Skip to content

පටුනට යන්න

පළඟැටි හමුදාවක් බඳු මිෂනාරිවරුන්

පළඟැටි හමුදාවක් බඳු මිෂනාරිවරුන්

124වන ගිලියද් පාසැල

පළඟැටි හමුදාවක් බඳු මිෂනාරිවරුන්

මාස හයකට වරක් පවත්වන ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ පැවරුම් පිරිනමන අවස්ථාවට, එක්සත් ජනපදයේ බෙතෙල් පවුලේ සියලුම සාමාජිකයන්ට ඇරයුම් කරනවා. වර්ෂ 2008 මාර්තු 8වන දින පැවති 124වෙනි පාසැලේ පැවරුම් පිරිනමන උත්සවයට තවත් රටවල් 30කට වැඩි ගණනකින් නියෝජිතයන්ද ඔවුන් හා එක් වුණා. පැමිණ සිටි 6,411 දෙනාම එදා පැවරුම් ලැබූ ශිෂ්‍යයන් සමඟ ප්‍රීතිය බෙදාගත්තා.

“දෙවිගේ පළඟැටි හමුදාව සමඟ ඉදිරියටම යන්න” යන තේමාව යටතේ සබය ඇමතූ වැඩසටහනේ සභාපති හා පාලක මණ්ඩලයේ සාමාජික සහෝදර ස්ටීවන් ලෙට් එදින වැඩසටහන ආරම්භ කළා. එළිදරව් 9:1-4හි සඳහන් පළඟැටි හමුදාව වේගයෙන් ක්‍රියාත්මක වූවා සේ, අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ කුඩා පිරිසක් 1919දී යළි ප්‍රාණවත් වී තම කටයුතු වේගවත් කළ බව ඔහු පැවසුවා. ‘වෙනත් බැටළුවන්ට’ අයත් මෙම ශිෂ්‍යයන්ද එම පළඟැටි හමුදාවට එකතුව ක්‍රියා කරන බව ඔහු සිහිපත් කළා.—යොහ. 10:16.

එක්සත් ජනපද ශාඛා කමිටුවේ සාමාජික සහෝදර ලොන් ෂිලිං විසින් ඊළඟ කතාව ඉදිරිපත් කළ අතර ඔහුගේ තේමාව වුණේ “එකිනෙකාට උපකාර කරන්න” යන්නයි. එය පදනම් වුණේ මුල් සියවසේ ක්‍රිස්තියානි විවාහක යුවළක් වූ අකිලා හා ප්‍රිසිලා යන දෙදෙනාගේ ආදර්ශය මතයි. (රෝම 16:3, 4) මෙම පාසැලට විවාහක යුවළයන් 28ක් සහභාගි වූ අතර ඔවුන්ගේ පැවරුම් සාර්ථක කරගැනීම සඳහා ඔවුන්ගේ විවාහ බැඳීම ශක්තිමත් කරගැනීම වැදගත් බව ඔහු පැවසුවා. බයිබලයේ අකිලා ගැන සඳහන් කරන සෑම විටම ප්‍රිසිලා ගැනත් සඳහන් කර තිබෙනවා. පාවුල් හා ඔවුන් සිටි සභාවේ අයද මේ දෙදෙනාව සැලකුවේ කිට්ටු බැඳීමක් ඇති යුවළක් හැටියටයි. ඒ හා සමානව මිෂනාරි යුවළක්ද වැඩ කරන විට, දෙවිට නමස්කාර කරන විට හා තම පැවරුම තුළදී අභියෝගවලට මුහුණ දෙන විට එක්ව එසේ කළ යුතුයි.—උත්. 2:18.

පාලක මණ්ඩලයේ සාමාජික, සහෝදර ගයි පියස්ගේ තේමාව වුණේ “දෙවිගේ යහපත්කමට ප්‍රතිචාරය දක්වන්න” යන්නයි. යහපත් කෙනෙක් වැරදි කිරීමෙන් වැළකී සිටිනවා පමණක් නොව අන් අය වෙනුවෙන් යපහත් දේවල් කිරීමටද පෙලඹෙනවා. එසේ කිරීමට අපව පොලඹවන්නේ දෙවි අපට පෙන්වා තිබෙන යහපත්කම හා ප්‍රේමයයි. ඒ සම්බන්ධයෙන් උසස්ම ආදර්ශයද ඔහුයි. (සෙක. 9:16, 17) ශිෂ්‍යයන්ගේ වෑයම් ප්‍රශංසාවට ලක් කළ ඔහු තම කතාව අවසන් කළේ මෙසේයි. “ඔබ මේ වන තෙක් බොහෝ යහපත් දේ කර තිබෙනවා. ඒ වගේම දෙවි ඔබට පෙන්වා තිබෙන යහපත්කම නිසා ඔහු ඉදිරියේදී ඔබට දෙන ඕනෑම පැවරුමක් ඔබ සතුටින් බාරගන්නා බව අපට විශ්වාසයි.”

