Skip to content

පටුනට යන්න

ගෙයින් ගෙට දේවසේවයේ අභියෝග ජය ගැනීම

ගෙයින් ගෙට දේවසේවයේ අභියෝග ජය ගැනීම

ගෙයින් ගෙට දේවසේවයේ අභියෝග ජය ගැනීම

“බොහෝ වෙහෙස දරමින් ඔබට දෙවිගේ ශුභාරංචිය කීමට අපි අපේ දෙවිගෙන් නිර්භීතකම ලැබුවෙමු.”—1 තෙස. 2:2.

1. යෙරෙමියා මුහුණ දුන් අභියෝග මොනවාද? එමෙන්ම ඒවාට සාර්ථකව මුහුණ දෙන්න ඔහුට හැකි වුණේ ඇයි?

“විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මම තවම තරුණයෙක්. අනික මම කතාවට දක්ෂ කෙනෙක් නෙවෙයි.” එසේ පැවසුවේ යෙරෙමියායි. ඒ යෙහෝවා දෙවි “ජාතීන්ට අනාවැකි කීමට” ඔහුව තෝරාගත් අවස්ථාවේදීයි. කෙසේනමුත් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තැබූ ඔහු එම පැවරුම භාරගත්තා. (යෙරෙ. 1:4-10, නව ලොව පරිවර්තනය, NW) එදා සිට ඔහු අවුරුදු 40කට වඩා වැඩි කාලයක් පුරා දෙවිගේ විනිශ්චයන් ප්‍රකාශ කළා. බොහෝදෙනා ඊට දැක්වූයේ උදාසීන ප්‍රතිචාරයක්. සමහරුන් එය ප්‍රතික්ෂේප කළා. සමච්චල් කළා. ඒ විතරක් නෙවෙයි ඔහුට පහර දුන්නා. (යෙරෙ. 20:1, 2) එවන් අවස්ථාවලදී එම පැවරුම නතර කිරීමට පවා ඔහුට සිතුණත් ජනයාට එතරම් ප්‍රිය නොවූ එම පණිවිඩය ඔහු විඳදරාගෙන ප්‍රකාශ කළා. ඔහුගේම හැකියාවෙන් නම් එය කවදාවත් කළ හැකි දෙයක් නොවෙයි. ඔහුට එය කිරීමට හැකි වුණේ දෙවිගේ උපකාරය නිසයි.—යෙරෙමියා 20:7-9 කියවන්න.

2, 3. යෙරෙමියා මෙන් අද සිටින දෙවිගේ බොහෝ සේවකයන් මුහුණ දෙන අභියෝග කුමක්ද?

2 අද සිටින දෙවිගේ බොහෝ සේවකයන්ටද ඔවුන් කරන සේවය ගැන මුලින් හැඟුණේ යෙරෙමියාට හැඟුණා හා සමානවයි. එනම් ඔවුන්ට තිබුණේ මෙවැනි ආකල්පයක්. ‘මම නම් හිතන්නේ නැහැ මට ඒක කවදාවත් කරන්න පුළුවන් වෙයි කියලා.’ නමුත් එය දෙවිගේ කැමැත්ත බව ඔවුන් තේරුම්ගත් විට පෙර තිබූ ආකල්පය ඉවත් කරගෙන දේවසේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙන්න පටන්ගත්තා. එසේ කරද්දී යම් දුෂ්කර තත්වයන්ට ඔවුන් මුහුණ දුන්නත් නොකඩවා ශුභාරංචිය දේශනා කළා. කෙසේනමුත් අවසානය දක්වා ගෙයින් ගෙට දේවසේවයේ හවුල් වීම අභියෝගයක් බව අප තේරුම්ගත යුතුයි.—මතෙ. 24:13.

3 ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ කාලයක් පුරා බයිබලය අධ්‍යයනය කරන, රැස්වීම්වලට පැමිණියත් දේවසේවයේ හවුල් වීමට අදි මදි කරන කෙනෙක්ද? නැත්නම් ඔබ කැප වී බව්තීස්ම වූ ක්‍රිස්තියානියෙක්ද? ගෙයින් ගෙට දේවසේවයේ යෙදීමට ඔබට හැකියාව තිබියදීත් එය අභියෝගයක් කියා ඔබට දැනෙනවාද? ඔබට පමණක් නොව ලොව පුරා සිටින බොහෝදෙනෙකුටද එය අභියෝගයක් වී තිබෙනවා. ඒ වුණත් දෙවිගේ උපකාරය ඇතිව එම අභියෝගය ජය ගත හැකියි.

ධෛර්යය වඩවාගන්න

4. නිර්භීතයෙන් සාක්ෂි දරන්න පාවුල්ට උපකාර කළේ කුමක්ද?

4 ලොව පුරා ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ දැවැන්ත කාර්යය සිදු කරන්නේ මිනිසුන්ගේ හැකියාවෙන් නොව දෙවිගේම බලයෙන් බව අප වටහාගෙන තිබෙනවා. (සෙක. 4:6) අප එක් එක්කෙනා දෙවිට කරන සේවය සාර්ථක වන්නෙත් ඒ නිසයි. (2 කොරි. 4:7) උදාහරණයකට පාවුල්ගේ අද්දැකීම සලකා බලන්න. ඔහු තම සහයකයා සමඟ කළ මිෂනාරි සේවයේදී පැමිණි විරුද්ධවාදීකම් ගැන මතක් කරමින් මෙසේ පවසනවා. “අපි ෆිලිප්පියේදී වධ විඳ, නින්දාවට ලක් වුණෙමු. නමුත් ඉන්පසුව බොහෝ වෙහෙස දරමින් ඔබට දෙවිගේ ශුභාරංචිය කීමට අපි අපේ දෙවිගෙන් නිර්භීතකම ලැබුවෙමු.” (1 තෙස. 2:2; ක්‍රියා 16:22-24) පාවුල් වැනි උද්‍යෝගීමත් සේවකයෙකුට පවා සමහර අවස්ථාවලදී දේශනා කිරීම විශාල අභියෝගයක් වුණා කියා දැනගැනීමෙන් අප පුදුම විය හැකියි. නමුත් ඒවා ජය ගෙන නිර්භීතව ශුභාරංචිය ප්‍රකාශ කරන්න අපට මෙන් පාවුල්ටද හැකි වුණේ දෙවිගේ උපකාරය නිසයි. (එෆීස 6:18-20 කියවන්න.) පාවුල් මෙන් නිර්භීතව දේශනා කිරීමට අපට හැක්කේ කෙසේද කියා අපත් සිතා බලමු.

5. නිර්භීතව දේශනා කිරීමට උපකාරවත් වන එක් ක්‍රමයක් කුමක්ද?

5 නිර්භීතව දේශනා කිරීමට උපකාරවත් වන එක් දෙයක් වන්නේ දෙවිගේ උපකාර ඉල්ලා යාච්ඤා කිරීමයි. ඒ ගැන පුරෝගාමි සහෝදරියක් පැවසුවේ මෙහෙමයි. “නිර්භීතව, මිනිසුන්ගේ සිතට කාවදින ආකාරයෙන් කතා කරන්න සහ දේවසේවයෙන් ප්‍රීතියක් ලබන්න මට උපකාර කරන්න කියා මම දෙවිට යාච්ඤා කරනවා. කොහොමවුණත් මේක යෙහෝවා දෙවිගේ වැඩක්, ඔහුගේ උපකාරය නැතුව අපිට කවදාවත් මේක කරන්න බැහැ.” (1 තෙස. 5:17) එසේනම් නිර්භීතව දේශනා කිරීම සඳහා අපි සියලුදෙනාම දෙවිගේ බලයේ උපකාරය ඉල්ලා නොකඩවා යාච්ඤා කරමු.—ලූක් 11:9-13.

6, 7. (අ) එසකියෙල් දුටු දර්ශනය කුමක්ද? එහි තේරුම කුමක්ද? (ආ) එම දර්ශනයෙන් අද සිටින දෙවිගේ සේවකයන්ට ගත හැකි පාඩම කුමක්ද?

6 නිර්භීතව දේශනා කරන්න උපකාරවත් වන තවත් ක්‍රමයක් එසකියෙල් පොතේ අඩංගුයි. දෙපැත්තෙම ලියූ අකුළන ලියවිල්ලක් එක් දර්ශනයකදී දෙවි එසකියෙල්ට දුන්නා. එහි ‘වැලපීම, හැඬීම සහ දුක’ ගැන ලියවී තිබූ අතර එය ඔහුට කන්න කියා දෙවි පැවසුවා. තවදුරටත් දෙවි පැවසුවේ “මනුෂ්‍ය පුත්‍රය, මා ඔබට දෙන මේ ලියවිල්ල කා එයින් ඔබේ බඩ පුරවාගත යුතුය” කියායි. මෙම දර්ශනයේ තේරුම කුමක්ද? ඉන් අදහස් කළේ එම පණිවිඩය ප්‍රකාශ කිරීමට පෙර ඔහු එය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත යුතු බවයි. එමෙන්ම එය ඔහුගේ සිතුවිලි හා ක්‍රියාවන්ට බලපෑ යුතුයි. එසකියෙල් ඒ ගැන පවසන දේ බලන්න. “මම එය කෑවෙමි. එය මී පැණි මෙන් මිහිරි විය.” දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කිරීම එසකියෙල්ට දැනුණේ මී පැණි මෙන් මිහිරි දෙයක් ලෙසයි. තමාට ප්‍රකාශ කිරීමට තිබූ ප්‍රබල පණිවිඩයට මිනිසුන් ඇහුම්කන් නොදුන්නත් දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කිරීම එසකියෙල් සැලකුවේ මහත් වරප්‍රසාදයක් ලෙසයි.—එසකියෙල් 2:8–3:4, 7-9, NW කියවන්න.

7 එම දර්ශනයේ අපටත් වැදගත් පාඩමක් අඩංගුයි. අප ප්‍රකාශ කරන දෙවිගේ ප්‍රබල පණිවිඩයට බොහෝදෙනා එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. එවන් තත්වයන් යටතේ දෙවි දී ඇති පැවරුම නිර්භීතයෙන් ඉෂ්ට කිරීමට සහ එය මහත් වරප්‍රසාදයක් ලෙස සැලකීමට නම් අප නොකඩවා දෙවිගේ වචනයෙන් පෝෂණය විය යුතුයි. නිකම් උඩින් පල්ලෙන් හෝ ඉඳහිට බයිබලය කියවීම මගින් දෙවිගේ වචනය සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න අපට බැහැ. එමනිසා බයිබලය පෞද්ගලිකව කියවීම හා අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් ඔබට තවත් දියුණු විය හැකිද? ඔබ බයිබලයෙන් කියවන දේ ගැන නිතරම ගැඹුරින් කල්පනා කරනවාද?—ගීතා. 1:2, 3.

සාකච්ඡාවකට මුලපිරීම

8. බයිබල් පාඩමක් ආරම්භ කිරීමට සමහර ප්‍රචාරකයන් යොදාගන්නා ක්‍රමය කුමක්ද?

8 ගෙයින් ගෙට සේවයේදී බොහෝ ප්‍රචාරකයන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ නිවැසියාට මුලින්ම පවසන්නේ කුමක්ද යන්නයි. සමහර ප්‍රදේශවල නිවැසියන් සමඟ සාකච්ඡාවක් ආරම්භ කිරීම එතරම් ලෙහෙසි දෙයක් නොවිය හැකියි. ඒ කෙසේවෙතත් සමහර ප්‍රචාරකයන්ට පහත සඳහන් ක්‍රම දේශනා කිරීම පහසු කර තිබෙනවා. කලින් සූදානම් වූ කෙටි හැඳින්වීමක් සමඟින් ඔවුන් සාකච්ඡාව ආරම්භ කරනවා. පසුව නිවැසියා අතට පත්‍රිකාවක් ලබා දෙනවා. එහි සඳහන් මාතෘකාව සහ අලංකාර පින්තූර ගෙවැසියාගේ අවධානයට යොමු විය හැකි නිසා තමන් පැමිණි හේතුව පහදා දෙන්නත් ඊට අදාළ ප්‍රශ්නයක් අසන්නත් අවස්ථාව ලැබෙනවා. සමහරු තවත් ක්‍රමයක් යොදාගන්නවා. එනම් විවිධ පත්‍රිකා තුනක් හෝ හතරක් නිවැසියාට පෙන්වා කැමති එකක් තෝරාගන්න කියා පවසනවා. මෙහිදී අපගේ අරමුණ වන්නේ පත්‍රිකා බෙදාහැරීම නොවෙයි. ඒ වෙනුවට පත්‍රිකාවක් මාර්ගයෙන් සාකච්ඡාවක් ආරම්භ කර එය බයිබල් පාඩමක් බවට පත් කිරීමයි.

9. හොඳින් සූදානම් වීම වැදගත් ඇයි?

9 ඔබ යොදාගන්නා යෝජනාව කුමක් වුණත් ඒ සඳහා හොඳින් සූදානම් වීම ගෙයින් ගෙට සේවයේ උද්‍යෝගයෙන් හවුල් වීමට උපකාරවත් වෙනවා. ඒ ගැන පුරෝගාමි සහෝදරයෙක් පවසන දේ බලන්න. “මම කියන්න යන දේ ගැන හොඳින් සූදානම් වෙලා ගියොත් හමු වන අයට වඩාත් හොඳින් කතා කරන්න මාව පෙලඹෙනවා. ඒකෙන් මම ලොකු සතුටක් ලබනවා.” තවත් පුරෝගාමියෙක් කියන්නේ “මගේ ළඟ තියෙන පොත් පත්වල ඇති තොරතුරු ගැන හොඳ අවබෝධයක් මට තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්නත් මම ගොඩාක් උනන්දු වෙනවා.” මෙසේ අප පවසන්න යන දේ ගැන කල්පනා කිරීමෙන් යම් ප්‍රයෝජන තිබෙනවා වුණත් ඒවා ශබ්ද නඟා පෙරහුරු කිරීමෙන් ඊටත් වඩා ප්‍රයෝජන තිබෙන බව බොහෝදෙනාගේ අද්දැකීමයි. එසේ කිරීමෙන් සාර්ථකව ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අපට හැකිකම ලැබෙනවා.—කොලො. 3:23; 2 තිමෝ. 2:15.

10. දේවසේවයේ යෑමට පෙර පවත්වන රැස්වීම, ප්‍රයෝජන ගත හැකි ආකාරයෙන් පවත්වන්නේ කෙසේද?

10 දේවසේවයේ යෑමට පෙර පවත්වන රැස්වීම්වලින්ද දක්ෂ ලෙස ශුභාරංචිය ප්‍රකාශ කිරීමටත් ඉන් ප්‍රීතිය ලැබීමටත් උපකාර ලැබෙනවා. එදිනට නියමිත දිනපදය දේවසේවයට අදාළ නම් එය කියවා කෙටියෙන් සාකච්ඡා කළ හැකියි. කෙසේනමුත් එය පවත්වන සහෝදරයා ශුභාරංචිය ඉදිරිපත් කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට හෝ ප්‍රදේශයට අදාළ සරල ඉදිරිපත් කිරීමක් නිරූපණය කිරීමට කාලය ගත යුතුයි. එමෙන්ම ප්‍රදේශයට අදාළ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරුද සාකච්ඡා කළ හැකියි. එමගින් කදිම සාක්ෂියක් දැරීමට එදින සේවයේ යෙදෙන සියල්ලන්ටම හොඳ පුහුණුවක් ලැබෙයි. මෙම රැස්වීම මෙහෙයවන්නේ වැඩිමහල්ලෙක් වුණත් වෙනත් කෙනෙක් වුණත් ඊට හොඳින් සූදානම් වීම මගින් බොහෝ ප්‍රතිඵල අත් කරගත හැකියි. එමෙන්ම මෙය නියමිත වේලාවට අවසන් කිරීමද සුදුසුයි.—රෝම 12:8.

ඇහුම්කන් දීමේ වටිනාකම

11, 12. අන් අයට උනන්දුවෙන් ඇහුම්කන් දීමේ ඇති වැදගත්කම කුමක්ද? උදාහරණයක් දෙන්න.

11 හොඳ සූදානමකට අමතරව නිවැසියා කෙරෙහි අවංක උනන්දුවක් පෙන්වීමද වැදගත්. එමගින් ජනයාගේ හදවතට කාවදින ආකාරයෙන් කතා කර සාකච්ඡාවක් ආරම්භ කිරීමට හැකි වෙනවා. පෞද්ගලික උනන්දුව පෙන්විය හැකි ක්‍රමයක් නම් හොඳින් සවන් දීමයි. සංචාරක අවේක්ෂකයෙක් වරක් මෙසේ පැවසුවා. ‘බොහෝම ඉවසිලිවන්තව මෙන්ම ඔවුන් පවසන දෙයට ඕනෑකමින් ඇහුම්කන් දීම මගින් අපගේ පණිවිඩය වෙතට ඔවුන්ගේ අවධානය ඇදගැනීමට අපට පුළුවන්. ඒ වගේම අප ඔවුන් කෙරෙහි පෞද්ගලික සැලකිල්ලක් දක්වන බවත් ඉන් ඔවුන් තේරුම්ගන්නවා.’ ඒ ගැන එක් උදාහරණයක් බලන්න.

12 මාස තුනක් වයසැති තම සිඟිති දියණියගේ මරණයෙන් දැඩි කම්පනයට පත් එක් මවක්, තම නිවසට පැමිණි අමුත්තන් දෙදෙනෙක් ගැන ලියූ ලිපියක් පුවත්පතක මෙසේ පළ වුණා. “ඒගොල්ලන්ව දැක්ක ගමන් මම දැනගත්තා ඒ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා. මම හිතාගෙන හිටියේ ඒගොල්ලන්ට යන්න කියන්නයි. ඒත් දුක් වේදනාවලට දෙවි ඉඩහරින්නේ ඇයි කියා සඳහන් වුණු විවරණිකාවක් එයාලා ළඟ තියෙනවා මම දැක්කා. ඉතින් මම එයාලට ඇතුළට එන්න කිව්වා. හැබැයි මම හිතාගෙන හිටියේ ඒගොල්ලන් කියන දේ බොරු බව ඔප්පු කරන්නයි. කොහොමනමුත් අපේ සාකච්ඡාවට පැයකට වඩා ගත වුණා. ඔවුන් මට ඇහුම්කන් දුන් විදිහ මට තාම මතකයි. ඊටපස්සේ මට දැනුණේ ලොකු සහනයක්. මම එයාලට ආයේ එන්න කියලත් කිව්වා.” (රෝම 12:15) පසුව මෙම කාන්තාව බයිබල් පාඩමක් කරන්න කැමති වුණා. එම අද්දැකීමෙන් අප ඉගෙනගන්නේ කුමක්ද? ඇයට මතක තිබුණේ අපගේ සහෝදරිය ඇයගේ නිවසට පැමිණි පළමු වතාවේදී පැවසූ දේවල් නොවේ. ඔවුන් ඇයට ඇහුම්කන් දුන් ආකාරයයි.

