Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න

යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න

යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න

“[යෙහෝවා දෙවිගේ] ක්‍රියා ගෞරවයෙන්ද තේජසින්ද පිරී ඇත.”—ගීතා. 111:3, නව ලොව පරිවර්තනය, NW.

1, 2. (අ) ගෞරවය යන වචනයෙන් අදහස් වන්නේ කුමක්ද? (ආ) මෙම ලිපිය තුළ අප සලකා බලන ප්‍රශ්න මොනවාද?

ගෞරවාන්විත පුද්ගලයෙක් කියද්දී ඔබේ මනසට නැඟෙන්නේ කෙබඳු කෙනෙක්වද? විනීතව ඇඳ පැළඳ සිටින, විනීතව කතා බහ කරන කෙනෙකුව විය හැකියි. යෙහෝවා දෙවිද ‘ගෞරවයෙන් සැරසී සිටින’ බව බයිබලයේ පවසනවා. (ගීතා. 104:1NW) පාවුල් ක්‍රිස්තියානි ස්ත්‍රීන්ට පැවසූ මෙම වචනවලින්ද පැහැදිලි වන්නේ විනීතව ඇඳ පැළඳ සිටීම ගෞරවනීය පුද්ගලයෙකුගේ ලක්ෂණයක් බවයි. ‘කොණ්ඩ මෝස්තරවලින්වත් රනින්වත් මුතුවලින්වත් ඉතා මිල අධික වස්ත්‍රවලින්වත් නොව, විනීතව සහ හොඳ සිහිකල්පනාවෙන් යුතුව, මනා පිළිවෙළකින් යුත් වස්ත්‍රවලින් සැරසී සිටිනවාට මම කැමැත්තෙමි.’ (1 තිමෝ. 2:9) නමුත් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කිරීමට නම් ඊට තවත් දේවල් ඇතුළත්.—ගීතා. 111:3.

2 බයිබලයේ “ගෞරවය” යන්නට දී ඇති හෙබ්‍රෙව් වචනයට “තේජවත්,” “ශ්‍රේෂ්ඨ,” “මහිමය” සහ “කීර්තිය” යන අදහස්ද ඇතුළත්. එක් ශබ්දකෝෂයකට අනුව ඉතා උසස් කොට සැලකිය යුතු හෝ ගෞරවය ලැබිය යුතු යන අදහස්ද ඇතුළත් වෙනවා. ඒ අනුව ඉහළම ගෞරවය ලැබීමට සුදුසුම තැනැත්තා වෙන කිසිවෙකු නොව යෙහෝවා දෙවියි. ඒ නිසා ඔහුගේ සේවකයන් වන අපත් අපගේ කතාවෙන් සහ හැසිරීමෙන් ඔහුට ගෞරවය ගෙන දිය යුතුයි. දැන් අපි ඒ සම්බන්ධයෙන් මෙවැනි ප්‍රශ්න කිහිපයක් සලකා බලමු. ගෞරවය පෙන්වීමට මිනිසුන් වන අපට හැකියාවක් තිබෙනවාද? දෙවිට උසස්ම ගෞරවය හිමිවීමට තිබෙන සාක්ෂි මොනවාද? ඒවා ගැන කල්පනා කිරීමෙන් අප කුමක් කිරීමට පෙලඹිය යුතුද? අන් අයට ගෞරවය පෙන්වීම සම්බන්ධයෙන් යේසුස්ගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? එමෙන්ම ගෞරවය පෙන්වීමට අපට හැකි ආකාර මොනවාද?

ගෞරවාන්විත ලෙස කටයුතු කරන්න අපට හැකියි

3, 4. (අ) දෙවි අපට පෙන්වා ඇති ගෞරවයට අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? (ආ) ගීතාවලිය 8:5-9හි වචන අදාළ වන්නේ කාටද? (පාද සටහන බලන්න) (ඇ) දෙවි අතීතයේදී ගෞරවය පෙන්වා ඇත්තේ කාටද?

