Skip to content

පටුනට යන්න

ඔබ පිළිගන්නේ කාගේ අධිකාරියද?

ඔබ පිළිගන්නේ කාගේ අධිකාරියද?

ඔබ පිළිගන්නේ කාගේ අධිකාරියද?

“දෙවිට ප්‍රේම කිරීම යනු, අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය. ඔහුගේ ආඥා බරක් නොවේ.”—1 යොහ. 5:3.

1, 2. (අ) තව කෙනෙකුට යටත් වෙන්න හෝ කීකරු වෙන්න බොහෝදෙනෙක් අකමැති ඇයි? (ආ) තමන් කරන්නේ තමන්ට අවශ්‍ය දේ කියා පැවසුවත් ඔවුන් ඇත්තටම කරන්නේ කුමක්ද? පැහැදිලි කරන්න.

“මම කරන්න ඕන මොනවද කියලා මම දන්නවා. ඒක කවුරුත් මට කියන්න අවශ්‍ය නැහැ.” අද දින බොහෝදෙනාගේ මතය එයයි. ඉන් පැහැදිලි වන්නේ තව කෙනෙකුට යටත් වෙන්න හෝ කීකරු වෙන්න බොහෝදෙනෙක් කැමති නැති බවයි. ඔවුන් කටයුතු කරන්නේ ඔවුන්ගේම කැමැත්තට අනුව බව කීවත් ඔවුන්ගේ ක්‍රියාවලින් පෙනෙන්නේ ඊට වෙනස් දෙයක්. එනම් ඔවුන් “මේ සමාජ ක්‍රමයට අනුව හැඩගැසී” ඇති අයව අනුකරණය කරන බවයි. (රෝම 12:2) පේතෘස්ද ඒ ගැන පවසන්නේ ඔවුන් ජීවත් වන්නේ මේ ලෝකයේ ‘දූෂිත දේවල්වලට’ අනුව බවයි. (2 පේතෘ. 2:19) ඒ අනුව ඔවුන් සියලුදෙනාම අනුකරණය කරන්නේ “ආකාශයේ බලයේ පාලකයා” වන සාතන් නමැති යක්ෂයාව බව පැහැදිලියි.—එෆී. 2:2.

2 එක් ලේඛකයෙක් තමා ගැනම බොහොම ආඩම්බරයෙන් මෙහෙම කිව්වා. “මම කරන්න ඕනේ මොනවද කියලා තීරණය කරන්නේ මමයි. ඒකට මගේ දෙමව්පියන්ගෙන්වත් වෙන කාගෙන්වත් අඩුම තරමින් බයිබලයෙන්වත් මම උපදෙස් ගන්නේ නැහැ.” තවත් සමහරුන් බලධාරීන්ට කීකරු නොවන්නේ ඔවුන් තම බලය වැරදි ලෙස පාවිච්චි කරන නිසා විය හැකියි. එසේ වූ පමණින් අන් අයගෙන් ලැබෙන ඕනෑම උපදෙසක් ප්‍රතික්ෂේප කළ යුතුද? නැහැ. නමුත් එක් පුවත්පතක පළ වුණේ මෙසේයි. මේ කාලය වෙන කවරදාකටත් වඩා මිනිසුන්ට මඟ පෙන්වීම් අවශ්‍ය කාලයක්. නමුත් අවශ්‍යතාව කොතරම් තිබුණත් ඒවා ලබා දෙද්දී ඔවුන් ඒවා පිළිගන්න කැමති නැහැ. එය කොතරම් කනගාටුදායකද!

අපගේ ආකල්පයත් එයද?

3. බලධාරීන් පැවසූ සෑම දෙයකටම මුල් ක්‍රිස්තියානීන් කීකරු නොවූ බව පෙනෙන්නේ කුමකින්ද?

3 ක්‍රිස්තියානීන් හැටියට අප ඊට වඩා වෙනස්. අප බලධාරීන්ට කීකරු වෙනවා. නමුත් ඔවුන් දෙන සෑම උපදෙසකටම අප කීකරු වන බව මින් අදහස් කරන්නේ නැහැ. එවැනි අවස්ථාවක් ගැන මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් කටයුතු කළ ආකාරයෙන් තේරුම්ගත හැකියි. උදාහරණයකට ශුභාරංචිය දේශනා කිරීම නතර කරන්න කියා උත්තම පූජකයා සහ බලධාරීන් ගෝලයන්ට පැවසූ විට ඔවුන් දෙවිගේ ප්‍රතිපත්ති කඩ කරමින් ඔවුන්ට කීකරු වුණේ නැහැ.—ක්‍රියා 5:27-29 කියවන්න.

