Skip to content

පටුනට යන්න

කොරින්ති පොත්වලින් විශේෂාංග

කොරින්ති පොත්වලින් විශේෂාංග

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

කොරින්ති පොත්වලින් විශේෂාංග

කොරින්ති සභාවේ ක්‍රිස්තියානීන්ගේ ඇදහිල්ල ගැන පාවුල් ඉමහත් සැලකිල්ලක් දැක්වුවා. ඔවුන් අතර යම් යම් දේවල් ගැන මතගැටුම් තිබූ බව පාවුල්ට දැනගන්න ලැබුණා. අනාචාර ක්‍රියාද එහි සිදු වන බවත් ඔහුට ආරංචි වුණා. එමෙන්ම එහි සහෝදරයන් පාවුල්ගෙන් යම් කාරණා ගැන මීට කලින් ලිඛිතව විමසා තිබුණා. එම කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් කොරින්තිවරුන්ට ඔහු යැවූ ලිපි දෙකෙන් පළමුවැන්න ක්‍රිස්තු වර්ෂ 55දී පමණ ලියනු ලැබුවා. ඒ ඔහු තම තුන්වැනි මිෂනාරි ගමන අතරතුර එෆීසයට පැමිණි අවස්ථාවේදීයි.

දෙවන ලිපිය පළමුවෙනි ලිපියට සම්බන්ධ වන අතර ඔහු එය ලියා ඇත්තේ ඊට මාස කිහිපයකට පසුව බව පෙනෙන්න තිබෙනවා. කොරින්ති සභාව තුළ සහ එදා සමාජයේ පැවති තත්වය අද දිනට බොහෝ පැතිවලින් සමානයි. ඒ නිසා පාවුල්ගේ එම ලිපි දෙක අද සිටින අපට ඉතාමත් ප්‍රයෝජනදායකයි.—හෙබ්‍රෙ. 4:12.

අවදිව සිටින්න, ස්ථිරව සිටින්න, ශක්තිමත් වන්න’

(1 කොරි.1:1–16:24)

“ඔබ සැමෝම එකඟතාවෙන් යුතුව කතා” කරන්න කියා පාවුල් ඔවුන්ව දිරිගැන්වුවා. (1 කොරි. 1:10) ඊට හේතුව ‘යේසුස් ක්‍රිස්තුස් හැර වෙන කිසි අත්තිවාරමක් නැති’ නිසයි. ඒ නිසා ක්‍රිස්තියානීන් කරන කියන සෑම දෙයක්ම ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට එකඟ විය යුතුයි. (1 කොරි. 3:11-13) එම සභාවේ සිටි අනාචාරයේ හැසිරුණු තැනැත්තා ගැන පාවුල් දෙන උපදෙස මෙයයි. “ඔබ අතරෙන් දුෂ්ට මිනිසාව ඉවත් කරන්න.” (1 කොරි. 5:13) එමෙන්ම “ශරීරය වේශ්‍යාකම සඳහා නොව, ස්වාමීන් සඳහා” බව ඔහු කාවැද්දුවා.—1 කොරි. 6:13.

විවාහය සහ තනිකඩභාවය ගැන කොරින්තිවරුන් විසින් පාවුල්ට “ලියන ලද කාරණා ගැන” පාවුල් පැහැදිලි මඟ පෙන්වීම් දුන්නා. (1 කොරි. 7:1) මූලිකත්වය සම්බන්ධයෙන් ඔහු උපදෙස් දුන් අතර රැස්වීම්වල තිබිය යුතු නිසි පිළිවෙළ ගැනද ඔහු සඳහන් කළා. ඒ වගේම නැවත නැඟිටීම ස්ථිර බව පවසමින් ඔහු ඔවුන්ට උනන්දු කළේ මෙසේයි. “අවදිව සිටින්න. ඇදහිල්ලේ ස්ථිරව සිටින්න. පුරුෂයන් මෙන් ක්‍රියා කරන්න. ශක්තිමත් වන්න.”—1 කොරි. 16:13.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1:21—තමාව විශ්වාස කරන අයව ගලවාගැනීම සඳහා දෙවි “මෝඩකම” යොදාගන්නවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? “ලෝකය තම ප්‍රඥාවෙන් දෙවිව දැන නොගත්” නිසා මිනිසුන්ව ගලවාගන්න ඔහු යොදාගන්නා ක්‍රමය ලෝකයට පෙනෙන්නේ මෝඩකමක් හැටියටයි.—යොහ. 17:25.

