Skip to content

පටුනට යන්න

“මුලින් තිබූ ඔබේ ප්‍රේමය” දිගටම තබාගන්න

“මුලින් තිබූ ඔබේ ප්‍රේමය” දිගටම තබාගන්න

“මුලින් තිබූ ඔබේ ප්‍රේමය” දිගටම තබාගන්න

“ඔබට තිබෙන දේ දිගටම ආරක්ෂා කරගන්න.”—එළි 3:11.

1, 2. යෙහෝවා දෙවි ගැන ඔබ ඉගෙනගත් දේවල් සත්‍යයයි කියා දැනගත් විට ඔබට ඒ ගැන හැඟුණේ කෙසේද?

කීකරු මිනිසුන්ට දෙවි ලබා දෙන ආශීර්වාද ගැන මුලින්ම ඉගෙනගත් අවස්ථාව ඔබට මතකද? ඒ වන විට ඔබට වෙනත් විශ්වාසයන් තිබෙන්න ඇති. නමුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙවිගේ අරමුණු ගැන බයිබලයෙන් පහදා දුන් විට ඔබට ඒ ගැන හැඟුණේ කෙසේද? එමෙන්ම ඔබට කලින් නොවැටහුණු ඉගැන්වීමක් බයිබලයෙන් නිවැරදිව තේරුම් කර දුන් විට ඔබට දැනුණේ කෙසේද? සමහරවිට කලින් ඔබ සිටි ආගමේ ඉගැන්වීම්වලින් ඔබව නොමඟ යවා තිබූ බව ඔබට වැටහෙන්න ඇති. නමුත් දැන් ඔබ ලබන්නේ මහත් ප්‍රීතියක්. ඒ ඔබ දෙවි පිළිබඳව නිවැරදි දැනුම ලබා ඇති නිසයි. ඔබ ක්‍රිස්තියානි දෙමව්පියන් යටතේ හැදී වැඩුණු කෙනෙක්ද? යෙහෝවා දෙවි ගැන ඔබේ දෙමාපියන්ගෙන් ඉගෙනගනිද්දී සත්‍යය ඔබේ හිතට කාවැදී ඔබ බයිබල් ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න තීරණය කළ ආකාරය ඔබට මතකද?—රෝම 12:2.

2 දෙවිට ළංවීම නිසා ලැබූ ප්‍රීතියත් දෙවිට සේවය කිරීමට තමන්ව තෝරාගැනීම ඔවුන් මොන තරම් අගය කරනවාද කියාත් අපගේ සහෝදර සහෝදරියන්ගෙන් බොහෝදෙනෙක් ඔබට පවසයි. (යොහ. 6:44) දෙවිට කරන සේවයේ උද්‍යෝගයෙන් හවුල් වන්න ඔවුන්ව පෙලඹුවේ එම ප්‍රීතියයි. එය මොන තරම්ද කියනවා නම් ඔවුන්ට හමු වන සෑම කෙනෙකුටම දෙවි ගැන කතා කරන්න ඔවුන්ට අවශ්‍ය වුණා. ඔබගේ අද්දැකීමත් එයද?

3. එෆීස සභාව තුළ තිබූ ගැටලුව කුමක්ද?

