Skip to content

පටුනට යන්න

මුළු හදවතින්ම දෙවිට පක්ෂපාත වන්න

මුළු හදවතින්ම දෙවිට පක්ෂපාත වන්න

මුළු හදවතින්ම දෙවිට පක්ෂපාත වන්න

“මම ඔබේ සත්‍යයෙහි ගමන් කරන්නෙමි. මාගේ මුළු සිතින්ම ඔබේ නාමය කෙරෙහි ගරුබියක් ඇතුව සිටින්න මට උපකාර කරන්න.”—ගීතා. 86:11, නව ලොව පරිවර්තනය, NW.

1, 2. (අ) ගීතාවලිය 86:2, 11ට අනුව පරීක්ෂා මැද පවා දෙවිට පක්ෂපාතව සිටීමට අපට උපකාර කරන්නේ කුමක්ද? (ආ) දෙවිට මුළු හදවතින්ම පක්ෂපාත වීමට අප අධිෂ්ඨාන කරගත යුත්තේ කුමන අවස්ථාවේ සිටද?

සමහර ක්‍රිස්තියානීන් තම ඇදහිල්ල නිසා කාලයක් පුරා පීඩා විඳදරාගෙන තිබුණත් පසු කාලවලදී ධන සම්පත්වලට ඇති ආශාවට හසු වී තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඔවුන් මුළු හදවතින්ම, දිගටම දෙවිට පක්ෂපාතව සිටීමට අසමත් වීමයි. අපි මුළු හදවතින්ම දෙවිට පක්ෂපාතව සිටීමේ වැදගත්කම බයිබලයේ 86වෙනි ගීතිකාවේ අවධාරණය කරන්නේ ඒ නිසයි. දාවිත් රජද ඒ ගැන යාච්ඤා කළේ “අනේ මාව ආරක්ෂා කරන්න. මන්ද මම ඔබට පක්ෂපාතව සිටිමි. ඔබ මාගේ දෙවිය. ඔබ කෙරෙහි විශ්වාසය තබන ඔබේ සේවකයාව ගලවාගන්න” කියායි. එමෙන්ම “යෙහෝවා දෙවියනි, ඔබේ මාර්ගය ගැන මට උගන්වන්න. මම ඔබේ සත්‍යයෙහි ගමන් කරන්නෙමි. මාගේ මුළු සිතින්ම ඔබේ නාමය කෙරෙහි ගරුබියක් ඇතුව සිටින්න මට උපකාර කරන්න” කියාද ඔහු ඉල්ලා සිටියා.—ගීතා. 86:2, 11NW.

2 අප ආශා කරන දේවල් සඳහා වැඩි අවධානයක් දුන්නොත් දෙවිට වූ අපගේ පක්ෂපාතකම දුර්වල විය හැකියි. එමෙන්ම ඉන් ඇති විය හැකි ප්‍රතිඵල පාරේ වළලා ඇති බෝම්බ හා සමානයි. අප පීඩා හා පරීක්ෂා හමුවේ බොහෝ කාලයක් දෙවිට විශ්වාසවන්තව සිටියා විය හැකි වුණත් සාතන්ගේ උගුල්වලට හසුවීම නිසා දෙවි සමඟ ඇති අපේ සබඳතාව විනාශ විය හැකියි. එමනිසා පීඩා හා පරීක්ෂා පැමිණෙන තෙක් නොසිට, දෙවිට මුළු හදවතින්ම පක්ෂපාත වීමට අප දැන්ම අධිෂ්ඨාන කරගනිමු! “සියලු දේටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න” කියා බයිබලයේ අපට උනන්දු කරන්නේ ඒ නිසයි. (හිතෝ. 4:23NW) එහි වැදගත්කම තේරුම්ගැනීම සඳහා දැන් අපි, කලින් ලිපියේ සාකච්ඡා කළ යූදාහි අනාගතවක්තෘවරයා ගැන සලකා බලමු.