3 දෙවි සියලු මිනිසුන්ව නිර්මාණය කළේ ඔහුගේ ගුණාංග ඇතුවයි. ඒ නිසා දෙවි මෙන් අන් අයට ගෞරවය පෙන්වීමට අපටත් හැකියි. දෙවි මුල් මිනිසා වන ආදම්ව මේ පොළොව රැකබලා ගන්නා හැටියට පත් කිරීම තුළින් ඔහුට ගෞරවය පෙන්නුවා. (උත්. 1:26, 27) මුල් යුවළ පව් කිරීමෙන් පසුව පවා දෙවි නැවතත් ඔවුන්ගේ කාර්යය ගැන අවධාරණය කළ අතර ඔවුන්ට ගෞරව කරමින් ඔවුන් වටිනා පුද්ගලයන් ලෙස සැලකුවා. (ගීතාවලිය 8:5-9 කියවන්න.) * එලෙස දෙවි අපට ගෞරවනීය සැලකිල්ල දක්වා තිබෙන නිසා අපත් අපගේ ගෞරවනීය හැසිරීම සහ භක්තිය මගින් ඔහුගේ ශ්‍රේෂ්ඨ නාමයට ප්‍රශංසාව ගෙන දීම මොන තරම් වටිනවාද!

4 තමන්ට පරිශුද්ධ සේවය පිරිනමන තම සේවකයන්ට දෙවි විශේෂ ගෞරවයක් පෙන්වා තිබෙනවා. ඒ ගැන උදාහරණ කිහිපයක් සලකා බලන්න. දෙවි ආබෙල් ගෙනා පූජාව පිළිගැනීමෙන් ඔහුට ගෞරව කළා. නමුත් ඔහු කායින්ගේ පූජාව ප්‍රතික්ෂේප කළා. (උත්. 4:4, 5) තම සෙනඟට මඟ පෙන්වීම සඳහා මෝසෙස්ට හිමි “ගෞරවයෙන් කොටසක්” යෝෂුවාට දෙන්න කියා දෙවි පැවසුවා. (ගණන්. 27:20NW) දෙවි සලමොන්ටද මහත් ගෞරවයක් ලබා දුන් බව බයිබලයේ මෙසේ සඳහන් කරනවා. “යෙහෝවා දෙවි මුළු ඊශ්‍රායෙල් ජාතිය ඉදිරියේ සලමොන්ව බොහෝ සෙයින් උසස් කළේය. කලින් ඊශ්‍රායෙල් සෙනඟව පාලනය කළ රජවරුන්ට වඩා මහත් තේජශ්‍රීයක් දෙවි ඔහුට ලබා දුන්නේය.” (1 ලේක. 29:25NW) නැවත නැඟිටුවනු ලබන අභිෂේක ලත් ක්‍රිස්තියානීන් “[දෙවිගේ] රාජ්‍යයේ මහිමය” විශ්වාසවන්තව ප්‍රකාශ කර ඇති නිසා දෙවිද ඔවුන්ව ඉමහත් ගෞරවයට පත් කරනවා. (ගීතා. 145:11-13NW) එමෙන්ම දෙවිව ප්‍රශංසාවට පත් කිරීම සඳහා ‘වෙනත් බැටළුවන්ට’ අයත් මහත් සමූහයටද විශේෂ කාර්යයක් පැවරීමෙන් දෙවි ඔවුන්ටද ගෞරව කර තිබෙනවා.—යොහ. 10:16.

උසස්ම ගෞරවය දෙවිට හිමිවීමට තිබෙන සාක්ෂි

5. යෙහෝවා දෙවි මොන තරම් උතුම්ද?

