Skip to content

පටුනට යන්න

පාවුල්ව ආදර්ශයට ගන්න

පාවුල්ව ආදර්ශයට ගන්න

පාවුල්ව ආදර්ශයට ගන්න

“මම යහපත් සටනෙහි සටන් කළෙමි. මම දිවීම අවසන් කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි.”—2 තිමෝ. 4:7.

1, 2. සාවුල් තම ජීවිතයේ කළ වෙනස්කම් මොනවාද? එමෙන්ම ඔහු භාරගත් පැවරුම කුමක්ද?

ඔහු ඉතාමත් බුද්ධිමත් මෙන්ම එදා සමාජයේ සිටි බලපුළුවන්කාර පුද්ගලයෙක්. ඔහු ‘කලක් මාංසයේ ආශාවලට අනුව හැසිරුණු’ කෙනෙක්. (එෆී. 2:3) ඔහුගේ ජීවිතයේ පසු කාලයකදී ඔහු තමා ගැන පැවසුවේ මෙසේයි. “මම දේවඅපහාස කරන්නෙකුවද, පීඩා කරන්නෙකුවද, නින්දා කරන්නෙකුවද සිටියෙමි.” (1 තිමෝ. 1:13) ඒ වෙන කවුරුත් නොව ටාසස්හි සාවුල්.

2 පසුව පුදුමාකාර ලෙස තම ජීවිතය වෙනස් කරගත් ඔහු ඔහුගේම ‘ප්‍රයෝජන නොසොයා බොහෝදෙනාගේ ප්‍රයෝජනය වෙනුවෙන්’ වෙහෙසී වැඩ කළා. (1 කොරි. 10:33) එමෙන්ම ඔහු කලින් ඉතා දරුණු ලෙස පීඩා කළ අයට පසුව මුදු මොළොක් සැලකිල්ලක් මෙන්ම ගැඹුරු සෙනෙහසක්ද දැක්වුවා. (1 තෙසලෝනික 2:7, 8 කියවන්න.) “මම එහි දේවසේවකයෙක් වුණෙමි” කියා පැවසූ ඔහු ඊට හේතුව මෙසේ පවසනවා. ‘ශුද්ධ තැනැත්තන්ගෙන් සුළුම තැනැත්තාටත් වඩා සුළු තැනැත්තා වූ මට මේ මහත් කරුණාව දෙන ලද්දේ ක්‍රිස්තුස්ගේ සොයා දැනගත නොහැකි සම්පත ගැන ශුභාරංචිය මා අන්‍යජාතීන්ට ප්‍රකාශ කිරීම සඳහායි.’—එෆී. 3:7, 8.

3. පාවුල්ගේ ලිපි සහ දේවසේවය පිළිබඳ ඔහුගේ වාර්තාව සලකා බැලීම අපට උපකාරවත් වන්නේ කුමක් කිරීමටද?

3 මුලින් සාවුල් කියා හැඳින්වූ පාවුල් සත්‍යය මාර්ගය තුළ බොහෝ සේ දියුණු වුණා. (ක්‍රියා 13:9) අපටත් එසේ දියුණු විය හැකියි. ඔහු ලියූ ලිපි සහ දේවසේවය පිළිබඳව වාර්තා අධ්‍යයනය කිරීම මෙන්ම ඔහුගේ ආදර්ශය අනුකරණය කිරීම ඒ සඳහා අපට උපකාරවත් වෙනවා. (1 කොරින්ති 11:1; හෙබ්‍රෙව් 13:7 කියවන්න.) එලෙස පාවුල්ව අනුකරණය කිරීමෙන්, හොඳ සැලැස්මකට අනුව පෞද්ගලික අධ්‍යයනයේ යෙදීමටත් අන් අය කෙරෙහි සැබෑ ප්‍රේමයක් දැක්වීමටත් නිහතමානීව කටයුතු කිරීමටත් හැක්කේ කෙසේද කියා දැන් අපි සලකා බලමු.

