Skip to content

පටුනට යන්න

‘වර්ධනය දෙන්නේ යෙහෝවා දෙවියි’

‘වර්ධනය දෙන්නේ යෙහෝවා දෙවියි’

‘වර්ධනය දෙන්නේ යෙහෝවා දෙවියි’

“වැදගත් වන්නේ පැළ කරන තැනැත්තාවත් වතුර දමන තැනැත්තාවත් නොව, එය වැඩීමට සලස්වන දෙවිය.”—1 කොරි. 3:7.

1. අප ‘දෙවි සමඟ හවුල් වැඩ කරන්නන්’ වන්නේ කෙසේද?

පාවුල් අපව හැඳින්වූයේ ‘දෙවි සමඟ හවුල් වැඩ කරන්නන්’ හැටියටයි. එය අපට මොන තරම් වරප්‍රසාදයක්ද! (1 කොරින්ති 3:5-9 කියවන්න.) පාවුල් එහි සඳහන් කළේ මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වීමට උපකාර කිරීමේ කාර්යය ගැනයි. එය බීජ වැපිරීමකට හා වතුර දැමීමකට ඔහු සමාන කළා. නමුත් ඔහු අවධාරණය කළේ ‘වර්ධනය වීමට සලස්වන්නේ දෙවි’ බවයි. එමනිසා එහි සාර්ථක වීමට නම් අපට දෙවිගේ උපකාර අත්‍යවශ්‍යයි.

2. ‘වර්ධනය වීමට සලස්වන්නේ දෙවි’ බව දැන සිටීම දේවසේවය ගැන නිසි ආකල්පයක් ඇතිව සිටීමට උපකාර කරන්නේ ඇයි?

2 වර්ධනය දෙන්නේ දෙවි බව දැන සිටීම අප කරන සේවය කෙරෙහි නිසි ආකල්පයක් ඇතිව සිටීමට උපකාරවත් වෙනවා. දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යයෙහි අපි අපට හැකි උපරිමයෙන් හවුල් වෙනවා. එසේ වුවත් කෙනෙක් දෙවිගේ සේවකයෙක් බවට පත්වීමේ පූර්ණ ගෞරවය හිමි වන්නේ යෙහෝවා දෙවිටයි. පුද්ගලයෙක් දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගෙන දෙවිගේ සේවකයෙක් හැටියට වර්ධනය වන ආකාරය හරිම පුදුමයි. එය සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න අප කිසිවෙකුට බැහැ. එමෙන්ම ඔහු වර්ධනය වන ආකාරය තීරණය කරන්නත් අපට බැහැ. එය තීරණය කරන්නේ යෙහෝවා දෙවියි. ඒ නිසයි සලමොන් රජ මෙසේ පැවසුවේ. “සියල්ල කරන සැබෑ දෙවිගේ වැඩද ඔබ නොදන්නෙහිය.”—දේශ. 11:5, නව ලොව පරිවර්තනය, NW.

3. බීජ වැපිරීම සහ මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වීමට උපකාර කිරීම අතර ඇති සමානකම් මොනවාද?

3 යෙමෙක් දෙවිගේ සේවකයෙක් දක්වා වර්ධනය වන ආකාරය තේරුම්ගැනීමට නොහැකි වීම කලකිරීමට හේතුවක්ද? නැහැ. ඒ වෙනුවට ඔහු වර්ධනය වන ආකාරය දැකීමෙන් අප ලබන්නේ මහත් ප්‍රීතියක්. සලමොන් රජ පැවසුවා හා සමානව අපගේ සේවය දිගටම කරන්න එය අපට මහත් දිරිගැන්වීමක් සපයනවා. ඔහු පැවසුවේ “උදෑසන ඔබේ බීජ වපුරන්න. සවස් වන තුරු විවේක නොගන්න. මන්ද, ඒවා කොතැන පැළ වේදැයි ඔබ නොදන්නෙහිය. ඒවා පැළ වන්නේ මෙතැනද එතැනද නැත්නම් ස්ථාන දෙකෙහිමද කියා ඔබ නොදන්නෙහිය” කියායි. (දේශ. 11:6, NW) සාමාන්‍යයෙන් බීජ වැපිරීමෙන් පසු එය මුල් ඇද පැළ වෙන්නේ කෙසේද කියා අප දන්නේ නැහැ. එමෙන්ම එය වර්ධනය වන ආකාරය සම්බන්ධයෙන් අප නොදන්නා තව බොහෝ දේ තිබෙනවා. මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වීමට උපකාර කිරීම සම්බන්ධයෙනුත් කිව හැක්කේ එයමයි. යේසුස් එම කාරණය උපමා දෙකකින් ගෙනහැර දැක්වුවා. දැන් අපි මාක් හතරවෙනි පරිච්ඡේදයේ සඳහන් එම උපමා සලකා බලද්දී ඉන් අපිට ඉගෙනගත හැක්කේ කුමක්ද කියා සලකා බලමු.

