Skip to content

පටුනට යන්න

“පවිත්‍ර භාෂාව” කතා කරන්න ඔබට පුළුවන්ද?

“පවිත්‍ර භාෂාව” කතා කරන්න ඔබට පුළුවන්ද?

“පවිත්‍ර භාෂාව” කතා කරන්න ඔබට පුළුවන්ද?

“ඒ කාලයේදී මම ජනයාට පවිත්‍ර භාෂාව උගන්වා ඒ ගැන නිවැරදි අවබෝධයක් ඔවුන්ට ලබා දෙන්නෙමි.”—ශෙප. 3:9, නව ලොව පරිවර්තනය, NW.

1. දෙවි මිනිසුන්ට දුන් අනර්ඝ ත්‍යාගය කුමක්ද?

කතා කිරීමේ හැකියාව මිනිසුන්ට ලැබුණේ යෙහෝවා දෙවිගෙනුයි. (නික්. 4:11, 12) දෙවි, මුල් මිනිසා වූ ආදම්ට කතා කිරීමට පමණක් නොව, අලුත් වචන හඳුන්වා දීමෙන් ඔහුගේ අදහස් විවිධාකාරයෙන් පළ කිරීමටත් හැකියාව ලබා දුන්නා. (උත්. 2:19, 20, 23) ඇත්තෙන්ම එය මොන තරම් අනර්ඝ ත්‍යාගයක්ද! ඒ තුළින් මිනිසුන්ට දෙවි සමඟ පවා අදහස් හුවමාරු කරගැනීමට හා ඔහුගේ ශ්‍රේෂ්ඨ නාමයට ප්‍රශංසා කිරීමටත් හැකියාව ලැබුණා.

2. මිනිසුන් අද දින එකම භාෂාවක් කතා නොකරන්නේ ඇයි?

2 ආදම්ගේ සිට අවුරුදු 1700ක් යන තුරුම මිනිසුන් කතා කළේ ‘එක වචන මාලාවකින්’ යුත් එක් භාෂාවක් පමණයි. (උත්. 11:1NW) පසුව දෙවිට විරුද්ධව ක්‍රියා කළ පුද්ගලයෙක් වූ නිම්රොද්ගේ කාලයේදී එය වෙනස් වුණා. ඔහු උත්සාහ කළේ දෙවි පැවසූ ලෙස පොළොව පුරා විසිර නොගොස් විශාල කොතක් ගොඩනඟා එක් ස්ථානයක ජීවත් වීමටයි. ඒ තුළින් ඔවුන්ට අවශ්‍ය වුණේ දෙවිගේ නාමයට ප්‍රශංසාව ගෙනෙනවා වෙනුවට ඔවුන්ටම “කීර්ති නාමයක්” ඇති කරගැනීමටයි. ඒ නිසා දෙවි ඔවුන්ගේ භාෂාව සම්පූර්ණයෙන්ම අවුල් කළ අතර ඒ තුළින් ඔවුන් විවිධ භාෂා කතා කරන්න පටන්ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවි ඔවුන්ව පොළොව පුරා විසිරී යන්න සැලැස්වූවා.—උත්පත්ති 11:4-8 කියවන්න.

3. දෙවි, මිනිසුන් කතා කළ මුල් භාෂාව වෙනස් කළ විට සිදු වුණේ කුමක්ද?

3 අද දින ලොව පුරා සිටින මිනිසුන් භාෂා 6,800කට වැඩියෙන් කතා කරනවා. එම භාෂා කතා කරන අය සිතන ආකාරයත් එකිනෙකට වෙනස්. ඉන් පැහැදිලි වන්නේ දෙවි මුල් භාෂාව අවුල් කළ අවස්ථාවේදී ඔවුන් සිතන ආකාරයත් සම්පූර්ණයෙන්ම වෙනස් වීමට සැලැස්වූ බවයි. ඒ තුළින් ඔවුන් අදහස් ප්‍රකාශ කිරීමට යොදාගත් ව්‍යාකරණ පවා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඔවුන්ගේ භාෂාව අවුල් කළ ස්ථානය බාබෙල් හෙවත් ‘අවුල් කිරීම’ කියා හැඳින්වීම ඉතා උචිතයි. (උත්. 11:9) ඒ අනුව අද දින මෙතරම් භාෂා ප්‍රමාණයක් ඇති වීමට හේතුව කුමක්ද කියා පැහැදිලි කරන්නේ බයිබලය පමණයි.

