Skip to content

පටුනට යන්න

කදිම විසඳුමක්!

කදිම විසඳුමක්!

කදිම විසඳුමක්!

තම රටේ පවත්වන දිස්ත්‍රික් සමුළුවකට සහභාගි වීමට මධ්‍යම අප්‍රිකාවේ යෞවනයන් තුන්දෙනෙක් ඉතා ආශාවෙන් සිටියා. නමුත් එය පැවැත්වෙන ස්ථානය පිහිටා තිබුණේ කිලෝමීටර් 90ක් තරම් ඈතකයි. ඒ සඳහා තිබූ ගමන් මාර්ගයත් ඉතා දුෂ්කරයි. ප්‍රවාහන පහසුකම්ද තිබුණේ නැහැ. ඊට විසඳුමක් හැටියට පා පැදි තුනකින් එහි යෑමට අදහස් කළත් ඊට සුදුසු ඒවා සොයාගන්න ඔවුන්ට හැකි වුණේ නැහැ.

ඒ බව දැනගත් එක් වැඩිමහල්ලෙක් ඔහුගේ බයිසිකලය ඔවුන්ට දුන්නා. තමන්ද අනිත් අයද එවැනි සමුළුවලට ගියේ කොහොමද කියාත් ඒ විදිහට මේ තුන්දෙනාටත් යන්න පුළුවන් කොහොමද කියලත් ඔහු කිව්වා. ඒක හරිම සරල ක්‍රමයක්. නමුත් කරන්න ටිකක් අමාරුයි. තුන්දෙනෙක් එක බයිසිකලෙන් යන්නේ කොහොමද?

අව්ව වැටෙන්න කලින් තුන්දෙනාම බඩු ටිකත් බයිසිකලේ බැඳගෙන පිටත් වුණා. ඔවුන් සමුළුවට ගියේ මෙහෙමයි. එක්කෙනෙක් බයිසිකලය පැදගෙන යද්දී අනිත් දෙන්නා ටිකක් වේගයෙන් පස්සෙන් යනවා. බයිසිකලේ ගිය කෙනා මීටර් 500ක් පමණ ගියාට පස්සේ පසුපසින් එන දෙදෙනාගෙන් කෙනෙකුට අවස්ථාව දීම සඳහා එය ඔවුන්ට පෙනෙන සේ පාර අයිනේ තබා ඇවිදගෙන ඉදිරියට යනවා.

අනෙක් දෙදෙනාද බයිසිකලය තිබෙන තැනට පැමිණ ඉන් එක්කෙනෙක් බයිසිකලය පැදගෙන යන අතර අනෙක් කෙනා ඔහු පසුපසින් ඇවිදගෙන යයි. බයිසිකලය පැදගෙන ගිය කෙනාද පසුව මීටර් 500ක් පමණ ගියායින් පසුව ඔහුද එය නවතා කලින් කෙනා මෙන් ඉදිරියට ගමන් කරයි. එයාකාරයෙන් මාරුවෙන් මාරුවට ඔවුන් ගමන් කරනවා. එලෙස හොඳින් සැලසුම් කළ නිසා සහ දැඩි අධිෂ්ඨානයක් තිබූ නිසා පයින් ගමන් කිරීමට තිබූ මුළු දුරෙන් කි.මී. 30ක් පමණ අඩු කරගත්තා. ඔවුන්ගේ වෙහෙස අපතේ ගියේ නැහැ. ඒ ඔවුන්ට කදිම සහෝදර ඇසුරක් භුක්ති විඳීමට හා ඇදහිල්ල ශක්තිමත් කරන තොරතුරුවලට ඇහුම්කන් දෙන්න හැකි වූ නිසයි. (ද්වි. 31:12) මේ වසරේ පැවැත්වීමට නියමිත දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීමට ඔබත් ඔබට හැකි සියල්ල කරනවාද?