Skip to content

පටුනට යන්න

අප ලුහුබැඳිය යුත්තේ කුමක්ද?

අප ලුහුබැඳිය යුත්තේ කුමක්ද?

අප ලුහුබැඳිය යුත්තේ කුමක්ද?

“ධර්මිෂ්ඨකම, දේවභක්තිය, ඇදහිල්ල, ප්‍රේමය, විඳදරාගැනීම හා මෘදු ගුණය ලුහුබඳින්න.”—1 තිමෝ. 6:11.

1. “ලුහුබැඳීම” කියද්දී ඔබගේ මතකයට නැඟෙන්නේ කුමන සිද්ධීන්ද?

“ලුහුබැඳීම” කියද්දී ඔබගේ මතකයට එන්නේ කුමක්ද? පාරාවෝගේ හමුදාව ඊශ්‍රායෙල්වරුන් පසුපස “ලුහුබඳිමින්” ගිය ආකාරය සමහරුන්ට මතක් විය හැකියි. (නික්. 14:23) නැත්නම් අත්වැරදීමකින් කෙනෙකු අතින් මිනිසෙක් මිය ගිය විට, ඔහු ආරක්ෂිත නුවරකට දිව යද්දී “මිය ගිය පුද්ගලයා වෙනුවෙන් පළිගැනීමට අයිතිය ඇති තැනැත්තා ඔහු පසුපස මහත් කෝපයකින් ලුහුබැඳ” යන ආකාරය මතක් විය හැකියි.—ද්වි. 19:6, නව ලොව පරිවර්තනය, NW.

2. (අ) දෙවිගේ සමහර සේවකයන්ට ලුහුබැඳීමට ආරාධනා කර තිබෙන්නේ කුමන අපේක්ෂාවද? (ආ) ක්‍රිස්තියානීන් බහුතරයකට යෙහෝවා දෙවි දී ඇති අපේක්ෂාව කුමක්ද?

2 දෙවිගේ සේවකයෙක් හැටියට තමන් ලුහුබඳින දෙයක් ගැන පාවුල් සඳහන් කළා. “ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවිගේ ස්වර්ගික කැඳවීම නමැති තෑග්ග ලබන පිණිස ඉලක්කය ලුහුබඳිමි.” (ෆිලි. 3:14) පාවුල් පැවසූ ලෙස ඔහු ඇතුළු 1,44,000දෙනෙකුට ස්වර්ගයේ යේසුස් සමඟ රජකම් කිරීමේ වරප්‍රසාදය ලැබෙනවා. දෙවි ඔවුන්ට ලුහුබඳින්න කියා ආරාධනා කර තිබෙන්නේ මොන තරම් වටිනා අපේක්ෂාවක්ද! එමෙන්ම ක්‍රිස්තියානීන්ගෙන් බහුතරයක් ලුහුබඳින්නේ වෙනත් ආකාරයේ අපේක්ෂාවක්. එනම් පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ අපේක්ෂාවයි.—එළි. 7:4, 9; 21:1-4.

3. දෙවිගේ මහත් කරුණාව වෙනුවෙන් අප අගය පෙන්වන්නේ කෙසේද?

3 සදාකාල ජීවනය අසම්පූර්ණ මිනිසුන්ට ඔවුන්ගේම උත්සාහයෙන් ලබාගන්න බැහැ. (යෙසා. 64:6) ඒ සඳහා දෙවි සපයා දී ඇති යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබිය යුතුයි. දෙවිගේ එම මහත් කරුණාවට අපගේ අගය පෙන්වන්නේ කෙසේද? එක් ආකාරයක් නම් “ධර්මිෂ්ඨකම, දේවභක්තිය, ඇදහිල්ල, ප්‍රේමය, විඳදරාගැනීම හා මෘදු ගුණය ලුහුබඳින්න” යන දෙවිගේ ආඥාවට කීකරු වීමෙනුයි. (1 තිමෝ. 6:11) එම ගුණාංග ගැන කල්පනා කර බැලීමෙන් ඒවා “වඩ වඩා” ලුහුබඳින්න අපට හැකියි.—1 තෙස. 4:1.

