Skip to content

පටුනට යන්න

නිවැරදි දැනුම ලබාගන්න “මහත් උනන්දුවෙන්” ක්‍රියා කරන්න

නිවැරදි දැනුම ලබාගන්න “මහත් උනන්දුවෙන්” ක්‍රියා කරන්න

නිවැරදි දැනුම ලබාගන්න “මහත් උනන්දුවෙන්” ක්‍රියා කරන්න

දෙවිගේ සියලුම සේවකයන්ගේ එකම ආශාව ඔහුගේ අනුමැතිය ලැබීමයි. ඒ සඳහා නිවැරදි දැනුම මත පදනම් ඇදහිල්ලක් මෙන්ම උද්‍යෝගයෙන් ඔහුට සේවය කිරීමත් අවශ්‍යයි. එසේ කිරීමට අපොහොසත් වූ පාවුල්ගේ කාලයේ සිටි යුදෙව්වන් ගැන ඔහු මෙසේ පැවසුවා. ‘දෙවි කෙරෙහි උද්‍යෝගයක් ඔවුන්ට තිබෙනවා. නමුත් එය නිවැරදි දැනුමට අනුව නොවේ.’ (රෝම 10:2) නිකම්ම හැඟීම් මත පදනම් ඇදහිල්ලක් ඉතා භයානක විය හැකි නිසා අප ඉන් වැළකිය යුතුයි. ඒ වෙනුවට අපගේ ඇදහිල්ල ගොඩ නැඟිය යුත්තේ දෙවි හා ඔහුගේ අරමුණු පිළිබඳ නිවැරදි දැනුමට අනුවයි.

දෙවි අනුමත කරන ආකාරයෙන් කටයුතු කිරීම සඳහා නිවැරදි දැනුම අත්‍යවශ්‍ය බව පාවුල් තවත් ලිපියක සඳහන් කළා. එහි ඔහු දෙවිට යාච්ඤා කළේ දෙවිගේ සියලුම සේවකයන්ට ‘නිවැරදි දැනුමෙන් පූර්ණ වී, සම්පූර්ණ ලෙස යෙහෝවාව සතුටු කිරීමේ අරමුණින්, ඔහුට ඔබින ලෙස ගමන් කිරීමට හැකියාව දෙන’ ලෙසයි. ඒ සඳහා ‘යහපත් ක්‍රියාවලින් පල දරමින් දෙවි ගැන නිවැරදි දැනුමෙන් වර්ධනය වීමට’ උපකාර කරන මෙන්ද ඔහු දෙවිගෙන් ඉල්ලා සිටියා. (කොලො. 1:9, 10) “නිවැරදි දැනුම” එතරම්ම වැදගත් ඇයි සහ අප එම දැනුම ලබාගැනීමට උනන්දු විය යුත්තේ ඇයි කියා දැන් සලකා බලමු.

ශක්තිමත් ඇදහිල්ලකට අත්‍යවශ්‍යම දෙය

ශක්තිමත් ඇදහිල්ලක් ඇති වන්නේ දෙවි හා ඔහුගේ කැමැත්ත පිළිබඳ නිවැරදි දැනුම ලබාගැනීම මගිනුයි. නිවැරදි දැනුමෙන් තොර ඇදහිල්ලක් හරියට මුහුදු වෙරළේ තැනූ වැලි මාලිගාවක් වගෙයි. පුංචි රැල්ලක් ගැසූ සැනින් එය විනාශ වී යනවා. ඒ නිසා පාවුල් අපට උනන්දු කරන්නේ අපගේ “කල්පනා ශක්තිය” භාවිත කරමින් “මනස අලුත් කරගන්න” කියායි. (රෝම 12:1, 2) ඒ සඳහා අපට උපකාරවත් වන ප්‍රධාන දෙයක් වන්නේ නිතිපතා කරන බයිබල් අධ්‍යයනයයි.

