Skip to content

පටුනට යන්න

ජීවිතයේ හොඳම කාලයේ හොඳම තීරණය ගන්න

ජීවිතයේ හොඳම කාලයේ හොඳම තීරණය ගන්න

ජීවිතයේ හොඳම කාලයේ හොඳම තීරණය ගන්න

“ඔබ විසින් ඉගෙනගත්තාවූද, විශ්වාස කිරීමට ඔබව පෙලඹෙව්වාවූද දේවල්වල පවතින්න.”—2 තිමෝ. 3:14.

1. යෞවනයන් තමන්ට පිරිනමන සේවය දෙවි සලකන්නේ කෙසේද?

යෞවනයන් පිරිනමන පරිශුද්ධ සේවය යෙහෝවා දෙවිට ඉතාමත් වටිනවා. ඒ ගැන දෙවි අනාවැකියක් තුළින් පවසා ඇත්තේ මෙසේයි. “ඔබ හමුදාවත් සමඟ යුද්ධයට එන දවසේදී ඔබේ සෙනඟ කැමැත්තෙන්ම ඉදිරිපත් වනු ඇත. හිමිදිරි උදේ පතිත වන පිනි මෙන් ඔබේ තරුණයෝ ශුද්ධකමින් සැරසී ඔබ වෙතට එන්නෝය.” (ගීතා. 110:3, නව ලොව පරිවර්තනය, NW) ඉන් පැහැදිලි වන්නේ දෙවිට සේවය කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වන යෞවනයන්ව දෙවිට ඉතා අනර්ඝ බවයි.

2. බොහෝදෙනා යෞවනයන්ට උනන්දු කරන්නේ කුමක් කිරීමටද?

2 යෞවනයෙනි, ඔබ යෙහෝවා දෙවිට ඔබේ ජීවිතය කැප කර තිබෙනවාද? තමන් දෙවිට සේවය කරනවාද නැද්ද යන්න ගැන තීරණයක් ගැනීමට බොහෝදෙනෙකුට අසීරු වී තිබෙනවා. ඊට හේතුව නම් අද පවතින ව්‍යාපාරික ලෝකය, ගුරුවරුන්, පවුලේ ඥාතීන් සහ හිතමිතුරන් උනන්දු කරන්නේ ධන සම්පත් සෙවීමටයි. නමුත් එවන් අභියෝග මැද පවා යෞවනයන් දෙවිට සේවය කරද්දී සමහරුන් ඔවුන්ව සමච්චලයට ලක් කරනවා. ඒ වුණත් යෞවනයෙකුගේ ජීවිතය ගත කළ හැකි හොඳම ආකාරය දෙවිට සේවය කිරීමයි. (ගීතා. 27:4) ඒ සම්බන්ධයෙන් අපි දැන් ප්‍රශ්න තුනක් සලකා බලමු. ඔබ දෙවිට සේවය කළ යුත්තේ ඇයි? අන් අය ඔබට කුමක් කීවත් කුමක් කළත් දෙවිට කැප වූ සේවකයෙක් හැටියට ජීවිතය සාර්ථක කරගන්න ඔබට හැක්කේ කෙසේද? දෙවිට සේවය කිරීම සඳහා ඔබට විවෘත වන්නේ මොන වගේ වටිනා සේවා ප්‍රස්තාවන්ද?

ඔබ දෙවිට සේවය කළ යුත්තේ ඇයි?

3. දෙවිගේ මැවිල්ල අගය කිරීමෙන් අප පෙලඹෙන්නේ කුමක් කිරීමටද?

