Skip to content

පටුනට යන්න

අප පලා යා යුත්තේ කුමකින්ද?

අප පලා යා යුත්තේ කුමකින්ද?

අප පලා යා යුත්තේ කුමකින්ද?

“පොළොං වංශය, පැමිණෙන උදහසින් පලා යෑමට ඔබට දැන්නුවේ කවුද?”—මතෙ. 3:7.

1. පලා යෑම සම්බන්ධයෙන් සමහරුන්ගේ මතකයට නැඟෙන්නේ කුමන සිද්ධීන්ද?

“පලා යෑම” කියද්දී ඔබට මතක් වෙන්නේ කුමක්ද? යෝසෙප් පොතිෆර්ගේ භාර්යාවගෙන් පලා ගිය ආකාරය සමහර අයට මතක් විය හැකියි. (උත්. 39:7-12) නැත්නම් යේසුස්ගේ මෙම වදන්වලට කීකරු වෙමින් ක්‍රිස්තු වර්ෂ 66දී යෙරුසලමෙන් පලා ගිය ක්‍රිස්තියානීන්ව මතක් විය හැකියි. ඔහු පැවසුවේ ‘සේනාවන් කඳවුරු බැඳ යෙරුසලම වටලා සිටිනවා ඔබ දකින කල යුදයේ සිටින අය කඳුවලට පලා යන්න. නුවර තුළ සිටින අය පිටත්ව යන්න’ කියායි.—ලූක් 21:20, 21.

2, 3. (අ) යුදෙව් ආගමික නායකයන්ට යොහන් පැවසූ දෙයින් අදහස් කළේ කුමක්ද? (ආ) යොහන් කළ අනතුරු ඇඟවීම යේසුස්ද තහවුරු කළේ කෙසේද?

2 පලා යන්න කියද්දී එම අවස්ථා දෙකේදීම අදහස් කළේ ඔවුන් එම ස්ථානයෙන් හැකි ඉක්මනින්ම ඉවත් විය යුතු බවයි. අද සිටින ක්‍රිස්තියානීන්ද ‘පලා යා’ යුතු තවත් ආකාරයක් තිබෙනවා. එය කුමක්ද කියා තේරුම්ගැනීමට යොහන්ගෙන් බව්තීස්ම වීමට පැමිණි කුහක යුදෙව් ආගමික නායකයන්ට ඔහු පැවසූ දෙය සලකා බලමු. “පොළොං වංශය, පැමිණෙන උදහසින් පලා යෑමට ඔබට දැන්නුවේ කවුද? එසේනම් ඔබ පසුතැවිල්ල පෙන්වන පල උපදවන්න.”—මතෙ. 3:7, 8.

3 මෙහිදී යොහන් අදහස් කළේ යම් ස්ථානයකින් වහාම ඉවත් වී වෙනත් තැනකට පලා යා යුතු බව නොවෙයි. ඒ වෙනුවට දෙවිගේ විනිශ්චය දවසේ උදහසින් පලා යෑම හෙවත් ගැලවීමේ අවශ්‍යතාවයයි. ඔහු පැවසුවේ ආගමික නායකයන් ඒ සඳහා අවංක පසුතැවිල්ල පෙන්වන ක්‍රියා කළ යුතු බවයි. සාතන් ඔවුන්ගේ පියා බව පවසමින් ඔවුන්ට තිබූ මිනීමරු ආකල්ප ගැන පසුව යේසුස්ද ප්‍රසිද්ධියේ ඔවුන්ට තරවටු කළා. (යොහ. 8:44) එමෙන්ම යොහන් කී දේ තහවුරු කරමින් යේසුස් මෙසේ පැවසුවා. “සර්පයෙනි, පොළොං වංශයෙනි, ඔබ ගෙහෙන්නාවේ විනිශ්චයෙන් කෙසේ පලා යන්නද?” (මතෙ. 23:33) ගෙහෙන්නාව ගැන සඳහන් කිරීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද?

4. ගෙහෙන්නාව ගැන පැවසීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද?

