Skip to content

පටුනට යන්න

දෙවි තම මහලු සේවකයන්ව රැකබලා ගනියි

දෙවි තම මහලු සේවකයන්ව රැකබලා ගනියි

දෙවි තම මහලු සේවකයන්ව රැකබලා ගනියි

“ඔබ කළ සේවයද, ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැත.”—හෙබ්‍රෙ. 6:10.

1, 2. (අ) සුදු හිසකෙස් ඇති කෙනෙකුව දුටු විට ඔබට මතක් වන්නේ කුමක්ද? (ආ) මහලු ක්‍රිස්තියානීන්ව දෙවි සලකන්නේ කෙසේද?

ඔබගේ සභාවේ මහලු වියේ පසුවන ක්‍රිස්තියානීන් සිටිනවාද? ඔවුන්ගේ පැසුණු හිසකෙස් දකින විට ඔබට දානියෙල් දුටු දර්ශනයක් මතකයට නැඟෙනවා ඇති. එම දර්ශනයේදී යෙහෝවා දෙවිව විස්තර කර තිබෙන්නේ සුදු හිසකෙස් ඇති තැනැත්තෙකු ලෙසයි. ඒ ගැන දානියෙල් පැවසූ දේ බලන්න. “මා බලා සිටියදී සිංහාසන ගෙනැවිත් තැබුවෝය. පුරාතන තැනැත්තා එතැන හිඳගත්තේය. ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදුය. ඔහුගේ හිසකෙස් පවිත්‍ර ලොම් මෙනි.”—දානි. 7:9, නව ලොව පරිවර්තනය, NW.

2 ලොම් සාමාන්‍යයෙන් සුදු පාටයි. ඒ නිසා සුදු හිසකෙස් සහ “පුරාතන තැනැත්තා” යන පදවියෙන් ඇඟවෙන්නේ දෙවිගේ සදාකාලික පැවැත්ම සහ මහත් වූ ප්‍රඥාවයි. එමනිසා අප සියලුදෙනාගේම ඉහළම ගෞරවය ලබන්න වටිනේ ඔහුයි. පුරාතන තැනැත්තා වන යෙහෝවා දෙවි, මහලු වයසේ පසුවන තම ඇදහිලිවන්තයන්ව සලකන්නේ කෙසේද? දෙවි ‘ධර්මිෂ්ඨ තැනැත්තාගේ පැසුණු හිස අලංකාර ඔටුන්නකට’ සමාන කර තිබෙනවා. ඉන් පැහැදිලි වන්නේ දෙවිට ඔවුන් ඉතා අනර්ඝ බවයි. (හිතෝ. 16:31NW) ඔබත් ඔවුන්ව සලකන්නේ එලෙසමද?

ඔවුන් එතරම්ම වටින්නේ ඇයි?

3. මහලු ක්‍රිස්තියානීන් අපට වටිනා අය වන්නේ ඇයි?

3 මහලු වියේ පසුවන සමහරුන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයන් ලෙස කටයුතු කරනවා. තවත් අය සංචාරක අවේක්ෂකයන්, පුරෝගාමීන් සහ ප්‍රචාරකයන් ලෙස සේවය කර තිබෙන අතර සමහරුන් තවමත් එසේ කරමින් සිටිනවා. එලෙස අවුරුදු ගණනාවක් පුරා උද්‍යෝගයෙන් ශුභාරංචිය ප්‍රකාශ කර ඇති අයව ඔබ දන්නවා විය හැකියි. ඔවුන්ගේ ආදර්ශවත් ජීවිතය යෞවනයන් බොහෝදෙනෙකුට කදිම බලපෑමක් වී ඇති බවට සැකයක් නැහැ. තවත් අය බොහෝ පීඩා විඳදරාගෙන තිබෙන අතර සභාවේ නොයෙකුත් වගකීම්ද උසුලා තිබෙනවා. ඔවුන් කර තිබෙන සේවය යෙහෝවා දෙවි හා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ඉතා ඉහළින් අගය කරනවා.—මතෙ. 24:45.

4. අප මහලු ක්‍රිස්තියානීන්ට ගෞරවය පෙන්විය යුත්තේ හා ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළ යුත්තේ ඇයි?

