Skip to content

පටුනට යන්න

දුර්වල වුණත් ශක්තිමත්ව

දුර්වල වුණත් ශක්තිමත්ව

දුර්වල වුණත් ශක්තිමත්ව

කෙනෙකු තුළ ඇති දුර්වලකම් හරියට ඔහුගේ ඇඟේ ඇලී සිටින කූඩැල්ලෙක් වගෙයි. ඌව ඉවත් කිරීම ඉතා දුෂ්කර දෙයක් හා සමානව කෙනෙකු තුළ ඇති දුර්වලකම් පරාජය කිරීමද ඉතාම දුෂ්කර දෙයක් විය හැකියි. ඊට හේතුව කුමක්ද? සමහරවිට ඔබ එතරම් වටින්නේ නැහැ කියා හෝ අන් අයට වඩා ඔබ පහත් කියා ඔබට සිතෙන්න පුළුවන්. නැත්නම් ඔබට ඇති අසනීපයක් නිසා ජීවිතයේ සතුට ඔබෙන් ගිලිහී යන්න ඉඩ තිබෙනවා. ඒ කුමක් වුණත් ඉන් ගොඩ ඒමට නොහැකි බව ඔබට හිතෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී ඔබත් යෝබ් මෙන් දෙවිට මෙසේ පවසන්න ඉඩ තිබෙනවා. “ඔබේ කෝපය පහව යන තුරු මාව මිනි වළෙහි සඟවා තබන මෙන් ඉල්ලමි. කාලයක් නියම කර නැවත මා සිහි කරන මෙන් ඉල්ලමි.”—යෝබ් 14:13, නව ලොව පරිවර්තනය, NW.

අධෛර්යය කරවන එවැනි හැඟීම්වලින් ගොඩ එන්න පුළුවන් කොහොමද? අභියෝගයක් විය හැකි වුවත් ඔබගේ මනස කෙටි වෙලාවකට හෝ වෙනතකට යොමු කරන්න උත්සාහ කරන්න. උදාහරණයකට යෝබ් තම ගැටලුව ගැන සිතමින් සිටි ආකාරය වෙනස් කිරීමට දෙවි ඔහුගෙන් ඇසූ ප්‍රශ්න ගැන මඳක් සිතා බලන්න. “මා පොළොවේ අත්තිවාරම දමන විට ඔබ සිටියේ කොහේද? ඔබ ඒ ගැන දන්නවා නම් මට කියන්න. එහි දිග පළල නියම කළේ කවුද? එය නියමිත ප්‍රමාණයට සෑදුවේ කවුද?” (යෝබ් 38:4, 5NW) මෙවැනි ප්‍රශ්න ගැන කල්පනා කිරීමට අපගේ මනස යොමු කරන විට දෙවිගේ ප්‍රඥාව සහ බලය කොපමණද කියා තේරුම්ගන්න අපට හැකියි. එමෙන්ම ගැටලු පවතින්න දෙවි ඉඩහැර ඇති හේතුවද ඒ තුළින් වටහාගත හැකියි.

“මාංසයේ කටුවක්”

දෙවිගේ තවත් විශ්වාසවන්ත සේවකයෙක් වූ පාවුල්ද ඔහුට තිබූ ගැටලුවක් ගැන දෙවිට කන්නලව් කළා. “මාංසයේ කටුවක්” ලෙස ඔහු එය හැඳින්වූ අතර එය ඉවත් කරන්න කියා තුන් වරක් දෙවිගෙන් ඉල්ලුවා. ගැටලුව කුමක් වුවත් එය ඔහුට නිතර නිතර වධ දුන් නිසා සමහරවිට දෙවිට කළ සේවයේ ප්‍රීතිය අඩුවීමට එය බලපාන්න ඉඩ තිබුණා. එය ඔහුට දැනුණේ හරියට කවුරුන් හෝ ඔහුට නිතරම පහර දෙමින් සිටිනවා වගෙයි. ඒ වුණත් ඔහුගේ ඉල්ලීමට දෙවිගේ පිළිතුර වුණේ මෙයයි. “මගේ මහත් කරුණාව ඔබට ප්‍රමාණවත්ය. මන්ද, දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණ වන්නේය.” දෙවි පාවුල්ගේ එම ගැටලුව ඉවත් නොකළ අතර ඔහුට එයත් සමඟ පොරබදන්න සිදු වුණා. නමුත් ඒ ගැන පාවුල් පැවසුවේ “මා දුර්වලව සිටියදී මම බලවත්ව සිටිමි” කියායි. (2 කොරි. 12:7-10) ඉන් ඔහු අදහස් කළේ කුමක්ද?

