Skip to content

පටුනට යන්න

අපට ‘ගැලවීම සලසා දෙන’ යෙහෝවා දෙවි

අපට ‘ගැලවීම සලසා දෙන’ යෙහෝවා දෙවි

අපට ‘ගැලවීම සලසා දෙන’ යෙහෝවා දෙවි

“යෙහෝවා දෙවි ඔවුන්ට උපකාර කර ඔවුන්ට ගැලවීම සලසා දෙන්නේය.”—ගීතා. 37:40, නව ලොව පරිවර්තනය, NW.

1, 2. අපගේ සැනසීමට හේතු වන්නේ දෙවි පිළිබඳ කුමක් දැන සිටීමද?

අපගේ පෘථිවිය කැරකෙනවාත් සමඟම ඒ මත පතිත වන සූර්යාලෝකය මගින් ඇති කරන සෙවණැලිද නිතරම වෙනස් වෙනවා. එසේ සෙවණැලි නිතරම වෙනස් වුණත් පොළොවේ හා සූර්යයාගේ නිර්මාණකරු වන යෙහෝවා දෙවි නම් කිසි දිනක වෙනස් වන්නේ නැහැ. (මලා. 3:6) බයිබලයේ දෙවි ගැන දී තිබෙන සහතිකය මෙයයි. “ඔහු වෙනස් වන ඡායාවක් මෙන් කිසිසේත් වෙනස් වන්නේ නැත.” (යාකො. 1:17) දෙවි කිසි දිනක වෙනස් නොවන බව දැන සිටීම, විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන විට අපට මහත් සැනසීමක්!

2 දෙවි පුරාණයේදී තම සේවකයන්ට ‘ගැලවීම සලසා දුන්’ බව කලින් ලිපියේදී අපි දැනගත්තා. (ගීතා. 70:5) ඔහු කිසි දිනක වෙනස් වන්නේවත් තම පොරොන්දු කඩ කරන්නේවත් නැහැ. ඒ නිසා දෙවි අද දිනත් තම සේවකයන්ට ‘උපකාර කර ඔවුන්ට ගැලවීම සලසා දෙන’ බව අපට ස්ථිරයි. (ගීතා. 37:40NW) මෑත ඉතිහාසයේදී දෙවි එසේ කර තිබෙන්නේ කුමනාකාරයෙන්ද? එමෙන්ම ඔහු අපට පෞද්ගලිකවත් උපකාර කරන්නේ කෙසේද?

සතුරන්ගෙන් ගැලවීම

3. ශුභාරංචිය ප්‍රකාශ කිරීම නතර කිරීමට දෙවිගේ සතුරන්ට නොහැකි බව අපට විශ්වාස ඇයි?

3 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙවිට දෙන නමස්කාරය වැළැක්වීමට සාතන් හා ඔහුගේ පැත්තේ සිටින පිරිස කොපමණ උත්සාහ කළත් ඒ සියල්ල අසාර්ථකයි. ඊට හේතුව දෙවි මෙසේ පවසා තිබෙන නිසයි. “ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත. ඔබට විරුද්ධ කතා කරන සෑම කෙනෙකුවම ඔබ වරදකරුවන් වීමට සලස්වන්නෝය.” (යෙසා. 54:17NW) දෙවිගේ සෙනඟ ප්‍රකාශ කරන ශුභාරංචිය නතර කරන්න විරුද්ධවාදීන් කොතරම් උත්සාහ කර තිබුණත් ඔවුන් අසමත් වී තිබෙනවා. ඊට උදාහරණ දෙකක් අපි සලකා බලමු.

4, 5. වර්ෂ 1918දී දෙවිගේ සෙනඟ මුහුණ දුන් විරුද්ධවාදිකම් මොනවාද? එමෙන්ම එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ කුමක්ද?