පෞද්ගලික අධ්‍යයනය කළා

4, 5. පෞද්ගලික අධ්‍යයනයෙන් පාවුල් ලැබූ ප්‍රයෝජන මොනවාද?

4 කලින් පරිසිවරයෙකුව සිටි පාවුල් ‘ගමාලියෙල්ගේ පාමුල ඉගෙනුම ලැබුවා. මුතුන්මිත්තන්ගෙන් පැවත ආ නීතියේ නියම පිළිවෙළට අනුව ඔහු පුහුණුව ලැබූ අතර’ ශුද්ධ ලියවිල්ල පිළිබඳ යම් දැනුමක්ද ඔහු සතු වුණා. (ක්‍රියා 22:1-3; ෆිලි. 3:4-6) නමුත් පසුව ඔහු බව්තීස්ම වූ විගසම “අරාබියට” ගිය බව ඔහු පවසනවා. සමහරවිට ඔහු සිරියානු කාන්තාරයට හෝ ආරාබියේ යම් නිස්කලංක ප්‍රදේශයකට ගියා කියා සිතන්න පුළුවන්. (ගලා. 1:17) ඔහු එහි ගියේ සමහරවිට, යේසුස් ගැලවුම්කරු බව තහවුරු කිරීමට තිබෙන ශුද්ධ ලියවිලි ගැන ගැඹුරින් කල්පනා කරන්න විය හැකියි. (ක්‍රියා 9:15, 16, 20, 22 කියවන්න.) පාවුල් දෙවි පිළිබඳ කාරණා ගැන ගැඹුරින් කල්පනා කිරීමට කාලය ගත් බවට සැකයක් නැහැ.

5 පාවුල් ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කිරීමෙන් ලැබූ අවබෝධය නිසා බයිබල් සත්‍යය අන් අයගේ සිතට කාවදින ලෙස ඉගැන්වීමට ඔහුට හැකි වුණා. උදාහරණයකට පිසිදියේ පිහිටි අන්තියෝකියේ සිනගෝගයකදී පාවුල් යේසුස් ගැලවුම්කරු බව ඔප්පු කිරීම සඳහා අඩුම තරමින් හතර වතාවක්වත් හෙබ්‍රෙව් ලියවිල්ලෙන් උපුටාගත්තා. එමෙන්ම ඔහු ඊශ්‍රායෙල්වරුන් හා සම්බන්ධ සිද්ධීන් රැසක් යොදාගනිමින් කතා කළා. ඔහුගේ තර්ක අන් අයගේ සිතට කොතරම් තදින් කාවැදුණාද කියනවා නම් තවත් දේවල් ඔහුගෙන් ඉගෙනගැනීමට “යුදෙව්වන්ගෙන්ද, යුදෙව් ආගමට හැරී දෙවිට නමස්කාර කළ අයගෙන්ද බොහෝදෙනෙක් පාවුල් සහ බානබස් පසුපස ගියෝය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 13:14-44) ඊට අවුරුදු කිහිපයකට පසුව රෝමයේ ජීවත් වූ යුදෙව්වන් පිරිසක් පාවුල් නවාතැන් ගෙන සිටි ස්ථානයට පැමිණි අතර ඔහු ‘දෙවිගේ රාජ්‍යය ගැන ඔවුන්ට පූර්ණ ලෙස සාක්ෂි දරමින්, යේසුස් ගැන ඒත්තුගන්වන පිණිස මෝසෙස්ගේ නීතියෙන් සහ අනාගතවාක්‍යයෙන් කාරණා පැහැදිලි කළා.’—ක්‍රියා 28:17, 22, 23.

6. පීඩා හමුවේ පවා ඇදහිල්ලේ ස්ථිරව සිටින්නට පාවුල්ට උපකාරවත් වුණේ කුමක්ද?

