Skip to content

පටුනට යන්න

ක්‍රියා පොතෙන් විශේෂාංග

ක්‍රියා පොතෙන් විශේෂාංග

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

ක්‍රියා පොතෙන් විශේෂාංග

ක්‍රිස්තියානි සභාවේ ආරම්භය සහ එය ක්‍රමානුකූලව වැඩි වර්ධනය වූ ආකාරය පිළිබඳ පුළුල් අවබෝධයක් ක්‍රියා පොතෙන් ලබාගත හැකියි. මෙහි ක්‍රිස්තු වර්ෂ 33 සිට 61 දක්වා එනම් අවුරුදු 28 පුරා සිදු වූ මුල් ක්‍රිස්තියානීන්ගේ ක්‍රියා පිළිබඳව ඉතා උනන්දුව දනවන තොරතුරු රාශියක් අඩංගු වෙනවා. ඒවා වාර්තා කර තිබෙන්නේ වෛද්‍යවරයෙක් වූ ලූක් විසිනුයි.

මෙම පොතෙහි මුල්භාගයේ සඳහන් වන්නේ පේතෘස්ගේ දේවසේවය පිළිබඳ තොරතුරු වන අතර ඉන්පසුව පාවුල් විසින් කළ දේශනා සේවය හා සම්බන්ධ තොරතුරු වාර්තා වෙනවා. මෙහි ලේඛකයා වන ලූක් “අපි” සහ “අපේ” යන යෙදුම් භාවිත කිරීමෙන් පැහැදිලි වන්නේ මෙහි සඳහන් සමහර සිද්ධීන්වලට ඔහුත් සම්බන්ධ බවයි. ලූක් පොතේ ඇති තොරතුරුවලට අපි හොඳ අවධානයක් දෙමු. ඒ මගින් දේවවචනය කෙරෙහිත් දෙවිගේ බලය කෙරෙහිත් අපට ඇති අගය තව තවත් වැඩි වෙනවා නිසැකයි. (හෙබ්‍රෙ. 4:12) එමෙන්ම පරිත්‍යාගශීලීව කටයුතු කිරීමටත් දේවරාජ්‍යය පිළිබඳ අපට ඇති බලාපොරොත්තුව තවත් ශක්තිමත් කරගැනීමටත් ඉන් අපට හැකියි.

පේතෘස් “ස්වර්ග රාජ්‍යයේ යතුරු” භාවිත කළ ආකාරය

(ක්‍රියා 1:1- 11:18)

යේසුස්ගේ මුල් ගෝලයන්ට දෙවිගේ බලය ලැබීමත් සමඟ ඔවුන් ඉතාමත් නිර්භීතව සාක්ෂි දැරුවා. පේතෘස් “ස්වර්ග රාජ්‍යයේ යතුරු” අතරින් පළමු එක භාවිත කරමින් දෙවිගේ “වචනය උනන්දුවෙන් පිළිගත් අය” වන යුදෙව්වන්ටත් යුදෙව් ආගමට හැරුණු අයටත් දෙවිගේ රාජ්‍යයට ඇතුල්වීම සඳහා දෙවි පිළිබඳ නිවැරදි දැනුම ලබා දුන්නා. (මතෙ. 16:19; ක්‍රියා 2:5, 41) ඒ සමඟම පැමිණි විශාල පීඩා රැල්ල නිසා යේසුස්ගේ ගෝලයන් විවිධ ප්‍රදේශවලට විසිර ගියා. එසේ ඔවුන් ගිය ගිය තැන්වල ශුභාරංචිය දේශනා කළ අතර ඒ තුළින් ශුභාරංචිය මහත් සේ ව්‍යාප්ත වුණා.

සමාරියේ වැසියන් දෙවිගේ වචනය පිළිගෙන ඇති බව දැනගත් යේසුස්ගේ ගෝලයන් පේතෘස් හා යොහන්ව ඔවුන් වෙත පිටත් කර හැරියා. ස්වර්ග රාජ්‍යයට ඇතුල්වීමේ ප්‍රස්තාව ඔවුන්ට විවෘත කර දීමෙන් පේතෘස් ස්වර්ග රාජ්‍යයේ දෙවන යතුර භාවිත කළා. (ක්‍රියා 8:14-17) යේසුස්ගේ නැවත නැඟිටීමේ සිට අවුරුද්දක් ඇතුළත කාලයක් තුළදී ටාසස්හි සාවුල්ගේ ජීවිතයේ ලොකු වෙනසක් සිදු වුණා. පේතෘස් දේවරාජ්‍යයේ තුන්වන යතුර භාවිත කළේ ක්‍රි.ව. 36දීයි. එහි ප්‍රතිඵලයක් හැටියට අන්‍යජාතිකයන්ටත් දෙවිගේ බලය ලැබුණා.—ක්‍රියා 10:45.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