3 ඔබ දෙවිට සේවය කිරීමට තීරණය කළ යුත්තේ ඇයි? ඊට ප්‍රධාන හේතුව එළිදරව් 4:11හි පවසනවා. “යෙහෝවා, අපේ දෙවියනි, මහිමයත් ගෞරවයත් බලයත් ලබන්නට ඔබ වටින්නෙහිය. මන්ද, ඔබ සියල්ල මැව්වෙහිය. ඔබේ කැමැත්ත නිසා ඒවා ඇති විය. ඒවා මවන ලද්දේය.” පොළොව, ගස්වැල්, මල්, සතුන්, සාගර, කඳු, දියඇලි වැනි ඉතා අලංකාර දේවල් නිර්මාණය කළේ යෙහෝවා දෙවියි. “පොළොව ඔබ මවා ඇති දේවල්වලින් පිරී ඇත” කියා ගීතිකාකරු පැවසීමට හේතුව අපට පැහැදිලියි. (ගීතා. 104:24NW) එවන් අනර්ඝ දේවල් භුක්ති විඳීම සඳහා ඔහු අපට දී ඇති ශරීරය ගැන අප ඔහුට මොන තරම් ස්තුතිවන්ත විය යුතුද! ඒ නිසා දෙවි කෙරෙහි අප තුළ ඇති වන අගය ඔහුට සේවය කරන්න අපව පොලඹවන්නේ නැද්ද?

4, 5. දෙවිට සේවය කිරීමට යෝෂුවාව පෙලඹෙව්වේ දෙවිගේ කුමන ක්‍රියාද?

4 දෙවිට සේවය කළ යුතු දෙවන හේතුව තම ජීවිතයේ අවසානයේ යෝෂුවා කී මෙම වචනවලින් පැහැදිලියි. “ඔබත් මමත් නමස්කාර කරන යෙහෝවා දෙවි අපට දුන් එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ කියා ඔබ හොඳින් දන්නවා. ඔහු දුන් හැම පොරොන්දුවක්ම ඒ විදිහටම ඉටු කළා.” එවැනි දෙයක් පැවසීමට යෝෂුවාට තිබූ හේතු මොනවාද?—යෝෂු. 23:14NW.

5 දෙවි ඊශ්‍රායෙල්වරුන්ට තමන්ගේම කියා දේශයක් ලබා දෙන බවට වූ පොරොන්දුව ගැන ඊජිප්තුවේ හැදී වැඩුණු කුඩා යෝෂුවා දැන සිටි බවට සැකයක් නැහැ. (උත්. 12:7; 50:24, 25; නික්. 3:8) එම පොරොන්දු ඉටු කිරීමේ මුල් පියවර හැටියට පීඩා දසයක් ගෙන ඒමෙන් ඊශ්‍රායෙල්වරුන්ව යන්න හරින්න කියා උඩඟු පාරාවෝට දෙවි බල කළ හැටි යෝෂුවා දැක්කා. එමෙන්ම තම මුළු මහත් ජාතියව රතු මුහුද මැදින් දෙවි ගෙනා හැටිත් පාරාවෝ සහ ඔහුගේ හමුදාව එහි ගිල්වා විනාශ කළ හැටිත් ඔහු ඇස් දෙකෙන්ම දැක්කා. ඒ විතරක්ද සීනයි කාන්තාරයේ “ඉතා භයානක පාළුකරයක්” මැදින් තම ජාතියව රැගෙන යමින් ඔවුන්ට අවශ්‍ය සෑම දෙයක්ම දෙවි සැපයූ ආකාරයත් ඔහු දුටුවා. කුසගින්නෙන් හෝ පිපාසයෙන් කිසිවෙක් මිය ගියේ නැහැ. (ද්වි. 8:3-5, 14-16NW; යෝෂු. 24:5-7) අවසානයේදී බලවත් කානානිවරුන්ව පරාජය කර පොරොන්දු දේශය උරුම කරගැනීමට දෙවි ඔවුන් සමඟම සිටි ආකාරයත් ඔහු ඇස් පනාපිටම දැක්කා.—යෝෂු. 10:14, 42.

6. දෙවිට සේවය කිරීමට ආශාවක් ඇති කරගන්න ඔබට හැක්කේ කෙසේද?