පෝලන්තයේ ස්ථාවර පුරෝගාමී සහෝදරියක් වන ඊවා ඒ ගැන පවසන දේ බලන්න. “මම නිතිපතා බයිබලය අධ්‍යයනය කෙරුවේ නැත්නම් දෙවි පිළිබඳ නිවැරදි දැනුම වර්ධනය කරගන්න බැහැ. ඒ තුළින්, මම ක්‍රිස්තියානියෙක් කියන කාරණය ටිකෙන් ටික අමතක වෙලා, ඇදහිල්ලත් දුර්වල වෙන්න පුළුවන්. අන්තිමට දෙවිත් එක්ක තියෙන මගේ මිත්‍රත්වයත් නැති වෙලා යනවා.” ඇය පැවසූ දේ අපත් සිතට ගනිමු. දෙවි පිළිබඳ නිවැරදි දැනුමෙහි වර්ධනය වී ඒ තුළින් දෙවිගේ අනුමැතිය ලැබූ බයිබල් ආදර්ශයක් ගැන දැන් අපි සලකා බලමු.

“මම ඔබේ නීතියට කොතරම් ඇලුම් කරම්ද!”

බයිබලයේ 119වන ගීතිකාවේ සඳහන් වචනවලින් පැහැදිලි වන්නේ ගීතිකාකරුට දෙවිගේ නීති, සිහිගැන්වීම්, ආඥා හා දෙවි දී ඇති විනිශ්චයන් ගැන ඔහුට හැඟුණු ආකාරයයි. ඒ ගැන ඔහු පවසන්නේ මෙසේයි. ‘ඔබේ පනත්වලට මම ඇලුම් වන්නෙමි. ඔබේ සිහිගැන්වීම්වලට මම ඇලුම් කරන්නෙමි.’ එමෙන්ම “මම ඔබේ නීතියට කොතරම් ඇලුම් කරම්ද! දවස මුළුල්ලේ ඒ ගැන මම කල්පනා කරමි” කියාද ඔහු ගායනා කළා.—ගීතා. 119:16, 24, 47, 48, 77, 97, නව ලොව පරිවර්තනය, NW.

මෙහිදී ඔහු දෙවිගේ වචනය ගැන ගැඹුරින් කල්පනා කිරීමට ‘ඇලුම්කමක්’ දැක්වූවා කීමෙන් අදහස් කරන්නේ ඒ සඳහා ඔහු තුළ දැඩි ආශාවක් තිබූ බවයි. එමෙන්ම ඔහුට දෙවිගේ ආඥා ගැන පූර්ණ අවබෝධයක් ලබාගැනීමටද දැඩි ආශාවක් තිබූ බව ඔහු පැවසූ දෙයින් පැහැදිලියි. ගීතිකාකරු දෙවිගේ වචනය ගැන කල්පනා කිරීමට දැක්වූ ඇලුම්කම නිකම්ම හැඟීම් මත ඇති වූවක් නොවෙයි. ඒ වෙනුවට එය හට ගත්තේ දෙවිගේ නීති ප්‍රතිපත්ති ගැන පූර්ණ අවබෝධයක් ලබාගැනීමට ඔහු තුළ තිබූ දැඩි ආශාව නිසයි.

දේවවචනය කෙරෙහි ගීතිකාකරුට තිබූ ඇලුම්කම මටත් තිබෙනවාද? බයිබලය දිනපතා කියවන්නත් කියවූ දේ ගැන ගැඹුරින් කල්පනා කිරීමටත් මා තුළ ආශාවක් තිබෙනවාද? බයිබලය කියවීමට පෙර මම දෙවිට යාච්ඤා කර එය උන්දුවෙන් කියවනවාද? එම ප්‍රශ්නවලට ඔව් කියා පිළිතුරු දෙන්න හැකි නම් අප “දෙවි ගැන නිවැරදි දැනුමෙන් වර්ධනය වෙමින්” සිටින බව පැවසිය හැකියි.

කලින් සඳහන් කළ ඊවා නමැති සහෝදරිය පසුව මෙසේ පවසනවා. “මගේ පෞද්ගලික අධ්‍යයනය තව තවත් දියුණු කරගන්න මම නිතරම උත්සාහ කරනවා. ‘ඒ සරුසාර දේශය දැකගනිමු’ යන විවරණිකාව ලැබුණු දා ඉඳලා හැමදාම වගේ මම ඒක පෞද්ගලික අධ්‍යයනයට පාවිච්චි කරනවා. ඒ වගේම අවශ්‍ය වෙලාවට යම් අමතර දේවල් දැනගන්න ඉන්සයිට් (සිංහලෙන් නැත) පොත හා වෙනත් ප්‍රකාශනද පාවිච්චි කරනවා.”