4 ගෙහෙන්නාව කියන්නේ යෙරුසලමෙන් පිටත තිබූ නිම්නයකටයි. එම ප්‍රදේශය කුණු කසළ මෙන්ම මළ සතුන්ගේ ශරීර පුලුස්සා දැමීමට භාවිත කළා. එහි දමන ඕනෑම දෙයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඒ අනුව යේසුස් ගෙහෙන්නාව ගැන කතා කළේ සම්පූර්ණ විනාශයක් ඇඟවීමටයි. (27වන පිටුව බලන්න.) ගෙහෙන්නාවෙන් ඔවුන් ගැලවෙන්නේ කෙසේද කියා ආගමික නායකයන්ගෙන් ඇසීමෙන් යේසුස් පෙන්වූයේ ඔවුන් නැවත නැඟිටුවීමක් නැති සදාකාල මරණයකට සුදුසු බවයි.—මතෙ. 5:22, 29.

5. යේසුස් හා යොහන් දුන් අනතුරු ඇඟවීම මුල් සියවසේදී ඉටු වුණේ කෙසේද?

5 එම ආගමික නායකයන් බරපතළ වැරදි කර තිබුණා. ඔවුන් යේසුස්ට හා ඔහුගේ අනුගාමිකයන්ට පීඩා කළ නිසා එම වැරදි තවත් වැඩි වුණා. ඒ නිසා යේසුස් හා යොහන් අනතුරු ඇඟවූ දෙවිගේ උදහස ක්‍රි.ව. 70දී ඔවුන් මත පැමිණි අතර ඉන් යෙරුසලමත් දේවමාලිගාවත් විනාශ වුණා. මේ අවස්ථාවේදී දෙවිගේ ‘උදහස පැමිණියේ’ යුදයට හා යෙරුසලමට පමණක් නිසා එහි සිටි සමහරුන්ට වෙනත් ප්‍රදේශයකට පලා ගොස් බේරෙන්න හැකි වුණා. එය යෙරුසලමට මහත් “පීඩාවක්” වුණේ මින් පෙර කිසිදාක එතරම් බරපතළ විනාශයකට ඔවුන් මුහුණ නොදුන් නිසයි. එහිදී බොහෝදෙනෙකුව ඝාතනය කළ අතර තවත් පිරිසක්ව වහලුන් ලෙස රැගෙන ගියා. මින් යොමු දැක්වූයේ තමන් ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ අයට සහ අසත්‍ය උගන්වන සියලුම ආගම් මතට පැමිණීමට නියමිත මහත් විනාශයයි. (මතෙ. 24:21) මුලින්ම, ක්‍රිස්තියානියයි කියාගන්නා වූ අය දෙවිගේ උදහස ලැබීමට හේතුව අපි සලකා බලමු.

පැමිණෙන උදහසින් පලා යන්න

6. මුල් ක්‍රිස්තියානි සභාව තුළ වර්ධනය වුණේ කුමක්ද?

6 මුල් ක්‍රිස්තියානි සභාවේ සමහරුන් ඇදහිල්ල අතහැර ගිය අතර තවත් අය ඔවුන් පසුපස ගියා. (ක්‍රියා 20:29, 30) එය වර්ධනය වීම වැළැක්වීම සඳහා යේසුස්ගේ මුල් අනුගාමිකයන් කටයුතු කළත් ඔවුන්ගේ මරණයත් සමඟ බොහෝ ක්‍රිස්තියානි නිකායන් බිහි වෙන්න පටන්ගත්තා. එකිනෙකට පටහැනි අදහස් ඇති ක්‍රිස්තියානියයි කියාගන්නාවූ නිකායන් බොහෝමයක් අද බිහි වී ඇත්තේ ඒ නිසයි. එහි පූජකයන්ව බයිබලයේ හඳුවන්නේ “නීතිය නොතකන මනුෂ්‍යයා” සහ “විනාශයේ පුත්‍රයා” ලෙසයි. ‘ස්වාමීන් වන යේසුස් ඔහුව නැති කර දමා තමාගේ පැමිණ සිටීම ප්‍රකාශ වීම තුළින් ඔහුව විනාශ කර දැමීමටත්’ නියමිතයි.—2 තෙස. 2:3, 6-8.

7. ක්‍රිස්තියානීන්යයි කියාගන්නා වූ පූජකයන්ව “නීතිය නොතකන මනුෂ්‍යයා” හැටියට හැඳින්වීම සුදුසු ඇයි?

