Skip to content

පටුනට යන්න

‘දේවගරුබිය ඇතිව ශුද්ධව’ සිටින්න

‘දේවගරුබිය ඇතිව ශුද්ධව’ සිටින්න

‘දේවගරුබිය ඇතිව ශුද්ධව’ සිටින්න

“යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.” (යෙසා. 6:3, නව ලොව පරිවර්තනය, NW; එළි. 4:8) යෙහෝවා කොතරම් ශුද්ධ දෙවි කෙනෙක්ද කියා බයිබලයේ සඳහන් එම වචනවලින් තහවුරු වෙනවා. “ශුද්ධකම” යන්නට භාවිත වන හෙබ්‍රෙව් සහ ග්‍රීක වචනවල අදහස වන්නේ නමස්කාරය වෙනුවෙන් වෙන් කර තැබීම හෝ නිර්මලව සිටීම, දූෂ්‍ය වීමෙන් වැළකී සිටීම යන්නයි. දෙවි ශුද්ධය කියා පවසද්දී ඉන් අදහස් කරන්නේ ඔහු තුළ කිසිම ආකාරයක අපවිත්‍රකමක් හෝ අධර්මිෂ්ඨකමක් නැති බවයි.

දෙවිට නමස්කාර කරන අයද ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇතිව සිටීමට නම් ඔවුන් ශාරීරිකව මෙන්ම සදාචාරමය ලෙසද පවිත්‍රව සිටිය යුතුයි. එය ශුද්ධ දෙවි වන යෙහෝවා ඔවුන්ගෙන් අපේක්ෂා කිරීම සාධාරණ දෙයක් නොවෙයිද? පළමුවෙනි පේතෘස් 1:16හි දෙවි ඒ ගැන පැහැදිලිව පවසන්නේ “මා ශුද්ධව සිටින නිසා, ඔබද ශුද්ධව සිටිය යුතුය” කියායි. දෙවි මෙන් ශුද්ධව සිටීමට අසම්පූර්ණ මිනිසුන්ට හැකිද? දෙවි හා සමානවම ශුද්ධ ලෙස කටයුතු කිරීමට අසම්පූර්ණ අපට බැරි බව ඇත්තයි. නමුත් දෙවි අපගෙන් බලාපොරොත්තු වන ආකාරයෙන් ඔහුට නමස්කාර කරමින් ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නවා නම් දෙවි අපව සලකන්නේ ශුද්ධ අය හැටියටයි.

මිනිසුන්ගේ ගතිගුණ ඉතා පිරිහුණු ලොවක ජීවත් වන අපට ශුද්ධව සිටිය හැක්කේ කෙසේද? අප වැළකී සිටිය යුත්තේ කුමන අපවිත්‍ර පුරුදුවලින්ද? එමෙන්ම අපගේ කතාවේ හා හැසිරීමේ කුමන වෙනස්කම් කරගත යුතුද? ක්‍රිස්තු පූර්ව 537දී බැබිලෝනියේ වහල්භාවයෙන් නැවත හැරී ආ යුදෙව්වන්ගෙන් දෙවි බලාපොරොත්තු වූ දේ සලකා බැලීමෙන් ඒවාට පිළිතුරු දැනගත හැකියි.

‘එය ශුද්ධ මාර්ගයකි’

බැබිලෝනියේ වහල්භාවයේ සිටින යුදෙව්වන් නැවතත් තම මව්බිම කරා යන බවට දෙවි පොරොන්දුවක් දෙන විට සංකේතවත් මහා මාර්ගයක් ගැන සඳහන් කළා. ඒ ගැන දෙවි පැවසුවේ මෙයයි. “මහා මාර්ගයක් ඉදි කරනු ලැබේ. එයට ශුද්ධ මඟ කියා නම් තබයි.” (යෙසා. 35:8අNW) මෙම සංකේතවත් මාර්ගයේ ගමන් කරනවා කීමෙන් අදහස් කළේ දෙවිගේ ශුද්ධ ප්‍රමිතිවලට අනුව දිගටම ජීවත් වීමයි. යුදෙව්වන් එසේ කළොත් තමන්ට නැවත මව්බිමට යෑමට මඟ විවෘත කර දෙනවා පමණක් නොව එම ගමනේදී ඔවුන්ට ආරක්ෂාව සපයන බවත් දෙවි පොරොන්දු වුණා.