4 වර්ෂ 1918දී පූජකයන්ගේ උසිගැන්වීම් මත ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයට එරෙහිව පීඩා රැල්ලක් ආරම්භ වුණා. ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් ආණ්ඩුව විසින් නිකුත් කළ නියෝගයකට අනුව මැයි මස හත්වනදා සහෝදර ජේ. එෆ්. රදෆඩ්ව අත්අඩංගුවට ගත්තා. එවකට ලෝක ව්‍යාප්ත දේශනා කිරීමේ කාර්යය අධීක්ෂණය කළේ ඔහු විසිනුයි. ඔහු සමඟ ලෝක මූලස්ථානයේ සේවය කළ තවත් අයවත් අත්අඩංගුවට ගත්තා. ඉන් මාස දෙකකට අඩු කාලයක් ඇතුළත ඔවුන් කුමන්ත්‍රණකරුවන් යැයි පවසමින් අයුක්තිසහගත ලෙස ඔවුන්ට චෝදනා කර දිගුකාලීන සිර දඬුවමක්ද ලබා දුන්නා. නමුත් එවන් ක්‍රම මගින් දේශනා කිරීමේ කාර්යය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ඔවුන්ට හැකි වුණාද? කොහෙත්ම නැහැ!

5 ඒ ඇයි? “ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත” කියා දෙවි දී ඇති පොරොන්දුව නිසයි. එමනිසා දේවල් ඉතා සීඝ්‍රයෙන් වෙනස් වූ අතර ඔවුන්ව සිර ගත කිරීමෙන් මාස නවයකට පසුව එනම් 1919 මාර්තු 26 වෙනිදා සහෝදර රදෆඩ්වත් ඔහුගේ සහයකයන්වත් ඇප මත මුදා හැරියා. ඊළඟ අවුරුද්දේදී එනම් 1920 මැයි පස්වන දින ඔවුන්ට එරෙහිව තිබූ සියලු චෝදනාවලින් ඔවුන්ව නිදහස් කළා. නිදහස ලැබූ ඔවුන් නැවතත් දේශනා කිරීමේ කාර්යය ආරම්භ කළා. එදා සිට මේ වන තෙක් එම කාර්යයෙහි දැවැන්ත වර්ධනයක් සිදු වී තිබෙනවා. ඒ සඳහා සියලු ප්‍රශංසාව හිමි වන්නේ ‘ගැලවීම සලසා දෙන’ යෙහෝවා දෙවිටයි.—1 කොරි. 3:7.

6, 7. (අ) නාට්සි පාලන කාලයේදී ජර්මනියේ සිටි සාක්ෂිකරුවන්ට පැමිණි පීඩා මොනවාද? එමෙන්ම එහි ප්‍රතිඵලය කුමක්ද? (ආ) ඉන් ඔප්පු වී ඇත්තේ කුමක්ද?

6 දැන් අපි තවත් උදාහරණයක් සලකා බලමු. ජර්මනියේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සියල්ලන්වම රටින් අතුගා දමන බවට හිට්ලර් ප්‍රතිඥා දුන්නා. එහි ප්‍රතිඵලයක් හැටියට බොහෝදෙනෙකුව සිරගත කළා. තවත් දහස් ගණනකට කුරිරු ලෙස වධ හිංසා කළා. සියගණනක්ව මරා දැමුවා. ඉන් හිට්ලර්ගේ බලාපොරොත්තු ඉෂ්ට වුණාද? සාක්ෂිකරුවන්ගේ දේවසේවය සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට ඔහුට හැකි වුණාද? කොහෙත්ම නැහැ! එම පීඩා සහිත කාලයේදී සාක්ෂිකරුවන් රහසිගතව දේශනා කළා. නාට්සි පාලනය අවසන් වූවාත් සමඟම ඔවුන් නිදහස ලැබූ නිසා දේශනා කාර්යය දිගටම කරගෙන ගියා. අද වන විට ජර්මනියේ ප්‍රචාරකයන් 1,65,000ක් පමණ සිටිනවා. නැවතත් ඉන් ඔප්පු වී ඇත්තේ කුමක්ද? ‘ගැලවීම සලසා දෙන්නා’ වන දෙවි පැවසූ ලෙස ‘ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත’ යන වචන සත්‍ය වී ඇති බවයි.

7 වර්තමානයේද දෙවි තම සෙනඟව සම්පූර්ණයෙන්ම මේ පොළොවෙන් ඉවත් කිරීමට කිසි දිනක ඉඩ දෙන්නේ නැති බව ඉන් ඔප්පු වී තිබෙනවා. (ගීතා. 116:15) ඒ වුණත් යෙහෝවා දෙවි තම සේවකයන් එක් එක් කෙනාට පෞද්ගලිකව ආරක්ෂාව සපයනවාද? ඒ ගැන දැන් අපි සලකා බලමු.

පහර දීම් හා ඝාතන ගැන කුමක් කිව හැකිද?