3 මුල් සියවසේ එෆීස සභාවේ සිටි ක්‍රිස්තියානීන්ද මුලින්ම දෙවි ගැන ඉගෙනගත් විට ඉන් මහත් ප්‍රීතියක් ලැබූ බව නිසැකයි. නමුත් කාලයත් සමඟ යෙහෝවා දෙවි වෙනුවෙන් ඔවුන්ට ‘මුලින් තිබූ ප්‍රේමය’ හීන වී ගොස් තිබුණු බව යේසුස් සඳහන් කළා. ඔහු ඔවුන්ට මෙසේ පැවසුවේ ඒ නිසයි. “ඔබේ ක්‍රියාද, ඔබේ වෙහෙසීමද, විඳදරාගැනීමද මම දනිමි. නපුරු මිනිසුන්ට ඔබ අකමැති බවද මම දනිමි. එමෙන්ම, ප්‍රේරිතයන් නොවන නමුත් තමන් ප්‍රේරිතයන්යයි කියාගන්නා අයව ඔබ සෝදිසි කර බලා, ඔවුන් බොරුකාරයන්යයි දැනගත් බවද මම දනිමි. තවද, විඳදරාගැනීම විදහාපෙන්වමින් ඔබ මාගේ නාමය උදෙසා බොහෝ දේ ඉවසා ඇතත් ඔබ විඩාවට පත් වූයේ නැත. එහෙත්, ඔබට විරුද්ධව මට කාරණාවක් ඇත. මුලින් තිබූ ඔබේ ප්‍රේමය ඔබ අත්හැරියෙහිය.”—එළි. 2:2-4.

4. යේසුස්ගේ උපදෙස අදටත් අදාළ වන්නේ ඇයි?

4 යේසුස්ගේ එම උපදෙස 1914 සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටද යම් කාලයකට අදාළ වුණා. (එළි. 1:10) අද සිටින සමහර ක්‍රිස්තියානීන්ටද ‘මුලින් තිබූ ප්‍රේමය’ අඩු වී යා හැකියි. ඉන් පෙනෙන්නේ යේසුස්ගේ එම උපදෙස අදටත් අදාළ බවයි. එමනිසා දෙවි කෙරෙහි ඔබට තිබූ මුල් ප්‍රේමය ප්‍රාණවත් කරගන්නත් දිගටම පවත්වාගෙන යන්නත් අවශ්‍යයි. ඒ සඳහා බයිබල් සත්‍යය ඉගෙනගන්න පටන්ගත් දා සිට ඔබ ලැබූ අද්දැකීම් මතක් කරගෙන ඒවා ගැන ගැඹුරින් කල්පනා කිරීම උපකාරවත් වන ආකාරය දැන් අපි සලකා බලමු.

ඔබව පෙලඹුවේ කුමක්ද?

5, 6. (අ) සෑම ක්‍රිස්තියානියෙක්ම තමන්ට ඔප්පු කරගත යුත්තේ කුමක්ද? (ආ) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයෙන් උගන්වන්නේ සත්‍යය බව තේරුම්ගැනීමට ඔබට හේතු වුණේ කුමක්ද? (ඇ) කෙනෙකුට මුලින් තිබූ ප්‍රේමය යළි පණගන්වන්න කුමකට හැකිද?

5 දෙවිට කැප වන සෑම කෙනෙක්ම “දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ පරිපූර්ණ කැමැත්ත” කුමක්ද කියා මුලින්ම තමන්ට “ඔප්පු” කරගත යුතුයි. (රෝම 12:1, 2) ඒ සඳහා බයිබලය අධ්‍යයනය කිරීම එක් ක්‍රමයක්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයෙන් උගන්වන්නේ සත්‍යය බව වටහාගැනීමට එකිනෙකාට හේතු වූ දේවල් විවිධයි. සමහරුන්ට දෙවිගේ නම බයිබලයෙන් දැනගන්න ලැබීම හෝ තවත් අයට, කෙනෙක් මිය ගිය විට සිදු වන්නේ කුමක්ද කියා තේරුම්ගැනීමට ලැබීමද හේතු වී තිබෙනවා. (ගීතා. 83:18; දේශ. 9:5, 10) දෙවිගේ සෙනඟ අතර තිබෙන ප්‍රේමය දැකීමත් තවත් අයව පොලඹවා තිබෙනවා. (යොහ. 13:34, 35) මේ ලෝකයේ කොටසක් නොවන්න කියා යේසුස් පැවසූ වචනවලට අනුව ක්‍රිස්තියානීන් දේශපාලනයට හෝ යුද්ධවලට සම්බන්ධ නොවිය යුතු බව ඔවුන් තේරුම්ගැනීමත් බයිබල් සත්‍යය ඉගෙනගැනීමට හේතු වී තිබෙනවා.—යෙසා. 2:4; යොහ. 6:15; 17:14-16.