6 පීඩාවලට මුහුණ දෙන විටදීත් දිගටම ඔහු දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමෙන් ඊට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලැබුවා. (හෙබ්‍රෙ. 4:12) ඔහුට මරණ දණ්ඩනය නියම වී රෝමයේ සිරගතව සිටියදී ‘අකුළන ලියවිලිද, සම් ලියවිලිද’ රැගෙන එන්න කියා ඔහු තිමෝතිට පැවසූ දෙයින්ද අපට ඒ ගැන පැහැදිලියි. (2 තිමෝ. 4:13) ඒවා හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල යම් කොටස් වූවා විය හැකි අතර දෙවිගේ වචනය ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා ඔහු භාවිත කළේ ඒවායි. පීඩා හමුවේ පවා ඇදහිල්ලේ ස්ථිරව සිටීමට සැලැස්මකට අනුව කළ එවන් අධ්‍යයනයක් පාවුල්ට උපකාරවත් වූ බව නිසැකයි.

7. සැලැස්මකට අනුව බයිබලය පෞද්ගලිකව අධ්‍යයනය කිරීමෙන් ඔබට ලැබිය හැකි ප්‍රයෝජන මොනවාද?

7 අප සත්‍යය තුළ දියුණුවක් ලැබීමට නම් සැලැස්මකට අනුව පෞද්ගලික අධ්‍යයනය කිරීමත් ඒ ගැන ගැඹුරින් සිතා බැලීමත් අවශ්‍යයි. (හෙබ්‍රෙ. 5:12-14) දෙවිගේ වචනයේ ඇති වටිනාකම අගය කළ ගීතිකාකරු පැවසුවේ මෙසේයි. “ඔබේ මුඛයෙන් නික්මුණු නීතිය මාගේම ප්‍රයෝජනය සඳහාය. රන් රිදී කාසි දහසකටත් වඩා එය වටින්නේය. ඔබේ ආඥා නිසා මාගේ සතුරන්ට වඩා මම ප්‍රඥාවන්තව සිටිමි. මන්ද සැමදා ඒවා මා ළඟය. මා ඔබේ වචනය පිළිපදින පිණිස මගේ පාද සියලු වැරදි මාර්ගයන්ගෙන් වළක්වාගතිමි.” (ගීතා. 119:72, 98, 101, නව ලොව පරිවර්තනය, NW) ඔබත් සැලැස්මකට අනුව බයිබලය පෞද්ගලිකව අධ්‍යයනය කරනවාද? දෙවිගේ සේවය තුළ ඉදිරියේදී ඔබට ලැබිය හැකි පැවරුම්වලට සූදානම් වීම සඳහා දිනපතා බයිබලය කියවා ඒ ගැන ගැඹුරින් සිතා බලනවාද?

අන් අයට ප්‍රේම කරන්න ඉගෙනගත්තා

8. තම ආගමට අයත් නොවූ අයව සාවුල් සැලකුවේ කෙසේද?

8 ක්‍රිස්තියානියෙකු වීමට කලින් සාවුල් යුදෙව් ආගම වෙනුවෙන් ඉතාම උද්‍යෝගයෙන් ක්‍රියා කළ කෙනෙක්. ඔහුගේ ආගමට අයත් නොවූ මිනිසුන් කෙරෙහි එතරම් සැලකිල්ලක් ඔහු දැක්වූයේ නැහැ. (ක්‍රියා 26:4, 5) එමෙන්ම ඔහුගේ අනුමැතිය ඇතිව සමහර යුදෙව්වන් ස්තේපන්ව ගල් ගසා මරා දැමුවා. ස්තේපන්ට එවැනි දඬුවම් දීම සාධාරණයි කියා සිතූ ඔහු ඉන් නොනැවතී ක්‍රිස්තියානීන්ට දිගටම පීඩා කිරීමට අධිෂ්ඨාන කරගත් බවට සැකයක් නැහැ. (ක්‍රියා 6:8-14; 7:54–8:1) බයිබලයේ ඒ ගැන වාර්තා කරන්නේ මෙසේයි. “සාවුල්, සභාව වනසා දමන්න පටන්ගත්තේය. ඔහු ගෙයක් පාසා ගෙයකට කඩා වැද, පුරුෂයන්වද ස්ත්‍රීන්වද පිටතට ඇදගෙන ගොස් ඔවුන්ව සිරගෙට භාර දුන්නේය.” (ක්‍රියා 8:3) ඉන් නතර නොවූ ඔහු “පිට නගරවලට පවා ගොස් ඔවුන්ට පීඩා” කළා.—ක්‍රියා 26:11.