8, 9. (අ) අප මුහුණ පාන සෑම තත්වයකින්ම දෙවි අපව ආරක්ෂා කරන බව නිශ්චිතව පවසන්න බැරි බව අප දන්නේ කෙසේද? (ආ) අප පිළිගත යුත්තේ කුමක්ද?

8 අපට පෞද්ගලිකව මුහුණ දීමට සිදු වන සෑම තත්වයකින්ම දෙවි අපව ආරක්ෂා කරන බව නිශ්චිතව පවසන්න බැරි බව අප දන්නවා. එවැනි අවස්ථාවලදී අප ගන්නේත් එදා හෙබ්‍රෙව් තරුණයන් තිදෙනා ගත් ස්ථාවරයමයි. නෙබුකද්නෙශර් රජ සෑදූ රූපයට නමස්කාර නොකරන්න ඔවුන් තීරණය කළ අතර ඒ අවස්ථාවේදී දෙවි ඔවුන්ව ගිනි උදුනෙන් ගලවාගනියිද නැද්ද කියා ඔවුන් දැන සිටියේ නැහැ. (දානියෙල් 3:17, 18 කියවන්න.) නමුත් ඔවුන්ව ගලවාගන්න දෙවි තීරණය කළා. (දානි. 3:21-27) ඒ වුණත් ඒ කාලයේ සිටි දෙවිගේ සියලුම සේවකයන් එවන් ආශ්චර්යවත් ගැලවීමක් අද්දැක්කේ නැහැ. බොහෝදෙනෙක් ඔවුන්ගේ සතුරන් අතින් මිය ගොස් තිබෙනවා.—හෙබ්‍රෙ. 11:35-37.

9 අද ගැන කුමක් කිව හැකිද? ‘ගැලවීම සලසා දෙන්නා’ හැටියට තම සේවකයන්ව පෞද්ගලිකව ආරක්ෂා කරන්නත් දෙවිට හැකියාව තිබෙනවා. නමුත් යම් සිද්ධියකදී කෙනෙකුව ආරක්ෂා කරන්න දෙවි මැදිහත් වෙනවාද නැද්ද කියා නිශ්චිතව පවසන්න අපට හැකිද? බැහැ. නමුත් සමහරුන් ඉතාමත් භයානක තත්වයන්වලින් ආරක්ෂාව ලබා තිබෙන අතර ඔවුන්ව ආරක්ෂා කළේ දෙවි බව ඔවුන්ට හැඟෙනවා විය හැකියි. එවන් අවස්ථාවලදී අන් අය ඔවුන්ව විනිශ්චය කිරීමෙන් වැළකීම යෝග්‍යයි. මෙහිදී අප පිළිගත යුතු තවත් දෙයක් තිබෙනවා. එනම් ජර්මනියේ නාට්සි පාලයන යටතේ දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් බොහෝදෙනෙක් පීඩා නිසා මිය ගියා. තවත් දෙවිගේ සේවකයන් වෙනත් තත්වයන් නිසා මිය ගොස් තිබෙනවා. (දේශ. 9:11) ඒ නිසා අපට මෙසේ සිතෙන්න පුළුවන්. ඉන් අදහස් කරන්නේ ‘ගැලවීම සලසා දෙන්නා’ වන දෙවිට තම සේවකයන්ව ගලවාගන්න නොහැකි වුණ බවද? නැහැ.

10, 11. මරණය ඉදිරියෙහි සියලු මිනිසුන් අසරණ ඇයි? නමුත් දෙවි ඒ ගැන කුමක් කරයිද?