7 ක්‍රිස්තියානියයි කියාගන්නා වූ පල්ලිවල පූජකයන් තමන්ගේ ඉගැන්වීම් සහ උත්සව මගින් මිලියන ගණන්දෙනාව නොමඟ යවා තිබෙනවා. එමෙන්ම බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි ලෙස කටයුතු කරන්නත් ඔවුන් මිනිසුන්ව පොලඹවා තිබෙනවා. එවැනි ක්‍රියා නිසා ඔවුන්ව නීතිය නොතකන අය හැටියට හැඳින්වීම සුදුසුයි. යේසුස් හෙළාදුටු එදා සිටි ආගමික නායකයන් මෙන් අද දින සිටින ‘විනාශයේ පුත්‍රයාට’ අයත් මෙම පූජකයන්ද නැවත නැඟිටීමක් නොලබන මරණයක් අද්දැකීමට නියමිතයි. (2 තෙස. 1:6-9) නමුත් පල්ලි සහ අසත්‍ය උගන්වන ආගම්වල පූජකයන් විසින් නොමඟ යැවූ ඔවුන්ගේ සාමාජිකයන්ට සිදු වන්නේ කුමක්ද? ඊට පිළිතුරු සඳහා ක්‍රිස්තු පූර්ව 607දී යෙරුසලමේ විනාශය ආසන්නයේ සිදු වූ සිදුවීම් කිහිපයක් දැන් අපි සලකා බලමු.

“බැබිලෝනියෙන් පලා දුවන්න”

8, 9. (අ) වහල්භාවයේ සිටි යුදෙව්වන්ට යෙරෙමියා පැවසූ අනාවැකිය කුමක්ද? (ආ) මේද පර්සියාව විසින් බැබිලෝනිය පරාජය කිරීමෙන් පසු ඊශ්‍රායෙල්වරුන් කළේ කුමක්ද?

8 යෙරුසලමේ විනාශය ගැන යෙරෙමියා පැවසූ අනාවැකිය ක්‍රි.පූ. 607දී ඉටු වුණා. දෙවිගේ සෙනඟව බැබිලෝනියේ වහල්භාවයට ගෙන යන බවත් ඉන් ‘අවුරුදු හැත්තෑවකට’ පසුව නැවතත් ඔවුන් තම මව්බිමට පැමිණ සැබෑ නමස්කාරය යළි පිහිටුවන බවත් එම අනාවැකියට අයත්. (යෙරෙ. 29:4, 10NW) එමෙන්ම බැබිලෝනිවරුන්ගේ බොරු ආගමික චාරිත්‍ර වාරිත්‍රවලින් අපවිත්‍ර නොවී සිටින්න කියාද වහල්භාවයේ සිටි සෙනඟට යෙරෙමියා පැවසුවා. එම අනාවැකිය ඉටු කරමින් ක්‍රිස්තු පූර්ව 539දී මේද පර්සියාව විසින් බැබිලෝනිය පරාජය කළා. ඒ අවස්ථාවේදී යෙරුසලමට ගොස් දේවමාලිගාව නැවත ගොඩනඟන්න කියා පර්සියාවේ දෙවන සයිරස් රජ යුදෙව්වන්ට නියෝග කළා.—එස්රා 1:1-4.

9 යුදෙව්වන් දහස් ගණනක් යෙරුසලම බලා පිටත් වූ අතර එමගින් ඔවුන් යෙරෙමියා කී අනාවැකිය ඉෂ්ට වුණා. (එස්රා 2:64-67) මේ අනුව බැබිලෝනියෙන් පිටත් වී යෙරුසලමට පලා යෑමට ඔවුන්ට අවස්ථාව උදා වුණා. (යෙරෙමියා 51:6, 45, 50 කියවන්න.) නමුත් මහලුව සිටි දානියෙල් වැනි අය සිටි තත්වයන් නිසා ඔවුන් බැබිලෝනියේම නතර වුණා. එසේ වුණත් ඔවුන්ට දෙවිගේ ආශීර්වාද ලබන්න හැකි වුණේ යෙරුසලමේ සිදු කරන සැබෑ නමස්කාරය වෙනුවෙන් පූර්ණ සහයෝගය දීමෙන් හා බැබිලෝනිවරුන්ගේ බොරු නමස්කාරවලින් දූෂ්‍ය නොවී සිටීමෙනුයි.