ඊළඟ කතාව ඉදිරිපත් කළේ මිෂනාරිවරයෙකු ලෙස සේවය කළ, දැන් ගිලියද් පාසැලේ උපදේශකයෙකු ලෙස සේවය කරන සහෝදර මයිකල් බර්නට් විසිනුයි. “එය ඔබගේ ඇස් අතර නළල් පටියක් මෙන් බැඳගන්න” යන්න ඔහුගේ තේමාවයි. එදා ඊශ්‍රායෙල්වරුන් පැළඳ සිටි ‘නළල් පටිය’ මගින් දෙවි ඊජිප්තුවරුන්ගෙන් ඔවුන්ට ලබා දුන් මහත් ගැළවීම මතක් කර දුන්නා. (නික්. 13:16, නව ලොව පරිවර්තනය, NW) ඒ හා සමානව ගිලියද් පාසැල මගින් ශිෂ්‍යයන් ලැබූ උපදෙස් නළල් පටියක් මෙන් බැඳගන්න එනම් ඒවා මතක තබාගන්න කියා ඔහු ඔවුන්ට දිරිගැන්නුවා. එමෙන්ම සෙසු මිෂනාරිවරු හා වෙනත් අය සමඟ කටයුතු කරද්දී නිහතමානී වීම හා බයිබල් උපදෙස් අදාළ කරගැනීම ගැටලු මඟ හරවා ගැනීමට උපකාර කරන බවත් ඔහු පැවසුවා.—මතෙ. 5:23, 24.

“ඔබ ගැන ඔවුන් කුමක් ගායනා කරයිද?” යන කතාව ඉදිරිපත් කළේ කාලයක් පුරා ගිලියද් පාසැලේ උපදේශකයෙකු ලෙස සේවය කරන සහෝදර මාක් නූමැර් විසිනුයි. ඊශ්‍රායෙල්වරුන් යුද්ධයේදී ලැබූ ජයග්‍රහණ සැමරුවේ ඊට සම්බන්ධ ගීත ගායනා කිරීමෙන් බව ඔහු පැවසුවා. එක් යුද්ධයකට රූබන්, දාන් හා ආෂෙර් යන ගෝත්‍ර ඊට හවුල් වීම ප්‍රතික්ෂේප කිරීම ගැනත් සෙබ්‍යුලන්වරු තම දිවි පරදුවට තබා යුද්ධ කිරීම ගැනත් ගායනා කර තිබෙන එවන් ගීයක් බයිබලයේ අඩංගුයි. (විනි. 5:16-18) ගීතයක පද මාලාව මෙන් ක්‍රිස්තියානියෙකුගේ ක්‍රියාද අන් අයගේ අවධානයට ලක් වෙන බව ඔහු පැවසුවා. එමෙන්ම ක්‍රිස්තියානියෙක් දෙවි පවරා ඇති වැඩ උද්‍යෝගයෙන් කරන විට හා දෙවිගේ සංවිධානයෙන් ලැබෙන මඟපෙන්වීම්වලට විශ්වාසවන්තව ඇලී සිටින විට ඔහු දෙවිට ප්‍රසන්න පුද්ගලයෙක් වන අතර අපගේ සෙසු නමස්කාරකයන්ටද කදිම ආදර්ශයක් සපයනවා. එවිට ඔවුන්ද එම ආදර්ශය අනුකරණය කිරීමට පෙලඹෙන බව ඔහු පැවසුවා.

ශිෂ්‍යයන්ගේ පුහුණුවේම කොටසක් ලෙස ඔවුන් දේවසේවයෙහි සහභාගි වූ අතර ඒ සඳහා පැය 3,000ක් පමණ වැය කළා. “දෙවිගේ බලයේ මඟ පෙන්වීම් අනුගමනය කරන්න” යන තේමාව යටතේ කතා කළ සහෝදර සෑම් රොබර්සන් සේවය කරන්නේ දිව්‍යාණ්ඩු සේවා පාසැල් අංශයේයි. ඔහුගේ කතාව තුළදී ශිෂ්‍යයන් දේවසේවයේදී ලැබූ අද්දැකීම් ඉදිරිපත් කළ අතර ඉන් කිහිපයක් නැවත්තත් නිරූපණය කළා. පසුව එක්සත් ජනපදයේ ශාඛා කාර්යාල කමිටුවේ සාමාජිකයෙක් වන සහෝදර පැට්‍රික් ලාෆ්‍රැන්කා විසින් දැනටමත් මිෂනාරීන් ලෙස සේවය කරන කිහිපදෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වූ අතර ශිෂ්‍යන් එම සහෝදරයන්ගේ මඟ පෙන්වීම් බොහෝසේ අගය කළා.