6 දෙවි තම පොරොන්දු සියල්ලක්ම ඉටු කළ බව යෝෂුවා පැහැදිලිවම දුටුවා. “මමත් මගේ පවුලේ අයත් යෙහෝවා දෙවිට මිස වෙන කිසිවෙකුට නමස්කාර කරන්නේ නැහැ” කියා ඔහු ස්ථිරව පැවසුවේ ඒ නිසයි. (යෝෂු. 24:15NW) ඔබටත් දෙවි ගැන හැඟෙන්නේ ඒ ආකාරයටමද? දෙවිගේ පොරොන්දු අතරින් ඔහු දැනටමත් ඉටු කර තිබෙන දේවල් සහ ඉටු කිරීමට නියමිත දේවල් ගැන කල්පනා කරන්න. එවිට යෝෂුවා මෙන් දෙවිට සේවය කිරීමට ඔබ තුළත් පෙලඹීමක් ඇති වෙනවා නිසැකයි.

7. වතුර බව්තීස්මය වැදගත් පියවරක් වන්නේ ඇයි?

7 දෙවිගේ පුදුමාකාර මැවිලි සහ ඔහු දී ඇති විශ්වාසවන්ත පොරොන්දු ගැන ගැඹුරින් කල්පනා කරන්න. එවිට දෙවිට කැප වී වතුර බව්තීස්මයෙන් එය සංකේතවත් කිරීමටත් එය ඔබව පොලඹවයි. එය දෙවිට සේවය කිරීමට කැමැත්තෙන් සිටින සියල්ලන් ගත යුතු වැදගත් තීරණයක්. ඒ සම්බන්ධයෙන් යේසුස්ද ආදර්ශයක් තැබුවා. පොරොන්දු වූ ගැලවුම්කරු හැටියට තම කාර්යය ඉටු කිරීමට පෙර ඔහුද බව්තීස්ම වුණා. ඊට හේතුව? “මා ස්වර්ගයෙන් බැස ආවේ මාගේ කැමැත්ත කිරීමට නොව මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමටය” කියා ඔහු පැවසුවා. (යොහ. 6:38) තම පියාගේ කැමැත්ත කිරීමට තමන් ඉදිරිපත් වී ඇති බව එම බව්තීස්මයෙන් සංකේතවත් කළා.—මතෙ. 3:13-17.

8. දෙවිට සේවය කිරීමට තිමෝති තීරණය කළේ ඇයි? එමෙන්ම එවැනි තීරණයක් ගැනීමට ඔබ කළ යුත්තේ කුමක්ද?

8 යෙහෝවා දෙවි විසින් විශේෂ කාර්යයන් පැවරූ හා බොහෝ වරප්‍රසාද ලබා දුන් යෞවනයෙක් වන තිමෝති ගැනද සලකා බලන්න. ඔහු දෙවිට සේවය කිරීමට තීරණය කළ හේතුව ඔබ දන්නවාද? බයිබලයේ පවසන්නේ ‘ඔහු විසින් ඉගෙනගත්තාවූ සහ විශ්වාස කිරීමට ඔහුව පෙලඹෙව්වාවූ දේවල්’ එම තීරණය ගැනීමට හේතු වුණා කියායි. (2 තිමෝ. 3:14) බයිබලය හොඳින් අධ්‍යයනය කර එහි ඇති ඉගැන්වීම් සත්‍යය යයි කියා ඔබ හොඳින් ඒත්තුගෙන තිබෙනවා නම් ඔබත් සිටින්නේ තිමෝති සිටියා හා සමාන තීරණයක් ගැනීමට සුදුසු තත්වයකයි. එම තීරණය එනම් බව්තීස්ම වීමට වූ ඔබේ තීරණය ගැන ඔබේ දෙමාපියන් සමඟ කතා කරන්න. එවිට ඒ සඳහා ඔබට තිබිය යුතු සුදුසුකම් මොනවාද කියා පෙන්වා දීමට වැඩිමහල්ලන්ගේ උපකාර ඇතිව දෙමාපියන්ට හැකියි.—ක්‍රියා 8:12 කියවන්න.