9. අන් අයට තමන් සැලකූ ආකාරය වෙනස් කරගැනීමට සාවුල්ට හේතු වුණේ කුමක්ද?

9 දිනක් ඔහු දමස්කයේ සිටි ක්‍රිස්තියානීන්ටත් පීඩා කිරීමට යමින් සිටියදී යේසුස් ඔහුට දර්ශනය වුණා. අහසින් මහත් ආලෝකයක් ඔහු ඉදිරියේ බැබළුණු අතර ඉන් ඔහු අන්ධ වුණා. පසුව ඔහුට එහා මෙහා යාමට සිදු වුණේ අන් අයගේ උපකාරය ඇතිවයි. පසුව යෙහෝවා දෙවි අනනියස් මාර්ගයෙන් ඔහුට නැවත පෙනීම ලබා දුන් අතර එතැන් සිට ඔහු අන් අයට සැලකූ ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. (ක්‍රියා 9:1-30) යේසුස් අන් අයට සැලකූ ආකාරයට සැලකීමට ඔහු දැඩි උත්සාහයක් දැරුවා. ඒ සඳහා ඔහුට තිබුණු සැහැසික ගතිගුණ ඉවත් කර “සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න” ඔහුට සිදු වුණා.—රෝම 12:17-21 කියවන්න.

10, 11. ජනයා කෙරෙහි සැබෑ ප්‍රේමයක් පාවුල් පෙන්වූයේ කෙසේද?

10 ඔහු අන් අය සමඟ නිකම්ම සුහදව කටයුතු කරන පුද්ගලයෙක් පමණක් වුණේ නැහැ. ඒ වෙනුවට අන් අය කෙරෙහි සැබෑ ප්‍රේමයක් පෙන්වීමට ඔහු උත්සාහ කළ අතර ශුභාරංචිය දේශනා කිරීම ඒ සඳහා ඔහුට මඟ උදා කර දුන්නා. සුළු ආසියාවේ ඔහු කළ පළමු මිෂනාරි සංචාරයේදී ඔහුටත් ඔහුගේ සහයකයන්ටත් දරුණු පීඩාවලට මුහුණ දෙන්න සිදු වුණා. ඒ වුණත් මෘදු ගුණැති අයට දෙවිගේ නමස්කාරකයන් වන්න ඔවුන් උපකාර කළා. එමෙන්ම තමන්ව කලින් වතාවේදී ඝාතනය කිරීමට උත්සාහ කළ මිනිසුන් සිටි ලිස්ත්‍රාවට සහ ඉකෝනියට පවා ඔවුන් නැවතත් ගියේ අන් අයට තිබූ ප්‍රේමය නිසයි.—ක්‍රියා 13:1-3; 14:1-7, 19-23.

11 පසුව මැසිඩෝනියානු ප්‍රදේශයේ නගරයක් වූ ෆිලිප්පියට පාවුල් සහ ඔහුගේ සහයකයන් පැමිණ එහි සිටි ජනයාට ශුභාරංචිය දේශනා කළා. එහි සිටි යුදෙව් ආගමට හැරුණු ලිදියා නම් ස්ත්‍රියක් ශුභාරංචිය අසා ක්‍රිස්තියානිවරියක් බවට පත් වුණා. එහිදී බලධාරීන් පාවුල් හා සීලස්ට හොඳටම පහර දී සිරගත කළා. කෙසේනමුත් සිරගෙයි භාරව සිටි නිලධාරියාට පාවුල් දේශනා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඔහුත් ඔහුගේ පවුලේ අයත් දෙවිගේ නමස්කාරකයන් බවට පත් වුණා.—ක්‍රියා 16:11-34.