5:5—දුෂ්ට මිනිසෙකුව සාතන්ට භාරදෙන්න යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? පසුතැවිලි නොවී දිගටම බරපතළ පව් කරන කෙනෙකුව සභා ඇසුරෙන් ඉවත් කිරීම ඉන් අදහස් වෙනවා. එවිට ඔහු නැවතත් සාතන්ගේ දුෂ්ට ලෝකයේ සාමාජිකයෙකු වෙනවා. (1 යොහ. 5:19) සාතන්ට ඔහුව භාර දෙනවා කීමේ අර්ථය එයයි. ඔහුව ඉවත් කිරීමෙන් සිදු වන්නේ සභාව දූෂ්‍ය කරන දෙයක් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමයි. එයින් සභාව හානිකර බලපෑම්වලින් හා ආකල්පවලින් ආරක්ෂා වෙනවා.—2 තිමෝ. 4:22.

7:33, 34—ස්වාමිපුරුෂයෙක් හෝ භාර්යාවක් කනස්සලු වන ‘ලෝකයේ දේවල්’ මොනවාද? පාවුල් එහි සඳහන් කළේ විවාහ වූ ක්‍රිස්තියානීන් සැලකිලිමත් වන ජීවිතයේ එදිනෙදා දේවල් ගැනයි. ඊට කෑම, ඇඳීම, ඉඳුම් හිටුම් වැනි දේවල් ඇතුළත්. නමුත් ක්‍රිස්තියානීන්ට නුසුදුසු දේවල් ඔහුගේ මෙම ප්‍රකාශයෙන් අදහස් වන්නේ නැහැ.—1 යොහ. 2:15-17.

11:26—යේසුස්ගේ මරණය සිහි කිරීම කළ යුත්තේ කොපමණ ‘වතාවකටද’ සහ කවදා වන ‘තුරුද?’ යේසුස්ගේ මරණය සිහි කිරීම විටින් විට කළ යුතු බව පාවුල් අදහස් කළේ නැහැ. යේසුස් පැවසූ “සෑම වතාවකදීම” යන ප්‍රකාශයට යෙදී ඇති ග්‍රීක වචනයෙන් අදහස් කරන්නේ, එම සිහි කිරීම සඳහා කුසලානයෙන් බොන අවස්ථාව ගැනයි. ඒ අනුව පාවුල් පැවසුවේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් රොටි සහ වයින්වලට පංගුකාරයන් විය යුත්තේ අවුරුද්දකට එකවරක් පමණක් බවයි. එනම් නීසාන් මස 14වෙනිදායි. එසේ කිරීමෙන් ඔවුන් “ස්වාමීන් එන තුරු ඔහුගේ මරණය ප්‍රකාශ” කරනවා. මෙහි ස්වාමීන් එන තුරු කියා කීමෙන් අදහස් කරන්නේ ඔවුන් පොළොව මත ජීවිතය අවසන් කර ස්වර්ගයට යන තෙක් යන්නයි.—1 තෙස. 4:14-17.

13:13—ඇදහිල්ල සහ බලාපොරොත්තුවට වඩා ප්‍රේමය උතුම් වන්නේ කෙසේද? “බලාපොරොත්තු වන දේවල්” ඉෂ්ට වන විට සහ “සහතික වූ අපේක්ෂාව” ස්ථිර වූ පසු ඇදහිල්ල හා බලාපොරොත්තුව ඉන් අවසන් වෙනවා. (හෙබ්‍රෙ. 11:1) නමුත් ඇදහිල්ලට හා බලාපොරොත්තුවට වඩා ප්‍රේමය උතුම් වන්නේ එය කෙදිනකවත් අවසන් නොවන නිසයි.