9. බව්තීස්ම වීමට ඔබ ගන්නා තීරණයට අන් අය කෙසේ ප්‍රතිචාරය දක්වයිද?

9 බව්තීස්මය දෙවිට සේවය කිරීම සඳහා කදිම ආරම්භයක්. එම වැදගත් පියවර ගැනීමත් සමඟම සදාකාල ජීවනයට යන ගමනට එක්වන ඔබට දැනුත් ජීවිතයේ සතුට අද්දකින්න පුළුවන්. (හෙබ්‍රෙ. 12:2, 3) එමෙන්ම දැනටමත් දෙවිට සේවය කරමින් සිටින ඔබේ පවුලේ සාමාජිකයන්ට මෙන්ම සභාවේ මිතුරන්ටද එය ප්‍රීතියට කරුණක්. ඒ සියල්ලන්ටම වඩා එයින් යෙහෝවා දෙවිගේ සිත සතුටු වෙනවා. (හිතෝපදේශ 23:15 කියවන්න.) නමුත් ඔබ ඒ වගේ තීරණයක් ගත්තේ ඇයි කියා සමහරුන් ඔබෙන් අසන්න පුළුවන්. එපමණක්ද නොව ඊට විරුද්ධ වන්නත් පුළුවන්. ඒ වුණත් ඒ සියලු අභියෝග ජය ගන්න ඔබට හැකියි.

අභියෝග පැමිණෙන විට

10, 11. (අ) ඔබ ගත් තීරණය ගැන අන් අය ඔබෙන් කුමක් ඇසිය හැකිද? (ආ) අන් අය යේසුස්ගෙන් ඇසූ ප්‍රශ්නවලට ඔහු පිළිතුරු දුන් ආකාරයෙන් ඔබට කුමක් ඉගෙනගත හැකිද?

10 ඔබ ගත් තීරණය නිසා පාසැල් මිතුරන්, අසල්වාසීන් හා කිට්ටු ඥාතීන් ඒ ගැන කලබලයට හෝ පුදුමයට පත් විය හැකියි. එමෙන්ම ඔබ එවැනි තීරණයක් ගත්තේ ඇයි කියා හෝ ඔබගේ විශ්වාසයන් ගැන අන් අය ඔබෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. ඔබ ඊට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? ඒවාට පිළිතුරු දීමට පෙර ඒ ගැන හොඳින් සිතා බලන්න අවශ්‍ය විය හැකියි. ඒ අවස්ථාවේදී යේසුස්ගේ ආදර්ශය අනුකරණය කිරීම කොපමණ හොඳද!

