Skip to content

පටුනට යන්න

අපගේ උපකාරයට යෙහෝවා දෙවි සිටියා

අපගේ උපකාරයට යෙහෝවා දෙවි සිටියා

අපගේ උපකාරයට යෙහෝවා දෙවි සිටියා

ඒයිප්තියා පෙත්රිඩූ

වර්ෂ 1972දී සයිප්‍රසයේ සිටි සියලුම සාක්ෂිකරුවන් එහි අගනගරය වන නිකොෂියාවලට එක්රැස් වුණා. ඒ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩ කටයුතු අධීක්ෂණය කළ සහෝදර නේදන් එච්. නෝර්ගේ විශේෂ කතාවට ඇහුම්කන් දීමටයි. සහෝදර නෝර් මාව දැක්ක ගමන් හඳුනගෙන මෙහෙම ඇහුවා. “මොනවද ඊජිප්තුවේ අලුත් ආරංචි එහෙම?” මට ඔහුව මීට අවුරුදු 20කට කලින් මුණගැසී තිබුණා. ඒ ඔහු ඊජිප්තුවේ මගේ උපන් ගම වන ඇලෙක්සැන්ඩ්‍රියාවට ආපු වෙලාවේදීයි.

මම ඉපදුණේ 1914 ජනවාරි 23වෙනිදායි. ඒ ඇලෙක්සැන්ඩ්‍රියාවේදීයි. අපේ පවුලේ ළමයි හතරදෙනාගෙන් වැඩිමලා මමයි. අපේ නිවස තිබුණේ මුහුදට කිට්ටුවයි. ඒ කාලයේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ විවිධ ජාතිකයන් ජීවත් වූ අතර එය අලංකාර නගරයක්. එහි තිබූ පැරණි ගෘහ නිර්මාණ සහ නටඹුන් නිසා නගරයේ අලංකාරය තවත් වැඩි කළා. යුරෝපීය ජාතිකයන් සහ අරාබි ජාතිකයන් එකට ජීවත් වූ නිසා අපි අපේ කුඩා කාලයේ ඉඳලම අරාබි, ඉංග්‍රීසි, ප්‍රංශ, ඉතාලි සහ අපේ මව් භාෂාව වන ග්‍රීක් භාෂාවත් කතා කරන්න පුරුදු වුණා.

මම පාසැල් අධ්‍යාපනය නිම කළායින් පසුව ඉහළ පැළැන්තිවල කාන්තාවන්ට ඇඳුම් මහන සාප්පුවක රැකියාවක් කරන්න පටන්ගත්තා. එහිදී මම අලුත් ඇඳුම් මෝස්තර නිර්මාණ කළේ සහ මැහුවේ හරිම ආශාවෙන්. ඒ වගේම මට මගේ ආගම ගැනත් ලොකු භක්තියක් තිබුණා. බයිබලයේ තිබූ බොහෝ දේවල් මට තේරුණේ නැති වුණත් මම එය කියෙව්වේ හරිම ආශාවෙන්.

වර්ෂ 1930 ගණන්වල මැදභාගයේදී විතර මට කඩවසම් තරුණයෙකු වූ තියෝතෝටොස් පෙත්රිඩීස් මුණගැසුණා. ඔහු ඉතා දක්ෂ මල්ලවපොර ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු ටොෆි, චොකලට් සහ පේස්ට්‍රි හදන්නත් ඉගෙනගෙන තිබූ නිසා ඒවා විකුණන කඩේක වැඩ කළා. වැඩිකල් යන්න කලින් එතරම් උස මහත කාන්තාවක් නොවන මට ඔහු ආදරය කරන්න පටන්ගත්තා. ඒ කාලේ එයා මගේ කාමරේ ජනේලේ කිට්ටුවට ඇවිල්ලා මට ඇහෙන්න ආදර ගීත ගායනා කරනවා. අපි 1940 ජුනි 30වෙනිදා විවාහ වුණා. ඒ දවස් හරිම සුන්දරයි. අපි විවාහ වෙලා පදිංචි වුණේ අපේ අම්මා ජීවත් වූ නිවසේ පල්ලෙහා තට්ටුවෙයි. ඊළඟ අවුරුද්දේ අපේ පවුලට අලුත් සාමාජිකයෙක් එකතු වුණා. ඒ අපේ පුතා ජෝන්.

