Skip to content

පටුනට යන්න

පාලක මණ්ඩලය සංවිධානය වී ඇති ආකාරය

පාලක මණ්ඩලය සංවිධානය වී ඇති ආකාරය

පාලක මණ්ඩලය සංවිධානය වී ඇති ආකාරය

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය සෑදී තිබෙන්නේ දෙවිගේ අභිෂේක ලත් සේවකයන්ගෙනුයි. ඔවුන් විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව නියෝජනය කරනවා. ඔවුන්ගේ වගකීම්වලට ඇදහිල්ල ශක්තිමත් කිරීමට අවශ්‍ය දේවල් සැපයීම හා ලොව පුරා දේශනා කිරීමේ කාර්යය නිසි ආකාරයට කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීම අයත් වෙනවා.—මතෙ. 24:14, 45-47.

පාලක මණ්ඩලය ඔවුන්ගේ රැස්වීම් සඳහා සාමාන්‍යයෙන් එකතු වන්නේ බදාදා දිනවලයි. මෙම රැස්වීම් ඔවුන් අතර ඇති එක්සත්කම පවත්වාගැනීමට දායක වෙනවා. (ගීතා. 133:1) පාලක මණ්ඩලයට අයත් සාමාජිකයන් විවිධ කමිටුවල සේවය කරනවා. පහත සඳහන් වන්නේ ඒ එක් එක් කමිටුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන වැඩකටයුතුයි.

▪ සංවිධායක කමිටුව: මෙම කමිටුව සෑදී තිබෙන්නේ පාලක මණ්ඩලයට අයත් සෑම කමිටුවකින්ම එක් නියෝජිතයෙක් බැගින් එකතු වීමෙනුයි. ඊට ලේකම්වරයෙකුද සිටින අතර ඔහුද පාලක මණ්ඩලයේ සාමාජිකයෙක්. එහි වගකීම වන්නේ අනෙකුත් සියලුම කමිටු කාර්යක්ෂමව මෙන්ම අනවශ්‍ය ගැටලුවලින් තොරව ක්‍රියාත්මක වෙනවාද කියා අධීක්ෂණය කිරීමයි. එමෙන්ම ලෝක ව්‍යාප්ත යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට බලපාන පීඩා, ආපදා වැනි හදිසි තත්වයන්වලදී ඔවුන්ට උපකාර කිරීමට අවශ්‍ය සැලසුම් යෙදීමද මෙම කමිටුව මගින් සිදු කරනවා.

▪ බෙතෙල් කමිටුව: ලොව පුරා සිටින බෙතෙල් සාමාජිකයන්ගේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීමට අවශ්‍ය දේවල් සහ ඔවුන්ගේ සේවය කිරීමට අවශ්‍ය මූලික පහසුකම් අධීක්ෂණය කිරීම මෙම කමිටුවේ වගකීමයි. බෙතෙල් පවුලට නව සාමාජිකයන්ව තෝරාගැනීම මෙන්ම බෙතෙල් සේවය හා සම්බන්ධ ප්‍රශ්න හසුරුවන්නේද මෙම කමිටුව විසිනුයි.

▪ ප්‍රකාශන කමිටුව: බයිබලය මත පදනම් පොත් පත් මුද්‍රණය කිරීම, බෙදාහැරීම සහ විවිධ රටවලට ඒවා නැව්ගත කිරීම යන කටයුතු අධීක්ෂණය කරන්නේ මෙම කමිටුව මගිනුයි. එමෙන්ම අපගේ සංවිධානයට අයත් මුද්‍රණාල, දේපළ මෙන්ම සාක්ෂිකරුවන් විසින් යොදාගන්නා විවිධ නීත්‍යනුකූල ආයතනද පවතින්නේ මෙහි අධීක්ෂණය යටතෙයි. තවදුරටත් ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් ලැබෙන පරිත්‍යාග ඥානවන්තව යොදාගැනීමට සැලසුම් කරන්නේද මෙම කමිටුව විසිනුයි.

▪ සේවා කමිටුව: මෙම කමිටුව මගින් දේශනා කිරීමේ කාර්යය සහ සභාවලට, පුරෝගාමීන්ට, වැඩිමහල්ලන්ට මෙන්ම සංචාරක අවේක්ෂකයන්ට බලපාන කාරණා අධීක්ෂණය කරනවා. එමෙන්ම අපගේ රාජ්‍ය සේවා පත්‍රිකාවට ඇතුළත් කරන තොරතුරු තීරණය කරන්නේ ඔවුන් විසිනුයි. තවදුරටත් ගිලියද් පාසැල සහ දේවසේවා පුහුණු පාසැල සඳහා ශිෂ්‍යයන්ට ආරාධනා කරන්නේද පැවරුම් ලබා දෙන්නේද මෙම කමිටුව විසිනුයි.

▪ ඉගැන්වීම් කමිටුව: මෙම කමිටුව මගින් එක්රැස්වීම්, දිස්ත්‍රික් සමුළු සහ සභා රැස්වීම්වලදී සාකච්ඡා කරන තොරතුරු සපයනවා. එමෙන්ම බෙතෙල් පවුලේ සාමාජිකයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සපයන්නේද මෙම කමිටුව මගිනුයි. තවදුරටත් ගිලියද් පාසැල, පුරෝගාමි සේවා පාසැල ඇතුළු වෙනත් පාසැල් මෙන්ම වීඩියෝ සහ ශ්‍රව්‍ය කැසට් පට සූදානම් කිරීම සිදු වන්නෙත් මොවුන්ගේ අධීක්ෂණය යටතෙයි.

▪ ලේඛන කමිටුව: බයිබලය මත පදනම් තොරතුරු සාක්ෂිකරුවන්ට සහ මහජනයාට ලිඛිතව ලබා දීමේ වගකීම පැවරී ඇත්තේ මෙම කමිටුවටයි. එමෙන්ම බයිබල් ඉගැන්වීම් පිළිබඳව අසන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නෙත් බයිබල් නාට්‍යය හා කතා දළ සටහන් පිළියෙල කරන්නෙත් ලෝක ව්‍යාප්තව සිදු කරන පරිවර්තන කටයුතු අධීක්ෂණය කරන්නෙත් මෙම කමිටුව මගිනුයි.

අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත දෙවිගේ සභාව මිනිස් සිරුරකට පාවුල් සමාන කළා. එහි ඇති සෑම අවයවයක්ම ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනවා හා සමානව මෙම සාමාජිකයන්ද ප්‍රේමයෙන් සහ සහයෝගයෙන් එකිනෙකාට උපකාර කරමින් දෙවි පවරා ඇති කාර්යය හොඳින් ඉටු කරනවා. (රෝම 12:4, 5; 1 කොරි. 12:12-31) මෙම සාමාජිකයන්ට සහයෝගයෙන් කටයුතු කරන්නත් දෙවිගේ සංවිධානයේ වැඩකටයුතු හොඳින් අධීක්ෂණය කිරීමට සහ දේවවචනය මත පදනම් මඟ පෙන්වීම් ලබා දීමටත් සභාවේ හිස වන යේසුස් ඔවුන්ට උපකාර කරනවා. (එෆී. 4:15, 16; කොලො. 2:19) ඒ ආකාරයට දෙවි තම බලය මාර්ගයෙන් පාලක මණ්ඩලය සංවිධානය කර තිබෙන්නේ පෙරමුණ ගෙන කටයුතු කිරීමටයි.