“මම ඔබට තෑග්ගක් දෙන්නම්”

3. අනාගතවක්තෘවරයා ප්‍රකාශ කළ දෙවිගේ පණිවිඩයට යෙරොබොවම් රජ ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

3 වසු නමස්කාරය පිහිටෙවූ යෙරොබොවම් රජුට දෙවිගේ ප්‍රබල පණිවිඩය යූදාහි අනාගතවක්තෘවරයා ප්‍රකාශ කළා ඔබට මතක ඇති. එවිට අනාගතවක්තෘවරයා කෙරෙහි කෝප වූ රජගේ අත එකවරම ගල් ගැසුණා. ඒ සමඟම බොරු නමස්කාරයට යොදාගත් පූජාසනයද දෙකට පැළුණා. එවිට රජ බැගෑපත් වී මෙසේ ඉල්ලා සිටියා. “අනේ, මා වෙනුවෙන් ඔබේ දෙවි යෙහෝවාට යාච්ඤා කරන්න. ඔහුගේ උදහස පහ කර මගේ අත සුව කර දෙන මෙන් ඉල්ලන්න.” අනාගතවක්තෘවරයා දෙවිට යාච්ඤා කළ අතර රජුගේ අත සුව වුණා. මේ සියල්ලේදී දෙවි තම සේවකයාව ආරක්ෂා කළා.—1 රාජා. 13:1-6NW.

4. (අ) රජුගේ ආරාධනාව අනාගතවක්තෘවරයාගේ පක්ෂපාතකම පරික්ෂාවට ලක් කළේ කෙසේද? (ආ) ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරය කුමක්ද?

4 “මගේ මාලිගාවට ඇවිත් මා සමඟ ආහාර වේලක් ගන්න. මම ඔබට තෑග්ගක් දෙන්නම්” කියා පසුව රජ ඔහුට පැවසුවා. (1 රාජා. 13:7NW) දැන් ඔහු කළ යුත්තේ කුමක්ද? රජට විරුද්ධව විනිශ්චය ප්‍රකාශ කිරීමෙන් පසු ඔහුගෙන් සැලකිලි ලැබීම සුදුසුද? (ගීතා. 119:113) අනෙක් අතට රජ පසුතැවිලි වූ බවට පෙනෙන්න තිබුණු නිසා ඔහුගේ ආරාධනය ප්‍රතික්ෂේප කිරීම සුදුසුද? මෙම අනාගතවක්තෘවරයාගේ සිතේ ධන සම්පත්වලට දැඩි ආශාවක් තිබුණා නම් රජගේ එම ආරාධනය ඔහුට මලපතක් වීමට ඉඩ තිබුණා. ඊට හේතුව “ඔබ කෑම කන්නවත් වතුර බොන්නවත් එපා. ඔබ යන පාරෙන්ම ආපසු එන්නත් එපා” කියා දෙවි ඔහුට අණ කර තිබීමයි. එමනිසා ඔහු රජට මෙසේ පැවසුවා. “ඔබේ මාලිගාවෙන් මට භාගයක් දුන්නත් මම ඔබත් සමඟ මේ ස්ථානයේ සිට කෑම කන්නේවත් වතුර බොන්නේවත් නැහැ.” පසුව ඔහු වෙනත් මඟකින් පිටත් වුණා. (1 රාජා. 13:8-10NW) දෙවිට මුළු හදවතින්ම පක්ෂපාත වීම සම්බන්ධයෙන් ඔහු අපිට කදිම ආදර්ශයක්!—රෝම 15:4.

‘සෑහීමට පත් වන්න’

5. ධන සම්පත්වලට තිබෙන දැඩි ආශාව දෙවිට දක්වන පක්ෂපාතකමට බාධාවක් වන්නේ කෙසේද?

5 දෙවිට පක්ෂපාතව සිටීමට ධන සම්පත්වලට තිබෙන දැඩි ආශාව බාධාවක් නොවෙයි කියා පෙනෙන්න තිබුණත්, ඇත්තෙන්ම එය බාධාවක්. එමනිසා අපිට අවශ්‍ය දේ සපයන බවට දෙවි දී ඇති පොරොන්දුව අපි විශ්වාස කරනවාද කියා අපිවම සෝදිසි කර බලමු. (මතෙ. 6:33; හෙබ්‍රෙ. 13:5) උදාහරණයකට, වඩා සැප පහසු ජීවිතයක් ගත කරන්න අවශ්‍ය යමක් මිල දී ගන්න අපිට වත්කමක් නැති අවස්ථාවකදී අපට තිබෙන දෙයින් සෑහීමට පත් වෙන්න පුළුවන්ද? (ෆිලිප්පි 4:11-13 කියවන්න.) නැත්නම් අප දෙවිට කරන නමස්කාරය අතපසු කරමින්, අවශ්‍ය දේ ලබාගන්න උත්සාහ කරනවාද? අපගේ ජීවිතයේ මුල් තැන ගන්නේ දෙවිට කරන නමස්කාරයද? එම ප්‍රශ්නවලට අප දෙන අවංක පිළිතුරු මගින් අප දෙවිට මුළු හදවතින්ම සේවය කරනවාද නැද්ද කියා තේරුම්ගත හැකියි. ඒ නිසා අපි “ඇති දෙයින් සෑහීමට පත්වීම සමඟ බැඳී පවතින මේ දේවභක්තිය මහත් වාසියට මඟක්” කියා පාවුල් දුන් උපදෙස සිතට ගනිමු. තවදුරටත් ඔහු උනන්දු කළේ මෙසේයි. “අප ලෝකයට කිසිවක් ගෙනාවේ නැත. එයින් කිසිවක් ගෙන යන්නත් බැරිය. එබැවින් කන්න අඳින්න සහ ඉන්න හිටින්න තැනක් ඇත්නම්, අපි මේවායින් සෑහීමට පත් වෙමු.”—1 තිමෝ. 6:6-8.