4 දෙවිට පක්ෂපාතව සේවය කර ඇති එවැනි ක්‍රිස්තියානීන් අප සැමගේ ආදරය හා ගෞරවය ලැබීමට වටිනවා. මහලු අයට සැලකිල්ල සහ ගෞරවය පෙන්වීම අපගේ නමස්කාරයේ අත්‍යවශ්‍ය කොටසක්. ඒ බව දෙවි දුන් නීතියේද අණ කර තිබුණා. (ලෙවී. 19:32) ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීම සහ ඔවුන් වෙහෙසී කර තිබෙන සේවයට දෙවිට ස්තුති කිරීම මගින්ද ඔවුන් කෙරෙහි අපගේ සැලකිල්ල පෙන්විය හැකියි. පාවුල්ද ඒ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක්.—1 තෙසලෝනික 1:2, 3 කියවන්න.

5. මහලු ක්‍රිස්තියානීන්ව ඇසුරු කිරීමෙන් ලැබිය හැකි ප්‍රයෝජන මොනවාද?

5 සභාවේ සියල්ලන්ටම ඔවුන්ව ඇසුරු කිරීමෙන් මහත් ප්‍රයෝජන ලැබිය හැකියි. ඊට හේතුව ඔවුන් බයිබලය අධ්‍යයනය කිරීමෙන්, දේවල් නිරීක්ෂණය කිරීමෙන් සහ ලබා ඇති අද්දැකීම්වලින් මිල කළ නොහැකි දැනුම් සම්භාරයක් රැස් කරගෙන සිටින නිසයි. ඉවසීමෙන් කටයුතු කරන්නත් අන් අයව තේරුම්ගන්නත් ඔවුන් ඉගෙනගෙන තිබෙනවා. එපමණක්ද නොව, තමන්ගේ වටිනා අද්දැකීම්වලින් මතු පරම්පරාවට ප්‍රයෝජන ගත හැකි බව දැන සිටීම ඔවුන්ගේ ප්‍රීතියට හා තෘප්තියටද හේතුවක් වී තිබෙනවා. (ගීතා. 71:18) ඔවුන් සතුව ඇත්තේ මොන තරම් මහඟු දැනුමක්ද! යෞවනයෙනි, ඔවුන් සමඟ ඇසුරු කිරීමෙන් ඔබටත් ඉමහත් ප්‍රයෝජන ගත හැකියි.—හිතෝ. 20:5.

6. ඔවුන්ව අප ඇත්තටම අගය කරන බව පෙන්වන්න පුළුවන් කොහොමද?

6 යෙහෝවා දෙවි මහලු ක්‍රිස්තියානීන්ව අගය කරන බව ඔවුන් දන්නවා. ඒ හා සමානව ඔබත් ඔවුන්ව අගය කරන බව ඔවුන්ට දැනෙන්න සලස්වන්න. ඒ සඳහා ඔවුන් මෙතෙක් කර තිබෙන විශ්වාසවන්ත සේවය අප ඉතා අගය කරන බවත් ඔවුන්ගේ මඟ පෙන්වීම් අපට ඉතා වටිනා බවත් ඔවුන්ට පවසන්න. එමෙන්ම ඔවුන් දෙන මඟ පෙන්වීම් ක්‍රියාත්මක කිරීමෙන්ද ඔවුන්ට ගරු කරන බව පෙන්විය හැකියි. ඔවුන්ද යෞවනව සිටි කාලයේදී විශ්වාසවන්ත මහලු ක්‍රිස්තියානීන්ගේ ඥානවන්ත මඟ පෙන්වීම් ක්‍රියාත්මක කිරීම නිසා ලැබූ ප්‍රයෝජන සම්බන්ධයෙන් බොහෝ අද්දැකීම් ඔවුන්ටද ඇති. *

ඔවුන්ව රැකබලා ගැනීමේ වගකීම

7. මහලු අයව රැකබලා ගැනීමේ මූලික වගකීම දෙවි පවරා ඇත්තේ කාටද?