6 දෙවි කෙරෙහි මුලින් තිබූ ප්‍රේමය යළි ප්‍රාණවත් කරගැනීමට ඉහත සඳහන් කරුණු බොහෝදෙනෙකුට හේතු වී තිබෙනවා. එමනිසා සැබෑ දෙවි ගැන ඉගෙනගැනීමට ඔබට හේතු වූ කාරණය කුමක්ද කියා කල්පනා කරන්න. ඔබගේ පෞද්ගලිකත්වය සහ ඔබ සිටින තත්වය අන් අයට වඩා වෙනස්. ඒ නිසා යෙහෝවා දෙවිට ප්‍රේම කිරීමට සහ ඔහුගේ පොරොන්දු විශ්වාස කිරීමට ඔබට හේතු වූ දේවල්ද අන් අයට වඩා වෙනස්. දෙවිට ප්‍රේම කිරීමට අදටත් ඔබව පොලඹවන්නේ ඒ හේතූන්මයි. ඒ නිසා එම හේතු ගැන නැවතත් ගැඹුරින් කල්පනා කරන්න. දෙවි කෙරෙහි මුලින් ඔබට තිබූ ප්‍රේමය යළි පණගන්වන්න ඒ තුළින් ඔබට හැකියි.—ගීතාවලිය 119:151, 152; 143:5 කියවන්න.

මුලින් තිබූ ප්‍රේමය ශක්තිමත් කරගන්න

7. ඔබට තිබූ මුල් ප්‍රේමය තවත් ශක්තිමත් කරගන්න අවශ්‍ය වූයේ ඇයි? එය කිරීමට කෙනෙකුට උපකාර කරන්නේ කුමක්ද?

7 ඔබ දෙවිට කැප වූ දා සිට මේ වන තෙක් ඔබේ ජීවිතයේ බොහෝ දේවල් වෙනස් වී ඇති. කාලයත් සමඟම ඔබගේ ඇදහිල්ලට පැමිණි අභියෝගවලට මුහුණ දීමට සිදු වූ නිසා ඔබේ මුල් ප්‍රේමය තවත් ශක්තිමත් කරගැනීමට සිදු වූ බවට සැකයක් නැහැ. කෙසේනමුත් ඒ සෑම දෙයකදීම දෙවි ඔබව ශක්තිමත් කළ බව නම් ස්ථිරයි. (1 කොරි. 10:13) එම අවුරුදු ගණනාව පුරා ඔබ ලැබූ අද්දැකීම් ඔබට මොන තරම් වටිනවාද! ඒ අද්දැකීම් ඔබට මුලින් තිබූ ප්‍රේමය තව තවත් වර්ධන කරගනිමින් දෙවිට යහපත් වූ පිළිගත හැකි වූ ආකාරයෙන් ඔහුගේ කැමැත්ත කිරීමට උපකාර කළ බව නිසැකයි.—යෝෂු. 23:14; ගීතා. 34:8.

8. දෙවි මෝසෙස්ට තමාව හඳුන්වා දුන්නේ කෙසේද? එමෙන්ම ඊශ්‍රායෙල්වරුන් දෙවි ගැන වඩා හොඳින් දැනගත්තේ කෙසේද?