බොහෝ පවුල් වගකීම් ඇති වොයිචෙක් සහ මව්ගෝෂාතා යන යුවළගේ අද්දැකීමද සලකා බලන්න. ඔවුන් පෞද්ගලික අධ්‍යයනය කරන ආකාරය ගැන මෙසේ පවසනවා. “අපි දෙන්නා වෙන වෙනම අධ්‍යයනය කරන්න කාලය වෙන් කරගන්නවා. පසුව අප අධ්‍යයනය කළ තොරතුරුවල ඇති ප්‍රයෝජනවත් අදහස් පවුලේ පාඩමේදී බෙදා ගන්නවා.” එලෙස ගැඹුරින් කරන අධ්‍යයනය ඔවුන්ට මහත් ප්‍රීතියක් ගෙන දෙන අතර ‘නිවැරදි දැනුමෙන් වර්ධනය වෙමින්’ සිටින්නත් හැකි වී තිබෙනවා.

අධ්‍යයනය කර අදාළ කරගන්න

දෙවිගේ කැමැත්ත වන්නේ ‘සියලු ආකාර මිනිසුන් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගෙන ගැලවීම ලැබීම’ බව අප හොඳින් දන්නවා. (1 තිමෝ. 2:3, 4) මිනිසුන්ට දෙවි පිළිබඳ දැනුම ලබා දීම දෙවි අපගෙන් බලාපොරොත්තු වන නිසා බයිබලය අධ්‍යයනය කර එහි “හරය වටහාගන්න” අප දැඩි උත්සහයක් දැරිය යුතුයි. (මතෙ. 15:10) ඒ වගේම අපි අධ්‍යයනය කර ඉගෙනගන්නා තොරතුරුවලට අනුව අවශ්‍ය වෙනස්කම් කිරීමටද කැමති විය යුතුයි. මේ සම්බන්ධයෙන් බෙරීයවරුන් හොඳ ආදර්ශයක්. පාවුල් ඔවුන්ට ශුභාරංචිය දේශනා කළ විට ඔවුන් “මහත් උනන්දුවකින් වචනය පිළිගෙන, මේ දේවල් සැබෑදැයි බලන පිණිස දිනපතා ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා” කළා.—ක්‍රියා 17:11.

ඔබත් බෙරීයයන් මෙන් උනන්දුවෙන් දේවවචනය අධ්‍යයනය කරනවාද? එමෙන්ම ඔබ අධ්‍යයනය කරන අතරතුර මනස වෙනතකට යොමු නොවන ආකාරයෙන් කටයුතු කරනවාද කියාත් සිතා බලන්න. කෙනෙක් සාමාන්‍යයෙන් අධ්‍යයනය කිරීමට එතරම් ආශාවක් නොදක්වන්න පුළුවන්. එවැනි කෙනෙකුට වුණත් යම් වෑයමක් දැරීමෙන් අධ්‍යයනය කිරීම ප්‍රීතිමත් එකක් කරගත හැකියි. සමහරවිට කෙනෙක් වයස්ගත වන විට කියවීමට සහ අධ්‍යයනය කිරීමට තිබෙන ආශාව ක්‍රමානුකූලව අඩු වන බව පෙනෙනවා. නමුත් අප එවැනි තත්වයකට පත් නොවිය යුතුයි. කෙනෙකුගේ වයස හෝ පෞද්ගලිකත්වය කුමක් වුණත් අධ්‍යයනයට ඇති වන බාධා ජයගන්න ඔවුන්ට හැකියි. ඒ කෙසේද? අධ්‍යයනය කරන විට අන් අය සමඟ බෙදාගත හැකි වැදගත් තොරතුරු ගැන අවධානය යොමු කරන්න. එනම් ඔබගේ විවාහක සහකරු හෝ ක්‍රිස්තියානි මිතුරෙකු සමඟ ඒවා බෙදාගන්න. එසේ කිරීමෙන් ඔබ අධ්‍යයනය කරන තොරතුරුවලට කිට්ටු අවධානයක් දිය හැකි අතර අන් අයටත් ඉන් මහත් ප්‍රයෝජන ගෙන දිය හැකියි.