12. දරුණු සාවුල්ව ප්‍රේමණීය පාවුල් බවට පත්වීමට පෙලඹෙව්වේ කුමක්ද?

12 තමා පීඩා කළ අයගේ ඇදහිලි ක්‍රමය පිළිගෙන ඒ අනුව කටයුතු කරන්න සාවුල් පෙලඹුණේ ඇයි? එමෙන්ම වරක් දරුණු ලෙස හැසුරුණු සාවුල් කරුණාවන්ත මෙන්ම අන් අයට ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා තම ජීවිතය පවා අනතුරේ හෙළන්න කැමැත්තෙන් සිටි පාවුල් බවට පත්වීමට හේතුව කුමක්ද? ඒ ගැන ඔහුම පවසන දේ බලන්න. ‘සිය මහත් කරුණාවෙන් දෙවි මාව කැඳවුවේය. ඒ මා තුළින් ඔහුගේ පුත්‍රයාව හෙළි කිරීමටය.’ (ගලා. 1:15, 16) ඔහු තිමෝතිට ලියූ මෙම දෙයින්ද ඊට හේතුව වටහාගන්න පුළුවන්. “මට දයාව පෙන්වනු ලැබුවේ මේ නිසාය. එනම්, සදාකාල ජීවනය සඳහා ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි තම ඇදහිල්ල තබන අය වෙනුවෙන් ආදර්ශයක් වීමටය. එමගින් ඔහු, ප්‍රධාන පව්කාරයා වූ මා මාර්ගයෙන් තම මුළු මහත් ඉවසිල්ල පෙන්වන්නේය.” (1 තිමෝ. 1:16) යෙහෝවා දෙවි ඔහුට සමාව දුන්නා. දෙවිගේ එම මහත් කරුණාව සහ දයාව අන් අයට ශුභාරංචිය දේශනා කිරීමෙන් සැබෑ ප්‍රේමය පෙන්වන්න ඔහුව පෙලඹෙව්වා.

13. අන් අයට ප්‍රේම කිරීමට අපව පෙලඹවිය යුත්තේ කුමක්ද? එම ප්‍රේමය පෙන්විය හැක්කේ කෙසේද?

13 ඒ හා සමානව දෙවි අපේ අතින් සිදු වන වැරදිවලට සමාව දෙනවා. (ගීතා. 103:8-14) ගීතිකාකරු මෙසේ ඇසුවේ ඒ නිසයි. “යාහ් දෙවියනි, ඔබ අපේ වැරදි සොයනවා නම්, අනේ යෙහෝවා දෙවියනි, එක්කෙනෙකුවත් ඉතුරු වෙයිද?” (ගීතා. 130:3NW) අපට දෙවිගේ දයාව නොලැබුණා නම් ඔහුගේ පරිශුද්ධ සේවයේ ලබන ප්‍රීතිය පවත්වාගන්නවත් සදාකාල ජීවනයේ බලාපොරොත්තුව ඇතිව සිටීමටවත් අපගෙන් කිසිම කෙනෙකුට හැකි වන්නේ නැහැ. අප වෙනුවෙන් ඔහු පෙන්වා තිබෙන මහත් කරුණාව මොන තරම්ද! එමනිසා අපිත් පාවුල් මෙන් අන් අයට ශුභාරංචිය දේශනා කිරීමෙන් බයිබල් සත්‍යය ඉගැන්වීමෙන් සහ සෙසු ඇදහිලිවන්තයන්ව දිරිමත් කිරීමෙන් ඔවුන්ට ඇති අපගේ සැබෑ ප්‍රේමය පෙන්විය යුතුයි.—ක්‍රියා 14:21-23 කියවන්න.

14. අප කරන සේවය තවත් වැඩි කරගැනීමට අපට හැක්කේ කෙසේද?