8 දෙවි තම සේවකයන්ට උපකාර කරන බව තේරුම්ගැනීම සඳහා ඊශ්‍රායෙල්වරු සම්බන්ධයෙන් දෙවි ක්‍රියා කළ ආකාරය සලකා බලන්න. වහල්භාවයේ සිටි සෙනඟව ගලවාගන්නා බවට පොරොන්දු වෙමින් දෙවි මෝසෙස්ට තමාව හඳුන්වා දුන්නේ මෙසේයි. “තමා කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා මා බව මමම ඔප්පු කර පෙන්වමි.” (නික්. 3:7, 8, 13, 14, නව ලොව පරිවර්තනය, NW) ඊට එකඟව තම සෙනඟව ගලවාගැනීම සඳහා ඕනෑම තත්වයකට තමන්ට පත් විය හැකි බව දෙවි ඔප්පු කර පෙන්නුවා. එහිදී දෙවි ක්‍රියා කළ ආකාරය මගින් ඔහුගේ පෞද්ගලිකත්වයේ විවිධ පැති ඊශ්‍රායෙල්වරුන් පැහැදිලිව දුටුවා. එනම් ඔහු සියලු බලැති දෙවි, විනිශ්චයකරු, මඟ පෙන්වන්නා, ගැලවුම්කරු, යුධ සෙන්පතියෙකු සහ සැපයුම්කරු බව ඔවුන් දුටුවා.—නික්. 12:12; 13:21; 14:24-31; 16:4; නෙහෙ. 9:9-15.

9, 10. දෙවිගේ පෞද්ගලික සැලකිල්ල අද්දැකිය හැකි අවස්ථාවන් මොනවාද? එවැනි අද්දැකීම් මතක් කරගැනීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?

9 ඔබ සිටින තත්වය ඊශ්‍රායෙල්වරුන් අද්දැක්ක තත්වයට වඩා වෙනස්. ඒ වුණත් දෙවි ඔබ ගැන පෞද්ගලිකව සැලකිල්ල දක්වා ඇති ආකාරය ඔබ අද්දැක ඇති. ඒ මගින් ඔබගේ ඇදහිල්ල ශක්තිමත් වන්න ඇති. සමහරවිට දෙවි සැපයුම්කරු ලෙස සනසන්නෙකු ලෙස හෝ ගුරුවරයෙකු ලෙස ඔබට උපකාර කර ඇති. (යෙසායා 30:20ආ, 21 කියවන්න.) නැත්නම් ඔබගේ යාච්ඤාවට පැහැදිලි පිළිතුරු දෙවි ලබා දී ඇති. ඔබ ගැටලුවකට මුහුණ දුන් අවස්ථාවක ඔබට එය විසඳාගන්න ක්‍රිස්තියානි සහෝදරයෙක් උපකාර කරන්නත් ඇති. එසේත් නැත්නම් බයිබලය පෞද්ගලිකව අධ්‍යයනය කරද්දී ඔබගේ ගැටලුවට පිළිතුරු ඇති ශුද්ධ ලියවිලි පදයක් ඔබගේ අවධානයට යොමු වෙන්න ඇති.

10 සමහරවිට මෙම අද්දැකීම් ඔබ අන් අයට පවසද්දී ඔවුන් ඒ ගැන එතරම් පුදුම නොවන්න ඇති. ඊට හේතුව එය ඔවුන්ට එතරම් විශේෂ දෙයක් නොවන නිසා විය හැකියි. නමුත් ඔබට නම් එය ඉතාම සුවිශේෂයි. දෙවි ඒ දේ සපයා දී තිබෙන්නේ ඔබ වෙනුවෙන්ම බව ඉන් පැහැදිලියි. ක්‍රිස්තියානියෙකු හැටියට ඔබ ලැබූ අද්දැකීම් ගැන සිතන්න. දෙවි ඔබ වෙනුවෙන් පෞද්ගලිකවම උපකාර කළ අවස්ථා ඔබගේ මතකයට නැඟෙනවාද? ඒවා මතක් කරගැනීමෙන් දෙවි කෙරෙහි වූ ඔබේ ප්‍රේමය තවත් ශක්තිමත් කරගැනීමට උපකාරවත් වෙනවා නිසැකයි. එම වටිනා අද්දැකීම් ගැන කල්පනා කිරීමෙන් ප්‍රීතියක් ලබන්න. එවිට යෙහෝවා දෙවි ඔබ කෙරෙහි පෞද්ගලිකවම සැලකිල්ල දක්වනවා යන කාරණය බොරු කිරීමට කිසිවෙකුට නොහැකියි.