පවිත්‍ර භාෂාව

4. අපගේ කාලයේදී සිදු වන බවට දෙවි කලින්ම පවසා තිබුණේ කුමක්ද?

4 යෙහෝවා දෙවි එදා බාබෙල්හි සිදු කළ දෙයට වඩා පුදුමාකාර දෙයක් අපගේ කාලයේදී සිදු කර තිබෙනවා. එනම් දෙවි තම සෙනඟට පවිත්‍ර භාෂාව උගන්වා තිබෙනවා. ඒ ගැන අනාගතවක්තෘ ශෙපනියා මගින් දෙවි කලින්ම පවසා තිබුණේ මෙසේයි. “ඒ කාලයේදී මම ජනයාට පවිත්‍ර භාෂාව උගන්වා ඒ ගැන නිවැරදි අවබෝධයක් ඔවුන්ට ලබා දෙන්නෙමි. එවිට ඒ සියලුදෙනාටම යෙහෝවා දෙවිගේ නාමයට අයදින්නත් එක්සත්කමින් ඔහුට සේවය කරන්නත් හැකි වනු ඇත.” (ශෙප. 3:9NW) එම “පවිත්‍ර භාෂාව” කුමක්ද? එය දක්ෂ ලෙස කතා කරන්න අපට ඉගෙනගත හැක්කේ කෙසේද?

5. පවිත්‍ර භාෂාව කුමක්ද? එය ඉගෙනගැනීමේ ප්‍රතිඵලය වී ඇත්තේ කුමක්ද?

5 එම “පවිත්‍ර භාෂාව” නම් බයිබලයේ සඳහන් සියලුම සත්‍ය ඉගැන්වීම් සහ දෙවිගේ අරමුණුයි. ඊට දෙවිගේ රාජ්‍යය පිළිබඳ නිවැරදි අවබෝධය ලබාගැනීමද අයත්. එනම් දේවරාජ්‍යය මගින් දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළල ඉවත් කරන ආකාරය, සියල්ල පාලනය කිරීමට දෙවිට තිබෙන අයිතිය සහ මිනිස් වර්ගයාට ඉන් ලැබෙන සදාකාල ආශීර්වාද ගැනද නිවැරදිව තේරුම්ගැනීමත් ඊට අයත්. මෙම පවිත්‍ර භාෂාව ඉගෙනගැනීමේ ප්‍රතිඵලයක් ලෙස “යෙහෝවා දෙවිගේ නාමයට අයදින්නත් එක්සත්කමින් ඔහුට සේවය කරන්නත්” ජනයාට හැකියාව ලැබෙනවා. බාබෙල්හි සිදු වූ දෙයට වෙනස්ව මේ පවිත්‍ර භාෂාව ඉගෙනගැනීම නිසා දෙවිගේ නාමයට ප්‍රශංසාව ලැබෙන අතර ඔහුගේ සෙනඟ අතර එක්සත්කම පවත්වාගැනීමටත් එය දායක වෙනවා.

පවිත්‍ර භාෂාව ඉගෙනගනිමු

6, 7. (අ) වෙනත් භාෂාවක් ඉගෙනගැනීමට ඇතුළත් වන්නේ කුමක්ද? එමෙන්ම පවිත්‍ර භාෂාව ඉගෙනගැනීමේදී එය අදාළ වන්නේ කෙසේද? (ආ) දැන් අපි සලකා බලන්නේ කුමක්ද?

6 සාමාන්‍යයෙන් වෙනත් භාෂාවක් ඉගෙනගන්නා කෙනෙක් අලුත් වචන මතකයේ තබාගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඊට අමතරව එම භාෂාවට අනුව අදහස් පළ කරන ආකාරයද ඔහු ඉගෙනගත යුතුයි. භාෂාවට අනුව තර්කානුකූලව යමක් ඉදිරිපත් කිරීමට සහ හාස්‍ය පළ කිරීමටද ඉගෙනගත යුතුයි. එමෙන්ම වචන උච්චාරණය කිරීමට භාවිත කරන දිව හා අනිකුත් ඉන්ද්‍රියන් හසුරුවන ආකාරයත් වෙනස් කරගත යුතුයි. එය බයිබල් සත්‍යය නමැති පවිත්‍ර භාෂාව ඉගෙනගැනීමේදීද අදාළයි. මූලික බයිබල් සත්‍යයන් කිහිපයක් පමණක් ඉගෙනගැනීම ප්‍රමාණවත් නැහැ. ඒ වෙනුවට අප සිතන්න පුරුදු වී සිටි ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරගැනීමද අවශ්‍යයි.—රෝම 12:2; එෆීස 4:23 කියවන්න.