5 දෙවි මිනිසුන්ට වඩා මොන තරම් උසස්ද කියා දාවිත් එක් ගීතිකාවකින් ප්‍රකාශ කළා. “අපේ ස්වාමීන් වන යෙහෝවා දෙවියනි, ඔබේ නාමය මොන තරම් ශ්‍රේෂ්ඨද! ඒ බව මුළු පොළොවෙන්ම පැහැදිලිව දිස් වෙයි. ඔබේ බල මහිමය මොන තරම්ද කියා මුළු අහස් තලය නැවත නැවත ප්‍රකාශ කරයි.” (ගීතා. 8:1NW) එය මොන තරම් සත්‍යයක්ද! ‘අහස පොළොව’ නිර්මාණය කිරීමට පෙරත් පොළොව පාරාදීසයක් කර මිනිසුන්ව පරිපූර්ණත්වයට ගෙන ඒමෙන් පසුවත් සදහටම විශ්වයේ සිටින උසස්ම ගෞරවය ලැබීමට වටින තැනැත්තා යෙහෝවා දෙවියි.—උත්. 1:1; 1 කොරි. 15:24-28; එළි. 21:1-5.

6. දෙවි ගෞරවයෙන් සැරසී සිටිනවා කියා ගීතිකාකරු පැවසුවේ ඇයි?

6 අහස සහ එහි ඇති වස්තූන් දෙවිගේ ශ්‍රේෂ්ඨත්වයට එක් සාක්ෂියක්. නිශ්චල රැයක තරුවලින් පිරුණු අහස දෙස බලා සිටි ගීතිකාකරු එය දුටුවේ අලංකාර ආභරණවලින් කළ සැරසිල්ලක් වගෙයි. “වියනක් මෙන් ඔහු අහස් තලය දිගහරින්නේය” කියා ඔහු පැවසුවේ ඒ නිසයි. ඔහුට දෙවි කෙරෙහි මොන තරම් ගෞරවාන්විත හැඟීමක් ඇති වුණාද කියා අපට සිතාගත හැකියි. දෙවිගේ පුදුමාකාර නිර්මාණශීලී හැකියාව නිසා දෙවි ගෞරවයෙන් සැරසී සිටිනවා කියාද ඔහු පැවසුවේ හොඳ හේතු ඇතුවයි. (ගීතාවලිය 104:1, 2, NW කියවන්න.) දෙවි උසස්ම ගෞරවය හිමි විය යුතු තැනැත්තා බව ඔහු නිර්මාණය කර ඇති දේවල්වලින් මනාව පැහැදිලියි.

7, 8. දෙවි මොන තරම් උතුම්, තේජවත් කෙනෙක්ද කියා අහසේ ඇති වස්තූන්වලින් දැකගත හැක්කේ කෙසේද?

7 උදාහරණයකට ක්ෂීර පථ මන්දාකිනිය ගැන සලකා බලන්න. එහි ග්‍රහලෝක, සෞරග්‍රහ මණ්ඩල මෙන්ම බිලියන ගණන් තරු තිබෙනවා. ඒවා අතර තිබෙන අපගේ පෘතුවිය හරියට මුහුදු වෙරළක තිබෙන කුඩා වැලි කැටයක් වගෙයි. අපගේ සෞරග්‍රහ මණ්ඩලය අයත්ව තිබෙන මෙම මන්දාකිනියේ පමණක් තරු බිලියන 100ක් පමණ තිබෙනවා. ඔබ තත්පරයකට එක තරුව බැගින් නොනවත්වා ගණන් කරන්න පටන්ගත්තොත් එය ගණන් කර අවසන් කිරීමට ඔබට අවුරුදු 3000කට වඩා ගත වෙනවා.

8 ක්ෂීර පථ මන්දාකිනියේ පමණක් තරු බිලියන 100ක් පමණ තිබෙනවා නම් විශ්වයේ ඇති අනෙකුත් මන්දාකිනිවල ඇති තරු සංඛ්‍යාව කොපමණද කියා සිතාගන්නවත් පුළුවන්ද! තාරකා විද්‍යාඥයන් පවසන්නේ අපගේ ක්ෂීර පථ මන්දාකිනිය මෙන් තවත් එවැනි මන්දාකිනි බිලියන 50ත් 125ත් අතර සංඛ්‍යාවක් තිබෙන බවයි. ඒ ගණන කොපමණ වුණත් දෙවි ඒ ‘තාරකා සියල්ල ගණන් කරන අතර ඒ එක් එක් තාරකාවේ නම කියා ඔහු ඊට හඬගසනවා.’ (ගීතා. 147:4NW) ඔහු මොන තරම් බලවත්, ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද! ඒ බව තේරුම්ගැනීමෙන් ඔහුගේ උත්කෘෂ්ට නාමයට ප්‍රශංසා කරන්න ඔබ පෙලඹෙන්නේ නැද්ද!