2:44-47; 4:34, 35එම ක්‍රිස්තියානීන් තමන් සතු දේපළ විකුණා එම මුදල් බෙදා දුන්නේ ඇයි? ඇදහිලිවන්තයන් බවට පත් වූ බොහෝදෙනෙක් යෙරුසලමට පැමිණි අතර එහි යම් කලක් නැවතී සිටීමට අවශ්‍ය මුදල් හා අනෙකුත් දේවල් ප්‍රමාණවත් ලෙස තිබුණේ නැහැ. දෙවි පිළිබඳව තව තවත් ඉගෙනගැනීමටත් ඒ ගැන සාක්ෂි දැරීම සඳහාත් යෙරුසලමේ වැඩිපුර කාලයක් නතර වීමට ඔවුන් ආශාවෙන් සිටියා. යෙරුසලමේ සිටි ක්‍රිස්තියානීන් තමන්ගේ දේපළ විකුණා මුදල් බෙදා දුන්නේ එවැනි අයගේ අවශ්‍යතා පිරිමැසීමටයි.

4:13පේතෘස් හා යොහන් නූගත් අයද? කොහෙත්ම නැහැ. ඔවුන්ව “නූගත්, සාමාන්‍ය” අය හැටියට හැඳින්වූයේ ඔවුන් ආගමික පුහුණුව සඳහා රබ්බිවරුන්ගේ පාසැලෙන් පුහුණුවක් නොලබා සිටි නිසයි.

5:34-39පොදු ජනයාට ඇතුල්වීමට නොහැකි සැන්හෙඩ්‍රිනය තුළදී ගමාලියෙල් පැවසූ දේ ලූක්ට දැනගන්න ලැබුණේ කෙසේද? එය සිදු වුණා යයි සිතිය හැකි කාරණා තුනක් තිබෙනවා. (1) ගමාලියෙල්ගෙන් ඉගෙනගෙන තිබූ පාවුල් ඒ බව ලූක්ට පවසන්න ඇති. (2) සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයෙක් වූ නිකදේමුස් එය පවසන්න ඇති. (3) එසේත් නැත්නම් දෙවිගේ බලයේ උපකාරයෙන් ඔහුට එය දැනගන්න ලැබෙන්න ඇති.

7:59ස්තේපන් යාච්ඤා කළේ යේසුස්ටද? නැහැ. සැබෑ නමස්කාරකයෙක් යාච්ඤා කළ යුත්තේ යෙහෝවා දෙවිට පමණයි. (ලූක් 4:8; 6:12) ස්තේපන් සෑමවිටම දෙවිට යාච්ඤා කළේ යේසුස්ගේ නාමයෙන්. (යොහ. 15:16) නමුත් මේ අවස්ථාවේදී ඔහු යේසුස් එනම් “මනුෂ්‍ය පුත්‍රයා දෙවිගේ දකුණු පැත්තේ සිටගෙන සිටිනවා” දර්ශනයකින් දුටුවා. (ක්‍රියා 7:56) මළවුන්ව නැවත නැඟිටුවීමට දෙවි යේසුස්ට බලය දී ඇති බව හොඳින් දැන සිටි ස්තේපන් යේසුස්ව කෙලින්ම අමතමින් ඉල්ලා සිටියේ නියමිත කාලයේදී තමාව ස්වර්ගයෙහි ජීවිතයට නැවත නැඟිටුවන්න කියායි.—යොහ. 5:27-29.

අපට ගත හැකි පාඩම්:

1:8. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලොව පුරා කරන දේශනා සේවය දෙවිගේ බලයේ උපකාරය නොමැතිව කළ හැකි දෙයක් නොවෙයි.

