Skip to content

පටුනට යන්න

ඔබේ විශ්වාසයන් ගැන කතා කරන්න ඔබ සූදානම්ද?

ඔබේ විශ්වාසයන් ගැන කතා කරන්න ඔබ සූදානම්ද?

ඔබේ විශ්වාසයන් ගැන කතා කරන්න ඔබ සූදානම්ද?

ඔබට කවදා හෝ ඔබේ විශ්වාසයන් ගැන කතා කරන්න අවස්ථාවක් ලැබී තිබෙනවාද? එවැනි අවස්ථාවකට මුහුණ දුන් පැරගුවේ නම් රටේ සිටින අවුරුදු 16ක් වයසැති යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් වන සූසානාගේ අද්දැකීම සලකා බලමු. එක් අවස්ථාවක ඇගේ පන්තියේ ශිෂ්‍යයන් අතර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන සාකච්ඡාවක් ඇති වුණා. ඔවුන් කිව්වේ සාක්ෂිකරුවන් “පරණ ගිවිසුම” පිළිගන්නේ නැති, මරියා සහ යේසුස්ව විශ්වාස කරන්නේ නැති මිය ගියත් අසනීපයකට බෙහෙත් ගන්නේ නැති අන්තවාදී කණ්ඩායමක් කියලයි. මෙවැනි අවස්ථාවකට ඔබ මුහුණ දුන්නොත් ඔබ කරන්නේ කුමක්ද?

මුලින්ම සූසානා යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ඉන්පසු තමන්ගේ විශ්වාසයන් ගැන පවසන්න තමන්ට අවස්ථාවක් දෙන මෙන් ගුරුතුමියගෙන් ඉල්ලුවා. ගුරුතුමියද ඊට එකඟ වුණා. නමුත් ඒ වන විට පන්තියේ කටයුතු අවසන් කිරීමට වෙලාව පැමිණ තිබූ නිසා සති දෙකකට පසුව ඇයට ඒ සඳහා අවස්ථාවක් ලැබුණා. ඇයට ලැබුණු සති දෙක තුළ ඇය යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුන් කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? යන විවරණිකාවේ ඇති තොරතුරු යොදාගෙන තම ඉදිරිපත් කිරීම සූදානම් වුණා.

එම දවස උදා වුණා. මුලින්ම ඇය පැහැදිලි කළේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යන නම භාවිත කිරීමට හේතුවයි. ඒ වගේම අනාගතය සඳහා තිබෙන බලාපොරොත්තුව කුමක්ද, සාක්ෂිකරුවන් රුධිර ප්‍රවේශනයන් පිළි නොගන්නේ ඇයි කියාත් ඇය පැහැදිලි කළා. ඉන්පසුව ඒ ගැන සිසුන්ට ප්‍රශ්න තිබෙනවා නම් අසන්න කියා ඇය ආරාධනා කළා. සිසුන්ගෙන් වැඩිදෙනෙක් ඔවුන්ට තිබූ ප්‍රශ්න ඇසුවා. මෙම යෞවනිය බයිබලය යොදාගෙන එම සිසුන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙන ආකාරය දුටු ගුරුතුමිය පුදුමයට පත් වුණා.

ඒ අවස්ථාවේදී එක් ශිෂ්‍යාවක් මෙහෙම කිව්වා. “දවසක් මම රාජ්‍ය ශාලාවකට ගියා. එතන කිසිම පිළිමයක් තිබුණේ නැහැ.” එයට හේතුව දැනගැනීමට ගුරුතුමියට අවශ්‍ය වුණා. එය පැහැදිලි කිරීමට සූසානා ගීතාවලිය 115:4-8 සහ නික්මයාම 20:4 යන පද යොදාගත්තා. පුදුමයට පත් ගුරුවරිය මෙහෙම කිව්වා. “බයිබලයේ රූප නමස්කාරය වැරදියි කියලා සඳහන් කරලා තිබුණත් ඇයි අපේ පල්ලි රූපවලින් පිරිලා තියෙන්නේ?”

සාකච්ඡාව විනාඩි 40 පුරා පැවතුණා. ඉන් අනතුරුව රුධිරය එපා, වෛද්‍ය විද්‍යාව රුධිරය සම්බන්ධ අභියෝගයට මුහුණ දෙයි නමැති වීඩියෝ පටය (සිංහලෙන් නැත) බලන්න කැමතිද කියා සූසානා සිසුන්ගෙන් ඇසුවා. සියලුදෙනාම ඒකට කැමති වුණා. ගුරුතුමිය ඇයට පසු දින ඒ සඳහා අවස්ථාව ලබා දුන්නා. වීඩියෝ පටය නැරඹීමෙන් පසු සූසානා, සාක්ෂිකරුවන් සමහරදෙනෙක් පිළිගන්නා රුධිරය නොවන විකල්ප ප්‍රතිකාර ක්‍රම ගැනද පැහැදිලි කළා. එවිට හොදින් අසාගෙන සිටි ගුරුවරිය මෙහෙම කිව්වා. “මම දැනගෙන හිටියේ නැහැනේ මෙච්චර විකල්ප ප්‍රතිකාර ක්‍රම තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි, රුධිරය රහිත ප්‍රතිකාර ක්‍රමවලින් ලැබෙන ප්‍රයෝජන ගැනත් මම දැනගෙන හිටියෙ නැහැ. මේවා තියෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විතරද?” එසේ නොවන බව ඇය පැවසූ විට ගුරුතුමිය මෙහෙම කිව්වා. “ඊළඟ වතාවේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මගේ ගෙදරට එනකොට මම ඒ අය එක්ක සාකච්ඡා කරනවා.”