14 දේවසේවකයෙක් හැටියට දියුණු වීමට පාවුල් මහත් ආශාවක් දැක්වුවා. ඒ සඳහා ඔහුට විශාල බලපෑමක් වුණේ යේසුස්ගේ ආදර්ශයයි. යේසුස්ද ජනයාට ප්‍රේම කළ ප්‍රධාන ක්‍රමයක් වුණේ ප්‍රසිද්ධියේ දේශනා කිරීම බව පාවුල් දැන සිටියා. යේසුස්ම මෙසේ ඒ ගැන පැවසුවා. “අස්වැන්න නම් බොහෝය, නමුත් වැඩ කරන්නෝ ස්වල්පදෙනෙක්ය. එහෙයින් තම අස්වැන්න නෙළීමට වැඩ කරන්නන් එවන ලෙස අස්වැන්නේ ස්වාමියාගෙන් අයැදින්න” (මතෙ. 9:35-38) ඊට එකඟව පාවුල්ද ඉතා වෙහෙස මහන්සි වී ශුභාරංචිය දේශනා කළා. ඔබගේ තත්වය කුමක්ද? දේශනා කරන ආකාරය සම්බන්ධයෙන් විවිධ පැති තවත් දියුණු කරගැනීමට ඔබට හැකිද? පුරෝගාමි සේවය යෙදීමේ අරමුණින් දේවසේවයේ යෙදෙන කාලය තව වැඩි කරගන්න ඔබට හැකිද? එයාකාරයෙන් ‘ජීවනයේ වචනය තදින් අල්ලාගැනීමට’ අන් අයට උපකාර කිරීමෙන් සැබෑ ප්‍රේමය පෙන්වමු.—ෆිලි. 2:16.

යටහත්පහත්කම ඉගෙනගත්තා

15. තමා යටහත්පහත් කෙනෙකු බව පාවුල් පෙන්වූයේ කෙසේද?

15 දේවසේවකයෙක් හැටියට පාවුල් තවත් කදිම ආදර්ශයක් අපට තැබුවා. ඔහු ක්‍රිස්තියානි සභාව තුළ බොහෝ වගකීම් සහ වරප්‍රසාද ලැබුවා. එවැනි ආශීර්වාද ඔහු භුක්ති වින්දේ ඔහු දැන උගත් පුද්ගලයෙකු වූ නිසා හෝ ඔහුගේ හැකියාවන් නිසා නොවන බව ඔහු හොඳින් තේරුම්ගත්තා. ඒ වෙනුවට ඔහුට ඒවා ලැබුණේ දෙවිගේ මහත් කරුණාව නිසා බවත් තමා මෙන් අන් අයටත් ඉතා හොඳින් දේශනා කළ හැකි බව ඔහු පිළිගත්තා. ක්‍රිස්තියානි සභාව තුළ ඔහු බොහෝ වගකීම් දැරූ කෙනෙකු වුණත් ඔහු කටයුතු කළේ ඉතා යටහත්පහත්වයි.—1 කොරින්ති 15:9-11 කියවන්න.

16. චර්මච්ඡේදනය පිළිබඳ ගැටලුව විසඳීමේදී පාවුල් නිහතමානිකම පෙන්වූයේ කෙසේද?

16 සිරියාවේ අන්තියෝකියෙහි පිහිටි සභාවෙහි චර්මච්ඡේදනය පිළිබඳව ප්‍රශ්නයක් පැනනැඟුණා. එය විසඳීමේදී පාවුල් කටයුතු කළ ආකාරය සලකා බලන්න. (ක්‍රියා 14:26–15:2) යුදෙව් නොවන ජාතීන්ට ශුභාරංචිය දේශනා කිරීම සඳහා ප්‍රධාන වශයෙන් පත් කර තිබුණේ පාවුල්වයි. එමනිසා යුදෙව් නොවන අයගේ ගැටලු විසඳීමට සුදුසුම තැනැත්තා තමා කියා ඔහු සිතුවා විය හැකියි. (ගලාති 2:8, 9 කියවන්න.) නමුත් තමන්ට එය විසඳීමට නොහැකි බව පාවුල් දුටු විට ඔහු ඉතා නිහතමානි වී යෙරුසලමේ තිබූ පාලක මණ්ඩලයෙන් උපකාර පැතුවා. එහිදී ඔහු පාලක මණ්ඩලයේ සාමාජිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ අතර චර්මච්ඡේදනය ගැන ඔවුන් දුන් තීරණය පිළිගෙන එය සභාවට දැනුම් දීමේ කාර්යයද භාරගත්තා. (ක්‍රියා 15:22-31) ඒ අනුව පාවුල් තම සෙසු සේවකයන්ට ‘ගෞරවය දැක්වීමේදී පෙරමුණ ගෙන’ කටයුතු කළා.—රෝම 12:10ආ.