එම දුර්වලකම සමඟ දිගටම පොරබදන්න ඔහුට සිදු වුණත් දෙවිට ඔහු උද්‍යෝගයෙන් කළ සේවය දුර්වල කිරීමට එම ගැටලුවට ඉඩ දුන්නේ නැහැ. ඊට හේතුව ඔහු නිතරම උපකාර පතා දෙවි මත රඳා සිටි නිසයි. (ෆිලි. 4:6, 7) ඒ නිසා ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේදී මෙසේ කීමට ඔහුට හැකි වුණා. “මම යහපත් සටනෙහි සටන් කළෙමි. මම දිවීම අවසන් කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි.”—2 තිමෝ. 4:7.

තම අරමුණ ඉටු කරගැනීම සඳහා යෙහෝවා දෙවි යොදාගන්නේ අඩුපාඩුකම් සහ දුර්වලකම් ඇති මිනිසුන්වයි. ඔවුන් තුළින් දෙවිගේ අරමුණු සාර්ථක වෙද්දී එහි ගෞරවය හිමි වන්නේ දෙවිටයි. ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම සහ ප්‍රඥාව දෙවි දෙන අතර දෙවිට කරන සේවයෙන් ප්‍රීතියක් ලබන්නත් ඔවුන්ට හැකියි.

පාවුල්ට තිබූ මාංසයේ කටුව දෙවි ඉවත් නොකිරීමට හේතුව ඔහු විස්තර කළේ ‘මා පමණට වඩා උසස් යයි නොසිතන පිණිසය’ කියායි. (2 කොරි. 12:7) ඔහුගේ සීමාවන් තේරුම්ගෙන නිහතමානීව කටයුතු කිරීමට එම “කටුව” මගින් ඔහුට මතක් කර දුන්නා. යේසුස්ද ඒ හා සමාන දෙයක් පැවසුවා. “තමන්වම උසස් කරගන්නා කවරෙක් නමුත් පහත් කරනු ලබන්නේය. තමන්වම පහත් කරගන්නා කවරෙක් නමුත් උසස් කරනු ලබන්නේය.” (මතෙ. 23:12) ගැටලුවලට මුහුණ දෙන විට යටහත්පහත්කම ඉගෙනගැනීමට දෙවිගේ සේවකයන්ට අවස්ථාවක් ලැබෙනවා. එමෙන්ම විශ්වාසවන්තව විඳදරාගැනීමට නම් දෙවිගේ උපකාරය අවශ්‍ය බව තේරුම්ගන්නත් ඒ තුළින් ඔවුන්ට හැකි වෙනවා. ඒ අනුව පාවුල් මෙන් ඔවුන්ටත් “යෙහෝවා දෙවි තුළ ආඩම්බරයෙන් කතා” කිරීමට හැකි වෙනවා.—1 කොරි. 1:31.