10. “මහ බැබිලෝනිය” වගකිව යුත්තේ කුමන “පිළිකුල් දේවල්” සම්බන්ධයෙන්ද?

10 අද දින මිලියන ගණනක් මිනිසුන් අසත්‍ය උගන්වන ආගම්වලට අයත්ව සිටින අතර ඒවා බොහෝමයක් පැවතෙන්නේ පුරාණ බැබිලෝනියෙනුයි. (උත්. 11:6-9) මේ සියලුම ආගම් “ගණිකාවන්ගේද පොළොවෙහි පිළිකුල් දේවල්වලද මව වන මහ බැබිලෝනිය” ලෙස බයිබලය හඳුන්වනවා. (එළි. 17:5) පුරාණයේ සිටම බොරු ආගම් දේශපාලන නායකයන්ට සහය දී තිබෙනවා. ඔවුන් විසින් කර ඇති “පිළිකුල් දේවල්” මොනවාද? යුද්ධවලින් නැති වූ එනම් “පොළොවේදී මරනු ලැබූ” මිලියන ගණනකගේ ජීවිතවලට ඔවුන් වගකිව යුතුයි. (එළි. 18:24) එමෙන්ම එම ආගම්වලට අයත් පූජක පක්ෂය කුඩා දරුවන්ව ලිංගික අතවරයන්ට ලක් කර තිබෙන අතර ඔවුන් වෙනත් ආකාරයේ ලිංගික දුරාචාර ක්‍රියාවලද යෙදී තිබෙනවා. නමුත් ඔවුන්ගේ නායකයන් ඒ සම්බන්ධයෙන් කිසිවක් කර නැහැ. දෙවි මෙම දූෂිත බොරු ආගම් මේ පොළොවෙන් අතුගා දැමීමට තීරණය කර තිබීම පුදුමයට හේතුවක් නොවෙයි!—එළි. 18:8.

11. මහ බැබිලෝනිය විනාශ වීමට පෙර ක්‍රිස්තියානීන්ට ඇති වගකීම කුමක්ද?

11 මහ බැබිලෝනිය තුළ සිටින සාමාජිකයන්ට අත් වන තත්වය ගැන ඔවුන්ට අනතුරු ඇඟවීම සැබෑ ක්‍රිස්තියානීන්ගේ වගකීමයි. එය කළ හැකි එක් ක්‍රමයක් නම් “නියම වේලාවට ආහාර” දීම සඳහා යේසුස් පත් කළ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ලබා දෙන පොත් පත් බෙදාහැරීමයි. (මතෙ. 24:45) එමෙන්ම ඒවා කියවා බලා උනන්දුවක් දක්වන අය සමඟ බයිබල් පාඩමක් පැවැත්වීමෙන් ඔවුන්ට උපකාර කළ හැකියි. ඒ අනුව අපගේ බලාපොරොත්තුව වන්නේ ප්‍රමාද වීමට පෙර ඔවුන් “බැබිලෝනියෙන් පලා” යෑමේ හදිසිතාවය තේරුම්ගනියි කියායි.—එළි. 18:4.

රූප නමස්කාරයෙන් පලා යන්න

12. රූප නමස්කාරය ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද?

12 බොරු ආගම් තුළ ඇති තවත් පිළිකුල්සහගත ක්‍රියාවක් වන්නේ රූප නමස්කාරයයි. දෙවි ඉදිරියෙහි එම රූප ඉතාමත් ‘පිළිකුල්සහගතයි.’ (ද්වි. 29:17NW) ඒ ගැන දෙවිම පවසන්නේ “මාගේ නාමය යෙහෝවාය. මට හිමි ගෞරවය තවත් කෙනෙකු සමඟවත් මට ලැබිය යුතු ප්‍රශංසාව දේව රූපයක් සමඟවත් බෙදාගන්නේ නැත” කියායි. (යෙසා. 42:8NW) එමනිසා දෙවිගේ සිත සතුටු කිරීමට කැමති සියලුදෙනාම රූප නමස්කාරයෙන් වැළකී සිටිය යුතුයි.