එවැනි දෙයක් වර්තමානයේදීත් සිදු වෙනවා. ලොව පුරා පවතින සියලුම අසත්‍ය උගන්වන ආගම්වලින් සමන්විත අධිරාජ්‍යයක් බඳු මහා බැබිලෝනියෙන් නිදහස් වී පැමිණීමට දෙවි එවැනිම සංකේතවත් ‘ශුද්ධ මාර්ගයක්’ විවෘත කළා. වර්ෂ 1919දී දෙවි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව බොරු ඉගැන්වීම්වලින් නිදහස් කළ අතර එහි ප්‍රතිඵලයක් හැටියට ඔවුන්ගේ නමස්කාරය පවිත්‍ර තත්වයකට පත් වුණා. ඒ නිසා අද අප දෙවිගේ සේවකයන් හැටියට දෙවිට පවිත්‍ර නමස්කාරය පිරිනමන අතර ඒ තුළින් සෙසු නමස්කාරකයන් සමඟ ඉතාමත් සාමකාමී, සන්සුන් වතාවරණයක් භුක්ති විඳීමට හැකි වී තිබෙනවා.

‘කුඩා රැළට’ අයත් අභිෂේක ලත් සාමාජිකයන් හා වැඩි වෙමින් පවතින ‘මහත් සමූහයක්ද’ දෙවිගේ එම ශුද්ධ මඟෙහි ගමන් කිරීමට තෝරාගෙන ඇති අතර අන් අයටද ඒ සඳහා ආරාධනා කරමින් සිටිනවා. (ලූක් 12:32; එළි. 7:9; යොහ. 10:16) ඊට හේතුව වන්නේ ‘[තම] ශරීර ජීවමාන වූද, ශුද්ධ වූද, දෙවිට පිළිගත හැකි වූ පූජාවක් ලෙස’ ඔප්පු කිරීමට කැමති සියල්ලන් සඳහා එම ‘ශුද්ධ මාර්ගය’ විවෘත නිසයි.—රෝම 12:1.

“අපවිත්‍ර කිසිවෙකු එහි ගමන් නොකරයි”

එදා සිටි යුදෙව්වන් එම ‘ශුද්ධ මාර්ගයෙහි’ ගමන් කිරීමට නම් යම් සුදුසුකම් අත් කරගත යුතු වුණා. ඒ ගැන යෙසායා ඊළඟට පැවසුවේ මෙසේයි. “අපවිත්‍ර කිසිවෙකු එහි ගමන් නොකරයි. අඥානයාද එහි නොවන්නේය. එහි පා තබන්නේ අවසර ලැබූ අය පමණි.” (යෙසා. 35:8ආNW) ඔවුන් නැවත යෙරුසලමට පැමිණීමේ අරමුණ වුණේ පවිත්‍ර නමස්කාරය යළි පිහිටුවීමයි. එමනිසා තම ආත්මාර්ථකාමී ආශාව ඉටු කරගන්න උත්සාහ කළ, පරිශුද්ධ දේවලට නිග්‍රහ කළ හෝ අපවිත්‍ර ක්‍රියාවල යෙදුණු කිසිවෙකුට එම මඟෙහි ගමන් කිරීමට අවසර තිබුණේ නැහැ. එහි ගමන් කිරීමට නම් දෙවිගේ උසස් ප්‍රමිතිවලට අනුව දිගටම ජීවත් වීම දෙවි ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණා. අද දිනත් දෙවිගේ අනුමැතිය ලබන්න කැමති සියල්ලන්ද කටයුතු කළ යුත්තේ ඒ ආකාරයටයි. ඔවුන්ද ‘දේවගරුබිය ඇතිව ශුද්ධව’ සිටිය යුතුයි. (2 කොරි. 7:1) එසේනම් අප වැළකී සිටිය යුත්තේ කුමන අපවිත්‍ර පුරුදුවලින්ද කියා දැන් අපි සලකා බලමු.