9, 10. ආහාර සඳහා ගන්නා රොටි ගැන කල්පනා කරද්දී දෙවිගේ ප්‍රඥාව ගැන ඉන් හෙළි වන්නේ කෙසේද?

9 දැන් අපි විශ්වය තරම් සංකීර්ණ නොවන නමුත් තවත් පුදුමසහගත දෙයකට අවධානය යොමු කරමු. එය නම් අප ආහාරයට ගන්නා රසවත් රොටියි. දෙවිගේ “ගෞරවය සහ තේජස” ඔහු නිර්මාණය කර ඇති ‘අහස හා පොළොව’ තුළින් පමණක් නොව ‘කුසගින්නෙන් සිටින අයට ලබා දී තිබෙන ආහාර’ මගින්ද පිළිබිඹු වෙනවා. එම ආහාර ලබාගන්නේද ඔහුගේ මැවිල්ලෙන්මයි. (ගීතාවලිය 111:1-5 කියවන්න; ගීතා. 146:6, 7NW) ඊශ්‍රායෙල්වරුන් ඇතුළු පුරාණයේ සිටි බොහෝදෙනෙකුගේ ප්‍රධාන ආහාරය වූයේ රොටි. “අපේ දිනපතා භෝජනය [හෙවත් රොටි] අද අපට දෙන්න” කියා දෙවිගෙන් ඉල්ලීමට යේසුස් තම අනුගාමිකයන්ට ඉගැන්නුවෙත් ඒ නිසයි. (මතෙ. 6:11) රොටි සරල ආහාරයක් ලෙස සැලකුවත්, ඒ සඳහා යොදාගන්නා ද්‍රව්‍යයන් එකිනෙක අතර සිදු වන රසායනික ක්‍රියාවලිය නම් සරල එකක් නොවෙයි.

10 ඊශ්‍රායෙල්වරුන් රොටි සෑදීමට භාවිත කළේ බාර්ලි හෝ තිරිඟු පිටියි. රොටි සෑදීම සඳහා ඔවුන් පිටි සමඟ ජලය මිශ්‍ර කළ අතර සමහරවිට ඊට යීස්ට්ද මුසු කළා. මේ ද්‍රව්‍යයන් තුන එකට මිශ්‍ර කොට පිළියෙල කළ රොටි ඉතාමත් රසවත් ආහාරයක්. මෙවන් ඉතා සරල ද්‍රව්‍ය එකතු කිරීමෙන් පසු එය තුළ පුදුමාකාර රසායනික ක්‍රියාවලියක් සිදු වෙනවා. මෙම ක්‍රියාවලිය තවමත් කිසිවෙකු හරි හැටි සම්පූර්ණයෙන්ම වටහාගෙන නැහැ. එමෙන්ම රොටිවල ඇති පෝෂණය අපගේ ශරීරයට උරාගන්නා ආකාරයත් ඉතාමත් පුදුමාකාරයි. ගීතිකාකරු මෙවැනි දෙයක් පැවසීමට හේතුව අපට පැහැදිලියි. “යෙහෝවා දෙවියනි, කොතරම් දේවල් ඔබ මවා ඇත්ද! ඒ සියල්ලම ඔබ ප්‍රඥාවන්තව මැව්වේය.” (ගීතා. 104:24NW) දෙවිගේ පුදුම ක්‍රියා ගැන කල්පනා කිරීමෙන් ඔහුට ගෞරවය ගෙන ඒමට ඔබත් පෙලඹෙන්නේ නැද්ද!