4. කුමක් විඳින්න සිදු වුණත් දෙවිගේ පුරාණ සේවකයන් තැබූ ආදර්ශය කුමක්ද?

4 පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් බොහෝදෙනෙක්ද කටයුතු කර තිබෙන්නේ එයාකාරයටයි. ඉන් එක්කෙනෙක් නම් මෝසෙස්. ඔහු ‘තමන් පාරාවෝගේ දුවගේ පුත්‍රයායයි හඳුන්වනු ලැබීම ප්‍රතික්ෂේප කර, තාවකාලික වූ පාපයේ සැප භුක්ති විඳිනවාට වඩා දෙවිගේ සෙනඟ සමඟ හිංසා පීඩා විඳීම තෝරාගත්තා.’ ඔහු එසේ කළේ “රජුගේ කෝපයට” එය හේතු වන බව දැන දැනයි. (හෙබ්‍රෙ. 11:24, 25, 27) යෝසෙප් තවත් කෙනෙක්. ඔහු පොතිපර්ගේ භාර්යාව ගෙනා යෝජනාව ප්‍රතික්ෂේප කළේ ඔහුව වරදකරු කරන්න ඇයට බලය තිබෙන බව දැන දැනමයි. (උත්. 39:7-9) දානියෙල්ද කදිම ආදර්ශයක් සපයනවා. බැබිලෝනීය රජමාලිගාවේ කෑම බීම ගැන තමන් දැරූ ස්ථාවරය අදාළ නිලධාරියාට තේරුම් කර දීම දානියෙල්ට එතරම් පහසු දෙයක් වුණේ නැහැ. එසේ තිබියදීත් ‘රජු කන කෑමෙන් හෝ ඔහු බොන වයින්වලින් අපවිත්‍ර නොවී සිටීමට දානියෙල් තම සිතින් අදිටන් කරගත්තා.’ (දානි. 1:8-14, නව ලොව පරිවර්තනය, NW) එම උදාහරණවලින් පැහැදිලිව පෙන්වන්නේ තමන්ට කුමන දෙයකට මුහුණ දෙන්න සිදු වුණත් දෙවිගේ සේවකයන් හැටියට දෙවි ඉදිරියේ හරි දේ කිරීමට ඔවුන් දැඩි අධිෂ්ඨානයක් ගෙන තිබූ බවයි. මිනිසුන්ගේ හොඳ නම දිනාගැනීම සඳහා ඔවුන් දෙවිගේ ප්‍රතිපත්ති කඩ කළේ නැහැ. අපත් එසේම කළ යුතුයි.

5. අප කීකරු විය යුත්තේ කාටද? ඒ ඇයි?

5 දෙවි ඉදිරියේ හරි දේ කිරීමට අප අධිෂ්ඨානය කරගෙන සිටියත් අප මුරණ්ඩු හෝ ආණ්ඩුවට විරුද්ධව කැරලිගසන අය නොවෙයි. අප මුල් තැන දෙන්නේ යෙහෝවා දෙවිගේ අධිකාරියටයි. ඒ නිසා මිනිස් පාලකයන් දෙවිගේ ප්‍රතිපත්තිවලට පටහැනි යමක් කරන්න කියා පවසද්දී මුල් ක්‍රිස්තියානීන් මෙන් අප කීකරු වන්නේ දෙවිටයි.

6. දෙවිගේ ආඥාවලට සැමවිටම කීකරු වීම හොඳම දේ වන්නේ ඇයි?