බීජ වැටුණේ කොහේද?

4, 5. වපුරන්නාගේ උපමාව කෙටියෙන් විස්තර කරන්න.

4 මාක් 4:1-9හි සඳහන් ලෙස වපුරන්නා වැපිරූ බීජ විවිධ තැන්වලට වැටුණා. ඒ ගැන යේසුස් පවසන්නේ මෙසේයි. “මෙයට සවන් දෙන්න. බලන්න! වපුරන්නා වපුරන්න ගියේය. ඔහු වපුරද්දී, සමහර බීජ මඟ දිගේ වැටුණේය. කුරුල්ලෝ ඇවිත් ඒවා කා දැමූහ. තවත් බීජ එතරම් පස් නොමැති ගල් බිම් මත වැටුණේය. එම පස ගැඹුරු නොවූ හෙයින් ඒවා එකෙණෙහිම වැවිණ. නමුත් හිරු නැඟුණු විට ඒවා වියළී, මුල් නොතිබුණ බැවින් මැලවී ගියේය. තවත් සමහරක් බීජ කටු ගස් අතරේ වැටිණ. කටු ගස් වැවී ඒවා යට කර දැමීය. ඒවා පල නොදැරීය. නමුත් තවත් සමහරක් සරු පසෙහි වැටුණේය. ඒවා පැළ වී, වැඩී, පල දරන්න පටන්ගත්තේය. ඒවා තිස් ගුණයකින්ද, හැට ගුණයකින්ද, සිය ගුණයකින්ද අස්වැන්න ඉපදවීය.”

5 පුරාණ ඊශ්‍රායෙලයේ සිටි ගොවියන් වැපිරීම සඳහා බීජ ඔවුන්ගේ සළුවේ කොටසක හෝ භාජනයක දමාගෙන ගිය අතර ඒවා සෑම තැනකටම විසිරී යන ලෙස ඉසිනු ලැබුවා. උපමාවේ සඳහන් වපුරන්නා එම බීජ ඕනෑකමින්ම එක් එක් ස්ථානයට දැම්මේ නැහැ. ඒ වෙනුවට ඔහු බීජ ඉසිද්දී විවිධ වර්ගයේ පස් ඇති ස්ථානවල ඒවා වැටුණා.

6. වපුරන්නාගේ උපමාව යේසුස් පැහැදිලි කළේ කෙසේද?

6 යේසුස් එම උපමාවේ අර්ථය තෝරා දීම ගැන අපට සතුටු විය හැකියි. මාක් 4:14-20හි යේසුස් එය පැහැදිලි කළේ මෙසේයි. “වපුරන්නා වචනය වපුරන්නේය. මඟ අසල වචනය වපුරන ලද්දේය. ඒවායින් අදහස් වන්නේ වචනය අසන්න ලැබූ කෙණෙහිම, සාතන් ඇවිත් ඔවුන් තුළ වපුරන ලද වචනය පැහැරගනු ලබන අයය. ගල් බිම්වල වැපුරූ ඒවායින් අදහස් වන්නේ වචනය ඇසූ විගස එය ප්‍රීතියෙන් පිළිගන්නා අයය. නමුත්, ඔවුන් තුළ මුල් බැස නොතිබෙන හෙයින් ඔවුන් පවතින්නේ කලකටය. වචනය නිසා හිංසා හෝ පීඩා හෝ පැමිණි මොහොතේම, ඔවුහු බාධාවට පත් වෙති. තවත් ඒවා කටු ගස් අතරේ වපුරන ලදි. ඒ, වචනය අසා තිබෙන අයය. නමුත් මේ සමාජ ක්‍රමයේ කරදරද, ධනයේ මුළා කරවන බලපෑමද, අනිකුත් දේවල්වලට තිබෙන ආශාවන්ද ඇතුල් වී, වචනය යට කර දමන නිසා එය පල නොදරයි. සරු පසෙහි වැපුරූ ඒවා නම්, වචනයට සවන් දී එය පිළිගෙන, තිස් ගුණයකින්ද, හැට ගුණයකින්ද, සිය ගුණයකින්ද පල දරන අයය.”