ඔබවම සෝදිසි කරගන්න

11, 12. ක්‍රිස්තියානියෙකුට දෙවි කෙරෙහි තිබූ පළමු ප්‍රේමය අඩුවීමට කුමක් හේතු විය හැකිද? ඒ සම්බන්ධයෙන් යේසුස් දුන් උපදෙස කුමක්ද?

11 ඔබට දෙවි කෙරෙහි මුලින් තිබූ ප්‍රේමය දැන් අඩු වී තිබෙනවා නම් ඉන් අදහස් කරන්නේ දෙවිගේ පැත්තෙන් යම් අඩුවක් සිදු වී ඇති බව නොවෙයි. (මලා. 3:6; යාකො. 1:17) එදා මෙන් අදත් ඔහු ඔබ ගැන සැලකිලිමත් වෙනවා. එසේනම් දෙවි සමඟ වූ ඔබේ මිත්‍රත්වයට ඔබේ පැත්තෙන් යම් අඩුවක් සිදු වී තිබෙනවාද? ඊට හේතුව ජීවිතයේ කාරණා ගැන ඔබ පමණට වඩා කනස්සලු වීමද? නැත්නම් ඔබ දෙවිට උනන්දුවෙන් කරන යාච්ඤාවේ, උද්‍යෝගයෙන් කරන බයිබලය අධ්‍යයනයේ සහ ඒ ගැන ගැඹුරින් සිතා බැලීමෙහි අඩුවක්ද? එසේත් නැත්නම් උද්‍යෝගයෙන් දේවසේවයේ යෙදීමේ සහ නිතිපතා රැස්වීම්වලට සහභාගි වීමේ අඩුවක්ද?—2 කොරි. 13:5.

12 සමහරවිට ඔබට මෙවැනි දෙයක් සිදු වී ඇති බව ඔබ නොදන්නවා විය හැකියි. නමුත් ඔබට එවැනි අඩුපාඩුවක් ඇති බව වැටහෙනවා නම් ඊට හේතු වී ඇත්තේ කුමක්ද? ඔබගේ පවුලේ අයව රැකබලා ගැනීම, ඔබගේම සෞඛ්‍යය ගැන උනන්දු වීම වැනි වගකීම් නිසා දෙවිගේ මහත් දවස තිබෙන්නේ ඉතාම ආසන්නයේ කියන හදිසිතාවයේ හැඟීම අඩු වී තිබෙනවාද? එසේනම් යේසුස් තම ගෝලයන්ට දුන් මෙම උපදෙසට කීකරු වීම වැදගත්. ‘අධික කෑමෙනුත් බීමෙනුත් ජීවිතයේ කරදරවලිනුත් ඔබේ සිත් කිසි කලෙක බර නොවන පිණිස ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. නැතහොත් ඔබ නොදැනුවත්වම ඒ දවස ඔබ පිටට ක්ෂණිකව, උගුලක් මෙන් පැමිණෙන්නේය. මන්ද එය මුළු පොළෝතලයේ වාසය කරන සියල්ලන් පිට පැමිණෙන්නේය. එසේනම් සිදු වන්න නියමිත මේ සියල්ලෙන් බේරෙන පිණිස දිගටම අයැදිමින් අවදිව සිටින්න.’—ලූක් 21:34-36.

13. යාකොබ් දෙවිගේ වචනය සමාන කළේ කුමකටද?