‘ධර්මිෂ්ඨකම ලුහුබඳින්න’

4. “ධර්මිෂ්ඨකම” ලුහුබැඳීම එතරම් වැදගත් ඇයි? ඒ සඳහා ගත යුතු මුල් පියවර කුමක්ද?

4 පාවුල් තිමෝතිට ලියූ ලිපි දෙකෙහිම ලුහුබඳින්න කියා දිරිගැන්වූ ගුණාංග අතරින් මුලින්ම සඳහන් කළේ ‘ධර්මිෂ්ඨකමයි.’ (1 තිමෝ. 6:11; 2 තිමෝ. 2:22) බයිබලයේ තවත් අවස්ථා බොහෝමයක ධර්මිෂ්ඨකම ලුහුබඳින්න කියා දිරිගන්වා තිබෙනවා. (හිතෝ. 15:9; 21:21; යෙසා. 51:1) ඒ සඳහා මුල් පියවර වන්නේ ‘එකම සැබෑ දෙවි ගැනත් ඔහු විසින් එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමයි.’ (යොහ. 17:3) ඒ වගේම ධර්මිෂ්ඨකම ලුහුබඳින කෙනෙක් තම වැරදි ගැන පසුතැවී දෙවිගේ කැමැත්ත කිරීම සඳහා ඒවායින් ‘හැරෙනවා.’—ක්‍රියා 3:19.

5. දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨ වීමට වෑයම් කරන කෙනෙක් කටයුතු කරන්නේ කෙසේද?

5 ධර්මිෂ්ඨකම ලුහුබැඳීමට අවංක ආශාවක් ඇති මිලියන ගණනක් දෙනා දෙවිට වූ තම කැපවීම බව්තීස්මයෙන් සංකේතවත් කර තිබෙනවා. ඔබත් එවැනි කෙනෙක් නම් ධර්මිෂ්ඨකම ලුහුබඳිනවා කියා ඔබ ජීවත් වන ආකාරයෙන් පෙනෙන්න තිබෙනවාද? ජීවිතයේ බැරෑරුම් තීරණ ගැනීමට සිදු වන අවස්ථාවකදී ඔබට එය පෙන්විය හැකියි. ඒ කෙසේද? බයිබලයෙන් ඔබ ඉගෙනගෙන තිබෙන තොරතුරුවලට අනුව “හරි වැරැද්ද” අතර වෙනස අවබෝධ කරගෙන නිවැරදි තීරණයක් ගැනීමෙනුයි. (හෙබ්‍රෙව් 5:14 කියවන්න.) උදාහරණයකට ඔබ විවාහ වීමට සුදුසු වයසේ පසු වන ක්‍රිස්තියානියෙක් නම් බව්තීස්ම නොවූ කෙනෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර නොගැනීමට දැඩි අධිෂ්ඨානයක් ගෙන තිබෙනවාද? ඔබ ධර්මිෂ්ඨකම ලුහුබඳින කෙනෙක් නම් එම අධිෂ්ඨානයට එකඟව කටයුතු කරනවා නිසැකයි.—1 කොරි. 7:39.

6. සැබෑ ධර්මිෂ්ඨකම ලුහුබැඳීමට අයත් වන්නේ කුමක්ද?

6 “පමණට වඩා ධර්මිෂ්ඨ” වීම සැබෑ ධර්මිෂ්ඨකම නොවෙයි. (දේශ. 7:16NW) අන් අයට වඩා තමන් ධර්මිෂ්ඨයි කියා පෙන්වන්න උත්සාහ කළ අයට විරුද්ධව යේසුස් අනතුරු ඇඟෙව්වා. (මතෙ. 6:1) සැබෑ ධර්මිෂ්ඨකම ලුහුබඳින කෙනෙක් තමාගේ වැරදි සිතුවිලි, ආකල්ප, චේතනා සහ ආශාවන් නිවැරදි කරගැනීමට උත්සාහ කරනවා. කෙනෙක් නොකඩවා එසේ කරමින් සිටිනවා නම් ඔහු බරපතළ පාපවලට වැටෙන්නේ නැහැ. (හිතෝපදේශ 4:23 කියවන්න; යාකොබ් 1:14, 15 බලන්න.) එවැනි අයට දෙවි ආශිර්වාද කරන අතර අනෙකුත් ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගැනීමටද උපකාර කරනවා.

