Skip to content

පටුනට යන්න

රෝම පොතෙන් විශේෂාංග

රෝම පොතෙන් විශේෂාංග

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

රෝම පොතෙන් විශේෂාංග

පාවුල් ක්‍රිස්තු වර්ෂ 56දී පමණ තමාගේ තුන්වන මිෂනාරි ගමන අතරතුර කොරින්ති නගරයට පැමිණියා. එහිදී ඔහුට රෝමයේ සිටි අන්‍යජාතික ක්‍රිස්තියානීන් හා යුදෙව්වන් අතර යම් කාරණා සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් මත තිබූ බව ආරංචි වුණා. ඒ නිසා එම ගැටලුව නිරාකරණය කර ක්‍රිස්තුස් තුළ ඔවුන්ව එක්සත් කිරීම සඳහා පාවුල් ඔවුන්ට ලිපියක් ලිව්වා.

මිනිසුන් දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨ වීමට කළ යුත්තේ කුමක්ද එවැනි අය ජීවත් විය යුත්තේ කෙසේද කියා ඔහු එම ලිපියේ පැහැදිලි කළා. එමෙන්ම එය දෙවි පිළිබඳ හා ඔහුගේ වචනය පිළිබඳව අපේ දැනුම වැඩි කරගැනීමට ප්‍රයෝජනවත් වෙනවා. එමෙන්ම දෙවිගේ මහත් කරුණාව සහ අපට ගැලවීම ලබා දීම සඳහා යේසුස් කළ සුවිශේෂ කාර්යය ගැනද අපට කාවද්දනවා.—හෙබ්‍රෙ. 4:12.

ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරනු ලැබුවේ කෙසේද?

(රෝම 1:1–11:36)

“සියල්ලෝම පව් කර, දෙවිගේ තේජසින් ඈත්ව සිටිති” කියා පාවුල් පැවසුවා. නමුත් දෙවිගේ ‘මහත් කරුණාව නිසා ක්‍රිස්තුස් යේසුස් ගෙවූ මිදීමේ මිලය [හෙවත් ජීවිත පූජාව] මගින් අපව එයින් නිදහස් කර, නොමිලේ දෙන දීමනාවක් ලෙස අපව ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරනු ලබන’ බවද ඔහු පැවසුවා. එමෙන්ම “මිනිසෙකු නීතියේ ක්‍රියාවලින් නොව ඇදහිල්ල මගින් ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කරනු ලබන්නේය” කියාද ඔහු පැවසුවා. (රෝම 3:23, 24, 28) ඒ වගේම “එක ධර්මිෂ්ඨ ක්‍රියාවක්” මගින් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සහ‘වෙනත් බැටළුවන්ට’ අයත් “මහත් සමූහය” යන දෙපිරිසම “ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරනු” ලැබුවා. ඒ අනුව අභිෂේක ලත් අයට යේසුස් සමඟ ස්වර්ගයේ හවුල් පාලකයන් ලෙස කටයුතු කිරීමට හා මහත් සමූහයට “මහත් පීඩාවෙන්” බේරී ජීවත් වීමේ බලාපොරොත්තුව තිබෙනවා.—රෝම 5:18; එළි. 7:9, 14; යොහ. 10:16; යාකො. 2:21-24; මතෙ. 25:46.

“අපි නීතිය යටතේ නොව, මහත් කරුණාව යටතේ සිටින හෙයින්, පව් කරමුද?” කියා පාවුල් ඇසුවා. ඊට ඔහුම පිළිතුරු දුන්නේ මෙසේයි. “කවදාවත් එසේ නොවේවා!” කෙනෙකු තෝරාගන්නා දේ අනුව “මරණයට පමුණුවන පාපය වේවා, ධර්මිෂ්ඨකමට පමුණුවන කීකරුකම වේවා, ඔබ කීකරු වන දෙයට දාසයන්” වන බව ඔහු පැවසුවා. (රෝම 6:15, 16) එමෙන්ම ඔබ දෙවිගේ බලයේ උපකාරය ඇතිව ඔබේ පව්කාර ක්‍රියාවන් ‘නසනවා නම් ඔබ ජීවත් වන’ බවද ඔහු පැවසුවා.—රෝම 8:13.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1:24-32—මෙහි සඳහන් පිළිකුල්සහගත ක්‍රියාවන්වලට සම්බන්ධ වුණේ යුදෙව්වන්ද අන්‍යජාතිකයන්ද? මේ දෙපිරිසගෙන් කවුරු මීට සම්බන්ධ වුණත් පාවුල් විශේෂයෙන් මෙහි සඳහන් කරන්නේ දෙවිගේ නීතිය අනුව ජීවත් නොවූ පුරාණ ඊශ්‍රායෙල්වරුන් ගැනයි. ඔවුන් දෙවිගේ ධර්මිෂ්ඨ නීති දැනගෙනත් ‘නිවැරදි දැනුමට අනුව දෙවිව ඇදහීම සුදුසුයයි ඔවුන් සිතුවේ නැහැ.’

