Skip to content

පටුනට යන්න

යේසුස් ඉන් අදහස් කළේ කුමක්ද?

යේසුස් ඉන් අදහස් කළේ කුමක්ද?

යේසුස් ඉන් අදහස් කළේ කුමක්ද?

පව් කරන අය සදහටම ගින්නෙන් දැවෙන ස්ථානයක දුක් විඳිනවා යන ඉගැන්වීම ඔප්පු කිරීම සඳහා සමහරුන් මාක් 9:48හි (හෝ 44, 46 පද) සඳහන් යේසුස්ගේ වචන යොදාගන්නවා. පණුවන් නොනසින බවත් ගින්න නොනිවෙන බවත් එහිදී ඔහු පැවසුවා. එම වචන ගැන කවුරුන් හෝ ඔබෙන් ඇසුවොත් ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

සමහර බයිබල් පරිවර්තනවල 48වන පදයේ සඳහන් අදහසම 44 සහ 46 යන පදවලත් සඳහන් වෙනවා. * නව ලොව පරිවර්තනයේ එය සඳහන් වන්නේ මෙලෙසයි. “ඔබේ ඇස නිසා ඔබ බාධාවට පත් වේ නම්, එය අහකට විසි කරන්න. දෑස් ඇතිව ගෙහෙන්නාවට හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතිව දෙවිගේ රාජ්‍යයට ඇතුල් වීම ඔබට යහපත. ගෙහෙන්නාවේදී පණුවා නසින්නේවත් ගින්න නිවා දමන්නේවත් නැත.”—මාක් 9:47, 48.

කෙසේනමුත් සමහරුන් පවසන්නේ පව් කරන අය මිය ගිය විට ඔවුන් සදාකාලයටම යම් ස්ථානයක වේදනා විඳිනවා යන කාරණය යේසුස් පැවසූ බවයි. උදාහරණයකට එක් පොතක සඳහන් වන්නේ “අපගේ ස්වාමීන් එම වචන යොදාගත්තේ මරණයෙන් පසුව මිනිසුන්ට වධ වේදනා දෙන ස්ථානයක් ඇති බව පැවසීමටයි. පණුවා මැරෙන්නේ නැත කීමෙන් බොහෝවිට අදහස් කරන්නේ එම ස්ථානයට යන අය හැමදාටම පසුතැවෙන බවයි. එමෙන්ම නොනිවෙන ගින්නෙන් අදහස් කරන්නේ ඔවුන් ලබන දඬුවම් නිසා ඇති වන ශාරීරික වේදනාව” බවයි.

කෙසේවෙතත් යේසුස්ගේ ප්‍රකාශය නිවැරදිව තේරුම්ගැනීමට යෙසායා අවසන් පදය උපකාරවත් වෙනවා. * පෙනෙන විදිහට යේසුස් ඉහත සඳහන් දේ පවසද්දී ඔහුගේ මනසේ තිබුණේ යෙසායා 66:24වෙනි පදයේ අදහස කියා සිතිය හැකියි. එක් පොතක් වාර්තා කරන්නේ යෙසායා මෙහි සඳහන් කළේ වරක් ‘මිනිස් ජීවිත පූජා කළ, යෙරුසලමෙන් පිටත තිබූ හින්නොම් නමැති නිම්නය (ගෙහෙන්නා) ගැන බව පෙනී යන බවයි. (යෙරෙ. 7:31) නමුත් පසුව එය නගරයේ කුණු කසළ ගොඩ ගසන ස්ථානයක් හැටියට භාවිත කළා’ කියාද එහි පවසනවා. (The Jerome Biblical Commentary නම් පොත) ඒ අනුව බලද්දී යෙසායා 66:24හි සඳහන් ස්ථානය මිනිසුන්ට වධ දෙන තැනක් නොව මළ මිනි දමන ස්ථානයක් බව මනාව පැහැදිලියි. එහි සඳහන් ලෙස නොනැසී පවතින්නේ පණුවන් මිස එතැනට ගෙනත් දමන මළ ශරීර නොවෙයි. එසේනම් යේසුස් පැවසූ දෙයින් අදහස් කළේ කුමක්ද?