13 තමන් ගැන අවංක සෝදිසියක් කරගන්න කියා යාකොබ් සෙසු ක්‍රිස්තියානීන්ට මෙසේ උනන්දු කළා. “බොරු තර්ක විතර්කවලින් තමන්වම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී, එය පිළිපදින්නෝද වන්න. මන්ද, යමෙක් වචනය අසන්නෙක් මිස එය පිළිපදින්නෙක් නොවේ නම්, ඔහු කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලන මිනිසෙකුට සමානය. මන්ද ඔහු තමන් දෙස බලා අහක්ව ගිය පසු, තමන් කෙබඳු මිනිසෙකුදැයි එකෙණෙහිම අමතක කරන්නේය. එහෙත්, නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතිය දෙස හොඳින් බලා දිගටම එහි පවතින තැනැත්තා, අසා අමතක කරන්නෙකු නොව, පිළිපදින්නෙකු වන හෙයින්, එය පිළිපැදීමෙන් ඔහුට සන්තෝෂය ලැබෙන්නේය.”—යාකො. 1:22-25.

14, 15. (අ) සත්‍යය තුළ දියුණුවක් ලැබීමට බයිබලය ඔබට උපකාර කරන්නේ කෙසේද? (ආ) ඔබ ගැඹුරින් කල්පනා කර බැලිය යුතු ප්‍රශ්න මොනවාද?

14 තමාට සුදුසු පෙනුමක් තිබෙනවාද කියා කැඩපතකින් කෙනෙකුට දැකබලා ගත හැකියි. උදාහරණයකට කෙනෙකුගේ ටයි පටිය ඇද වී තිබේ නම් එය සකස් කරගන්න ඔහුට හැකියි. එමෙන්ම කාන්තාවකගේ හිසකේ සකස් කරගැනීමටත් එය උපකාරවත් වෙනවා. ඒ හා සමානව අප කුමනාකාර පුද්ගලයන්ද කියා තේරුම්ගැනීමට බයිබලය උපකාර කරනවා. අප කළ යුතු දේවල් මොනවාද කියා බයිබලය පවසන අතර අප ඊට එකඟව කටයුතු කරනවාද කියා සොයා බලන්න ඒ තුළින් අපට හැකියි. එලෙස බයිබලය කැඩපතකින් ඉටු වන කාර්යයට සමාන දෙයක් කරනවා. නමුත් අප කැඩපතකින් අපගේ අඩුපාඩුකමක් දැක දැකත් එය සකස් කරගන්නේ නැත්නම් තත්වය කුමක්ද? අප දෙවිගේ “පරිපූර්ණ නීතිය” වන බයිබලය තුළින් අපගේ අඩුපාඩුකම් දකින විට ඒවා නිවැරදි කරගන්න ක්‍රියා කරනවා නම් දෙවිගේ වචනය ‘පිළිපදින’ ප්‍රඥාවන්ත අය වීමට අපට හැකියි. නමුත් දෙවි කෙරෙහි මුලින් තිබූ ප්‍රේමය අඩු වී ඇති බව අපගෙන් කාට හෝ වැටහේ නම් මෙම ප්‍රශ්න ගැන ගැඹුරින් සිතා බැලීම වැදගත්. ‘මම ජීවිතයේ මුහුණ දෙන ප්‍රශ්න ගැටලු මොනවාද? ඒවා විසඳාගැනීමට මම දැන් කරමින් සිටින්නේ කුමක්ද? මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දුන් විට මම මුලින් ක්‍රියා කළේ කෙසේද? දැන් එහි යම් වෙනසක් සිදු වී තිබෙනවාද?’ අප අපවම මෙසේ සෝදිසි කරගනිද්දී යම් අඩුපාඩුකම් දකිනවා නම් ඒවා නොසලකා හරින්න එපා. ඒවා සකස් කරගැනීමට ප්‍රමාද නොවී අවශ්‍ය පියවර ගන්න.—හෙබ්‍රෙ. 12:12, 13.