ඔබ කරන අධ්‍යයනයේදී එස්රාව ආදර්ශයට ගන්න. ඔහු ‘යෙහෝවා දෙවිගේ නීතිය සෝදිසි කර බැලීමට මුළු හදවතින්ම අධිෂ්ඨාන කරගත්තා.’ (එස්රා 7:10NW) ඔබටත් එසේ කරන්න පුළුවන්ද? ඒ සඳහා අධ්‍යයනයට සුදුසු පරිසරයක් සකස් කරගන්න. ඊළඟට අධ්‍යයනය කිරීමට සූදානම් වී දෙවිගේ මඟ පෙන්වීම හා ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කරන්න. (යාකො. 1:5) අධ්‍යයනය සඳහා ඔබ තෝරාගත් විෂය ගැන මෙසේ කල්පනා කරන්න. ‘මෙයින් මම ඉගෙනගන්න බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඔබේ කියවීම අතරතුරේ දී ඒ ගැන සඳහන්ව ඇති ප්‍රධාන අදහස් සම්බන්ධයෙන් හොඳ අවධානයෙන් සිටින්න. එමෙන්ම මතක තබා ගත යුතු විශේෂ කරුණු සටහන් කරගන්න. එම තොරතුරු දේවසේවයේදී, තීරණ ගැනීමේදී හා සෙසු ඇදහිලිවන්තයන්ව දිරිගැන්වීමේදී යොදා ගත හැකි ආකාරය ගැන කල්පනා කරන්න. අධ්‍යයනය අවසානයේදී ඔබ ඉගෙනගත් දේ පිළිබඳව නැවතත් කෙටියෙන් සලකා බලන්න. එම පියවර අනුගමනය කිරීමෙන් ඔබ ඉගෙනගත් දේ සිතේ පැලපදියම් කරගන්න ඔබට හැකි වෙනවා.

සහෝදරි ඊවා අධ්‍යයනය කරන ආකාරය ගැන පවසන්නේ මෙසේයි. “මම බයිබලය කියවද්දී හරස් යොමු සටහන්, මුරටැඹ ප්‍රකාශන සුචිය හා සංයුක්ත තැටිවල තිබෙන මුරටැඹ පුස්තකාලය පාවිච්චි කරනවා. අධ්‍යයනය අතරතුර මම කෙටි සටහන් ගන්නේ ඒවා දේවසේවයේදී යොදා ගන්නයි.”

සමහරුන් අවුරුදු ගණනාවක් පුරා එවන් අධ්‍යයනයකින් ප්‍රීතියක් ලබා තිබෙන අතර දෙවි පිළිබඳ වඩ වඩා ඉගෙනගැනීමටත් හැකි වී තිබෙනවා. (හිතෝ. 2:1-5) ඒ වුණත් ඔවුන්ට බොහෝ වගකීම් තිබෙන නිසාත් ඔවුන් ඉතා කාර්යබහුල නිසාත් පෞද්ගලික අධ්‍යයනය සඳහා කාලය සොයාගැනීමට මහත් වෙහෙසක් දරමින් සිටිනවා. ඔබගේ අද්දැකීමත් එය නම් ඒ සඳහා ඔබට කුමක් කළ හැකිද?

කාලය සොයාගන්නේ කෙසේද?

