Skip to content

පටුනට යන්න

ඔබට හැකි දේ කර ප්‍රීතිය ලබන්න

ඔබට හැකි දේ කර ප්‍රීතිය ලබන්න

ඔබට හැකි දේ කර ප්‍රීතිය ලබන්න

ඔබ කරන්න සිතාගෙන සිටි දෙයක් කරන්න බැරි වූ විට ඔබ ඒ ගැන කොතරම් කනගාටු වන්න ඇද්ද! තරුණ ක්‍රිස්තියානි මවකට ඇගේ අලුත උපන් බිළිඳාට වැඩි අවධානයක් දීමට සිදු වන නිසා ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් සඳහා යෙදවීමට වැඩි වේලාවක් නැති බව හැඟෙයි. ඒ නිසා ඇය අධෛර්යයට පත් විය හැකියි. තමන්ගේ අධ්‍යාපන මට්ටම නිසා හෝ තවත් එවැනි හේතූන් නිසා සභාවේ කටයුතුවලට තමන් ප්‍රමාණවත් ලෙස දායක වෙන්නේ නැති බව තවත් කෙනෙකුට හැඟෙන්න පුළුවන්. තමන්ට ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල වැඩි වැඩියෙන් හවුල් වීමට තරම් ශක්තියක් නැහැයි කියා මහලු වියේ පසුවන ක්‍රිස්තියානියෙක් කනගාටු විය හැකියි. එවැනි තත්වයකට මුහුණ දුන් ක්‍රිස්ටීන් නමැති සහෝදරිය ගැන සලකා බලන්න. ඇගේ පවුලේ තත්වය නිසා ඇය කැමති පරිදි දෙවිට සේවය කරන්න ඇයට බැරි වුණා. ඒ ගැන ඇයට හරිම කනගාටුයි. “පුරෝගාමි සේවය සඳහා දිරිගන්වන කතාවකට ඇහුම්කන් දුන්නත් මගේ ඇස්වලට කඳුළු එනවා” කියා ඇය පැවසුවා.

අපට එවැනි හැඟිම් ඇති වන විට කුමක් කළ හැකිද? එවන් අවස්ථාවලදී සමහර ක්‍රිස්තියානීන් ගෙන තිබෙන පියවර කුමක්ද? එමෙන්ම අපට කළ හැකි දේවල් සම්බන්ධයෙන් සාධාරණ අපේක්ෂාවන් තබාගැනීමේ ඇති ප්‍රයෝජන මොනවාද?

ඔබ ගැනම සාධාරණව සිතන්න

අපගේ ප්‍රීතිය පවත්වාගන්න අවශ්‍ය ප්‍රධාන දෙයක් ගැන පාවුල් සඳහන් කළා. “ස්වාමීන් තුළ නිතරම ප්‍රීති වන්න. ප්‍රීති වන්න! කියා නැවතත් කියමි. ඔබේ සාධාරණකම සියලුදෙනාටම දැනගන්න ලැබේවා!” (ෆිලි. 4:4, 5) දෙවිට අප කරන සේවයෙන් ප්‍රීතිය ලබන්න නම් මුලින්ම අප අපගේ හැකියාවන් හා තත්වයන් ගැන සලකා බැලිය යුතුයි. පසුව එම සීමාවන් තුළ යම් ඉලක්ක තබාගැනීම සුදුසුයි. නමුත් ඒ වෙනුවට අපට කළ නොහැකි දේවල් සම්බන්ධයෙන් ඉලක්ක තබාගැනීමෙන් සිදු වන්නේ අනවශ්‍ය පීඩනයකට හසුවීමයි. කෙසේනමුත් අපට හැකියාව තිබියදීත් යම් තත්වයන් නිදහසට හේතුවක් කරගනිමින් දෙවිට කරන සේවය අඩු නොකිරීමටද වගබලා ගත යුතුයි.

යෙහෝවා දෙවි අපගෙන් බලාපොරොත්තු වන්නේ අපගේ තත්වයන්ට අනුව හැකි උපරිමයෙන් ඔහුට සේවය කිරීමයි. (කොලො. 3:23, 24) නමුත් හැකියාව තිබියදීත් එසේ නොකරනවා නම් අප දෙවිට වූ කැපවීමට අනුව කටයුතු කරනවා කියා පැවසිය නොහැකියි. (රෝම 12:1) එහි ප්‍රතිඵලයක් හැටියට දෙවිට කරන සේවයෙන් ලැබෙන තෘප්තිය, ප්‍රීතිය මෙන්ම ආශීර්වාදද අපගෙන් ගිලිහී යා හැකියි.—හිතෝ. 10:22.

