[5වන පිටුවේ පින්තූරය]

දෙවිගේ උසස් ප්‍රමිතිවලට අනුව ජීවත් වීම සම්බන්ධයෙන් අප ආදර්ශවත් විය යුතුයි

[6වන පිටුවේ පින්තූරය]

ඔබගේ සහෝදරයා සමඟ සමාදාන වීමට සෑම උත්සාහයක්ම දරන්න