‘දේවභක්තිය ලුහුබඳින්න’

7. “දේවභක්තිය” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

7 භක්තිය යන්නෙන් අදහස් කරන්නේ යමක් වෙනුවෙන් මුළු හදවතින්ම කැප වී සිටීම සහ විශ්වාසවන්තව සිටීමයි. දේවභක්තිය යන වචනයෙහි අර්ථය එක් පොතක විස්තර කර තිබෙන්නේ “දෙවි කෙරෙහි ඉමහත් භක්තියකින් යුතුව සිටීම” හැටියටයි. නමුත් පුරාණ ඊශ්‍රායෙල්වරුන් එවැනි භක්තියක් දෙවිට පුද කිරීමට අසමත් වුණා. ඒ බව දෙවි ඔවුන්ව ඊජිප්තුවෙන් ගලවාගත් පසුව පවා ඔවුන්ගේ ක්‍රියාවලින් දිස් වුණා.

8. (අ) ආදම් සහ ඒව පව් කිරීමෙන් පැනනැඟුණු ප්‍රශ්නය කුමක්ද? (ආ) දෙවි ඊට පිළිතුරු දුන්නේ කෙසේද?

8 මෙහිදී පැනනඟින ප්‍රශ්නය වන්නේ කිසිම අඩුපාඩුවකින් තොරව දෙවිට භක්තියක් දක්වන්න මිනිසුන්ට පුළුවන්ද යන්නයි. ආදම් සහ ඒව පව් කර වසර දහස් ගණනාවක් යන තුරුම එම ප්‍රශ්නයට පිළිතුර ‘පරිශුද්ධ රහසක්ව’ පැවතුණා. නමුත් පසුව දෙවි ඊට පිළිතුරු දුන්නා. ඒ සඳහා දෙවි තම පුත්‍රයාගේ ජීවිතය මරියාගේ කුස තුළට මාරු කළ අතර ඔහු පරිපූර්ණ මිනිසෙක් ලෙස උපත ලැබුවා. නින්දාසහගත මරණයක් විඳීම ඇතුළු පොළොව මත ගත කළ ජීවිතය පුරාම ඔහු දෙවිට මුළු හදවතින්ම කැප වී සිටින්නේ කෙසේද සහ විශ්වාසවන්තව සිටින්නේ කෙසේද කියා ඔප්පු කර පෙන්නුවා. ඔහු දෙවිට කොතරම් භක්තියක් තිබෙනවාද කියා ඔහු කළ යාච්ඤාවලින්ද පැහැදිලි වුණා. (මතෙ. 11:25; යොහ. 12:27, 28) එමෙන්ම “දේවභක්තිය” විදහාපෙන්වීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශය වන්නේ යේසුස් බව සඳහන් කිරීමට දෙවි පාවුල්ව පෙලඹෙව්වා.—1 තිමෝති 6:11 කියවන්න.

9. අපට දේවභක්තිය ලුහුබැඳිය හැක්කේ කෙසේද?

9 අපි අසම්පූර්ණ මිනිසුන් නිසා යේසුස් මෙන් දේවභක්තිය පෙන්වීමට අපට නොහැකියි. ඒ වුණත් එය ලුහුබඳින්න අප උත්සාහ කළ යුතු අතර යේසුස්ගේ ආදර්ශය කිට්ටුවෙන් අනුගමනය කිරීම ඊට මහත් උපකාරයක්. (1 පේතෘ 2:21) එදා සිටි සමහර අය පිටතින් ‘දේවභක්තියක් තිබෙන බව පෙන්නුවත් එහි බලයට එකඟව ජීවත් වුණේ නැහැ.’ අප ඔවුන් මෙන් නොවිය යුතුයි. (2 තිමෝ. 3:5) කෙසේනමුත් ක්‍රිස්තියානීන් ඔවුන්ගේ පිටාතර පෙනුම ගැන සැලකිලිමත් නොවන බව මින් අදහස් කරන්නේ නැහැ. උදාහරණයකට තමන්ගේ විවාහ දිනයේදී අඳින ඇඳුම තේරීමේදී වේවා, සාප්පු සවාරි යන විට අඳින ආකාරය වේවා ඒ කුමක් වුණත් පිටාතර පෙනුම නිතරම “දෙවිට භක්තිවන්ත” අයට ගැළපෙන ආකාරයෙන් තිබිය යුතුයි. (1 තිමෝ. 2:9, 10) ඔව්, අපගේ ජීවිතයේ සෑම කාරණයකදීම දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීම දේවභක්තිය ලුහුබැඳීමට ඇතුළත් වෙනවා.