සැඟවුණු දුර්වලකම් හඳුනාගන්න

තමන්ට යම් දුර්වලකමක් තිබෙනවා කියා සමහරුන් නොදන්නවා විය හැකියි. තවත් අය එය දන්නවා වුණත් ඒ බව පිළිගැනීමට අදිමදි කළ හැකියි. උදාහරණයකට කෙනෙක් තම හැකියාවන් ගැන ඕනෑවට වඩා විශ්වාසය තබන්න පුළුවන්. (1 කොරි. 10:12) තවත් දුර්වලකමක් නම් අන් අයට වඩා උසස් වීමට තිබෙන ආශාවයි.

මෙය තේරුම්ගැනීමට දාවිත් රජුගේ හමුදාවේ නායකයා වූ යෝවාබ් ගැන සලකා බලමු. ඔහු නිර්භීත, බුද්ධිමත්, මෙන්ම ගැටලු නිරාකරණය කිරීමේ හොඳ හැකියාවක් ඇති පුද්ගලයෙක්. නමුත් ඔහු තම හමුදාවේ උසස් නිලධාරීන් දෙදෙනෙකුව ඉතාමත් කෲර ලෙස ඝාතනය කළා. ඉන් පැහැදිලි වුණේ ඔහු බලයට ඉතා කෑදර පුද්ගලයෙක් බවයි. මුලින්ම ඔහු අබ්නේර්ව ඝාතනය කර ඔහුගෙන් පළිගත්තා. ඉන්පසු ඔහු තම ඥාති සහෝදරයා වන අමාසාව කපටි ලෙස ඝාතනය කළා. එනම් ඔහුව සිඹගැනීමට මෙන් ගොස් කඩුවෙන් ඇන ඔහුව මරා දැමුවා. (2 සාමු. 17:25; 20:8-10) ඊට හේතුව කුමක්ද? දාවිත්ගේ හමුදාවේ නායකයා හැටියට කටයුතු කළේ යෝවාබ්. නමුත් දාවිත් අමාසාව හමුදාවේ නායකයා ලෙස පත් කරාවි යන බිය නිසා යෝවාබ් කලින්ම ඔහුව ඝාතනය කළා. යෝවාබ් තුළ ඇති වූ ආත්මාර්ථකාමී ආශාව ඔහු පාලනය කරගත්තේ නැහැ. ඔහු කළ කෲර මෙන්ම බරපතළ අපරාධ ගැන ඔහුට කිසිම කනගාටුවක් නොදැනුණු බව අපට පැහැදිලියි. යෝවාබ්ට සුදුසු දඬුවම් දෙන්න කියා මිය යන්න ආසන්නව සිටි දාවිත් සලමොන්ට පැවසුවේ ඒ නිසයි.—1 රාජා. 2:5, 6, 29-35.

අපත් අපගේ වැරදි ආශාවන් වර්ධනය වීමට ඉඩ නොදී ඒවා පාලනය කරගත යුතුයි. ඒ සඳහා මුලින්ම අප කළ යුත්තේ අපට තිබෙන දුර්වලකම් හඳුනාගැනීම සහ අවංකව ඒවා පිළිගැනීමයි. ඉන්පසුව ඒවා ජය ගැනීමට කටයුතු කළ යුතුයි. මේ සඳහා උපකාර ඉල්ලා නොකඩවාම දෙවිට යාච්ඤා කරන්න. බයිබලය උද්‍යෝගයෙන් අධ්‍යයනය කරන්න. එමෙන්ම දුර්වලකම්වලට විරුද්ධව කටයුතු කළ හැකි ක්‍රම සොයන්න. (හෙබ්‍රෙ. 4:12) සමහර දුර්වලකම් ජය ගැනීමට දිගින් දිගටම උත්සාහ කරන්න සිදු වුණත් ඒ ගැන අධෛර්යය වන්න එපා. සමහරවිට ජීවිතය පුරාම එම සටන කරගෙන යාමට සිදු විය හැකියි. පාවුල්ද ඒ බව පිළිගත්තා. ඒ ගැන ඔහු පැවසුවේ මෙසේයි. “මා කරන්නේ මා කරන්න කැමති දේ නොව මා ද්වේෂ කරන දේය.” දුර්වලකම් මතු වෙද්දී තමන්ට කොහෙත්ම එය පාලනය කළ නොහැකියි කියා ඔහු එම උත්සාහය අතහැර දැමුවේ නැහැ. ඒ වෙනුවට දෙවි යේසුස් මගින් ඔහුට ලබා දුන් උපකාර නිසා දිගටම එම දුර්වලකම් සමඟ පොරබැදුවා. (රෝම 7:15-25) තවත් අවස්ථාවකදී ඔහු මෙසේද පැවසුවා. “මා අන් අයට දේශනා කළායින් පසු, මොනයම් හෝ හෙයකින් මා ප්‍රතික්ෂේප කරනු නොලබන පිණිස, මගේ ශරීරයට දැඩි ලෙස පහර දෙමින්, වහලෙකුව ඇදගෙන යන්නාක් මෙන් එය ඇදගෙන යමි.”—1 කොරි. 9:27.