7 මෙම පවිත්‍ර භාෂාව තේරුම්ගැනීමටත් දක්ෂ ලෙස එය කතා කරන්නත් අපට හැක්කේ කෙසේද? ඕනෑම භාෂාවක් ඉගෙනගැනීම සඳහා උපකාරවත් වන ක්‍රම කිහිපයක් තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමෙන් වෙනත් භාෂාවක් දක්ෂ ලෙස කතා කරන්න ඉගෙනගත හැකියි. එම ක්‍රම මොනවාද කියා දැන් අපි සලකා බලමු. ඒවා අදාළ කරගැනීමෙන් බයිබල් සත්‍යය නමැති පවිත්‍ර භාෂාව ඉගෙනගන්නත් එය දක්ෂ ලෙස කතා කරන්නත් අපට හැකියි.

පවිත්‍ර භාෂාව දක්ෂ ලෙස කතා කරමු

8, 9. පවිත්‍ර භාෂාව ඉගෙනගැනීමට අප කුමක් කළ යුතුද? එය එතරම්ම වැදගත් වන්නේ ඇයි?

8 හොඳ අවධානයෙන් සවන් දෙන්න. වෙනත් භාෂාවක් ඉගෙනගැනීමට පටන්ගන්නා කෙනෙකුට මුලදී එම භාෂාව සම්පූර්ණයෙන්ම නුහුරු දෙයක් විය හැකියි. (යෙසා. 33:19) නමුත් ඔහුට ඇසෙන වචනවලට හොඳ අවධානයක් දුන්නොත් එම වචන හඳුනාගෙන ඒවා භාවිත කර වාක්‍යය සකසන ආකාරය තේරුම්ගැනීමටත් හැකි වෙනවා. ඊට සමානව අපත් මෙම පවිත්‍ර භාෂාව දක්ෂ ලෙස කතා කිරීමට නම් අපට ඇසෙන වචනවලට හොඳින් ‘සවන් දී එහි හරය වටහාගත යුතුයි.’ (මතෙ. 15:10; මාක් 7:14) ඒ නිසා බයිබලයේ අපට උනන්දු කර තිබෙන්නේ “අප කිසි කලක ගසාගෙන නොයන පිණිස, අප ඇසූ දේවල් කෙරෙහි සාමාන්‍යයට වඩා වැඩි අවධානයක්” දෙන්න කියායි. (හෙබ්‍රෙ. 2:1) “කන් ඇත්තා සවන් දේවා” කියා පැවසීමෙන් යේසුස්ද එය අවධාරණය කළා.—මතෙ. 11:15; 13:43; මාක් 4:23; ලූක් 14:35.

9 අප සවන් දෙන දේවල්වලට පූර්ණ අවධානයක් දීමත් අවශ්‍යයි. ඒ සඳහා දරන වෑයම අපතේ යන්නේ නැහැ. (ලූක් 8:18) රැස්වීම්වලදී සාකච්ඡා කරන තොරතුරුවලට අප හොඳින් අවධානය දෙනවාද නැත්නම් ඒ අවස්ථාවේදී වෙනත් දේවල් ගැන කල්පනා කරමින් සිටිනවාද? රැස්වීම්වලදී අප ඉගෙනගන්නා තොරතුරුවලට පූර්ණ අවධානයක් දීම ඉතා වැදගත්. එසේ අවධානය නොදුන්නොත් අපගේ ඇහුම්කන් දීමේ හැකියාව අඩු විය හැකියි.—හෙබ්‍රෙ. 5:11.

10, 11. (අ) වෙනත් භාෂාවක් ඉගෙනගැනීමට උපකාරවත් වන තවත් දෙයක් කුමක්ද? (ආ) පවිත්‍ර භාෂාව කතා කිරීමට අයත් වන්නේ කුමක්ද?