4:36–5:11. සයිප්‍රසයේ උපන් යෝසෙප්ට ප්‍රේරිතයන් විසින් සමහරවිට බානබස් යන වාසගම තබන්න ඇති. එහි අර්ථය “සැනසිල්ලේ පුත්‍රයා” යනුයි. ප්‍රේරිතයන් බානබස් යන නම ඔහුට දුන්නේ ඔහු ඉතාමත් ප්‍රේමණීය, කාරුණික මෙන්ම අන් අයට උපකාර කිරීමට ළැදිව සිටි කෙනෙක් වූ නිසයි. අපද ඔහු මෙන් විය යුතුයි. නමුත් ප්‍රේරිතයන්ව රවටා හොඳ නම ගැනීමට කපටි ලෙස වෑයම් කළ අනනියස් සහ සෆීරා මෙන් නොවීමට අප වගබලා ගත යුතුයි.

9:23-25. ශුභාරංචිය දේශනා කිරීමට විරුද්ධ වන අයව ඥානවන්ත ලෙස මඟහැර යෑම බියගුලුකමක් නොවෙයි.

9:28-30. අප දේශනා කරන ප්‍රදේශයේ මිනිසුන්ගෙන් අපට ශාරීරික හානි සිදුවීමට ඉඩ තිබේ නම් එසේ නැත්නම් අපව අනාචාරයට පොලඹවන හෝ දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය දුර්වල කරවන අවස්ථාවන්ට මුහුණ දීමට ඉඩ තිබේ නම් අප දේශනා කරන වේලාව ගැන මෙන්ම ප්‍රදේශය ගැනද ඥානවන්ත විය යුතුයි.

9:31. දෙවිට සේවය කිරීමට නිදහස තිබෙන කාලයේදී බයිබලය අධ්‍යයනය කිරීමෙන් හා ඒ ගැන මෙනෙහි කිරීමෙන් අපගේ ඇදහිල්ල වඩ වඩා ශක්තිමත් කරගැනීමට උත්සාහ කළ යුතුයි. එමගින් දේවගරුබිය ඇති අය හැටියට දෙවිගේ ප්‍රතිපත්ති පවත්වමින් උද්‍යෝගයෙන් ඔහුට සේවය කිරීමට අපට හැකියි.

පාවුල්ගේ උද්‍යෝගිමත් දේවසේවය

(ක්‍රියා 11:19-28:31)

ක්‍රිස්තු වර්ෂ 44දී අගබස් අන්තියෝකියට පැමිණියා. ඒ වන විට පාවුල් හා බානබස් “අවුරුද්දක් මුළුල්ලෙහිම” එහි උගන්වමින් සිටියා. එතැන් සිට අවුරුදු දෙකකට පසු සිදුවීමට නියමිත “මහත් සාගතයක්” ගැන අගබස් අනාවැකි පැවසුවා. (ක්‍රියා 11:26-28) “යෙරුසලමෙහි කළ සහනාධාර දීමේ සේවය සම්පූර්ණයෙන්ම නිම කළ පසු” බානබස් හා පාවුල් නැවත අන්තියෝකියට ගියා. (ක්‍රියා 12:25) සාවුල් යේසුස්ගේ ගෝලයෙකු බවට පත් වී අවුරුදු 12ක් පමණ ගත වූ විට එනම් ක්‍රි.ව. 47දී දෙවිගේ බලයෙන් මඟ පෙන්වූ ලෙස බානබස් හා පාවුල් මිෂනාරි සේවයක් සඳහා පිටත්ව ගියා. (ක්‍රියා 13:1-4) ක්‍රිස්තු වර්ෂ 48දී ඔවුන් නැවතත් අන්තියෝකියට පැමිණියා. “දෙවිගේ මහත් කරුණාවට ඔවුන්ව භාර දෙනු ලැබුවේ එහිදීයි.”—ක්‍රියා 14:26.

ඉන් මාස නවයකට පසු පාවුල් (කලින් සාවුල් කියා හැඳින්වූ) තම සහයකයා වන සීලස් සමඟ ඔහුගේ දෙවන සංචාරය ආරම්භ කළා. (ක්‍රියා 15:40) ගමන අතරමඟදී ඔවුන්ට තිමෝති සහ ලූක්ද එකතු වුණා. පසුව ලූක් ෆිලිප්පියේ නතර වුණු අතර පාවුල් ඇතන්ස්වලටත් පසුව කොරින්තියටත් ගියා. එහිදී පාවුල්ට අකිලා හා ප්‍රිසිලාව හමු වූ අතර ඔහු එහි අවුරුදු එකහමාරක් සේවය කළා. (ක්‍රියා 18:11) සීලස්ව හා තිමෝතිව කොරින්තියේ නතර කළ ඔහු අකිලා හා ප්‍රිසිලා සමඟ සිරියාවට පිටත් වුණා. ඒ ක්‍රි.ව. 52 මුල්භාගයේදීයි. (ක්‍රියා 18:18) පසුව ඔවුන් සමඟ එෆීසය දක්වා ගිය ඔහු ඔවුන් දෙදෙනාව එහි නතර කළා.