11 උදාහරණයකට නැවත නැඟිටීම ගැන යුදෙව් ආගමික නායකයන් යේසුස්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාව සලකා බලන්න. එහිදී ඔහු පිළිතුර සඳහා ඔවුන් මීට කලින් සැලකිල්ලට ගෙන නොතිබුණු ශුද්ධ ලියවිලි කරුණක් වෙත අවධානය යොමු කළා. (නික්. 3:6; මතෙ. 22:23, 31-33) තවත් අවස්ථාවකදී උතුම් ආඥාව පිළිබඳව ලියන්නෙක් ප්‍රශ්න කළා. යේසුස් එවිටත් පිළිතුරු දුන්නේ ශුද්ධ ලියවිල්ලෙන්. තමාට ලැබුණු පිළිතුර ගැන ඔහු යේසුස්ට ස්තුති කළා. (ලෙවී. 19:18; ද්වි. 6:5; මාක් 12:28-34) යේසුස් ශුද්ධ ලියවිල්ල භාවිත කරමින් කතා කළ එවැනි සමහර අවස්ථාවලදී ‘ඔහු ගැන සමූහයා අතරෙහි භේද හටගත්තත්’ ඔහුට හානියක් කිරීමට ඒ විරුද්ධවාදීන්ට හැකි වුණේ නැහැ. (යොහ. 7:32-46) එලෙසම ඔබගේ විශ්වාසයන් ගැනත් අන් අය විමසන විට ඊට බයිබලයෙන් පිළිතුරු දෙන්න. එමෙන්ම “මෘදුකමින් හා ගැඹුරු ගෞරවයෙන් යුක්තව” එසේ කරන්න. (1 පේතෘ. 3:15) නමුත් යම් ප්‍රශ්නයකට පිළිතුරු ඔබ දන්නේ නැත්නම් ඒ බව ඔහුට පවසා පසුව ඒ ගැන පර්යේෂණය කර නිවැරදි පිළිතුර දීමට ඔබට හැකියි. ඒ සඳහා අපගේ මුරටැඹ ප්‍රකාශන සුචිය හෝ සංයුක්ත තැටිවල තිබෙන මුරටැඹ පුස්තකාලය (Watchtower Library on CD-ROM) භාවිත කරන්න ඔබට හැකියි. එසේ කිරීමෙන් අන් අයට “පිළිතුරු දිය යුත්තේ කෙසේදැයි දැනගන්න” ඔබට පුළුවන්.—කොලො. 4:6.

12. පීඩා පැමිණෙන විට ඔබ අධෛර්යය නොවිය යුත්තේ ඇයි?

12 අන් අය ඔබෙන් ප්‍රශ්න කරනවාට අමතරව ඔබ ගත් තීරණයට විරෝධය පාන්නත් පුළුවන්. ඊට හේතුව නම් දෙවිගේ සතුරා වන සාතන් මේ ලෝකයේ පාලකයා වීමයි. (1 යොහන් 5:19 කියවන්න.) එමනිසා සෑමවිටම අන් අයගෙන් ප්‍රශංසාව ලැබෙයි කියා බලාපොරොත්තු වන්න එපා. සමහරුන් ‘ඔබ ගැන නිග්‍රහාත්මක ලෙස කතා කරන්න’ පවා ඉඩ තිබෙනවා. (1 පේතෘ. 4:4) එවැනි පීඩා එන්නේ ඔබට පමණක් කියා සිතා අධෛර්යය වන්න එපා. යේසුස් පවා දරුණු විරුද්ධවාදීකම්වලට මුහුණ දුන්නා. පේතෘස්ටද ඒ හා සමාන අද්දැකීම් තිබූ අතර සෙසු ඇදහිලිවන්තයන්ට ඔහු මෙසේ ලිව්වා. “ප්‍රේමණීය තැනැත්තෙනි, ඔබව පරීක්ෂා කිරීම සඳහා ඔබ අතරේ ඇවිළෙන ගින්න [දුක් පීඩා] ගැන, අමුතු දෙයක් ඔබට සිදු වන්නාක් මෙන් පුදුම නොවන්න. ඒ වෙනුවට, ඔබ ක්‍රිස්තුස්ගේ වධ විඳීමට පංගුකාරයන් වන බැවින් ප්‍රීතියෙන් සිටින්න.”—1 පේතෘ. 4:12, 13.

13. ක්‍රිස්තියානීන් පීඩා විඳින විට එය ප්‍රීතියට හේතුවක් වන්නේ ඇයි?