ඔබ පෙලඹෙන්නේ කුමක් කිරීමටද?

11, 12. දෙවිගේ පුදුමාකාර ක්‍රියා ගැන කල්පනා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

11 අපට රාත්‍රි අහසේ පුදුමයන් දැකීමට තාරකා විද්‍යාඥයෙක් වීමටවත් රොටිවල ඇති රස භුක්ති විඳීමට රසායනික විද්‍යාඥයෙක් වීමටවත් අවශ්‍ය නැහැ. අපගේ නිර්මාණකරුගේ ශ්‍රේෂ්ඨත්වය අගය කිරීම සඳහා අවශ්‍ය වන්නේ ප්‍රමාණවත් කාලයක් ගෙන ඔහුගේ නිර්මාණයන් ගැන කල්පනා කිරීමයි.

12 දෙවිගේ ගෞරවය සහ තේජශ්‍රිය දැකගත හැකි තවත් පැත්තක් වන්නේ ඔහු තම සෙනඟ වෙනුවෙන් පුරාණයේදී කළ පුදුම ක්‍රියායි. ඒ ගැන දාවිත් ගායනා කළේ මෙසේයි. “ඔබේ තේජසෙහි ඇති උත්කෘෂ්ටභාවයද ඔබ කර ඇති පුදුමාකාර දේවල්ද මම නිතරම කල්පනා කරමි.” (ගීතා. 145:5NW) ඔහු මෙන් දෙවිගේ ක්‍රියා ගැන කල්පනා කරන්න අපටත් හැකියි. ඒ කෙසේද? ඔහුගේ වචනය වන බයිබලය අධ්‍යයනය කිරීමෙන් සහ කියවන දේ ගැන ගැඹුරින් කල්පනා කිරීමෙනුයි. ඉන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? අප දෙවිට දක්වන ගෞරවය තවත් වැඩි වන අතර ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය වැඩියෙන් අගය කරන්නද අප පෙලඹෙනවා. එමෙන්ම “මමද ඔබේ උතුම්කම ප්‍රකාශ කරන්නෙමි” කියා දාවිත් මෙන් අපටත් පැවසිය හැකියි. (ගීතා. 145:6NW) දෙවිගේ බලවත් ක්‍රියා ගැන ගැඹුරින් කල්පනා කිරීමේ තවත් ප්‍රයෝජනයක් වන්නේ ඔහු සමඟ ඇති අපගේ මිත්‍රත්වය තව තවත් ශක්තිමත් වීමයි. එමෙන්ම උද්‍යෝගයෙන් යුතුව අන් අයටද දෙවිගේ ක්‍රියා ගැන ප්‍රකාශ කිරීමට එය අපව පෙලඹවිය යුතුයි. ඒ තුළින් දෙවිගේ තේජස, උත්කෘෂ්ටභාවය තේරුම්ගෙන එය අගය කරන්න ඔබ ඔවුන්ට උපකාර කරනවාද?

දෙවි මිනිසුන්ට දක්වන ගෞරවය යේසුස් තුළින් දැකගත හැකියි

13. (අ) දානියෙල් 7:13, 14 අනුව දෙවි තම පුත්‍රයාට දී ඇත්තේ කුමක්ද? (ඇ) දේවරාජ්‍යයේ පාලකයා හැටියට යේසුස් තම යටත්වැසියන්ට සලකන්නේ කෙසේද?

13 පොළොව මත සිටියදී යේසුස්ද ශුභාරංචිය උද්‍යෝගයෙන් ප්‍රකාශ කිරීම තුළින් තම ශ්‍රේෂ්ඨ පියාව ගෞරවයට පත් කළා. එමෙන්ම යෙහෝවා දෙවිද තම පුත්‍රයාට ‘රාජ්‍යය සහ එහි පාලනය’ ලබා දීමෙන් ඔහුව ගෞරවයට පත් කළා. (දානියෙල් 7:13, 14 කියවන්න.) යේසුස් ඒ ගැන උඩඟු වන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු තම යටත්වැසියන්ගේ තත්වයන් හොඳින් තේරුම්ගෙන ඔවුන්ට ගෞරවයෙන් සලකන පාලකයෙක්. ඒ බව ඔහු පොළොවේ සිටියදී ඔප්පු කර පෙන්නුවා. දැන් අපි ඒ ගැන එක් උදාහරණයක් සලකා බලමු.