6 දෙවිගේ අධිකාරියට කීකරු වන්න අපට උපකාර කර තිබෙන්නේ කුමක්ද? හිතෝපදේශ 3:5, 6හි [NW] සඳහන් මෙම ආකල්පය අප වර්ධනය කරගෙන තිබෙන නිසයි. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. දිවි මඟේ ඔබ තබන සෑම පියවරකදීම ඔහුව සිහි කරන්න. එවිට ඔහු යා යුතු නිසි මඟ පෙන්වා ඔබේ දිවිය සාර්ථක කරනු ඇත.” එම වචනවලට අනුව දෙවි දෙන ඕනෑම ආඥාවකට කීකරු වීම අපගේ යහපතට හේතු වන බව අප විශ්වාස කරනවා. (ද්විතීය කතාව 10:12, 13 කියවන්න.) යෙහෝවා දෙවිද එදා ඊශ්‍රායෙල්වරුන්ට ඒ ගැන දුන් සහතිකය මෙයයි. “ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මාර්ගය ඔබට කියා දෙන්නෙත් මමය. ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම් ඔබේ සමාදානය කිසිදා නොසිඳෙන ගංගාවක් මෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම සාගරයේ අනන්ත අප්‍රමාණ දිය රැළි මෙන්ද වෙයි.” (යෙසා. 48:17, 18NW) දෙවි පවසා ඇති ලෙස අප ඔහුගේ වචන විශ්වාස කරන අතර ඔහුගේ ආඥා අපගේම ප්‍රයෝජනය සඳහා බව මුළු සිතින්ම පිළිගන්නවා.

7. සමහර ආඥාවන් දෙවි දී තිබීමට හේතුව අප නොදන්නවා නම් කළ යුත්තේ කුමක්ද?

7 දෙවි අපට කිරීමට අණ කර ඇති දේවල් බයිබලයේ සඳහන් වෙනවා. සමහර දේවල් කරන්න කියා අණ කර තිබීමට හේතුව අපට සම්පූර්ණයෙන්ම වැටහෙන්නේ නැහැ. ඒ වුණත් අප ඊට කීකරු වන්නේ දෙවි නිතරම අපගේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා යන පූර්ණ විශ්වාසය නිසයි. එසේ කිරීමෙන් අප දෙවිට කොතරම් ප්‍රේම කරනවාද කියාත් ඔප්පු වෙනවා. යොහන් මෙවැනි දෙයක් පැවසුවේ ඒ නිසයි. “දෙවිට ප්‍රේම කිරීම යනු, අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය.” (1 යොහ. 5:3) නමුත් දෙවිට කීකරු වීමේදී අපි අවධානය දිය යුතු තවත් වැදගත් දෙයක් සලකා බලමු.

වටහාගැනීමේ හැකියාව පුහුණු කරගන්න

8. ‘වටහාගැනීමේ හැකියාව පුහුණු කිරීම’ දෙවිගේ අධිකාරියට කීකරු වීමට අපට උපකාර කරන්නේ කෙසේද?

8 ‘හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීම සඳහා වටහාගැනීමේ හැකියාව පුහුණු කරන්න’ කියා බයිබලය අපව උනන්දු කරනවා. (හෙබ්‍රෙ. 5:14) එසේ කිරීමෙන් දෙවිගේ නීති ගැන අවබෝධයක් ඇතිව ඔහුට කීකරු වෙන්න අපට හැකියි. දෙවිගේ ප්‍රමිති සැලකිල්ලට ගනිමින් හරි වැරැද්ද අතර වෙනස හොඳින් වටහාගැනීමටද අපට හැකි වෙනවා. දෙවිගේ නීති ප්‍රතිපත්ති කොතරම් ප්‍රඥාවන්තද කියා අප තේරුම්ගන්නා විට ගීතිකාකරු මෙන් “ඔබේ නීතිය මාගේ ඇතුළාන්තයේම ලියා ඇත” කියා පැවසිය හැකියි.—ගීතා. 40:8NW.

9. දෙවිගේ ආඥාවලට එකඟව අපගේ හෘදය සාක්ෂිය පුහුණු කළ හැක්කේ කෙසේද? ඉන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?