3:24, 25“ක්‍රිස්තුස් යේසුස් ගෙවූ මිදීමේ මිලය [හෙවත් ජීවිත පූජාව]” සිදු කරන්න කලින් සිටි මිනිසුන් කළ ‘පාපවලට’ එම පූජාව මගින් සමාව ලැබෙන්නේ කෙසේද? උත්පත්ති 3:15හි සඳහන් මුල්ම අනාවැකිය ඉටු වුණේ ක්‍රි.ව. 33දීයි. එනම් ඔහුව වධකණුවක් මත මරණයට පත් කළ අවස්ථාවේදීයි. (ගලා. 3:13, 16) නමුත් යෙහෝවා දෙවි එම අනාවැකිය පැවසූ අවස්ථාවේ සිටම යේසුස්ගේ ජීවිත පූජාව සැලකුවේ ගෙවා අවසන් කළ දෙයක් හැටියටයි. එයට හේතුව දෙවි අරමුණු කළ කිසිම දෙයක් වෙනස් කිරීමට කිසි කෙනෙකුට නොහැකි නිසයි. ඒ නිසා ආදම්ගෙන් පැවතෙන අය දෙවිගේ එම පොරොන්දුව මත ඇදහිල්ල තැබුවා නම් ඔවුන්ගේ පව්වලට සමාව දීමට දෙවිට හැකියි. එමගින් ඔවුන්ට නැවත නැඟිටීමේ අවස්ථාවද ලැබෙනවා.—ක්‍රියා 24:15.

6:3-5ක්‍රිස්තුස් යේසුස් තුළට බව්තීස්මය හා ඔහුගේ මරණය තුළට බව්තීස්මය යනු කුමක්ද? දෙවි යේසුස්ගේ අනුගාමිකයන්ව තම බලයෙන් අභිෂේක කළ අවස්ථාවේ සිට ඔවුන්ට යේසුස් සමඟ එක්සත් වී ඔහු හිසව සිටින ඔහුගේ ශරීරය බඳු සභාවේ සාමාජිකයන් වීමට හැකි වුණා. (1 කොරි. 12:12, 13, 27; කොලො. 1:18) යේසුස් තුළට බව්තීස්මය යන්නෙන් අදහස් කරන්නේ එයයි. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් “[යේසුස්ගේ] මරණය තුළට බව්තීස්ම” වූ බව කීමෙන් අදහස් කරන්නේ පොළොව මත සිටිද්දී ඔවුන් යම් ආකාරයක පරිත්‍යාගශීලී ජීවිතයක් ගත කරන බවයි. එනම් පොළොව මත සදාකාල ජීවත් වීමේ ආශාව අත්හරින බවයි. යේසුස් මෙන් ඔවුන්ගේ මරණය මගින් අන් අයව මුදවාගැනීමට නොහැකි වුණත් එක් ආකාරයකින් එයද පරිත්‍යාගශීලී මරණයක්. යේසුස්ගේ මරණය තුළට ඔවුන් බව්තීස්ම වීම සම්පූර්ණ වන්නේ ඔවුන් මිය ගොස් ස්වර්ගයේ ජීවිතයට නැවත නැඟිටුවීමෙන් පසුවයි.