සූසානා තම ඉදිරිපත් කිරීම සූදානම් වුණේ විනාඩි 20ක් සඳහා පමණයි. නමුත් සාකච්ඡාව පැය තුනක් පුරා පැවතුණා. ඉන් සතියකට පමණ පසු පල්ලියේ සාමාජිකයන් හැටියට තමන් විශ්වාස කරන දේට පක්ෂව අදහස් දක්වන්න තවත් ශිෂ්‍යයන් කිහිපදෙනෙකුටත් අවස්ථාවක් ලැබුණා. ඔවුන්ගේ ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ ගැන විවිධ ප්‍රශ්න ඇසුවත් ඒවාට පිළිතුරු දෙන්න ඔවුන්ට බැරි වුණා. එවිට ගුරුවරිය ඔවුන්ගෙන් මෙසේ ඇසුවා. “සූසානා කළා වගේ ඔයාලා විශ්වාස කරන දෙයට පක්ෂව කතා කරන්න ඇයි ඔයාලාට බැරි?”

ඔවුන්ගේ පිළිතුරු වුණේ මෙයයි. “සාක්ෂිකරුවන් නම් බයිබලය හොඳට අධ්‍යයනය කරනවා. ඒත් අපි කරන්නේ නැහැනේ.”

පසුව ගුරුතුමි සූසානාට මෙහෙම කිව්වා. “ඇත්තටම බයිබලය අධ්‍යයනය කරන්නේ ඔයාලා තමයි. ඒ වගේම බයිබලයට අනුව ජීවත් වෙන්න උත්සාහ කරන්නෙත් ඔයාලයි. ඒ නිසා ඔයාලාව අගය කරන්න ඕනේ.”

සූසානාට නිශ්ශබ්දව ඉන්න තිබුණා. නමුත් තම විශ්වාසයන් ගැන කතා කිරීමෙන් ඇය අනුකරණය කළේ, සිරියාවේ වහල්භාවයේ සිටි ඊශ්‍රායෙල් දැරියගේ ආදර්ශයයි. ඇය සිටියේ සිරියානු හමුදාවේ නායකයා වන නාමන්ගේ නිවසේ සේවය කරමිනුයි. නාමන්ට ලාදුරු රෝගය වැළදී තිබුණා. එක් අවස්ථාවක මෙම දැරිය තම ස්වාමිදුව එනම් නාමන්ගේ භාර්යාවට පැවසුවේ “මගේ ස්වාමියා සමාරියේ ඉන්න අනාගතවක්තෘවරයාව මුණගැහෙන්න ගියොත් ඔහුට පුළුවන් මගේ ස්වාමියාගේ ලාදුරු රෝගය සුව කරන්න” කියායි. ඇය දෙවි ගැන කතා කළ නිසා නාමන් යෙහෝවා දෙවිට නමස්කාර කරන්නෙකු බවට පත් වුණා.—2 රාජා 5:3, 17, නව ලොව පරිවර්තනය.

ඒ හා සමානව සූසානාටද යෙහෝවා දෙවි හා ඔහුගේ සෙනඟ ගැන කතා නොකර සිටීමට නොහැකි වුණා. තම ඇදහිල්ලට පක්ෂව කතා කිරීම මගින් සූසානා කළේ බයිබලයේ ඇති මෙම ආඥාව ඉටු කිරීමයි. “ඔබේ සිත්වලින් ක්‍රිස්තුස්ව ස්වාමීන් හැටියට සලකා ඔහුට ගෞරවය දෙන්න. ඔබ තුළ ඇති බලාපොරොත්තුව ගැන අසන සියල්ලන් ඉදිරියේ උත්තර දීමට නිතරම සූදානම්ව සිටින්න. නමුත් මෘදුකමින් හා ගැඹුරු ගෞරවයෙන් යුක්තව එසේ කරන්න.” (1 පේතෘ 3:15) ඒ හා සමානව ඔබටත් ඔබේ ඇදහිල්ලට පක්ෂව කතා කිරීමට අවස්ථාවක් ලැබුණොත් එය භාරගන්න ඔබ සූදානම්ද?

[17වන පිටුවේ පින්තූරය]

ඔබේ ඇදහිල්ලට පක්ෂව කතා කිරීමට මෙම සැපයුම් ඔබට උපකාර කරයි