10 මේ ගැන සලකා බලන්න. “කිසිවෙකුට මිනී වළට නොයා බේරී සිටිය” නොහැකි නිසා සෑම කෙනෙක්ම මරණය හමුවේ ඉතා අසරණයි. (ගීතා. 89:48) නමුත් යෙහෝවා දෙවි බලවත් නිසා මිය ගොස් සිටින අයව නැවත ජීවනයට පමුණුවන්න ඔහුට හැකියි. එය තේරුම්ගන්න මේ උදාහරණය බලන්න. එක් සහෝදරියක් නාට්සි කඳවුරක පීඩා වින්ද අතර සෙසු ප්‍රේමණීය අය මිය ගිය නිසා ඒ ගැන කනගාටුවෙන් පසු වුණා. ඇය සිර කඳවුරෙන් නිදහස ලැබූ පසු ඇයව සැනසීමට ඇගේ මව ඇයට මෙසේ පැවසුවා. “මිය ගිය කෙනෙක් හැමදාමත් මරණ නින්දේ පසු වෙනවා කියන්නේ මරණය දෙවිට වඩා බලවත් කියන එකයි. එහෙම වෙන්න බැහැ නේද?” ජීවනයේ උල්පත වන සියලු බලැති දෙවිට මරණය ඉවත් කිරීම සුළු දෙයක්. (ගීතා. 36:9) ඒ අනුව කෙනෙක් මිය ගියත් ඔවුන් දෙවිගේ මතකයේ සිටිනවා නම් ඔහු ඒ සියලුදෙනාවම නැවත නැඟිටුවීමෙන් ඔවුන්ට ගැලවීම සලසා දෙනවා.—ලූක් 20:37, 38; එළි. 20:11-14.

11 නමුත් ඒ වන තෙක් දෙවි තම සේවකයන් වන අප ගැන සැලකිල්ල දක්වමින් කටයුතු කරනවා. ඔහු එසේ කරමින් අපට ‘ගැලවීම සලසා දෙන’ ආකාර තුනක් ගැන දැන් සලකා බලමු.

මිත්‍රත්වය ආරක්ෂා කරයි

12, 13. දෙවි සමඟ අපට ඇති මිත්‍රත්වය ආරක්ෂා කරගැනීම වඩා වැදගත් වන්නේ ඇයි? එමෙන්ම ඒ සඳහා දෙවි සපයා තිබෙන්නේ මොනවාද?

12 ක්‍රිස්තියානීන් හැටියට අපගේ ජීවිතවලට වඩා, වැදගත් දෙයක් අපට තිබෙනවා. එය නම් දෙවි සමඟ අපට ඇති මිත්‍රත්වයයි. එම මිත්‍රත්වය පලුදු නොවීමට දෙවි ආරක්ෂාව සපයනවා. (ගීතා. 25:14; 63:3) එය විනාශ වුණොත් අපගේ ජීවිතවලට කිසි වටිනාකමක් නැති වන අතර අනාගතයේ අපට තිබෙන බලාපොරොත්තුවද අපගෙන් ගිලිහී යනවා.

13 එමනිසා ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් දිගටම පවත්වාගෙන යන්න අවශ්‍ය සියලුම සැපයුම් දෙවි ලබා දී තිබෙනවා. ඒවා අතරට ඔහුගේ වචනය වන බයිබලය, ඔහුගේ බලය හා ක්‍රිස්තියානි සභාව අයත්. ඒ ගැන අප ඔහුට මොන තරම් ස්තුතිවන්ත විය යුතුද! අපට එම සැපයුම්වලින් ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද? ඒ සඳහා බයිබලය උනන්දුවෙන් අධ්‍යයනය කරමු. අපගේ ඇදහිල්ල මෙන්ම අනාගත බලාපොරොත්තුවද ඉන් ශක්තිමත් කරගත හැකියි. (රෝම 15:4) එමෙන්ම ඔහුගේ බලය ඉල්ලා ඕනෑකමින් යාච්ඤා කරමු. එවිට ඔහු සමඟ තිබෙන අපගේ මිත්‍රත්වයට හානි කරන දේවලින් ආරක්ෂා විය හැකියි. (ලූක් 11:13) තවදුරටත් විශ්වාසවන්ත නුවණ ඇති දාසයා තුළින් ‘නියම වේලාවට ලැබෙන ආහාරවලින්’ එනම් බයිබලය මත පදනම් ප්‍රකාශන, රැස්වීම්, එක්රැස්වීම් හා සමුළු තුළින් ලැබෙන පෝෂණයෙන් අපි ශක්තිමත් වෙමු. (මතෙ. 24:45) එවිට දෙවි සමඟ ඇති අපගේ මිත්‍රත්වය තව තවත් ශක්තිමත් වෙයි.—යාකො. 4:8.

14. තමන් සමඟ ඇති මිත්‍රත්වය ආරක්ෂා කරගැනීමට දෙවි උපකාර කළ අද්දැකීමක් විස්තර කරන්න.