15 සත්‍යය තුළ ප්‍රගතියක් ලැබීම සඳහා අපට කළ හැකි දේ තේරුම්ගැනීමට අපව සෝදිසි කරන එවැනි ප්‍රශ්න උපකාරවත් වෙනවා. ඒ හා සමාන ප්‍රගතියක් ලැබීමට පාවුල් තිමෝතිව මෙසේ දිරිගැන්වුවා. “මේ දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන්න. ඒවායෙහි යෙදී සිටින්න. එවිට ඔබේ දියුණුව සියල්ලන්ට පෙනෙන්නේය.” දෙවිගේ වචනයේ මඟ පෙන්වීම්වලට එකඟව අපිට දියුණු විය හැකි පැති ගැන ගැඹුරින් කල්පනා කර බලමු. එවිට අපට සත්‍යය තුළ දියුණුවක් ලැබිය හැකියි.—1 තිමෝ. 4:15.

16. අප ගැන සෝදිසි කරගැනීමේදී අප ඉඩ නොදිය යුත්තේ කුමකටද?

16 අප ගැනම අවංකව සෝදිසි කරගැනීමේදී අපගේ දුර්වලකම් පිළිගන්න සිදු වෙනවා. එය අපව අධෛර්යය කර විය හැකි නිසා ඊට ඉඩ දෙන්න එපා. අපව අවංකව සෝදිසි කිරීමේ අරමුණ විය යුත්තේ අපගේ දුර්වලකම් තේරුම්ගෙන ඒවා නිවැරදි කරගැනීමයි. නමුත් සාතන් උත්සාහ කරන්නේ අප දුර්වල පව්කාර මිනිසුන් නිසා අප කිසි වටිනාකමක් නැති මිනිසුන් යන හැඟීම අප තුළ ඇති කිරීමටයි. එමෙන්ම අප දෙවිට උපරිමයෙන් සේවය කළත් ඔහු ඉන් සතුටු නොවන බව පෙන්වීමටත් සාතන් වෑයම් කරනවා. (යෝබ් 15:15, 16; 22:3) එය අමූලික බොරුවක්! ඒ බව යේසුස් පැහැදිලිව ප්‍රකාශ කළ අතර අප සෑම කෙනෙක්ම දෙවි ඉදිරියේ ඉතාම අනර්ඝ බව ඔහු සහතික කළා. (මතෙව් 10:29-31 කියවන්න.) අපගේ දුර්වලකම් හොඳින් හඳුනාගත්තොත් දෙවිගේ උපකාරය ඇතිව ඒවා නිවැරදි කරගන්න අපට පුළුවන්. (2 කොරි. 12:7-10) ඔබ දෙවිට කරන සේවය අඩු වී ඇත්තේ අසනීපයක් හෝ වයස නිසා නම් ඔබට කළ හැකි ප්‍රමාණය කරන්න. නමුත් දෙවිට වූ ඔබගේ ප්‍රේමය අඩුවීමට නම් කිසිම දෙයකට ඉඩ දෙන්න එපා.

ස්තුතිවන්ත වීමට බොහෝ හේතු

17, 18. මුලින් තිබූ ප්‍රේමය තවත් ශක්තිමත් කරගැනීමෙන් අප ලබන ආශීර්වාද මොනවාද?

17 දෙවි කෙරෙහි ඔබට තිබූ මුල් ප්‍රේමය තවත් ශක්තිමත් කරගැනීමෙන් බොහෝ ආශීර්වාද ඔබට ලැබිය හැකියි. එමෙන්ම දෙවි ගැන දැනුම වැඩි කරගැනීමටත් ඔහුගේ ප්‍රේමණීය මඟ පෙන්වීම් සඳහා අගය ප්‍රකාශ කරන්නත් ඔබට හැකියි. (හිතෝපදේශ 2:1-9; 3:5, 6 කියවන්න.) ගීතිකාකරු පැවසුවේ “ඒවා [යෙහෝවා දෙවිගේ නීති] පිළිපැදීමෙන් බොහෝ ආශීර්වාද ලැබෙයි” කියායි. එමෙන්ම “යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම් විශ්වාසවන්තය. අද්දැකීම් අඩු තැනැත්තාට ප්‍රඥාව ගෙන දෙයි” කියාද ඔහු පැවසුවා. තවදුරටත් ලැබෙන ආශීර්වාද ගැන ඔහු පවසන්නේ මෙසේයි. “නිර්දෝෂ වූද යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදින්නාවූද අය සන්තෝෂවත්ය.”—ගීතා. 19:7, 11; 119:1, NW.