“මාංසයේ ක්‍රියා ප්‍රකාශ වී තිබේ” කියා පැවසූ පාවුල් ඊට “වේශ්‍යාකම, අපවිත්‍රකම, නින්දිත හැසිරීම” යන දේවල්ද අයත් බව සඳහන් කළා. (ගලා. 5:19) වේශ්‍යාකම යන්නට, විවාහයෙන් පිටත සිදු කරන සියලුම ලිංගික ක්‍රියාවන් ඇතුළත්. නින්දිත හැසිරීමට අයත් වන්නේ “කිසි තැකීමක් නැතිව දුරාචාරයේ යෙදීම, කිසිම පාලනයක් නැතිව තම ආශාවන් තෘප්තිමත් කරගැනීම, කිසිම ලැජ්ජාවක් බියක් නැතිව හැසිරීම හා කාමුකත්වයෙන් මත් වී සිටීමයි.” වේශ්‍යාකම හා නින්දිත හැසිරීම යන මේ දෙකම දෙවිගේ ශුද්ධකමට සම්පූර්ණයෙන්ම පටහැනි බව ඉතා පැහැදිලියි. කෙනෙකු දිගටම එවැනි හැසිරීමක නිරත වෙනවා නම් ඔහුට සභාවේ සාමාජිකයෙක් විය නොහැකි අතර සභාවේ සාමාජිකයෙක් එසේ කරයි නම් ඔහුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලබනවා. එමෙන්ම “සියලු ආකාරයේ අපවිත්‍රකම් කිරීමට ගිජුකමක් දක්වන” එනම් බරපතළ අපවිත්‍ර ක්‍රියාවල යෙදෙන අයටත් සිදු වන්නේ එම දෙයමයි.—එෆී. 4:19.

ඉහත පාවුල් සඳහන් කළ “අපවිත්‍රකම” යන්නට විවිධාකාරයේ පව් රාශියක් ඇතුළත් වෙනවා. ඒ සඳහා ඇති ග්‍රීක වචනයෙන් කෙනෙකුගේ කතා බහ, හැසිරීම සහ නමස්කාරය අපවිත්‍ර කරන ඕනෑම ආකාරයක දූෂිත හෝ අශික්ෂිත ක්‍රියාවක් අදහස් කරනවා. මෙවැනි සමහර අපවිත්‍ර ක්‍රියා විනිශ්චය කමිටුවක් මගින් හසුරුවන්න තරම් බරපතළ නොවන්න පුළුවන්. * නමුත් එවැනි කෙනෙක් ශුද්ධ හැසිරීමක් පවත්වාගන්නා කෙනෙක් කියා කියන්න පුළුවන්ද?

උදාහරණයකට ක්‍රිස්තියානිවරයෙක් රහසිගතව කාමුක දර්ශන නරඹන්න පටන්ගන්නවා කියා සිතන්න. එයින් ඔහු තුළ ටිකෙන් ටික අපවිත්‍ර ආශාවන් ඇවිස්සෙන්න පටන්ගන්නවා. එහි ප්‍රතිඵලයක් හැටියට දෙවි ඉදිරියෙහි ශුද්ධ ලෙස හැසිරීමට වූ ඔහුගේ අධිෂ්ඨානය දුර්වල වෙනවා. ඔහුගේ එම ක්‍රියාව බරපතළ අපවිත්‍රකමක් දක්වා වර්ධනය වෙලා නැති වෙන්න පුළුවන්. නමුත් ඔහු ‘නිර්මල වූ, යහපත් කීර්තියක් ඇත්තාවූ, ගුණවත් වූ, ප්‍රශංසනීය වූ දේවල්’ ගැන කල්පනා කරන කෙනෙක් නොවෙයි. (ෆිලි. 4:8) ඒ අනුව බලද්දී කාමුක දර්ශන නැරඹීම අපවිත්‍ර ක්‍රියාවක්. එය දෙවි සමඟ ඇති කිට්ටු මිත්‍රත්වය බිඳ දමයි. එසේනම් කිසිම ආකාරයක අපවිත්‍ර ක්‍රියාවක් අප අතරේ සඳහන් නොකිරීමට පවා අප වගබලා ගත යුතුයි.—එෆී. 5:3.