සිරියාවේ අන්තියෝකියෙහි කලක් ගත කිරීමෙන් පසු ක්‍රි.ව. 52දී පාවුල් තම තුන්වැනි දේශනා සංචාරය ආරම්භ කළා. (ක්‍රියා 18:23) එෆීසයේ ‘දෙවිගේ වචනය බලගතු ලෙස දිගටම වර්ධනය වෙමින් බලවත් වුණා.’ (ක්‍රියා 19:20) පාවුල් එහි අවුරුදු තුනක් පමණ ගත කළා. (ක්‍රියා 20:31) පාවුල් ක්‍රි.ව. 56 පෙන්තකොස්ත මංගල්‍යය වන විට යෙරුසලමේ සිටියා. එහිදී ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව බලධාරීන් ඉදිරියේ පවා ඔහු නිර්භීත සාක්ෂියක් දැරුවා. පසුව ඔහුව රෝමයට ගෙන ගොස් අවුරුදු දෙකක් පමණ නිවාස අඩස්සියේ තැබුවා. (ක්‍රි.ව. 59 සිට 61දී පමණ) එහිදීත් ශුභාරංචිය දේශනා කිරීමට අවස්ථා උදා කරගත් ඔහු “ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ගැන කාරණා උගන්වමින්” සිටියා.—ක්‍රියා 28:30, 31.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

14:8-13ලිස්ත්‍රාවේ ජනයා ‘බානබස්ව සියුස් කියාද පාවුල්ව හර්මීස් කියාද’ හැඳින්වුයේ ඇයි? සියුස් කියන්නේ ග්‍රීකවරුන්ගේ ප්‍රබන්ධ දෙවිවරුන්ගේ අධිපතියාටයි. ඔහුගේ පුත්‍රයා හර්මීස් වූ අතර ඔහු කතාවට දක්ෂයෙකු ලෙස ඔවුන් සැලකුවා. මේ අවස්ථාවේදී පෙරමුණ ගෙන කතා කළේ පාවුල් නිසා ඔවුන් ඔහුව හර්මීස් කියාද බානබස්ව සියුස් කියාද හැඳින්වුවා.

16:6, 7ආසියාවේ හා බිතිනියේ සේවය කිරීමට යෑමෙන් පාවුල්ව හා ඔහුගේ සහයකයන්ව දෙවිගේ බලය මගින් වැළැක්වූයේ ඇයි? ඒ වන විට ශුභාරංචිය දේශනා කරන්නන් සිටියේ ස්වල්පදෙනෙක් පමණයි. එමනිසා ශුභාරංචියට වැඩි ප්‍රතිචාරයක් දක්වන ප්‍රදේශවල සේවය කිරීමට දෙවිගේ බලය ඔවුන්ව පෙලඹෙව්වා.

18:12-17සෙනඟ සොස්තනේස්ට තැලූ විට ආණ්ඩුකාර ගලියෝ ඊට කිසිවක් නොකළේ ඇයි? පාවුල්ට විරුද්ධව එල්ල කළ එම මැර ප්‍රහාරයේ නායකයා සොස්තනේස් කියාත් එමනිසා ඔහු එවැනි ප්‍රහාරයකට ලක්වීම සාධාරණයි කියාත් සමහරවිට ගලියෝ සිතන්න ඇති. කෙසේනමුත් එහි ප්‍රතිඵලයක් හැටියට සොස්තනේස් යේසුස්ගේ අනුගාමිකයෙක් වූ අතර පසු කාලයකදී පාවුල් ඔහුව “අපේ සහෝදර” කියා ඇමතුවා.—1 කොරි. 1:1.