13. අප පලා යා යුතු තවත් ආකාරයක රූප නමස්කාරයක් සඳහන් කරන්න.

13 ඉතා සූක්ෂ්ම ආකාරයේ රූප නමස්කාරයක් ගැනද බයිබලයේ සඳහන් වෙනවා. එය නම් ‘තණ්හාවයි’ (කොලො. 3:5) තණ්හාව කියන්නේ අපට අයිති නැති හෝ තහනම් දෙයක් ලබාගැනීමට තිබෙන ආශාවයි. (නික්. 20:17) පසුව සාතන් බවට පත් වූ දේවදූතයාටද අවශ්‍ය වුණේ දෙවිට සමාන වී මිනිසුන්ගේ නමස්කාරය තමාට ලබාගැනීමටයි. (ලූක් 4:5-7) එම ආශාව නිසා ඔහු දෙවිට විරුද්ධව කැරලිගැසූ අතර ඒව තුළද තණ්හාව ඇති කළා. ආදම්ද තම ප්‍රේමණීය ස්වර්ගික පියාට කීකරු වෙනවාට වඩා තම භාර්යාවට කීකරු වීම මගින් තම ආත්මාර්ථකාමී ආශාවට ඉඩහැරියා. එසේනම් දෙවිගේ උදහසින් පලා යෑමට කැමති සියල්ලන්ද දෙවිට පමණක් නමස්කාර කළ යුතු අතර ඕනෑම ආකාරයේ තණ්හාවකින්ද වැළකී සිටිය යුතුයි.

“වේශ්‍යාකම වෙතින් පලා දුවන්න”

14-16. (අ) යොසෙප් අපට කදිම ආදර්ශයක් වන්නේ ඇයි? (ආ) කාමුක ආශාවන්ගෙන් වැළකී සිටීමට අප කළ යුත්තේ කුමක්ද? (ඇ) වේශ්‍යාකම වෙතින් පලා යෑමට අපට හැක්කේ කෙසේද?

14 පළමුවෙනි කොරින්ති 6:18 කියවන්න. පොතිෆර්ගේ භාර්යාව යොසෙප්ව දුරාචාරයට පොලඹවාගන්න උත්සාහ කළ විට යොසෙප් ඉක්මනින්ම එතැනින් පලා ගියා. ඊට හේතුව නම් අනාචාරය ගැන දෙවි දැරූ ආකල්පයට අනුව ඔහුගේ හෘදය සාක්ෂිය පුහුණු කර තිබීමයි. එය විවාහක අවිවාහක යන සියලුම ක්‍රිස්තියානීන්ට කදිම ආදර්ශයක්! “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” යන අණට කීකරු වන්න අපටත් වුවමනා නම් අප කුමක් කළ යුතුද? තම විවාහක සහකරු හැර වෙනත් කෙනෙකු කෙරෙහි කාමුක හැඟීම් ඇවිස්සීමට හේතු වන ඕනෑම ආකාරයේ දෙයකින් වැළකිය යුතුයි. ඒ ගැන අපට දෙන උපදෙස මෙයයි. ‘වේශ්‍යාකම, අපවිත්‍රකම, ලිංගික තෘෂ්ණාව, අනතුරුදායක ආශා සහ රූප වන්දනාවක් වන තණ්හාව වැනි කාරණා හා බැඳි ඔබේ අවයව නසා දමන්න. ඒ දේවල් නිසා දෙවිගේ උදහස පැමිණෙන්නේය.’—කොලො. 3:5, 6.

15 “දෙවිගේ උදහස පැමිණෙන්නේය” යන ප්‍රකාශය සැලකිල්ලට ගන්න. අද ලෝකයේ කාමුක ආශාවන්වලට පොලඹවන දේවල් බහුලව ඇති අතර බොහෝදෙනා එහි නියැලෙනවා. එමනිසා අප එවැනි කාමුක ආශාවන්ගෙන් වැළකීමට නම් දෙවිගේ බලයේ උපකාර ඉල්ලා යාච්ඤා කළ යුතුයි. ඊට අමතරව ඉන් වැළකීමට බයිබලය පෞද්ගලිකව අධ්‍යයනය කිරීම, රැස්වීම්වලට සහාභාගි වීම සහ ශුභාරංචිය දේශනා කිරීම වැනි දේවල් අපට උපකාර කරයි.—ගලා. 5:16.

