Skip to content

පටුනට යන්න

පුදුමාකාර වර්ධනයක්!

පුදුමාකාර වර්ධනයක්!

පුදුමාකාර වර්ධනයක්!

“උදෑසන ඔබේ බීජ වපුරන්න. සවස් වන තුරු විවේක නොගන්න. මන්ද, ඒවා කොතැන පැළ වේදැයි ඔබ නොදන්නෙහිය.”—දේශ. 11:6, නව ලොව පරිවර්තනය, NW.

1. බීජයක් වර්ධනය වන ආකාරය පුදුමසහගත වන්නේ ඇයි? එමෙන්ම අප නිහතමානීව පිළිගත යුත්තේ කුමක්ද?

ගොවියෙක් බීජ වැපිරීමෙන් පසුව ඒවා පැළ වී වර්ධනය වන තෙක් ඉවසීමෙන් බලා සිටිනවා. (යාකො. 5:7) ක්‍රමානුකූලව කුඩා පැළ පොළොවෙන් මතු වෙන්න පටන්ගන්නවා. ඊළඟට එම පැළ හොඳින් වැඩී පල හටගන්නවා. දැන් ගොවියාට අස්වැන්න නෙළීම සඳහා කාලය උදා වෙලා. කුඩා බීජයක සිට පල ඇති ගසක් දක්වා සිදු වන වර්ධනය අපට පෙනෙන්නේ නැහැ. එය මොන තරම් පුදුමාකාර ක්‍රියාවලියක්ද! බීජ වපුරා අවශ්‍ය පෝෂණය හා ජලය සපයන්න අපට හැකි බව ඇත්තයි. නමුත් එය වර්ධනය වීමට සලස්වන්නේ යෙහෝවා දෙවි බව අප නිහතමානීව පිළිගත යුතුයි.—1 කොරින්ති 3:6 බලන්න.

2. පුද්ගලයෙක් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් වර්ධනය කරගන්නා ආකාරය ගැන කලින් ලිපියේ උපමාවලින් අප ඉගෙනගත්තේ කුමක්ද?

2 දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය ප්‍රකාශ කිරීම බීජ වැපිරීමකට සමාන බව අපි කලින් ලිපියෙන් ඉගෙනගත්තා. ඉන් යේසුස් කාවැද්දුවේ දෙවිගේ සේවකයන් ජනයාට ශුභාරංචිය දේශනා කළත් යේසුස්ගේ ගෝලයෙක් බවට පත් වෙනවාද නැද්ද කියා තීරණය කරන්නේ ඊට ඇහුම්කන් දෙන පුද්ගලයා බවයි. (මාක් 4:3-9) තවත් උපමාවකදී රාත්‍රියේ නින්දට යන ගොවියෙක් ගැන යේසුස් පැවසුවා. ඉන් ඔහු අවධාරණය කළේ පුද්ගලයෙක් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් වර්ධනය කරගන්නේ කෙසේද කියා අපට සම්පූර්ණයෙන්ම තේරුම්ගත නොහැකි බවයි. ඊට හේතුව නම් එම වර්ධනය සිදුවීමට සලස්වන්නේ දෙවි නිසයි. (මාක් 4:26-29) දැන් අපි යේසුස් පැවසූ තවත් උපමා තුනක් සලකා බලමු. ඒවා නම් අබ ඇටය, මුහුන් සහ මාළු දැල පිළිබඳ උපමායි. *

අබ ඇටය පිළිබඳ උපමාව

3, 4. අබ ඇටය පිළිබඳ උපමාවෙන් අවධාරණය කරන වැදගත් කරුණු මොනවාද?