‘සාධාරණව’ සිතන පුද්ගලයෙක් යන්නෙන් අදහස් කරන්නේ තමා ගැන මෙන්ම අන් අය ගැනද සැලකිලිමත් කෙනෙකුටයි. එමෙන්ම ඔහු නිතරම තත්වයන්ට අනුව සකස් වීමටද කැමැත්තෙන් සිටිනවා. (යාකො. 3:17) තමන්ට කරන්න අපහසු දේවල් තමන්ගෙන් බලාපොරොත්තු නොවීමත් ඊට ඇතුළත්. අපි සාධාරණව සිතන පුද්ගලයන් නම් අප සිටින තත්වයට අනුව, කළ හැකි සහ කළ නොහැකි දේවල් පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කරනවා. සමහර අය තමන් ගැන සාධාරණව නොසිතුවත් අන් අය ගැන සාධාරණව සිතනවා. උදාහරණයකට ඔබේ මිතුරෙක් පමණට වඩා වෙහෙස වෙමින් වැඩ කරනවා නම් ‘ඔබ ගැන සැලකිලිමත් වෙන්න’ කියා ඔබ ඔහුට පවසන්නේ නැද්ද? ඒ වගේම ඔහුගේ වැඩ කටයුතුවල යම් වෙනසක් කරගෙන ටිකක් විවේක ගන්න කියා කියන්නේ නැද්ද? ඒ හා සමානව ඔබත් ඔබ ගැන සැලකිලිමත් විය යුතු නැද්ද? ඔව්. අපිත් අපේ සීමාවන් තේරුම්ගෙන ඒ අනුව කටයුතු කිරීමට උත්සාහ කරමු.—හිතෝ. 11:17.

සමහර දෙමව්පියන් තම දරුවන්ට කිරීමට හැකි පමණට වඩා දේවල් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා බොහෝ දරුවන් සිතන්නේ දෙමව්පියන්ගේ ප්‍රේමය ලබන්න නම් ඔවුන් වැඩියෙන් දේවල් කළ යුතු බවයි. එවැනි පසුබිමක් යටතේ හැදී වැඩුණු කෙනෙකු, වැඩිහිටියෙකු වූ පසුත් තමා ගැන සාධාරණව සිතීම අභියෝගයක් විය හැකියි. අප සම්බන්ධයෙන්ද එය සත්‍යයක් නම් දෙවිද අපගෙන් පමණට වඩා බලාපොරොත්තු වෙනවා යන වැරදි ආකල්පය අපට ඇති විය හැකියි. නමුත් දෙවි අපගෙන් බලාපොරොත්තු වන්නේ මුළු හදවතින්ම පෙලඹී අපගේ තත්වයට අනුව ඔහුට සේවය කිරීමයි. ඒ ගැන බයිබලයේ පවසා ඇත්තේ දෙවි “අපේ ස්වභාවය හොඳින් දන්නේය. අප නිකම්ම දූවිලි බව ඔහු සිහි කරන්නේය” කියායි. (ගීතා. 103:14, නව ලොව පරිවර්තනය) ඒ බව දැන සිටීම අප ගැන සාධාරණව සිතමින් අපගේ සීමාවන්ට අනුව කටයුතු කරන්න අපට මහත් උපකාරයක්.—මීකා 6:8.

ඒ වුණත් තමන් ගැන සාධාරණව සිතීම සමහරුන්ට තවමත් අභියෝගයක්. ඔබටත් එය අභියෝගයක් නම් අද්දැකීම් ලත් ක්‍රිස්තියානියෙකුගෙන් උපකාර පතන්න. (හිතෝ. 27:9) උදාහරණයකට ස්ථාවර පුරෝගාමි සේවයේ යෙදෙන්න ඔබට ආශාවක් තිබෙනවා කියා සිතන්න. එය මොන තරම් හොඳ ඉලක්කයක්ද! නමුත් එය අත් කරගැනීමට අමාරුයි කියා ඔබට සිතෙනවාද? සමහරවිට ඒ සඳහා ඔබගේ ජීවිතය සරල කරගැනීමට උපකාර අවශ්‍ය විය හැකියි. එසේත් නැත්නම් නම් ඔබට තිබෙන පවුල් වගකීම් සමඟ පුරෝගාමි සේවය කළ හැකිද කියා තේරුම්ගැනීමට අද්දැකීම් ලත් ක්‍රිස්තියානි මිතුරෙකුගෙන් ඔබට උපකාර ලැබිය හැකියි. එවැනි කෙනෙකුගෙන් උපකාර ලැබීම ඉතා ප්‍රයෝජනවත්. ඔබ සිටින තත්වයට අනුව ඔබට කළ හැකි සහ නොහැකි දේ තේරුම්ගැනීමට ඔබට උපකාර කරන්න එවැනි කෙනෙකුට හැකියි. තවත් උදාහරණයක් බලන්න. එක් භාර්යාවක් ඊළඟ මාසයේ ඇගේ දේවසේවය සඳහා යොදන කාලය වැඩි කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි. ඒ සඳහා ඇයට උපකාර කිරීමට සුදුසුම තැනැත්තා ඇගේ ස්වාමිපුරුෂයායි. ඊළඟ මාසයේ ඇගේ සේවය සාර්ථක කරගැනීම සඳහා ඊට කලින් මාසයේ වැඩිපුර වෙහෙස නොවී සිටීමට යම් යෝජනා ඉදිරිපත් කළ හැකියි.