7:8-11—‘ආඥාව තුළින් පාපයට පෙලඹවීමක්’ ලැබෙනවා කියා කියන්නේ ඇයි? නීතිය මගින් මිනිසුන්ගේ පව්කාර ක්‍රියා මොනවාද කියා හෙළි කළා. එහි ප්‍රතිඵලයක් හැටියට ඔවුන් කොතරම් බරපතළ වැරදි කර ඇද්ද කියා ඔවුන්ටම තේරුම්ගැනීමට හැකි වුණා. එමෙන්ම තමන් කළ සමහර ක්‍රියා වැරදි බව මිනිසුන් වැඩි වැඩියෙන් අවබෝධ කරගන්න පටන්ගත්තා. මේ සියල්ල තේරුම්ගැනීමට ආඥාව හෙවත් නීතිය දායක වුණා.

අපට ගත හැකි පාඩම්:

1:14, 15. අන්‍යයන්ට උනන්දුවෙන් ශුභාරංචිය පැවසීමට අපට බොහෝ හේතු තිබෙනවා. ඉන් එකක් වන්නේ යේසුස් තම රුධිරයෙන් මිලයට ගත් මිනිසුන්ට දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් ඉගැන්වීමට අපට ඇති වගකීමයි. එය අප ගෙවිය යුතු ණයක් හා සමානයි.

1:18-20. දෙවි නිර්මාණය කර ඇති දේවල් තුළින් ඔහු මොන වගේ කෙනෙක්ද කියා පැහැදිලිව දැකගත හැකියි. එමනිසා දෙවිව පිළි නොගන්නා හෝ දුෂ්ට ක්‍රියා කරන මිනිසුන්ට ඔවුන්ගේ ක්‍රියා ගැන ‘නිදහසට කරුණක් ඉදිරිපත් කළ’ නොහැකියි.

2:28; 3:1, 2; 7:6, 7. පාවුල් යුදෙව්වන්ට තදින් අවවාද කළත් පසුව ඔවුන්ව දිරිගන්වන ආකාරයෙන්ද කතා කළා. යම් මතභේදයට තුඩු දිය හැකි ප්‍රශ්නයක් ගැන උපදෙස් දෙන විට ඥානවන්තව හා දක්ෂව එය කරන ආකාරය ගැන පාවුල් අපට හොඳ ආදර්ශයක්.

3:4. මිනිසුන්ගේ අදහස් හා බයිබලයෙන් අප ඉගෙනගෙන තිබෙන දෙවිගේ අදහස් අතර ගැටීමක් ඇති වන අවස්ථා තිබිය හැකියි. එවිට “දෙවි සත්‍යවාදී කෙනෙක් බව ඔප්පු” කිරීමට නම් අප බයිබලය මත විශ්වාසය තබා දෙවිගේ කැමැත්තට එකඟව ක්‍රියා කළ යුතුයි. එමෙන්ම ශුභාරංචිය දේශනා කිරීමෙන් හා මිනිසුන්ව ගෝලයන් කිරීමෙන්ද දෙවි සත්‍යවාදී කෙනෙක් බව පෙන්විය හැකියි.

4:9-12. ආබ්‍රහම් වයස අවුරුදු 99ක්ව සිටියදී එනම් ඔහු චර්මච්ඡේදනය වීමට කලින් සිටම දෙවි ඔහුව ධර්මිෂ්ඨ කෙනෙක් හැටියට සැලකුවා. (උත්. 12:4; 15:6; 16:3; 17:1, 9, 10) එයින් දෙවි පෙන්නුවේ තමන් ඉදිරියේ ධර්මිෂ්ඨ වීමට නම් ඔහු කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියායි.

4:18. ඇදහිල්ල සඳහා බලාපොරොත්තුව අත්‍යවශ්‍යයි. ඊට හේතුව නම් ඇදහිල්ල බලාපොරොත්තුව මත ඇති වන දෙයක් නිසායි.—හෙබ්‍රෙ. 11:1.

5:18, 19. යේසුස් ආදම්ට සමාන වන ආකාරය පාවුල් තර්කානුකූලව පෙන්වා දුන්නා. එමෙන්ම යේසුස්ට “බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය මිදීමේ මිලයක් [හෙවත් ජීවිත පූජාවක්] ලෙස දීමට” හැකි වූයේ කෙසේද කියාත් ඔහු පැහැදිලි කළා. (මතෙ. 20:28) තර්කානුකූලව සහ කෙටියෙන් කරුණු ඉදිරිපත් කර කාරණා ඒත්තුගැන්වීමට අපත් උත්සාහ කරමු.—1 කොරි. 4:17.