9 දෙවිගේ නීතිවල වටිනාකම තේරුම්ගැනීමට නම් අප බයිබලය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කිරීම අවශ්‍යයි. උදාහරණයකට දෙවි දී ඇති එක් ආඥාවක් ගැන ඔබ කල්පනා කරනවා නම් මෙවැනි ප්‍රශ්න ඔබෙන්ම අසන්න. ‘දෙවි මේ ආඥාව දී තිබෙන්නේ ඇයි? ඊට කීකරු වීමෙන් මට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? දෙවිගේ මෙම ආඥාව නොසලකා හැර ඇති අයට විඳින්න සිදු වී ඇති ප්‍රතිඵල මොනවාද?’ එසේ කිරීමෙන් ‘යෙහෝවා දෙවිගේ කැමැත්ත කුමක්දැයි වටහාගෙන’ ඒ අනුව අපගේ හෘදය සාක්ෂිය පුහුණු කළ හැකියි. එවිට ඔහුගේ කැමැත්තට එකඟව තීරණ ගැනීම අපට පහසු වෙනවා. (එෆී. 5:17) නමුත් මේ සඳහා දැඩි වෑයමක් දැරීම අවශ්‍යයි.

සාතන්ගේ වෑයම කුමක්ද?

10. දෙවිගේ අධිකාරියට මිනිසුන් දක්වන ගෞරවය හීන කිරීමට සාතන් ඔවුන්ව පොලඹවා ඇති එක් ආකාරයක් කුමක්ද?

10 තමාගේම කැමැත්තට අනුව කටයුතු කරන සාතන් එදා සිටම උත්සාහ කරන්නේ දෙවිගේ අධිකාරියට මිනිසුන් දක්වන ගෞරවය හීන කිරීමටයි. ඔහු එය කර ඇති එක් ආකාරයක් වන්නේ දෙවි ඇති කළ විවාහ සැලැස්මට අගෞරව වන ආකාරයෙන් කටයුතු කිරීමට මිනිසුන්ව පෙලඹවීමෙනුයි. සමහරුන් විවාහ නොවී එකට ජීවත් වන්නෙත් තවත් අය තම සහකරුවාව අත්හරින්න නොයෙකුත් ක්‍රම සොයන්නෙත් ඒ නිසයි. විවාහය ගැන සමහරුන්ගේ ආකල්ප සලකා බලන්න. එක් ප්‍රසිද්ධ නිළියක් පැවසුවේ මෙසේයි. “විවාහකයන් එකිනෙකාට විශ්වාසවන්තව ඉන්නවා කියලාවත් එහෙම ඉන්න ඕනේ කියලාවත් මම නම් හිතන්නේ නැහැ. ජීවිත කාලයටම එක්කෙනෙක් එක්ක ජීවත් වෙන්න දෙන්නාගෙන් කවුද කැමති?” කිහිපදෙනෙකු සමඟ එකට ජීවත් වූ ජනප්‍රිය නළුවෙක් ඒ හා සමාන දෙයක් පැවසුවා. “ජීවිතාන්තය දක්වා එක සහකරුවෙක් සමඟ ජීවත් වීම සම්මතයක් කියලා මම නම් හිතන්නේ නැහැ.” එවැනි ආකල්ප අද පවතින නිසා අපි අපෙන්ම මෙසේ අසාගැනීම සුදුසුයි. ‘දෙවි ආඥා කරලා තියෙන විදිහට මම විවාහයට ගරු කරනවාද? නැත්නම් මට තියෙන්නේ විවාහය සම්බන්ධයෙන් ඉහත සඳහන් අයගේ ආකල්පයද?’

11, 12. (අ) යෞවනයෙකුට දෙවිගේ අධිකාරියට කීකරු වීම අභියෝගයක් විය හැක්කේ කෙසේද? (ආ) දෙවිගේ ආඥාවලට කීකරු නොවීමෙන් ඇති වන ප්‍රතිඵල ගැන අද්දැකීමකින් පැහැදිලි කරන්න.

