Skip to content

පටුනට යන්න

ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මේ ක්‍රමයත් අත්හදා බලන්න

ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මේ ක්‍රමයත් අත්හදා බලන්න

ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මේ ක්‍රමයත් අත්හදා බලන්න

පාවුල් ඇතන්ස් නගරයේ පිහිටා තිබූ වෙළඳපොළේ සෑම දිනකම යේසුස් ගැන ශුභාරංචිය දේශනා කළා. (ක්‍රියා 17:17) ඔහු එම නගරයේ තිබූ වෙළඳපොළ, දේශනා කරන්න තෝරා ගත්තේ බොහෝ වැසියන් නිතර නිතර එහි පැමිණෙන නිසයි.

පාවුල් එසේ කර වසර 2,000ක් පමණ ගත වී ඇතත් තවමත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේවරාජ්‍ය ගැන දේශනා කරන්න වෙළඳපොළවල් තෝරා ගන්නවා. ඒ ඇයි? ඊට හේතුව මිනිසුන් බොහෝ දෙනෙක්ව වෙළඳපොළේ දී හමු විය හැකි නිසයි. අද දින වෙළඳපොළ කියද්දී සාප්පු සංකීර්ණද ඊට අයත් වෙනවා. සමහර ක්‍රිස්තියානීන් සාප්පු සංකීර්ණවල දේශනා කිරීම සඳහා එහි අයිතිකරුගෙන් අවසර ලබාගෙන කුඩා මේසයක් මත අපගේ ප්‍රකාශන ප්‍රදර්ශනය කරනවා.

උදාහරණයකට, ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්ජර්සි නගරයේ සිටින සාක්ෂිකරුවන් එහි තිබෙන සාප්පු සංකීර්ණයක මෙම ක්‍රමය අත්හදා බැලුවා. ඉතා අලංකාර ලෙස අපගේ ප්‍රකාශන එහි ප්‍රදර්ශනය කර තිබුණේ “යහපත් පවුලක් ගොඩනඟා ගන්නේ කෙසේද” යන තේමාව යටතේයි. ඉන් ලැබුණු ප්‍රතිඵල මොනවාද? එක් දිනකදී පමණක් භාෂා හයකින් පොත් 153ක් ලබා දෙන්න ඔවුන්ට හැකි වුණා.

එහි පැමිණි එක් කාන්තාවක් සාක්ෂිකරුවන් පැවසූ දේවල්වලට අවධානයෙන් සවන් දෙමින් සිටියා. අපේ ජීවිතයත් අපේ පවුල් ජීවිතයත් සාර්ථක කරගන්නට නම් දෙවිගේ උපදෙස් අවශ්‍ය බව ඇය තේරුම් ගත්තා . පසුව ඇය උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු, පවුලේ සන්තෝෂයට රහස, යෞවනයන් අසන ප්‍රශ්න - ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු යන ප්‍රකාශනද ලබා ගත්තා.

එදිනම දහවල් අපගේ ප්‍රකාශන ප්‍රදර්ශනය කර තිබූ තැන පසු කර ඊළඟ සාප්පුවට යන්න පැමිණි පුද්ගලයෙකුගේ අවධානය මේසය මත තිබූ අපගේ ප්‍රකාශන වෙත යොමු වුණා. ඔහු වැඩි අවධානයක් යොමු කළේ යෞවනයන් අසති යන පොතට බව එතැන සහෝදරිය දැක්කා. පසුව ඇය ඔහුගෙන් මෙසේ ඇසුවා. “ඔයාට අවශ්‍ය පොතක් මෙතන තියෙනවාද?” ඔහු යෞවන අය අසති පොත ඇයට පෙන්නුවා. ඔහු සමඟ කතා කරන අතර තුර ඇය ඒ පොත ඔහුට දුන්නා. තමන්ට දරුවන් තිදෙනෙක් සිටින බවත් ඔහු ඔවුන් සමඟ සතියට වරක් සාකච්ඡාවක් පවත්වන බවත් ඒ පුද්ගලයා පැවසුවා. පොත බලන ගමන් ඔහු කිව්වේ තම වැඩිමහල් දරුවන් දෙදෙනා යෞවන අය නිසා මේ පොත ඒ සාකච්ඡාවට යොදා ගත හැකි බවයි. පසුව මෙම සහෝදරිය පවුලේ සන්තෝෂයට රහස නමැති පොත ඔහුට පෙන්නුවා. ඔහුටත් ඔහුගේ භාර්යාවටත් පවුලට අදාළ තීරණ ගැනීමේදී මෙහි ඇති උපදෙස් ප්‍රයෝජනවත් බවද ඇය පැවසුවා. ඔහු ඊට ස්තුති කර සම්මාදමක්ද ඉදිරිපත් කළා. තමා සමඟ තවදුරටත් සාකච්ඡා කරන්න කෙනෙකු එවන්න කියා ඔහු සහෝදරියට පැවසුවා.

මෙම සාප්පු සංකීර්ණයේ කළ දේශනා සේවය ගැන සාක්ෂිකරුවන්ට හැඟුණේ කෙසේද? එක් සහෝදරියක් පැවසුවේ “ඒ ක්‍රමයට මම හුගාක් කැමතියි” කියායි. තවත් සහෝදරියක් පැවසුවේ මෙසේයි. “ඒක නම් මට අලුත්ම අද්දැකීමක්! ශුභාරංචිය මුළු ලෝකය පුරාම ප්‍රකාශ කරන බව යෙහෝවා දෙවි පැවසුවා. දැන් නිව්ජර්සිවල ඉන්න විවිධ භෂා කථා කරන අයටත් එය අසන්න ලැබෙනවා. මේ සාප්පු සංකීර්ණයේ දේශනා කරන්න ලැබුණු එක ගැන අපි හැමෝටම හුගාක් සතුටුයි. දවස ඉක්මනින් ගෙවිලා ගියා. තව වෙලා තිබුණා නම් හොඳයි කියලා අපිට හිතුණා.”

ඔබත් ශුභාරංචිය ප්‍රකාශ කරන්න විවිධ ක්‍රම භාවිත කරනවාද? අපගේ ප්‍රධාන ක්‍රමය ගෙයින් ගෙට දේවසේවයේ යෙදීම වුණත් කඩ සාප්පු, සාප්පු සංකීර්ණ හා ජනයා ගැවසෙන වෙනත් ස්ථානවලදී ශුභාරංචිය ප්‍රකාශ කරන්න හැකි වෙනත් ක්‍රම ගැනද සලකා බලන්න.—ක්‍රියා 20:20.