10 භාෂාව දක්ෂ ලෙස භාවිත කරන අයව අනුකරණය කරන්න. වෙනත් භාෂාවක් ඉගෙනගන්නා අයට උපකාරවත් වන තවත් දෙයක් වන්නේ එම භාෂාව දක්ෂ ලෙස හසුරුවන අය වචන උච්චාරණය කරන ආකාරය සහ වචන හසුරුවන ආකාරය අනුකරණය කිරීමයි. එසේ නොකළොත් සමහරවිට අප වැරදි ලෙස වචන උච්චාරණය කිරීම නිසා අප පවසන දේ අන් අයට තේරුම්ගැනීමට නොහැකි වෙයි. ඒ හා සමානව අපත් “ඉගැන්වීමේ කලාව” දක්ෂ ලෙස භාවිත කරන අයව අනුකරණය කරමු. (2 තිමෝ. 4:2) එමෙන්ම මෙම පවිත්‍ර භාෂාව ඉගෙනගැනීමට අවශ්‍ය උපකාර ඉල්ලීමට පසුබට නොවෙමු. අප අතින් යම් වරදක් සිදු වන විට එය පිළිගෙන, නිවැරදි කරගැනීමට කටයුතු කරමු.—හෙබ්‍රෙව් 12:5, 6, 11 කියවන්න.

11 අප බයිබල් ඉගැන්වීම් විශ්වාස කිරීම, අන් අයට ඒවා ඉගැන්වීම පමණක් නොව අප ඒවාට එකඟව ජීවත් වීමද අවශ්‍යයි. ඒ සඳහා කදිම ආදර්ශ තබා තිබෙන අයගේ ඇදහිල්ල හා උද්‍යෝගය අනුකරණය කරමු. එමෙන්ම යේසුස්ගේ මුළු ජීවිතයම ආදර්ශයට ගැනීම ඊට ඇතුළත්. (1 කොරි. 11:1; හෙබ්‍රෙ. 12:2; 13:7) අප දිගටම එසේ කරද්දී දෙවිගේ සෙනඟ අතර එක්සත්කම ඇති වෙනවා මෙන්ම සියලුදෙනාටම එකඟතාවකින් යුතුව කතා කිරීමටද හැකි වෙනවා.—1 කොරි. 4:16, 17.

12. භාෂාවක් ඉගෙනගැනීමේදී මතක තබාගැනීම උපකාරවත් වන්නේ කෙසේද?

12 මතක තබාගන්න. වෙනත් භාෂාවක් ඉගෙනගන්නා අයට ඔවුන් ඉගෙනගන්නා අලුත් කරුණු මතක තබාගන්න සිදු වෙනවා. ඊට අලුත් වචන හා අදහස් ඇතුළත්. ඒ හා සමානව ක්‍රිස්තියානීන්ටද මෙම පවිත්‍ර භාෂාව ඉගෙනගැනීමට ඒ ක්‍රමය විශාල උපකාරයක්. උදාහරණයකට සමහරුන් බයිබල් පොත්වල නම් මතක තබාගන්නා අතර තවත් අය බයිබල් පද මතක තබාගන්නවා. එමෙන්ම ගීතිකා, ඊශ්‍රායෙල් ගෝත්‍රවල නම්, යේසුස්ගේ ගෝලයන් 12දෙනාගේ නම්, දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් ඇති වන ගුණාංග නවය මතක තබාගැනීමටද තවත් අය පුරුදු වී සිටිනවා. එදා සිටි බොහෝ ඊශ්‍රායෙල්වරුන්ට ගීතිකා රාශියක් මතකයෙන් ගායනා කරන්න හැකියාව තිබුණා. ඒ හා සමානව අවුරුදු හයක් වයසැති කුඩා දරුවෙක් බයිබල් පද 80කට වැඩියෙන් මතක තබාගත් බව වාර්තා වෙනවා. ඔබටත් එසේ කළ හැකිද?

13. නැවත මතක් කරගැනීම එතරම් වැදගත් ඇයි?