6. අපට උදා විය හැකි ප්‍රස්තා මොනවාද? ඒවා පිළිගන්නවාද නැද්ද කියා තීරණය කිරීමට උපකාරවත් වන්නේ කුමක් සලකා බැලීමද?

6 අපිට ඇති දෙයින් සෑහීමට පත් නොවීමට අපිව පෙලඹවිය හැකි තත්වයක් සලකා බලමු. උදාහරණයකට රැකියාවෙන් ඔබට ඉහළ වැටුපක් සහ තවත් පහසුකම් සහිත උසස් වීමක් ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්නම් වෙනත් රටකට හෝ ප්‍රදේශයකට ගියොත් වැඩි මුදලක් උපයාගන්න හැකියි කියා ඔබට සිතෙන්න පුළුවන්. ඒවා දෙවිගෙන් ලද ආශීර්වාද කියා ඔබට හැඟෙන්න පුළුවන්. එවන් අවස්ථාවලදී තීරණයක් ගැනීමට පෙර අප අපගේ ආකල්ප සෝදිසි කර බැලීම වැදගත්. ඒ සඳහා මෙසේ අසාගැනීම යෝග්‍යයි. “මම ගන්නා මේ තීරණය දෙවි සමඟ ඇති මගේ මිත්‍රත්වයට කෙසේ බලපායිද?”

7. ධන සම්පත්වලට තිබෙන ආශාව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම වැදගත් වන්නේ ඇයි?

7 ධන සම්පත් රැස් කරගැනීමට මේ දුෂ්ට ලෝකය නිරතුරුවම අපව පොලඹවනවා. (1 යොහන් 2:15, 16 කියවන්න.) එහිදී සාතන්ගේ අරමුණ වන්නේ අපගේ සිතුවිලි දූෂ්‍ය කිරීමයි. එමනිසා ධන සම්පත් රැස් කිරීමට අප තුළ ඇති විය හැකි ආශාවන් හඳුනාගෙන ඒවා මුලිනුපුටා දැමීමට ඉක්මන් පියවර ගත යුතුයි. (එළි. 3:15-17) සාතන් මේ ලෝකයේ රාජ්‍යයන් යේසුස්ට පෙන්වා ඔහු තුළද ඒවා කෙරෙහි ආශාවක් ඇති කිරීමට උත්සාහ කළා. නමුත් යේසුස් එක විගස ඒවා ප්‍රතික්ෂේප කළා. (මතෙ. 4:8-10) “සෝදිසියෙන් සිටිමින්, සියලු ආකාර තණ්හාවලින් පරෙස්සම් වන්න. මන්ද යමෙකුට කොපමණ තිබුණත් ඔහු සන්තක දේවල්වලින් ඔහුට ජීවිතය ලැබෙන්නේ නැත” යන බයිබල් උපදෙස අප හිතට ගත යුතුයි. (ලූක් 12:15) අපි දෙවිට මුළු හදවතින්ම පක්ෂපාත නම් අවශ්‍ය දේවල් ඔහු සපයන බව අපට ස්ථිරයි.

නොමඟ ගිය අනාගතවක්තෘවරයා

8. යූදාහි අනාගතවක්තෘවරයාගේ පක්ෂපාතකම පරීක්ෂාවට ලක් වුණේ කෙසේද?

8 අපි නැවතත් යූදාහි අනාගතවක්තෘවරයාට අවධානය දෙමු. ඔහු තම නිවස බලා යන අතරමඟදී මුහුණ දුන් තත්වය සලකා බලන්න. “ඒ කාලයේ බෙතෙල්හි මහලු අනාගතවක්තෘවරයෙකු පදිංචිව” සිටි බවත් යෙරොබොවම්ට සිදු වූ සියල්ල ඔහුගේ “පුත්‍රයෝ ඔහුට කී” බවත් බයිබලයේ සඳහන් වෙනවා. ඒ බව ඇසූ ඔහු යූදාහි අනාගතවක්තෘවරයාව හමුවීමට තම බූරුවා පිට නැඟී ගිය අතර යූදාහි අනාගතවක්තෘවරයා විශාල ගසක් යට ගිමන් හරිමින් සිටිනවා ඔහු දුටුවා. එවිට ඔහු “මගේ ගෙදරට ගිහින් කෑම ටිකක් කමු” කියා ඔහුට ආරාධනා කළා. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළ විට මහලු අනාගතවක්තෘවරයා මෙසේ පැවසුවා. “මමත් ඔබ මෙන් අනාගතවක්තෘවරයෙක්. යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමට අනුව දේවදූතයෙක් ඇවිත්, ‘ඔහුව ඔබේ ගෙදරට රැගෙන ගොස් කෑමත් වතුරත් දෙන්න’ කියා මට පැවසුවා.” නමුත් ඔහු කීවේ “බොරුවක්” බව බයිබලයේ පවසනවා.—1 රාජා. 13:11-18NW.

9. අනුන්ව නොමඟ යවන අය ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද? එවැනි අය හානි පමුණුවන්නේ කාටද?

9 මහලු අනාගතවක්තෘවරයා එසේ පැවසීමට හේතුව අප දන්නේ නැහැ. ඔහු කලක් දෙවිට විශ්වාසවන්තව සේවය කරන්න ඇති. නමුත් මේ අවස්ථාවේදී ඔහු කටයුතු කළේ තව කෙනෙකුව නොමඟ යවන ලෙසයි. එසේ කටයුතු කරන අයව දෙවි සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා. (හිතෝපදේශ 3:32 කියවන්න.) එවැනි අය තමන්ට මෙන්ම අන් අයටද දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයට බරපතළ හානි සිදු කරනවා.

ඔහු මහලු අනාගතවක්තෘවරයාගේ නිවසට ගියා

10. මහලු අනාගතවක්තෘවරයාගේ ආරාධනාවට යූදාහි අනාගතවක්තෘවරයා ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? එමෙන්ම එහි ප්‍රතිඵලය කුමක්ද?

10 මහලු අනාගතවක්තෘවරයා පැවසූවේ සත්‍යයක්ද කියා තේරුම්ගන්න යූදාහි අනාගතවක්තෘවරයාට හැකියාව තිබුණා. ඔහු මෙහෙම සිතුවා නම් තත්වය මීට වඩා වෙනස්. ‘මට මඟ පෙන්වන්න යෙහෝවා දෙවි වෙන කෙනෙකු වෙත දේවදූතයෙක් යැව්වේ ඇයි?’ එසේ නැත්නම් ඔහුට කෙළින්ම දෙවිගෙන් ඒ ගැන විමසන්න තිබුණා. නමුත් ඔහු එසේ කළ බවක් සඳහන් වී නැහැ. බයිබලයේ පවසන්නේ ඔහු ‘කෑම කා වතුර බොන පිණිස [මහලු අනාගතවක්තෘවරයාගේ] නිවසට ගියා’ කියායි. ඒ ගැන යෙහෝවා දෙවි සතුටු වුණේ නැහැ. ඒ නිසා ඔහු නැවතත් තම නිවස බලා යමින් සිටියදී සිංහයෙකු විසින් ඔහුව මරා දැමුවා. අනාගතවක්තෘවරයෙක් හැටියට ඔහු කළ සේවයත් ඔහුගේ ජීවිතයත් අවසන් වුණේ මොන තරම් ඛේදනීය ආකාරයටද!—1 රාජා. 13:19-25NW. *

11. අහියා තැබූ කදිම ආදර්ශය කුමක්ද?

11 ඊට වෙනස්ව යෙරොබොවම්ව රජ හැටියට අභිෂේක කරන්න දෙවි යැවූ අහියා නම් අනාගතවක්තෘවරයා ගැන සිතන්න. ඔහු අවසානය දක්වාම දෙවිට පක්ෂපාතව සිටියා. ඊට උදාහරණයක් බලන්න. ඔහු මහලුව අන්ධව සිටි කාලයේදී යෙරොබොවම් තම අසනීපව සිටි පුත්‍රයාට සුව වෙයිද කියා දැනගැනීමට ඔහුගේ භාර්යාවව අහියා වෙත එව්වා. ඒ අවස්ථාවේදීත් ඔහු ඉතා නිර්භීතව දෙවිගේ විනිශ්චයට අනුව ඔහුගේ පුත්‍රයා මිය යන බව පැවසුවා. (1 රාජා. 14:1-18) දෙවිට දිගටම පක්ෂපාතව සේවය කළ අහියා බොහෝ ආශීර්වාද ලැබුවා. ඒ අතුරින් එකක් වන්නේ දෙවිගේ බලයෙන් ලියැවුණු බයිබලයේ කදිම ආදර්ශයක් හැටියට වාර්තාගත වීමයි. එමෙන්ම ඔහුගේ සමහර වාර්තා එස්රා විසින් යම් කරුණු සනාථ කිරීමටද යොදාගත්තා.—2 ලේක. 9:29.

12-14. (අ) යූදාහි අනාගතවක්තෘවරයාගේ සිද්ධියෙන් අප ඉගෙනගන්නේ කුමක්ද? (ආ) වැඩිමහල්ලන් බයිබලයෙන් ලබා දෙන උපදෙස්වලට හොඳ අවධානයක් දීමේ වැදගත්කම පෙන්වන උදාහරණ දෙන්න.

12 යූදාහි අනාගතවක්තෘවරයා දෙවිගෙන් විමසන්නේ නැතුව මහලු අනාගතවක්තෘවරයා සමඟ ගියේ ඇයි කියා බයිබලයේ සඳහන් වී නැහැ. ඊට හේතුව කුමක් විය හැකිද? සමහරවිට යූදාහි අනාගතවක්තෘවරයා ආශාවෙන් සිටි යමක් මහලු අනාගතවක්තෘවරයා පැවසුවා විය නොහැකිද? කාරණය එසේනම් ඉන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? යෙහෝවා දෙවි අපගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ගැන අපට ඉතා පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි. එමෙන්ම අප කුමන තත්වයකට මුහුණ දුන්නත් ඒ දෙය කිරීමට දැඩි අධිෂ්ඨානයක් ගත යුතුයි.

13 සමහරුන්ට උපදෙස්, මඟ පෙන්වීම් ලැබෙන විට ඔවුන් සිතට ගන්නේ ඒ උපදෙස්වල ඇති, ඔවුන් කැමති දේ පමණයි. එය අපි මෙසේ තේරුම්ගනිමු. ප්‍රචාරකයෙකුට අලුත් රැකියා අවස්ථාවක් ලැබුණා කියා සිතන්න. නමුත් ඉන් ඔහුට ඔහුගේ පවුලේ අය වෙනුවෙන් සහ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් වෙනුවෙන් යොදන කාලය අඩු විය හැකියි. ඒ අවස්ථාවේදී ඔහු මඟ පෙන්වීම් සඳහා ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකුව හමු වෙනවා. පවුල් මූලිකයා හැටියට ගෙදර අයගේ අවශ්‍යතා සැපයීම ඔහුගේ වගකීමක් බව වැඩිමහල්ලා පැවසිය හැකියි. නමුත් අලුත් රැකියාවට වැඩි කාලයක් යෙදෙව්වොත් දෙවිත් සමඟ තිබෙන මිත්‍රත්වයට බරපතළ හානි සිදු විය හැකි ආකාරයද ඔහු පෙන්වා දිය හැකියි. මේ සාකච්ඡාවෙන් පසු ප්‍රචාරකයා ක්‍රියාත්මක කරන්නේ වැඩිමහල්ලා මුලින් පැවසූ දෙයද නැත්නම් පසුව පැවසූ දෙයද? අලුත් රැකියාවට ප්‍රචාරකයා ආශාවෙන් සිටියා නම් ඔහු සතුටු වන්නේ වැඩිමහල්ලා මුලින් පැවසූ දේට පමණයි. නමුත් මෙහිදී වඩා වැදගත් වන්නේ දෙවි සමඟ ඔහුට තිබෙන මිත්‍රත්වය සැලකිල්ලට ගෙන තීරණයක් ගැනීමයි.

14 තවත් අවස්ථාවක් සලකා බලන්න. යම් හේතුවක් නිසා තම නොඇදහිලිකාර ස්වාමිපුරුෂයාගෙන් වෙන්වීමට අදහස් කරන බව සහෝදරියක් වැඩිමහල්ලෙකුට පවසනවා. එය තීරණය කළ යුත්තේ ඇය බව වැඩිමහල්ලා මුලින්ම පවසයි. නමුත් පසුව ඔහු බයිබලයේ ඒ සම්බන්ධයෙන් දී ඇති මඟ පෙන්වීම් සාකච්ඡා කරයි. (1 කොරි. 7:10-16) මේ අවස්ථාවේදී ඇයට ලැබුණු උපදෙස් සැලකිල්ලට ගෙන ඇය නිවැරදි තීරණයක් ගනියිද? නැත්නම් ඇය එම වැඩිමහල්ලාව හමුවීමට පැමිණියේ ස්වාමිපුරුෂයාගෙන් වෙන් වීමට තීරණයක් ගැනීමෙන් පසුවද? කෙසේනමුත් ඥානවන්තම දෙය වන්නේ ඇය දෙවිට යාච්ඤා කර බයිබල් උපදෙස්වලට අනුව තීරණයක් ගැනීමයි.

නිහතමානි වන්න

15. යූදාහි අනාගතවක්තෘවරයාට සිදු වූ දෙයින් අපට තවත් ඉගෙනගත හැක්කේ කුමක්ද?

15 යූදාහි අනාගතවක්තෘවරයා පෙර මෙන් සම්පූර්ණයෙන්ම දෙවිගේ මඟ පෙන්වීම් මත රඳා නොසිට ඔහුට හරියි කියා සිතුණු ලෙස ක්‍රියා කළා. එහි ප්‍රතිඵලය වුණේ ඔහුගේ ජීවිතයත් දෙවි ඉදිරියෙහි ඔහුට තිබූ හොඳ නාමයත් අහිමි වීමයි. ඉන් අපට බයිබලයේ මෙම වචනවල සත්‍යතාව තහවුරු වෙනවා. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න.” (හිතෝ. 3:5NW) ඔහුට සිදු වූ දෙයින් අපට උගන්වන ප්‍රබල පාඩම නම් අප නිතරම දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟව මුළු හදවතින්ම ඔහුට පක්ෂපාතව සේවය කළ යුතු බවයි.

16, 17. දෙවිට දිගටම පක්ෂපාතව සිටින්න අපට උපකාරවත් වන්නේ කුමක්ද?

16 සමහර දේවල්වලට අප තුළ ඇති දැඩි ආශාව මගින් අපව නොමඟ යැවිය හැකියි. බයිබලයද ඒ බව තහවුරු කරන්නේ මෙසේයි. “සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරයි. එහෙයින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටයි.” (යෙරෙ. 17:9NW) අපගේ ආශාවන්ට ඉඩ නොදී නොකඩවා දෙවිට පක්ෂපාත වීමට අප කුමක් කළ යුතුද? ඒ සඳහා අපි දෙවිගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කිරීමට හේතු වන උඩඟුකම වැනි වැරදි ආකල්ප ඉවත් කරගනිමු. එමෙන්ම “සැබෑ ධර්මිෂ්ඨකමින්ද පක්ෂපාතකමින්ද දෙවිගේ කැමැත්තට අනුව මවන ලද” අලුත් පෞද්ගලිකත්වය හෙවත් ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගැනීමට දැඩි වීර්යයක් දරමු.—එෆීස 4:22-24 කියවන්න.