7. බීජ සහ විවිධාකාර පස්වලින් නියෝජනය කළේ කුමක්ද?

7 උපමාවේ සඳහන් ගොවියා විවිධ වර්ගයේ බීජ වැපුරූ බවක් යේසුස් සඳහන් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු එකම වර්ගයේ බීජ භාවිත කළ අතර ඒවා වැටුණේ විවිධ පස් ඇති බිමකයි. එලෙස විවිධ තැන්වල වැටුණු බීජ වැඩුණු ආකාරයද විවිධයි. පළමු පස් වර්ගය ඉතා තදයි. බීජ වැටුණු දෙවන පස් වර්ගය ගල් සහිතයි. තුන්වන පස් වර්ගයේ කටුගස් වැවී තිබුණා. අවසන් පස් වර්ගය ඉතාමත් සාරවත් වූ අතර එහි වැටුණු බීජ හොඳින් වැඩී පල දැරුවා. (ලූක් 8:8) උපමාවේ සඳහන් බීජය කුමක්ද? දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩයයි. (මතෙ. 13:19) විවිධාකාර පස්වලින් නියෝජනය කළේ කුමක්ද? එම පණිවිඩයට විවිධාකාරයෙන් ප්‍රතිචාරය දක්වන මිනිසුන්වයි.—ලූක් 8:12, 15 කියවන්න.

8. (අ) වපුරන්නාගෙන් නියෝජනය කරන්නේ කාවද? (ආ) දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය ප්‍රකාශ කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල විවිධ වන්නේ ඇයි?

8 වපුරන්නාගෙන් නියෝජනය කළේ කාවද? දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය ප්‍රකාශ කරන දෙවිගේ සේවකයන්වයි. පාවුල් හා අපොලොස් මෙන් ඔවුන්ද මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වීමට උපකාර කරනවා. ඔවුන් මෙම කාර්යයෙහි වෙහෙස මහන්සි වී වැඩ කළත් ඉන් ලැබෙන ප්‍රතිඵල විවිධයි. ඊට හේතුව නම් එම පණිවිඩයට ඇහුම්කන් දෙන ජනයා ඊට දක්වන ප්‍රතිචාරය විවිධ නිසයි. යේසුස්ගේ උපමාවට අනුව වැපිරීමේ අවසන් ප්‍රතිඵලය කුමක් වේවිදැයි නිශ්චිතව පවසන්න වපුරන්නාට හැකියාවක් නැහැ. දේවසේවය සම්බන්ධයෙන්ද එය සැබෑවක් වන බැවින් බොහෝ කාලයක් පුරා වර්ධනයව අඩු ප්‍රදේශවල විශ්වාසවන්තව සේවය කළ සහෝදර සහෝදරියන්ට එය මොන තරම් දිරිගැන්වීමක්ද! * ඒ ඇයි?

9. දේවසේවකයන්ට මහත් දිරිගැන්වීමක් වන්නේ යේසුස් සහ පාවුල් පැවසූ කුමන දෙයද?

9 වපුරන්නා හෙවත් දෙවිගේ සේවකයන්ගේ සාර්ථකත්වය මනින්නේ ඔවුන් සේවයේදී ලබන ප්‍රතිඵල අනුව නොවෙයි. එය තේරුම්ගැනීමට පාවුල්ගේ මෙම වචන උපකාරවත් වෙනවා. “එකිනෙකාට, තම තමාගේ වෙහෙසට අනුව තම තමාගේ විපාකය ලැබෙන්නේය.” (1 කොරි. 3:8) ඔහු පැවසූ ලෙස දෙවිගේ සේවකයන්ට විපාක ලැබෙන්නේ ඒ සඳහා ඔවුන් දරන වෙහෙසට අනුව මිස වෙහෙසේ ප්‍රතිඵල අනුව නොවෙයි. ඒ බව එක් අවස්ථාවකදී තම ගෝලයන් ශුභාරංචිය ප්‍රකාශ කර පැමිණි විට යේසුස් කී දෙයින් පැහැදිලි වුණා. “ඔබට ආත්මයන් [හෙවත් භූතයන්] යටත් කර දී තිබෙන නිසා ප්‍රීති නොවන්න. නමුත් ඔබේ නම් ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප්‍රීති වන්න.” (ලූක් 10:17-20) යේසුස්ද මෙහිදී වඩා අගය කළේ ඔවුන් සේවයේදී ලැබූ ප්‍රතිඵලවලට වඩා ඔවුන් දැරූ වෙහෙසයි. දේවසේවකයෙකුට තමන්ගේ වෙහෙසට සරිලන ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. අන් අයට වඩා ඔහුගේ උද්‍යෝගයේ හෝ ඇදහිල්ලේ යම් අඩුවක් තිබෙන බව ඉන් සැමවිටම අදහස් කරන්නේ නැහැ. ඊට හේතුව කෙනෙක් යේසුස්ගේ ගෝලයෙක් බවට පත් වෙනවාද නැද්ද කියා බොහෝදුරට තීරණය වන්නේ ඔහු ශුභාරංචියට දක්වන ප්‍රතිචාරය මතයි. කෙසේනමුත් ඔහුට සත්‍යය තුළ වර්ධනය විය හැක්කේ යෙහෝවා දෙවිගේ උපකාරය මතයි.