ඔබට කළ හැකි දේවල් ගැන සිතන්න

මහලුවිය සහ දුර්වල සෞඛ්‍යය නිසා ඔබ දෙවිට කරන සේවය සීමා විය හැකියි. එසේම ඔබ ක්‍රිස්තියානි මවක් හෝ පියෙක් නම් ඔබගේ කුඩා දරුවන්ට වැඩි අවධානයක් දීමට සිදු වන නිසා පෞද්ගලික අධ්‍යයනයෙන් හෝ රැස්වීම්වලින් එතරම් ප්‍රයෝජන ගත නොහැකියි කියා ඔබට සිතෙන්න පුළුවන්. නමුත් ඔබට කළ නොහැකි දේවල් ගැනම සිතමින් සිටිනවා නම් ඔබේ සීමාවන් තුළ කළ හැකි දේවල් තේරුම්ගැනීමට ඔබ අපොහොසත් විය හැකියි.

පුරාණයේ සිටි එක්තරා ලෙවීවරයෙක්ගේ අද්දැකීම සලකා බලන්න. ඔහුට අවුරුද්දකට සති දෙකක් දේවමාලිගාවේ සේවය කිරීමේ වරප්‍රසාදය ලැබී තිබුණා. එහෙත් ඔහුගේ ආශාව වුණේ එහි පූජාසනය අසල සැමදා සේවය කරන්නයි. නමුත් එය ඉටු නොවන දෙයක් බව ඔහුද දැන සිටියා. (ගීතා. 84:1-3) ඒ ගැන කනගාටු වෙනවා වෙනුවට ඔහු ඒ වන විටත් එහි කරමින් සිටි සේවයෙන් ප්‍රීතියක් ලබන්න උත්සාහ කළා. ඒ කොහොමද? දේවමාලිගාවේ අඩුම තරමින් එක දවසක්වත් සේවය කරන්න ලැබී තිබීම මහත් වරප්‍රසාදයක් බව තේරුම්ගෙන එය අගය කිරීමෙනුයි. (ගීතා. 84:4, 5, 10) ඒ හා සමානව අපිත් අපගේ තත්වයන්ට අනුව කළ හැකි දේවල් තේරුම්ගෙන ඒවායෙහි නිරත වීමෙන් ප්‍රීතිය ලබමු.

සහෝදරි නෙර්ලාන්ඩ්ගේ ආදර්ශය සලකා බලන්න. ඇය රෝද පුටුවකට සීමා වී සිටින නිසා දේවසේවයේ හවුල් වන්නේ ඉතාමත් අඩුවෙන් කියා ඇයට දැනුණා. කෙසේනමුත් ඇය සිටින තත්වයට අනුව තමන්ට කළ හැකි දේ ගැන නැවතත් ඇය සිතා බැලුවා. ඒ අනුව ළඟපාත තිබෙන සාප්පු සංකීර්ණයක් අසල දේවසේවයේ යෙදීමට ඇය තීරණය කළා. පසුව ඇය ඒ ගැන පවසන්නේ මෙසේයි. “බඩු ගන්න එන අය ඒ අසල තියෙන බංකුවල ටිකක් විවේක ගන්නවා. එතකොට මම ඒගොල්ලන් ළඟට ගිහිල්ලා සාක්ෂි දරනවා. ඒකෙන් මම ලබන්නේ ලොකු ප්‍රීතියක්.”