වරදක් සිදු වූ විට ඊට නිදහසට කරුණු කීම මිනිසාගේ ස්වභාවයයි. එම ස්වභාවයට විරුද්ධව කටයුතු කිරීමට නම් හරි වැරැද්ද ගැන දෙවි දරන ආකල්පය වර්ධනය කරගැනීමට අපත් වෑයම් කළ යුතුයි. පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට දුන් උපදෙසද අපි මතකයේ තබාගනිමු. “දුෂ්ට දේට ද්වේෂ කරන්න. යහපත් දේට ඇලුම් වන්න.” (රෝම 12:9) අපගේ දුර්වලකම් ජය ගැනීමට අවංකකම, අත්නෑර උත්සාහ කිරීම සහ අපවම පාලනය කරගැනීම අත්‍යවශ්‍යයි. දාවිත්ටද එවැනි දුර්වලකමක් තිබූ අතර ඔහු දෙවිගෙන් මෙසේ ඉල්ලා සිටියා. “මාගේ ඇතුළාන්ත හැඟීම් සහ සිතුවිලි තව තවත් පවිත්‍ර කරන්න.” (ගීතා. 26:2NW) මිනිසුන් වන අපගේ ඇතුළාන්ත හැඟීම් සියල්ලක්ම තේරුම්ගන්න දෙවිට හැකි බවත් අවශ්‍ය විට ඔහු උපකාර සපයන බවත් දාවිත් දැන සිටියා. ඒ අනුව අපත් බයිබලයෙන් සහ දෙවිගේ බලයේ උපකාරයෙන් ලැබෙන මඟ පෙන්වීම් පිළිගන්නවා නම් අපගේ දුර්වලකම් ජය ගන්න හැකි බව ස්ථිරයි.

ගැටලුවලට මුහුණ දෙන විට ඒවා තමන්ගේම උත්සාහයෙන් විසඳාගත නොහැකි බව සමහරුන්ට හැඟෙන්න ඉඩ තිබෙනවා. එවැනි අයට අවශ්‍ය ප්‍රේමණීය උපකාර සහ දිරිගැන්වීම් ලබා දීමට වැඩිමහල්ලන්ට හැකියි. (යෙසා. 32:1, 2) නමුත් සමහර ගැටලුවලට ස්ථිර විසඳුමක් පාරාදීස පොළොව පැමිණෙන තෙක් බලාපොරොත්තු විය නොහැකියි. ඒ නිසා එවැනි ගැටලු සම්බන්ධයෙන් සාධාරණ බලාපොරොත්තු තබාගැනීම ඥානවන්තයි. බොහෝදෙනෙකු තම දුර්වලකම් සමඟ සාර්ථකව කටයුතු කරන්න ඉගෙනගෙන තිබෙන අතර ඒ තුළින් ජීවිතයේ තෘප්තිය ලබන්න ඔවුන්ට හැකි වී තිබෙනවා.