7 මහලු අයව රැකබලා ගැනීමේ වගකීම දෙවි ලබා දී ඇත්තේ ඔවුන්ගේ පවුලේ අයටයි. (1 තිමෝති 5:4, 8 කියවන්න.) දෙවි මහලු ක්‍රිස්තියානීන්ව රැකබලා ගන්නා ආකාරයටම ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ද ඔවුන්ව රැකබලා ගනිද්දී දෙවි ඒ ගැන සතුටු වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ සියලුම උත්සාහයන්ට හා සියලුම කැපකිරීම්වලට දෙවි ආශීර්වාද කරනවා. *

8. සභාවේ සාමාජිකයන් මහලු ක්‍රිස්තියානීන් ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

8 මහලු ක්‍රිස්තියානියෙකුව රැකබලා ගැනීමට ඔහුගේ පවුලේ දෙවිට නමස්කාර කරන කිසිවෙකු නොමැති විට හෝ ඔහුගේ පවුලේ සිටින අය ඔහුව රැකබලා ගැනීම ප්‍රතික්ෂේප කරන විට තත්වය කුමක්ද? (1 තිමෝ. 5:3, 5, 9, 10) සභාව මගින් එවැනි කෙනෙකුට අවශ්‍ය උපකාර ලබා දීම දෙවි අපේක්ෂා කරනවා. සභාව මගින් එවන් සැලකිල්ලක් දක්වන්නේ ඇයි? පාවුල් පැවසූ පරිදි ශරීරයේ එක් අවයවයක් වේදනාවට පත් වෙද්දී “අන් සියලුම අවයව එය සමඟ වේදනා” විඳිනවා හා සමානව සභා සාමාජිකයන්ටද එම වේදනාව දැනෙන නිසයි. (1 කොරි. 12:26) ඒ නිසා අප ‘එකිනෙකා කෙරෙහි අපට ඇති අනුකම්පාව, සහෝදර ස්නේහය හා ගැඹුරු දයානුකම්පාව’ ක්‍රියාවෙන් පෙන්වමු. (1 පේතෘ. 3:8) එමෙන්ම ‘එකිනෙකාට තිබෙන දුෂ්කරතා නමැති බර ඉසිලීමට දිගටම උදව් කිරීමෙන් අප ක්‍රිස්තුස්ගේ නීතිය ඉටු කරමු.’—ගලා. 6:2.

9. මහලු කෙනෙකුට දුෂ්කර විය හැකි දේවල් මොනවාද?

9 ඔවුන්ට තිබෙන දුෂ්කරතා නමැති බර කුමක්ද? බොහෝවිට ඔවුන් ඉක්මනින්ම වෙහෙසට පත් වෙන අතර ලිපි ලිවීම, බිල්පත් ගෙවීම, වෛද්‍යවරයෙකුව හමුවීමට යෑම, නිවස පිරිසිදු කිරීම හා ආහාර පිළියෙල කිරීම වැනි මූලික දේවල් පවා ඔවුන්ට දුෂ්කර දෙයක් ලෙස දැනිය හැකියි. මහලු වයස නිසා කෑම බීමවලට තිබෙන රුචිය අඩු වෙනවා. ඒ නිසා ඔවුන් ගත යුතු ආහාර ප්‍රමාණයට වඩා අඩුවෙන් ගත්තාට කමක් නැහැ කියා සිතෙන්නත් පුළුවන්. ඒ හා සමානව ඔවුන්ගේ ඇසීමේ හා පෙනීමේ දුර්වලකම් නිසා ඇදහිල්ල ශක්තිමත් කරන බයිබල් අධ්‍යයනය, රැස්වීම්වලට සහභාගි වීම අතපසු වුණාට කමක් නැහැ කියාද ඔවුන්ට සිතෙන්න පුළුවන්. ඒ වගේම එය වෙහෙසකර යමක් මෙන් දැනෙන්නද ඉඩ තිබෙනවා. ඔවුන්ට උපකාර කරන්න අපට පුළුවන් කොහොමද?

ඔවුන්ට උපකාර කරන්න ඔබට හැකිද?

10. මහලු ක්‍රිස්තියානීන්ට අවශ්‍ය උපකාර ලබා දීම සඳහා වැඩිමහල්ලන්ට කුමක් කළ හැකිද?