‘ඇදහිල්ල ලුහුබඳින්න’

10. ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට අප කළ යුත්තේ කුමක්ද?

10 රෝම 10:17 කියවන්න. ශක්තිමත් ඇදහිල්ලක් ඇති කරගෙන එය දිගටම තබාගැනීමට නම් බයිබලය කියවා ඒ ගැන අප ගැඹුරින් කල්පනා කළ යුතුයි. එමෙන්ම “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සපයා ඇති ප්‍රකාශන අධ්‍යයනය කිරීමද වැදගත්. මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා, උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු සහ මාගේ අනුගාමිකයා වන්න (සිංහලෙන් නැත) යන ප්‍රකාශන ඒ අතරින් සුවිශේෂයි. ඒවා සකස් කර තිබෙන්නේ යේසුස් ගැන ඉගෙනගැනීමට සහ ඔහුව අනුකරණය කිරීමට අපට උපකාර කිරීමටයි. (මතෙ. 24:45-47) එමෙන්ම දාස පංතිය අප වෙනුවෙන් සූදානම් කරන රැස්වීම්, එක්රැස්වීම් සහ දිස්ත්‍රික් සමුළුවලින් “ක්‍රිස්තුස් ගැන පවසා ඇති වචන” ඉගෙනගන්න අවස්ථාව ලැබෙනවා. එමනිසා ඒවාට “සාමාන්‍යයට වඩා වැඩි අවධානයක් දීම” තුළින් ඔබට තවත් ප්‍රයෝජන ගත හැකි ආකාර ගැන සිතා බලන්න.—හෙබ්‍රෙ. 2:1.

11. ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට යාච්ඤාව හා කීකරුකම උපකාර වන්නේ කෙසේද?

11 ශක්තිමත් ඇදහිල්ලක් සඳහා යාච්ඤාව තවත් උපකාරයක්. “අපේ ඇදහිල්ල තවත් වැඩි කරන්න” කියා ගෝලයන් යේසුස්ගෙන් ඉල්ලුවා. (ලූක් 17:5) අපත් ඇදහිල්ල වැඩි කරගැනීම සඳහා දෙවිගේ බලයේ උපකාරය ඉල්ලා යාච්ඤා කළ යුතුයි. ඇදහිල්ල කියන්නේ කෙනෙකුට දෙවිගේ බලය ලැබීම තුළින් ඇති වන ගුණාංගයක්. (ගලා. 5:22) දෙවිගේ ආඥාවලට කීකරු වීමෙන්ද අපගේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා. උදාහරණයකට ශුභාරංචිය දේශනා කරන්න කියා දී තිබෙන අණට කීකරු වෙමින් එහි වැඩි වැඩියෙන් නියැලෙනවා නම් ඉන් අප මහත් ප්‍රීතියක් ලබනවා. එමෙන්ම “පළමුකොට [දෙවිගේ] රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද” සෙවීමෙන් ලැබෙන ආශීර්වාද ගැන ගැඹුරින් කල්පනා කරද්දී අපගේ ඇදහිල්ල තවත් ශක්තිමත් වෙනවා.—මතෙ. 6:33.

‘ප්‍රේමය ලුහුබඳින්න’

12, 13. (අ) යේසුස් දුන් අලුත් ආඥාව කුමක්ද? (ආ) යේසුස් පෙන්වූ ප්‍රේමය ලුහුබැඳීමට අපට හැක්කේ කෙසේද?