14 එවන් ආරක්ෂාවක ඇති වැදගත්කම පහත සඳහන් අද්දැකීමෙන් පැහැදිලි වෙනවා. කලින් ලිපියේ සඳහන් තම දියණිය අතුරුදහන් වූ යුවළව ඔබට මතකද? ඇය අතුරුදහන් වී දින කිහිපයකට පසුව, ඇයව කවුරුන් හෝ මරාදමා ඇති බව ඔවුන්ට දැනගන්න ලැබුණා! * ඒ ගැන ඇගේ පියා මෙසේ පවසනවා. “මගේ දුව තෙරේසාව ආරක්ෂා කරලා දෙන්න කියලා මම යෙහෝවා දෙවිට ගොඩාක් යාච්ඤා කළා. ඒ වුණත් මගේ දුවව කවුරු හරි මරලා කියලා දැනගත්තහම, ‘ඇයි යෙහෝවා දෙවි මගේ යාච්ඤාවලට ඇහුම්කන් දුන්නේ නැත්තේ’ කියලා මට හිතුණා. ඒත් දෙවි තම සේවකයන් එක් එක්කෙනාව පෞද්ගලිකව ආරක්ෂා කරනවා කියා සහතිකයක් දී නැති බව මම දන්නවා. ඒ වුණත් මේ තත්වයට මුහුණ දෙන්න උපකාර ඉල්ලලා මම තව තවත් දෙවිට යාච්ඤා කළා. කෙනෙකුගේ ජීවිතයේ වඩාත්ම වැදගත් දෙය වන්නේ ඔහුට හෝ ඇයට දෙවි සමඟ තියෙන මිත්‍රත්වය බවත් ඒ මිත්‍රත්වය ආරක්ෂා කරගන්න අවශ්‍ය සෑම දෙයක්ම දෙවි සපයා ඇති බවත් මම තේරුම්ගත්තා. ඒක මට ලොකු සැනසීමක් වුණා. ඒ වගේ ආරක්ෂාවක් දෙවි අපට දෙන්නේ එය අපගේ සදාකාල ජීවනයට හේතුව වෙන නිසයි. යෙහෝවා දෙවි සමඟ තෙරේසාට තිබූ මිත්‍රත්වය දෙවි ආරක්ෂා කළා කියලා මට තේරෙනවා. ඒ වෙද්දිත් එයා දෙවිට විශ්වාසවන්තව සේවය කරමිනුයි හිටියේ. ඉතිං ඒ නිසා දෙවි අනාගතයේදී ඇයව සිහි කරනවා යන සැනසීම මට තියෙනවා.”

රෝගීව සිටින විට උපකාර

15. අප බරපතළ ලෙස අසනීප වී සිටින විට දෙවි අපට උපකාර කරන්නේ කුමනාකාරයෙන්ද?

15 දෙවි දාවිත්ට උපකාර කළාක් මෙන් අපත් ‘අසනීප වී සිටින විට’ අපට උපකාර කරන්නද ඔහුට හැකියි. (ගීතා. 41:3) දෙවි අපගේ අසනීප ආශ්චර්යවත් ලෙස සුව නොකළත් ඊට මුහුණ දිමට අවශ්‍ය උපකාර ඔහු ලබා දෙනවා. ඒ කෙසේද? දෙවි බයිබලය මගින් වටිනා ප්‍රතිපත්ති දී තිබෙනවා. ඒවා අදාළ කරගැනීමෙන් සුදුසු ප්‍රතිකාර ක්‍රම තෝරාගැනීමටත් ඒ හා සම්බන්ධව ඥානවන්ත තීරණ ගැනීමටත් ඒවා උපකාරවත් වෙනවා. (හිතෝ. 2:6) එමෙන්ම මුරටැඹ හා පිබිදෙව්! කලාපවල අපගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳව ලිපි පළ වී ඇති අතර ඒවායින් ප්‍රයෝජනවත් තොරතුරු ලබාගන්නත් අපට හැකියි. එපමණක් නොව, අප මුහුණ දෙන තත්වය කුමක් වුවත් ඊට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය “සාමාන්‍යය ඉක්මවූ බලය” දෙවි අපට ලබා දෙනවා. (2 කොරි. 4:7) එවැනි උපකාර නිසා අපගේ අසනීප ගැනම කල්පනා නොකර දෙවි සමඟ තිබෙන අපගේ මිත්‍රත්වය ශක්තිමත් කරගන්න අපට හැකියි.