3 අබ ඇටය පිළිබඳ උපමාවද මාක් හතරවෙනි පරිච්ඡේදයේ සඳහන් වන අතර ඉන් වැදගත් කරුණු දෙකක් අවධාරණය කරනවා. පළමුවැන්න නම් දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය පිළිගන්නා ජනයාගේ විශාල වර්ධනයයි. දෙවැන්න නම් එය පිළිගන්නා අයට ලැබෙන ආරක්ෂාවයි. දැන් අපි එම උපමාවට අවධානය දෙමු. “අපි දෙවිගේ රාජ්‍යය කුමකට සමාන කරමුද? නැත්නම් අපි එය කිනම් උපමාවකින් විස්තර කර දක්වමුද? එය අබ ඇටයකට සමානය. එය පොළොවෙහි වපුරන කල පොළොවෙහි තිබෙන සියලුම බීජවලට වඩා කුඩා වුවත් වැපුරූ පසු, එය වැඩී සියලුම පලා ගස්වලට වඩා විශාල වී, අහසේ කුරුල්ලන්ට එහි සෙවණෙහි ලැඟුම් ගැනීමට හැකි වන තරම් මහත් අතු හටගන්නේය.”—මාක් 4:30-32.

4 අබ ඇටයක් ඉතා කුඩා නිසා ඉතාමත් කුඩා දෙයක් විස්තර කිරීමට එය යොදාගත හැකියි. (ලූක් 17:6 බලන්න.) නමුත් සාමාන්‍ය අබ ගසක් අඩි 10 සිට 15 දක්වා උසට වර්ධනය විය හැකි අතර එහි අතුද ශක්තිමත්. ඒ නිසා එය යම් දුරකට ගසකට සමාන කළ හැකියි. (මතෙ. 13:31, 32.) යේසුස් අබ ඇටය යොදාගත්තේ කුඩාවට තිබූ නමුත් විශාල වර්ධනයක් ඇති වන දෙයක් විස්තර කිරීමටයි. එය නම් ‘දෙවිගේ රාජ්‍යයට’ පක්ෂපාත අයගේ සීඝ්‍ර වර්ධනය විස්තර කිරීම සඳහායි. එය දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය ව්‍යාප්ත වී තිබෙන ආකාරයෙන් සහ ක්‍රිස්තු වර්ෂ 33 සිට ක්‍රිස්තියානි සභාවේ වර්ධනය මගින් පැහැදිලි වෙනවා.

5. මුල් ක්‍රිස්තියානි සභාව අද්දුටු වර්ධනය කුමක්ද?

5 ක්‍රිස්තු වර්ෂ 33දී ආරම්භ වූ මුල් ක්‍රිස්තියානි සභාවට අයත් වුණේ 120ක් තරම් කුඩා සංඛ්‍යාවක් පමණයි. දෙවි ඔවුන්ට තම බලය ලබා දුන්නා. කෙටි කාලයක් තුළ එම කුඩා සභාව ඇදහිලිවන්තයන් දහස් ගණනක් දක්වා වර්ධනය වුණා. (ක්‍රියා 2:41; 4:4; 5:28; 6:7; 12:24; 19:20 කියවන්න.) අවුරුදු 30ක කාලයක් ඇතුළත ශුභාරංචිය දේශනා කරන්නන්ගේ ප්‍රමාණය කොතරම් වර්ධනය වුණාද කියනවා නම් එය ‘අහසින් යට මුළු මැවිල්ලෙහිම දේශනා කළා’ කියා පැවසීමට පාවුල්ට හැකි වුණා. (කොලො. 1:23) එය මොන තරම් පුදුම දනවන වර්ධනයක්ද!

6, 7. (අ) වර්ෂ 1914 සිට සිදු වී ඇති වර්ධනය කුමක්ද? (ආ) ඉදිරියෙදී සිදුවීමට නියමිතව ඇත්තේ කුමක්ද?

6 උපමාවේ සඳහන් අබ ගසේ අතු විශාල ලෙස වර්ධනය වුණා හා සමානව 1914දී පිහිටෙවූ දේවරාජ්‍යයට පක්ෂ අය ගණනින් වර්ධනය වුණේ පුදුමාකාර ලෙසයි. එම වර්ධනය ගැන යෙසායා පැවසූ මෙම වචන අද දින සැබෑවක් වී තිබෙනවා. එනම් “කුඩා තැනැත්තා දහසක්ද සුළු අය බලවත් ජාතියක්ද වෙයි. යෙහෝවා දෙවි වන මම නියම කාලයට එය වේගවත් කරන්නෙමි.” (යෙසා. 60:22NW) මෙතරම් වර්ධනයක් සිදු වෙයි කියා විසිවන සියවසේ මුල්භාගයේ සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානීන් පවා බලාපොරොත්තු වුණේ නැහැ. වර්ෂ 2008 වන විට රටවල් 230ක සාක්ෂිකරුවන් මිලියන හතක් දක්වා වර්ධනය වී තිබෙනවා. මොන තරම් වර්ධනයක්ද! මෙය යේසුස්ගේ උපමාවේ සඳහන් අබ ඇටයේ වර්ධනයට සමානයි.