12 පළමුවෙනි තිමෝති 5:1, 2 කියවන්න. අපගේ ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්වන්නේ කෙසේද කියා පාවුල් පෙන්වා දුන්නා. යේසුස් අපට ප්‍රේම කළාක් මෙන් දේවභක්තික ක්‍රිස්තියානීන් හැටියට අපත් “එකිනෙකාට ප්‍රේම කරන්න” යන ඔහුගේ අලුත් ආඥාවට කීකරු විය යුතුයි. (යොහ. 13:34) යොහන්ද එහි ඇති වැදගත්කම ගැන පැවසුවේ මෙසේයි. “තම ජීවිකාව ගෙන යෑමට අවශ්‍ය ද්‍රව්‍යමය දේ ඇති තැනැත්තා, තම සහෝදරයාට අග හිඟකම් තිබෙන බව දැක දැකත්, ඔහුගේ දයානුකම්පාව ඔහු තුළම සිර කරගන්නේ නම්, දෙවි කෙරෙහි වූ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේද?” (1 යොහ. 3:17) ඔබත් එවන් ප්‍රේමයක් ක්‍රියාවෙන් පෙන්වූ අවස්ථා ඔබට මතකද?

13 ප්‍රේමය ලුහුබැඳිය හැකි තවත් ආකාරයක් වන්නේ අමනාපය සිතේ තබා නොගෙන අපගේ සහෝදරයන්ට සමාව දීමයි. (1 යොහන් 4:20 කියවන්න.) ඒ අනුව අපට අවශ්‍ය වන්නේ මෙම උපදෙසට කීකරු වීමටයි. “යමෙකුට විරුද්ධව පැමිණිලි කිරීමට හේතුවක් ඇත්නම්, එකිනෙකා ගැන ඉවසමින්, මුළු හදවතින්ම එකිනෙකාට කමා කරන්න. යෙහෝවා දෙවි මුළු හදවතින්ම ඔබට කමා කළාක් මෙන් ඔබත් එසේ කරන්න.” (කොලො. 3:13) ඔබ සමඟ අමනාප කෙනෙක් සභාවේ සිටිනවා නම් මෙම උපදෙස ඔබට පෞද්ගලිකව අදාළ කරගත හැකිද? ඔබ ඔහුට හෝ ඇයට සමාව දෙනවාද?

‘විඳදරාගැනීම ලුහුබඳින්න’

14. අපට ෆිලදෙල්ෆියා සභාවේ ක්‍රිස්තියානීන්ගෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද?

14 යමක් පහසුවෙන් අත් කරගත හැකි නම් අපි ඒ සඳහා උනන්දු වෙනවා. නමුත් එය අත් කරගැනීම දුෂ්කර නම් හෝ කල්ගත වෙනවා නම් තත්වය ඊට වෙනස්. සදාකාල ජීවනය අත් කරගැනීමට උත්සාහ කිරීමේදීද විඳදරාගැනීම අත්‍යවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් ෆිලදෙල්ෆියා සභාවේ ක්‍රිස්තියානීන් කදිම ආදර්ශයක්. යේසුස් ඔවුන්ට මෙසේ ප්‍රශංසා කළේ ඒ නිසයි. ‘මාගේ විඳදරාගැනීම පිළිබඳව සඳහන් වන දේ ඔබ පිළිපැද්ද නිසා පරීක්ෂාවේ පැයෙන් මමත් ඔබව ආරක්ෂා කරන්නෙමි.’ (එළි. 3:10) යේසුස් විඳදරාගැනීමේ ඇති වැදගත්කම ගැන ඉගැන්නුවේ එය පීඩා පරික්ෂා හමුවේ නොසැලී සිටීමට උපකාරවත් වන ගුණාංගයක් නිසයි. එදා ෆිලදෙල්ෆියා සභාවේ සිටි ක්‍රිස්තියානීන් ඇදහිල්ල නිසා නොයෙකුත් පීඩා පරීක්ෂා විඳදරාගත් බවට සැකයක් නැහැ. ඔවුන්ට ඉදිරියේදී මුහුණ දීමට තිබූ මහත් පීඩාව විඳදරාගන්න උදව් කරනවා කියා යේසුස් පැවසුවේ ඒ නිසයි.—ලූක් 16:10.