තවත් උදාහරණයක් සලකා බලමු. ක්‍රිස්තියානියෙක් හිතාමතාම ලිංගික ආශාවන් පිනවීමේ අරමුණින් ස්වයංවින්දනයේ යෙදෙනවා කියා සිතන්න. ඊට කාමුක දර්ශන නැරඹීම හේතු වන්නට හෝ නොවන්නට පුළුවන්. “ස්වයංවින්දනය” යන වචනය බයිබලයේ සඳහන් කර නැති බව ඇත්තයි. නමුත් ඉන් කෙනෙකුගේ මනස දූෂණය වන්නේ නැහැ කියා කිව හැකිද? දිගින් දිගටම එම ක්‍රියාවේ නිරත වීමෙන් දෙවි සමඟ ඇති මිත්‍රත්වයට බරපතළ හානි සිදු විය නොහැකිද? එවන් කෙනෙකුව පවිත්‍ර කෙනෙක් කියා දෙවි පිළිගනියිද? එමනිසා පාවුල් දුන් මෙම උපදෙස අප සිතට ගනිමු. “මාංසය සහ ආත්මය දූෂ්‍ය කරවන සෑම දෙයකින්ම අපි අපව පවිත්‍ර කරගනිමු.” ඔහු තවදුරටත් උපදෙස් දුන්නේ ‘වේශ්‍යාකම, අපවිත්‍රකම, ලිංගික තෘෂ්ණාව, අනතුරුදායක ආශා සහ තණ්හාව වැනි කාරණා හා බැඳි, පොළොවේ තිබෙන ඔබේ අවයව නසා දමන්න’ කියායි.—2 කොරි. 7:1; කොලො. 3:5.

එවැනි අපවිත්‍ර ක්‍රියාවලට ඉඩහැර තිබෙන්නෙත් ඊට අනුබල දෙන්නෙත් දුෂ්ට පාලකයා වන සාතන්. කෙනෙකුට එවන් අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති වන පෙලඹීමට විරුද්ධ වීම ලෙහෙසි දෙයක් නොවිය හැකියි. නමුත් “ජාතීන් නිෂ්ඵල මානසිකත්වයකින් යුතුව ගමන් කරන්නාක් මෙන්” සැබෑ ක්‍රිස්තියානීන් ගමන් නොකළ යුතු බව අපි මතක තබාගනිමු. (එෆී. 4:17) යෙහෝවා දෙවි තම ‘ශුද්ධ මාර්ගයේ’ ගමන් කිරීමට අපට ඉඩහරින්නේ අප ප්‍රසිද්ධියේ හෝ රහසිගතව සියලු ආකාර අපවිත්‍ර ක්‍රියාවලින් වැළකී සිටිනවා නම් පමණයි.

“සිංහයෙකු මඟ රැක සිටින්නේ නැත”

කෙනෙකුට දෙවිගේ අනුමැතිය ලැබීමට නම් ඔහු තම කතාව හා හැසිරීම දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව සකස් කරගත යුතුයි. ඊට හේතුව ලෙස යෙසායා පැවසුවේ එම ‘ශුද්ධ මාර්ගය’ තුළ “සිංහයෙකු මඟ රැක සිටින්නේ නැත. දරුණු වන සතුන්ද හමු වන්නේ නැත” කියායි. (යෙසා. 35:9NW) සංකේතාත්මකව ගත් කළ සැහැසිකව, කෝපාවිෂ්ටව හැසිරෙන හෝ කතා කරන පුද්ගලයන් දරුණු වන සතුන්ට සමානයි. එවැනි අයට පාරාදීස පොළොව තුළ කිසිම ස්ථානයක් හිමි වන්නේ නැහැ. (යෙසා. 11:6; 65:25) එමනිසා දෙවිගේ අනුමැතිය ලබන්න කැමති අය එවන් ගතිලක්ෂණ වෙනස් කරගනිමින් දෙවි ඉදිරියෙහි ශුද්ධ අය ලෙස කටයුතු කරන්න උත්සාහ කරන්න අවශ්‍යයි.