7 එම වර්ධනය එතැනින් අවසන් වෙනවාද? නැහැ. ඉදිරියේදී දෙවිට නමස්කාර කරන අයගෙන් මේ මුළු පොළොවම පිරී යනවා. එදාට දේවරාජ්‍යයට විරුද්ධ වන කිසිවෙක් පොළොව මත සිටින්නේ නැහැ. එය කළ හැක්කේ කිසි මිනිසෙකුට නොව නමුත් සියල්ල පාලනය කිරීමට අයිතිය ඇති දෙවිට පමණයි. (දානියෙල් 2:34, 35 කියවන්න.) තවදුරටත් යෙසායා සඳහන් කළ මෙම අනාවැකියද ඉදිරියේදී ඉටුවීමට නියමිතයි. “මුහුද වතුරෙන් පිරී තිබෙන්නාක් මෙන්, යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙයි.”—යෙසා. 11:9NW.

8. (අ) අබ ඇටයේ උපමාවේ සඳහන් කුරුල්ලන්ගෙන් නියෝජනය කරන්නේ කාවද? (ආ) එවැනි අයට දැන් පවා ආරක්ෂාව ලැබෙන්නේ කුමකින්ද?

8 උපමාවේ සඳහන් අබ ගසේ අතු මත ලැඟුම් ගන්න කුරුල්ලන්ට හැකි බවත් යේසුස් පැවසුවා. මෙම කුරුල්ලන්ගෙන් නියෝජනය කරන්නේ වපුරන්නාගේ උපමාවේ බීජ කා දැමූ කුරුල්ලන් හෙවත් දේවරාජ්‍යයට විරුද්ධ වන අයව නොවෙයි. (මාක් 4:4) නමුත් ඒ වෙනුවට මෙම කුරුල්ලන්ගෙන් නියෝජනය වන්නේ යෙහෝවා දෙවි විසින් පිළිගන්නා අයවයි. ඔවුන් ක්‍රිස්තියානි සභාව තුළට පැමිණ ආරක්ෂාව පතනවා. එවිට දෙවි සමඟ ඇති ඔවුන්ගේ මිත්‍රත්වය විනාශ කරන මේ ලෝකයේ දූෂිත ක්‍රියාවලින් දැන් පවා ඔවුන්ට ආරක්ෂාව ලැබෙනවා. (යෙසායා 32:1, 2 බලන්න.) බයිබලයේ තවත් තැනක දේවරාජ්‍යය ගසකට සමාන කරමින් මෙසේ පවසනවා. “එය ඊශ්‍රායෙල්හි පිහිටි උස් කන්දක සිටුවන්නෙමි. එයද අතු පතර විහිදී ගිය බොහෝ පල දරන දැවැන්ත දේවදාර ගසක් බවට පත් වන්නේය. ඒ ගසේ සියලු ආකාර කුරුල්ලන් වාසය කරනු ඇත. උන් එහි අතුවල සෙවණෙහි ලගිනු ඇත.”—එස. 17:23NW.

මුහුන් පිළිබඳ උපමාව

9, 10. (අ) මුහුන් පිළිබඳ උපමාවෙන් යේසුස් පැහැදිලි කළ වැදගත් කරුණ කුමක්ද? (ආ) බයිබලයේ බොහෝවිට මුහුන්වලින් නියෝජනය කර තිබෙන්නේ කුමක්ද? එමෙන්ම මුහුන් සම්බන්ධයෙන් අපි සලකා බලන ප්‍රශ්න මොනවාද?