වචනය අසන්නාගේ වගකීම

10. පණිවිඩය පිළිගන්නවාද නැද්ද කියා තීරණය කරන්නේ කවුද?

10 වචනය අසන්නන් ගැන කිව හැක්කේ කුමක්ද? දේවරාජ්‍යයේ පණිවිඩය පිළිගන්නවාද නැද්ද කියා තීරණය කරන්නේ ඒ අය විසින්මයි. ඒ තුළින් හොඳ හෝ නරක ප්‍රතිඵල අත් කරගන්න ඔවුන්ට අවස්ථාව තියෙනවා. (රෝම 6:17) එම උපමාවේ සඳහන් එක් පිරිසක් ගැන යේසුස් පැවසුවේ ඔවුන් “වචනය ඇසූ කෙණෙහිම” සාතන් ඇවිත් ඔවුන්ගෙන් එය පැහැරගන්නා බවයි. එවැනි අවස්ථාවකදී ඔවුන් කළ යුත්තේ “යක්ෂයාට විරුද්ධ” වීමයි. එවිට ඔහු ඔවුන් වෙතින් පලා යයි. (යාකො. 4:7) වචනය ප්‍රීතියෙන් පිළිගත්තත් එය “මුල් බැස නොතිබෙන” තවත් පිරිසක් ගැනද යේසුස් පැවසුවා. එවැනි අයට කුමක් කළ හැකිද? “මුල් බැස අත්තිවාරම මත ස්ථිරව පිහිටා” සිටින්න කියා බයිබලය ඔවුන්ට දිරිගන්වනවා. එවිට ඔවුන්ට ‘සත්‍යයෙහි පළලත් දිගත් උසත් ගැඹුරත් සම්පූර්ණයෙන් වටහාගැනීමට හැකියි. එමෙන්ම දැනුම අබිබවා යන ක්‍රිස්තුස්ගේ ප්‍රේමය දැනගැනීමටත් ඔවුන්ට හැකි වෙනවා.’—එෆී. 3:17-19; කොලො. 2:6, 7.

11. වචනය යටපත් වීමේ බලපෑමෙන් නිදහස් වීමට කෙනෙකුට හැක්කේ කෙසේද?

11 මේ දුෂ්ට “සමාජ ක්‍රමයේ කරදරද, ධනයේ මුළා කරවන බලපෑම” නිසාද තමන් ඇහුම්කන් දුන් වචනය යටපත් වීමට සමහරුන් ඉඩහරින බවද යේසුස් පැවසුවා. (1 තිමෝ. 6:9, 10) එවැනි බලපෑම්වලින් නිදහස් වීමට ඔවුන්ට හැක්කේ කෙසේද? “මුදලට ප්‍රේම නොකරමින් ජීවත් වන්න. ඔබට ඇති දෙයින් සතුටු වන්න. මන්ද ‘මම කිසිසේත් ඔබෙන් අහක්ව නොයමි. කිසිසේත් ඔබව අත් නොහරිමි’” කියා බයිබලයේ දී ඇති උපදෙස අදාළ කරගැනීමෙනුයි.—හෙබ්‍රෙ. 13:5.

12. යේසුස්ගේ ගෝලයන් බවට පත් වන අය දරන පල එකිනෙකාට වෙනස් වන්නේ ඇයි?