14. යේසුස්ගේ කාලයේදී ලාදුරු රෝගීන්ව සැලකුවේ කෙසේද?

14 පුරාණයේ සිටි ලාදුරු රෝගීන් ඔවුන්ගේ ජීවිත කාලයම ගත කළේ දැඩි වේදනාවකිනුයි. එම රෝගය ක්‍රමානුකූලව ඔහුගේ මුළු ශරීරය පුරාම පැතිරුණු අතර අවසානයේදී ඔහු ඉන් මිය ගියා. එවැනි කෙනෙකුව සුව කිරීම හරියට මළ කෙනෙකුට පණ දෙනවා හා සමානයි. (ගණන්. 12:12; 2 රාජා. 5:7, 14) ඒ කාලයේ එවැනි රෝගීන්ව පිළිකුල් කොට සමාජයෙන් ඉවත් කළා. එමෙන්ම ලාදුරු රෝගියෙක් පාරේ ගමන් කරන විට “අපවිත්‍රය, අපවිත්‍රය” කියා ශබ්ද නඟා පැවසිය යුතු වුණා. (ලෙවී. 13:43-46NW) ලාදුරු රෝගියෙක් ජීවත් වුණත් ඔහු සිටියේ හරියට මිය ගියා හා සමාන තත්වයකයි. රබ්බිවරුන්ගේ වාර්තාවක සඳහන් වන්නේ එවැනි රෝගියෙකු ඕනෑම කෙනෙකුගෙන් අඩි හයක් දුරින් සිටිය යුතු බවයි. එමෙන්ම ලාදුරු රෝගියෙකුව දුටු එක්තරා ආගමික නායකයෙක් ඔහුව දුරින් තැබීම සඳහා ඔහුට ගල් ගැසූ බවද වාර්තා වෙනවා.

15. යේසුස් ලාදුරු රෝගියෙකුට සැලකුවේ කෙසේද?

15 නමුත් යේසුස් නම් සුවය පතා තමා ළඟට පැමිණි ලාදුරු රෝගියෙකුට සැලකුවේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි. (මාක් 1:40-42 කියවන්න.) ඔහුව වහාම එළවාගන්නවා වෙනුවට යේසුස් එම මිනිසාට කරුණාවන්තව සැලකීමෙන් ගෞරවය පෙන්නුවා. ඔහු අසරණ මෙන්ම සහනය අවශ්‍ය කෙනෙකු බව යේසුස් දුටුවා. ඒ නිසා මුළු හදවතින්ම පෙලඹුණු ඔහු ඒ මිනිසා ළඟටම ගොස්, ඔහුව ස්පර්ශ කර සුව කළා.

16. යේසුස් අන් අයට සැලකූ ආකාරය සම්බන්ධයෙන් අපට කුමක් ඉගෙනගත හැකිද?