15. විඳදරාගැනීම ගැන යේසුස් ඉගැන්වූයේ කුමක්ද?

15 තම අනුගාමිකයන්ට ඔවුන්ගේ නැදෑයන් ඇතුළු ලෝකයේ සෙසු මිනිසුන්ගෙන් පීඩා එන බව යේසුස් දැන සිටියා. ඔහු ඔවුන් මෙසේ පැවසුවේ ඒ නිසයි. “ගලවාගනු ලබන්නේ අවසානය දක්වා විඳදරාගන්නා තැනැත්තාවය.” (මතෙ. 10:22; 24:13) එවන් පරීක්ෂාවලදී ශක්තිය ලබන ආකාරයත් ඔහු පැවසුවා. ඒ කොහොමද? යේසුස් උපමාවකදී පැවසුවේ ‘දෙවිගේ වචනය ඇසූ විට එය ප්‍රීතියෙන් පිළිගත්තත්’ පරීක්ෂාවලට මුහුණ දෙන විට ඔවුන් ඇදහිල්ල අත්හරින බවයි. ඒ නිසා ඔවුන්ව යේසුස් සමාන කළේ ගල් සහිත බිමකටයි. කෙසේනමුත් ඔහුගේ විශ්වාසවන්ත අනුගාමිකයන්ව සරු පසකට සමාන කළේ ඔවුන් දෙවිගේ වචනය සිතේ “තබාගෙන විඳදරාගනිමින් පල දරන” නිසයි.—ලූක් 8:13, 15.

16. මිලියන ගණනකට විඳදරාගැනීමට උපකාරවත් වී තිබෙන්නේ කුමන සැපයුමද?

16 විඳදරාගැනීමට උපකාරවත් වන්නේ කුමක්ද කියා ඔබ දුටුවාද? ඒ සඳහා දෙවිගේ වචනය අපගේ සිත් තුළ ‘තබාගත’ යුතුයි. අපගේ බයිබලයේ නව ලොව පරිවර්තනය ඒ සඳහා ඉතා ප්‍රයෝජනදායකයි. එය ඉතා නිවැරදි මෙන්ම කියවා තේරුම්ගැනීමට පහසු අතර භාෂා ගණනාවකින් ලබාගත හැකියි. දිනපතා බයිබලය කියවා ඒ ගැන ගැඹුරින් සිතා බැලීම මගින් “විඳදරාගනිමින්” පල දරන්න අවශ්‍ය ශක්තිය අපට ලැබෙනවා.—ගීතා. 1:1, 2.

“මෘදු ගුණය” හා සමාදානය ලුහුබඳින්න

17. (අ) “මෘදු ගුණය” පෙන්වීම එතරම් වැදගත් ඇයි? (ආ) තමන් මෘදු ගුණැති කෙනෙක් බව යේසුස් පෙන්වුයේ කෙසේද?

17 තමන් නොකී හෝ නොකළ දෙයක් ගැන කවුරුන් හෝ චෝදනා කරනවාට කවුරුත් කැමති නැහැ. එවැනි අයුක්තිසහගත චෝදනාවලට කෝපයෙන් ප්‍රතිචාරය දැක්වීම පොදුවේ දකින්න තිබෙන දෙයක්. නමුත් ඒ වෙනුවට “මෘදු ගුණය” පෙන්වීම කොතරම් හොඳ දෙයක්ද! (හිතෝපදේශ 15:1 කියවන්න.) ඒ සඳහා මහත් වෑයමක් දැරිය යුතුයි. යේසුස් ඒ සම්බන්ධයෙන් හොඳම ආදර්ශය තබනවා. ‘ඔහුට නිග්‍රහ කරද්දී, ඔහු නිග්‍රහ කළේ නැහැ. ඔහු වධ විඳිද්දී, තර්ජනය නොකර, ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන තැනැත්තාට තමන්වම භාර දුන්නා.’ (1 පේතෘ 2:23) යේසුස් හා සමානවම අපිට එසේ කළ නොහැකි වුණත් හැකි උපරිමයෙන් මෘදුකම ලුහුබඳින්න උත්සාහ කරමු.