ප්‍රීතිය ගෙන දෙන දෙයක නිරත වීමට කාලය සොයාගැනීම අපහසු දෙයක් නොවෙයි. ඊට ඔබත් එකඟ වෙනවා ඇති. බයිබල් අධ්‍යයනය සඳහාද කාලය සොයාගැනීමට නම් අපට එම අධ්‍යයනය ප්‍රීතිමත් එකක් විය යුතුයි. ඒ සඳහා කුමක් කළ හැකිද? එය ඉටු කරගැනීමට බොහෝදෙනා සාධාරණ ඉලක්ක තබාගන්නවා. මුළු බයිබලයම කියවීම ඊට උදාහරණයක්. නමුත් සමහරවිට එහි ඇති පෙළපත්, පුරාණ දේවමාලිගාව සම්බන්ධයෙන් දිර්ඝ විස්තර හෝ එදිනෙදා ජීවිතයට කෙලින්ම සම්බන්ධ නොවන බවට පෙනෙන ගැඹුරු අනාවැකි කොටස් කියවීම නීරස යමක් විය හැකියි. කෙසේනමුත් ඔබේ උත්සාහය අත් හරින්න එපා. එවැනි පරිච්ඡේද කියවන විට එම සිද්ධීන්, ස්ථාන හා අනාවැකිවල පසුබිම හෝ එහි අදාළත්වය තේරුම්ගැනීමට වෙනත් ප්‍රකාශන ප්‍රයෝජනයට ගන්න. ඒ සඳහා “මුළු ශුද්ධ ලියවිල්ල විශ්වාසවන්තය ප්‍රයෝජනදායකය” යන භාෂා 50කින් පමණ පළ වී ඇති පොත කියවීම ප්‍රයෝජනවත්.

බයිබල් අධ්‍යයනයෙන් ප්‍රීතියක් ලැබීම සඳහා කියවන දේ සිතින් මවා ගන්න උත්සාහ කරන්න. එවිට ඔබ කියවන දෙයට අදාළ ස්ථාන හා පුද්ගලයන්ව මනසින් දකින්න ඔබට හැකියි. එවැනි යෝජනා අදාළ කරගැනීමෙන් ඔබගේ බයිබල් අධ්‍යයනය ප්‍රීතිමත් එකක් කරගත හැකි අතර ඒ සඳහා කාලය සොයාගැනීමටද ඔබ තුළ වඩා උනන්දුවක් ඇති වෙයි. එවිට දිනපතාම බයිබලය කියවීමේ පුරුද්ද ඔබට ඇති කරගත හැකියි.

මෙම යෝජනා අදාළ කරගැනීමෙන් අප එක් එක්කෙනාට තනි තනිව ප්‍රයෝජන ගත හැකියි. නමුත් ඉතා කාර්යබහුල නිවසක් තුළ ඒ සඳහා කාලය වෙන් කරගන්නේ කෙසේද? ඒ සඳහා ටිකක් විවේකී අවස්ථාවක් තෝරාගෙන පවුලේ පාඩමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන පවුලක් හැටියට සාකච්ඡා කරන්න. එහිදී හොඳ යෝජනා ඉදිරිපත් විය හැකියි. උදාහරණයකට සෑම උදෑසනකම හෝ යම් දිනවල විනාඩි කිහිපයක් කලින් අවදි වී බයිබලයෙන් කොටසක් සාකච්ඡා කරන්න පුළුවන්. නැත්නම් ඔබගේ පවුලේ කටයුතුවල යම් වෙනස්කම් කිරීමටද යෝජනා ඉදිරිපත් විය හැකියි. පවුලක් හැටියට කෑම වේලක් ගැනීමෙන් පසුව දිනපදය සාකච්ඡා කිරීම හෝ බයිබලයෙන් කොටසක් කියවීම ප්‍රයෝජනදායක බව සමහර පවුල් අද්දැක තිබෙනවා. එමනිසා ඔබත් පවුලක් හැටියට ආහාර ගැනීමෙන් පසු විනාඩි දහයකට හෝ පහළොවකට පමණ බයිබල් පදයක් හෝ බයිබලයෙන් කොටසක් කියවන්න සැලසුම් කළ හැකිද? ආරම්භයේදී නම් එය අභියෝගයක් මෙන් පෙනුණත් ඔබ ඉක්මනින්ම ඊට හුරුවන අතර ඉන් සතුටක් ලබන බවද ස්ථිරයි.