13 සිහියට නඟා ගන්න. යම් දෙයකට නැවත නැවත ඇහුම්කන් දීමෙන් මතක ශක්තිය වැඩි වෙනවා. ක්‍රිස්තියානීන් වන අපට දෙවිගේ සංවිධානය මගින් බොහෝ දේවල් නැවත නැවත මතක් කර දෙනවා. එය අප ලබන අධ්‍යාපනයේ විශේෂ අංගයක්. පේතෘස්ද ඒ දෙය කළ බව පහත සඳහන් වචනවලින් පැහැදිලියි. “ඔබ මේ දේවල් දැන, ඔබ තුළ ඇති සත්‍යතාවෙහි ස්ථිරව පිහිටා සිටින නමුත්, ඔබට මේ දේවල් සිහි කරවීමට මම නිතරම සූදානමින් සිටිමි.” (2 පේතෘ. 1:12) අපට සිහිගැන්වීම් අවශ්‍ය ඇයි? ඉන් අපගේ අවබෝධය පුළුල් වන අතර දෙවිට දිගටම කීකරු වීමට වූ අපගේ අධිෂ්ඨානයද ශක්තිමත් වෙනවා. (ගීතා. 119:129) එමෙන්ම දෙවිගේ නීති ප්‍රතිපත්ති නිතර නිතර අධ්‍යයනය කිරීම, අප ගැනම සෝදිසි කිරීමටත් “අසා අමතක කරන්නෙකු” නොවීමටත් අපට උපකාර කරනවා. (යාකො. 1:22-25) නමුත් අප එසේ නිතර නිතර සිහිගැන්වීම් ලැබුවේ නැත්නම් මේ ලෝකයේ දේවල්වලින් අපගේ හදවත් දූෂ්‍යය විය හැකි අතර බයිබල් සත්‍යය නමැති පවිත්‍ර භාෂාව අපට ක්‍රමානුකූලව අමතක වී යයි.

14. අපට පවිත්‍ර භාෂාව ඉගෙනගැනීමට උපකාරවත් වන තවත් දෙයක් සඳහන් කරන්න.

14 ඇසෙන පරිදි කියවන්න. (එළි. 1:3) සමහරුන් පොත් පත් නිහඬව කියවීමෙන් වෙනත් භාෂාවක් ඉගෙනගන්න උත්සාහ කරනවා. එහෙත් ඉන් ලැබෙන ප්‍රතිඵල ඉතා අඩුයි. මෙම පවිත්‍ර භාෂාව ඉගෙනගැනීමේදීත් එය සත්‍යයක්. අප බයිබලය “සිහින් හඬින්” කියවනවා නම් එහි තොරතුරුවලට හොඳ අවධානයක් දිය හැකියි. (ගීතාවලිය 1:1, 2 කියවන්න.) එමගින් අප කියවන තොරතුරු අපගේ මනසේ නොමැකෙන සේ සටහන් වෙයි. හෙබ්‍රෙව් භාෂාවට අනුව “සිහින් හඬින්” කියවීමට ගැඹුරින් කල්පනා කිරීම යන අදහසද ඇතුළත්. සාමාන්‍යයෙන් අප ගන්නා ආහාරවලින් පෝෂණය වීමට නම් ඒවා හොඳින් ජීර්ණය විය යුතුයි. එලෙසම අප කියවන තොරතුරු මනසට හොඳින් උරාගැනීමට නම් ඒ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුයි. එසේනම් අපි බයිබලය කියවද්දී කියවන දේ ගැන ගැඹුරින් කල්පනා කිරීමට කාලය ගනිමු.

15. මෙම පවිත්‍ර භාෂාව හැදෑරීමේදී කළ යුතු තවත් දෙයක් කුමක්ද?

15 ව්‍යාකරණ පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න. වෙනත් භාෂාවක් හැදෑරීමේදී ඊට ආවේණික ව්‍යාකරණ රීති අවබෝධ කරගැනීම අවශ්‍යයි. එමගින් ඒ භාෂාව සැකසී ඇති ආකාරය හඳුනාගෙන එය නිවැරදිව කතා කරන්නත් හැකියාව ලැබෙනවා. ඕනෑම භාෂාවක වචන හසුරුවන රටාවක් තිබෙනවා. එලෙසම බයිබල් සත්‍යය නමැති මෙම පවිත්‍ර භාෂාවේද ‘සුවදායී වචනවලද රටාවක්’ තිබෙනවා. (2 තිමෝ. 1:13, පාද සටහන) අප එම “රටාව” හොඳින් අධ්‍යයනය කර එය අනුකරණය කරමු.

16. අප මඟ හැරිය යුත්තේ කුමක්ද? එය කළ හැක්කේ කෙසේද?