18. (අ) මෘදු ගුණය ලුහුබැඳීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? (ආ) අපට ලුහුබඳින්න කියා දිරිගන්වන අනෙක් ගුණාංගය කුමක්ද?

18 අපට යේසුස්ව ආදර්ශයට ගත හැකි තවත් ක්‍රමයක් තිබෙනවා. ඒ අපගේ ඇදහිල්ල පිළිබඳව ‘අසන සියල්ලන්ට මෘදුකමින් හා ගැඹුරු ගෞරවයෙන් යුක්තව උත්තර දීමට නිතරම සූදානම්ව’ සිටීම මගිනුයි. (1 පේතෘ. 3:15) අප මෘදු ගුණැති අය නම් අප දරන අදහස් අපගේ සහෝදරයන්ගේ හෝ දේවසේවයේදී හමු වන අයගේ අදහස්වලට වඩා වෙනස් වුණත් ඒවා සැර විවාද දක්වා දුර දිග යන්නේ නැහැ. (2 තිමෝ. 2:24, 25) මෘදුකම වර්ධනය කරගැනීම අප අතර සමාදානය පවත්වාගැනීමට මහත් උපකාරයක්. පාවුල් තිමෝතිට “සමාදානය” ලුහුබඳින්න කියා පැවසුවේ ඒ නිසා විය හැකියි. (2 තිමෝ. 2:22; 1 තිමෝති. 6:11 බලන්න.) එම ගුණාංගය ලුහුබැඳීම කොතරම් වැදගත්ද කියා මින් පැහැදිලියි.—ගීතා. 34:14; හෙබ්‍රෙ. 12:14.

19. අප සලකා බැලූ ක්‍රිස්තියානි ගුණාංග අතරින් ඔබ ලුහුබඳින්න උත්සාහ කරන්නේ කුමන ගුණාංගද? ඒ ඇයි?

19 අප මෙතෙක් සලකා බැලුවේ ධර්මිෂ්ඨකම, දේවභක්තිය, ඇදහිල්ල, ප්‍රේමය, විඳදරාගැනීම, මෘදු ගුණය සහ සමාදානය යන වැදගත් ක්‍රිස්තියානි ගුණාංග හතයි. අපගේ සෑම සභාවකම අප සියලුදෙනාම එම වටිනා ගුණාංග හැකි උපරිමයෙන් ලුහුබඳින්න උත්සාහ කරද්දී එය මොන තරම් ප්‍රසන්න දෙයක්ද! ඒ තුළින් යෙහෝවා දෙවිට ප්‍රශංසාව ගෙන දිය හැකියි. එයින් දෙවිට කැමති ආකාරයෙන් අපව හැඩගස්වන්නත් අප ඔහුට ඉඩහරිනවා.

ඔබට මතකද?

• ධර්මිෂ්ඨකම හා දේවභක්තිය ලුහුබඳින්නේ කෙසේද?

• ඇදහිල්ල සහ විඳදරාගැනීම ලුහුබැඳීමට උපකාරවත් වන්නේ කුමක්ද?

• එකිනෙකා සමඟ කටයුතු කිරීමට ප්‍රේමය උපකාරවත් වන්නේ කෙසේද?

• අප මෘදු ගුණය හා සමාදානය ලුහුබැඳිය යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12වන පිටුවේ පින්තූරය]

තමන් අන් අයට වඩා ධර්මිෂ්ඨයි කියා පෙන්වීමට උත්සාහ කළ අයට විරුද්ධව යේසුස් අනතුරු ඇඟෙව්වා

[13වන පිටුවේ පින්තූරය]

බයිබල් ඉගැන්වීම් ගැන ගැඹුරින් කල්පනා කිරීමෙන් අපට ඇදහිල්ල ලුහුබැඳිය හැකියි

[15වන පිටුවේ පින්තූරය]

අපට ප්‍රේමය හා මෘදු ගුණය ලුහුබැඳිය හැකියි