9 පුද්ගලයෙක් හා දෙවි අතර මිත්‍රත්වයක් වර්ධනය වන ආකාරය අපට සම්පූර්ණයෙන්ම තේරුම්ගත නොහැකියි යන වැදගත් කරුණ පැහැදිලි කිරීමට යේසුස් තවත් උපමාවක් යොදාගත්තා. එය මෙසේයි. “ස්ත්‍රියක් විසින් විශාල මිනුම් තුනක පිටි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම පිපෙන තුරු එය තුළට දමන ලද මුහුන්වලට ස්වර්ග රාජ්‍යය සමානය.” (මතෙ. 13:33) මෙහි මුහුන්වලින් නියෝජනය කරන්නේ කුමක්ද? එය දේවරාජ්‍යයට පක්ෂපාත අයගේ වර්ධනයට සම්බන්ධ වන්නේ කෙසේද?

10 බයිබලයේ බොහෝවිට පව්කාර ස්වභාවය නියෝජනය කිරීමට මුහුන් යොදාගෙන තිබෙනවා. කොරින්ති සභාවේ සිටි දූෂිත බලපෑමක් එල්ල කළ පුද්ගලයා ගැන සඳහන් කරද්දී පාවුල්ද මුහුන් ගැන කතා කළා. (1 කොරි. 5:6-8) නමුත් මෙම උපමාවේදී යේසුස් මුහුන් ගැන සඳහන් කිරීමෙන් අදහස් කළේ කුමක්ද?

11. පුරාණ ඊශ්‍රායෙල් කාලයේදී මුහුන් භාවිත කළේ කුමකටද?

11 එම ප්‍රශ්නයට පිළිතුරු දැනගැනීම සඳහා ඒ හා සම්බන්ධ කාරණා තුනක් අවබෝධ කරගැනීම වැදගත්. පළමුවැන්න නම්, පාස්කු උත්සවය සඳහා පිදූ රොටිවලට මුහුන් භාවිත කරන්න එපා කියා දෙවි අණ කළත් වෙනත් අවස්ථාවලදී මුහුන් මිශ්‍ර කළ පූජාවන් දෙවි පිළිගත්තා යන කාරණයයි. හවුල් පූජා ලෙස හැඳින්වූ පූජා ඉදිරිපත් කරද්දී එම පූජාවට මුහුන් මිශ්‍ර කරන්න කියා දෙවි පැවසුවා. එම පූජාවට හවුල් වූ සියල්ලන් එය ප්‍රීතියෙන් භුක්ති වින්දා. ඉන් පැහැදිලි වුණේ යෙහෝවා දෙවි එම පූජාවට ප්‍රසන්න වූ බවයි.—ලෙවී. 7:11-15.

12. බයිබලයේ යම් දේවල් නියෝජනය කිරීමට යොදාගෙන ඇති සංකේත මගින් අප ඉගෙනගන්නේ කුමක්ද?

12 අප තේරුම්ගත යුතු දෙවැනි කරුණ නම්, බයිබලයේ එක් අවස්ථාවකදී යහපත් දෙයක් නියෝජනය කරන්න යොදාගත් යමක් තවත් අවස්ථාවකදී ඊට විරුද්ධ දෙයක් නියෝජනය කිරීමටද යොදාගෙන ඇති බවයි. උදාහරණයකට 1 පේතෘස් 5:8හි සාතන්ව සමාන කර තිබෙන්නේ සිංහයෙකුටයි. එනම් ඔහු මොන තරම් දරුණු, භයානක පුද්ගලයෙක්ද කියා පෙන්වීමටයි. නමුත් එළිදරව් 5:5හි යේසුස්ව සමාන කර තිබෙන්නේද සිංහයෙකුටයි. එහි ඔහුව හඳුන්වා තිබෙන්නේ “යූදා ගෝත්‍රයෙන් වූ සිංහයා” හැටියටයි. මේ අවස්ථාවේදී සිංහයාව යොදාගන්නේ යේසුස් ධෛර්යය සම්පන්න මෙන්ම යුක්තිය ඉටු කරන කෙනෙක් බව පැහැදිලි කරන්නයි.

13. උපමාවේ සඳහන් පිටි තුළට දැමූ මුහුන් මගින් යේසුස් අපට පැහැදිලි කර දෙන්නේ කුමක්ද?