13 ක්‍රිස්තියානීන් හැටියට පීඩා හෝ විරුද්ධවාදීකම් විඳදරාගැනීම ප්‍රීතියට කරුණක්. ඊට හේතුව වන්නේ අප ජීවත් වන්නේ සාතන්ට ඕනෑ ආකාරයට නොව දෙවිගේ කැමැත්තට එකඟව බව එමගින් ඔප්පු වන නිසයි. නමුත් අප එසේ නොකරනවා නම් මිනිසුන්ගේ ප්‍රතිචාරය ගැන යේසුස් මෙසේ පැවසුවා. “සියල්ලන් ඔබේ ගුණ කියන විට ඔබට දුක් වේ. මන්ද ඔවුන්ගේ මුතුන්මිත්තෝ බොරු අනාගතවක්තෘවරුන්ට මේ හා සමාන දේවල් කළහ.” (ලූක් 6:26) ඔබට පීඩා පැමිණීමෙන් අදහස් කරන්නේ ඔබ දෙවිට සේවය කිරීම ගැන සාතන් සහ ඔහුගේ පැත්තේ සිටින අය කෝපයෙන් සිටින බවයි. (මතෙව් 5:11, 12 කියවන්න.) එසේ ඔබ ‘ක්‍රිස්තුස්ගේ නාමය නිසා නින්දා විඳිනවා නම්’ එයත් ප්‍රීතියට හේතුවක්.—1 පේතෘ. 4:14.

14. පීඩා හමුවේ දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල මොනවාද?

14 පීඩා හමුවේ පවා ඔබ දෙවිට විශ්වාසවන්තව සිටින විට බොහෝ ප්‍රයෝජන අද්දකින්න හැකි වෙනවා. ඉන් කිහිපයක් සලකා බලන්න. දෙවි සහ යේසුස් ගැන සාක්ෂි දරන්න ඉන් ඔබට හැකියාව ලැබෙනවා. දෙවිට ඇති ඔබගේ විශ්වාසවන්තභාවය දකින සෙසු ඇදහිලිවන්තයන් ඉන් දිරිමත් වෙනවා. ඔබගේ විඳදරාගැනීම දකින, දෙවිව නොදන්නා අය දෙවි ගැන ඉගෙනගැනීමට පෙලඹෙන්න ඉඩ තිබෙනවා. (ෆිලිප්පි 1:12-14 කියවන්න.) එමෙන්ම විඳදරාගැනීමට දෙවි සපයන ශක්තිය ඔබ පෞද්ගලිකවම අද්දකින විට දෙවි කෙරෙහි ඇති ඔබගේ ප්‍රේමය තවත් වැඩි වෙනවා.

“විශාල දොරක්” ඔබ සඳහා විවෘතයි

15. ප්‍රේරිත පාවුල්ට විවෘත වූ “විශාල දොර” කුමක්ද?

15 එෆීසයේදී තමන් දෙවිට කළ සේවය ගැන පාවුල් පැවසුවේ “ක්‍රියාකාරකම්වලට මඟ පාදන විශාල දොරක් මට විවෘත කර ඇත” කියායි. (1 කොරි. 16:8, 9) එම දොර නම් එෆීස නගරයේදී දේශනා කිරීමට හා මිනිසුන්ව ගෝලයන් කිරීමට ලැබුණු විශාල කාර්යභාරයයි. එම ප්‍රස්තාවෙන් ප්‍රයෝජන ගත් ඔහු බොහෝදෙනෙකුට යෙහෝවා දෙවි ගැන ඉගෙනගෙන ඔහුට නමස්කාර කරන්න උපකාර කළා.

16. වර්ෂ 1919දී පොළොවේ සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් “විවෘත වූ දොරක්” තුළින් ඇතුල් වුණේ කෙසේද?

16 වර්ෂ 1919දී යේසුස් “විවෘත වූ දොරක්” පොළොවේ සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ඉදිරියෙහි තැබුවා. (එළි. 3:8) ඉන් ඇතුල් වූ ඔවුන් වෙන කවරදාකටත් වඩා මහත් උද්‍යෝගයකින් ශුභාරංචිය දේශනා කරන්නත් බයිබල් සත්‍යය උගන්වන්නත් පටන්ගත්තා. ඉන් අත් වුණු ප්‍රතිඵල මොනවාද? ශුභාරංචිය පොළොවේ සෑම කෙළවරකටම පාහේ ව්‍යාප්ත වී ඇති අතර මිලියන හතක් පමණ ජනයාට පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ලැබී තිබෙනවා.