15:29—“මළවුන් වීමේ අරමුණින් බව්තීස්ම වන අය” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? බව්තීස්ම වීමට කලින් මිය ගිය අය වෙනුවෙන් ජීවත් වන අය බව්තීස්ම වීමට අවශ්‍ය බවක් මෙහිදී පාවුල් අදහස් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු කතා කරමින් සිටියේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ලබන විශේෂාකාර බව්තීස්මයක් ගැනයි. එනම් ඔවුන් අවසානය දක්වා විශ්වාසවන්තව සිට මිය ගොස් ස්වර්ගික ජීවිතයක් සඳහා නැවත නැඟිටුවීමයි.

අපට ගත හැකි පාඩම්:

1:26-31; 3:3-9; 4:7. අප ගැන නොව යෙහෝවා දෙවි ගැන පමණක් ආඩම්බරයෙන් කතා කිරීම මගින් අපට සභාව තුළ සාමය ඇති කරන්න පුළුවන්.

2:3-5. පාවුල් කොරින්තියේ දේශනා කරන විට ඔහුට ඇහුම්කන් දුන් අයව ක්‍රියාවට පොලඹවන ආකාරයෙන් කතා කළ යුතු බව තේරුම්ගත්තා. ඊට හේතුව වූයේ කොරින්තියේ සිටි අය ග්‍රීක දර්ශනවාදයන් හා ඉගැන්වීම්වල බලපෑමට හසු වී සිටි නිසයි. ඒ කෙසේවෙතත් දෙවි ලබා දුන් පැවරුමට බාධා කිරීමට පාවුල් කිසි දුර්වලකමකට හෝ මිනිස් බියට ඉඩ දුන්නේ නැහැ. ඒ හා සමානව අපිත් දෙවිගේ රාජ්‍යය පිළිබඳව ශුභාරංචිය ප්‍රකාශ කිරීම නවත්වන්න කිසිවකට ඉඩ නොදිය යුතුයි. එවන් අවස්ථාවල පාවුල් කළාක් මෙන් අපටත් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබිය හැකියි.

2:16. අපට “ක්‍රිස්තුස්ගේ මනස” ඇතුව සිටීමට නම් අපි ඔහු සිතන විදිහ තේරුම්ගත යුතු අතර ඔහු එසේ සිතීමට හේතු වූ කාරණා ගැනත් කල්පනා කළ යුතුයි. ඒ වගේම ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීමද අවශ්‍යයි.(1 පේතෘ 2:21; 4:1) ඒ නිසා යේසුස් පොළොව මත ගත කළ ජීවිතය ගැන සහ ඔහු කළ සේවය ගැන අප ඉතා උනන්දුවෙන් අධ්‍යයනය කිරීම කොතරම් වැදගත්ද!

3:10-15; 4:17. ජනයාට යේසුස්ගේ ගෝලයන් වීමට උපකාර කිරීමට නම් ඔවුන්ට ඉගැන්වීම සම්බන්ධයෙන් අපිට ඇති හැකියාවන් ගැන සෝදිසි කර බලා ඒවා දියුණු කරගත යුතුයි. (මතෙ. 28:19, 20) එසේ නොකළොත් ඔවුන්ගේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් වෙද්දී ඉන් ජය ගන්න ඔවුන්ට බැරි වෙනවා. එසේ වුණොත් එය අපිටත් ඉතා වේදනාකාරී දෙයක් එනම් “ගින්නෙන් ගලවනු ලැබුවාක් මෙන්” තත්වයකට මුහුණ පෑමට සිදු වෙයි.

6:18. “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” නම් කෙනෙක් පෝර්නියා යන ග්‍රීක වචනයට අයත් ක්‍රියාවලින් පලා යා යුතුයි. එපමණක්ද නොව කාමුක දර්ශන ඇතුළත් දේවල් නැරඹීම හෝ කියවීම, පිළිකුල් ක්‍රියාවලට හවුල් වීම, දුරාචාර දේවල් ගැන කල්පනා කිරීම, විරුද්ධ ලිංගයේ කෙනෙකු ඉදිරියේ නොහොබිනා විදිහට හැසිරීම හෝ තවත් එවැනි දේවල්ද නොකළ යුතුයි.—මතෙ. 5:28; යාකො. 3:17.

7:29. විවාහක යුවළක් දෙවි සමඟ ඇති මිත්‍රත්වය හා ඔවුන්ගේ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වලට දෙවෙනි තැන දෙන තරමටම එකිනෙකා ගැන ඕනෑවට වඩා අවධානය නොදී යුතුයි.

10:8-11. ඊශ්‍රායෙල්වරු මෝසෙස් හා ආරොන්ට විරුද්ධව මැසිවිලි නැගූ අවස්ථාවේදී යෙහෝවා දෙවි ඊට විරුද්ධව කටයුතු කළා. ඒ නිසා අපිත් මැසිවිලි නැඟීමේ පුරුද්දට හසු නොවෙමු.

16:2. ලෝක ව්‍යාප්තව ශුභාරංචිය දේශනා කිරීමට උපකාරයක් හැටියට අප සම්මාදම් ඉදිරිපත් කරනවා. ඒවා නිතිපතා ක්‍රමයකට දීමට හැකි වන පරිදි අපි කල්තියා එය සැලසුම් කළ යුතුයි.

‘දිගටම යළි සකස් වන්න’

(2 කොරි. 1:1–13:14)

පසුතැවිලි වූ වරදකරුවෙකුට තරවටු කර ඇත්නම් “කරුණාවෙන් ඔහුට කමා කර ඔහුව සනසන්න” කියා පාවුල් කොරින්තිවරුන්ට පැවසුවා. පාවුල් ලියූ පළමු ලිපියේ ඔවුන් කළ වැරදි ගැන සඳහන් කර තිබූ නිසා ඔවුන් දුකට පත් වුණා. නමුත් පාවුල් ඔවුන් ගැන සතුටු වන්නේ ඔවුන්ගේ දුක මගින් ඔවුන් “පසුතැවිලි වන තරම” දැනගත හැකි වූ නිසයි.—2 කොරි. 2:6, 7; 7:8, 9.

කොරින්තිවරු සියලු දෙයින් පොහොසත්ව සිටියාක් මෙන් ‘පරිත්‍යාග කිරීමෙන්ද’ පොහොසත්ව සිටින්න කියා පාවුල් ඔවුන්ව දිරිගැන්වුවා. පාවුල් විරුද්ධවාදීන්ට පිළිතුරු දීමෙන් පසු එහි සිටි සියලුදෙනාටම අවසාන වශයෙන් දුන් උපදෙස මෙයයි. “දිගටම ප්‍රීති වෙන්න. යළි සකස් වන්න. සැනසී සිටින්න. එක්සිත්ව සිටින්න. සාමකාමීව ජීවත් වන්න.”—2 කොරි. 8:7; 13:11.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

2:15, 16—අප “ක්‍රිස්තුස්ගේ මිහිරි සුවඳක්” වන්නේ කෙසේද? ඒ අපි බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීම හා ශුභාරංචිය දේශනා කරන නිසයි. එම සුවඳ අධර්මිෂ්ඨයන්ට නම් “මිහිරි සුවඳක්” නොවෙයි. නමුත් එය යෙහෝවා දෙවිට හා අවංක හදවත් ඇති අයට මිහිරි සුවඳක්.

5:16—අභිෂේක ලත් ක්‍රිස්තියානීන් කිසිවෙකුව මාංසික ආකාරයෙන් දැන නොගන්නවා’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔවුන් මිනිසුන්ගේ ධනවත්කම, ජාතිය හෝ වර්ගය ගැන සලකමින් ඔවුන්ට අනිසි අනුග්‍රහයක් දක්වන බවක් මින් අදහස් කරන්නේ නැහැ. ඔවුන්ට වැදගත් වන්නේ සෙසු නමස්කාරකයන් සමඟ තිබෙන කිට්ටු මිත්‍රත්වයයි.

11:1, 16; 12:11—පාවුල් කොරින්තිවරුන් සමඟ අසාධාරණව කටයුතු කළාද? නැහැ. කෙසේවෙතත් පාවුල් තමා ගැනම යමක් පැවසීමට පෙලඹුණේ අන් අය ඔහුට පැවසූ දේවල් නිසයි. එසේ ඔහු කියූ සමහර දේවල් ගැන ඔවුන් සිතුවේ පාවුල් තමා ගැනම කරන පුරසාරම් දෙඩීමක් හැටියටයි.

12:1-4—“පාරාදීසයට ඔසවාගනු” ලැබුවේ කාවද? මෙවැනි දර්ශනයක් දුටු වෙන කෙනෙක් ගැන බයිබලයේ සඳහන්ව නැහැ. එමෙන්ම පාවුල් මෙය පැවසුවේ ඔහුගේ ප්‍රේරිතකම ගැන සඳහන් කිරීමෙන් පසු නිසා ඔහු කතා කරමින් සිටියේ ඔහුගේම අද්දැකීමක් ගැන විය හැකියි. පාවුල් දර්ශනයකින් දැක්කේ ‘අවසාන කාලයේදී’ සෑබැ ක්‍රිස්තියානීන් භුක්ති විඳින පරාදීසයක් බඳු තත්වය විය හැකියි.—දානි. 12:4, නව ලොව පරිවර්තනය.

අපට ගත හැකි පාඩම්:

3:5. මෙම පදයෙන් අදහස් කරන්නේ යෙහෝවා දෙවි ක්‍රිස්තියානියෙකුව ඔහුට සේවය කරන්න සුදුසු තත්වයකට පත් කරන්නේ ඔහුගේ වචනය, බලය හා සංවිධානය මගින් බවයි. (යොහ. 16:7; 2 තිමෝ. 3:16, 17) ඒ නිසා අප බයිබලය සහ බයිබලය මත පදනම් ප්‍රකාශන උද්‍යෝගීමත්ව අධ්‍යයනය කළ යුතුයි. එමෙන්ම ඉවසිලිවන්තව දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කළ යුතු අතර නිතිපතා රැස්වීම්වලට සහාභාගි විය යුතුයි.—ගීතා. 1:1-3; ලූක් 11:10-13; හෙබ්‍රෙ. 10:24, 25.

4:16. යෙහෝවා දෙවි “අපේ ඇතුළාන්ත මිනිසා” දිනපතා අලුත් කරන නිසා අප දෙවිගේ සැපයුම්වලින් ප්‍රයෝජන ගත යුතුයි. එසේ කරන්න නම් අප දෙවි සමඟ අපේ සම්බන්ධතාව ශක්තිමත් කළ හැකි යමක් හැමදාම කළ යුතුයි.

4:17, 18. අප අද්දකින පීඩා සහ ගැටලු තාවකාලික ඒවා ලෙස සැලකුවොත් අපට යෙහෝවා දෙවිට දිගටම විශ්වාසවන්තව සිටිය හැකියි.

5:1-5. පාවුල් මෙහිදී අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට සඳහන් කරන්නේ තමන්ගේ බලාපොරොත්තුව වන ස්වර්ගික ජීවිතය ගැනයි.

10:13. අවශ්‍යතාවය වැඩි ප්‍රදේශයක සේවය කරන්න කියා අපට පැවරුමක් ලබා දුන්නොත් මිස නැත්නම් අප සේවය කළ යුත්තේ අපගේ සභා බල ප්‍රදේශයට අයත් කොටසේ පමණයි.

13:5. අප ‘ඇදහිල්ලේ සිටිනවාද කියා අපවම සෝදිසි කරන්න’ නම් බයිබලයෙන් අප ඉගෙනගන්නා දේට එකඟව කටයුතු කරනවාද කියා සෝදිසි කර බැලිය යුතුයි. අපව පරීක්ෂා කර බලන්න නම් දෙවි සමඟ තිබෙන අපගේ සම්බන්ධතාවය වැඩි කරගන්නත් අපගේ “වටහාගැනීමේ හැකියාව” දියුණු කරගන්නත් ඇදහිල්ල වර්ධනය කරන ක්‍රියා කරන්නත් අවශ්‍යයි. (හෙබ්‍රෙ. 5:14; යාකො. 1:22-25) පාවුල්ගේ මෙම යහපත් උපදෙස් අදාළ කරගැනීමෙන් අපට සත්‍යය තුළ දිගටම ගමන් කිරීමට හැකි වෙනවා.

[26, 27වන පිටුවේ පින්තූරය]

“මේ රොටිය කන, මේ කුසලානෙන් බොන සෑම වතාවකදීම” යන වචනවල තේරුම කුමක්ද?—1 කොරි. 11:26.