බයිබල් සත්‍යය තේරුම්ගැනීම

මේ කාලය වෙද්දී මම තියෝතෝටොස්ගේ වෙනසක් දැක්කා. එයා අපේ ආගම ගැන වගේම බයිබලය ගැනත් නිතර නිතර ප්‍රශ්න අහන්න පටන්ගත්තා. මට පස්සේ තමයි තේරුණේ එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන් අරගෙන තියෙනවා කියලා. දවසක් මම පුතාත් එක්ක ගෙදර ඉන්න කොට එක කාන්තාවක් අපේ දොරට තට්ටු කරලා බයිබලයේ පණිවිඩයක් අඩංගු කාඩ්පතක් මට දුන්නා. මම ඒක ඒ වෙලාවේම කියෙව්වා. ඊටපස්සේ ඇය මට බයිබල් පොත් වගයකුත් දුන්නා. ඒ වගේ පොත් තියෝතෝටොසුත් ගෙදර ගෙනත් තිබුණ නිසා මම පුදුම වුණා!

මම ඇයට කිව්වා “ඔය පොත් මා ගාවත් තියෙනවනේ” කියලා. පස්සේ මම ඇයට ගේ ඇතුළට ආරාධනා කළා. ඇගේ නම එලෙනි නිකොලාව්. ඊටපස්සේ මම ඇගෙන් දිගට හරහට ප්‍රශ්න ඇහුවා. ඒ හැම ප්‍රශ්නෙකටම ඇය බොහොම ඉවසිලිවන්තව බයිබලයෙන් පිළිතුරු දුන්නා. ඇය පිළිතුරු දුන් විදිහ ගැන මම ගොඩාක් සතුටු වුණා. වැඩි වෙලාවක් යන්න කලින් බයිබල් සත්‍යය මට වැටහෙන්න පටන්ගත්තා. මේ සාකච්ඡාව අතරතුර තියෝතෝටොස්ගේ ඡායාරූපයක් දැකලා ඇය මෙහෙම කිව්වා. “මෙයාව මම දන්නවනේ.” එතකොට මම තේරුම්ගත්තා තියෝතෝටොස් මෙච්චර කල් මොනවද කළේ කියලා. ඒ කියන්නේ එයා තනියම රැස්වීම්වලට ගිහිල්ලා. මට නිකම්වත් කිව්වේ නැහැනේ! එදා එයා ගෙදර ආවහම මම මෙහෙම කිව්වා. “ඔයා ගිය ඉරිදා ගිය දිහාවට මේ ඉරිදා මමත් එනවා ඔයත් එක්ක යන්න.”

මම පළමුවතාවට රැස්වීමට යද්දී දහදෙනෙක් විතර බයිබලයේ මීකා පොත ගැන සාකච්ඡා කරමින් සිටියා. එතැන සාකච්ඡා කළ කරුණු ඔක්කොම මට තේරුණා. එදා ඉඳලා හැම සිකුරාදාවකම ජෝර්ජ් සහ කාතරීනා යන සාක්ෂිකාර යුවළ සමඟ අපි නොකඩවා බයිබලය පාඩම් කළා. නමුත් ඒකට මගේ නංගී ඇරෙන්න පවුලේ අනිත් හැමෝම විරුද්ධ වුණා. කොහොමවුණත් මගේ අම්මා බයිබලය ඉගෙනගන්න කැමති වුණා. අවසානයේදී මමයි අම්මයි තියෝතෝටොසුයි 1942දී ඇලෙක්සැන්ඩ්‍රියා නගරය ආසන්න මුහුදේදී බව්තීස්ම වුණා.

අප මුහුණ දුන් බාධා

දෙවන ලෝක මහා යුද්ධය 1939දී පටන්ගත් අතර වැඩි කල් නොගොස් තත්වය තවත් දරුණු වුණා. ඒත් එක්කම වගේ ඒ කියන්නේ 1940 මුල්භාගයේදී ජර්මානු හමුදාවේ ජෙනරාල් එර්වින් රෝමෙල් ඔහුගේ යුධ ටැංකි සමඟ එල් අලාමින්වලට ළඟා වුණා. ඒ වන විට බ්‍රිතාන්‍ය සොල්දාදුවන් සෑහෙන පිරිසක් ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටියා. ඒ නිසා අපි කල්තියාම අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය රැස් කරගත්තා. ඒත් එක්කම තියෝතෝටොස්ට සූවස් ප්‍රදේශයට නුදුරින් තව්ෆීක් වරාය තුළ තිබූ කර්මාන්ත ශාලාවේ වැඩ බලාගැනීමට මාරුවීමක් ලැබුණා. ඒ නිසා අපිට එහේ යන්න සිදු වුණා. තව්ෆීක්වල හිටපු ග්‍රීක භාෂාව කතා කරන සාක්ෂිකාර යුවළක් අපව හොයන්න ගොඩාක් මහන්සි වෙලා තියෙනවා. අපේ ලිපිනය ඔවුන් දන්නේ නැති නිසා අපිව හමු වෙනකම් ඒ ප්‍රදේශයේ හැම ගෙදරකටම ගිහිල්ලා ඔවුන් දේශනා කර තිබුණා.