16 අප දෙවිගේ කැමැත්තට එකඟව කටයුතු කරනවා නම් කාමුක ආශාවන් අවුස්සන දේවල් කියවීමෙන් නැරඹීමෙන් හෝ ඒවාට ඇහුම්කන් දීමෙන් වැළකිය යුතුයි. එපමණක්ද නොව එවැනි දේවල් ගැන කතා කිරීමෙන් හෝ විහිළු තහළු කිරීමෙන් සතුටක් ලබනවා නම් එයද දෙවිගේ “ශුද්ධ තැනැත්තන්ට” සුදුසු දෙයක් නොවෙයි. (එෆී. 5:3, 4) එවැනි දේවල්වලින් වැළකීමෙන් අප පෙන්වන්නේ දෙවිගේ උදහසින් පලා යෑමටත් ධර්මිෂ්ඨකම රජයන පාරාදීසයේ ජීවත් වීමටත් අපට ඇත්තටම වුවමනා බවයි.

‘මුදලට ප්‍රේම කිරීමෙන්’ පලා යන්න

17, 18. ‘මුදලට ප්‍රේම කිරීමෙන්’ අප පලා යා යුත්තේ ඇයි?

17 එදා ක්‍රිස්තියානි ස්වාමිවරුන් යටතේ සිටි සේවකයන්ට ප්‍රයෝජනවත් ප්‍රතිපත්ති කිහිපයක් පාවුල් සඳහන් කළා. ඊට හේතුව කුමක්ද? වාසි ප්‍රයෝජන ලබාගැනීමේ අරමුණින් සමහර අය තම ස්වාමිවරුන්ට සේවය කළා විය හැකියි. තවත් අය තම ස්වාමිවරුන් සමඟ තිබෙන ක්‍රිස්තියානි සබඳතාවය වැරදි ලෙස යොදාගත්තාද විය හැකියි. එමනිසා “දේවභක්තිය වාසියට මඟක්යයි සිතමින්” සිටි අය ගැන පාවුල් අනතුරු ඇඟෙව්වා. ඔවුන් “මුදලට ප්‍රේම කිරීම” ඊට හේතු වූවා විය හැකියි. ඒ අනුව කෙනෙක් දුප්පත් වුණත් පොහොසත් වුණත් මුදලට ප්‍රේම කිරීම නිසා ඔවුන්ට බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිදු විය හැකියි.—1 තිමෝ. 6:1, 2, 5, 9, 10.

18 “මුදලට ප්‍රේම කිරීම” නිසා හෝ වැඩිපුර දේවල් අත් කරගැනීමට යෑම නිසා දෙවි සමඟ තිබූ මිත්‍රත්වය අහිමි කරගත් බයිබලයේ සඳහන් කෙනෙක්ව ඔබට මතකද? (යෝෂු. 7:11, 21; 2 රාජා. 5:20, 25-27) පාවුල් තිමෝතිට දුන් මෙම උපදෙස සැලකිල්ලට ගන්න. “දෙවිගේ මනුෂ්‍යය, ඔබ මේ දේවල්වලින් පලා ගොස්, ධර්මිෂ්ඨකම, දේවභක්තිය, ඇදහිල්ල, ප්‍රේමය, විඳදරාගැනීම හා මෘදු ගුණය ලුහුබඳින්න.” (1 තිමෝ. 6:11) දෙවිගේ උදහසින් ගැලවීමට නම් එම උපදෙසට කීකරු වීම අත්‍යවශ්‍යයි.

“යොවුන් වියට ආවේණික වූ ආශාවලින් පලා යන්න”

19. සියලුම යෞවනයන්ට අවශ්‍ය කුමක්ද?