17. “ක්‍රියාකාරකම්වලට මඟ පාදන විශාල දොරක්” තුළින් යෑමට ඔබට හැක්කේ කෙසේද?

17 “ක්‍රියාකාරකම්වලට මඟ පාදන විශාල දොරක්” සියලුම දෙවිගේ සේවකයන් වෙනුවෙන් තවමත් විවෘතව තිබෙනවා. ඉන් ඇතුල් වන අය එහි ප්‍රධාන කාර්යයක් වන ශුභාරංචිය දේශනා කිරීමේ හවුල් වීම මගින් මහත් තෘප්තියක් ලබනවා. එමනිසා යෙහෝවා දෙවිගේ යෞවන සේවකයෙනි, ‘ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල ඇතිව සිටීම’ සඳහා අන් අයට උපකාර කිරීමේ මෙම මහඟු වරප්‍රසාදය ඔබ කොතරම් අගය කරනවාද? (මාක් 1:14, 15) ඔබ කවදා හරි ස්ථාවර හෝ උපකාරික පුරෝගාමි සේවය ගැන කල්පනා කර තිබෙනවාද? රාජ්‍ය ශාලා ඉදි කිරීම්, බෙතෙල් සේවය සහ මිෂනාරි සේවය වැනි ප්‍රස්තාවන්ද ඔබට විවෘත විය හැකියි. සාතන්ගේ දුෂ්ට ලෝකය අවසන් වීමට ඇත්තේ තව කෙටි කාලයයි. එමනිසා දෙවිට කරන සේවයේ එවන් විවිධ අංශවල හවුල් වීම ඉතා හදිසි කාර්යයක්. එසේනම් මෙම කෙටි කාලයෙන් ප්‍රයෝජන ගෙන විවෘත වී ඇති ‘විශාල දොරෙන්’ ඇතුල් වීමට ඔබත් කැමතිද?

“යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න”

18, 19. (අ) දෙවිගේ කැමැත්ත කිරීමට දාවිත් තුළ ප්‍රබල ආශාවක් ඇති කළේ කුමක්ද? (ආ) දෙවිට සේවය කිරීමට ගත් තීරණය ගැන ඔහු කනගාටු නොවූ බව පෙන්වන්නේ කුමකින්ද?

18 ගීතිකාකරු සියල්ලන්ටම මෙවැනි ආරාධනයක් කරනවා. “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න.” (ගීතා. 34:8NW) දාවිත් රජ යෞවන එඩේරෙකුව සිටි කාලයේදී දෙවි භයානක වන සතුන්ගෙන් ඔහුව ආරක්ෂා කළා. තවත් අවස්ථාවකදී ගොලියත්ව පරාජය කිරීමට උපකාර කළ අතර තවත් බොහෝ විපත්තිවලින්ද දෙවි ඔහුව ගලවාගත්තා. (1 සාමු. 17:32-51; ගීතා. 18වෙනි පරිච්ඡේදය) දෙවිගේ ප්‍රේමණීය කරුණාව ඔහු එතරම්ම අද්දැක්ක නිසා මෙසේ ගායනා කිරීමට ඔහු පෙලඹුණා. “යෙහෝවා, මාගේ දෙවියනි, ඔබ බොහෝ පුදුමාකාර දේ අප වෙනුවෙන් කර ඇත. ඔබ අප ගැන බොහෝසෙයින් සිතුවේය. කිසිවෙකුව ඔබට සමාන කළ නොහැක.”—ගීතා. 40:5NW.