වොයිචෙක් සහ මව්ගෝෂාතා යන යුවළ එය ක්‍රියාත්මක කරන ආකාරය ගැන මෙසේ පවසනවා. “කලින් නම් අපේ කාලය වැදගැන්මකට නැති දේවල්වලට නාස්ති වුණා. ඒ නිසා ඊ මේල් පණිවිඩ යවන්න වැය කළ කාලය අඩු කරන්න අපි තීරණය කළා. ඒ වගේම විනෝදය සඳහා ගත කරපු කාලයත් ගොඩාක් අඩු කළා. ඊට පස්සේ පෞද්ගලික අධ්‍යයනය සඳහා අපි නිශ්චිත දිනයක් හා වේලාවක් වෙන් කෙරුවා.” එවැනි වෙනස්කම් කිරීම ගැන ඔවුන් කොහෙත්ම කනගාටු වෙන්නේ නැහැ. එය අත්හදා බලන්න ඔබත් කැමතිද?

නිවැරදි දැනුමෙන් වර්ධනය වීමේ ආශීර්වාද

දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමේ එක් ප්‍රයෝජනයක් වන්නේ “සියලු යහපත් ක්‍රියාවලින් පල” දරන්න අපට හැකි වීමයි. (කොලො. 1:10) ඔබ එසේ කරනවා නම් එය අන් අයටද දැකගත හැකියි. එමෙන්ම බයිබල් සත්‍ය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබන්නද ඔබට අවස්ථාව ලැබෙනවා. එහි ඇති තවත් ප්‍රයෝජනයක් නම් ඔබට ඉතා නිවැරදි හා සාධාරණ තීරණ ගැනීමට හැකි වෙනවා. එමෙන්ම අන් අයට අවශ්‍ය උපකාර පිරිනැමීමට ඔබ සුදුසු තත්වයක සිටිනවා. අඥාන ලෙස කටයුතු කරන අය ගන්නා දැඩි තීරණවලින් වළකින්නද ඔබට එමගින් හැකියාව ලැබෙනවා. ඒ සියල්ලටම වඩා දෙවිට ළං වෙන්න එම අධ්‍යයනය තුළින් ඔබට හැකි වෙනවා. දෙවි සතු ගුණාංග ඔබ වැඩියෙන් අගය කරන්න පටන්ගන්න අතර අන් අයට ඒ ගැන පවසන්නද ඔබ තුළ පෙලඹීමක් ඇති වෙයි.—1 තිමෝ. 4:15; යාකො. 4:8.

ඔබගේ පසුබිම හෝ වයස් මට්ටම කුමක් වුණත් දෙවිගේ වචනය ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් ප්‍රීතියක් ලබන්න ඔබට හැකි සියල්ල කරන්න. එමෙන්ම ඔබ ඉගෙනගන්නා තොරතුරු අදාළ කරගන්න. ඒ වෙනුවෙන් ඔබ ගන්නා සියලු උත්සාහයන් දෙවි අගය කරන බවට ස්ථිර වන්න. (හෙබ්‍රෙ. 6:10) එවිට ඔබ දෙවිගේ ආශිර්වාද බහුලව අද්දකිනවා නිසැකයි.

[13වන පිටුවේ කොටුව]

අපි ‘නිවැරදි දැනුමෙන් වර්ධනය’ වන විට . . .

දෙවි කෙරෙහි අපට තිබෙන ඇදහිල්ල ශක්තිමත් වන අතර දෙවිට ඔබින ලෙසින් ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.—කොලො. 1:9, 10

බුද්ධිමත් තීරණ ගැනීමට මෙන්ම අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමට අවශ්‍ය වටහාගැනීමේ හැකියාව අපට ලැබෙනවා.—ගීතා. 119:99

දෙවිට ළං වීමට අන් අයට උපකාර කරන්න අපට හැකි වෙනවා.—මතෙ. 28:19, 20

[14වන පිටුවේ පින්තූර]

අධ්‍යනයට සුදුසු පරිසරයක් සොයාගැනීම පහසු නොවුනත් එසේ කිරීම ප්‍රයෝජන දායකයි

[15වන පිටුවේ පින්තූරය]

සමහර පවුල් ආහාර වේලක් භුක්ති විඳීමෙන් පසු බයිබලයෙන් කොටසක් කියවනවා