16 තම පියාව ගෞරවයට පත් කරමින් යේසුස් කටයුතු කළ ආකාරය අප ආදර්ශයට ගන්නේ කෙසේද? ඒ සඳහා එක් ක්‍රමයක් වන්නේ කෙනෙකුගේ සමාජ තත්වය, වයස් මට්ටම හා සෞඛ්‍ය තත්වය කුමක් වුණත් සියල්ලන්ටම සුදුසු ගෞරවය ලබා දීමයි. (1 පේතෘ. 2:17) මූලිකත්වය මෙහෙයවන්නන් වන ස්වාමිපුරුෂයන්, දෙමාපියන් සහ ක්‍රිස්තියානි වැඩිමහල්ලන් තමන් යටතේ සිටින අයට නිසි ගෞරවය පෙන්වීම සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. එමෙන්ම ඔවුන්ට ඔවුන්ගේ ගෞරවය රැකෙන ආකාරයෙන් කටයුතු කිරීමටද උදව් කළ යුතුයි. අන් අයට ගෞරවය පෙන්වීම සෑම ක්‍රිස්තියානියෙකුගේම වගකීම බව බයිබලයේ පවසනවා. “සහෝදර ප්‍රේමයෙන් යුතුව එකිනෙකා කෙරෙහි ගැඹුරු ස්නේහයක් ඇතිව සිටින්න. එකිනෙකාට ගෞරවය දැක්වීමේදී පෙරමුණ ගන්න.”—රෝම 12:10.

නමස්කාරයේදී ගෞරවය පෙන්වීම

17. දෙවිට කරන නමස්කාරයේදී ගෞරවය පෙන්විය යුතු ආකාරය ගැන ඉගෙනගත හැක්කේ කුමක්ද?

17 යෙහෝවා දෙවිට නමස්කාර කරන අවස්ථාවලදීද අප විශේෂයෙන් ගෞරවය පෙන්විය යුතුයි. ඒ ගැන දේශනාකාරයා 5:1හි [NW] පවසන්නේ මෙයයි. “ඔබ සැබෑ දෙවිගේ ගෘහයට යන විට කල්පනාකාරීව හැසිරෙන්න.” ශුද්ධ ස්ථානයක සිටින විට පාවහන් ගලවන්න කියා දෙවි මෝසෙස් හා යෝෂුවාටද අණ කළා. (නික්. 3:5; යෝෂු. 5:15) එම ක්‍රියාව ඔවුන් දෙවිට ගෞරවය පෙන්වූ එක් ආකාරයක්. ඊශ්‍රායෙල් පූජකයන් පූජාසනය අසල දෙවිට සේවය කරන විට ඔවුන්ගේ “නග්නභාවය වසන පිණිස” එනම් ඔවුන්ගේ ශරීරය අනවශ්‍ය ලෙස නිරාවරණය නොවීම සඳහා ‘හණ රෙදිවලින් මසාගත් යට ඇඳුම්’ අඳින්න කියා දෙවි පැවසුවා. (නික්. 28:42, 43NW) එමෙන්ම පූජකයන්ගේ පවුලේ අයත් ගෞරවනීය ආකාරයෙන් ඇඳ පැළද සිටිය යුතු වුණා.

18. අප දෙවිට කරන නමස්කාරයේදී ගෞරවය පෙන්වීමට ඇතුළත් වන්නේ මොනවාද?

18 අන් අය අපව ගෞරවයෙන් සැලකීමට නම් අපද ගෞරවනීයව හැසිරිය යුතුයි. ඒ වගේම අප ගෞරවාන්විත අය බව පිටතින් පමණක් නොව අපගේ ඇතුළාන්තයෙන්ද පිළිබිඹු විය යුතුයි. යෙහෝවා දෙවිද අපෙන් අපේක්ෂා කරන්නේ එයයි. (1 සාමු. 16:7; හිතෝ. 21:2) අප ගෞරවාන්විතව කටයුතු කරනවා නම් එය අපගේ හැසිරීමෙන්, සිතන ආකාරයෙන් හා අන් අයට සලකන ආකාරයෙන් දැකගත හැකියි. ඒ වගේම එය අපට අප ගැනම සාධාරණව සිතන්නත් උපකාරවත් වෙනවා. අප ගෞරවාන්විත අය බව අප අඳින පළඳින ආකාරය ඇතුළු අප කරන කියන සෑම දෙයකින්ම දැකගත හැකි විය යුතුයි. “අපේ සේවය ගැන දොස් නොතබන පිණිස, කිසි ලෙසකින්වත් බාධාවීමට අපි කිසිම හේතුවක් නොදෙමු. ඒ වෙනුවට, දෙවිගේ සේවකයෝ බව සෑම ආකාරයකින්ම අපි ඔප්පු කර පෙන්වන්නෙමු.” (2 කොරි. 6:3, 4) අප “සියල්ලෙහිදී අපේ ගැලවුම්කරු වන දෙවිගේ ඉගැන්වීම අලංකාර” කරමු.—තීත. 2:10.