දෙවි උපකාර කරන බව ස්ථිරයි

මෙම දුෂ්කර කාලවලදී අප කුමනාකාර ගැටලුවලට මුහුණ දුන්නත් දෙවි අපට මඟ පෙන්වා රැකබලා ගන්නා බව ස්ථිරයි. ඒ ගැන බයිබලයේ දෙන සහතිකය මෙයයි. “දෙවි සුදුසු කාලයේදී ඔබව උසස් කරන පිණිස, ඔහුගේ බලවත් හස්තයට යටත් වී නිහතමානී වන්න. ඔහු ඔබ ගැන සලකන නිසා, ඔබේ සියලු කරදර ඔහු පිට තබන්න.”—1 පේතෘ. 5:6, 7.

එය තේරුම්ගැනීමට කැතී නම් සහෝදරියගේ අද්දැකීම සලකා බලන්න. ඇය වසර ගණනාවක් බෙතෙල් සේවයේ යෙදෙමින් සිටියා. පසුව ඇගේ ස්වාමිපුරුෂයාට දරුණු ස්නායු රෝගයක් ඇති බව දැනගත්තා. එම තත්වයට කෙසේ මුහුණ දෙන්නද කියා ඇය දැන සිටියේ නැහැ. ඒ නිසා ශක්තිය සහ ප්‍රඥාව ඉල්ලා ඇය දිනපතාම දෙවිට යාච්ඤා කළා. කාලයත් සමඟ ඔහුගේ තත්වය ටිකෙන් ටික නරක අතට හැරෙන්න පටන්ගත්තා. නමුත් ප්‍රේමණීය සහෝදර සහෝදරියන් ඔහුගේ අසනීපය ගැන හොඳින් වටහාගෙන අවශ්‍ය උපකාර පිරිනැමු අතර සහෝදරි කැතීවද සනසමින් ඇයට මහත් ශක්තියක් වුණා. අප ගැටලුවලට මුහුණ දෙන විට දෙවි උපකාර සපයන එක් ආකාරයක් වන්නේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියනුයි. ඔවුන්ගේ උපකාරයෙන් තම ස්වාමිපුරුෂයා මිය යන තෙක් අවුරුදු 11ක් පුරා රැකබලා ගැනීමට ඇයට හැකි වුණා. ඒ ගැන ඇය පවසන්නේ “මම හිටියේ ගොඩාක් වෙහෙසට පත් වෙලයි. මේ වගේ බරපතළ තත්වයකදී කරන්න ඕනේ මොනවද කියලවත් මම දැනගෙන හිටියේ නැහැ. දෙවිගේ උපකාරය නිසා එයට මුහුණ දෙන්න මට පුළුවන් වුණා. දෙවි මට කළ උපකාරවලට මම ඇඬූ කඳුලින් ස්තුති කළා.”