12 උපමාව අවසානයේදී යේසුස් පැවසුවේ සරු පස මත වැටුණු බීජ “තිස් ගුණයකින්ද, හැට ගුණයකින්ද, සිය ගුණයකින්ද පල දරන” බවයි. ඒ අනුව ශුභාරංචියට ඇහුම්කන් දී යේසුස්ගේ ගෝලයන් බවට පත් වන අයට දෙවිගේ සේවය තුළ කළ හැකි ප්‍රමාණයන් විවිධයි. සමහරවිට මහලු විය සහ දුර්වල සෞඛ්‍යය ඊට හේතු විය හැකියි. (මාක් 12:43, 44 බලන්න.) මෙතෙක් අප සලකා බැලූ ලෙස නැවතත් පැහැදිලි වන කාරණය නම් අප ප්‍රකාශ කරන ශුභාරංචියට ඇහුම්කන්දී යේසුස්ගේ අනුගාමිකයන් වන අය පල දරන ආකාරය විවිධයි. ඒ නිසා ඔවුන් දරන පල කෙසේ වේදැයි තීරණය කිරීමට අපට නොහැකියි. නමුත් යෙහෝවා දෙවි එය වර්ධනය කරන ආකාරය දැකීමෙන් ප්‍රීති වන්න අපට හැකියි.—ගීතාවලිය 126:5, 6 කියවන්න.

වපුරන්නා නිදාගන්නා විට

13, 14. (අ) වපුරන්නා ගැන යේසුස් කී උපමාව කෙටියෙන් විස්තර කරන්න. (ආ) වපුරන්නාගෙන් නියෝජනය කළේ කාවද? එමෙන්ම බීජවලින් නියෝජනය කරන්නේ කුමක්ද?

13 වපුරන්නෙක් ගැන යේසුස් පැවසූ තවත් උපමාවක් මාක් 4:26-29හි මෙසේ සඳහන් වෙනවා. “දෙවිගේ රාජ්‍යය මේ හා සමානය. මිනිසෙකු පොළොවෙහි බීජ ඉසියි. ඔහු රාත්‍රියෙහි නිදාගෙන, උදෑසන නැඟිටින අතරේ බීජය පැළ වී වැඩෙන්නේය. එය කෙසේ වේදැයි ඔහු නොදනී. පළමුවෙන් දළුද, ඉන්පසු කරලද, අන්තිමට කරලෙහි සම්පූර්ණ ධාන්‍ය ඇටයද යනාදි වශයෙන් ක්‍රමක්‍රමයෙන් පොළොවෙන්ම පල හටගනී. නමුත් ධාන්‍ය පැසුණු වහාම, අස්වැන්න නෙළීමේ කාලය පැමිණ තිබෙන හෙයින් ඔහු දෑකැත්ත යොදා කපාගන්නේය.”

14 මෙම උපමාවේ සඳහන් වපුරන්නා කවුද? ක්‍රිස්තියානීන්යයි කියාගන්නා සමහරුන් කියන්නේ ඒ යේසුස් බවයි. නමුත් යේසුස් නිදා සිටින බවත් බීජ වැඩෙන ආකාරය ඔහු නොදන්නා බවත් පවසන්න පුළුවන්ද? යේසුස් ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු දන්නා බවට කිසිම සැකයක් නැහැ. ඒ අනුව මේ උපමාවෙත් වපුරන්නාගෙන් නියෝජනය කරන්නේ උද්‍යෝගයෙන් දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය ප්‍රකාශ කරන්නන්වයි. බීජ නම් ඔවුන් ප්‍රකාශ කරන පණිවිඩයයි. *

15, 16. බීජයක් වර්ධනය වන ආකාරයෙත් පුද්ගලයෙක් සත්‍යය තුළ වර්ධනය වන ආකාරයෙත් ඇති සමානකම කුමක්ද?