10 බොහෝ සභාවන් මහලු ක්‍රිස්තියානීන්ව රැකබලා ගැනීම සම්බන්ධයෙන් තබා තිබෙන්නේ කදිම ආදර්ශයක්. ඔවුන්ට අවශ්‍ය දේවල් මිල දී ගැනීම, ආහාර පිළියෙල කිරීම හා නිවස පිරිසිදු කිරීමට ඔවුන් උපකාර කරනවා. එමෙන්ම බයිබලය අධ්‍යයනය කිරීමට, රැස්වීම්වලට යෑම සඳහා සූදානම් වීමට හා දේවසේවයේ හවුල් වීමටද ඔවුන්ට උපකාර කරනවා. යෞවනයන්ද ඔවුන්ට රැස්වීම්වලට යෑම සඳහා ප්‍රවාහණ පහසුකම් සැපයීමෙන් සහාය වෙනවා. මහලු ක්‍රිස්තියානියෙකුට රැස්වීම්වලට යන්න අපහසු නම් සමහර සභාවන්, දුරකතනය මාර්ගයෙන් ඒවාට සවන් දීමට හෝ පටිගත කරන ලද රැස්වීම්වල කොටස්වලට ඇහුම්කන් දීමට කටයුතු සැලසුම් කර දී තිබෙනවා. මේ ආකාරයට හැකි සෑම අවස්ථාවකදීම ඔවුන්ට අවශ්‍ය උපකාර සැපයීමට සභා වැඩිමහල්ලන් පියවර ගන්නවා. *

11. එක් පවුලක් මහලු සහෝදරයෙකුට උපකාර කළ ආකාරය විස්තර කරන්න.

11 අපට පෞද්ගලිකවත් ඔවුන්ව රැකබලා ගත හැකියි. තම බිරිඳ මිය ගිය මහලු සහෝදරයෙකුගේ අද්දැකීම සලකා බලන්න. ඇගේ විශ්‍රාම වැටුප නොමැතිව ඔහු සිටි නිවසේ කුලිය ගෙවීමට නොහැකි තත්වයක් උදා වුණා. නමුත් මේ අවස්ථාවේදී ඔහුත් භාර්යාවත් බයිබලය ගැන ඉගෙනගැනීමට උපකාර කර තිබූ යුවළක් ඔහුව රැකබලා ගන්න ඉදිරිපත් වුණා. ඔවුන්ට නහඹර වියේ දියණියන් දෙදෙනෙක්ද සිටියා. මේ මහලු සහෝදරයා වයස අවුරුදු 89දී මිය යන තුරුම ඔවුන් සමඟ ජීවත් වීමට ඔවුන්ගේ විශාල නිවසෙන් කාමර දෙකක් ඔහුට ලබා දුන්නා. ඔහු ඔවුන් සමඟ ගත කළ වසර 15 පුරාම එකට කමින් බොමින් දුක සැප බෙදාගත්තා. එම ආශ්‍රයෙන් මේ සහෝදරයාද විශාල ප්‍රීතියක් ලැබූ අතර ඔහුට තිබූ ඇදහිල්ල සහ වටිනා අද්දැකීම් දියණියන් දෙදෙනාගේ ජීවිතවලට මහත් බලපෑමක් ඇති කළා. ඒ සම්බන්ධයෙන් මේ මුළු පවුලම යෙහෝවා දෙවිට බොහෝසේ ස්තුතිවන්ත වෙනවා. ඔවුන් යේසුස්ගේ සෙසු සේවකයෙකුට කළ උපකාර වෙනුවෙන් ආශීර්වාද ලැබූ බව අපට පැහැදිලියි.—මතෙ. 10:42. *

12. මහලු ක්‍රිස්තියානීන්ට ඔබගේ ප්‍රේමණීය සැලකිල්ල පෙන්විය හැකි ක්‍රම මොනවාද?