19 හිතෝපදේශ 22:15 කියවන්න. යෞවනයෙකුගේ සිතේ ඇති මෝඩකම නිසා ඔහු ලෙහෙසියෙන් නොමඟ යා හැකියි. නමුත් බයිබලයේ ඇති මඟ පෙන්වීම්වලින් ඔහුට උපකාර කිරීමට දෙමව්පියන්ට හැකියි. දෙමව්පියන් සත්‍යය තුළ නැති යෞවනයන්ටද බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් ප්‍රයෝජන ලැබිය හැකියි. තවත් යෞවනයන්ට සත්‍යය තුළ අද්දැකීම් ලත් අයගෙන් ඥානවන්ත උපදෙස් ලැබෙනවා. එවන් මඟ පෙන්වීම් ලැබෙන්නේ කාගෙන් වුණත් යෞවනයන් ඊට ඇහුම්කන් දෙනවා නම් දැනුත් අනාගතයෙත් ඔවුන්ගේ ප්‍රීතියට එය හේතුවක් වෙයි.—හෙබ්‍රෙ. 12:8-11.

20. වැරදි ආශාවන්ගෙන් පලා යෑමට යෞවනයන්ට උපකාරවත් වන්නේ කුමක්ද?

20 දෙවෙනි තිමෝති 2:20-22 කියවන්න. ඥානවන්ත මඟ පෙන්වීම් නොලැබීම නිසා බොහෝ යෞවනයන් ඉතා අඥාන තීරණ ගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ඉතා තරඟකාරී වීමට, ඔවුන්ට අයිති නැති දේවල් ලබාගැනීමට, වේශ්‍යාකමට, මුදලට ප්‍රේම කිරීමට සහ තම ආශාවන් ඉෂ්ට කරගැනීමට පෙලඹී තිබෙනවා. එමනිසා බයිබලයේ උනන්දු කරන ලෙස ඔවුන් “යොවුන් වියට ආවේණික වූ ආශාවලින්” පලා යා යුතුයි. මෙහිදී පලා යනවා කීමෙන් අදහස් කරන්නේ තමන්ට හානි කළ හැකි ඕනෑම දෙයක් ප්‍රතික්ෂේප කිරීමයි. එමෙන්ම ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගැනීම සඳහා “පිරිසිදු හදවතකින් ස්වාමීන්ට අයැදින අය සමඟ” ඇසුරු කිරීමත් මහත් උපකාරයක්.

21. යේසුස් තම අනුගාමිකයන්ට දුන් ප්‍රීතිමත් පොරොන්දුව කුමක්ද?

21 අප යෞවන වුණත් මහලු වුණත් අපව නොමඟ යවන්න තැත් කරන මිනිසුන්ගෙන් වහාම ඉවත් විය යුතුයි. ඉන් අප පෙන්වන්නේ අප ‘නාඳුනන අයගේ හඬ වෙතින් පලා යන’ යේසුස්ගේ බැටළුවන් හෙවත් අනුගාමිකයන් වීමට දැඩි ආශාවක් ඇති අය බවයි. (යොහ. 10:5) දෙවිගේ උදහසින් ගැලවීමට නම් අපි වටිනා ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගත යුතුයි. ඊළඟ ලිපියේ සාකච්ඡා කරන්නේ එවැනි ගුණාංග හතක් ගැනයි. අප ඒවා සලකා බැලීම ඉතා වැදගත්. ඊට හේතුව යේසුස් අපට මෙවන් ප්‍රීතිමත් පොරොන්දුවක් දී තිබීමයි. “මම ඔවුන්ට [මගේ බැටළුවන්ට] සදාකාල ජීවනය දෙන්නෙමි. ඔවුන් කිසි කලක විනාශ නොවන අතර, කිසිවෙක් මාගේ අතින් ඔවුන්ව උදුරාගන්නේද නැත.”—යොහ. 10:28.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• ආගමික නායකයන්ට යේසුස් දුන් අනතුරු ඇඟවීම කුමක්ද?

• අද දින මිලියන ගණනක් දෙනා සිටින්නේ කුමන අනතුරකද?

• අප පලා යා යුතු තවත් ආකාරයක රූප නමස්කාරයක් සඳහන් කරන්න.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[8, 9වන පිටුවේ පින්තූර]

“පලා යෑම” කියද්දී ඔබට මතක් වෙන්නේ කුමක්ද?