15 වපුරන්නා “රාත්‍රියෙහි නිදාගෙන, උදෑසන නැඟිටින” බව එම උපමාවේ යේසුස් පැවසුවා. එමගින් ඔහු තවත් වැදගත් කරුණක් අවධාරණය කළා. රාත්‍රියේදී නින්දට යෑම ජීවිතයේ සාමාන්‍ය දෙයක් නිසා වපුරන්නා නිදා සිටිනවා කීමෙන් යේසුස් අදහස් කළේ ඔහු නොසැලකිලිමත් කෙනෙක් කියන එක නොවෙයි. මෙහිදී යේසුස්ට අවශ්‍ය වුණේ මිනිස් ජීවිතයේ සාමාන්‍ය සිද්ධියක් ගෙනහැර දක්වන්නයි. ඔහු ඉන් අවධාරණය කළේ මිනිසුන් නිදා සිටින අතරතුර පවා නොකඩවා සිදු වන දෙයක් ගැනයි. “බීජය පැළ වී වැඩෙන්නේය. එය කෙසේ වේදැයි ඔහු නොදනී” කියා යේසුස් පැවසුවා. මෙහිදී ඔහුට කාවැද්දීමට අවශ්‍ය වූ කරුණ වූයේ බීජය “ක්‍රමක්‍රමයෙන්” වැඩෙනවා යන කාරණයයි.

16 ඔහු එම අවස්ථාවන් විස්තර කළේ මෙසේයි. “පළමුවෙන් දළුද, ඉන්පසු කරලද, අන්තිමට කරලෙහි සම්පූර්ණ ධාන්‍ය ඇටයද යනාදි වශයෙන් ක්‍රමක්‍රමයෙන් පොළොවෙන්ම පල හටගනී.” (මාක් 4:28) එම වර්ධනය සිදු වන්නේ පියවරෙන් පියවරයි. එම බීජය බලෙන් වර්ධනය කිරීමට හෝ එහි වර්ධනය ඉක්මන් කිරීමට නොහැකියි. පුද්ගලයෙක් බයිබල් සත්‍යය ඉගෙනගන්නා විට ලබන වර්ධනයත් ඒ හා සමානයි. බයිබල් සත්‍යය තේරුම්ගැනීමට දෙවි ඔහුට උපකාර කරන අතර එය ඔහුගේ හදවතේ මුල් අදින්න පටන්ගන්නෙත් ක්‍රමානුකූලවයි.—ක්‍රියා 13:48; හෙබ්‍රෙ. 6:1.

17. වැපුරූ බීජ පල දරන විට එහි ප්‍රීතියට හවුල් වන්නේ කවුද?

17 “ධාන්‍ය පැසුණු වහාම” වපුරන්නා අස්වැන්න නෙළාගැනීමට හවුල් වන බවද යේසුස් පැවසුවා. එය සිදු වන්නේ මෙසේයි. කෙනෙකුට සත්‍යය තුළ වර්ධනය වීමට දෙවි උපකාර කරනවාත් සමඟම දෙවි කෙරෙහි ඔහුට ඇති ප්‍රේමය නිසා ඔහු කැප වී බව්තීස්ම වීමට පියවර ගන්නවා. එසේ බව්තීස්ම වන අය අතර සිටින සහෝදරයන් සත්‍යය තුළ අද්දැකීම් ලබනවාත් සමඟ සභාවේ වගකීම් දරන්න සුදුසු තත්වයකට පත් වෙනවා. ඔහු එලෙස දියුණුවක් ලබද්දී ඔහුට බයිබල් සත්‍යය ඉගෙනගැනීමට උපකාර කළ තැනැත්තාත් සභාවේ සෙසු අයත් ඉන් ප්‍රීතියක් ලබනවා. (යොහන් 4:36-38 කියවන්න.) ඒ අනුව “වපුරන්නාත්, කපන්නාත් එක්ව ප්‍රීතිමත්” වෙනවා කියා පැවසිය හැකියි.

අපට ගත හැකි පාඩම්

18, 19. (අ) මෙතෙක් සලකා බැලූ යේසුස්ගේ උපමාවලින් ඔබ ලැබූ දිරිගැන්වීම කුමක්ද? (ආ) ඊළඟ ලිපියේ අපි සලකා බලන්නේ කුමක් ගැනද?