13 තුන්වැන්න නම්, ස්ත්‍රිය පිටිවලට එක් කළ මුහුන් නිසා එම පිටි නරක් වන බවක් යේසුස් සඳහන් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු සඳහන් කළේ රොටි සෑදීම සඳහා භාවිත කරන සාමාන්‍ය ක්‍රමයක් ගැනයි. එම ස්ත්‍රිය ඕනෑකමින්ම පිටිවලට මුහුන් මිශ්‍ර කළ අතර ඉන් ලැබුණු ප්‍රතිඵලයද යහපත්. ඇය මුහුන් දැමුවේ පිටි තුළට බව සැලකිල්ලට ගන්න. එමනිසා පිටි පිඩට එක් කළ මුහුන් මගින් සිදු වන පිටි පිපීමේ ක්‍රියාවලිය එම ස්ත්‍රියට පෙනෙන්නේ නැහැ. මින් අපට මතක් කර දෙන්නේ බීජ වපුරා නින්දට ගිය මිනිසා ගැන යේසුස් පැවසූ දෙයයි. “බීජය පැළ වී වැඩෙන්නේය. එය කෙසේ වේදැයි ඔහු නොදනී.” (මාක් 4:27) පුද්ගලයෙක් ක්‍රමානුකූලව දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් වර්ධනය කරගන්නා ආකාරය අපට නොපෙනෙන බව පැහැදිලි කිරීමට යේසුස් යොදාගත්තේ මොන තරම් සරල උපමාවක්ද! එම වර්ධනය සිදු වන ආකාරය අපට නොපෙනුණත් පසුව එම පුද්ගලයාගේ ක්‍රියා මගින් අපට එය පැහැදිලිව දැකගත හැකියි.

14. මුහුන් පිළිබඳ උපමාවෙන් යේසුස් කාවැද්දූ තවත් පැත්තක් විස්තර කරන්න.

14 පුද්ගලයෙකු දෙවි සමඟ මිත්‍රත්වයක් වර්ධනය කරගන්නා ආකාරය අපගේ ඇසට පෙනෙන්නේ නැහැ. නමුත් ලොව පුරා බොහෝදෙනා තුළ එම වර්ධනය සිදු වෙමින් පවතිනවා. මුහුන් පිළිබඳ උපමාවෙන් යේසුස් කාවැද්දූ තවත් පැත්තක් වන්නේ එයයි. එනම් එම ස්ත්‍රිය දැමූ මුහුන්වලින් “විශාල මිනුම් තුනක පිටි ප්‍රමාණයක්” සම්පූර්ණයෙන්ම පිපුණා යන්නයි. (ලූක් 13:21) මුහුන් හා සමානව දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය ‘පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වා’ ප්‍රකාශ කරන නිසා බොහෝදෙනෙක් යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වී තිබෙනවා. (ක්‍රියා 1:8; මතෙ. 24:14) එම දැවැන්ත කාර්යයෙහි හවුල් වීමට ලැබීම අපට මොන තරම් වරප්‍රසාදයක්ද!

මාළු දැල පිළිබඳ උපමාව

15, 16. (අ) දැල පිළිබඳ උපමාව කෙටියෙන් විස්තර කරන්න. (ආ) දැලෙන් නියෝජනය කරන්නේ කුමක්ද? එම උපමාවෙන් ඔහු අවධාරණය කළ කරුණ කුමක්ද?

15 යේසුස් පැවසූ මාළු දැල පිළිබඳ උපමාවට දැන් අවධානය දෙමු. “මුහුදට හෙළා සෑම වර්ගයකම මසුන් අසු කරගන්නා දැලකට ස්වර්ග රාජ්‍යය සමානය.” (මතෙ. 13:47) එයින් ඔහු වැදගත් කරුණක් අවධාරණය කළා. එනම් වඩා වැදගත් වන්නේ ක්‍රිස්තියානි සභාවට පැමිණීමම පමණක් නොවෙයි. ඒ වෙනුවට රැස්වීම්වලට පැමිණ, ඔවුන් ඉගෙනගන්නා දේවල්වලට අනුව ක්‍රියා කර යේසුස්ගේ අනුගාමිකයන් බවට පත්වීමයි.