13. එක් එක් පුද්ගලයාගේ තත්වයට අනුව ශුභාරංචිය ඉදිරිපත් කරන ක්‍රමය සකස් කරගැනීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

13 නිවැසියන් ඔවුන්ගේ දුක් කම්කටොලු ගැන පවසද්දී අප ඊට සාවධානව ඇහුම්කන් දෙනවා නම් දේවරාජ්‍යය මගින් ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු විසඳන බව පෙන්වා දෙන්න හොඳ අවස්ථාවක් අපට ලැබෙනවා. ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි සාර්ථකත්වයක් ලබා ඇති බොහෝදෙනාගේ කැපී පෙනෙන දෙයක් වන්නේ හොඳින් ඇහුම්කන් දීමයි. (හිතෝ. 20:5) දේවසේවයේදී ඔවුන්ට හමු වන ජනයා ගැන ඔවුන් සැබෑ උනන්දුවක් පෙන්වනවා. ඒ ඔවුන්ගේ නම සහ ලිපිනය පමණක් නොව ඔවුන් උනන්දුව දක්වන දේවල්ද සටහන් කරගැනීමෙනුයි. යම් පුද්ගලයෙක් උනන්දුව දක්වන නිශ්චිත දෙයක් ගැන ඔවුන් දැනගත් විට ඒ ගැන තවත් තොරතුරු සොයා ඒ පුද්ගලයා සමඟ ඒවා බෙදාගන්නවා. එමෙන්ම ඔවුන් පාවුල්ව ආදර්ශයට ගනිමින් එක් එක් පුද්ගලයාගේ තත්වයට අනුව ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් සකස් කරගන්නවා. (1 කොරින්ති 9:19-23 කියවන්න.) එවන් අවංක උත්සාහයන් මගින් ජනයාව ශුභාරංචිය වෙතට ඇදගන්නා අතර එමගින් පිළිබිඹු වන්නේ ‘අපේ දෙවිගේ ගැඹුරු දයානුකම්පාවයි.’—ලූක් 1:78.

නිසි ආකල්පයක් ඇතුව සිටින්න

14. ශුභාරංචිය දේශනා කිරීමේදී දෙවිව අනුකරණය කළ හැක්කේ කෙසේද?

14 තීරණ ගැනීමේ නිදහස අපට ලබා දීමෙන් දෙවි අප කෙරෙහි ගෞරවය පෙන්වා තිබෙනවා. ඔහු සියලු බලැති දෙවි වුණත් තමාට සේවය කරන්න කියා කිසිවෙකුට බල කරන්නේ නැහැ. නමුත් මිනිසුන් තමන් කෙරෙහි ප්‍රේමයෙන් පෙලඹී තමන්ට සේවය කරනවා දැකීම දෙවිගේ ආශාවයි. එවැනි අයට ඔහු ආශීර්වාද කරනවා. (රෝම 2:4) අපත් දෙවිව අනුකරණය කරන්නන් හැටියට ශුභාරංචිය පිළිගන්න කියා මිනිසුන්ට ආරාධනා කරනවා මිස බල කරන්නේ නැහැ. (2 කොරි. 5:20, 21; 6:3-6) එසේ කිරීමට නම් අපගේ ප්‍රදේශයේ සිටින ජනයා කෙරෙහි නිසි ආකල්පයක් අපට තිබිය යුතුයි. ඒ ගැන දැන් අපි සලකා බලමු.

15. (අ) කෙනෙක් ශුභාරංචියට ඇහුම්කන් නොදුන්නොත් යේසුස් පැවසුවේ කුමක් කළ යුතු බවද? (ආ) සුදුස්සන් සෙවීම සඳහා අපට තබාගත හැකි ඉලක්ක මොනවාද?