17, 18. (අ) සභාවේ සෙසු අය කෙරෙහි පාවුල්ට තිබුණේ මොන වගේ හැඟීමක්ද? (ආ) පාවුල්ගේ පිටත් වීම ගැන එෆීසයේ වැඩිමහල්ලන් දැක්වූ ප්‍රතිචාරයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

17 පාවුල් සෙසු නමස්කාරකයන්ව ගණන් නොගෙන සභාව තුළ උඩඟු ලෙස කටයුතු කළ කෙනෙක් නොවෙයි. ඔහුට සෙසු අය සමඟ පුදුමාකාර බැඳීමක් තිබුණා. ඔහු රෝමවරුන්ට ලියූ ලිපියේ සහෝදර සහෝදරියන් 20දෙනෙකුට වඩා ඔවුන්ගේ නම්වලින්ම අමතා ඔවුන්ට සුබ පතා තිබෙනවා. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් ගැන බයිබලයේ වෙන කොතනකවත් සඳහන් වන්නේ නැහැ. නමුත් ඒ අය අතරින් විශේෂ වගකීම් දැරුවේ කිහිපදෙනෙක් පමණයි. මේ සියලුදෙනාම දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් වූ අතර පාවුල් ඔවුන්ට ඉමහත් ප්‍රේමයක් දැක්වුවා.—රෝම 16:1-16.

18 පාවුල් යටහත්පහත්ව සහ මිත්‍රශීලීව කටයුතු කළ නිසා සභාවල සිටි අයගේ ඇදහිල්ල ශක්තිමත් වුණා. එහි සිටි වැඩිමහල්ලන් ඔහුට කොතරම් ප්‍රේම කළාද කියා එෆීස සභාවෙන් ඔහු අවසන් වරට පිටත්ව යන විට සිදු වූ දෙයින් පැහැදිලි වෙනවා. එහිදී ඔවුන් ‘පාවුල්ගේ බෙල්ල බදාගෙන ඔහුව ආදරයෙන් සිඹගත්තා. මන්ද, අනික් හැම දේටම වඩා, මෙතැන් පටන් ඔවුහු ඔහුගේ මුහුණ තවත් නොදකින්නෝයයි ඔහු පැවසූ වදන ගැන ඔවුහු සිත් වේදනාවට පත් වුණා.’ නමුත් පාවුල් ඉතා උඩඟු, අහංකාර කෙනෙක්ව සිටියා නම් ඔහුගේ පිටත් වීම ගැන ඔවුන් මෙතරම් කනගාටු වෙයි කියා ඔබ සිතනවාද?—ක්‍රියා 20:37, 38.

19. සෙසු ක්‍රිස්තියානීන් සමඟ කටයුතු කරද්දී ‘යටහත්පහත් මනසක්’ ඇතුව සිටිය හැක්කේ කෙසේද?