16. එක් සහෝදරයෙක් බරපතළ අසනීපයකට මුහුණ දුන්නේ කෙසේද?

16 දැන් අපි කලින් ලිපියේ සඳහන් කළ, හිටි හැටියේම අසනීප වූ තරුණ සහෝදරයාගේ අද්දැකීම සලකා බලමු. ඔහුට මාංස පේශි ක්ෂය වීමේ රෝගය ඇති බව 1998දී හඳුනාගත් අතර පසුව ඔහු අංශභාග රෝගියෙක් වුණා. * ඔහු ඊට මුහුණ දුන් ආකාරය මෙසේ විස්තර කරනවා. “මගේ මේ අසනීපය නිසා මම අන්තයටම කළකිරිණු අවස්ථා තිබුණා. ඒ වගේ වෙලාවට මම මැරුණා නම් මීට වඩා හොඳයි කියලා හිතුණා. එතකොට මම යෙහෝවා දෙවිට යාච්ඤා කරලා ඉල්ලන්නේ මට සන්සුන් මනසක් සහ විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය දෙන්න කියලයි. මට සන්සුන් මනසක් තියෙනකොට අනාගතයේදී මට ආයෙත් ඇවිදින්න, රසවත් කෑම කන්න වගේම මගේ පවුලේ අයත් එක්ක කතා කරන්න ලැබෙන අවස්ථා ගැන හිතන්න පුළුවන්. ඒ වගේම මට විඳදරාගැනීම දෙන්න කියා ඉල්ලන්නේ මේ අසනීපය නිසා ඇති වෙන දැඩි දුෂ්කරතාවලට සාර්ථකව මුහුණ දෙන්නයි. ඒ වගේම දෙවිට දිගටම විශ්වාසවන්තව සිටීමටත් ඔහු සමඟ මට ඇති මිත්‍රත්වයට බාධාවීමට වෙනත් දේවලට ඉඩ නොදීමටත් එය මට ලොකු උපකාරයක්. දාවිත්ව වගේ ලෙඩ ඇඳේ ඉන්න මාවත් දෙවි බලා ගන්නා බව මට හොඳට තේරෙනවා.”—යෙසායා 35:5, 6.

අත්‍යවශ්‍ය දේවල් සැපයීම

17. දෙවි අපට පොරොන්දු වී ඇත්තේ කුමක්ද? එමෙන්ම ඉන් අදහස් කරන්නේ කුමක්ද?

17 අපට එදිනෙදා අත්‍යවශ්‍ය දේවල් ලබා දෙන බවටත් දෙවි පොරොන්දු වී තිබෙනවා. (මතෙව් 6:33, 34; හෙබ්‍රෙව් 13:5, 6 කියවන්න.) නමුත් අප කිසි වැඩක් නොකළ යුතු බව හෝ දෙවි ආශ්චර්යවත් ආකාරයෙන් ඒවා අපට ලබා දෙන බව ඉන් අදහස් වෙන්නේ නැහැ. (2 තෙස. 3:10) ඒ වෙනුවට ඉන් අදහස් කරන්නේ දෙවිගේ රාජ්‍යයට මුල් තැන දී කටයුතු කරන අතරම වෙහෙසී වැඩ කරනවා නම් ජීවත් වීමට අවශ්‍ය දේවල් ලබා ගන්න දෙවි උපකාර කරන බවයි. (1 තෙස. 4:11, 12; 1 තිමෝ. 5:8) එමෙන්ම සමහරවිට අප බලාපොරොත්තු නොවන ආකාරයෙන්ද අපට අත්‍යවශ්‍ය දේවල් දෙවි සැපයිය හැකියි. ඒ සඳහා අපගේ සෙසු සහෝදරයෙකුව පෙලඹවීම මගින් දෙවි අපට උපකාර කළ හැකියි.

18. අපට අවශ්‍ය දේවල් දෙවි නියමිත වෙලාවට සපයන බවට උදාහරණයක් දෙන්න.