15 යමෙක් ශුභාරංචිය ප්‍රතික්ෂේප කළොත් ඒ ගැන ඕනෑවට වඩා කනස්සලු නොවන්න කියාද ඒ වෙනුවට සුදුස්සන් සොයන්න කියාද යේසුස් පැවසුවා. (මතෙව් 10:11-15 කියවන්න.) ඒ සඳහා නිසි ආකල්පයක් තබාගැනීම සහ දේවසේවයේදී අත් කරගත හැකි සාධාරණ ඉලක්ක තබාගැනීමද අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් එක් සහෝදරයෙකුගේ ආකල්පය බලන්න. ඔහු තමාව සමාන කරන්නේ පොළොවේ අනර්ඝ දේවල් සෙවීම සඳහා කැණීම් කරන කෙනෙකුටයි. හැම දවසකම ඔහු දේවසේවයේ යන්නේ අඩු තරමින් ශුභාරංචියට උනන්දුව දක්වන එක්කෙනෙක්වත් හමු වෙයි යන බලාපොරොත්තුවෙනුයි. තවත් සහෝදරයෙකුගේ ඉලක්කය වන්නේ සෑම සතියකදීම ශුභාරංචියට උනන්දුව දක්වන එක්කෙනෙකුව හෝ සොයාගැනීමයි. ඒ වගේම ඒ තැනැත්තාගේ උනන්දුව අඩුවීමට පෙර දවස් කිහිපයක් ඇතුළත ඔහුව නැවත ගොස් බැලීමයි. හැකි නම් සෑම නිවසකදීම හමු වන අයට අඩුම තරමින් එක බයිබල් පදයක්වත් පෙන්වීම සමහර ප්‍රචාරකයන්ගේ ඉලක්කයයි. ඔබට තබාගත හැක්කේ මොන වගේ ඉලක්කද?

16. දිගටම ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අපට තිබෙන හේතු මොනවාද?

16 දේවසේවය මගින් අවංක හදවත් ඇති අයට ගැලවීම ලැබීමේ මාර්ගය විවෘත වන බව සත්‍යයක්. එහෙත් ගෙයින් ගෙට දේවසේවයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ජනයා ශුභාරංචියට දක්වන යහපත් ප්‍රතිචාරය මත පමණක්ම නොවෙයි. ඉන් ඊටත් වඩා වැදගත් අරමුණු කිහිපයක් ඉෂ්ට වෙනවා. දෙවි කෙරෙහි ඇති අපගේ ප්‍රේමය ඉන් පිළිබිඹු වෙනවා. (1 යොහ. 5:3) එමෙන්ම මිනිසුන්ගේ ජීවිත ගැන අපට ඇති වගකීම ඉටු කරන්නත් හැකි වෙනවා. (ක්‍රියා 20:26, 27) දෙවිගේ ‘විනිශ්චයේ පැය පැමිණ තිබෙනවා’ කියා අනතුරු අඟවන්නත් ඉන් අපට අවස්ථාව ලැබෙනවා. (එළි. 14:6, 7) ඒ සියල්ලට ඉහළින් මුළු පොළොව පුරාම දෙවිගේ නාමයට ප්‍රශංසාව ගෙන දීමටද අවස්ථාව ලැබෙනවා. (ගීතා. 113:3) එමනිසා මිනිසුන් ඇහුම්කන් දුන්නත් නැතත් අපි ශුභාරංචිය ප්‍රකාශ කරමු. ඒ සඳහා අප ගන්නා වූ ඕනෑම වෑයමක් යෙහෝවා දෙවි ඉදිරියේ ඉතා අනර්ඝයි.—රෝම 10:13-15.

17. ඉතා ඉක්මනින් බොහෝදෙනාට පිළිගැනීමට සිදු වන්නේ කුමක්ද?