19 දාවිත් අද්දුටු දේවල් නිසා දෙවි කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් ඔහුට ඇති වූ අතර මුළු හදවතින්ම දෙවිට ප්‍රශංසා කරන්න ඔහු තුළ ආශාවක් ඇති වුණා. (ගීතාවලිය 40:8-10 කියවන්න.) යෞවනයෙක් හැටියට දෙවිගේ කැමැත්ත කිරීම සඳහා ඔහු ගත් තීරණය ගැන ඔහු කවදාවත් කනගාටු වුණේ නැහැ. මහලු වයසේදී පවා ඒ ගැන දාවිත් පැවසුවේ මෙසේයි. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මාගේ බලාපොරොත්තුව ඔබ කෙරෙහිය. යොවුන් වියේ සිට මාගේ විශ්වාසය ඔබ කෙරෙහිය. අනේ දෙවියනි, මා පැසුණු හිසකෙස් ඇතිව මහලු වයසේ පසු වන විටදී පවා මාගෙන් ඈත් නොවන්න.” (ගීතා. 71:5, 18NW) දාවිත් මහලුව දුබල වීමට පටන්ගත්තත් දෙවි කෙරෙහි වූ ඔහුගේ විශ්වාසයත් මිත්‍රත්වයත් දිනෙන් දින ශක්තිමත් වුණා. ඔහුගේ ජීවිතයේ වටිනාම දෙය වුණේ දෙවිගේ කැමැත්තට එකඟව ජීවත් වීමයි. ඉන් ඔහු ලැබූ ප්‍රීතිය වෙන කිසිවකින් ලබන්න හැකි වුණේ නැහැ.

20. ඔබේ ජීවිතය ගත කළ හැකි හොඳම ක්‍රමය දෙවිට සේවය කිරීම බව පැවසිය හැක්කේ ඇයි?

20 දෙවිට සේවය කිරීම ඔබේ ජීවිතය ගත කළ හැකි හොඳම ක්‍රමයයි. ඒ බව යෝෂුවා, දාවිත් හා තිමෝතිගේ ආදර්ශවලින් පැහැදිලියි. ‘දෙවිට ඔබේ මුළු සිතින්ද ශක්තියෙන්ද සේවය කිරීමෙන්’ ඔබ ලබන අතිමහත් සදාකාලික ප්‍රයෝජන සමඟ බලද්දී මේ ලෝකයේ ඉදිරිපත් කරන තාවකාලික ධන සම්පත් කිසි ප්‍රයෝජනයක් නැති තරම්! (යෝෂු. 22:5NW) ඔබ තවමත් යෙහෝවා දෙවිට යාච්ඤාවෙන් කැප වී නැද්ද? එසේනම් ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකු වීමට මට තිබෙන බාධාව මොකක්ද’ කියා කල්පනා කර බලන්න. ඔබ දැනටමත් බව්තීස්ම වූ නමස්කාරකයෙක් නම් ඔබේ ජීවිතයේ සතුට තවත් වැඩි කරගන්න ඔබ කැමතිද? එසේනම් දෙවිට ඔබ කරමින් සිටින සේවය පුළුල් කිරීමට විවෘතව ඇති ප්‍රස්තා අල්ලාගන්න. ඉහත සඳහන් පැතිවලින් ඔබට දියුණු විය හැක්කේ කෙසේද යන්න ගැන පාවුල්ගේ ආදර්ශය සමඟින් ඊළඟ ලිපිය සලකා බලමු.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• අප දෙවිට සේවය කළ යුතු වීමට හේතු දෙකක් දෙන්න

• දෙවිට සේවය කිරීමේ තීරණය ගැනීමට තිමෝතිට උපකාර කළේ කුමක්ද?

• ඔබ පීඩා හමුවේ දෙවිට විශ්වාසවන්තව සිටිය යුත්තේ ඇයි?

• ඔබ ඉදිරියේ විවෘතව ඇති සේවා ප්‍රස්තා මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

දෙවිට සේවය කිරීම ඔබේ ජීවිතය ගත කළ හැකි හොඳම ක්‍රමයයි

[19වන පිටුවේ පින්තූරය]

ඔබේ විශ්වාසයන් ගැන අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද?