Skip to content

පටුනට යන්න

ගෙයින් ගෙට දේවසේවයේ අත් නෑර හවුල් වන්න

ගෙයින් ගෙට දේවසේවයේ අත් නෑර හවුල් වන්න

ගෙයින් ගෙට දේවසේවයේ අත් නෑර හවුල් වන්න

“ඔවුහු දිනපතා දේවමාලිගාවේදීත් ගෙයින් ගෙටත් ගොස් අත් නෑර උගන්වමින්ද ක්‍රිස්තුස් වූ යේසුස් ගැන ශුභාරංචිය ප්‍රකාශ කරමින්ද සිටියෝය.”—ක්‍රියා 5:42.

1, 2. (අ) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රසිද්ධියක් උසුලන්නේ කුමක් සඳහාද? (ආ) මෙම ලිපිය තුළ අප සලකා බලන ප්‍රශ්න මොනවාද?

මනා පිළිවෙළට ඇඳ පැළඳගත් දෙදෙනෙක් ගෙයින් ගෙට ගොස් දේවරාජ්‍යය ගැන කතා කිරීම ලොව පුරා සෑම තැනකම පාහේ දකින්න ලැබෙනවා. යම් නිවැසියෙක් පණිවිඩය ගැන උනන්දුව දක්වයි නම් බයිබලය මත පදනම් පොත් පත් ඔහුට ලබා දී නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහාද ආරාධනා කරයි. ඔබත් එම සේවයේ හවුල්වන කෙනෙක් නම් නිවසකට ගිය විගස ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් බව ඔවුන් හඳුනාගනියි. ඉන් පැහැදිලි වෙන්නේ ගෙයින් ගෙට දේවසේවය සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රසිද්ධියක් උසුලන බවයි.

2 යේසුස් අණ කළ ලෙස ශුභාරංචිය ප්‍රකාශ කිරීමට හා මිනිසුන්ව ගෝලයන් කිරීමට අප විවිධ ක්‍රම යොදාගන්නවා. (මතෙ. 28:19, 20) ඒ සඳහා අපි වෙළඳපොළවල්වල, වීදිවල, හා ප්‍රසිද්ධ ස්ථානවල ශුභාරංචිය ප්‍රකාශ කරනවා. (ක්‍රියා 17:17) ඊට අමතරව දුරකථන මාර්ගයෙන් සහ ලිපි මාර්ගයෙන් සාක්ෂි දරනවා. අපගේ ජීවිතයේ එදිනෙදා කටයුතුවලදීත් හමු වන මිනිසුන්ට දෙවි ගැන සාක්ෂි දරන්න අපි අමතක කරන්නේ නැහැ. එමෙන්ම බයිබලය මත පදනම් තොරතුරු භාෂා 300කට වැඩි ගණනකින් ලබාගැනීම සඳහා වෙබ් අඩවියක්ද සකස් කර තිබෙනවා. * මේ සියලුම ක්‍රමවලින් බොහෝ ප්‍රතිඵල ලැබී තිබෙනවා. නමුත් අප ප්‍රධාන වශයෙන්ම ශුභාරංචිය ප්‍රකාශ කරන ක්‍රමය වන්නේ ගෙයින් ගෙට ගොස් මිනිසුන්ව හමුවීමයි. දැන් අපි ඊට අදාළ ප්‍රශ්න තුනක් සලකා බලමු. ශුභාරංචිය ප්‍රකාශ කිරීමේදී ගෙයින් ගෙට යෑම සඳහා අපට තිබෙන පදනම කුමක්ද? දෙවිගේ සේවකයන් වර්තමානයේදී එම ක්‍රමය පුළුල්ව භාවිත කිරීමට හේතුව කුමක්ද? එය වර්තමානයේදී එතරම් වැදගත් ඇයි?

මුලින්ම යොදාගත් ක්‍රමය

3. යේසුස් තම ගෝලයන්ට දේශනා සේවය ගැන දුන් උපදෙස් මොනවාද? එමෙන්ම ඉන් පැහැදිලි වන්නේ කුමක්ද?

3 ගෙයින් ගෙට ගොස් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට පදනම මෙම වාර්තාවෙන් පැහැදිලි වෙනවා. යේසුස් තම ගෝලයන්ව ශුභාරංචිය ප්‍රකාශ කරන්න පිටත් කර යවමින් පැවසුවේ මෙසේයි. “ඔබ කවර නුවරකට හෝ ගමකට හෝ ඇතුල් වූ කල, එහි සුදුස්සන්ව සොයාගන්න.” ඔවුන් එවැනි අයව සොයන්නේ කෙසේද? ඒ සඳහා යේසුස් පැවසූ දෙය බලන්න. “ඔබ නිවසකට ඇතුල් වෙද්දී, ගෙයි වැසියන්ට ආචාර කරන්න. ගෙයි වැසියන් සුදුසු නම්, ඔබ පතන සාමය ඔවුන් පිට පැමිණේවා!” ඉන් යේසුස් පැවසුවේ ඔවුන් මිනිසුන්ගේ නිවෙස්වලට යා යුතු බවයි. නමුත් ඒ සඳහා ඔවුන් නිවැසියන්ගෙන් ආරාධනයක් ලැබෙන තෙක් සිටිය යුතුද? නැහැ. ඒ ගැන යේසුස් පැවසුවේ “කොතැනක හෝ වේවා, යමෙක් ඔබව පිළි නොගන්නේ නම් හෝ ඔබේ වදන්වලට සවන් නොදෙන්නේ නම්, ඒ නිවසින් හෝ ඒ නුවරින් හෝ ඔබ පිට වූ විට, ඔබේ පාදවල දූවිලි ගසා දමන්න” කියායි. (මතෙ. 10:11-14) යේසුස්ගේ උපදෙස්වලින් පැහැදිලි වෙන්නේ ‘ප්‍රදේශය පුරාම ශුභාරංචිය ප්‍රකාශ කරමින් ගමින් ගමට’ යන්න මුල් පියවර ගත යුත්තේ ගෝලයන් විසින්ම බවයි.—ලූක් 9:6.

4. ගෙයින් ගෙට ශුභාරංචිය ප්‍රකාශ කිරීම ගැන බයිබලයේ නිශ්චිතව පවසා තිබෙන්නේ කොතැනද?

4 මුල් ගෝලයන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ගෙයින් ගෙට ගිය බව තහවුරු කරන තවත් වාර්තා තිබෙනවා. උදාහරණයකට ක්‍රියා 5:42හි ඔවුන් ගැන පවසන දෙය බලන්න. “ඔවුහු දිනපතා දේවමාලිගාවේදීත් ගෙයින් ගෙටත් ගොස් අත් නෑර උගන්වමින්ද ක්‍රිස්තුස් වූ යේසුස් ගැන ශුභාරංචිය ප්‍රකාශ කරමින්ද” සිටියා. ඊට අවුරුදු 20කට පසුව එෆීසයේ සිටි වැඩිමහල්ලන්ට පාවුල්ද මෙවැනි දෙයක් මතක් කළා. “ඔබට ප්‍රයෝජනවත් වන සියල්ල පැවසීමෙන්වත් ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට ගොස් ඔබට ඉගැන්වීමෙන්වත් මම වැළකී නොසිටියෙමි.” ඉන් අදහස් කරන්නේ එම වැඩිමහල්ලන් ඇදහිලිවන්තයන් වීමට පෙර පාවුල් ඔවුන්ව හමුවීමට ඔවුන්ගේ නිවසට ගිය බවද? එසේ සිතිය හැකියි. ඊට හේතුව වන්නේ ඔහු ඔවුන්ට “පසුතැවිලි වීම ගැනත් අපේ ස්වාමීන් වන යේසුස් කෙරෙහි වූ ඇදහිල්ල ගැනත්” උගන්වා තිබූ නිසයි. (ක්‍රියා 20:20, 21) ක්‍රියා 20:20හි සඳහන් දෙය තහවුරු කරමින් එක් පොතක සඳහන් වන්නේ මෙසේයි. “මෙම ශ්‍රේෂ්ඨ ශුභාරංචිය ප්‍රකාශ කරන්නන් එය කළේ ගෙයින් ගෙට ගොස් බව සැලකිල්ලට ගත යුතු කරුණක්.”—එම පොත Robertson’s Word Pictures in the New Testament.

වර්තමාන පළඟැටි හමුදාව

5. ශුභාරංචිය ප්‍රකාශ කිරීම, යෝවෙල්ගේ අනාවැකියේ සඳහන් දෙයින් නිදර්ශනය කර තිබෙන්නේ කෙසේද?

5 මුල් සියවසේ කළ ගෙයින් ගෙට සේවයෙන් නියෝජනය කළේ අපගේ කාලයේ සිදු කිරීමට නියමිත අතිදැවැන්ත ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයයි. අනාගතවක්තෘ යෝවෙල්, අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සිදු කරන ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය පළඟැටියන් ඇතුළු විනාශකාරී කෘමි වසංගතයකට සමාන කළා. (යෝවෙ. 1:4) මෙම පළඟැටි සේනාව ඉදිරියට ඇදෙන හමුදාවක් වගෙයි. ඔවුන් තමන් ඉදිරියේ තිබෙන ඕනෑම බාධාවක් ජය ගන්නා අතර නිවෙස්වලට ඇතුල් වෙමින් සහ මාර්ගයේ හමු වන සෑම දෙයක්ම කා දමනවා. (යෝවෙල් 2:2, 7-9 කියවන්න.) එමගින් ඉතාමත් විචිත්‍රවත් ලෙස නිදර්ශනය කරන්නේ දෙවිගේ සෙනඟ විසින් උද්‍යෝගයෙන් කරන සේවයයි. එනම් ලොව පුරා සෑම තැනකම සිදු කරන ශුභාරංචිය ප්‍රකාශ කිරීමයි. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සහ ඔවුන්ගේ සහයකයන් වන “වෙනත් බැටළුවන්” එක් වී එම අනාවැකියෙහි සඳහන් දේ ඉටු කිරීමට ප්‍රධාන වශයෙන් යොදාගන්නේ ගෙයින් ගෙට දේවසේවයයි. (යොහ. 10:16) සාක්ෂිකරුවන් වන අපි මෑත ඉතිහාසයේදී ගෙයින් ගෙට සේවයේ යෑම ආරම්භ කළේ කෙසේද කියා දැන් සලකා බලමු.

6. ගෙයින් ගෙට දේවසේවය සම්බන්ධයෙන් 1922දී දුන් දිරිගැන්වීම කුමක්ද? නමුත් සමහරුන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

6 සෑම ක්‍රිස්තියානියෙක්ම ගෙයින් ගෙට ගොස් ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ හවුල් විය යුතු බව 1919 සිට අවධාරණය කළා. උදාහරණයකට 1922 අගෝස්තු 15වෙනිදා පළ වූ මුරටැඹ කලාපයේ (සිංහලෙන් නැත) “ගෙයින් ගෙට සේවය අත්‍යවශ්‍යයි” කියා ලිපියක් පළ වුණා. එහි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට මතක් කළේ “උද්‍යෝගීමත්ව, ශුභාරංචිය අඩංගු පොත් පත් ජනයා වෙත ගෙන යාමත් ඔවුන්ව ඔවුන්ගේම නිවෙසේදී හමු වී දේවරාජ්‍යය පිළිබඳ වැදගත් තොරතුරු ගැන සාක්ෂි දැරීමත්” ඉතා වැදගත් බවයි. ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු අපගේ රාජ්‍ය සේවාවේ සඳහන් වුණා. ඒ වුණත් මුලදී එසේ ගෙයින් ගෙට ගියේ සුළු පිරිසක් පමණයි. සමහරුන් එසේ කිරීම ප්‍රතික්ෂේප කළා. ඒ සඳහා ඔවුන් විවිධ හේතු ඉදිරිපත් කළත් ඊට ප්‍රධානම හේතුව වුණේ එය මදි පුංචිකමක් කියා ඔවුන්ට හැඟුණු නිසයි. ගෙයින් ගෙට ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ වැදගත්කම වැඩි වැඩියෙන් අවධාරණය කරන විට ඔවුන්ගෙන් බොහෝදෙනෙක් ක්‍රමානුකූලව යෙහෝවා දෙවිගේ සංවිධානය අතහැර ගියා.

7. ගෙයින් ගෙට සේවයේ හවුල් වීම සම්බන්ධයෙන් කුමක් අවශ්‍ය බව වැටහුණාද?

7 ඊළඟ අවුරුදු දහය තුළදී ශුභාරංචිය ප්‍රකාශ කිරීමට බොහෝදෙනා සහභාගි වුණත් එම කාර්යය සාර්ථකව කිරීමට ඔවුන්ට පුහුණුවක් අවශ්‍ය බව වැටහුණා. ඊට හේතුව තේරුම්ගැනීමට එවකට එක්සත් ජනපදයේ පැවති තත්වය සලකා බලන්න. වර්ෂ එක්දාස් නවසිය පනස්ගණන්වල මුල්භාගයේ සාක්ෂිකරුවන්ගෙන් සියයට 28ක්ම කළේ අත්පත්‍රිකා බෙදීම හෝ සඟරා ප්‍රදර්ශනය කරමින් වීදිවල සිටගෙන සිටීම පමණයි. එමෙන්ම ප්‍රචාරකයන්ගෙන් සියයට 40ක් කඩින් කඩ සේවය කළ අයයි. ඉන් අදහස් කළේ ඔවුන් සමහර මාසවල කොහෙත්ම දේවසේවයේ හවුල් නොවූ බවයි. එවැනි ක්‍රිස්තියානීන්ට ගෙයින් ගෙට සේවය දියුණු කරගැනීම සඳහා උපකාර සැපයුවා. ඒ මොනවාද?

8, 9. වර්ෂ 1953දී ආරම්භ කරන ලද වැඩසටහන කුමක්ද? එමෙන්ම ඉන් ලැබූ ප්‍රතිඵල මොනවාද?

8 වර්ෂ 1953දී නිව්යෝක් නගරයේ පැවති ජාත්‍යන්තර සමුළුවකදීද ගෙයින් ගෙට දේවසේවයේ යෙදීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළා. එහිදී සහෝදර නේදන් එච්. නෝර් සඳහන් කළේ ක්‍රිස්තියානි අවේක්ෂකයන්ගේ ප්‍රධාන කාර්යය විය යුත්තේ සෑම ක්‍රිස්තියානියෙකුටම නිතිපතා ගෙයින් ගෙට දේවසේවයේ හවුල් වීම සඳහා උපකාර කිරීමයි කියායි. ඒ වගේම “සෑම කෙනෙක්ම ගෙයින් ගෙට ගොස් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට හැකි තත්වයක සිටිය යුතු” බවත් ඔහු පැවසුවා. එම අරමුණ ඉටු කරගැනීම සඳහා ලෝක ව්‍යාප්ත දේවසේවකයන්ව පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා. ඒ වන විටත් ගෙයින් ගෙට දේවසේවයේ හවුල් නොවූ අයට ජනයාව හමුවීම සඳහා ඔවුන්ගේ නිවෙස්වලට යාමටත් බයිබලයෙන් කාරණා පැහැදිලි කර දීමටත් ගෙවැසියන් අසන ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු ලබා දීමටත් ඔවුන්ව පුහුණු කළා.

9 ඉන් ලැබූ ප්‍රතිඵල පුදුමාකාරයි. අවුරුදු දහයක් ඇතුළත ලොව පුරා රාජ්‍යය ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව සියයට සියයකින්ද නැවත බැලීම් සංඛ්‍යාව සියයට 126කින්ද බයිබල් පාඩම් සංඛ්‍යාව සියයට 150කින්ද වැඩි වුණා. අද වන විට ලොව පුරාම රාජ්‍යය ප්‍රචාරකයන් මිලියන හතක පමණ සංඛ්‍යාවක් ශුභාරංචිය ප්‍රකාශ කරමින් සිටිනවා. ගෙයින් ගෙට ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයට යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලැබී ඇති බව මෙම කැපී පෙනෙන වර්ධනයෙන් පැහැදිලි වෙනවා.—යෙසා. 60:22.

මිනිසුන්ව ගලවාගන්න

10, 11. (අ) එසකියෙල් නවවෙනි පරිච්ඡේදයේ සඳහන් එසකියෙල් දුටු දර්ශනය කුමක්ද? (ආ) එය අපගේ කාලයේදී ඉටු වෙමින් පවතින්නේ කෙසේද?

10 ගෙයින් ගෙට දේවසේවයේ වැදගත්කම එසකියෙල්ට දුන් දර්ශනයෙන් පැහැදිලි වෙනවා. එහි මිනිසුන් හයදෙනෙක් විනාශකාරී ආයුධ අතැතිව සිටින අතර සත්වැන්නා ලිනන් වස්ත්‍රයක් ඇඳ සිටින අතර ඔහුට ලේකම්වරයෙකු භාවිත කරන තීන්ත කූඩුවක් තිබෙනවා. “යෙරුසලම් නුවර මැදින් ගොස් එහි සිදු වන සියලුම පිළිකුල්සහගත දේවල් ගැන දුක් වෙමින් සුසුම්ලන මිනිසුන්ගේ නළල්වල ලකුණක් දමන්න” කියා ඔහුට පවසනවා. ඉන්පසු ලකුණ නැති සියලුදෙනාවම විනාශ කර දමන්න කියා ඔහුගේ පිටුපසින් පැමිණෙන හයදෙනාට අණක් ලැබෙනවා.—එසකියෙල් 9:1-6, NW කියවන්න.

11 මෙම දර්ශනයේ සඳහන් ලිනන් වස්ත්‍රයක් ඇඳ සිටින මිනිසාගෙන් නියෝජනය කරන්නේ පොළොව මත සිටින අභිෂේක ලත් ඉතිරි අයවයි. ඔවුන් ශුභාරංචිය ප්‍රකාශ කිරීම හා යේසුස්ගේ ගෝලයන් වීමට මිනිසුන්ට උපකාර කිරීම මගින් ක්‍රිස්තුස්ගේ “වෙනත් බැටළුවන්” බවට පත් වන අයගේ නළල් මත සංකේතමය ලකුණක් තබනවා. (යොහ. 10:16) කෙනෙකුගේ නළල මත තිබෙන ලකුණක් පැහැදිලිව පෙනෙනවා. ඒ හා සමානව බැටළු ගුණැති අයද දෙවිට කැප වී බව්තීස්මයෙන් එය සංකේතවත් කිරීමෙන් සහ අලුත් පෞද්ගලිකත්වය පැළඳගැනීමෙන් තමන්ට එම ලකුණ ඇති බව අන් අයට පැහැදිලිව දැකගත හැකියි. (එෆී. 4:20-24) මෙලෙස එම ලකුණ ලැබූ බැටළු ගුණැති අය අභිෂේක ලත් ඉතිරි අය සමඟ එක් වී තවත් අයව ලකුණු කිරීමේ කාර්යයට හවුල් වෙනවා.—එළි. 22:17.

12. එසකියෙල්ගේ දර්ශනයේ සඳහන් ලකුණු කිරීම මගින් මේ කාලයේදී සිදු කරන බැටළු ගුණැති මිනිසුන්ව සෙවීමේ කාර්යයේ ඇති වැදගත්කම පෙන්වා දෙන්නේ කෙසේද?

12 “දුක් වෙමින් සුසුම්ලන” ජනයාව සෙවීම එතරම්ම හදිසි කාර්යයක් වීමට එක් හේතුවක් එසකියෙල්ගේ දර්ශනය තුළින් දැකගත හැකියි. ඒ, මිනිසුන්ගේ ජීවිත තිබෙන්නේ අනතුරුදායක තත්වයක නිසයි. සංකේතවත් ලකුණ නැති සියල්ලන්වම විනාශ කිරීමට යෙහෝවා දෙවි පියවර ගැනීමට නියමිතයි. ඒ සඳහා ඔහු යොදාගන්නේ දර්ශනයේ සඳහන් වූ විනාශකාරී ආයුධ අතැතිව සිටි මිනිසුන් හයදෙනාගෙන් සංකේතවත් කළ දේවදූත සේනාවයි. පැමිණීමට නියමිත එම විනිශ්චයේදී ස්වාමීන් වන යේසුස් “තම බලවත් දූතයන්” සමඟ “දෙවිව නොදන්නා අයගෙන්ද අපේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට කීකරු නොවන අයගෙන්ද පළිගන්නේය” කියා පාවුල් සඳහන් කළා. (2 තෙස. 1:7, 8) මෙම අවස්ථාවේදී ජනයාව විනිශ්චය කරන්නේ ඔවුන් ශුභාරංචියට දැක්වූ ප්‍රතිචාරය අනුවයි. අවසානය පැමිණෙන තෙක්ම අප ශුභාරංචිය නොනවත්වාම ප්‍රකාශ කළ යුත්තේ ඒ නිසයි. (එළි. 14:6, 7) එම මහත් වගකීම දෙවිට කැප වී ඇති ඔහුගේ සියලුම සේවකයන්ට භාරයි.—සකියෙල් 3:17-19 කියවන්න.

13. (අ) පාවුල්ට හැඟුණේ තමාට කුමනාකාර වගකීමක් තිබෙන බවද? ඒ ඇයි? (ආ) ඔබගේ ප්‍රදේශයේ සිටින ජනයා ගැන ඔබට ඇත්තේ කුමන වගකීමක්ද?

13 ශුභාරංචිය අන් අය සමඟ බෙදාගැනීමට තමන්ට විශාල වගකීමක් තිබෙනවා කියා පාවුල්ට හැඟුණා. ඒ ගැන ඔහු පැවසුවේ මෙසේයි. “ග්‍රීකයන් හා ග්‍රීකයන් නොවන්නන්ටද, ප්‍රඥාවන්තයන් හා අඥානයන්ටද මම ණයගැතිව සිටිමි. එබැවින්, රෝමයේ සිටින ඔබටත් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මට මහත් ඕනෑකමක් තිබේ.” (රෝම 1:14, 15) පාවුල්ද ශුභාරංචිය මගින් දෙවිගේ මහත් කරුණාව අද්දැක්කා. ඒ ගැන ඔහු දෙවිට මහත් සේ ස්තුතිවන්ත වුණා. ඔහුට අවශ්‍ය වුණේ අන් අයටද ශුභාරංචිය ප්‍රකාශ කර ඔවුන්ටද එම මහත් කරුණාව අද්දකින්න සලස්වන්නයි. (1 තිමෝ. 1:12-16) තමාට හමු වන සෑම කෙනෙකුටම තමන් ණයගැතියි කියා පාවුල් පැවසුවා. එය ගෙවීමට නම් ඒ සෑමදෙනාටම ශුභාරංචිය ප්‍රකාශ කළ යුතුයි කියා ඔහුට හැඟුණා. ඔබේ ප්‍රදේශයේ සිටින ජනයාටත් ඔබ එයාකාරයෙන් ණයයි කියා ඔබට හැඟෙනවාද?—ක්‍රියා 20:26, 27 කියවන්න.

14. ගෙයින් ගෙට සහ ප්‍රසිද්ධියේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අපට තිබෙන මූලිකම හේතුව කුමක්ද?

14 ශුභාරංචිය ප්‍රකාශ කිරීම මගින් මිනිස් ජීවිත බේරාගන්න හැකි වන බව ඇත්තයි. නමුත් අප ගෙයින් ගෙට ශුභාරංචිය රැගෙන යන්නේ ඊටත් වඩා වැදගත් හේතුවක් ඇති නිසයි. එම හේතුව මලාකිගේ අනාවැකියේ සඳහන් වෙනවා. ‘පොළොවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා මාගේ නාමය ගෞරවයට පත් වනු ඇත. පොළොවේ සියලු තැන්වල සිටින අය මාගේ නාමයට ප්‍රශංසා කිරීම සඳහා පවිත්‍ර සිතකින් පූජා ඔප්පු කරන්නෝය. සියලු ජාතීන් අතරේ මාගේ නාමය අතිශයින් උසස් වන්නේය.’ (මලා. 1:11) එහි සඳහන් ලෙස දෙවිගේ නාමයට ප්‍රශංසාව ගෙන ඒම සඳහා දෙවිගේ කැප වූ සාක්ෂිකරුවන් කටයුතු කරනවා. (ගීතා. 109:30; මතෙ. 24:14) ඒ අනුව ගෙයින් ගෙට සහ ප්‍රසිද්ධියේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අපට තිබෙන මූලිකම හේතුව වන්නේ යෙහෝවා දෙවිට අපගේ “ප්‍රශංසාව නමැති පූජාව” ඔප්පු කිරීමයි.—හෙබ්‍රෙ. 13:15.

වැදගත් සිදුවීම් පෙළක්

15. (අ) හත්වෙනි දවසේදී ඊශ්‍රායෙල්වරුන් කළේ කුමක්ද? (ආ) ඒ හා සමානව ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය ගැන කිව හැක්කේ කුමක්ද?

15 ශුභාරංචිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී බලාපොරොත්තු විය හැක්කේ මොන වගේ දේවල්ද? එය තේරුම්ගැනීමට මෙම උදාහරණය සලකා බලමු. ඊශ්‍රායෙල්වරුන් යෙරිකෝව වැටලූ අවස්ථාව ගැන යෝෂුවා පොතේ සඳහන් වෙනවා. දෙවි යෙරිකෝව විනාශ කිරීමට පෙර ඊශ්‍රායෙල්වරුන්ට දිනකට වරක් බැගින් දින හයක් එම නගරය වටේ ගමන් කරන්න කියා අණ කළා. නමුත් හත්වෙනි දවසේදී ඔවුන් පෙර දිනවල කළාට වඩා බොහෝ දේවල් කළා. ඒ ගැන යෙහෝවා දෙවි යෝෂුවාට පැවසුවේ මෙයයි. ‘හත්වන දවසේදී ඔබ ඒ නගරය වටා හත් වරක් ගමන් කරන්න. ඒ අතරතුරේදී පූජකයන් තම හොරණෑ පිඹිය යුතුයි. එවිට හමුදා භටයන් සියලුදෙනා එක හඬින් මහත් ඝෝෂාවක් නැඟිය යුතුයි. එවිට නගරයේ පවුරු බිමට කඩා වැටෙයි.’ (යෝෂු. 6:2-5) හත්වෙනි දවසේදී ඔවුන්ට කිරීමට විශාල වැඩ කොටසක් තිබුණා. ඒ හා සමානව අපගේ දේශනා කිරීමේ කාර්යයෙහිද විශාල වර්ධනයක් දැකගත හැකියි. ඒ අනුව බලද්දී මහත් පීඩාව ආරම්භ වන විට දෙවිගේ නාමය සහ ඔහුගේ රාජ්‍යය ගැන මහත් සාක්ෂියක් දරා තිබෙන බව අපට දැකගන්න හැකි වේවි.

16, 17. (අ) ‘මහත් පීඩාව’ අවසන් වීමට පෙර කුමක් සිදු විය යුතුද? (ආ) ඊළඟ ලිපියේ සලකා බලන ප්‍රශ්න මොනවාද?

16 අප ප්‍රකාශ කරන ශුභාරංචිය “මහත් ඝෝෂාවක්” හෙවත් ඉතා ප්‍රබල ආකාරයකින් ඇසෙන කාලය වැඩි ඈතක නොවෙයි. ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිත ප්‍රබල විනිශ්චයේ පණිවිඩය එළිදරව් පොතේ සඳහන් කර ඇත්තේ හිම කැට වර්ෂාවක් හැටියටයි. එම හිම කැට වර්ෂාවේ “එක් එක් හිම කැටයක බර තලෙන්තයක් පමණ” වෙනවා. * “ඒ පීඩාව අතිමහත් විය” කියා පවසන්නේ ඒ නිසයි. (එළි. 16:21) දෙවිගේ අවසන් විනිශ්චය ප්‍රකාශ කිරීම සඳහා ගෙයින් ගෙට ගොස් අප කරන සේවය දෙවි කොයි ආකාරයෙන් යොදාගනියිද කියා අප දන්නේ නැහැ. නමුත් ‘මහත් පීඩාව’ අවසන් වීමට පෙර දෙවිගේ නාමය සියලුදෙනාම දැනගන්නා බව නම් ස්ථිරයි.—එළි. 7:14; එස. 38:23.

17 ඉදිරියේදී අතිවැදගත් සිදුවීම් පෙළක් දැකගත හැකියි. එතෙක් අපි සියලුදෙනාම ඉතා උද්‍යෝගයෙන් රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කරමු. එසේ කිරීමේදී අපට බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදු වෙනවා. මීළඟ ලිපියේ අප සලකා බලන්නේ එම අභියෝග මොනවාද ඒවාට සාර්ථකව මුහුණ දීමට අපට හැක්කේ කෙසේද යන්න ගැනයි.

[පාදසටහන්වල]

^ 2 ඡේ. අපගේ සංවිධානයේ වෙබ් අඩවිය, www.watchtower.org.

^ 16 ඡේ. මෙහි සඳහන් වන්නේ ග්‍රීක තලෙන්තයක් ගැන නම් එක හිම කැටයක් බරින් කිලෝග්‍රෑම් 20ක් පමණ වෙයි.

ඔබට විස්තර කළ හැකිද?

• අප ගෙයින් ගෙට දේවසේවයේ හවුල් වන්නේ කුමන බයිබල් පදනම මතද?

• ගෙයින් ගෙට දේවසේවයේ වැදගත්කම මෑත කාලයේදී අවධාරණය කළේ කෙසේද?

• ශුභාරංචිය ප්‍රකාශ කිරීම දෙවිගේ කැප වූ සේවකයන්ගේ වගකීමක් වන්නේ ඇයි?

• ඉදිරියේදී සිදුවීමට නියමිත වැදගත් සිදුවීම් මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[4වන පිටුවේ පින්තූර]

පාවුල් මෙන් අන් අයට ශුභාරංචිය ප්‍රකාශ කිරීම ඔබේ වගකීමක් කියා ඔබට හැඟෙනවාද?

[5වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1953දී සහෝදර නෝර්