අවශ්‍ය වෙනස්කම් කරන්න

සුළඟත් සමඟ ඉතා වේගයෙන් ඉදිරියට ඇදෙන රුවල් නැවක් ඔබේ සිතේ මවාගන්න. නොසිතූ පරිදි මෙම රුවල් නැව දරුණු කුණාටුවකට හසු වෙනවා. එවිට එහි ඇති රුවල්, කුණාටුවට අනුව වෙනස් කරන්න එය හසුරුවන්නාට සිදු වෙනවා. ඔහුට කුණාටුව පාලනය කරන්න බැරි බව ඇත්තයි. නමුත් රුවල්වල යම් වෙනස්කම් කිරීමෙන් සාර්ථකව ඊට මුහුණ දෙන්නත් නැව නිසියාකාරව පාලනය කරගැනීමටත් ඔහුට හැකියි. ඒ හා සමානව ජීවිතයේ මුහුණ දෙන කුණාටු වැනි තත්වයන් පාලනය කරන්න අපට බැරි බව ඇත්තයි. නමුත් අපගේ ආකල්ප සහ සිතිවිලි වෙනස් කරගැනීමෙන් ඒවාට සාර්ථකව මුහුණ දෙන්න අපට හැකියි. අප සිටින තත්වයට අනුව අපට කළ හැකි දේවල් ගැන සලකා බැලීමෙන් දෙවිට කරන සේවයෙන් තෘප්තිය සහ සතුට ලබා එය දිගටම පවත්වාගැනීමට හැකි වෙනවා.—හිතෝ. 11:2.

මේ තත්වය සලකා බලන්න. ඔබ සාමාන්‍යයෙන් ඉක්මනින්ම වෙහෙසට පත් වන කෙනෙක්ද? එසේනම් ඔබ දවසේ මුල්භාගයේදී වෙහෙස වී වැඩ කළොත් එදින සවස පැවැත්වෙන රැස්වීමෙන් ප්‍රයෝජන ගැනීමටත් කදිම සහෝදර ආශ්‍රයක් භුක්ති විඳීමටත් අපහසු විය හැකියි. එමනිසා එදින උදෑසන වෙහෙසකර වැඩවල නිරත නොවීම ප්‍රයෝජනදායකයි. තවත් අවස්ථාවක් සලකා බලමු. තම කුඩා දරුවාට අසනීප නිසා ගෙයින් ගෙට සේවයේ හවුල් වීමට නොහැකි මවකට කුමක් කළ හැකිද? දරුවා නිදාගන්නා වේලාවට තමන් සමඟ දුරකථනයෙන් සාක්ෂි දරන්න හවුල් වෙන්න කියා සහෝදරියකට ආරාධනා කරන්න ඇයට හැකියි.

රැස්වීම්වලදී සාකච්ඡා කරන සියලු තොරතුරුවලට හොඳින් සූදානම් වීමට නොහැකි තත්වයක ඔබ සිටිනවා නම් කුමක් කළ හැකිද? කොතරම් ප්‍රමාණයකට සූදානම් විය හැකිද කියා කල්පනා කර ඒ ප්‍රමාණයට හොඳින් සූදානම් වන්න. එසේ අපගේ තත්වයන්ට අනුව දෙවිට කරන නමස්කාරයේ විවිධ අංගයන්වල අපගේ උපරිමයෙන් හවුල් වෙනවා නම් ඉන් ප්‍රීතිය ලබන්න අපට හැකියි.

අප කිරීමට බලාපොරොත්තු වන දේවල්වල යම් සකස් කිරීම් සිදු කිරීමට අධිෂ්ඨානය සහ උත්සාහය අවශ්‍යයි. ප්‍රංශයේ සිටින ක්‍රිස්තියානි යුවළක් වන සර්ජ් සහ අන්යෙස් ඒ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක්. “අන්යෙස්ට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තාම මිෂනාරිවරුන් වීමට තිබූ අපගේ බලාපොරොත්තුව බිඳී ගියා” කියා සර්ජ් පවසනවා. දැන් සර්ජ් දියණියන් දෙදෙනෙකුගේ පියෙක්. ඔහු පවසන දේ බලන්න. “අපිට වෙනත් රටක මිෂනාරිවරුන් වීමට නොහැකි වුණත් අපේම රටේ ‘මිෂනාරිවරුන් වගේ’ සේවය කරන්න අපි හිතාගත්තා. ඒ සඳහා අපි වෙනත් භාෂාවක් කතා කරන කණ්ඩායමකට එකතු වුණා.” ඔවුන්ට තිබූ ඉලක්කයේ යම් වෙනස්කම් සිදු කිරීමෙන් ඔවුන් ප්‍රයෝජන ලැබුවාද? සර්ජ් මෙසේ ඊට පිළිතුරු දෙනවා. “අපගේ සහෝදරයන් වෙනුවෙන් හොඳ සේවයක් කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.”