18:18පාවුල් වී තිබූ භාරය කුමක්ද? සමහර බයිබල් විශාරදයන් පවසන්නේ පාවුල් නසරීතවරයෙකු මෙන් කටයුතු කිරීමට භාර වෙන්න ඇති කියායි. (ගණන්. 6:1-21) නමුත් ඔහු වූ භාරය ගැන බයිබලයේ සඳහන් වී නැහැ. එමෙන්ම ඔහු එම භාරය වුණේ ක්‍රිස්තියානියෙකු වීමට පෙරද ඊටපසුවද නැත්නම් ඔහු එහි ගියේ එම භාරය පටන්ගැනීමටද ඉෂ්ට කිරීමටද කියාත් බයිබලයේ පවසා නැහැ. ඒ කුමක් වුණත් එවැනි භාරයක් වීම පාපයක් නොවෙයි.

අපට ගත හැකි පාඩම්:

12:5-11. අපගේ සහෝදරයන් වෙනුවෙන් යාච්ඤා කිරීමට අපට හැකි අතර එසේ කිරීමට අමතක නොකළ යුතුයි.

12:21-23; 14:14-18. දෙවිට පමණක් දිය යුතු වූ ගෞරවය තමාට ලබාගැනීමට හෙරොද් මහත් ආශාවක් දැක්වුවා. නමුත් පාවුල් සහ බානබස් ඊට වඩා කොතරම් වෙනස්ද! මිනිසුන් දෙවිවරුන්ට මෙන් ඔවුන්ට සලකද්දී ඔවුන් වහාම එම ප්‍රශංසාව දැඩි සේ ප්‍රතික්ෂේප කළා. දෙවිට කරන නමස්කාරයදී අපට ලැබෙන ප්‍රශංසාව නිතරම දෙවිට පමණක් ලබා දිය යුතුයි.

14:5-7. කල්පනාකාරීව මෙන්ම ඥානවන්තව කටයුතු කිරීමෙන් දේවසේවය නොනවත්වා කරගෙන යාමට අපට හැකියි.—මතෙ. 10:23.

14:22. පීඩාවලට මුහුණ දීමට සියලුම ක්‍රිස්තියානීන්ට සිදු වෙනවා. ඒ වුණත් බයිබල් ප්‍රතිපත්ති කඩ කරමින් ඒවායින් බේරෙන්නට ඔවුන් උත්සාහ කරන්නේ නැහැ.—2 තිමෝ. 3:12.

16:1, 2. ක්‍රිස්තියානි යෞවනයන් දෙවිට කරන සේවය වෙනුවෙන් සභාව තුළ වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. එමෙන්ම දෙවි ඉදිරියෙහි හොඳ නමක් ඇති කරගැනීම සඳහා ඔහුගේ උපකාර පැතිය යුතුයි.

16:3. සෙසු ජනයාට ශුභාරංචිය පිළිගැනීම පහසු කර වීම සඳහා ශුද්ධ ලියවිල්ලට එකඟව අපට කළ හැකි සියල්ල අප කළ යුතුයි.—1 කොරි. 9:19-23.

20:20, 21. ගෙයින් ගෙට ගොස් ශුභාරංචිය ප්‍රකාශ කිරීම අප දෙවිට කරන සේවයේ වැදගත් අංගයක්.

20:24; 21:13. දෙවිගේ ප්‍රතිපත්ති කඩ කර අපගේ ජීවිතය බේරාගන්නවාට වඩා ඔහුට විශ්වාසවන්තව සිට මිය යෑම යහපත් දෙයක්.

21:21-26. අපට ලැබෙන හොඳ මඟ පෙන්වීම් අප කැමැත්තෙන්ම පිළිගත යුතුයි.

25:8-12. “ශුභාරංචිය වෙනුවෙන් කතා කිරීමේදීත්, එය නීත්‍යනුකූලව පිහිටුවීමේදීත්” ක්‍රිස්තියානීන් හැටියට අපට රටේ නීතිය මගින් ලබා දී තිබෙන නිදහස පාවිච්චි කළ හැකියි.—ෆිලි. 1:7.

26:24, 25. ‘මාංසික මිනිසෙකුට’ “සත්‍යය වූ කාරණා” මෝඩකමක් මෙන් පෙනුණත් අප ඒවා “හොඳ සිහිකල්පනාවෙන් යුතුව” කතා කළ යුතුයි.—1 කොරි. 2:14.

[30වන පිටුවේ පින්තූරය]

පේතෘස් “ස්වර්ග රාජ්‍යයේ යතුරු” භාවිත කළේ කුමන අවස්ථාවලදීද?

[31වන පිටුවේ පින්තූරය]

ලොව පුරා දේශනා කරනු ලබන ශුභාරංචිය දෙවිගේ බලයේ උපකාර නොමැතිව කළ නොහැකියි