වැඩසටහනේ අවසාන කතාව ඉදිරිපත් කළේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ඇන්තනී මොරිස්. ඔහුගේ තේමාව වුණේ “පෙණෙන දේ තාවකාලික බව මතක තබාගන්න” යන්නයි. වර්තමානයේ අප මුහුණ දෙන පීඩා ගැන කනස්සලු නොවී ඉදිරියේදී දෙවි අපට ලබා දෙන ආශීර්වාද ගැන කල්පනා කරන්න කියා ඔහු දිරිගැන්නුවා. (2 කොරි. 4:16-18) අද දින දිළිඳුකම, අයුක්තිය, පීඩා, අසනීප හා මරණය වැනි දේවල් බහුලව තිබෙන අතර මිෂනාරීවරුන්ටද ඊට මුහුණ දීමට සිදු විය හැකියි. නමුත් ඒ දේවල් තාවකාලික බව මතක තබාගැනීමෙන් දෙවිට කරන සේවයට මුල් තැන දීමට හැකි බව ඔහු පැවසුවා.

වැඩසටහනේ අවසන් කොටස සඳහා සියලුම ශිෂ්‍යයන් වේදිකාවේ අසුන්ගෙන සිටි අතර සහෝදර ලෙට් විසින් ඔවුන්ව දිරිගන්වමින් මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවිගේ උපකාරය අපට තිබෙනවා නම් අප කුමන දෙයකට මුහුණ දුන්නත් අප දෙවිට පක්ෂපාතව සිටින බව නම් ස්ථිරයි!” අවසානයේදී ඔහු, මහත් පළඟැටි සේනාවක් මෙන් දිගටම දෙවිගේ සේවය තුළ උද්‍යෝගයෙන්, පක්ෂපාතව හා කීකරුව සිටින්න කියා අලුතෙන් පැවරුම් ලැබූ මිෂනාරිවරුන්ගෙන් ඉල්ලා සිටියා.

[30වන පිටුවේ කොටුව]

සහභාගි වූවන්ගේ විස්තර

නියෝජනය කළ රටවල් සංඛ්‍යාව: 7

පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 16

ශිෂ්‍යන්ගේ සංඛ්‍යාව: 56

වයසේ සාමාන්‍යය: 33.8

සත්‍යයේ සිටි වසර ගණනේ සාමාන්‍යය: 18.2

පූර්ණ කාලීන සේවයේ යෙදී ඇති වසර ගණනේ සාමාන්‍යය: 13.8

[31වන පිටුවේ පින්තූරය]

ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙන් පුහුණුව ලත් 124වන පංතිය

පහත ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර, එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තුගත කර තිබෙනවා.

(1) නිකල්සන්, ටී.; මේන්, එච්.; සෙන්ගේ, වයි.; ස්නේප්, එල්.; වානේගාස්, සී.; පෝ, එල්. (2) සන්තානා, එස්.; ඕ, කේ.; ලමැත්‍ර, සී.; විලියම්ස්, එන්.; ඇලෙක්සැන්ඩර්, එල්. (3) වුඩ්ස්, බී.; ස්ටේන්ටන්, එල්.; හන්ට්ලි, ඊ.; අල්වාරේස්, ජී.; කෲස්, ජේ.; බෙනට්, ජේ. (4) විලියම්සන්, ඒ.; ගොන්සාලේස්, එන්.; සුරෝස්කි, ජේ.; දෙහාන්ද්, අයි.; මේ, ජේ.; දියේමි, සී.; ටැවනර්, එල්. (5) ලමැත්‍ර, ඩබ්.; හැරිස්, ඒ.; වෙල්ස්, සී.; රොජර්ස්, එස්.; ඩරන්, එම්.; සෙන්ගේ, ජේ. (6) හන්ට්ලි, ටී.; වානේගාස්, ඒ.; පෝ, ඒ.; සන්තානා, එම්.; බෙනට්, වී.; ටැවනර්, ඩී.; ඕ, එම්. (7) සුරෝස්කි, එම්.; රොජර්ස්, ජී.; දියේමි, ඩී.; නිකල්සන්, එල්.; අල්වාරේස්, සී.; ස්නේප්, ජේ. (8) හැරිස්, එම්.; ගොන්සාලේස්, පී.; මේන්, එස්.; වුඩ්ස්, එස්.; ස්ටේන්ටන්, බී.; විලියම්සන්, ඩී.; ඩරන්ට්, ජේ. (9) කෲස්, පී.; දෙහාන්ද්, බී.; විලියම්ස්, ඩී.; වෙල්ස්, එස්.; ඇලෙක්සැන්ඩර්, ඩී.; මේ, එම්.

[32වන පිටුවේ පින්තූරය]

ගිලියද් මුරටැඹ බයිබල් පාසැල පවත්වන්නේ මුරටැඹ අධ්‍යාපන මධ්‍යස්ථානයේයි