11 ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටින යෞවනයෙක්ද? ඔබ දෙවිගේ අධිකාරියට දක්වන කීකරුකමෙන් ඔබට පලක් නැහැයි කියා ඔබ තුළ හැඟීමක් ඇති කිරීමට සාතන් මාන බලනවා. ඒ සඳහා ඔහු ඔබේ ‘යොවුන් වියට ආවේණික වූ ආශාවන්’ යොදාගන්නා අතර ඔබගේ සම වයසේ අයව අතකොළුවක් කරගනිමින් දෙවිගේ නීති බරක් කියා පෙන්වීමට උත්සාහ කරනවා. (2 තිමෝ. 2:22) එවැනි දෙයකට ඉඩ දෙන්න එපා. ඒ සඳහා ඔබ මුලින්ම කළ යුත්තේ දෙවිගේ ආඥා මොන තරම් ප්‍රඥාවන්තද කියා තේරුම්ගැනීමයි. උදාහරණයකට “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” යන ආඥාව සැලකිල්ලට ගන්න. (1 කොරි. 6:18) මෙහිදීත් ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘දෙවි මේ ආඥාව දී තිබෙන්නේ ඇයි? ඊට කීකරු වීමෙන් මට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? දෙවිගේ මෙම ආඥාව නොසලකා හැර ඇති අයට විඳින්න සිදු වී ඇති ප්‍රතිඵල මොනවාද? දැන් ඔවුන් සතුටින් සිටිනවාද? ඔවුන් දෙවිගේ සංවිධානය තුළ සිටිද්දී භුක්ති විඳි තත්වයට වඩා යහපත් ජීවිතයක් දැන් ඔවුන් ගත කරන බව පෙනෙන්න තිබෙනවාද? ඔබ නොලබන ආකාරයේ ප්‍රීතියක් ඔවුන් ලබනවාද?—යෙසායා 65:14 කියවන්න.

12 ෂැරොන් නමැති ක්‍රිස්තියානි සහෝදරිය පැවසූ දෙයට හොඳ අවධානයක් දෙන්න. “දෙවිගේ නීති නොසලකා හැරීම නිසා මට මාරාන්තික ඒඩ්ස් රෝගය වැලදුණා. මම යෙහෝවා දෙවිට ප්‍රීතියෙන් සේවය කළ කාලය ගැන දැන් මට නිතරම මතක් වෙනවා.” දෙවිගේ ආඥාවන් නොසලකා හරිමින් තමන් කළේ මොන තරම් මෝඩකමක්ද කියාත් එම ආඥාවලට තමන් කොතරම් ගරු කළ යුතුව තිබුණාද කියාත් ඇය තේරුම්ගත්තේ පසුවයි. ඉහත සඳහන් වචන පවසා හරියටම සති හතකට පසුව ඇය මිය ගියා. ඇගේ කනගාටුදායක අද්දැකීමෙන් ඔප්පු වන්නේ කුමක්ද? සාතන්ගේ දුෂ්ට ලෝකයේ පැත්ත ගන්නා වූ කිසිම කෙනෙකු වෙනුවෙන් දීමට කිසිම යහපත් දෙයක් සාතන්ට නැති බවයි. “බොරුවේ පියා” වන සාතන් දෙන පොරොන්දු එමටයි. වරක් ඔහු ඒවට දුන් පොරොන්දු මෙන් අද ඔහු දෙන පොරොන්දුද එකක් නෑර අමූලික බොරු! (යොහ. 8:44) එසේනම් හොඳම දේ වන්නේ යෙහෝවා දෙවිගේ අධිකාරියට කීකරු වීමයි.

දෙවිගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප නොකරන්න

13. අපේම කැමැත්තට අනුව කටයුතු කිරීමෙන් වැළකී සිටිය හැකි එක් ආකාරයක් කුමක්ද?

13 අපේම කැමැත්තට අනුව කටයුතු කිරීමේ ස්වභාවයට අප විරුද්ධ විය යුතුයි. අපි උඩඟු නම් අප තුළ එවන් ආකල්පයක් ඇති විය හැකි අතර අපට කිසිවෙකුගේ උපදෙස් අවශ්‍ය නැහැයි කියා සිතෙන්න ඉඩ තිබෙනවා. උදාහරණයකට මේ ගැන සිතන්න. දෙවි තම සෙනඟට නියම වේලාවට අවශ්‍ය පෝෂණය දීමට විශ්වාස වූ නුවණ ඇති දාසයාව පත් කර තිබෙනවා. එම සැලැස්මට එකඟව වැඩිමහල්ලන් තුළින් අපට මඟ පෙන්වීම් හෝ උපදෙස් ලැබෙනවා. නමුත් අප උඩඟු නම් ඒවා පිළිගන්න කැමති නැහැ. (මතෙ. 24:45-47) එමනිසා තම සෙනඟව රැකබලා ගැනීමට දෙවි සපයා ඇති සැලැස්මට කීකරුවීමෙන් අපි යටහත්පහත් අය බව පෙන්වමු. එවන් යටහත්පහත්කමක් පෙන්වූ යේසුස්ගේ විශ්වාසවන්ත ගෝලයන්ව අපි අනුකරණය කරමු. එක් අවස්ථාවකදී සමහර අනුගාමිකයන් යේසුස්ව අතහැර ගියා. එවිට යේසුස් “ඔබටත් යන්න ඕනෑද” කියා අනිත් ගෝලයන්ගෙන් ඇසුවා. ඔවුන්ගේ පිළිතුර වුණේ මෙයයි. “ස්වාමිනි, අප කා ළඟට යන්නද? සදාකාල ජීවනයේ වචන ඇත්තේ ඔබ ළඟය.”—යොහ. 6:66-68.