18 කලින් ලිපියේ සඳහන් කළ ඉතා දුප්පත් මව ගැන ඔබට මතකද? ඇය තම දියණියත් සමඟ වෙනත් ප්‍රදේශයක පදිංචියට ගිය විට රැකියාවක් සොයාගැනීම දුෂ්කර වුණා. ඒ ගැන ඇය පවසන දේ බලන්න. “ගොඩාක් දවස්වල මම උදේ වරුවේ දේවසේවයේ ගිහිල්ලා ඇවිල්ලා මුළු හවස් වරුවේම රැකියාවක් හොයන්න වෙහෙසුණා. මට මතකයි දවසක් මම කිරි ටිකක් ගන්න කඩේකට ගියා. එතකොට එතන එළවළු ජාති ගොඩාක් තියෙනවා මම දැක්කා. හැබැයි ඒවා ගන්න මට සල්ලි තිබුණේ නැහැ. ඒ වෙලාවේ දැණුනා වගේ දුකක් මට කවදාවත් දැනිලා නැහැ. නමුත් එදා මම ගෙදර එද්දී මගේ ගේ පිටිපස්සේ දොර ගාව ලොකු එළවළු මල්ලක් තියෙනවා මං දැක්කා. එතන මාසෙකට විතර එළවළු තිබුණා. ඒක දැකලා මට ඇඬුණා. ඒ ගැන මම යෙහෝවා දෙවිට මොනතරම් ස්තුති වන්ත වුණාද!” ඒ එළවළු මල්ල ඇයට ලැබුණේ ඇගේ සභාවේ සිටින එළවළු වගා කරන සහෝදරයෙකුගෙන් බව ඇය දැන ගත්තා. ඒ ගැන ඇය ඔහුට ලිව්වේ මෙහෙමයි. “එදා මම ඔයාට ගොඩාක් ස්තුති කළා. ඒ වගේම ඒ කරුණාවන්ත ක්‍රියාව කරන්න ඔයාව පෙලඹ වූ ප්‍රේමණීය දෙවි යෙහෝවාටත් මම ඊට වඩා ස්තුති කළා.”—හිතෝ. 19:17.

19. මහත් පීඩාවේදී අපට තිබෙන නිසැකකම කුමක්ද? එමෙන්ම අපගේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

19 මෙතෙක් අප සලකා බැලූ තොරතුරුවලින් ඔප්පු වන්නේ එදා මෙන් අදත් දෙවි තම සේවකයන්ට උපකාර කරන බවයි. නුදුරු අනාගතයේදී දෙවිගේ උපකාර අපට වෙන කවරදාටත් වඩා වැඩියෙන් අවශ්‍ය වන කාලයක් එනවා. ඒ සාතන්ගේ දුෂ්ට සමාජයට දෙවි මහත් පීඩාව ගෙනෙන විටයි. ඒ කාලයේදී පවා දෙවි උපකාර කරන බවට නිසැක වෙන්න අපට හැකියි. එමෙන්ම අපගේ ගැලවීම ඉතා ළං වී ඇති බව දැන සන්තෝෂයෙන් පිරී යෑමටත් හැකියි. (ලූක් 21:28) ඒ වන තෙක් අපට කුමන තත්වයකට මුහුණ දීමට සිදු වුණත් දෙවි කිසි දිනක වෙනස් නොවන බව ස්ථිර නිසා අපි ඔහු කෙරෙහි නොසැලෙන විශ්වාසයක් ඇතිව සිටිමු. දෙවි අපට ‘ගැලවීම සලසා දෙන’ බව නම් ස්ථිරයි!

[පාදසටහන්වල]

^ 14 ඡේ. වර්ෂ 2001 ජූලි 22 පිබිදෙව්! කලාපයේ පළ වූ “Coping With an Unspeakable Tragedy” යන ලිපිය බලන්න.

ඔබට මතකද?

• තම සතුරන් අතින් මිය ගිය අයට දෙවි ගැලවීම සලසා දෙන්නේ කෙසේද?

• දෙවි සමඟ ඇති මිත්‍රත්වය ආරක්ෂා කරගැනීම වැදගත්ම දේ වන්නේ ඇයි?

• අපගේ අවශ්‍යතා දෙවි සපයන බවට දී ඇති පොරොන්දුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[8වන පිටුවේ පින්තූරය]

සහෝදර රදෆඩ් සහ ඔහුගේ සහයකයන්ව 1918දී අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන්ට එරෙහිව තිබූ සියලු චෝදනාවලින් ඔවුන්ව නිදහස් කළා

[10වන පිටුවේ පින්තූරය]

‘අසනීප වී සිටින විටදී’ පවා අපට උපකාර කරන්න යෙහෝවා දෙවිට හැකියි