18 මාක් හතරවෙනි පරිච්ඡේදයේ සඳහන් උපමා දෙකෙන් අප ඉගෙනගත්තේ කුමක්ද? දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය උද්‍යෝගයෙන් ප්‍රකාශ කිරීමේ විශේෂ කාර්යය අපට තිබෙන බවයි. එහි හවුල් නොවීම සඳහා යම් යම් හේතු ඉදිරිපත් කරමින් එය කල් දැමීම සඳහා නිදහසට කරුණු ඉදිරිපත් නොකරමු. (දේශ. 11:4) දෙවි සමඟ හවුලේ වැඩ කරන්නන් ලෙස අපිට තිබෙන වරප්‍රසාදයත් ඉතා අගය කොට සලකමු. දේවසේවයේදී අපි දරන වෑයමට ප්‍රතිඵල දෙන්නෙත් අප ගෙන යන පණිවිඩය පිළිගන්නා අයට සත්‍යය තුළ වර්ධනය වීමට ආශීර්වාද කරන්නෙත් දෙවි බව මතක තබාගනිමු. එමෙන්ම ශුභාරංචියට ඇහුම්කන් දුන් කෙනෙකුව බලෙන් දියුණු කළ නොහැකි බවද අපට පැහැදිලියි. අප කරන සේවයෙන් ලැබෙන ප්‍රතිඵල අඩු වුණත් හෝ ඒවා ලැබෙන්නේ ඉතා සෙමින් වුණත් අප ඒ ගැන අධෛර්යය විය යුතු නැහැ. අප දෙවිට කරන සේවයේ සාර්ථකත්වය මනින්නේ මිනිසුන් දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩයට දක්වන ප්‍රතිචාරය අනුව නොවෙයි. ඒ වෙනුවට “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට” සාක්ෂියක් ලෙස ප්‍රකාශ කිරීමෙහි අප කොතරම් උද්‍යෝගයෙන් නිරත වෙනවාද යන්න මතයි.—මතෙ. 24:14.

19 දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය ප්‍රකාශ කිරීම හා ඊට පක්ෂපාත අයගේ වර්ධනය ගැන යේසුස් තවත් දේවල් පැවසුවා. ඒවා මොනවාද කියා දැනගැනීමට ඔහු පැවසූ තවත් උපමා කිහිපයක් අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන්වල]

^ 8 ඡේ. සහෝදර ජෝර්ජ් ෆියල්නිර් ලින්ඩාල් අයිස්ලන්තයේ කළ සේවය සම්බන්ධයෙන් 2005 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ 210-211 පිටුවල සඳහන් අද්දැකීම බලන්න. එමෙන්ම අයර්ලන්තයේ සිටි සාක්ෂිකරුවන් දෙවිට විශ්වාසවන්තව කළ සේවය ගැන දැනගැනීම සඳහා 1988 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ 82-99 පිටු බලන්න.—සිංහලෙන් නැත.

^ 14 ඡේ. එම බීජවලින් අදහස් කළ දේ ගැන මීට කලින් මුරටැඹ සඟරාවක පැහැදිලි කර තිබුණා. ඉන් නියෝජනය වන්නේ පුද්ගලයෙක් අද්දැකීම් ලත් ක්‍රිස්තියානියෙකු දක්වා වර්ධනය වීමට අවශ්‍ය ගුණාංග බව එහි සඳහන් වුණා. ඔහු ජීවත් වන පරිසරය ඔහුගේ වර්ධනයට බලපාන බවද එහි විස්තර කර තිබුණා. කෙසේනමුත් අප මෙහිදී මතක තබාගත යුතු කරුණක් වන්නේ උපමාවේ සඳහන් බීජය කෙදිනකවත් නරක් වන්නේ නැති බවයි. එය අනිවාර්යයෙන්ම පැළ වෙනවා.—වර්ෂ 1980 ජූනි 15 මුරටැඹ සඟරාවේ පිටු 17-19 බලන්න. (සිංහලෙන් නැත.)

ඔබට විස්තර කළ හැකිද?

• බීජ වැපිරීම සහ ශුභාරංචිය ප්‍රකාශ කිරීම අතර ඇති සමානකම් මොනවාද?

• දෙවි තම සේවකයන්ගේ විශ්වාසවන්තකම මනින්නේ කුමකින්ද?

• බීජ වැපිරීම සහ මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වීමට උපකාර කිරීම අතර ඇති සමානකම් මොනවාද?

• “වපුරන්නාත්, කපන්නාත් එක්ව ප්‍රීතිමත්” වන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූර]

දේවරාජ්‍යය ප්‍රචාරය කරන්නෙකුව යේසුස් බීජ වපුරන්නෙකුට සමාන කළේ ඇයි?

[15වන පිටුවේ පින්තූර]

සරු පසෙන් නියෝජනය කළ අය තමන්ගේ තත්වයන්ට අනුව උද්‍යෝගයෙන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි හවුල් වෙනවා

[16වන පිටුවේ පින්තූර]

වර්ධනය දෙන්නේ යෙහෝවා දෙවියි