14, 15. බයිබල් උපදෙස්වලට කීකරු වීමෙන් අප පෙන්වන්නේ කුමක්ද?

14 දෙවිගේ අධිකාරියට කීකරු විය හැකි තවත් ක්‍රමයක් වන්නේ බයිබලය මත පදනම් උපදෙස් පිළිගැනීමයි. උදාහරණයකට ‘අවදිව, සිහිකල්පනාව ඇතිව සිටින්න’ කියා විශ්වාසවන්ත නුවණ ඇති දාසයා අපට නිතරම මතක් කරනවා. (1 තෙස. 5:6) මේ අන්තිම කාලයේ සිටින බොහෝදෙනා “තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන” අය නිසා ඒ උපදෙස ඉතා යෝග්‍යයි. (2 තිමෝ. 3:1, 2) එවැනි මිනිසුන්ගේ ආකල්ප අපට යම් බලපෑමක් ඇති කළ හැකිද? ඔව්, දෙවි සමඟ ශක්තිමත් මිත්‍රත්වයක් ඇති නොකරන දේවල්වලට අප ප්‍රේම කළොත් ඉන් අපගේ ඇදහිල්ල දුර්වල විය හැකියි. නැත්නම් ධන සම්පත් අත් කරගැනීමේ ආකල්පයක් අප තුළ වර්ධනය විය හැකියි. (ලූක් 12:16-21) ඉන් වැළකීමට බයිබල් උපදෙස් පිළිගැනීම ඉතාමත් ඥානවන්තයි. ඒ තුළින් අද බොහෝදෙනා තුළ දකින්න තිබෙන ආත්මාර්ථකාමී ස්වභාවයෙන් අපට වැළකී සිටිය හැකියි.—1 යොහ. 2:16.

15 විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ලබා දෙන ඇදහිල්ල ශක්තිමත් කරවන තොරතුරු වැඩිමහල්ලන් තුළින් අපට ලබා දෙනවා. එමනිසා බයිබලය අපට උනන්දු කරන්නේ “ඔබ අතරේ පෙරමුණ ගන්නාවූ අයට කීකරුව සිටින්න. යටත්ව සිටින්න. මන්ද ඔවුහු ඔබ ගැන ගණන් දිය යුතු අය හැටියට ඔබව රැකබලා ගන්නෝය. එවිට ඔවුන්ට එය සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් කිරීමට හැකි වන්නේය. මන්ද, ඔවුන් එය සුසුම්ලමින් කළොත් ඔබට හානිදායක වන්නේය” කියායි. (හෙබ්‍රෙ. 13:17) වැඩිමහල්ලන් නොවරදිනසුලු අය නොවෙයි. ඔවුන් අතින් සිදු වන අඩුපාඩුකම් අපට වඩා දකින්නේ යෙහෝවා දෙවියි. ඒ වුණත් ඔවුන්ට යටත්ව සිටීම දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. එය කළ හැක්කේ කෙසේද? ඔවුන් අතින් අඩුපාඩුකම් සිදු වුණත් ඔවුන් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමෙනුයි. එය අප දෙවිගේ අධිකාරියට කීකරු වන බවට සාක්ෂියක්.

යටහත්පහත්කමේ වැදගත්කම

16. ක්‍රිස්තියානි සභාවේ හිස හැටියට යේසුස්ට යටත් බව පෙන්වන්න අප සියලුදෙනාටම හැක්කේ කෙසේද?