අප ඉවත් කරගත යුතු ගතිලක්ෂණ ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. “සියලු ආකාර වෛරසහගත හැඟීම්, කෝපය, උදහස, කෑගැසීම්, නිග්‍රහ කිරීම් මෙන්ම සියලු අයහපතද ඔබෙන් ඉවත් කර දමන්න.” (එෆී. 4:31, 32) එමෙන්ම කොලොස්සි 3:8හිද අපට උනන්දු කර තිබෙන්නේ මෙසේ කටයුතු කරන්න කියායි. “ඔබ ඒ සියල්ල, එනම් උදහස, කෝපය, අයහපත, නිග්‍රහ කිරීම සහ කටින් පිට වන අසභ්‍ය කතා මුළුමනින්ම ඉවත දමන්න.” ඉහත පද දෙකෙහිම සඳහන් “නිග්‍රහ කිරීම” යන්නෙන් අදහස් කරන්නේ කෙනෙකුව පහත් කරන, ඔහුට හානි කරන හෝ අපහාස කරන ආකාරයෙන් කතා කිරීමයි.

සිත රිදවන, ඉතාමත් පහත් ආකාරයේ එවන් කතා අද දින පොදුවේ අහන්න ලැබෙන අතර සමහර නිවෙස් තුළද එය සාමාන්‍ය දෙයක් වී තිබෙනවා. එමෙන්ම විවාහකයන්ද එකිනෙකාට ඉතාමත් පහත් හා සැර පරුෂ ලෙස බැණ වදින අතර දරුවන්ට කතා කරන්නේද ඒ ආකාරයටයි. එවැනි තත්වයක් ක්‍රිස්තියානි පවුලක් තුළ නොතිබිය යුතුයි.—1 කොරි. 5:11.

ලැබෙන ආශීර්වාද

ශුද්ධ දෙවි යෙහෝවාට සේවය කරන්නට අපට ලැබී තිබෙන වරප්‍රසාදය මොන තරම් උතුම්ද! (යෝෂු. 24:19) දෙවිගේ සෙනඟ හැටියට අප භුක්ති විඳින ආශිර්වාද මොන තරම්ද! එමනිසා මේ අවසාන කාලයේදී අපගේ ජීවිතය ගත කළ හැකි හොඳම ක්‍රමය වන්නේ දෙවි ඉදිරියෙහි ශුද්ධ හැසිරීමක් පවත්වාගැනීමයි.

ඉතා ඉක්මනින්ම දෙවි පොරොන්දු වූ පාරාදීස පොළොවේ ජීවිතය අපට හිමිවීමට නියමිතයි. (යෙසා. 35:1, 2, 5-7) ඊට ආශාවෙන් සිටින හා ඒ සඳහා සුදුසුකම් අත් කරගනිමින් සිටින සියලුදෙනාටම ඒ උරුමය දෙවි ලබා දෙයි. (යෙසා. 65:17, 21) මේ සියල්ල අප ඉදිරියේ තිබෙන නිසා දෙවි ඉදිරියේ ශුද්ධ නමස්කාරකයන් හැටියට ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට අපට හැකි සියල්ල කරමු.

[පාදසටහන]

^ 12 ඡේ. “අපවිත්‍රකම් කිරීමට ගිජුකමක්” දැක්වීම ‘අපවිත්‍රකමට’ වඩා වෙනස් වන්නේ කෙසේද කියා තේරුම්ගැනීමට 2006 ජූලි 15 මුරටැඹ කලාපයේ 29 සිට 31 දක්වා පිටුවල ඇති තොරතුරු බලන්න.

[26වන පිටුවේ පින්තූරය]

‘ශුද්ධ මාර්ගයේ’ ගමන් කිරීම සඳහා යුදෙව්වන්ගෙන් බලාපොරොත්තු වූ සුදුසුකම් මොනවාද?

[27වන පිටුවේ පින්තූරය]

කාමුක දර්ශන නැරඹීමෙන් දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය හානි වෙයි

[28වන පිටුවේ පින්තූරය]

‘සියලු ආකාර කෑගැසීම්, නිග්‍රහ කිරීම් ඔබෙන් ඉවත් කර දමන්න’