අපි එහේ ඉන්න කොට ස්ටාව්රොස් හා යූලා කිප්රේයොස් යන යුවළ සහ ඔවුන්ගේ දරුවන් වන ටෝටොස් සහ ජෝජියාට බයිබල් පාඩමක් පැවැත්වුවා. අපි දෙගොල්ලන් හොඳ මිත්‍රයන් වුණා. ස්ටාව්රොස් බයිබලය පාඩම් කරන්න කොච්චර ආස වුණාද කිව්වොත් අපිව එහේ වැඩි වෙලාවක් තියාගන්න ඕන නිසා ඔහු ගෙදර ඔරලෝසුවල වේලාව පැයක් ආපස්සට කරකවා තිබුණා. ඒ අපිට ගෙදර යන්න තියෙන අන්තිම කෝච්චිය අල්ලගන්න බැරි වෙන්නයි. ඔහු එහෙම කළේ අපිව එහේ නවත්වගන්නයි. සමහර දවස්වලට අපි ගොඩාක් රෑ වෙනකම් සාකච්ඡා කළා.

අපි තව්ෆීක් වරායේ අවුරුදු එකහමාරක් හිටියට පස්සේ ආයෙත් ඇලෙක්සැන්ඩ්‍රියාවට ආවේ මගේ අම්මා ගොඩාක් අසනීප වෙච්ච නිසයි. ඇය 1947දී මිය යන තෙක්ම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටියා. ඇගේ අහිමි වීම දරාගැනීමට යෙහෝවා දෙවි සභාවේ ක්‍රිස්තියානි මිතුරන් මගින් අපට ලොකු ශක්තියක් ලබා දුන්නා. අපගේ සමහර මිෂනාරිවරුන් අලුත් පැවරුම් සඳහා යන විට ඔවුන් ගමන් කළ නැව් ඇලෙක්සැන්ඩ්‍රියාවේ ටික කලකට නතර කළා. ඒ අයට ආගන්තුක සත්කාර කරන්නත් එයින් අපට අවස්ථාව ලැබුණා.

දුක හා සතුට

මගේ දෙවෙනි පුතා ජේම්ස් ඉපදුණේ 1952දීයි. අපේ දරුවන් තුළ ශක්තිමත් ඇදහිල්ලක් වර්ධනය කිරීම සඳහා සුදුසු පරිසරයක් අපගේ නිවස තුළ ඇති කිරීමේ වැදගත්කම අපි තේරුම්ගත්තා. ඒ නිසා අපි අපේ නිවසේ රැස්වීම් සහ බයිබල් පාඩම් පැවැත්වීමට ඉඩ දුන්නා. ඒ වගේම පූර්ණකාලීන දේවසේවකයන්ට නිවසට ආරාධනා කර ආගන්තුක සත්කාර කළා. ඒ සියල්ලේ ප්‍රතිඵලයක් හැටියට අපේ ලොකු පුතා ජෝන් ඔහුගේ නහඹර වියේදීම පුරෝගාමි සේවය පටන්ගත්තා. ඒ අතරම ඔහු මූලික අධ්‍යාපනය අවසන් කළේ රාත්‍රියේ පවත්වපු අධ්‍යාපන පාඨමාලාවකට සහභාගි වෙලයි.

ඒ කාලයේදීම වගේ තියෝතෝටොස්ට දරුණු හෘදයාබාධයක් ඇති බව සොයාගත් අතර ඔහු කරමින් සිටි වැඩ නතර කරන්න කියා වෛද්‍යවරු පැවසුවා. ඒ වෙන කොට ජේම්ස්ට වයස අවුරුදු හතරයි. දැන් අපි මොකද කරන්නේ? මේ වගේ අවස්ථාවක අපිට මතක් වුණේ ‘මා ඔබ සමඟයි. ඒ නිසා ඔබට බියවීමට කිසි හේතුවක් නැත’ යන යෙහෝවා දෙවිගේ පොරොන්දුවයි. (යෙසා. 41:10, නව ලොව පරිවර්තනය, NW) එය සැබෑ කරමින් අපට ලැබුණු ආරංචිය ගැන අපි පුදුම වුණා. අපේ සන්තෝෂයත් ඉහ වහ ගියා. ඒ අපිට 1956දී සූවස් ඇළට කිට්ටුව පිහිටි ඉස්මායිලියා කියන ප්‍රදේශයේ පුරෝගාමීන් හැටියට සේවය කරන්න ලැබුණු පැවරුම නිසයි. නමුත් ඒ කාලය ඊජිප්තුවේ සිටි අයට ඉතාමත් දුෂ්කර කාලයක් වුණා. ඒ නිසා විශේෂයෙන්ම අපගේ සහෝදර සහෝදරියන්ට දිරිගැන්වීම් අවශ්‍ය වුණා.