12 සමහරවිට ඉහත සඳහන් පවුල මෙන් මහලු ක්‍රිස්තියානියෙකුට උපකාර කරන්න ඔබට අවස්ථාව නැතිව ඇති. නමුත් ඔවුන්ව රැස්වීම්වලට සහ දේවසේවයේ රැගෙන යන්න ඔබට පුළුවන්ද කියා සිතා බලන්න. ඔවුන්ට ඔබගේ නිවසට ආරාධනා කරන්න හෝ ඔබ විනෝද වන අවස්ථාවලදී ඔවුන්ව ඊට හවුල් කරවා ගන්න. එමෙන්ම ඔවුන්ව බලන්න යන්න, විශේෂයෙන්ම ඔවුන් අසනීපව සිටින විට හෝ එක්තැන් වී සිටින විට එසේ කිරීම වඩාත් සුදුසුයි. ඔවුන් සමඟ කටයුතු කරන විටදී නිසි ගෞරවය පෙන්වීම ඉතා වැදගත් වන අතර ඔවුන්ට අදාළ වන තීරණ ගැනීමේදී ඔවුන්වද ඊට හවුල් කරවා ගන්න. අනෙක් අතට ඔවුන්ගේ කල්පනා ශක්තිය දුර්වල වී ඇත්නම් එවන් අවස්ථාවලදීද කටයුතු කළ යුත්තේ ඔවුන්ගේ ගෞරවය රැකෙන ආකාරයටයි.

ඔබ කළ සේවය දෙවි අමතක කරන්නේ නැහැ

13. මහලු ක්‍රිස්තියානීන්ගේ හැඟීම් ගැනත් සැලකිලිමත්වීම අත්‍යවශ්‍ය ඇයි?

13 මහලු ක්‍රිස්තියානීන්ගේ හැඟීම් ගැනද අප සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් තම යෞවන කාලයේදී මෙන් දේවල් කිරීමට නොහැකි නිසා ඒ ගැන දැඩි කනගාටුවෙන් පසුවෙනවා. එවැනි එක් සහෝදරියකගේ අද්දැකීම බලන්න. ඇය යෙහෝවා දෙවිට අවුරුදු 50ක් පුරා ක්‍රියාශීලීව සේවය කළ අතර ස්ථාවර පුරෝගාමියෙක් ලෙසද කටයුතු කළා. නමුත් පසුව, ඇගේ අසනීප තත්වය නිසා ඇය ටිකෙන් ටික දුර්වල වෙන්න පටන්ගෙන තිබෙන අතර රැස්වීම්වලට සහභාගි වීමත් දුෂ්කර වී තිබෙනවා. එමනිසා කලින් කළ සේවය මතක් වෙන විට ඇයට එය දරාගන්න බැහැ. එක් අවස්ථාවකදී ඇය හඬමින් මෙසේ පැවසුවා. “මට දැනෙන්නේ දැන් මම දෙවි වෙනුවෙන් මුකුත්ම කරන්නේ නැහැ කියලයි.”

14. මහලු ක්‍රිස්තියානීන්ට ගීතිකාකරුගෙන් ලැබිය හැකි දිරිගැන්වීම කුමක්ද?

14 ඔබත් මහලු වියේ පසුවන ක්‍රිස්තියානියෙක්ද? ඔබටත් ඉහත සහෝදරිය මෙන් හැඟෙනවාද? නැත්නම් දෙවි ඔබව අත්හැර දමා ඇති බව ඔබට හැඟෙන අවස්ථා තිබෙනවාද? ගීතිකාකරුටද ඔහුගේ මහලු වියේදී එසේ හැඟුණා විය හැකියි. ඔහු මෙසේ දෙවිට ආයාචනා කළා. “මහලු වයසේදී මාව අහක නොදමන්න. මා දුර්වල වෙන විට මාගෙන් ඈත් නොවන්න. අනේ දෙවියනි, මා පැසුණු හිසකෙස් ඇතිව මහලු වයසේ පසුවන විටදී පවා මාගෙන් ඈත් නොවන්න.” (ගීතා. 71:9, 18NW) දෙවි ඔහුව කොහොමටවත් අහක දැමුවේවත් අත්හැරියේවත් නැහැ. එලෙසම දෙවි ඔබවද අත් නොහරින බවට නිසැක වන්න. දෙවි මහලු අයට උපකාර කරන බව දාවිත්ද සනාථ කළා. (ගීතාවලිය 68:19 කියවන්න.) ඔබ දෙවිට විශ්වාසවන්තව සිටින මහලු ක්‍රිස්තියානියෙක් නම් දෙවි ඔබට අවශ්‍ය උපකාර සපයමින් සෑම දිනකම ඔබව රැකබලා ගන්නා බවට කිසිම සැකයක් නැහැ.

15. තමන් ගැන නිවැරදි ආකල්පයක් තබාගන්න මහලු ක්‍රිස්තියානීන්ට හැක්කේ කෙසේද?