16 මෙම විවිධ වර්ගයේ මසුන් අසු වූ දැලෙන් නියෝජනය කළේ දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය ප්‍රකාශ කිරීමේ කාර්යයයි. ඒ ගැන යේසුස් පැවසූ දේ බලන්න. “ඒ දැල පිරුණු විට, මසුන් අල්ලන්නෝ එය වෙරළට ඇද්දෝය. ඉන්පසු ඔවුහු ඉඳගෙන, හොඳ මාළුන් භාජනවලට එකතු කරගත් නමුත් නුසුදුසු මාළුන් අහකට විසි කළහ. සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයේදීත් එසේම වන්නේය. දේවදූතයෝ නික්ම ඇවිත් ධර්මිෂ්ඨයන් අතරින් දුෂ්ටයන්ව වෙන් කර, ඔවුන්ව ගිනි උදුනට හෙළන්නෝය. එහිදී හැඬීමද දත්මිටි කෑමද වන්නේය.”—මතෙ. 13:48-50.

17. දැල පිළිබඳ උපමාවේ සඳහන් වෙන් කිරීම සිදු වන්නේ කුමන කාල පරිච්ඡේදයේදීද?

17 මෙම දැලේ මාළුන් වෙන් කිරීම ගැන කියද්දී ඉන් අදහස් කරන්නේ අවසන් විනිශ්චයේදී එළුවන්ගෙන් බැටළුවන් වෙන් කිරීමේ අවස්ථාවටද? නැහැ. (මතෙ. 25:31-33) එළුවන්ගෙන් බැටළුවන් වෙන් කිරීම සිදු වන්නේ මහත් පීඩාව අතරතුර යේසුස් තම අවසන් විනිශ්චය ක්‍රියාත්මක කිරීමට පටන්ගන්නා අවස්ථාවේදීයි. නමුත් දැල පිළිබඳ උපමාවේ සඳහන් වෙන් කිරීම සිදු වන්නේ මෙම දුෂ්ට “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය” අතරතුරයි. * අප දැන් ජීවත් වන්නේ එම කාලයේයි. මෙම සංකේතවත් මාළුන් වෙන් කිරීමේ කාර්යය අවසන් වන්නේ මහත් පීඩාවේ ආරම්භයත් සමඟයි. එය සිදු වන ආකාරය දැන් අපි සලකා බලමු.

18, 19. (අ) උපමාවේ සඳහන් ආකාරයට දැන් පවා යම් වෙන් කිරීමක් සිදු වන්නේ කෙසේද? (ආ) ක්‍රිස්තියානි සභාව සමඟ ඇසුරු කරමින් සිටින අය ගත යුතු වැදගත් පියවර කුමක්ද? (21වන පිටුවේ ඇති පාද සටහනද බලන්න.)

18 මනුෂ්‍යවර්ගයා නමැති මුහුදෙන් මිලියන ගණනක් මසුන් හෙවත් මිනිසුන් ක්‍රිස්තියානි සභාවට පැමිණෙමින් සිටිනවා. මේ අය අතරින් සමහරුන් යේසුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවයට සහභාගි වෙනවා. තවත් අය රැස්වීම්වලට පැමිණෙන අතර යෙහෝවා දෙවි ගැන තවදුරටත් ඉගෙනගැනීමටද කැමති වී තිබෙනවා. නමුත් ඔවුන් සැබෑ ක්‍රිස්තියානීන් බව ඉන් ඔප්පු වෙනවාද? ඊට පිළිතුරු යේසුස්ගේ උපමාවේ තිබෙනවා. සියලුම වර්ගයේ මාළුන් සහිත දැල ‘වෙරළට ඇද’ තිබුණත් භාජනවලට එනම් ක්‍රිස්තියානි සභාවට එකතු කරන්නේ “හොඳ මාළු” පමණයි යන කාරණය සැලකිල්ලට ගන්න. සංකේතාත්මක නුසුදුසු මාළුන් අහකට විසි කරන බව එනම් විනාශය සඳහා ඔවුන්ව වෙන් කර තබන බව යේසුස් පැවසුවා.