7:23. අපගේ ශරීර අවයවයන් වන දෑත්, දෙපා හා දිව අපව “පාපයේ නීතියට වහලෙකු” කළ හැකියි. ඒ නිසා අපි ඒවා වැරදි ලෙස පාවිච්චි නොකරමු.

8:26, 27. ප්‍රශ්න ගැටලුවලින් මිරිකී සිටින අවස්ථාවලදී දෙවිට යාච්ඤාවෙන් කුමක් කියන්නද කියා අප නොදන්නා අවස්ථා තිබෙනවා. එවිට ‘දෙවිගේ බලය, අපට වචනයෙන් කිව නොහැකි කෙඳිරිගෑම්වලින් යුක්තව අප වෙනුවෙන් අයදිනවා.’ ඉන් අදහස් කරන්නේ දෙවි “යාච්ඤා අසන තැනැත්තා” හැටියට ඔහුගේ වචනය වන බයිබලයේ සඳහන් කර ඇති යාච්ඤා අපෙන් පැමිණෙන ඒවා හැටියට සලකන බවයි.—ගීතා. 65:2, නව ලොව පරිවර්තනය, NW.

8:38, 39. යෙහෝවා දෙවි අපට ප්‍රේම කරන එක නවත්වන්න විපත්තිවලටවත් සාතන්ගේ භූත සේනාවටවත් මනුෂ්‍ය ආණ්ඩුවලටවත් නොහැකියි. එමෙන්ම අපි දෙවිට දක්වන ප්‍රේමය නවත්වන්න එවැනි දේවලට කිසිදා ඉඩ නොදෙමු.

9:22-28; 11:1, 5, 17-26. දෙවි ඊශ්‍රායෙල්වරුන්ව නැවත පිහිටුවීම ගැන පවසා තිබූ අනාවැකි ඉටු වුණේ දෙවිගේ ඊශ්‍රායෙල් එනම් අභිෂේක ලත් අය තුළිනුයි. එම සාමාජිකයන් “යුදෙව්වරුන් අතරින් පමණක් නොව අන්‍යජාතීන් අතරින්ද” එක්රැස් කරනු ලැබුවා.

10.10, 13,14. දෙවිට සහ මිනිසුන්ට දක්වන ප්‍රේමය මෙන්ම දෙවි කෙරෙහිත් ඔහුගේ පොරොන්දු කෙරෙහිත් ඇති ශක්තිමත් ඇදහිල්ල උද්‍යෝගීමත්ව දේවසේවයේ සහභාගි වීමට අපව පොලඹනවා.

11:16-24, 33. “දෙවිගේ කරුණාවත් දැඩිකමත්” ඔහු සමබරව විදහාපෙන්වන ආකාරය මොන තරම් කදිමද! ඊට හේතුව නම් ‘දෙවි පර්වතයක්. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක් දකින්න නැහැ. එමෙන්ම දෙවි, තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරන’ නිසයි.—ද්වි. 32:4NW.

ධර්මිෂ්ඨකමින් ජීවත් වීම

(රෝම 12:1–16:27)

‘එබැවින් සහෝදරයෙනි, ඔබේ ශරීර ජීවමාන වූද, ශුද්ධ වූද, දෙවිට පිළිගත හැකි වූ පූජාවක් ලෙසද ඔප්පු කරන මෙන් දෙවිගේ දයානුකම්පාව නිසා මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි’ කියා පාවුල් පැවසුවා. (රෝම 12:1) ක්‍රිස්තියානියෙකුව ධර්මිෂ්ඨයෙකු හැටියට ගණන් ගනු ලබන්නේ ඔහුගේ ඇදහිල්ල නිසයි. පාවුල් “එබැවින්” කියා පවසන්නේ ඒ කාරණය මතක් කර දීමටයි. මේ අනුව පාවුල් ඊළඟට කතා කරන දේවල් අපට අප ගැනත් අන් අය ගැනත් උසස් බලධාරීන් ගැනත් තිබිය යුතු ආකල්පයට බලපෑ යුතුයි.