15 ඔබ දෙවිට කළ සහ දැන් කරමින් සිටින සේවය ඔහුට කෙදිනකවත් අමතක වන්නේ නැහැ. “ඔබ කළ සේවයද, ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැත” කියා බයිබලයේ සහතිකයක් දී තිබෙන්නේ ඒ නිසයි. (හෙබ්‍රෙ. 6:10) යෙහෝවා දෙවිට ඔබෙන් දැන් පලක් නැහැ යන වැරදි සිතුවිල්ලෙන් ඔබව යටපත් කිරීමට ඉඩ දෙන්න එපා! ඒ වෙනුවට ඔබ ඉදිරියෙහි තිබෙන දීප්තිමත් බලාපොරොත්තුව ගැන ප්‍රීති වන්න. එම ‘ප්‍රීතිමත් ජීවිතය ගැන තිබෙන බලාපොරොත්තුව’ ඉෂ්ට වන බව දෙවි සහතික කර තිබෙනවා. (යෙරෙ. 29:11, 12; ක්‍රියා 17:31; 1 තිමෝ. 6:19) ඔබ සභාවට ඉතා වටිනා සාමාජිකයන් බව කෙදිනකවත් අමතක නොකරන්න. *

16. තමන් වැඩිමහල්ලෙක් ලෙස සේවය කිරීම නතර කළ යුතු බව එක් මහලු සහෝදරයෙකුට හැඟුණේ ඇයි? නමුත් වැඩිමහල්ලන් ඔහුව දිරිමත් කළේ කෙසේද?

16 අවුරුදු 80ක් වයසැති සහෝදර යොහාන්ගේ අද්දැකීම සලකා බලන්න. ඔහු අසනීපව සිටින තම භාර්යාව වන සානිව * ආදරයෙන් රැකබලා ගන්නවා. නමුත් ඔහුට රැස්වීම්වලට සහ දේවසේවයේ සහභාගි වීමට උපකාරයක් හැටියට සභාවේ සහෝදරියන් මාරුවෙන් මාරුවට ඇවිත් ඇයව බලාගන්නවා. නමුත් මෑතක දී ඔහු දැඩි සේ අධෛර්යයට පත් වුණ නිසා සභා වැඩිමහල්ලෙක් හැටියට සේවය කිරීමෙන් ඉවත් වෙන්න තීරණය කළා. ඊට හේතුව ලෙස කඳුළු සලමින් ඔහු පැවසුවේ මෙයයි. “මම සභාව වෙනුවෙන් කිසි දෙයක් කරන්නේ නැහැනේ. ඉතිං මම වැඩිමහල්ලෙක් වෙලා ඉන්න එකේ තේරුමක් තියෙනවද?” නමුත් ඔහු සතු අද්දැකීම් සහ ගැටලු විසඳීමට ඔහු සතු හැකියාව මුළු සභාවටම ඉතා වටිනා බව සෙසු වැඩිමහල්ලන් ඔහුට පැවසුවා. ඔහුට සභාව වෙනුවෙන් කළ හැකි දේ සීමිත වුණත් දිගටම වැඩිමහල්ලෙක් ලෙස සේවය කරන්න කියා ඔවුන් ඔහුගෙන් ඉල්ලා සිටියා. ඉන් මහත් සේ දිරිගැන්වුනු සහෝදර යොහාන් දිගටම වැඩිමහල්ලෙක් ලෙස සේවය කරන්න තීරණය කළ අතර එය සභාවටද මහත් ආශීර්වාදයක් වී තිබෙනවා.

දෙවි ඔවුන්ව රැකබලා ගන්නා බව ස්ථිරයි

17. මහලු ක්‍රිස්තියානීන්ට දේවවචනයේ සහතික කර තිබෙන්නේ කුමක්ද?

17 මහලු වියේදී මුහුණ දීමට සිදුවන අභියෝග මැද පවා ඔවුන් දෙවිට කරන සේවයේ සාර්ථක විය හැකි බව දේවවචනයේ සහතික කර තිබෙනවා. ‘යෙහෝවා දෙවිගේ ගෘහයේ සිටුවනු ලැබූ අය සශ්‍රීක වන්නෝය. වියපත් වූ පසුවද ඔවුහු සාරවත් ගස් මෙන් පල දරන්නෝය. ඔවුහු සැමදා සරුසාරව නිල් පැහැයෙන් දිදුලන්නෝය.’ (ගීතා. 92:13, 14NW) පාවුල්ද යම් අසනීප තත්වයක් නිසා පීඩා වින්දා කියා සිතිය හැකියි. ඒ නිසා ඔහුගේ ‘පිටාතර මිනිසා දිරාපත් වුණත් ඔහු තම උත්සාහය අත්හැරියේ නැහැ.’—2 කොරින්ති 4:16-18 කියවන්න.