හැත්තෑ ගණන්වල පසු වන සහෝදරි ඕඩිල්ගේ දණහිස්වල ඇති වී තිබෙන ආතරයිටීස් රෝගය නිසා ඇයට වැඩි වේලාවක් සිටගෙන ඉන්න බැහැ. ඒ නිසා ගෙයින් ගෙට දේවසේවයේ හවුල් වීමටද ඇයට නොහැකියි. ඒ ගැන ඇය සිටියේ හරිම කනගාටුවෙන්. කෙසේනමුත් ඇය සාක්ෂි දැරීම අත්හැර දැමුවේ නැහැ. ඒ වෙනුවට සාක්ෂි දැරීමට වෙනස් ක්‍රමයක් යොදාගත්තා. ඒ දුරකථනයෙන් සාක්ෂි දැරීමයි. ඒ ගැන ඇය පවසන්නේ මෙහෙමයි. “මම හිතුවට වැඩිය ඒක හරිම ලෙහෙසියි. දැන් මම ඒකෙන් ලොකු සතුටක් ලබනවා.” දේශනා කිරීමට ඇය සොයාගත් ක්‍රමය මගින් ඒ සඳහා ඇගේ උද්‍යෝගය තවත් වැඩි වුණා.

සාධාරණව සිතීමේ ප්‍රයෝජන

අප සාධාරණව සිතන්න පුරුදු වුණොත් බොහෝ කලකිරීම් මඟහරවා ගත හැකියි. අප සිටින තත්වය කුමක් වුණත් අත් කරගත හැකි ඉලක්ක තබා, ඒවා ඉටු කරගැනීම තුළින් ප්‍රීතියක් ලබන්න පුළුවන්. අප දැරූ වෑයමෙන් අත් වන ප්‍රතිඵලය කුඩා වුණත් ඉන් මහත් ප්‍රීතියක් ලැබෙන බව ස්ථිරයි.—ගලා. 6:4.

අප සාධාරණව සිතන අය නම් සෙසු ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන්ද සැලකිල්ල දක්වනවා. එමෙන්ම ඔවුන්ගේ තත්වයන් හොඳින් තේරුම්ගෙන කටයුතු කරනවා. තවදුරටත් ඔවුන් අපට කරන ඕනෑම උපකාරයක් අප අගය කරන අතර සහයෝගයෙන් මෙන්ම එකිනෙකා ගැන හොඳ අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නත් පෙලඹෙනවා. (1 පේතෘ. 3:8) අපගේ ප්‍රේමණීය පියාණන් වන යෙහෝවා දෙවි අපට කළ හැකි පමණට වඩා අපගෙන් බලාපොරොත්තු නොවන බව නිතරම මතක තබාගනිමු. අපි දෙවිට කරන සේවය තුළ අපගේ තත්වයන් ඉඩ දෙන ප්‍රමාණයට අනුව කළ හැකි දේවල් ගැන කල්පනා කරමු. එහි උපරිමයෙන් හවුල් වීමෙන් සෑහීම හා ප්‍රීතිය ලබමු.

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවිට අප කරන සේවයෙන් ප්‍රීතිය හා සෑහීම ලබන්න නම් මුලින්ම අප අපගේ හැකියාවන් හා තත්වයන් ගැන සලකා බැලිය යුතුයි. පසුව එම සීමාවන් තුළ යම් ඉලක්ක තබාගැනීම සුදුසුයි.

[30වන පිටුවේ පින්තූරය]

දේවසේවය තුළ තමන්ට කළ හැකි දේ කිරීමෙන් නෙර්ලාන්ඩ් ප්‍රීතියක් ලබනවා

[31වන පිටුවේ පින්තූරය]

ඔබ මුහුණ දෙන තත්වයට අනුව වෙනස්කම් කරන්න ඉගෙනගන්න

[හිමිකම් විස්තර]

© Wave Royalty Free/​age fotostock

[32වන පිටුවේ පින්තූරය]

සර්ජ් සහ අන්යෙස් කිරීමට බලාපොරොත්තු වූ දේවල්වල යම් වෙනස්කම් කරගැනීමෙන් ප්‍රයෝජන ලැබුවා