17 “ප්‍රඥාව තිබෙන්නේ නිහතමානී අය ළඟය” කියා බයිබලයේ පවසනවා. (හිතෝ. 11:2NW) එමනිසා අපත් නිහතමානීව සැමවිටම දෙවිගේ මඟ පෙන්වීම් මත රඳා සිටියොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දිය හැකි වැරදිවලින් වැළකිය හැකියි. මේ තත්වය සලකා බලන්න. දෙවිට කාලයක් පුරා විශ්වාසවන්තව සේවය කළ කෙනෙක් යම් හේතුවක් නිසා අධෛර්යයට පත් විය හැකියි. (හිතෝ. 24:10) එවැනි අවස්ථාවක ඔහුට මෙසේ සිතෙන්න ඉඩ තිබෙනවා. ‘මම මෙච්චර කල් උද්‍යෝගයෙන් දෙවිට කරපු සේවය දැන් ඇති. වගකීම්වලින් ටිකක් නිදහස් වුණොත් හොඳයි. අනිත් අය ඉතුරු ටික කරයි.’ එලෙස අධෛර්ය වී සිටින කෙනෙකුට නිවැරදි තීරණයක් ගැනීමට බැහැ. එවැනි අවස්ථාවකදී පවා ‘ස්වාමීන්ගේ වැඩෙහි නිතරම නියැලී සිටීම’ සඳහා ‘දැඩි උත්සාහයක් දැරුවොත්’ නිවැරදි තීරණයක් ගැනීමටත් අපගේ සිතුවිලි ආරක්ෂා කරගැනීමටත් හැකි වෙනවා.—ලූක් 13:24; 1 කොරි. 15:58.

18. ගත යුතු නිවැරදි තීරණය කුමක්ද කියා අප නොදන්නා විට කුමක් කළ හැකිද?

18 සමහර අවස්ථාවලදී ජීවිතයේ බැරෑරුම් තීරණ ගැනීමට අපට සිදු විය හැකි අතර නිවැරදි තීරණය කුමක්ද කියා හරියටම නොතේරෙනවා විය හැකියි. එවැනි අවස්ථාවලදී අපි කටයුතු කරන්නේ අපිට හරියි කියා හැඟෙන විදිහටද? ඒ වෙනුවට ඥානවන්තම දේ වන්නේ දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කිරීමයි. දේවවචනයද අපට උනන්දු කරන්නේ ‘දෙවි සියල්ලන්ට නොමසුරුව දෙන හෙයින් ඔබෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, ඔහු නොකඩවා දෙවිගෙන් ඉල්ලිය යුතු’ බවයි. (යාකො. 1:5) ඔව්, ඥානවන්ත තීරණ ගන්න අවශ්‍ය උපකාර ඔහු තම බලය මගින් අපට ලබා දෙනවා.—ලූක් 11:9, 13 කියවන්න.

දිගටම පක්ෂපාත වීමට අදිටන් කරගන්න

19, 20. අපගේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

19 අප සලකා බැලූ ලෙස සලමොන් රජගේ පාලනයේ සිට ඉදිරියට පැවතුණු නොසන්සුන්කාරී කාලයේදී සැබෑ නමස්කාරකයන් දෙවිට දැක්වූ පක්ෂපාතකම පරීක්ෂණයට ලක් වුණා. එවිට බොහෝදෙනෙක් විවිධාකාරවලින් තම පක්ෂපාතකම අත්හැරියා. නමුත් සමහරුන් නම් දෙවිට දිගටම පක්ෂපාතව සිටියා.

20 එදා මෙන් අදත් අපට තීරණ ගැනීමට සිදු වන අවස්ථාවලදී අපගේ පක්ෂපාතකම බොහෝ ආකාරවලින් පරීක්ෂණයට ලක් වෙනවා. එවන් අවස්ථාවලදී අපි දෙවිට පක්ෂපාත බව ඔප්පු කිරීමටත් අපගේ මුළු හදවතින්ම දෙවිගේ මඟ පෙන්වීම් කෙරෙහි රඳා සිටීමටත් අධිෂ්ඨාන කරගනිමු. එවිට දෙවි අපට නොකඩවා ආශීර්වාද කරන බව ස්ථිරයි.—2 සාමු. 22:26.

[පාදසටහන]

^ 10 ඡේ. දෙවි මහලු අනාගතවක්තෘවරයාට කුමන දඬුවමක් දුන්නාද කියා බයිබලයේ සඳහන් වී නැහැ.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• ධන සම්පත්වලට තිබෙන දැඩි ආශාව අප ඉවත් කරගත යුත්තේ ඇයි?

• දෙවිට දිගටම පක්ෂපාත වීමට අපට උපකාර කරන්නේ කුමන දේවල්ද?

• දෙවිට පක්ෂපාත වීමට නිහතමානිකම අපට උපකාර කරන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූර]

පරීක්ෂාවන්ට එරෙහි වීම ඔබට දුෂ්කරද?

[10වන පිටුවේ පින්තූර]

ඔබට බයිබලය මත පදනම්ව ලැබෙන උපදෙස් ගැන දෙවිට යාච්ඤා කර ඊට හොඳ අවධානයක් දෙනවාද?