19 සත්‍යය තුළ දියුණු වන්න කැමති සියලුදෙනාම පාවුල් මෙන් යටහත්පහත්ව කටයුතු කළ යුතුයි. ඔහු ක්‍රිස්තියානීන්ට උනන්දු කළේ “දබරකාරීව හෝ හිස උදුම්මාගැනීමෙන් කිසිවක් නොකර, යටහත්පහත් මනසකින් යුක්තව ඔබට වඩා අන් අය උතුම්යයි සලකමින් කටයුතු කරන්න” කියායි. (ෆිලි. 2:3) ඊට එකඟව කටයුතු කිරීමට අපට හැක්කේ කෙසේද? එක් ක්‍රමයක් නම් සභාවේ වැඩිමහල්ලන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමයි. ඊට ඔවුන්ගේ මඟ පෙන්වීම් පිළිගැනීමත් විනිශ්චමය කාරණා සම්බන්ධයෙන් ඔවුන් දෙන තීරණවලට එකඟව ක්‍රියා කිරීමත් ඇතුළත්. (හෙබ්‍රෙව් 13:17 කියවන්න.) තවත් ක්‍රමයක් නම් අපගේ සියලුම සහෝදර සහෝදරියන් ඉතාමත් වටිනා අය හැටියට සැලකීමයි. අද දින බොහෝ සභාවල විවිධ ජාතීන්ට, සංස්කෘතීන්ට, පසුබිම්වලට අයත් අය සිටිනවා. අපි ඒ සියලුදෙනාටම පාවුල් මෙන් එක හා සමානව සැලකිය යුතුයි. (ක්‍රියා 17:26; රෝම 12:10අ) බයිබලයේ අපව උනන්දු කරන්නේ “ක්‍රිස්තුස් අපව පිළිගත් ලෙසම, දෙවිගේ තේජස පිණිස එකිනෙකාව පිළිගන්න” කියායි.—රෝම 15:7.

ජීවන ගමන ‘විඳදරාගැනීමෙන් දුවන්න’

20, 21. අපගේ දිවීම සාර්ථකව අවසන් කිරීමට උපකාරවත් වන්නේ කුමක්ද?

20 ක්‍රිස්තියානියෙකුගේ ජීවිතය දිගු ධාවන තරඟයකට සමාන කළ හැකියි. පාවුල් මෙසේ පැවසුවේ ඒ නිසයි. “මම දිවීම අවසන් කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. මෙතැන් පටන්, ධර්මිෂ්ඨකම නමැති ඔටුන්න මා සඳහා තබා තිබේ. ධර්මිෂ්ඨ විනිශ්චයකරු වන ස්වාමීන් ඒ දවසේදී මට එය ප්‍රදානය කරන්නේය. එහෙත් මට පමණක් නොව, ඔහුගේ ප්‍රකාශ වීම ගැන ආශාවෙන් සිටින්නාවූ සියල්ලන්ටත් ඔහු එය ප්‍රදානය කරන්නේය.”—2 තිමෝ. 4:7, 8.

21 පාවුල්ව ආදර්ශයට ගැනීම, සදාකාල ජීවනයට යන ගමන සාර්ථකව අවසන් කිරීමට අපට උපකාර කරනවා. (හෙබ්‍රෙ. 12:1) එමනිසා අපි සියලුදෙනාම හොඳ සැලැස්මකට අනුව පෞද්ගලිකව අධ්‍යයනය කිරීමට, අන් අය කෙරෙහි සැබෑ ප්‍රේමයක් පෙන්වීමට හා යටහත්පහත්ව කටයුතු කිරීමට උත්සාහ කරමු. එවිට සත්‍යය තුළ දිගටම දියුණු වීමට අපට හැකි වනවා ස්ථිරයි.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• පෞද්ගලික අධ්‍යයනයෙන් පාවුල් ප්‍රයෝජන ලැබුවේ කෙසේද?

• ක්‍රිස්තියානීන් ජනයා කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් පෙන්වීම වැදගත් ඇයි?

• අන් අයට එක සේ සැලකීමට අපට උපකාරවත් වන ගුණාංග මොනවාද?

• වැඩිමහල්ලන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පාවුල්ගේ ආදර්ශය ඔබට උපකාර වන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

පාවුල් මෙන් ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීමෙන් ශක්තිය ලබන්න

[24වන පිටුවේ පින්තූරය]

ශුභාරංචිය දේශනා කිරීමෙන් අන් අයට සැබෑ ප්‍රේමය පෙන්වන්න

[25වන පිටුවේ පින්තූරය]

සහෝදරයන් පාවුල්ට එතරම් ප්‍රේම කිරීමට හේතුව ඔබ දන්නවාද?