‘තමන් ගැන පමණට වඩා ඉහළින් නොසිතන්න’ කියා පාවුල් ඉල්ලා සිටියා. “ප්‍රේමය කුහකකමින් තොරව තිබිය යුතු” බවද ඔහු පැවසුවා. (රෝම 12:3, 9) එමෙන්ම ‘සෑම කෙනෙකුම උසස් බලධාරීන්ට යටත් විය යුතුයි.’ (රෝම 13:1) හෘදය සාක්ෂියට අනුව ගන්නා තීරණවලදී අප ‘එකිනෙකාව විනිශ්චය නොකළ’ යුතුයි.—රෝම 14:13.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

12:20අපේ සතුරන්ගේ හිස මත “ගිනි අඟුරු ගොඩගසනවා” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? බයිබල් කාලවලදී පිරිසිදු ලෝහ ලබාගැනීම සඳහා යපස් ගෙන ඊට උඩින් සහ යටින් ගිනි අඟුරු දැමුවා. ගිනි අඟුරුවල දැඩි උෂ්ණත්වය නිසා යපස් දිය වී එහි ඇති රොඩු ඉවත් වෙනවා. ඒ හා සමානව අපගේ සතුරාගේ හිස පිට ගිනි අඟුරු ගොඩගසනවා කීමෙන් අදහස් කරන්නේ ඔහු වෙනුවෙන් කරුණාවන්තව ක්‍රියා කිරීමයි. එමගින් ඔහුගේ හදවත මොළොක් කරගැනීමටත් යහපත් ගුණාංග වර්ධනය කරගැනීමටත් හැකි වෙනවා.

12:21“දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න” අපට හැක්කේ කෙසේද? එය කළ හැකි එක් ක්‍රමයක් වන්නේ දෙවි නවත්වන්න කියා පවසන තෙක් ඔහු ලබා දී ඇති ශුභාරංචිය හැකි උපරිමයෙන් දේශනා කිරීමයි.—මාක් 13:10.

13:1‘දෙවි සාපේක්ෂ බලතලවල බලධාරීන්ව පිහිටුවා තිබෙනවා’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? ඉන් අදහස් කරන්නේ පාලනය කිරීමට දෙවිඔවුන්ට අවසර දී ඇති බවයි. සමහර පාලකයන් බලයට පැමිණෙන්නත් කලින් දෙවි ඔවුන් ගැන දැනුම් දී ඇති ආකාරය බයිබලයේ සඳහන්.

අපට ගත හැකි පාඩම්:

12:17, 19. අප පළිගන්නවා නම් ඉන් පෙන්වන්නේ අප දෙවිට පමණක් අයිති දෙයක් කරන බවයි. අපි “නපුරට නපුර” කරනවා නම් එය කොතරම් උඩඟු ක්‍රියාවක්ද!

14:14, 15. අපගේ සහෝදරයෙකුට හෝ සහෝදරියකට පිළිගන්වන කෑම බීමක් නිසා ඔහු යම් අපහසුතාවකට පත් වෙයි කියා අපට සිතෙනවා නම් එසේ නොකිරීමට අප වගබලා ගත යුතුයි.

14:17. අප කන බොන හෝ කැමති අකමැති දේවල් දෙවි සමඟ ඇති අපේ මිත්‍රත්වයට කෙළින්ම බලපාන්නේ නැහැ. වඩා වැදගත් වන්නේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වීමත්, සමාදානයෙන් සහ ප්‍රීතියෙන් සිටීමයි.

15:7. කුමන පසුබිමකට අයත් පුද්ගලයෙකුට වුවත් අප ශුභාරංචිය දේශනා කළ යුතුයි. එවැනි අය රාජ්‍ය ශාලාවට එන විටද අප ඔවුන්ව පිළිගත යුතුයි.

[31වන පිටුවේ පින්තූර]

යේසුස් තම ජීවිතය පූජා කිරීමටත් පෙර මිය ගිය අයට, ඔහුගේ ජීවිත පූජාවෙන් ඔවුන්ගේ පව්වලට සමාව ලබාගත හැකිද?