16 දිගටම ප්‍රගතියක් ලබන්න. සමහරුන් යම් දුරකට අදහස් හුවමාරු කරගැනීමට හැකියාව ලැබුණායින් පසු එම භාෂාව පිළිබඳ වැඩි දුර ඉගෙනගැනීම නතර කරනවා. ඒ දෙයම පවිත්‍ර භාෂාව ඉගෙනගන්නා අයටද සිදු විය හැකියි. (හෙබ්‍රෙව් 5:11-14 කියවන්න.) එය මඟ හැරිය හැක්කේ කෙසේද? ඒ සඳහා මෙම පවිත්‍ර භාෂාව ප්‍රගුණ කිරීමට නොකඩවා උත්සාහ කරමින් සිටිය යුතුයි. බයිබලය අපට මෙසේ උනන්දු කරන්නේ ඒ නිසයි. “අපි ක්‍රිස්තුස් පිළිබඳ ප්‍රාථමික ඉගැන්වීම පසු කර සිටින නිසා, මේරූභාවය කරා ඉදිරියටම යමු. නැවත අත්තිවාරමක් නොතබමු. එනම්, මළ ක්‍රියාවල් ගැන පසුතැවිලි වීම, දෙවි කෙරෙහි ඇදහීම, බව්තීස්මය, අත් තැබීම, මළවුන්ගේ නැවත නැඟිටීම හා සදාකාල විනිශ්චය පිළිබඳ ඉගැන්වීම නමැති අත්තිවාරම නැවත නොතබමු.”—හෙබ්‍රෙ. 6:1, 2.

17. නිතිපතා අධ්‍යයනය කිරීම වැදගත් ඇයි? නිදර්ශනය කරන්න.

17 කාල සටහනකට අනුව අධ්‍යයනය කරන්න. වැඩි වේලාවක් යොදවමින් ඉඳ හිට අධ්‍යයනය කරනවාට වඩා කෙටි වේලාවක් වැය කරමින් නිතිපතා අධ්‍යයනය කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලැබිය හැකියි. අධ්‍යයනය සඳහා සම්පූර්ණ අවධානය දිය හැකි අවස්ථාවන් මේ සඳහා තෝරාගන්න. වෙනත් භාෂාවක් ඉගෙනගැනීම, කැලයක් මැදින් අලුත් පාරක් කැපීමකට සමාන කළ හැකියි. එම පාරෙන් නිතර නිතර ගමන් කරන තරමට එහි වල් බිහිවීම සිදු නොවන අතර යන එන අයටද එය පහසුවක්. නමුත් කාලයක් පුරා එය භාවිත නොකළොත් ගමන දුෂ්කර වෙයි. (දානි. 6:16, 20) එලෙසම බයිබල් සත්‍යය නමැති පවිත්‍ර භාෂාව ඉගෙනගැනීමට හැකි වන ලෙස අපි දෙවිට ‘නොකඩවා’ යාච්ඤා කරමින් ‘අවදිව’ සිටිමු.—එෆී. 6:18.

18. අප පවිත්‍ර භාෂාව සෑම අවස්ථාවකදීම කතා කළ යුත්තේ ඇයි?

18 ඉගෙනගත් දේ කතා කරන්න. වෙනත් භාෂාවක් ඉගෙනගන්නා බොහෝදෙනෙක් ලැජ්ජාව හෝ වරදියි යන බිය නිසා එය කතා කිරීමට මැළි වෙනවා. එය ඔවුන්ට ලොකු බාධාවක්. නමුත් එය ජය ගත හැක්කේ පුහුණුව මගින් පමණයි. එමනිසා ශිෂ්‍යයා ඉගෙනගන්නා භාෂාව වැඩි වැඩියෙන් කතා කරද්දී ඔහුට පහසුවෙන් කතා කිරීමට හැකි වෙනවා. අපත් මෙම පවිත්‍ර භාෂාව පහසුවෙන් කතා කිරීමට නම් මෙම උපදෙස ක්‍රියාත්මක කළ යුතුයි. “යමෙක් ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය. නමුත් යමෙක් ගැලවීම පිණිස මුඛයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේය.” (රෝම 10:10) අප අපේ ඇදහිල්ල “ප්‍රසිද්ධියේ ප්‍රකාශ” කරන්නේ බව්තීස්ම වන අවස්ථාවේදී පමණක් නොව ගෙයින් ගෙට දේවසේවය ඇතුළු දෙවි ගැන සාක්ෂි දරන්න ලැබෙන සෑම අවස්ථාවකදීම අප එසේ කරනවා. (මතෙ. 28:19, 20; හෙබ්‍රෙ. 13:15) එමෙන්ම අපගේ ක්‍රිස්තියානි රැස්වීම්වලදීද පැහැදිලි කෙටි පිළිතුරු ලබා දීම මගින් එම පවිත්‍ර භාෂාව පුහුණු වීමට අවස්ථාව ලැබෙනවා.—හෙබ්‍රෙව් 10:23-25 කියවන්න.