දෙවිගේ මහිමය දිගටම ප්‍රකාශ කරන්න

19, 20. (අ) අන් අයට ගෞරවය පෙන්විය හැකි වැදගත් ආකාරයක් කුමක්ද? (ආ) අපගේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

19 අභිෂේක ලත් ක්‍රිස්තියානීන් “ක්‍රිස්තුස් වෙනුවට තානාපතියන්” ලෙස කටයුතු කිරීමෙන් දෙවිව මහිමයට පත් කරනවා. (2 කොරි. 5:20) එමෙන්ම වෙනත් බැටළුවන්ට අයත් සාමාජිකයන් ඔවුන්ට පක්ෂපාතව සහාය දෙන අතර ඔවුන්ද දේවරාජ්‍යයේ නියෝජිතයන් ලෙස ගෞරවනීය කාර්යයක් ඉටු කරනවා. සමාන්‍යයෙන් තනාපතියෙකුගේ හෝ නියෝජිතයෙකුගේ කාර්යය වන්නේ තම රජය වෙනුවෙන් නිර්භීතව සහ ගෞරවයෙන් යුතුව කතා කිරීමයි. එලෙසම අපත් දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් නිර්භීතව මෙන්ම ගෞරවයෙන් යුතුව කතා කළ යුතුයි. (එෆී. 6:19, 20) එසේම අප “යහපත ගැන ශුභාරංචි” අන් අය වෙතට ගෙන යෑමෙන් අප ඔවුන්ට ගෞරවය පෙන්වනවා.—යෙසා. 52:7NW.

20 අප මෙතෙක් සලකා බැලූ ලෙස අපගේ කතාව සහ හැසිරීම ගෞරවනීය ආකාරයෙන් පවත්වාගැනීමෙන් දෙවිව මහිමයට පත් කරන්න අදිටන් කරගනිමු. (1 පේතෘ. 2:12) එමෙන්ම අපි සැමවිටම අපගේ දෙවි යෙහෝවාටත්, ඔහුට කරන නමස්කාරයටත්, සෙසු නමස්කාරකයන්ටත් ගැඹුරු ගෞරවයක් දක්වමු. එවිට ගෞරවයෙන් හා තේජසින් සැරසී සිටින දෙවිට අප කරන නමස්කාරය ඔහු ඉතා සතුටින් පිළිගනියි.

[පාදසටහන]

^ 3 ඡේ. අටවෙනි ගීතිකාවේ සඳහන් දාවිත්ගේ වචන පරිපූර්ණ මිනිසෙකු වූ යේසුස්ටද අදාළයි.—හෙබ්‍රෙ. 2:5-9.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• දෙවිගේ ගෞරවය හා තේජස ගැන කල්පනා කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

• ලාදුරු රෝගියාට යේසුස් පෙන්වූ ගෞරවය මගින් ඔබට කුමක් ඉගෙනගත හැකිද?

• අපට දෙවිව ගෞරවයට පත් කළ හැක්කේ කුමන ආකාරවලින්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවි ආබෙල්ව ගෞරවයට පත් කළේ කෙසේද?

[14වන පිටුවේ පින්තූරය]

ආහාර සඳහා යෙහෝවා දෙවි ලබා දී ඇති දේවල්ද ඔහු කර ඇති මහත් දේවලට සාක්ෂියක්

[15වන පිටුවේ පින්තූරය]

ලාදුරු රෝගියාට යේසුස් පෙන්වූ ගෞරවය මගින් ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

[16වන පිටුවේ පින්තූරය]

දෙවිට කරන නමස්කාරයට අප ගෞරවය පෙන්විය යුතුයි