වර්ෂ 1960 වන විට අපිට ඊජිප්තුවෙන් පිටවීමට සිදු වූ අතර එහිදී එක් අයෙකුට අරගෙන යන්න හැකි වුණේ එක සූට් කේස් එකක් විතරයි. අපි ගියේ තියෝතෝටොස්ගේ උපන් රට වන සයිප්‍රසයටයි. මේ වෙද්දී තියෝතෝටොස්ගේ අසනීපය ගොඩාක් දරුණු අතට හැරුණු නිසා වැඩක් පලක් කරගන්න බැරි වුණා. ඒ අවස්ථාවේදීත් ඉතා කාරුණික ක්‍රිස්තියානි යුවළක් අපිට ඔවුන්ගේ නිවසේ නවාතැන් දුන්නා. කෙසේනමුත් ඊට අවුරුදු දෙකකට පසුව මගේ ආදරණීය ස්වාමිපුරුෂයා මිය ගියා. එතකොට මමයි මගේ බාල පුතයි තනි වුණා වගේ දැනුණා. ඒ වෙන කොට ජෝන් විවාහ වී සිටි නිසා ඔහුට ඔහුගේ පවුලේ අයව රැකබලා ගන්න සිදු වුණා.

දුෂ්කර කාලවලදී පවා දෙවිගේ උපකාරය

පසුව ස්ටාව්රොස් සහ ඩෝරා කයිරීස් ඔවුන්ගේ නිවසේ අපට නවාතැන් දුන්නා. අපගේ අවශ්‍යතාවයන් නැවතත් ලබා දීම ගැන මම යෙහෝවා දෙවිට දණ ගහලා ස්තුති කළා. (ගීතා. 145:16) පසු කලක ස්ටාව්රොස් සහ ඩෝරා ඔවුන්ගේ නිවස විකුණා අලුත් ගෙයක් හැදුවා. ඔවුන් ඒකේ යට තට්ටුවේ රාජ්‍ය ශාලාවක් ඉදි කළ අතර ජේම්ස් සහ මම වෙනුවෙන් වෙනම කාමර දෙකක් ඉදි කරන්නත් මේ කරුණාවන්ත යුවළ අමතක කළේ නැහැ.

ජේම්ස්ද ලොකු මහත් වී පසුව විවාහ වූ අතර ඔවුන් දෙදෙනාද ඔවුන්ගේ පළමු දරුවා ලැබෙන තෙක් පුරෝගාමීන් හැටියට සේවය කළා. පසුව ඔවුන්ට තවත් පුතුන් දෙදෙනෙක් සහ දියණියක් ලැබුණා. කලින් සඳහන් කළ ලෙස සහෝදර නෝර් පැමිණ වසර දෙකක් පමණ ගත වූ පසු 1974දී සයිප්‍රසයේ නොසන්සුන්කාරී වාතාවරණයක් පැවතුණා. * ඒ නිසා සාක්ෂිකරුවන් ඇතුළු බොහෝ මිනිසුන්ට ඔවුන්ගේ ගෙවල් දොරවල් අතහැර ගොස් වෙනත් ප්‍රදේශයක පදිංචි වීමට සිදු වුණා. මගේ පුතා ජෝන්ටත් ඒකට මුහුණ දෙන්න සිදු වුණා. පසුව ඔවුන්ගේ මුළු පවුලම කැනඩාවේ පදිංචියට ගියා. මෙසේ බොහෝදෙනා සයිප්‍රසයෙන් පිට වුණත් මෙහි සිටි ප්‍රචාරකයන්ගේ ගණන වැඩි වෙනවා දැකීම අපගේ මහත් ප්‍රීතියට හේතුවක් වුණා.