18 දෙවිට ස්තුතිවන්ත වීම සඳහා අපට බොහෝ හේතු තිබෙනවා. උදාහරණයකට අද ලෝකයේ සිදු වන දේවල්වලට හේතුව ගැන දෙවි අපව දැනුවත් කර තිබෙනවා. එමනිසා බයිබලය තුළින් ඔහු ලබා දෙන ආරක්ෂාවෙන් සහ සැලකිල්ලෙන් අප ප්‍රයෝජන ලබනවා. එමෙන්ම යෙහෝවා දෙවි ක්‍රිස්තියානි සභාව තුළට අපව තෝරාගෙන ඔහුගේ සාක්ෂිකරුවන් වීමේ මහත් වරප්‍රසාදය ලබා දී තිබෙනවා. ඔහුට ස්තුතිවන්ත වීමට එයත් හේතුවක් නොවෙයිද? ඒ හා සමාන දෙවි අපට දී ඇති තවත් ආශීර්වාද බොහෝමයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලැයිස්තුවක් ඔබ සතු විය හැකියි. ඔබ ඒවා ගැන විටින් විට කල්පනා කරනවා නම් ඔබට “තිබෙන දේ දිගටම ආරක්ෂා කරගන්න” යන උපදෙසට කීකරු වීමට ඔබට හැකියි.—එළි. 3:11.

19. දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න ඔබට උපකාර කරන තවත් දේවල් මොනවාද?

19 ඔබට තිබෙන දේ දිගටම ආරක්ෂා කරගැනීමට හැකි එක් ක්‍රමයක් වන්නේ පසුගිය කාලයේදී ඔබගේ ඇදහිල්ල ශක්තිමත් වීමට හේතු වූ දේවල් ගැන කල්පනා කිරීමයි. එමෙන්ම ඒ සඳහා අත්‍යවශ්‍ය තවත් තොරතුරු මුරටැඹ කලාපයේ විටින් විට පළ වී තිබෙනවා. ඒවා නම් යාච්ඤාව, රැස්වීම්වලට පැමිණීම හා සහභාගි වීම මෙන්ම උද්‍යෝගයෙන් ගෙයින් ගෙට සේවයේ හවුල් වීමයි. ඒවායේ උද්‍යෝගයෙන් නියැලීම දෙවි කෙරෙහි වූ ඔබගේ මුල් ප්‍රේමය යළි ප්‍රාණවත් කරගැනීමට සහ වර්ධනය කරගැනීමට ඔබට උපකාර කරනවා නියතයි.—එෆී. 5:10; 1 පේතෘ 3:15; යූද් 20, 21.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• දෙවිට ප්‍රේම කිරීමට ඔබව පෙලඹවූ මුල් හේතුව දැන් පවා ඔබට දිරිගැන්වීමක් වන්නේ කෙසේද?

• බයිබල් සත්‍යය ඉගෙනගත් මුල් කාලයේ ලැබූ අද්දැකීම් ගැන කල්පනා කිරීමෙන් ඔබට තහවුරු වන්නේ කුමක්ද?

• දෙවිට වූ ඔබගේ ප්‍රේමය කොතරම්ද කියා පරීක්ෂා කරගත යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

දෙවි පිළිබඳ සත්‍යය ඉගෙනගැනීමට ඔබව පෙලඹවූයේ කුමක්ද?

[25වන පිටුවේ පින්තූරය]

ඔබගේ ජීවිතයේ සකස් කරගත යුතු දේවල් ඔබ හඳුනාගෙන තිබෙනවාද?