19 ක්‍රිස්තියානි සභාවට පැමිණෙමින් යෙහෝවා දෙවි ගැන ඉගෙනගනිමින් සිටි සමහරුන් එසේ කිරීම නතර කර තිබෙනවා. ඒ වගේම සමහර ක්‍රිස්තියානි දෙමව්පියන්ගේ දරුවන්ද යේසුස්ගේ ගෝලයෙකු වීමට ආශාවක් දක්වන්නේ නැහැ. කලක් දෙවිට සේවය කළ එවැනි දරුවන් පසුව එය නතර කර තිබෙනවා. ඒ ආකාරයෙන් සමහරුන් නුසුදුසු මාළුන් බව පෙන්වා තිබෙනවා. * (එස. 33:32, 33) එමනිසා දෙවි තම අවසන් විනිශ්චය ක්‍රියාත්මක කිරීමට පෙර දෙවිගේ අනුමැතිය ලබන්න කැමති සියල්ලන්ම වැදගත් පියවරක් ගත යුතුයි. උපමාවේ සඳහන් හොඳ මාළුන්ගේ ගණයට ඇතුළත් වීමට ඔවුන් ඉක්මනින් කටයුතු කළ යුතුයි. එනම් ක්‍රිස්තියානි සභාවේ ක්‍රියාශීලී සාමාජිකයන් මෙන් කටයුතු කිරීමයි. ඒ තුළින් ඔවුන්ට මහත් ආරක්ෂාවක් ලැබිය හැකියි.

20, 21. (අ) යේසුස් පැවසූ උපමාවලින් අප ඉගෙනගත්තේ මොනවාද? (ආ) ඔබගේ අධිෂ්ඨානය වන්නේ කුමක් කිරීමටද?

20 අප මෙතෙක් සලකා බැලූ උපමාවලින් ඉගෙනගත්තේ කුමක්ද? පළමුවැන්න නම් අබ ඇටය විශාල ගසක් දක්වා වර්ධනය වුණා හා සමානව දේවරාජ්‍යයට පක්ෂපාත අයගේ විශාල වර්ධනයක් ඇති වී තිබෙන බවයි. එමෙන්ම යෙහෝවා දෙවිගේ වැඩ කිසිවෙකුට නතර කිරීමටද බැරි බවයි! (යෙසා. 54:17) ඊට අමතරව දේවරාජ්‍යයට පක්ෂපාත වන අයට සාතන්ගේ දුෂ්ට ලෝකයේ බලපෑම්වලින් ආරක්ෂාව ලැබෙන බවද අප ඉගෙනගත්තා. දෙවැන්න නම්, වර්ධනය වීමට සලස්වන්නේ දෙවි බවයි. පිටි පිඩ තුළට දැමූ මුහුන් මගින් මුළු පිටි පිඩම පිපෙන ආකාරය අපට නොපෙනෙනවා හා සමානව පුද්ගලයෙකු දෙවි සමඟ මිත්‍රත්වයක් වර්ධනය කරගන්නා ආකාරයද අපගේ ඇසට පෙනෙන්නේ නැහැ. නමුත් එය ලොව පුරා සිදු වෙනවා. තුන්වැන්න නම්, දේවරාජ්‍යයේ පණිවිඩයට ප්‍රතිචාරය දක්වන සියල්ලන්ම එහි යටත්වැසියන් වීමට සුදුසුකම් ලබන්නේ නැති බවයි.

21 නමුත් මේ කාලයේදී දේවරාජ්‍යයේ යටත්වැසියන් වීමට සුදුසුකම් ඇති අය විශාල ප්‍රමාණයක් යෙහෝවා දෙවි විසින් ඇදගනිමින් සිටිනවා දැකීම මොන තරම් සතුටක්ද! (යොහ. 6:44) එය ලොව පුරාම ඉතාමත් පුදුමාකාර ලෙස සිදු වෙනවා. එම වර්ධනය සඳහා සියලු ගෞරවය හිමි විය යුත්තේ යෙහෝවා දෙවිටයි. එම පුදුමාකාර වර්ධනය දකින අප සියලුදෙනාම මෙම උපදෙස දිගටම ක්‍රියාත්මක කිරීමට අධිෂ්ඨානය කරගනිමු. ‘උදෑසන ඔබේ බීජ වපුරන්න. මන්ද, ඒවා කොතැන පැළ වේදැයි ඔබ නොදන්නෙහිය. ඒවා පැළ වන්නේ මෙතැනද එතැනද නැත්නම් ස්ථාන දෙකෙහිමද කියා ඔබ නොදන්නෙහිය.’—දේශ. 11:6NW.