18. මහලු අයටත් ඔවුන්ව රැකබලා ගන්නා අයටත් අන් අයගේ උපකාර අවශ්‍ය ඇයි?

18 මහලු වයසේදී පවා දෙවිට කරන සේවය තුළ සාර්ථක විය හැකි බව බොහෝදෙනෙක් ඔප්පු කර තිබෙනවා. ඔවුන්ව රැකබලා ගැනීමට පවුලේ සාමාජිකයන් උපරිමයෙන් උත්සාහ කළත් මහලු විය සහ අසනීප නිසා ඔවුන් අධෛර්යයට පත් විය හැකියි. ඒ වගේම ඔවුන්ව රැකබලා ගන්නා අයද සමහරවිට දැඩි වෙහෙසට පත් වෙනවා. එමනිසා මහලු අයටත් ඔවුන්ව රැකබලා ගන්නා අයටත් තම ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්වීමට සභාවේ සිටින අනෙක් සාමාජිකයන්ට හැකියි. එය වරප්‍රසාදයක් මෙන්ම වගකීමක්. (ගලා. 6:10) එවැනි අයට “කෑම කා තෘප්තියෙන් සිටින්න” කියා පැවසීම පමණක් නොව ඒ සඳහා අවශ්‍ය දේවල් සැපයීමෙන්ද අපගේ ප්‍රේමය පෙන්විය හැකියි.—යාකො. 2:15-17.

19. මහලු ක්‍රිස්තියානීන්ට ප්‍රීති වීමට තිබෙන හේතු මොනවාද?

19 මහලු වියත් සමඟම කෙනෙක් දෙවිට කරන සේවය සීමිත වුණත් යෙහෝවා දෙවි තම විශ්වාසවන්ත සේවකයන්ට දක්වන ප්‍රේමය නම් අඩු වන්නේ නැහැ. ඒ වෙනුවට දෙවි ඔවුන්ව සලකන්නේ අනර්ඝ අය හැටියටයි. (ගීතා. 37:28; යෙසා. 46:4) එමනිසා ඔහු ඔවුන්ගේ මහලු විය පුරාම ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම සහ ශක්තිය සපයනවා.—ගීතා. 48:14.

[පාදසටහන්වල]

^ 7 ඡේ. වර්ෂ 1994 පෙබරවාරි, 8 පිබිදෙව්! කලාපයේ 3-10 දක්වා පිටු බලන්න.—සිංහලෙන් නැත.

^ 10 ඡේ. සමහර රටවල රජයෙන් මහලු අයට යම් දීමනාවක් ලැබෙන අතර එය ලබාගැනීම සඳහා උපකාර කිරීමද ඊට අයත්. ඒ සම්බන්ධයෙන් 2006 ජූනි, 1 මුරටැඹ කලාපයේ “දෙවි මහලු අයව රැකබලා ගනියි” යන ලිපිය බලන්න.

^ 15 ඡේ. වර්ෂ 1993 මාර්තු, 15 මුරටැඹ කලාපයේ පල වූ “පැසුණු හිසේ අලංකාරය” නමැති ලිපිය බලන්න.

^ 16 ඡේ. නම් වෙනස් කර ඇත.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• මහලු ක්‍රිස්තියානීන් සභාවට වටිනා සාමාජිකයන් වන්නේ ඇයි?

• මහලු ක්‍රිස්තියානීන්ට ඔබගේ ප්‍රේමණීය සැලකිල්ල පෙන්විය හැකි ක්‍රම මොනවාද?

• තමන් ගැන නිවැරදි ආකල්පයක් තබාගැනීමට මහලු ක්‍රිස්තියානීන්ට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූර]

සභාවේ සෙසු අය මහලු ක්‍රිස්තියානීන්ට ගරු කරනවා