සැඟවුණු දුර්වලකම් ජය ගන්න උපකාර

තමන් නොවටිනා කෙනෙක් කියා කෙනෙකුට සිතුණොත් තත්වය කුමක්ද? උපකාරය පතා තමන් දෙවිට කරන යාච්ඤාවලට ඔහු සවන් දෙන්නේ නැහැ කියා හැඟෙන්න ඉඩ තිබෙනවා. එවැනි අය දාවිත් පැවසූ දේ ගැන කල්පනා කර බැලීම යෝග්‍යයි. බැත්ෂෙබා සමඟ කළ බරපතළ පාපයෙන් පසු ඒ ගැන පසුතැවිලි වෙමින් ඔහු දෙවිට පැවසුවේ මෙසේයි. “දෙවියනි, තැළුණු බිඳුණු හදවතක් ඔබ හෙළාදකින්නේ නැත.” (ගීතා. 51:17NW) අවංකවම පසුතැවිලි වන අයට දෙවිට යාච්ඤාවෙන් ළං විය හැකි බවත් දෙවිගෙන් සමාව ලැබිය හැකි බවත් ඔහු දැන සිටියා. යේසුස්ද දෙවිගේ දයාව එලෙසම විදහාපෙන්වූ අතර ඒ ගැන මතෙව් වාර්තා කරන්නේ මෙසේයි. “[ඔහු] තැළුණු බට ගසක් පොඩි කරන්නේවත්, නිවීගෙන යන පහන් තිරයක් නිවා දමන්නේවත් නැත.” (මතෙ. 12:20; යෙසා. 42:3NW) නිවෙන්න ඔන්න මෙන්න තිබෙන පහන් තිරයක් නිවා දමනවා හා සමානව මිනිසුන්ගේ ජීවිත යේසුස් පීඩාවට පත් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු ඔවුන්ගේ ජීවිතවලට නැවුම්බවක් ගෙන දෙමින් ඔවුන්ව ප්‍රාණවත් කර දයානුකම්පාවෙන් සැලකුවා. නමුත් දැන් ඔහු එවැනි අයට සලකන්නේ ඊට වඩා වෙනස් විදිහකට කියා ඔබ සිතනවාද? නැහැ. අපගේ දුර්වලකම් ගැන ඔහු තවමත් අපට අනුකම්පා කරනවා. එය තහවුරු කරමින් හෙබ්‍රෙව් 4:15හි පවසන්නේ යේසුස්ට “අපේ දුර්වලකම් ගැන අනුකම්පාවක්” දැනෙන බවයි.

“මාංසයේ කටුව” ගැන සඳහන් කිරීමෙන් පසු පාවුල් පවසන්නේ ක්‍රිස්තුස්ගේ බලය “කූඩාරමක් මෙන්” ඔහුට ඉහළින් තිබූ බව දැනුණා කියායි. (2 කොරි. 12:7-9) යේසුස් මගින් ලැබූ දෙවිගේ ආරක්ෂාව ගැන ඔහුට දැනුණේ හරියට කෙනෙකුට අව්වෙන් වැස්සෙන් ආරක්ෂාවක් ලබා දෙන කූඩාරමක් වගෙයි. එමනිසා පාවුල් මෙන් අපද අපගේ දුර්වලකම්වලදීත් අධෛර්ය නොවී සිටිමු. ඒ සඳහා දෙවි ක්‍රිස්තියානි සභාව මගින් ලබා දෙන සියලුම සැපයුම් ප්‍රයෝජනයට ගනිමු. එවිට ඇදහිල්ලේ ස්ථිරව ගමන් කිරීමට අපට හැකියාව ලැබෙනවා. දුර්වලකම්වලින් ගොඩ ඒමට අපට හැකි සියල්ල කරන අතරේ දෙවි අපට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන බවට සම්පූර්ණ විශ්වාසය තබමු. අපගේ දුර්වලකම්වලදී දෙවිගේ බලය අපට උපකාර කරන ආකාරය අද්දකින විට පාවුල් මෙන් මෙසේ පවසන්න අපටත් හැකියි. “මා දුර්වලව සිටියදී මම බලවත්ව සිටිමි.”—2 කොරි. 12:10.

[3වන පිටුවේ පින්තූරය]

දෙවිට කරන සේවය සාර්ථක කරගැනීමට මඟ පෙන්වන්න කියා පාවුල් දෙවිට නොකඩවා යාච්ඤා කළා

[5වන පිටුවේ පින්තූරය]

දාවිත් රජ යෝවාබ්ව තම හමුදාවේ ප්‍රධානියා හැටියට පත් කළා

[5වන පිටුවේ පින්තූරය]

තමාට තර්ජනයක් වූ අමාසාව යෝවාබ් ඝාතනය කළා

[6වන පිටුවේ පින්තූරය]

වැඩිමහල්ලන් බයිබලය තුළින් ලබා දෙන ප්‍රේමණීය මඟ පෙන්වීම් මගින් අපට ගැටලු සමඟ සාර්ථකව කටයුතු කළ හැකියි