16 ක්‍රිස්තියානි සභාවේ හිස යේසුස් බව අපි නිතරම මතක තබාගත යුතුයි. (කොලො. 1:18) අප එසේ කරනවා නම් වැඩිමහල්ලන්ගේ මඟ පෙන්වීම්වලට යටත් වෙමින් ඔවුන්ට ‘බොහෝ සෙයින් සැලකිල්ල දක්වනවා.’ (1 තෙස. 5:12, 13) එමෙන්ම වැඩිමහල්ලන්ද සභාවේ හිස හැටියට යේසුස්ට යටත් වෙනවා. ඒ, ඉගැන්වීමේදී ඔවුන්ගේම මත වෙනුවට දෙවිගේ ඉගැන්වීම් සෙසු සහෝදරයන්ට ලබා දීමෙනුයි. ඒ අනුව ඔවුන් ‘ලියා තිබෙන දේ ඉක්මවා නොයෑමට’ වගබලා ගන්නවා.—1 කොරි. 4:6.

17. තමන්ටම ගෞරවය ලබාගැනීමේ ආශාව වැරදි ඇයි?

17 සභාවේ සියලුදෙනාම පරෙස්සම් විය යුතු උගුලක් තිබෙනවා. එය නම් තමන්ටම ගෞරවය ලබාගැනීමේ ආශාවයි. (හිතෝ. 25:27) පෙනෙන ආකාරයට මුල් සියවසේ එක් ගෝලයෙක් එම උගුලට හසු වුණා. යොහන් ඔහු ගැන පවසන්නේ මෙසේයි. “ඔවුන් අතරේ මුල් තැන ලබාගැනීමට කැමති දියොත්‍රෙෆස්, අපෙන් වූ කිසිවක් ගෞරවයෙන් පිළිගන්නේ නැත. එහෙයින්, මා ආවොත්, ඔහු අපට දුෂ්ට වචනවලින් දිගින් දිගටම දොස් තබමින් කරන ක්‍රියා ගැන සිහි කරවන්නෙමි.” (3 යොහ 9, 10) ඉන් අපටත් පාඩමක් ගත හැකියි. එනම් අපටම ගෞරවය ලබාගැනීමේ සුළු ආශාවක් හෝ අප තුළ ඇති බව වැටහේ නම් එය වහාම මුලින් උපුටා දැමිය යුතුයි. ඊට හේතුව වන්නේ මෙයයි. “වැටෙන්න කලින් උඩඟුකමද පය පැටලෙන්න කලින් ආඩම්බර සිතක්ද ඇත.”—හිතෝ. 11:2; 16:18NW.

18. දෙවිගේ අධිකාරියට කීකරු වීමට අපට උපකාර කරන්නේ කුමක්ද?

18 අපි මෙතෙක් සලකා බැලූ ලෙස අපගේම කැමැත්තට අනුව කටයුතු කිරීමේ ස්වභාවයෙන් වැළකී සිටීමෙන් දෙවිගේ අධිකාරියට යටත් වෙමු. එමෙන්ම දෙවිට සේවය කිරීමේ අපිට ඇති මහත් වරප්‍රසාදය ගැනද විටින් විට කල්පනා කරමු. ඔබ දෙවිගේ සෙනඟ අතර සිටීමෙන් ඔප්පු වන්නේ දෙවි තම බලය මාර්ගයෙන් ඔබව තෝරාගෙන ඇති බවයි. (යොහ. 6:44) එමනිසා දෙවි සමඟ ඔබට ඇති මිත්‍රත්වය කිසි දිනක සුළුවට තකන්න එපා. ඔබගේ කැමැත්තට අනුව කටයුතු කරනවා වෙනුවට ඔබේ ජීවිතයේ සෑම පැත්තකදීම දෙවිගේ අධිකාරියට කීකරු වීමට අදිටන් කරගන්න.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• දෙවිගේ අධිකාරියට කීකරු වීමට අයත් වන්නේ කුමක්ද?

• වටහාගැනීමේ හැකියාව පුහුණු කිරීම දෙවිගේ අධිකාරියට කීකරු වීමට අපට උපකාර කරන්නේ කෙසේද?

• දෙවිගේ අධිකාරියට අකීකරු වීමට සාතන් මිනිසුන්ව පොලඹවා ඇති එක් ආකාරයක් කුමක්ද?

• දෙවිගේ අධිකාරිය පිළිගැනීමට යටහත්පහත්කම අවශ්‍ය වන්නේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

“අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය”

[20වන පිටුවේ පින්තූරය]

හැමවිටම දෙවිට කීකරු වීම ඥානවන්තයි