මාක් 9:48වෙනි පදය ගැන එක් කතෝලික පොතක සඳහන් වූ අදහස සැලකිල්ලට ගන්න. “මෙම ප්‍රකාශය යේසුස් රැගෙන තිබෙන්නේ යෙසායාගේ පොතෙනුයි (යෙසායා 66,24). සාමාන්‍යයෙන් මළ මිනියක් විනාශ වන ක්‍රම දෙකක් ගැන එහි සඳහන් කරනවා. එනම් පණුවන් විසින් කා දැමීම සහ පිලිස්සීමෙනුයි. පණුවන් සහ ගින්න යන මේ දෙකෙන්ම අදහස් වන්නේ සම්පූර්ණ විනාශයක්. ඒ අනුව මළ මිනිය දැමූ ස්ථානයේ ඉතිරි වන්නේ පණුවන් සහ ගින්න පමණයි. ඊට හේතුව නම් ඕනෑම දෙයක් විනාශ කිරීමට පණුවන්ට සහ ගින්නට හැකිවීමයි. ඒ අනුව බලද්දී පව් කරන මිනිසුන් සදාකාලිකව වධ විඳින ස්ථානයක් ගැන යේසුස් පැවසුවේ නැති බව අපට පැහැදිලියි. බයිබලයේ ගින්නෙන් අදහස් කරන්නේ සම්පූර්ණ විනාශයයි. ඊට එකඟව යේසුස් අදහස් කළේ හිතාමතා පව් කරන කෙනෙකුට නැවත නැගිටීමක් නොලැබෙන මරණයක් උරුම වීමේ අවධානමක් ඇති බවයි.”

යෙහෝවා දෙවි ඉතා ප්‍රේමණීය මෙන්ම යුක්තිසහගත දෙවි කෙනෙකු බව දන්නා ඕනෑම කෙනෙකුට යේසුස් පැවසූ දෙය නිවැරදිව තේරුම්ගත හැකියි. හිතාමතා පව් කරන අය සදාකාලයටම වධ විඳින බවක් යේසුස් කොහෙත්ම අදහස් කළේ නැහැ.

[පාදසටහන්වල]

^ 3 ඡේ. බොහෝ පිටවත්වල 44 සහ 46 යන වගන්ති සඳහන්ව නැහැ. සමහර විශාරදයන් පවසන්නේ ඒවා පසුව ඊට එකතු කර ඇති බවයි. මහාචාර්ය ඒ. ටී. රොබට්සන් ඒ ගැන මෙසේ පවසනවා. “පැරණිතම සහ ඉතා නිවැරදි පිටපත්වල මෙම වගන්ති දෙක දකින්න නැහැ. ඒවා ඊට එකතු කර තිබෙන්නේ බටහිර සහ සිරියානු පිටපත්කරුවන් විසිනුයි. එමෙන්ම ඒ පදවල සඳහන් වන්නේ 48වෙනි පදයේ ඇති අදහස්මයි. එමනිසා මුල් පිටපත්වල නොතිබූ 44 සහ 46 යන පද අප ඉවත් කළා.”

^ 5 ඡේ. “ඔවුහු පිටතට ගොස් මට විරුද්ධව පව් කළ අයගේ මළ මිනි දෙස බලන්නෝය. ඒ මළ මිනි මත සිටින පණුවෝ නොනසියි. ඔවුන් තුළ ඇවිළෙන ගින්න නොනිවෙයි. ඔවුහු සියලු මනුෂ්‍යයන්ට පිළිකුලක් වෙති.”—යෙසා. 66:24, නව ලොව පරිවර්තනය.