[පාදසටහන්වල]

^ 2 ඡේ. මීට කලින් 1992 පළ වූ අතිරේක පාඩම් කලාපයේ (2-16 පිටු) සහ 1975 ඔක්තෝබර් 1 (589-608 පිටු) මුරටැඹ කලාපයේ (සිංහලෙන් නැත) මේ ගැන සඳහන් වී තිබුණත් මේ ලිපියේ එම තොරතුරුවල යම් නිවැරදි කිරීම් කර තිබෙනවා.

^ 17 ඡේ. දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය ප්‍රකාශ කිරීමේ වෙනත් පැත්තක් ගැන මතෙව් 13:39-43හි සඳහන් වුණත් මාළු දැල පිළිබඳ උපමාවේ සඳහන් ඉටුවීමත් මතෙව් 13:36-43හි ඉටුවීමත් සිදු වන්නේ එකම කාල පරිච්ඡේදයක් තුළයි. එනම් මෙම දුෂ්ට “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය” අතරතුරයි. උපමාවල සඳහන් බීජ වැපිරීම, අස්වැන්න නෙළාගැනීම වගේම මසුන් වෙන් කිරීමද සිදු වන්නේ මෙම කාල පරිච්ඡේදය අතරතුරයි.වර්ෂ 2000 ඔක්තෝබර් 15 මුරටැඹ සඟරාවේ 25-26 පිටු මෙන්ම එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න යන පොතේ 178-181 පිටුවල සඳහන් 8-11 ඡේද බලන්න.

^ 19 ඡේ. මින් අදහස් කරන්නේ වර්තමානයේ යෙහෝවා දෙවි ගැන ඉගෙනගැනීම නතර කර තිබෙන සියල්ලන්ම නුසුදුසු මාළුන්ගේ ගණයට හෙවත් විනාශයට නියමිතයි කියාද? නැහැ. ඔවුන්ගෙන් සමහරුන් නැවතත් යෙහෝවා දෙවි වෙත හැරී ඒමට කැමති නම් දෙවි එවැනි අයව පිළිගන්නවා.—මලා. 3:7.

ඔබට විස්තර කළ හැකිද?

• අබ ඇටයේ උපමාවෙන් දේවරාජ්‍යයට පක්ෂපාත අයගේ වර්ධනය ගැන සහ ඒ අයට ලැබෙන ආරක්ෂාව ගැන අප ඉගෙනගත්තේ කුමක්ද?

• උපමාවේ සඳහන් මුහුන්වලින් නියෝජනය කරන්නේ කුමක්ද? දේවරාජ්‍යයට පක්ෂපාත අයගේ වර්ධනය ගැන ඉන් යේසුස් කාවැද්දුවේ කුමක්ද?

• මාළු දැල පිළිබඳ උපමාවෙන් යේසුස් අවධාරණය කළ වැදගත් කරුණ කුමක්ද?

• උපමාවේ සඳහන් ‘භාජනවලට එකතු කළ හොඳ මාළුන්’ බවට පත් වෙන්න අපට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූර]

දේවරාජ්‍යයට පක්ෂපාත අයගේ වර්ධනය ගැන අබ ඇටයේ උපමාවෙන් අප ඉගෙනගත්තේ කුමක්ද?

[19වන පිටුවේ පින්තූරය]

මුහුන් පිළිබඳ උපමාවෙන් අප ඉගෙනගත්තේ කුමක්ද?

[21වන පිටුවේ පින්තූරය]

හොඳ මාළුන්ගෙන් නරක මාළුන් වෙන් කිරීමෙන් අදහස් කරන්නේ කුමක්ද?