පසු කාලයේදී මට රජයෙන් මාසිකව යම් දීමනාවක් ලැබුණු නිසා දෙවිට වැඩිපුර සේවයක් කරන්න පුළුවන් වුණා. ඒ වුණත් මීට අවුරුදු කිහිපයකට කලින් මට හැදිච්ච සුළු හෘදයාබාධයක් නිසා මම ජේම්ස්ගේ ගෙදර ගියා. මගේ අසනීප තත්වය බරපතළ වූ නිසා සති කිහිපයකට මාව රෝහල්ගත කළා. පස්සේ මාව සාත්තු නිවාසයකට යැව්වා. අසනීපය නිසා මට කොච්චර වේදනාවක් දැනුණත් මම එතන හිටපු කාර්ය මණ්ඩලයට, රෝගීන්ට සහ අමුත්තන්ට සාක්ෂි දැරුවා. ඒ වගේම මම බයිබලය අධ්‍යයනය කරන්නත් ගොඩාක් වෙලාවක් යෙදෙව්වා. මගේ ප්‍රේමණීය සහෝදරයන්ගේ උදව් නිසා ළඟපාත තිබිච්ච පොත් පාඩමකට යන්නත් මට පුළුවන් වුණා.

සැඳෑ සමය සන්තෝෂයෙන්

මගේ ජීවිතයේ අගභාගයේ මට ලොකු සතුටක් ගෙන දෙන්නේ සත්‍යය ඉගෙනගන්න තියෝතෝටොසුයි මමයි උපකාර කළ අය ගැන අහන්න ලැබෙන ආරංචි නිසයි. ඒ අයගේ දරුවන් සහ මුණුපුරු මිනිපිරියන් බොහෝදෙනෙක් දැන් ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ, එංගලන්තයේ, ග්‍රීසියේ සහ ස්විට්සර්ලන්තයේ පූර්ණකාලීන සේවය කරනවා. ඒ වගේම මගේ පුතා ජෝන් ඔහුගේ භාර්යාව සහ පුතා සමඟ කැනඩාවේ ජීවත් වෙනවා. ඔවුන්ගේ ලොකු දුව සහ ඇගේ ස්වාමිපුරුෂයා පුරෝගාමි සේවය කරනවා. ඒ වගේම ඔවුන්ගේ බාල දුව ලින්ඩා සහ ඇගේ ස්වාමිපුරුෂයා වන ජොෂුවා ස්නේප්ට 124වන ගිලියද් පාසැල සඳහා ඇරයුම් ලැබුණා.

මගේ බාල පුතා ජේම්ස් සහ ඔහුගේ බිරිඳ දැන් ජීවත් වන්නේ ජර්මනියේයි. ඔවුන්ගේ පුතුන්ගෙන් දෙදෙනෙක් ග්‍රීසියේ සහ ජර්මනියේ බෙතෙල් ගෘහයේ සේවය කරනවා. එමෙන්ම ඔවුන්ගේ බාල පුතා, දුව සහ ඇගේ ස්වාමිපුරුෂයා ජර්මනියේ පුරෝගාමීන් හැටියට සේවය කරනවා.

මගේ අම්මවයි මගේ ආදරණීය තියෝතෝටොස්වයි පාරාදීසයේදී ආයෙත් හමු වෙද්දී ඔවුන්ට කියන්න මට කොයි තරම් සතුටුදායක ආරංචි තියෙනවාද! ඔවුන් මිය යන්න පෙර ඔවුන්ගේ දරුවන්ට ඔවුන් මොන තරම් වටිනා උරුමයක් ඉතිරි කරලා ගියාද කියා දැනගත්තාම ඔවුන් මොන තරම් පුදුම වෙයිද! *

[පාදසටහන්වල]

^ 21 ඡේ. වර්ෂ 1974 ඔක්තෝබර් 22 පිබිදෙව්! කලාපයේ 12-15 දක්වා පිටු බලන්න.—සිංහලෙන් නැත.

^ 26 ඡේ. මෙම ලිපිය ප්‍රකාශයට පත් කිරීම සඳහා සූදානම් කරන අතරතුර වයස අවුරුදු 93ක්ව සිටි සහෝදරි පෙත්රිඩූ මිය ගියා.

[24වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ක්‍රිස්තියානි මිතුරන් මගින් දෙවි අපට නැවතත් ලොකු ශක්තියක් ලබා දුන්නා

[24වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

සයිප්‍රසය

නිකොෂියාව

මධ්‍යධරණී මුහුද

ඊජිප්තුව

කයිරෝ

එල් අලාමින්

ඇලෙක්සැන්ඩ්‍රියාව

ඉස්මායිලියා

සූවස්

තව්ෆීක්

සූවස් ඇළ

[හිමිකම් විස්තර]

Based on NASA/​Visible Earth imagery

[23වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1938දී තියෝතෝටොස් සමඟ

[25වන පිටුවේ පින්තූරය]

මගේ පුතා ජේම්ස් ඔහුගේ භාර්යාව සමඟ

[25වන පිටුවේ පින්තූරය]

මගේ පුතා ජෝන් ඔහුගේ භාර්යාව සමඟ