17 අප ගෙන යන ශුභාරංචිය බොහෝදෙනා ප්‍රතික්ෂේප කළත් එහි ඇති බරපතළකම ඔවුන් ඉතා ඉක්මනින්ම තේරුම්ගනියි. (මතෙ. 24:37-39) ඒ බව එසකියෙල්ගේ සිද්ධියෙන් පැහැදිලියි. ඔහු ප්‍රකාශ කළ විනිශ්චයන් එලෙසම ඉටු වන බව සහ ‘සැබෑ අනාගතවක්තෘවරයෙකු ඔවුන් අතර සිටි බවත් ඔවුන් අනිවාර්යයෙන්ම දැනගන්නවා ඇත’ කියා දෙවි එසකියෙල්ට පැවසුවා. (එස. 2:5NW) ඒ හා සමානව දෙවි මේ දුෂ්ට සමාජයට එරෙහිව විනිශ්චය ගෙනෙනවා. එවිට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රසිද්ධ ස්ථානවල සහ ගෙයින් ගෙට ශුභාරංචිය ප්‍රකාශ කළ බවත් එය යෙහෝවා දෙවිගේ පණිවිඩයක් බවත් සාක්ෂිකරුවන් දෙවිගේ නියෝජිතයන් බවත් එය ප්‍රතික්ෂේප කළ අයට අකමැත්තෙන් හෝ පිළිගන්නට සිදු වෙනවාමයි. මෙම වැදගත් කාල පරිච්ඡේදයේ ජීවත් වන අපට දෙවිගේ නාමය දරන සෙනඟක් හැටියටත් ඔහුගේ පණිවිඩය ප්‍රකාශ කරන්නන් හැටියටත් ලැබී තිබෙන්නේ මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! එමනිසා ඔහුගේ උපකාරය ඇතිව ගෙයින් ගෙට දේවසේවයේදී අපිට පැමිණෙන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමු.

ඔබට විස්තර කළ හැකිද?

• ශුභාරංචිය ප්‍රකාශ කිරීමට නිර්භීතකම වඩවාගන්නේ කෙසේද?

• ගෙයින් ගෙට දේවසේවයේදී සාකච්ඡාවක් ආරම්භ කිරීමට උපකාරවත් වන යෝජනා මොනවාද?

• අපට අන් අය කෙරෙහි සැබෑ උනන්දුවක් පෙන්විය හැක්කේ කෙසේද?

• අපගේ ප්‍රදේශයේ ජනයා කෙරෙහි නිසි ආකල්පයක් ඇතිව සිටීමට අපට උපකාර කරන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූරය/කොටුව]

සාකච්ඡාවකට මුලපිරීමට ක්‍රමයක්

මෙසේ අරඹන්න:

▪ නිවැසියාට ආචාර කිරීමෙන් පසු ඔහුට පත්‍රිකාවක් දී මෙසේ පැවසිය හැකියි. “අපි අද ඔයාව හම්බ වෙන්න ආවේ මේ පත්‍රිකාවේ තියෙන වැදගත් අදහසක් ඔයත් එක්ක බෙදාගන්නයි.”

▪ එසේත් නැත්නම් පත්‍රිකාවක් නිවැසියා අතට දී මෙසේ පැවසිය හැකියි. “මම ඔයාව හම්බ වෙන්න ආවේ ඔයා මේ ගැන හිතන්නේ මොනවාද කියලා දැනගන්නයි.”

නිවැසියා උනන්දුව දක්වයි නම්:

▪ එම පත්‍රිකාවට සම්බන්ධ සරල ප්‍රශ්නයක් ඔහුගෙන් අසන්න.

▪ නිවැසියා දරන මතය තේරුම්ගැනීමට ඔහු පවසන දේට හොඳින් ඇහුම්කන් දෙන්න. ඔහුගේ අදහස්වලට ස්තුති කර ඔබගේ සාකච්ඡාවට එම අදහස් යොදාගන්න.

සාකච්ඡාව දිගටම කරගෙන යෑමට නම්:

▪ බයිබල් පදයක් හෝ දෙකක් කියවා එහි අදහස් සාකච්ඡා කරන්න. එමෙන්ම ඔහුගේ උනන්දුවට හා තත්වයට අනුව ඔබගේ ඉදිරිපත් කිරීම සකස් කරගන්න.

▪ ඔහු දිගටම උනන්දුවක් දක්වයි නම් සුදුසු ප්‍රකාශනයක් ඉදිරිපත් කර බයිබල් පාඩමක් සඳහා ආරාධනා කරන්න. නැවත හමුවීමටද සැලසුම් යොදන්න.