එය දෙවිට ප්‍රශංසා කිරීමට භාවිත කරමු

19, 20. (අ) අද දින ලොව පුරා සිදු වන පුදුමාකාර කාර්යය කුමක්ද? (ආ) අපගේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

19 ක්‍රිස්තු වර්ෂ 33 සීවාන් මස හයවන දින උදෑසන නවයට ටිකක පමණ පෙර යෙරුසලමේ එක්තරා උඩුමහල් කාමරයක සිදු වූ දේ ගැන මදක් කල්පනා කරන්න. එහි රැස්ව සිටි සියල්ලන්ම එකවර “විවිධ භාෂාවලින් කතා කරන්න” පටන්ගත්තා. (ක්‍රියා 2:4) නමුත් අද දින අපට ඒ හැකියාව නැහැ. (1 කොරි. 13:8) ඒ වුණත් ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් භාෂා 430කට වැඩියෙන් දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය ප්‍රකාශ කරමින් සිටිනවා.

20 අප කතා කරන භාෂා විවිධ වුණත් ලොව පුරාම සිටින දෙවිගේ සෙනඟ හැටියට අප සියලුදෙනාම එක භාෂාවක් කතා කරනවා. එය නම් බයිබල් සත්‍යය නමැති පවිත්‍ර භාෂාවයි. අප දෙවිට ඒ ගැන මොන තරම් ස්තුතිවන්ත විය යුතුද! බාබෙල්හි සිදු වූ දෙයට වඩා වෙනස්ව ඉන් දෙවිට මහත් ප්‍රශංසාවක් ලැබී තිබෙනවා. (1 කොරි. 1:10) එසේනම් අපගේ අධිෂ්ඨානය විය යුත්තේ බයිබල් සත්‍යය නමැති පවිත්‍ර භාෂාව ඉගෙනගෙන එය දක්ෂ ලෙස කතා කිරීම සහ අපගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් සමඟ “එක්සත්කමින්” දෙවිට සේවය කිරීමයි. එමගින් අපගේ ප්‍රේමණීය දෙවි යෙහෝවාගේ නාමයට ප්‍රශංසාව ගෙන එමු.—ගීතාවලිය 150:1-6 කියවන්න.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• අප ඉගෙනගන්නා පවිත්‍ර භාෂාව කුමක්ද?

• පවිත්‍ර භාෂාව කතා කිරීමට අයත් වන්නේ කුමක්ද?

• පවිත්‍ර භාෂාව දක්ෂ ලෙස කතා කිරීමට උපකාරවත් වන ක්‍රම මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ කොටුව]

පවිත්‍ර භාෂාව දක්ෂ ලෙස කතා කිරීමට උපකාරවත් වන ක්‍රම කිහිපයක් නම්

හොඳ අවධානයෙන් සවන් දෙන්න.

ලූක් 8:18; හෙබ්‍රෙ. 2:1.

දක්ෂ කථිකයන්ව අනුකරණය කරන්න.

1 කොරි. 11:1; හෙබ්‍රෙ. 13:7.

මතක තබා ගන්න, සිහියට නඟා ගන්න.

යාකො. 1:22-25; 2 පේතෘ. 1:12.

ඇසෙන පරිදි කියවන්න.

ගීතා. 1:1, 2; එළි. 1:3.

ව්‍යාකරණ පිළිබඳ දැනුවත් වන්න.

2 තිමෝ. 1:13.

දිගටම ප්‍රගතියක් ලබන්න.

හෙබ්‍රෙ. 5:11-14; 6:1, 2.

කාල සටහනකට අනුව අධ්‍යයනය කරන්න.

දානි. 6:16, 20; එෆී. 6:18.

ඉගෙනගත් දේ කතා කරන්න.

රෝම 10:10; හෙබ්‍රෙ. 10:23-25.

[24වන පිටුවේ පින්තූර]

දෙවිගේ සෙනඟ විසින් එක්සත්කමින් යුතුව පවිත්‍ර භාෂාව කතා කරයි